වසර 69කට පසු සුලෝහිත මහා සංග්‍රාමයේ ජය කෙහෙළි නැංවූ නාලන්දාවෝ | සිළුමිණ

වසර 69කට පසු සුලෝහිත මහා සංග්‍රාමයේ ජය කෙහෙළි නැංවූ නාලන්දාවෝ

ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවති 92 වැනි සුලෝහිත මහා සංග්‍රාමය කොළඹ සිංහල ක්‍රීඩාංගණයේදී නිමාව දුටුවේ, කඩුලු 9කින් ජය ගත් නාලන්දා විද්‍යාලය වසර 69කට පසුව සුලෝහිත සංග්‍රාමයක් ජය ගනිමින් ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ කුසලානය සිය විදුහලට රැගෙන යෑමෙනි.

ආනන්ද නායක නෙත්ම කරුණාරත්න කාසිය වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කළ අතර, තරගයේ පළමු දිනය අවසන් වන විට නාලන්දා විද්‍යාලය කඩුලු 09ක් දැවී ලබා ගත් ලකුණු 289 ට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ නාලන්දා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 220ක් විශාල පරතරයකිනි.

නාලන්දා ආරම්භක පිතිකරුවන් ලෙස රුසිරු සහ යසිරු ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැං වූහ. රුසිරු සහ යසිරු පිළිවෙළින් ලකුණු 25කට සහ ලකුණු 23කට දැවීයන විට 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩාමේ අත්දැකීම් තිබෙන නාලන්දා ක්‍රීඩක රන්පුල් සහ රවීන් පිටියට අවතීර්ණ වූ අතර ඔවුන් දෙදෙනා ගොඩනැංවූ තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 30ක් තුළ බිඳ දැමීමට ආනන්ද පන්දු යවන්නෝ සමත් වුහ.විතානගේ හැරෙන්නට ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් සියලුම දෙනා පාහේ ලකුණු 16කට වඩා වැඩියෙන් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණු අතර, රවීන් 4 පහර 4ක් සමඟ ලකුණු 40ක් ලබාගෙන නාලන්දා පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කිරීමට සමත් විය.

ලකුණු 148කට නාලන්දා කඩුලු 6ක් බිඳ වැටී තිබුණු මොහොතේ දී පිටියේ එක්වූ එරංග ජයකොඩි සහ චනුල් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවක් ගොඩනංවමින් අවදානමකට ලක්වෙමින් තිබූ නාලන්දා ඉනිමට නැවතත් හොඳ සබඳතාවයක් එක් කළහ. චනුල් නාලන්දා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් 4 පහර 10ක් සහ දැවැන්ත 6 පහර 3ක් සමඟ පන්දු 89කදී ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම කඩුල්ල දැවී යන විට චනුල් සහ නායක සමරවීර එක්වී දිනයේ වාර්තා වූ හොඳම සබඳතාව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූයේ පන්දු 56ක් තුළ ලකුණු 75ක වේගවත් සබඳතාවක් ගොඩ නංවමිනි. අවසානයේ දී ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 289ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිට වූ අතර, ඔවුන්ගේ ඉනිමට 4 පහර 34ක් සහ 6 පහර 3ක් ඇතුළත් විය. ආනන්ද විදුහල වෙනුවෙන් ශක්ති උදාර ලකුණු 90කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ආනන්ද පිතිකරුවන් පළමු පන්දුවේ සිටම ඉතාමත් හොඳින් පාලනය කිරීමට රන්පුල් ඇතුළු නාලන්දා පන්දු යවන්නන් සමත් වුහ. එහිදී වේග පන්දු යවන්නන් 4 දෙනකු සමඟ ක්‍රීඩා කළ නාලන්දා විද්‍යාලය ආනන්ද පළමු කඩුලු 5 ලකුණු 35ක් තුළ බිඳ දමමින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වීමට සමත් වුහ. ලකුණු 69කට කඩුලු 5ක් බිඳ වැටී තිබුණු ආනන්ද පළමු ඉනිමේ අවසන් කඩුලු 5 දෙවැනි දිනයේ පළමු වාරය තුළම ක්‍රීඩාගාරයට යැවීමට විනුජ රන්පුල් ඇතුළු නාලන්දා පන්දු යවන්නෝ සමත් වුහ. ඉරුත් ගිම්ශාන් නොදැවී ලකුණු 70ක් ලබා ගනිමින් බිඳ වැටුණු ඉනිමට යම් හෝ ජිවයක් එක් කරන්නට සමත් වු නිසාවෙන් ආනන්ද විද්‍යාලයට සිය පළමු ඉනිම ලකුණු 139ක් දක්වා රැගෙන එන්නට හැකියාවක් ලැබුණි. ඉරුත්ගේ එකී සටන්කාමී ඉනිම සඳහා ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන්ගෙන් එතරම්ම හොඳ සහයෝගයක් නොලැබුණි. පන්දු යැවීමේදී විනුජ රන්පුල් ලකුණු 33 කඩුලු 04, සහ රවීන් ලකුණු

