අයියලා තුන්දෙනාට නිදහසේ ආදරේ කරන්නවත් චාමික ඉඩ දුන්නෙ නෑ | සිළුමිණ

අයියලා තුන්දෙනාට නිදහසේ ආදරේ කරන්නවත් චාමික ඉඩ දුන්නෙ නෑ

චාමිකටත් පෙම්වතියො  ඉන්න ඇති. ඒත් දැන් ඉන්නවද දන්නෙ නෑ

පුතුන් හතර දෙනකුගෙන් යුතු පවුලේ බාලයා වීම සියලු වරප්‍රසාද හා ආදරය වැඩි වශයෙන් ලැබීමට හේතුවකි. වර්ෂ 1996 මැයි මස 26 වැනිදා ලුවි කරුණාරත්න හා මිත්‍රා මෙන්ඩිස් දාව උපදින හුරුබුහුටි කොලු පැටියාට ඔවුහු චාමික කරුණාරත්න යැයි නම් තැබුහ. එතැන් පටන් ඔහු මවුපියන්ගේ හා වැඩිමහල් සහෝදරයන් තිදෙනාගේ ද ආදරය නොඅඩුව ලබමින් ජීවන චාරිකාව ගත කළේය. එහි ප්‍රතිඵලය වන්නේ ඔහු ලෝකයක් දැන හදුනා ගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත් වීමය.

“චාමික පුතා අපේ තුන් වැනි පුතාට වඩා අවුරුදු නවයක් බාලයි. ඒ නිසා ගෙදර හුරතල්ම කොල්ලා චාමික පුතා තමයි. හැමෝම එයාට ආදරෙයි. රණ්ඩු වුණත් අයියලා එයාට කියන්නේ, ඔයා ඉතින් අපේ චූටි මල්ලිනේ කියලා. දරුවෝ හතර දෙනාම හරිම එකමුතුයි.

පුංචි කාලේ ඉඳලා දරුවෝ හතර දෙනාම කවදාවත් සෙල්ලම් බඩු ඉල්ලලාවත් අඬලා නැහැ. දඟකාරකම් කියන්නේ කොලුකමට කරන ඒවනේ. අපේ ගම බලපිටිය. ගමේ සුන්දරත්වය උපරිමයෙන් එයාලා අත් වින්දා. දුවන පනින ඒවා කළා. මොකුත්ම නැත්නම් චාමික ගහකට හරි නඟිනවා.

ක්‍රිකට් පිස්සුව තිබුණට ගේ ඇතුළේ දේවල්වලට පුතා හානි කරලා නැහැ. ගේ ඇතුළේ කණුවක බෝලයක් දාපු මේස් එකක් ගැට ගහලා ඒක බිත්තියේ වද්දනවා. එතකොට ටොක් ටොක් කියන සද්දේ එනවනේ. එහා පැත්තේ ගෙදර අයටත් ඒ සද්දේ ප්‍රශ්නයක්. අන්තිමට මම එයාලට කිව්වා ඒ පුතා බෝලෙට ගහන සද්දේ, වරදක් කරනවා නෙමෙයි නේ කියලා. ඒ විදිහට තමයි චාමික ජීවත් වුණේ..“

එසේ කියමින් සිය ආදරණීය පුතුනුවන්ගේ දස්කම් ගැන හඬ අවදි කළේ චාමික ගේ මව වන මිත්‍රා ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ චාමික අධ්‍යාපනයටත් දක්ෂ සිසුවෙකී. ක්‍රීඩා කිහිපයක නිරත වූ ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන්ද උසස් ලෙස ප්‍රතිඵල ලබා ඇත. එනිසාම ඔහු පාසලේ දක්ෂතම සිසුවාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

“චාමික පුතා හොඳින් ඉගෙන ගත්තා. එයාට පාසලෙන් ලැබුණු දක්ෂතම සිසුවාට හිමි සම්මානයේ සහතිකය තවම ගන්න බැරි වුණා. එදා එයාට යන්න බැරි වුණා. මම ළඟදිත් පුතාට ඒ ගැන මතක් කළා. ඒවා තමයි පුතාගේ වටිනාකම්.

ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්නම ඕන දෙයක් තියෙනවා. අපි පවුල පිටින් කතරගම ගිය වෙලාවක නෙළුම් මල් වට්ටියක් අතට දීලා මම චාමික පුතාට කිව්වා, පුතේ හොඳින් ඉගෙන ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා වඳින්න කියලා. පුතා බෝධියට මල් පූජා කරලා වැන්දා. මම ඇහුවා පුතේ මොනාද ඔයා වැඳලා ප්‍රාර්ථනා කළේ කියලා. එයා කිව්වා අම්මේ මම ඉල්ලුවේ හොඳට ක්‍රිකට් ගහන්න ලැබෙන්න කියලා. ඇත්තටම ඒ වෙලාවේ නම් මට තරහා ගියා. පුතා ඒ වෙද්දී පළමු ශ්‍රේණියේ හිටියේ. මම එයාට අතින් ගහලා තරවටු ක‍ළා. මොකද ඒ වෙද්දී එයාව ක්‍රිකට්වලට යොමු කරන්න හිතලා තිබ්බේ නෑ. මම ළඟදිත් පුතාට ඒ සිද්ධිය මතක් කරලා කිව්වා, ඒ කාලේ හුරතල් හිතින් කරපු ප්‍රාර්ථනාව හරි ගිය නිසා අපි ආයෙමත් කතරගම යමු කියලා..“

නොදැනුවත්වම වුවත් එදා කුඩා දරුවකු ලෙස චාමික කළ ප්‍රාර්ථනාව අද මල්ඵල ගැන්වූ ඇති අයුරු ඔහුගේ මව පැවසුවේ හද පිරි සතුටිනි.

චාමිකගේ සහෝදරයන් තුන් දෙනාම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට යද්දී චාමික පමණක් ක්‍රිකට්වලින් ඉහළට ගියේ ඇයි ද යන පැනය අපි ඇයගෙන් විමසුවෙමු.

“පුතා බැඩ්මින්ටන් සෙල්ලම් කරමින් හිටියේ. නමුත් සංගම්වලින් මගේ පුතාලා හතර දෙනාටම කෙනෙහිලිකම් කළා. අනිත් දරුවෝ ඒවා ඉවසගෙන ඉහළට ගියා. නමුත් චාමික ඉවසුවේ නෑ. චාමිකට ඒක මානසික වදයක් වුණා. ඒ නිසා පාසලේ හැම ක්‍රීඩාවකටම සම්බන්ධ වුණා. අවසානයේ එයා ක්‍රිකට්වලට යොමු වුණා. අනිත් දරුවෝ තුන් දෙනා බැඩ්මින්ටන්වලින් කැපී පෙනෙන දක්ෂතා දක්වද්දි චාමික දැන් ක්‍රිකට්වලින් යම් සාර්ථකත්වයක් ලබා තියෙන එක ගැන එයාගේ අම්මා විදිහට මට හරිම සතුටුයි..“

චාමිකගේ සාර්ථකත්වය ගැන තුටු වන්නේ ඔහුගේ මවුපියන් සහ සොහොයුරන් පමණක් නොවේ. ක්‍රීඩා ලෝලීන්ද ඔහුගේ පාන්දුවේ වේගයටත් පිත්තේ හයියටත් ඇලුම් කරති. සුන්දර යෞවනයේ පසුවන චාමික දැන් පෙම්වතෙක්ද යන වගත් අපි ඔහුගේ මවගෙන් ඇසුවෙමු. ඇය ඊට පිළිවදන් දුන්නේ සිනාසෙමිනි.

“අයියලා තුන් දෙනාට ප්‍රේම සම්බන්ධතා ඇති වෙද්දී චාමික පුතා ඒ රහස් සේරම මට ඇවිත් කියනවා. එයාලට නිදහසේ ආදරේ කරන්නවත් චාමික ඉඩ දුන්නේ නෑ. ඒ කේලම් ඔක්කොම මම එයාගෙන් දැන ගන්නවනේ. ඒ වගේම චාමිකටත් පෙම්වතියො ඉන්න ඇති. දැන් ඉන්නවද දන්නේ නෑ. ඒ ගැන මාත් එක්ක කතා කරලා නැහැ. මම එයාට නීතිරීති දාලත් නැහැ. එයා එයාට ගැළපෙන කෙනෙක් තෝරා ගනියි විවාහයට. ඒත් මම කැමතියි අයියලා තුන්දෙනාම ඉක්මනින් විවාහ වුණු නිසා චාමික තව ටිකක් නිදහසේ එයාගේ ක්‍රීඩා ජීවිතේ කරගෙන ගියාට පස්සේ විවාහ වෙනවා නම්.”

