
ඉකුත් 20 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සුවිශේෂී දිනයක් වූයේ හිස්වූ ජනාධිපති ධුරය වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගැනීම වෙනුවෙන් ඡන්ද විමසීම පැවැත්වීම නිසාය. ඒ සඳහා මන්ත්‍රීවරු දෙදෙනකු හැරෙන්නට සියලුම මන්ත්‍රීවරු සහභාගි වූ අතර රෝහල්ගත වී සිටි මන්ත්‍රීවරු දෙදෙනකු ද ඒ අතර විය. පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරේදීය. සිරුරට සේලයින් බෝතලයක් ද සම්බන්ධ කර තිබූ අතර ඔහු ඉතා අසීරුවෙන් පැමිණ ඡන්දය ප්‍රකාශ කරන අයුරු දැකගත හැකි විය. නම අඩගසන තුරු නොසිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවේ අවසරය පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා මන්ත්‍රීවරයාට අවස්ථාව ලබාදුන්නේ යළි රෝහල්ගත වීම සඳහාය.
“ත්‍රස්තවාදය වෙනුවට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ඒ අවස්ථාවට සහභාගි වීම මගේ යුතුකම සහ වගකීම බව විශ්වාස කළ නිසයි අසනීප තත්ත්වයෙන් වුවත් ඒ අවස්ථාවට සහභාගි වුණේ”
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් එසේ පැවසුවේ මහජන නියෝජිතයකු ලෙස සිය වගකීම පිළිබඳ අදහස් දක්වමිනි.
‘‘විශේෂයෙන් පහුගිය කාලේ රට පුරා පැතිරුණු අවනීතියෙන් සහ ත්‍රස්තවාදයෙන් බැටකාපු කෙනෙක් විදිහට මට ඒක අතපසු නොකළ හැකි වගකීමක්” යනුවෙන් ද ඔහු සඳහන් කළේය. ඉකුත් මැයි 9 වැනිදා රට පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් දාමයේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ලෙස කුරූණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කුලියාපිටිය ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක සමන්ප්‍රිය හේරත්ට අයත් කුලියාපිටිය නගරයේ පිහිටි කාර්යාලයත් කඩහපොල පිහිටි නිවෙසත් විනාශයට පත්විය.
“මේ දේවල් අපිට නුහුරු දේවල් නෙවෙයි. මගේ පියාත් දේශපාලනයට සම්බන්ධ නිසා කුඩා කාලයේ සිටම දේශපාලන පරිසරයක් අපේ පවුලට තිබුණා. ඒ නිසාම මමත් පාසල් කාලයේ සිට පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණා. 1982 ජනමත විචාරණය පැවති අවස්ථාවේදිත් මේ වගේම සිදුවීමකට මුහුණ දුන්නා. ප්‍රතිවාදීන් අපේ ගෙදර වටකරලා අපිට ගොඩක් හිරිහැර කළා. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක් දේශපාලන කටයුතු නිසා තාත්තා නිතර මැර තර්ජනවලට මුහුණ දුන්නා. පුංචි කාලේ ඉඳලා අපි ඒ වගේ සිදුවීම් දැක්කා. එදා මැයි 09 වැනිදා අපේ ගේ ගිනිතියද්දි මගේ දරුවෝ තුන්දෙනත් ඒ අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දුන්නා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් ඒ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ මතකය අවදි කරමින් කීවේය.
“ එදා මමත් කොළඹ අරලියගහ මන්දිරයේ අගමැතිතුමා එක්ක හිටියේ. හවස 7ට විතර මට ආරංචි වුණා මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගහනවා කියලා. ඒ වෙද්දි මගේ බිරියයි දරුවෝ තුන්දෙනයි ගෙදර හිටියේ. මම බිරියට කතාකරලා කිව්වා ගෙදර ඉන්න එපා කියලා. ඊට පස්සේ බිරිය බාල දරුවෝ දෙන්නව අපේ ගෙදරට කිලෝමීටරයක් පමණ දුරින් තියෙන බිරියගේ මහගෙදරට පිටත් කරලා තිබුණා. බිරියයි ලොකු පුතයි දෙන්නා අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න බිරියගේ පුංචි අම්මාගේ ගෙදරට ගිහින්. මගේ ලොකු පුතා 11 වසරේ ඉගෙන ගන්නේ.මේ අවුරුද්දේ සාමාන්‍යෙපළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවෙක්. දෙවැනි දුව හත වසරෙත් චූටි දුව තුන්වැනි වසරෙත් ඉගෙන ගන්නවා. ප්‍රචණ්ඩකාරීන් අපේ ගෙට ගිනි තියන හැටි මගේ පුතා අල්ලපු ගෙදර ඉඳන් දැකලා තියෙනවා. ගින්නෙන් ගේ සම්පූර්ණයෙන් විනාශ වුණා. දරුවන්ගේ අධ්‍යාපනික පොත්පත් සියල්ලම අළුවෙලා ගියා. ඒ ගැන මගේ දරුවන් ලොකු කම්පනයකින් ඉන්නේ.”