33කට කඩුලු 3ක් දවාගෙන ආනන්ද ඉනිම ලකුණු 139කට සීමා කිරීමට සහාය වුහ. ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 150 පළමු ඉනිමේ අවාසියක් ඇතිව නැවතත් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට

පැමිණි ආනන්ද විද්‍යාලය පළමු ඉනිමට වඩා විශ්වාසයකින් පන්දුවට පහර දුන් නමුත්, ඔවුන්ගේ දෙවැනි ඉනිමේ කඩුලු 10 රැකගැනීමට ද ඔවුන්ට හැකියාවක් නොලැබුණ ද ඉනිමක පරාජයෙන් ගැලවීමට සමත් වුහ. අවසන් වරට 2020 මහා සටනේ දී මෙන් ආනන්ද දෙවැනි ඉනිමේ දී හංසජ ජයසිංහ ලකුණු 48 දී නවතාලීමට රවීන් ද සිල්වා සමත් විය.

ආනන්ද ආරම්භක පිතිකරු ලක්ෂිත කුලරත්න ලකුණු 32ක් ලබා ගනිමින් මිනෙත් ප්‍රේමරත්න සමඟ එක්වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් ගොඩනැංවූ අතර, එය ආනන්ද දෙවැනි ඉනිමේ වාර්තා වු හොඳම සබඳතාව විය. ආනන්ද දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 76ක් තුළ බිඳ දැමීමට රවීන් ද සිල්වා ඇතුළු නාලන්දා පන්දු යවන්නන් සමත් වු අතර, විනුජ රන්පුල් කඩුළු 02ක් සහ රවීන් කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුහ. ඒ හැරෙන්නට ඔවුන්ගේ පන්දු යවන්නන් සියලු දෙනාම කඩුලු දවා ගැනීම කැපී පෙනුණු අතර ආනන්ද දෙවැනි ඉනිම ලකුණු 180කට සීමා වීම නිසා නාලන්දාවට දෙවැනි දින අවසන් පන්දුවාර 14 තුළ ලකුණු 31ක ඉලක්කයක් හිමි විය. එම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී සපුරා ගත් නාලන්දාව මෙකී මහා හටන ජය ගත්තේ රවීන් ද සිල්වා එල්ල කරන ලද ජයග්‍රාහී

4 පහරකිනි. සමස්ත තරගයේ දී ලකුණු 65ක්, කඩුලු 7ක් සහ උඩ පන්දුවක් රැක ගත් රවීන් ද සිල්වා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය.

පළමු ආනන්ද - නාලන්දා මහා ක්‍රිකට් තරගය 1924දී පවත්වා ඇති අතර, එහිදී ආනන්ද කණ්ඩායම ආර්. එස්. රාජකරුණාගේ නායකත්වය යටතේ සහ නාලන්දා කණ්ඩායම බී. එස්. පෙරේරාගේ නායකත්වය යටතේ තරග කර ඇත. එකී තරගය ද ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ. මේ තරග ඉතිහාසයේ පළමු ජය හිමිකර ගෙන ඇත්තේ නාලන්දා කණ්ඩායමයි. ඒ, 1925 පැවැති දෙවැනි තරගයේදීය. බී. එස්.

පෙරේරා නාලන්දා කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන අතර, එන්. එම්. පෙරේරා ආනන්ද කණ්ඩායමේ නායකත්වය දරා තිබේ. ආනන්ද කණ්ඩායම හාපුරා කියා මහා තරගයක් ජය ගෙන ඇත්තේ 1926 පැවැති තෙවැනි තරගයේදීය. ඒ අනුව එතෙක් මෙතෙක් පැවැති තරග 92 දී ආනන්ද කණ්ඩායම තරග 12 ක් ජය ගෙන තිබෙන අතර, නාලන්දා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 7 කි.

