විදේශ ශ්‍රමිකයන්ට ලබන මාසයේ සිට විශ්‍රාම වැටු­පක් | සිළුමිණ

විදේශ ශ්‍රමිකයන්ට ලබන මාසයේ සිට විශ්‍රාම වැටු­පක්

 

අපට තිබූ විදේශ රැකියා වෙළෙඳ පොළ සැලකිය යුතු ලෙසින් අඩු වුණා. අලුත් වෙළෙඳ පොළේ තත්ත්වය කොහොමද?

අපිට පමණක් නෙමෙයි, ගෝලීය වසංගත තත්ත්වය ලෝකයටම බලපෑවා. එයින් අපේ විගමණික ශ්‍රමිකයන්ට බලපෑමක් ඇති වුණා. නමුත් මේ වන විට අපේ වෙළෙඳ පොළ දැන් යථා තත්ත්වයට පත් කරගනිමින් ඉන්නෙ. ඒ වගේම කියන්න ඕන අපට පෙර නොතිබුණු අලුත් විදේශ රැකියා වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙන බව. ඉස්සර රට යනව කියන්නෙ බොහෝ දුරට ගෘහ සේවයට යනව කියන එකනෙ. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නෙ. අද වන විට විදෙස්ගත වන කාන්තාවන්ගේ ප්‍රමාණය 30%ක් දක්වා අඩුවෙලා තියෙන්නෙ. 70%ක් විතර විදෙස් රැකියා සඳහා යන්නෙ පිරිමි පුද්ගලයන්. ඒ තත්ත්වය වැඩි දියුණු කරන්නයි අපි උත්සාහ ගන්නෙ.

අපට වැඩිම විදෙස් රැකියා වෙළෙඳ පොළක් තියෙන්නෙ මැද පෙරදිග කලාපයේ, එවන් තත්ත්වයක් යටතේ කාන්තාවන් විදෙස් ගතවීම අඩුවීමෙන් අපේ විදේශ විනිමය පැමිණීමට බලපෑමක් වනවා නේද?

මම කිව්වා වගේ අපිට අලුත් වෙළෙඳපොළක් ලෝකයෙන් නිර්මාණය වෙමින් තියෙනවා. අපිට වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ මැද පෙරදිගින් වුණාට අපි අපි දැන් වෘත්තිකයන් වගේම ශිල්පීන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමටයි වැඩි අවධානයක් යොමු කරන්නෙ. එහිදී සාර්ථක ප්‍රතිඵල ලැබී තියෙනවා. උදාහරණයක් හැටියට වැද්දුම්කරුවන්, ජලනළ කාර්මිකයන්ට හොඳ රැකියා ඉල්ලුමක් රටවල් රැසකින් තියෙනවා. ඒ නිසා අපට වැඩි වැටුප් ලබා ගැනීමට ශ්‍රමිකයන් යොමු කළ හැකියි. ඒ ඉලක්කය කරා යන්න අපි පසුබිම සකස් කරලයි තියෙන්නෙ.

අලුතින් රැකියා නිර්මාණය වෙච්ච රටවල් ගැන පැහැදිලි කළොත්....

විශේෂයෙන්ම එංගලන්තය, කැනඩාව, ජපානය කොරියාව වගේ රටවලින් අපට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ රටවලින් දැනුමැති ශිල්පීන්ට හොඳ ඉල්ලුමක් වගේම ඉහළ වැටුප් ලැබෙනවා. එංගලන්තයෙන් දැනට අපට වැඩියෙන් ලැබෙන්නේ හෙද හෙදියන් වෙනුවෙන් වෙළෙඳපොළක්. ඒ වෙළඳපොළ අනෙක් රැකියා වෙනුවෙන් ලබා ගැනීමටයි අපි උත්සාහ කරන්නෙ.

කොවිඩ් සමයේ අපේ විදෙස් ශ්‍රමිකයන් අතිවිශාල ලෙසින් මෙරටට පැමිණුනා. විදේශ විනිමය ගෙන එන අපට මවුරටින් ලැබුණේ අඩු සැලකිල්ලක් කියල ඒ අය කිව්වා....

