මගේ දුක අහන්න ගිහින් අවසානයේ එයාට මාව කරගහන්න වුණා එයා මගේ පළමු පෙම්වතාගේ යාළුවා | Page 2 | සිළුමිණ

මගේ දුක අහන්න ගිහින් අවසානයේ එයාට මාව කරගහන්න වුණා එයා මගේ පළමු පෙම්වතාගේ යාළුවා

සජිත්ව අඳුර ගත්තේ මට අවුරුදු 21දී. 22දී ආදරෙයි කිව්වා. 23දී විවාහ වුණා

අපි ෆීල්ඩ් එකට එන කාලේ ඕවා තිබ්බේ නැහැ. මම එහෙම එක දිගට ගීත නිර්මාණය කරන කෙනෙකුත් නෙමෙයි.

ඒකාලේ නුවර ෂෝ එකකට ශානිකා එනවා කියන්නේ මොන වැඩේ තිබ්බත් මම ඒ ෂෝ එක බලන්න යනවා. ශානිකාගේ සැමියා

 

වයස අවුරුදු හයක දැරියකට ස්වප්තස්වරයට දහස් ගණක් ඉදිරියේ ගී ගයන්නට තරම් හයියක් කොහෙන්ද කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අද වගේ නෙමෙයි මීට දශක දෙකකට පමණ පෙර තාක්ෂණය එතරම් දියුණුත් නැති කාලේ ඈට හයියක් වුණේ ආදරණීය දෙමාපියන් . එදා වගේම අදත් ප්‍රසංග වේදිකාව දෙවනත් කරන ඈ බේබී ශානිකා. මේ වතගොත ඈ හා ඇයගේ ජීවන වේදිකාව ස්වයංපෝෂිත කරන්න උර දෙන ආදරණීය සැමියා සජිත් ඩිලේන්ද්‍ර ගැනයි.

ගෙදර වැඩ කටයුතු එක්ක සංගීතය මග හැරිලද ශානිකා..?

සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. මේ දවස්වල මම අලුත් ගීතයක් කළා. ප්‍රියන්ත නාවලගේ තමයි සංගීතය නිර්මාණය කළේ. පද මගේ රසිකාවියක් ගේ. එයාගේ සැමියාගේ උපන් දිනයට තෑග්ගක් විදිහට තමයි එයාට ගීතයක් කරන්න අවශ්‍ය වෙලා තිබ්බේ. නිතරම පද රචනා එවන අය ඉන්නවා. නමුත් මේ වචන ටික දැක්ක ගමන් හොඳයි කියලා හිතුවා. ඉතිං ගීතයක් කළා. ළඟදීම ගුවන් විදුලියෙන් අහන්න පුළුවන් වෙයි.

රූප රචනා කියන්නේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා, ශානිකා තවම රූප රචනා කරලා නැහැ නේද ..?

අපි ෆීල්ඩ් එකට එන කාලේ ඕවා තිබ්බේ නැහැ. මම එහෙම එක දිගට ගීත නිර්මාණය කරන කෙනෙකුත් නෙමෙයි. ගීතයක් කළත් මුලින්ම මම ඒක ගයන්නේ ප්‍රසංග වේදිකාවේ. එෆ් එම් වලට දෙන්නේ නැහැ. ලොකු කමකට නෙමෙයි. හැම මාධ්‍යක්ම මට උදව් කරනවා. නමුත් රූප රචනා නැති වුණත් මගේ ගීත ජනතාව අතරට ගියා. මේ ගීතයට රූප රචනාවක් කරන්න අදහසක් තියෙනවා. වෙඩින් එකක ප්‍රී ශූට් එකක් ගීතයට ගන්න හිතාගෙන ඉන්නවා.

ඔබ දූවරු දෙන්නෙක් හා පුතෙක් ඉන්න අම්මා කෙනෙක් , ගෙදර යුද්ධයක් වගේ ඇති..?

ලොකු දුව ස්වේතා ඩියෝනී. වයස අවුරුදු 16යි. දෙවැනියා පුතා ශවීන් දුනික. එයාට දැන් අවුරුදු දාහතරයි වයස. පොඩි දුව ෂෙනෙල් දිමිත්‍රී. එයාගේ වයස අවුරුදු එකොළහයි. ලොකු දුව නම් එයාගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. අනිත් දෙන්නා දවසකට තුන් හතර වතාවක් රණ්ඩු කරනවා. ඒ වුණාට සෙල්ලම් කරන්නෙත් දෙන්නා එකට. මොනවා වුණත් මම හරි වාසනාවන්තයි මේ වගේ දරුවෝ තුන් දෙනෙක් ලැබීම ගැන . මට හරියට උදව් කරනවා. මගේ ජොබ් එක තෙරුම් ගත්ත දරුවෝ තුන්දෙනෙක් මට ඉන්නේ.