නාලන්දා කණ්ඩායම 1953 දී අවසන් වරට ඩබ්. ඩබ්. සිල්වාගේ නායකත්වය යටතේ ජය ගෙන ඇති අතර, ආනන්ද කණ්ඩායම අවසන් වරට 2003 දී ජය ගෙන ඇත්තේ ඩී. කරුණාරත්නගේ නායකත්වය යටතේය. දෙවැනි ලෝක යුද සමයේ 1942 - 44 සහ 48 දී මහා තරගය පවත්වා නැත. නාලන්දාවට අවසන් වරට ජය හිමි වු 1953 ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයන් අතරින් දැනට ජිවතුන් අතර සිටින්නේ පස් දෙනෙකි. නිහාල් විතාන දැනට එංගලන්තයේ වාසය කරන අතර, අමරසිරි ගුණසේන, චන්ද්‍රසිරි වීරසිංහ, චන්ද්‍ර මෙන්ඩිස් සහ නලින් පෙරේරා මෙරට වාසය කරති. කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේ ජෙරී ගුණරත්තයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් වරම් හිමි කරගත් නාලන්දා ක්‍රීඩකයන් සංඛ්‍යාව 14 දෙනෙකි. ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම නායකයා බිහි වන්නේ ද නාලන්දා විද්‍යාලයෙනි. බන්ධුල වර්ණපුර ගෙන් ආරම්භ වන එකී ඉතිහාසයේ කිර්තීමත් නායකයකු වන්නේ මහේල ජයවර්ධන ය. ගාමිණි වික්‍රමසිංහ, අනුර රණසිංහ, අසංක ගුරුසිංහ, චාමර දුනුසිංහ, කුමාර් ධර්මසේන, සනත් කළුපෙරුම, ඉෂාර අමරසිංහ, රොෂාන් ගුණරත්න, රොෂාන් මහානාම, ශාන්ත කලවිටිගොඩ, ලලිත් කළුපෙරුම සහ යොහාන් ගුණසේකර ක්‍රිකට් ක්‍රීඩාවෙන් නාලන්දා විද්‍යාල මාතාවට මෙන්ම රටට ද කීර්තිය ගෙනදුන් ක්‍රීඩකයන්ය.

ආනන්ද- නාලන්දා තරග ඉතිහාසයේ සිවු වරක් නාලන්දා කණ්ඩායම වෙනුවෙන් පිය පුතුන් මහා තරගයක නායකත්වය දරා ඇත. 1929 දී නෙල්සන් කරුණාරත්න සහ 1978 දී සුරංජිත් කරුණාරත්න හාපුරා කියා මෙකී ඉතිහාසයට එක්ව ඇති අතර, 1971 දී බන්දුල වර්ණපුර, 2004 දී මධුර වර්ණපුර සහ 2008 දී මාධව වර්ණපුර අවසන් වරට මේ තරග ඉතිහාසයට එක්ව ඇති පිය පුතුන්ය. ඉන්පසු ඉතිහාසයට ආනන්ද පිය-පුතු යුගලක් හෝ ඇතුළත් නොවීම ද විශේෂත්වයකි.

සහෝදරයන් මහා තරගයක නායකත්වය දැරූ අවස්ථා හතක් මෙකී තරග ඉතිහාසයේ හමු වේ. 1949 දී නෙල්සන් පෙරේරා, 1960 දී ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ 1962 දී අශෝක පෙරේරා නාලන්දා කණ්ඩායම වෙනුවෙන් හාපුරා කියා නායකත්වය දැරූ සහෝදරයන් ලෙස වාර්තා වේ. අවසන් වරට ද නාලන්දා කණ්ඩායමේ මධුර වර්ණපුර 2004 දී සහ මාධව වර්ණපුර 2008 දී නාලන්දා කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දරා ඇත. ආනන්ද කණ්ඩායම වෙනුවෙන් 1968 සුනිල්, 1970 මිත්‍ර සහ 1975 දී සිදත් වෙත්තමුණි සහෝදරයන් නායකත්වය දරා තිබේ. 2007 දී දිනේෂ් චන්දිමාල් සහ 2019 (90 වැනි මහා තරගයේදී) කමේෂ් නිර්මාල් ආනන්ද කණ්ඩායමේ නායකත්වය දැරිය.