ඔව්, ඒක ඇත්ත අපි ඇත්ත කතා කරන්න ඕන. එතැනදි ඒ අයට ලැබුණු සැලකිල්ල ගැන සතුටු වෙන්න බැහැ. නිරෝධායන කටයුතුවලදි හැමෝටම රජයේ නොමිලේ සපයන නිරෝධායන පහසුකම් ලැබුණේ නැහැ. අපට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 700ක් විතර දායකත්වයක් සපයන විගමනික ශ්‍රමිකයන්ට හොඳ සැලකිල්ලක් අපි ලබා දෙන්න ඕන. එතකොට තමයි ඒ අයට අපේ රට ගැන හැඟීමක් ඇති වෙන්නෙ.

අපේ රටේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් තමයි විදෙස්ගත ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් අඩුවීම, උණ්ඩියල් ක්‍රමය නිසා තමයි මේ තත්ත්වය ඇතිවුණේ. මොකක්ද ඒ වෙනුවෙන් අරගෙන තියෙන පියවර...

ඒ කරුණ තරමක් විස්තර කරන්න ඕන. ඩොලරයේ මිල ඉහළ යාම නිසා උණ්ඩියල් හා හවාලා ක්‍රමයන්ගෙන් මුදල් එවීමේදී එක ඩොලරයක් වෙනුවෙන් ගෙවන ගාණ රුපියල් 75කින් 100කින් විතර වැඩිවුණා. ඒ නිසා ඒ හරහා මුදල් එවන්න ශ්‍රමිකයන් පෙලඹුණා. තවත් කරුණක් තමයි ඇතැම් දේශපාලකයන් ප්‍රසිද්ධියේම පැවසුවා ලංකාවට එවන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදලින් පාලකයන් හොරකම් කරන බව. ඒ ගැන ඔවුන් අවධානය යොමු කළා. අපි මහන්සි වෙලා එවන සල්ලිවලින් හොරකම් කරන්න දෙන්නෙ මොකටද කියන මානසිකත්වය ඒ අයට ආවා. ඒ නිසා බැංකු හරහා මුදල් එවන එක සීමා වුණා.

අපි කාටවත් පුළුවන්ද තව කාටවත් එවන සල්ලි හොරකම් කරන්න. නමුත් මතයක් ස්ථාපිත කරන්න ඇතැම් දේශපාලකයන් කටයුතු කළා. ඒ අතර රටේ ඇතිවුණු දේශපාලන පසුබිම මත ඒ මතය තවත් ස්ථාපිත වුණා. එයින් ඩොලර් පැමිණීම අඩුවුණා. අනෙක් කරුණ තමයි රජය වාහන ඇතුළු භාණ්ඩ රැසකට ආනයන සීමා කරා. ඇතැම් භාණ්ඩ ආනයනය තහනම් කරා. මේ නිසා ඉඳිකිරීම්වලට බාධා පැමිණුනා. වාහන ගෙන්වන්න බැරිවුණා. අපේ රටේ බහුතරයක් රට යන්නෙ මොකටද? ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න. ඒ පහසුකම් නොලැබෙනකොට ඩොලරයට ගෙවන මුදල අඩුවෙනකොට අත්‍යවශ්‍ය මුදල් විතරක් එවල ඉතුරු මුදල් එහේ තියාගන්න තව පිරිසක් කටයුතු කළා. ඒකත් රටට ඩොලර් එන එක නවතින්න හේතුවක් වුණා.

බැංකු හරහා මුදල් එවන අය දිරිමත් කරන වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ඔබ පවසා තිබුණා. ඒ ගැන පැහැදිලි කළොත්..

මේ වන විට සැලකිය යුතු පිරිසක් උණ්ඩියල් ක්‍රමයෙන් ඈත්වෙලා තියෙන්නෙ. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් මේ වන විට උණ්ඩියල් හා බැංකු අතර ඩොලරයකට ගෙවන මිල අතර වෙනස රුපියල් 10ක් 15ක් තරම් අඩුවෙලා තියෙන්නෙ.

අනෙක් කරුණ බැංකු හරහා මුදල් එවීමේදී ඩොලරයකට ගෙවන මුදලට අමතරව විශේෂ කොමිස් මුදලක් දෙන්න තීරණය කළා. ඒ වගේම එවන මුදලේ ප්‍රමාණය අනුව රුපියල් 5000 රුපියල් 10000 වගේ තිළිණපත් දෙන්නත් අපි තීරණය කළා. එමෙන්ම ඔවුන්ට අඩු පොලියට එහෙමත් නැත්නම් පොලී රහිත නිවාස ණයක් දෙන්නත් අපි තීරණය කළා. ඒ සියල්ල දැන් ක්‍රියාත්මක වෙමින් තියෙන්නෙ. ඒ වගේම එවන මුදලට අනුපාතිකව ණය මුදල් දෙන්නත් තීරණය කළා. ණය මුදල එවන මුදල මෙන් 5 ගුණයක් පමණ විය යුතුයි යන යෝජනාවක් අපි ඉදිරිපත් කළා. දැන් ඒ සම්බන්ධයෙන් මහ බැංකුව කටයුතු කරමින් ඉන්නෙ. ඒ මුදල ප්‍රමාණවත්ද? එසේ නැත්නම් කුමනාකාරයේ ක්‍රමයකට එය කරන්නේද යන්න ගැන ඉදිරියේදී ඔවුන් දැනුම් දෙයි.

