
•මේ පූජාව ඉතා ගෞරවයෙන්, භක්තියෙන් සහ විශ්වාසයෙන් කිරීමෙන් බොහෝ පීඩාවන් අවම වේවි. මේ සඳහා වෙන විශේෂ පුද පූජා, වත්පිළිවෙත් අවශ්‍ය නැහැ
•සම්මුති දේව, උත්පත්ති දේව සහ විශුද්ධි දේව යන තුන් පිරිසට පුද පූජා පැවැත්වීමෙන් තිසරණයට කිසිදු හානියක් වෙන්නේ නැහැ
ඉකුත් ජූලි 16 වැනිදා ග්‍රහ ලොව පාලකයා හෙවත් රජු ලෙස සලකන රවි ග්‍රහයා සඳු හිමි කටක රාශියට පිවිසීමත්, එදිනම මධ්‍යම රාත්‍රියේ බුධ ග්‍රහයා තමන්ට සතුරු රාශියක් වන කටක රාශියට පිවිසීමත් යන ග්‍රහ පෙරළි අපේ රට තුළ ද නිර්මාණය කරන්නේ පෙරළිකාරී තත්ත්වයක්ය.
මෙම පෙරළිකාරී තත්ත්වයන් හමුවේ අදුරදර්ශී බුද්ධි ගෝචර නොවන තීන්දු තීරණ ගතහොත් ඉන් ලැබෙන්නේ එතරම් ශුභදායක ප්‍රතිඵල නම් නොවේ. " මේ ග්‍රහචාරය රටට සෘජුවම බලපානවා. සමහර අවස්ථාවලදී අප පිහිට පතන දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය පවා අභිබවා මේ ග්‍රහ පෙරළිවල අනිටු විපාකවලට මුහුණ දෙන්න පවා සිදු වෙන්න පුළුවන්. තමන්ට පින් අනුමෝදන් කරන, පංච බලය ප්‍රාර්ථනා කරන අයට පිහිට වෙන්න බැරි වීම නිසා දෙවි දේවතාවුන් පවා කනස්සල්ලට පත්වෙන කාල වකවානුවකුයි අපට දකින්න ලැබෙන්නේ. මේ වගේ අවස්ථාවලදී අප ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. මේ තත්ත්වයන් ගැන අප දැනුවත්ව සිටිය යුතුයි.
බොහෝ අය දෙවියන් පිළිබඳව තියන ගෞරවය, විශ්වාසය පවා අඩු කර ගන්නෙ මෙන්න මෙහෙම අවස්ථාවල. බුදු දහම කියන්නෙ දේව වාදයට අනුකූල වූ ආගමක් නොවුණත් ගෞතම බුදු සසුන කෙරෙහි සිත් පැහැදී සිටින බුද්ධ ශ්‍රාවක දෙවි දේවතාවුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සිටින නිසා අපේ බොදු වත් පිළිවෙත්වලදී අප එම දේව සමූහයා කෙරේ අවධානය යොමු කළ යුතුයි.
තිසරණයෙහි පිහිටි බොදුනුවන් විසින් සිදු කරනු ලබන කුසල් අනුමෝදන් වීමෙන් ප්‍රසාදයට පත්වන මේ සම්‍යක් දෘෂ්ටික බුද්ධ ශ්‍රාවක දෙවි දේවතාවුන් තම පිහිට පතන අයට අනන්ත පිහිට වෙනවා. ඒ නිසා තමයි අපට නොපෙනෙන ලෝකයන්හි වාසය කරන ඒ ජීවී ආත්මීය බලවේග සමඟ අනාදිමත් කාලයක සිට බැඳුණු පුද සිරිත්, වත්පිළිවෙත්වල යෙදෙන අය බවට අපේ ජීවිත පත්වී තිබෙන්නේ.
බුදු දහමට අනුව මෙසේ අපට පිහිට වන දෙවි දේවතාවුන් සම්මුති දේව, උත්පත්ති දේව සහ විශුද්ධි දේව වශයෙන් කොටස් තුනකට බෙදා දක්වනවා. මින් සම්මුති දේව කියන්නේ, මහජන ගෞරවය දිනාගත ගහැකි ආකාරයට ජනතාවට සේවය කර පිහිට වී මිය පරලොව ගිය රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු ප්‍රභූන් නායකයන් දේවත්වයෙන් සලකන්න ජනතාව කටයුතු කරනවා. ඒ මිය පරලොව ගිය අය ආත්මීය බලවේග ලෙස කටයුතු කරමින් තමන්ට හුරුපුරුදු උපකාර කිරීම පිහිටවීම සිදු කරනවා. මින්නේරි දෙවියන් සහ මහසෙන් දෙවියන් එවැනි දෙවිවරු.
ඊළඟ දේව කොට්ඨාසය උප්පත්ති දේව නමින් හඳුන්වනවා.භූමි ආශ්‍රිතව පහළ වූ මෙම දෙවිවරුන් අනන්ත අප්‍රමාණ යහපත් කටයුතුවල නිරතවීමෙන් රැස්කරගත් අසීමිත වූ කුසල් බලයෙන් එසේ දේවාත්ම ලබා පහළ වූ දෙවිවරු. ශ්‍රී විෂ්ණු , කතරගම, සමන්, පත්තිනි දැඩිමුණ්ඩ වැනි දෙවිවරුන් ඒ ආකාරයට උප්පත්ති දේව ගණයට වැටෙන දෙවිවරුන්. විශුද්ධි දේව ගණයට අයත්වන්නේ කෙලෙස් සිඳලූ බුදු පසේ බුදු රහත් වැනි ආර්යයන් වහන්සේලා.
