මට තරහ ගිහින් තේ එක බිමට හැලුවා | සිළුමිණ

මට තරහ ගිහින් තේ එක බිමට හැලුවා

අම්මා  ළඟ ඉන්න ඕන වයසක දැන් දුව ඉන්නේ

නටන්නම උපන් හපන්කම් දක්වන නිරෝෂා තලගල නර්තනය දැන් පැත්තකින් තියලා සම්පුර්ණ කාලය රංගන සඳහා යොදවනවා. දුවෙකුට ආදරණීය මවක් වූ ඇය ගැනයි මේ තොරතුරු.

නර්තනය අමතක කරලා වගේ නේද නිරෝෂා ..?

නර්තන වැඩකටයුතු නතර කරලා නැහැ. නතර වෙලා. රටේ තියෙන ප්‍රශ්න එක්ක පොඩි අයකිරිම්වලට නර්තන කණ්ඩායම යොදවන්න බැහැ. ඒ නිසා අයකිරිම් වැඩි කරලා තියෙනවා. වැඩත් අඩුයි. ළමයින්ට දෙතුන්දාහ දෙන්න බැහැ. පුහුණු වීම් වලට එන්නේ බස්වල. ඒ නිසා කණ්ඩායමේ ළමයින්ටත් මම කිව්වා නර්තනයට ජීවිතේ දෙවැනි තැන දීලා ජොබ් කරන්න කියලා.

දැන් වැඩිපුර නිර්මාණවලින් නිරෝෂාව දකින්න ලැබෙනවා ..?

මේ දවස්වල බොනිකර තරු, දෙකඩ කඩ විකාශය වෙනවා. කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය විකාශය ආරම්භ වුණා. ඊට අමතරව අලුත් නාට්‍ය දෙක තුනකට සම්බන්ධ වුණා. තවම ඒවා රූගත කරනවා. වැඩිපුර කාලයක් යොදවන්නේ දැන් ටෙලි නාට්‍යවලට තමයි. ආර්ථිකය සාර්ථක කරගන්න එහෙම කරන්න සිදු වෙලා තියෙනවා. රටේ තියෙන ප්‍රශ්න එක්ක.

දුව හුරතල් වයසේ ඉන්නේ, දුවව ඔබට මඟ හැරෙනවා නේද..?

අම්මා කෙනෙක් දරුවන් ළඟ ඉන්න ඕන වයසක දුව ඉන්නේ. නමුත් රංගන කටයුතු නතර කරන්න බැහැ. ඒ නිසා මගේ අම්මා වගේ මගේ සැමියා අසේලගේ අම්මත් දුවව බලා ගන්නවා.

ඇයට ඔබත් එක්ක කාලය ගත කරන්න ඕන කියලා කියන්නේ නැද්ද ..?

බබාගේ නම ඕජී ඖරංජනා. වයස අවුරුදු තුන සම්පුර්ණ වුණා. ඉස්සර නම් මම යද්දී අඬනවා. දැන් ‘අම්මා ඉක්මනින් එන්න‘ කියනවා. සමහර දවස්වලට ගෙදරින් යන්නේ පාන්දර තුනට විතර. රෑ දොළහ එක වෙන දවස් තියෙනවා ගෙදර එද්දී. එතකොට දුව නිදි. එයාගේ හුරතල් මඟ හැරෙනවා.

ඔබව රූපවාහිනී තිරයෙන් දකිද්දී ඇය ප්‍රතිචාර දක්වනවාද..?

එයාට ලොකුවට තේරුමක් නැහැ ප්‍රතිචාර දක්වන්න. රූපවාහිනී තිරයෙන් මම දුකෙන් අඬනවා දකිද්දී එයත් අඬනවා. මට ගහන දර්ශන දකිනකොට එයා බය වෙනවා.

දුවත් තවම පුංචි නිසා සැමියා නීති රීති දාන්නේ නැද්ද ඔබේ රංගන ජීවිතයට ..?

මගේ රංගන ජීවිතයට උපරිමයෙන් නිදහස දුන්නු කෙනෙක් තමයි අසේල කියන්නේ. එයා නිසා තමයි මම රඟපාන්න එන්නේ. රඟපාන්න එපා දැන් ඇති කියන්නේ නැහැ. නමුත් ඉස්සර වහේ නෙමෙයි උදෙන්ම මම රූගතකිරීම්වලට යද්දී ආ අදත් යනවද කියලා අහනවා. එහෙම අහන්නේ දුවට මාව මඟ හැරෙන නිසා මිසක් අකමැත්ත නිසා නෙමෙයි

නිරෝෂාට කිරි කෝපි එක්ක තරහක් තියෙනවා නේද?, ඒ කතාව මොකක්ද?

මේ සිදුවීම වෙලා ගොඩක් කල්. ප්‍රසංගයකට සම්බන්ධ වෙලා ගෙදර එද්දී රෑ කඩේකට ගියා තේ බොන්න. මම ඇනවුම් කරේ කිරි කෝපී එකක්. සීනී නැතුව.

ඒ වුණාට මට දුන්නේ සීනී දාලා කිරි කෝපී එකක්. මම ඒක දීලා කිව්වා මම ඉල්ලුවේ සීනී දාන්නේ නැතුව කියලා. වේටර් හතර වතාවක් එකම කිරි කෝපී එකට වතුර දාලා ගෙනත් දුන්නා. සල්ලී දීලානේ ගත්තේ, මට තරහා ගිහින් කැමරා තියෙනවා ද කියලා බලන්නේ නැතුවම තේ එක බිමට හැලුවා. වෙන ප්‍රශ්නයක් වුණේ නැහැ ඉක්මනින් එතැනින් ඉවත් වෙලා ආවා.

 

 

Comments