ඒ සියල්ල බැංකු හරහා මුදල් එවීමේදී සිදු කරනු ලබන දිරි ගැන්වීම්, ඔවුනට ලබා දෙන වෙනත් පහසුකම් හෝ වරප්‍රසාද තියෙනවාද?

මම වගකීමෙන් කියනවා මේ කාලය තමයි විගමණික ශ්‍රමිකයන්ට වැඩිම වරප්‍රසාද ලබා දෙන්නට කටයුතු කරන කාලය කියලා. නොබෝ දිනකින් අපි ඔවුන්ට ලබා දෙනවා වරප්‍රසාද කාඩ්පතක්. ඒ කාඩ්පත හරහා මෙරට සමාගම් 400කට අධික සංඛ්‍යාවකින් ලබා දෙන භාණ්ඩ වෙළෙඳසල් 4000කට අධික සංඛ්‍යාවකින් සැලකිය යුතු වට්ටම් සහිතව ලබා ගන්න පුළුවන්. එමඟින් විගමණිකයාගේ මෙහේ ඉන්න යැපෙන්නන්ට සේවාව ලබාගන්න පුළුවන්. ඒ වගේම විගමණිකයන්ගේ දරුවන් වෙනුවෙන් දිවාසුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කරන්නත් අපි කටයුතු කරනවා. අම්මා හෝ තාත්තා රට ගිහින්. මෙහේ එන්න අම්මා හෝ තාත්තා රැකියාවට ගියායින් පස්සෙ දරුවන් බලා ගැනීම ගැටලුවක් වෙනවා, ඒකට වගකීමක් ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථාන අපි ස්ථාපිත කරනවා.

ඒ වගේම අපි යෝජනා කරල තියෙනවා විගමණිකයන්ගේ දූ දරුවන්ට පාසල්වලට ඇතුළත් කිරීමේදී කෝටාවක් දෙන්න කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳව එකඟ වී තියෙනවා. ඒ ගැන දැන් සලකා බලමින් ඉන්නෙ. ඒ වගේම විගමණික අපනයන කලාප කිහිපයක් හදන්න යෝජනා කරල තියෙනවා. ඒ හරහා විගමණිකයන්ට පුහුණුව ලබා දෙන්නත්, විදෙස් රැකියා ගිවිසුම් අවසන්ව පැමිණෙන අයට සේවය කරන්නත් පුළුවන්. ඒ අපනයන කලාපයන්හි එතෙර සිදු කරනු ලබන සේවාවට සමාන සේවාවන් කරන්න පුළුවන්.

විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන කතාවක් දැන් අවුරුදු ගණනාවක් කතා වුණා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දක්වාත් ගියා. ඒත් තවම කතා විතරයි..

ඔව් ඒ ගැන අවස්ථා ගණනාවකදී කතාබහට ලක්වුණා. අපි දැන් සමාජ ආරක්ෂණ මණ්ඩලයත් එක්ක සාකච්ඡා කර විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරමින් ඉන්නෙ. ඒක ලොකු වරප්‍රසාදයක්. අපි ඒ වෙනුවෙන් ශ්‍රමිකයන් දිරි ගන්වනවා. මේක දායකත්ව විශ්‍රාම වැටුපක්.

විදෙස්ගත ශ්‍රමිකයන්ට රථවාහන ආනයනයේදී ලබා දෙන සහනයන් ගැන ඔබ පසුගිය දිනවල පවසා තිබුණා

ඔව් එහිදී පසුගිය ජූලි මාසයේදී පමණ සිට මාස 6ක් දක්වා ඇමෙරිකන් ඩොලර් 3,000ක් එවල තියෙනව නම් විදුලිබල ආරෝපණයෙන් ක්‍රියාකරන යතුරුපැදියක් ගෙන්වන්න පුළුවන්. ඒ වගේම ඩොලර් 20,000කට වඩා එවල තියෙනව නම් එයාට විදුලි මෝටර් රථයක් ආනයනය කිරීමේ හැකියාව ලැබෙනවා.