දළදා මාළිගාවට ගිහිං නුවර කොල්ලෙක් විවාහයට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරද්දී වයස කීයද..?

මට වයස අවුරුදු 16යි. ඒ කාලේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන වත් හිතලා තිබ්බේ නැහැ. මගේ අයියාගේ බිරිඳ ගේ පවුලේ අය එක්ක මාළිගාවට ගියා. අපි ආගමේ. අයියගේ බිරිඳ බෞද්ධ. එයා කිව්වා ප්‍රාර්ථනා කරන දෙයක් ලැබෙනවා ඔයත් මොනා හරි හිතන්න කියලා. විහිළුවට වගේ මම කිව්වා දළදා හාමුදුරුවනේ මට නුවර කොල්ලෙක් ලැබෙන්න කියලා. කොහොම හරි ඒක ඇත්තක් වුණා .

ගම අලුත්ගම, ඇයි නුවරට ඔය තරම් කැමති ..?

මම සීතලට ආසයි. අදටත් ට්‍රිප් එකක් යමු කිව්වොත් මම යෝජනා කරන්නේ නුවරඑළිය. ඉස්සර නුවර සනීප සීතලක් තිබ්බා. ඒ නිසා තමයි කැමති වුණේ

පළමු පෙම්වතා ගේ යාළුවා අවසානයේ සැමියා වුණා. ප්‍රාර්ථනා කරපු විදිහට නුවර කොල්ලෙක් එක්ක විවාහ වෙන්න ලැබුණා නේද ..?

ප්‍රාර්ථනාව නම් හරි ගියා. එයා මගේ පළමු පෙම්වතාගේ යාළුවා . මගේ ආදර කතාව බ්‍රේකප් වුණා ට පස්සේ සජිත් තමයි මගේ දුක අහපු කෙනා. අන්තිමට හිතපු නැති විදිහට අපි දෙන්නා හොද යාළුවෝ වුණා.

කොහොමත් මට වැඩිපුරම යාළුවෝ හිටියේ පිරිමි ළමයි. ඒ නිසා මම එයාලගේ සිතුම් පැතුම් තේරුම් අරන් හිටියේ . සජිත් හරියට මගේ තාත්තා වගේ. මම ගැන නිතරම හොයලා බැලුවා. දවසක් එයා විවාහයට මට යෝජනා කළා. විරහ වේදනාව විඳලා තිබ්බ නිසා මට බය හිතුණා. මම සජිත්ට කිව්වා මගේ අම්මා තාත්තා ට කියන්න කියලා . සජිත්ව අඳුර ගත්තේ මට අවුරුදු 21දී. 22දී ආදරෙයි කිව්වා. 23දී විවාහ වුණා .

මගේ දුක අහන්න ගිහිං අවසානයේ එයාට මාව කරගහන්න වුණා . එහෙම වුණු එක හොදයි . ඒ නිසානේ මට හොද සැමියෙක් ලැබුණේ.

ඒ වගේම කියන්න ඕන අවුරුදු 16ක් මාව ප්‍රසංග වලට අරන් ගියේ අම්මයි තාත්තයි . ඒ දෙන්නා ඒ වගකීම අන්තිමට සජිත්ට භාර කළා .

අම්මයි තාත්තයි නේද ශානිකා කියන නමට ඉදිරියෙන් බේබී කියන කොටස දැම්මේ..?

ඔව්. මම ඒ කාලේ පුංචි කෙල්ලෙක් නිසා ප්‍රසංග වේදිකාවට ඒ නම ගැළපෙනවා කියලා අම්මයි තාත්තයි බේබී කෑල්ල එකතු කළා.

දරුවෝ සංගීතයට ළැදියිද..?

තුන් දෙනාම සිංදු කියනවා. දක්ෂයි. ලොකු පුතා ඩ්‍රම්ස් ගහන්නත් දක්ෂයි. නමුත් ලොකු දුවට එහෙම තේරෙනවා සංගීතය නිසා මම කන කට්ට. නිදිමරාගෙන මෙහෙම දුක් විදින්නෙ ඇයි කියලා එයාලා හිතනවා. ටිවී එක ඉස්සරහා පේන සුන්දර ජීවිතේ නෑ. ඒ නිසා කලාව නම් එයාලා රැකියාව විදිහට තෝරා ගන්නේ නැති වෙයි.

ශානිකා ඒ විදිහට කතා කරද්දී ඇයගේ සැමියා සජිත්ගෙන් මුලින්ම මෙහෙම අහන්න හිතුණා . සජිත් ශානිකා ඔය තරම් තර වෙලා ඉන්නේ කෑම කාලද එහෙම නැත්නම් හිනා වෙලාද..?

ඔය කාරණා දෙකම නිසා. හොදට කන්නත් පුළුවන්. හිනා වෙන්නත් පුළුවන් .

අනේ ශානිකා ටිකක් බර අඩු කර ගන්නකෝ කියලා කියන්නේ නැද්ද ..?