කණ්ඩායම් දෙකටම සහෝදරයන් ක්‍රීඩා කළ අවස්ථා පහක් ද මෙකී තරග ඉතිහාසයේ හමුවෙයි. 1924 නාලන්දා කණ්ඩායමට එෆ්. අමරසූරිය ක්‍රීඩා කර තිබෙන අතර, බී. අමරසූරිය 1929 දී ආනන්ද කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ. අවසන් වරට මෙසේ දෙපිළටම ක්‍රීඩා කළ සහෝදරයන් වන්නේ මතීෂ පෙරේරා 2008 දී ආනන්ද කණ්ඩායමට සහ අෂාන් ප්‍රියංජන පෙරේරා 2007 - 08 දී නාලන්දා

කණ්ඩායමට ද ක්‍රීඩා කර ඇත. මුල්ම ශතකලාභියා නාලන්දා කණ්ඩායමේ පී. එම්. ජයතිලකයි. ජයතිලක 1928 දී ලකුණු 111ක් රැස් කර තිබේ. අවසන් ශතකලාභියා රවීන් ද සිල්වායි. 2020දී රවීන් නොදැවී ලකුණු 100ක් රැස්කර තිබේ. ආනන්ද පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 1999 දී තිළිණ කණ්ඩම්බි රැස් කළ ලකුණු 144 යි. නාලන්දා පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 1997 දී ශාන්ත කලවිටිගොඩ නොදැවී රැස් කළ ලකුණු 149 යි.

වසර 69කට පසු ලැබූ මේ අනර්ඝ ජයග්‍රහණය පිළිබඳ නාලන්දා විදුහල්පති තිලක් වත්තුහේවා ‘සිළුමිණ’ට අදහස් දැක්වූයේ මෙසේය.

“අවුරුදු 69කට පස්සේ ලබා ගත් මේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා. දින දෙකක තරගයක ඉනිම් හතරක් අවසන් කරගෙන තරගයක් දිනනවා කියන එක ලෙහෙසි නෑ.ඒ වගේ ම අවුරුදු 69ක ඉතිහාසයේ අපි මෙහෙම ජයග්‍රණයක් ලබාගෙන තිබුණෙත් නෑ. පහුගිය අවුරුදු දෙකේම මහා ක්‍රිකට් තරගය පැවැත්වුණෙ නෑ. මහා ක්‍රිකට් තරගයක් ජය ගන්නවා කියන්නේ ඕනෑම පාසලකට ආඩම්බරයකට හේතුවක්. අද අපි ඒ ජය භුක්ති විඳිනවා. එහෙම කියලා අපේම සහෝදර පාසල, ආනන්ද විද්‍යාලය පරාජය කළා කියලා උදම් අනන්න ලෑස්ති නැහැ. මේ අපේ හැම කෙනෙක්ගෙම කැපවීම නිසා ලබාගත් ජයග්‍රහණයක්. මම විදුහල්පතිවරයා විදිහට නාලන්දා විද්‍යාලයට එන්නේ 2017 දී. 2018-2020 කාලවල අපි උපරියෙන්ම කැපවීම් කරලා, මහන්සි වෙලා තමයි මේ තරගයට ආවේ. අද වෙන කොට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනකු අපේ කණ්ඩායම නියෝජනය කරනවා. ඒ නිසාම අපි මේ මහා තරගයට ගියේ සමබර කණ්ඩායමක් එක්කයි. අපට වෙනසක් කරන්න ඕනෑකම තිබුණා. ඉතිහාසය වෙනස් කරන්න විශ්වාසයක් තිබුණා. මේ හැම කෙනෙකුගේම එකමුතුකම තුළින් ලබා ගත් ජයග්‍රණයක්. උත්සාහය, උනන්දුව සහ කැපවීම තියෙනවා නම් ඉලක්කවලට අපිට ලෙහෙසියෙන්ම ළඟා වෙන්න පුළුවන්. පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා විදියටත් සංගමයක් විදියටත් හැම වෙලාවේම වැඩ කරන්නේ ක්‍රීඩාවේ උන්නතිය

වෙනුවෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්නයි. මේ සමස්ත ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල සහයෝගයක් වගේම සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා. පාසල් ක්‍රිකට් සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 40ක් විතර වැය කරනවා.

අවුරුදු 69කට පස්සේ ලබා ගත් ජයග්‍රහණයේදී අපට උදවු උපකාර කළ විශාල පිරිසක් හිටියා. මවුපියන්, පුහුණුකරුවන්, ආචාර්ය මණ්ඩලය, ආදී සිසුන්, ආදී නාලන්දීය ක්‍රිකට් සංගමය වගේම විශේෂයෙන් සිහිපත් කරන්න ඕනෑ,පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට හැම අතින්ම උදවු උපකාර කරන පාලින්ද සමරසිංහ ඇතුළු හැම දෙනාගේම අතදීම නිසා තමයි අපට මේතරම් දුරක් එන්න පුළුවන් වෙලා තියෙන්නේ.”

සේයා- නිශ්ශංක විජේරත්න

 

 

Comments