ඒ සඳහා කොන්දේසි පනවා තිබුණා, ආරෝපණ පද්ධතිය තමන් විසින්ම සපයා ගත යුතු බවට, සාමාන්‍ය විදුලිය ඒ සඳහා භාවිත නොකළ යුතු බවට.

අපි මුලින් එවන් ක්‍රමයක් ගැන සංකල්පයක් ගෙනාවා. ඒත් එය අනිවාර්යය නැහැ. සූර්යබල පද්ධතියක මඟින් ආරෝපන්‍ය කරනවා නම් එය හොඳයි. ඒ වගේම ඒ මෝටර් රථය අලුත්ම රථයක් විය යුතුයි. වගකීමක් සහිත ආයතනයකින් ආනයනය කළ යුතුයි. ඒ වගේම කිලෝවොට් 100 ධාරිතාවට අඩු විය යුතු අතර බැටරියෙන් කිලෝමීටර් 300ත් 600ත් අතර ධාවනය කළ හැකි විය යුතුයි. එය ලොකු වරප්‍රසාදයක්.

ඊට අමතරව මෙරටට පැමිණීමේදී ලබා දෙන වරප්‍රසාද තියෙනවද?

ඔව්, අපි තීරණය කරල තියෙනවා දැනට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට දෙන බදු සහනයට අමතරව විගමණිකයන්ට විශේෂ බදු සහන ලබා දෙන්න, ඒ අනුව දැනට දින 365කට වැඩියෙන් විදෙස් ගතව මෙරටට පැමිණෙන ලබාදෙන ඩොලර් 1,750 වෙනුවට එයාට තවත් ඩොලර් 600ක බදු සහනයක් හිමි වෙනවා. ඒ අවුරුද්දක් ඇතුළත එයා ඩොලර් 2400ක් පමණ මුදලක් එවා තිබුණහොත් පමණයි. ඒ වගේම ඩොලර් 4,800ක් එවා තිබුණොත් ඩොලර් 1,750ට අමතරව එය තවත් ඩොලර් 960කින් වැඩිවෙනවා.

විදෙස් ගතවන අයට ලොකු ප්‍රශ්නයක් තමයි ඒ සඳහා වන මුදල සොයා ගැනීම, අධික පොලියට මුදල් ගන්න සිදුවෙලා. නැත්නම් ගෙවල් ඉඩම් උගස් කරලා යන්නෙ. මේ තත්ත්වයට තවම විසඳුමක් දෙන්න බැරිවුණා නේද?

අපි දැන් ඒකටත් විසඳුමක් දෙන්න සූදානම්. ඒ වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනවා. බැංකු සඳහා එකඟ වෙලා ඉන්නෙ.

රටේ දේශපාලනය ගැනත් ටිකක් කතා කරමු. සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන මොකද හිතෙන්නෙ.

අනිවාර්යෙන්ම අපිට රට හදන්න මේක තමයි හොඳම වෙලාව. අපේ රටට තවත් වැටෙන්න තැනක් නැහැ. දැන් බිමටම වැටිලා තියෙන්නෙ. දැන් අපි දේශපාලන භේද පැත්තකට දාලා එකතු වෙලා රට ගොඩගන්න ඕන. ඒකට හැම පක්ෂයකම අය එකතු වෙලා කටයුතු කළ යුතුයි. ඒ අතින් මට ලොකු සතුටක් තියෙනවා. ජනාධිපතිවරයා පත් කරන්න මුල් වෙච්ච කෙනෙක් හැටියට.

ඔබ හිතන්නේ මේ දේශපාලන ව්‍යුහය සාර්ථක වෙයිද?

අනිවාර්යෙන්ම සාර්ථක කළ යුතුයි. ඇත්තෙන්ම මේ අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක් හැටියටයි මම කියන්නෙ. ජනාධිපතිතුමා ඉදිරි අවුරුදු 25ට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න තීරණය කරලා තියෙන්නෙ. විශේෂයෙන්ම රටට පොදු ආර්ථික ප්‍රතිපත්තියක්, අධ්‍යාපන ප්‍රතිපත්තියක් වගේ ක්‍රමවේදයක් ඇති කරනවා. ඒ සඳහා සියලු පක්ෂ අදහස් දක්වා සහාය දිය යුතුයි. තමන්ට බලය ලබා ගෙන රජයක් පිහිටුවනවා වගේ නෙමෙයි, පොදු අවස්ථාවකදී හැමගේ අදහස් ලබා ගැනීමයි වැදගත් වන්නේ.