ඊයේ පෙරේදත් කිව්වා. ඒ වචන ඇහෙද්දී මාත් එක්ක තරහා වෙනවා. ජිම් ගියා කොවිඩ් නිසා ඒකත් නතර වුණා. දැන් තෙල් ප්‍රශ්න. පොඩ්ඩක් ඇවිදින්න කියලත් මම නිතරම කියනවා ශරීර සෞඛ්‍ය ට හොද නිසා. ඒත් තවම ඒ දේ පටන්ගත්තෙත් නෑ.

ශානිකා කියන්නේ කටට රසට උයන්න දන්න කෙනෙක් ද..?

ඕනම කෑමක් රසට උයනවා. විශේෂයෙන්ම මස් වර්ග රසට හදනවා.

විවාහ වෙලා එද්දි ශානිකාට උයන්න පුළුවන් වුණා ද..?

විවාහ වෙලා එද්දි එයාට උයන්න බැහැ . නමුත් වැඩි කාලයක් යන්න කලින් එයා උයන්න ඉගෙන ගත්තා.

ශානිකා වනිගසේකර කියන්නේ ජනප්‍රිය ගායිකාවක්. ඇය වගේ කාන්තාවක් බිරිඳ වුණු එක ගැන මොකද හිතන්නේ..?

බිරිඳ ක් හැටියට මවක් හැටියට එයාගේ ඩියුටි එක හරියට කරනවා. සියයට දාහකින් හොඳ කෙනෙක්. කාත් එක්කත් කතාබහ කරලා ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම දරුවන්ගේ සියලු වැඩ කරන හොඳ අම්මා කෙනෙක් . සමහර දවස්වල ට ෂෝ වලට ගිහිල්ලත් බබාලගේ ඉස්කෝලේ වැඩ මෙයා එහේ ඉදලා කරලා දෙනවා. ඒ තරම් පවුල් ජීවිතේ ගැන හිතන සාර්ථක බිරිඳ ක් තමයි ශානිකා කියන්නේ .

ඒ වගේම ජනප්‍රිය වුණත් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. හොදම උදාහරණය තමයි ලොකු දුව කොළඹ ඉගෙන ගන්න යනවා. තෙල් ප්‍රශ්න නිසා කෝච්චීයේ ගිහිං එන්නේ බස් එකේ. තරුවක් කියලා හිතුවා නම් එයාට එහෙම කරන්න වෙන්නේ නැහැ .

බිරිඳ වගේ දරුවෝ කලාවට සම්බන්ධ වෙනවට ඔබ කැමතියි ද..?

මටයි ශානිකාටයි දෙන්නටම උසස් අධ්‍යාපනය හදාරන්න බැරි වුණා . අපිට කරන්න බැරි වුණු ඒ දේ දරුවෝ කරන්න ඕන. අපි දෙන්නම වෙහෙසෙන්නේ ඒකට.

තමන් කැමතිම ගායිකාව විවාහ කරගන්න ලැබෙන එකත් වාසනාවක් ..?

ඒක නම් ඇත්ත. ඉස්සර නුවර ෂෝ එකකට ශානිකා එනවා කියන්නේ මොන වැඩේ තිබ්බත් මම ඒ ෂෝ එක බලන්න යනවා. දැන් වගේ ඉස්සර ෂෝෂල් මීඩියා නෑ. ෆෝන් නෑ. ඉතිං රසිකයෙක් වුණත් කතා කරන්න ඉඩක් නෑ. අනිත් එක ජනප්‍රිය තරු ආඩම්බරයි කියලා අහලා තිබ්බේ. ඒ නිසා ෂෝ වලදි දැක්කත් එයාට කතා කරන්න බය හිතුණා. ගිහිං එයාගේ මුහුණ ටිකක් බලලා එනවා. ඒක තමයි එයාව අදුරගන්න කලින් කරපු දේ.

විවාහයට යෝජනා කළේ..?

යාළුවෙකුගේ මාර්ගයෙන් හඳුනා ගන්න ලැබෙනවා. ඒකත් දෛවෝපගතයි. එයාගේ දුක වගේම ප්‍රශ්න මාත් එක්ක කතා කළා . ගොඩාක් හිතවත් වුණා ට පස්සේ ඕන දෙයක් වෙච්චදෙන් කියලා මම මගේ අදහස යෝජනා කළා . වාසනාවකට දෙමාපියන් පවා කැමති වුණා .

ශානිකා පළමු පෙම්වතා තවමත් මග තොටේදි මුණ ගැහෙනවා ඇති, ඒ ගැන කියලා මේ කතා බහට සමු දෙමු..?

නුවරදි ඉඳ හිට මුණ ගැහෙනවා වෛරයක් නැහැ ඒ ගැන දැන් හිතේ කොනකවත් මොකුත් නැහැ. ඊට වඩා සජිත් ලැබිම වාසනවක් කියලා හිතනවා.

Comments