මේ තුන් පිරිසටම පුද පූජා පැවැත්වීම, වතාවත් ඉටුකිරීම, බෞද්ධයාට කැප සුදුසු උචිත පුද පූජා වත්පිළිවෙත්, පුද සිරිත් පැවැත්වීමෙන් තිසරණයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. එසේ කරන අයට මෙලොව, පරලොව සෙත ශාන්තිය සැලසෙනවා.
බුද්ධ කාලයේ දී විශාලා මහ නුවර ඇති වූරෝග, අමනුෂ්‍ය , දුර්භික්ෂ යන තුන් බිය දුරු කරලීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ මෙසේ සඳහන් වෙනවා.
තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවාච රත්තෝච, හරන්ති යේ බලිං
තස්මාහි නේ රක්ඛථ අප්පමත්තා
මේ ගාථා රත්නයෙන් කියවෙන අදහස සරලව ගත්තොත් මෙසේය.
“අමනුෂ්‍යයනි, යම් කරුණක් සඳහා තොප රැස්වී සිටින්නහු ද එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසව්. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරව්. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දහවල්හි තොපට පූජා ගෙනෙත් ද එහෙයින් ඔවුන් රකිව්”
බුදු පියාණන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවලට අනුව මේ බුද්ධ ශ්‍රාවක දෙවි දේවතාවුන් වෙනුවෙන් පුද පූජා පවත්වා වත්පිළිවෙත් ඉටුකොට දෙවියන්ට පින් අනුමෝදන් කිරීම අප සියලු දෙනාටම කුසල් වැඩෙන මහා පින්කමක්. ඒ නිසයි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා ආරම්භයේ දේවාරාධනා කරලා එම පිරිත් ශ්‍රවණයට ආරාධනා කරන්නේ. මේ ආරාධනා ගාථාව සඡ්ඣායනා කරලා දෙවියන්ට පින්දීම දෙවියන්ගේ පිහිටාධාරය, ආරක්ෂාව, ඇල්ම බැල්ම, ආකර්ෂණය ලබා දෙන ඉතා ප්‍රබල ජූජා විධියක්.
ඔබ දිනපතා බුදු පහන තබන තැන සුපුරුදු ලෙස බුද්ධ පූජාව තැන්පත් කොට බුද්ධ පූජා පවත්වලා ඉන් අනතුරුව දෙවියන්ට පින් දීමට පෙර පහත ගාථාවෙන් දෙවියන්ට ආරාධනය කරන්න මතක තබා ගන්න දෙවියන්ට අවශ්‍ය පින්. මෙසේ දෙවියන්ට ආරාධනය කරන කොට පැමිණෙන දෙවියන්ට ඔබ පින් දිය යුතුයි. පින් දෙන්න නම් ඔබ ළඟ පින් තියෙන්න ඕනෑ වගේම දෙවියන්ට වඩින්න සුදුසු පරිසරයක් නිවෙසේ ඔබ බුදු පහන තබන ස්ථානයේ තිබිය යුතුයි.
නිතර මත්වතුර භාවිත කරන නිවෙස්වලට දෙවියන් වඩින්නේ නැහැ. වඩින්න බැරි තැනකට වඩින්න කියලා ආරාධනය කළාම සිදුවන්නේ දෙවියන් කෝප වීමයි. ඒ නිසා මේ ගාථාවෙන් දෙවියන්ට ආරාධනය කරනවා නම්, සිත, කය සහ වචනය යන තුන් දොර පළමුවත් පුද පූජා තබන ස්ථානය දෙවනුවත් පිරිසුදු කරගත යුතුයි. අඩුම ගානේ පංචශීලයවත් ආරක්ෂා කරගන්න වෙහෙසෙන අයට දෙවියන් ඉතා ප්‍රිය කරනවා. ඒ වගේම පිරිත් ශ්‍රවණයට දෙවියන් බොහෝ ඇලුම් කරනවා. මේ ගැන විශේෂයෙන් සිතන්න.
බුද්ධ පූජා නිම කර දේවාරාධනා ගාථාවෙන් දෙවියන්ට ආරාධනය කොට රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වැනි ඔබට පාඩම් පිරිත් සූත්‍රයක් සඡ්ඣායනා කර දෙවියන්ට පින් දෙන්න
මේ පූජාව ඉතා ගෞරවයෙන්, භක්තියෙන් සහ විශ්වාසයෙන් කරන්න. ඔබ නොසිතූ විරූ ආකාරයට ඔබේ බොහෝ පීඩාවන් අවම වේවි. මේ සඳහා වෙන විශේෂ පුද පූජා, වත්පිළිවෙත් අවශ්‍ය නැහැ. ඔබ මෙතෙක් කරගෙන යන පුද පූජා අතරට මේ ගාථාව එක් කර ගැනීම පමණයි කළ යුත්තේ.
දේවාරාධන ගාථාව
සග්ගේ කාමේච රූපේ
ගිරි සිඛර තඨෙ චාන්තලික්ඛේ
විමානේ දීපේ රට්ඨෙච ගාමේ
තරුවන ගහණේ ගේහ වත්ථුමහි
ඛෙත්තේ භුම්මා ඡායන්තු
දේවා ජලතල විසමේ යක්ඛ
ගන්ධබ්බානාගා තිට්ඨන්තා
සන්තිඛේ දං මුණිවර වචනං සාධවෝ
මේ සුණත්තු
සකස් කළේ, සුනිල් පොරමඬල