චාමික සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගත් නිලූක, දිනුක සහ දනුක යන දරුවන් සිවුදෙනාගේ ආදරණීය පියා වන ලුවී කරුණාරත්න ද වසර තිහක් පුරා ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඔහු ජාතික පිහිණුම් ක්‍රීඩකයකු මෙන්ම බැඩ්මින්ටන් ශූරයෙකි. චාමිකගේ සීයා ද රගර් හා බොක්සින් ක්‍රීඩකයෙකි. ඇතැම් විට චාමික ඇතුළු සහෝදරයන්ට ඇත්තේ ද ඒ ලේ උරුමයෙන් ලැබුණු ක්‍රීඩා කුසලතාව විය හැකිය.

“ඒ හැකියාව ජානවලින් ලැබුණු දෙයක්ද කියන්න බැහැ. දක්ෂතාව එක්කම ඒකට කැපකිරීමත් එකතු කරගෙන දරුවෝ හතර දෙනාම එයාලගේ ගමන සාර්ථකව යනවා. ලොකු පුතාලා තුන්දෙනා මුලින් ඉගෙන ගත්තේ ධර්මාශෝක විද්‍යාලයෙන්. පසුව ඒ තුන් දෙනා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කළා. චාමික නම් පළමු ශ්‍රේණියේ ඉඳලා ගියේ රාජකීය විද්‍යාලයට.”

චාමිකගේ මව පැවසූ ඒ මතක තවත් දිගහරින්නට අප චාමිකගේ පියා ලුවි කරුණාරත්න ද මේ සුහද කතාබහට එක්කර ගතිමු.

“චාමික පුතා පුංචි කාලේ මම හිටියේ එංගලන්තයේ. දවසක් බිරිය කතා කරලා කිව්වා චාමික ක්‍රිකට් ප්‍රැක්ටිස් යන්න ඕන කිව්වා කියලා. මම කිව්වා කැමති දෙයක් කරන්න කියලා. රවුෆ් කියලා පාසලේ සර් කෙනෙක් හිටියා. එතුමා ළඟට තමයි පුතා ප්‍රැක්ටිස් ගියේ. රෝයල් එකේ ළමයි අතර ලොකු තරගයක් තිබ්බා. සර් මුලින්ම පුතාට බෝල හයක් දීලා තිබුණා, එක පන්දුවකට චාමික පාරෙන් එහාට යන්න ගහලා. එතකොට එයාගේ වයස 11යි. කොහොමහරි එහෙම තෝරා ගත් ලැයිස්තුවේ චාමික ගේ නම තිබිලා නැහැ. පුතා අම්මට කියලා මම එක බෝලයක් පාරෙන් එහාට යන්න ගහලත් මාව තෝරා ගෙන නැහැ කියලා. ඊට පස්සේ පුතා එක්ක බිරිය සර්ව මුණගැහෙන්න ගිහින්. සර් කිව්වලු එහෙම වෙන්නේ කොහොමද අපි බලමු කියලා. සර් මැදිහත් වෙලා පුතාගේ නම ඒ ලැයිස්තුවට දාලා. ඒ විදිහට තමයි චාමික පුතා පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තේ. පාසලේ වුණත් දක්ෂ අයට වඩා හිතවත්කම්වලට මුල් තැන දුන්නා.කොහොම නමුත් එයා 13න් පහළ ‘සී’ කණ්ඩායමට තේරිලා දක්ෂතා නිසා ‘ඒ’ කණ්ඩායමට තේරුණා. පසුව දිගටම නායකත්වය දරමින් 19න් පහළ වෙනතුරු ක්‍රීඩා කරලා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වුණා.”

එලෙසින් පාසලේ බොහෝ ක්‍රීඩා අංශවලින් දක්ෂතා දැක්වූ චාමික, ශ්‍රී ජාතික ක්‍රිකට් කණ්ඩායමට මුලින්ම එකතු වන්නේ 2019 වසරේ පෙබරවාරි මස පළමු වැනිදාය. ඒ, ටෙස්ට් හිස් වැසුම ඔහු සතු කරගනිමිනි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ක්‍රිඩා කළ චාමික, 2020 වසරේ ජුලි මස 21 වැනිදා ඉන්දියාවට එරෙහිව පන්දු වාර විස්සයි විස්ස තරගයෙන් පිටියට එකතු විය. ඔහු එක්දින පිටියට එකතු වෙන්නේ 2021 වසරේ මැයි මස 28 වැනිදාය. ඒ, බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදීය.