ඒත් මේ බහුතර දේශපාලකයන් නේද රට පාලනය කළේ. ඔවුන් නේද මේ තත්ත්වයට වගකිව යුත්තේ

ඒකට දේශපාලකයන් විතරක් නෙමෙයි, රාජ්‍ය නිලධාරීන් වගේම ජනතාවත් වග කියන්න ඕන. ඒ අය වැරැදි නම් යළි යළිත් පත් කරේ ජනතාවමනේ. දැන් අපි කරන්න ඕන වැරැද්ද කරේ කවුද කියල හොයන එක නෙමෙයි. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න කටයුතු කරන එකයි. ඒකට හොඳම අවස්ථාව කියල මම කියන්නෙ මේ අවස්ථාවෙ සියලු දෙනා එකතු වෙලා අවශ්‍ය දේශපාලන ව්‍යුහය සකස් කළ යුතුයි. ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. ආංශික කමිටු ඇතුළු කමිටු සකස් කළ යුතුයි. ඇමැතිවරයෙක් වූ පමණින් කටයුතු කරන්න බැහැ. වියදම් කරන්න බැහැ. ඒක හොඳ ප්‍රවණතාවක්. ඒ නිසා මේ අවස්ථාව පැහැර හරින්න හොඳ නැහැ.

සියලු පක්ෂ එකඟ වනවාද?

මම හිතනවා මේ අවස්ථාවේ රටට ආදරේ කරන සියලු පක්ෂ එකතු වෙයි කියලා. බොහෝ අය දැනටමත් කැමැත්ත පළ කර තියෙනවා

ඒත් ජනතා විමුක්ති පෙරමුණ කියලා තියෙනවා ඔවුන් සම්බන්ධ නොවන බවක්

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ නොවීම පුදුමයට කරුණක් නෙමෙයි. එයාලට දේශපාලනය කරන්න රටේ ප්‍රශ්න තියෙන්න ඕන. ඒක හරියට හිඟන්නාගේ තුවාලය වගේනෙ. එහෙම නැත්නම් එයාල දේශපාලනය කරන්නෙ කොහොමද? එයාලට 3%ක ජන පදනමක් තියෙන්නෙ. ඒත් අපි ඒ 3% පදනමේ අදහස් පවා අගය කරනවා.

ඔබ හිතනවද දෙමළ ජාතික සංධානය මේ සඳහා කැමති වෙයි කියලා?

මේ අවස්ථාවේ අපි ජාති ආගම් ගැන නෙමෙයි රට ගැනයි හිතන්න ඕන. එයාල කැමති වෙන බවට ප්‍රකාශ කරල තියෙන බව ආරංචියි. අනික් එක දෙමළ ජාතිකයන් වෙනුවෙන් මේ ජනාධිපතිතුමා තරම් සේවාවක් කළ කිසිවෙක් වෙන නැහැ. සර්ව පාක්ෂික ආණ්ඩුවලට විරුද්ධ වෙන තවත් කණ්ඩායමක් තමයි වැඩ බැරි අය. ඒ වගේම හොරු. තමන්ගේ අදක්ෂකම හෙළි වෙයි කියන අය තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වෙන්න බය. වැඩ කරන අයට නම් මේ අවස්ථාව ඉතාම අගය කරන්න පුළුවන්.

ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යම් හෝ අනිවාර්යය අධ්‍යාපන සුදුසුකමක් අනිවාර්ය කළ යුතු යැයි ඔබ සිතන්නේ නැද්ද?

ඒක පක්ෂය තීරණය කළ යුතු දෙයක්. යම් හෝ අධ්‍යාපන මට්ටමක් තිබිය යුතුයි. ඒක අනිවාර්යයි. ඒත් කොයිතරම් උපාධිධාරීන් ඉන්නවද කිසිම වැඩක් කර ගන්න බැරි. අමාත්‍යාංශවලත් ඉන්නවා. කොහොමත් ඉදිරියේදී රාජ්‍ය ක්ෂේත්‍රයටම කාර්යසාධනය මත කටයුතු කිරීමේ ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

 

Comments