“චාමික මලල ක්‍රීඩාවටත් දක්ෂයි. නිවාසාන්තර ක්‍රීඩා උලෙළකදී හෙල්ල විසි කිරීමට සම්බන්ධ වෙලා සීමාව ළග ඉන්න විනිසුරුකරුට කිව්වලු සර් එහාට වෙන්න ඇඟට වැදෙයි කියලා. සර් කියලා ඔයා දාන්නකෝ මම ඒක බලාගන්නම් කියලා. පුතා හෙල්ල සෑහෙන දුරකට විසි කරලා. හැමෝටම පුදුම හිතිලා. ඒක රෙකෝඩ් එකක් බවට පත් වුණා. ඒ වගේම එයා මීටර් සියය ධාවනය කළා. පාසල් බැඩ්මින්ටන් කණ්ඩායමේ නායකත්වය දැරුවා. ක්‍රීඩා කළා. පුතා බැඩ්මින්ටන්වලින් පරාජය වෙලා තියෙන්නේ එයාගේ අයියා නිලූකට විතරයි. ඇත්තටම කිව්වොත් දරුවෝ හතර දෙනාගෙන් දක්ෂම දරුවා නිලූක. අවුරුදු 37ක් වුණත් අදටත් එයා වෙලාවට කන්නේ බොන්නේ, නිදියන්නේ, පුහුණුවීම් කරන්නේ. ඒ කැපකිරීම් ඉහළයි. චාමික මීට වඩා කැපකිරීම් කළා නම් එයත් හොඳ තැනකට යයි.”

චාමික ගේ ආදරණීය පියාණන් එලෙසින් ඔහුගේ වතගොත අප හමුවේ තැබීය. චාමික මෑතකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමට යළි එකතු වූයේ වසරකට වඩා වැඩි කාලයක් ඉක්ම ගිය පසුවය.

“පුතා අවුරුද්දක් විතර සෙල්ලම් කළේ නෑ. එයා හරියට මානසිකව වැටුණා. නිලුක පුතා තමයි චාමිකව නිතරම ධෛර්යමත් කළේ. අල්ලලා දාන්නේ නැතුව සුපුරුදු දක්ෂතා අතරට යන්න කියලා ඔහු මල්ලිට නිතරම කිව්වා. ඒ උත්සාහය සාර්ථක වෙලා චාමික නැවත කණ්ඩායමට එකතු වුණා. දැන් ක්‍රිකට් නිසා චාමික මුල්‍යමය වශයෙන් හොඳ මට්ටමක ඉන්නවා. එයා නිහතමානී, ගුණයහපත් දරුවෙක්. ලැබෙන මුදල්වලින් නිහඬ සේවයක් කරනවා. මෑතකදී චාමික ආච්චි, සීයා වෙනුවෙන් බලපිටිය ගමේ පන්සලේ දාන ශාලාව හැදුවා ලොකු වියදමක් කරලා. ඒ වගේම දුප්පත් ළමයින්ට හරි ආදරෙයි. එයාලට අවශ්‍ය පොත්පත්, උපකරණ අරන් දීලා උදවු කරනවා. පාසල් කාලේ දුප්පත් ළමයින්ට ධනවත් ළමයි සලකපු විදිහ දැකපු නිසා එයාගේ හිතේ ඒ ගැන කලකිරීමක්, කනගාටුවක් තියෙනවා. පුතා එයාගේ ක්‍රීඩාලෝලින් එක්කත් සුහදයි. දුප්පත් මනුස්සයෙක්ගේ වුණත් කරට අත දාගෙන කතා කරන්න දෙපාරක් හිතන්නේ නැහැ..“

මුල්‍ය වටිනාකම් සමඟ මිනිස් ගති පැවතුම් වෙනස් වෙන යුගයකදී ගුණයහපත් දරුවකු සමාජයට දායාද කිරීම පිළිබඳ චාමිකගේ මවුපියන්ට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

Comments