ඒ වදන් මන්ත්‍රීවරයකුගේ නොව පිය සෙනෙහසින් ගිනිගත් පියෙකුගේය. කුලියාපිටිය අස්වැද්දුම ග්‍රාමයෙහි උපන් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මූලික අධ්‍යාපනය ලබන්නේ අස්වැද්දුම සුභාරති කනිටු විදුහලෙනි. ශිෂ්‍යත්ව විභාගය සමත්ව නක්කවත්ත ජාතික පාසලට ඇතුළත් වන ඔහු අධ්‍යාපනය අවසන් කරන්නේ ද එම පාසලෙනි. ඔහුගේ මව කේ. පුණ්‍යලතා කුඹලාතර ය. පියා එච්. එම්. මහීපාල හේරත්, වාමාංශික ව්‍යාපාරයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබල ක්‍රියාකාරී නායකයකු වන අතර, කුලියාපිටිය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. සහෝදරයන් දෙදෙනකු සහ එක් සහෝදරියකගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා සමන්ප්‍රිය හේරත් ය. උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසු රාජ්‍ය සේවයට එක්වන ඔහු ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු ලෙස වසර 10කට ආසන්න කාලයක් කටයතු කිරීමෙන් පසු 2010දී රාජ්‍ය සේවයට සමුදෙන්නේ ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම සඳහාය.
“2006දී මම මුලින්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් විදිහට පත්වෙලා 2009දී වයඹ පළාත් සභාවට තරග කරනවා. එහි 25 වැනි ස්ථානයට තේරෙන මම බෝනස් ආසනයෙන් තමයි පළාත් සභාවට යන්නේ. 2010දි මම වයඹ පළාත් සභාවේ සභානායක වෙනවා. නැවත 2013දි දෙවැනි වරටත් සභානායක බවට පත්වෙනවා. 2018 දක්වා අවුරුදු 10ක් වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරලා 2020 මැතිවරණයෙන් ජයග්‍රහණය කරලයි පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හැම ආසනයකින්ම වැඩිම මනාප ලැබූ අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කරද්දි ආසන සංවිධායකවරුන්ගෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලැබුවේ මමයි. විශේෂයෙන් කුලියාපිටිය ආසනය හිටපු අධ්‍යාපන ඇමති ඊරියගොල්ල මැතිතුමාගේ සිට අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීතුමා දක්වා එජාප මන්ත්‍රීවරුන් නියෝජනය කළ ආසනයක්. 1970 සිට 77 දක්වා එහි ශ්‍රිලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට පත්වෙලා තියෙන්නේ ජේ. ඩබ්ලිව් සමරසිංහ මන්ත්‍රීවරයා පමණයි. ඔහු සමාජ සේවා ඇමතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. එයින් වසර 44කට පසුව පත්වූ මන්ත්‍රීවරයා මමයි. මම ජනතාව එක්ක හිටපු නිසයි ඔවුන් මාව පාර්ලිමේන්තුවට තෝරා පත්කරන්නේ. එවැනි තත්ත්වයක් තුළ කිසියම් පිරිසක් ජනතාව අතර වෛරය පැතිරූ නිසා තමයි ඔවුන් පාරට බහින තත්ත්වයක් ඇතිවුණේ.
පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරු කියන තැනට ජනතාව පත්වීමට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් වගකිව යුතු බව මගේ අදහසයි. පාර්ලිමේන්තුවේ එකක් කියලා පිටතදි ඔවුන් හැසිරෙන්නේ වෙනත් විදිහකට. නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හොරෙක් කියන අදහසට මම එකඟ නැහැ. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ යම් යම් අඩුපාඩු තිබුණු බව මම පිළිගන්නවා. නමුත් ජනාධිපතිතුමා කළ හොඳ දේවල් ගැනත් අප අමතක කළ යුතු නැහැ. එතුමා මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය නතර කළා. වාහන සංඛ්‍යාව, කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව අඩු කරලා වියදම් සෑහෙන ප්‍රමාණයක් අඩුකළා. නමුත් ආර්ථික ප්‍රශ්නත් එක්ක ජනතාවට ඒ හොඳ දේවල් පෙනුණේ නැහැ. ඒ හරහා රටේ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වුණා. අපේ ගෙවල් ගිනිතැබීම් සිදුවුණේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. අපේ ගෙවල් ගිනි තියලා ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන් නම් ගෙවල් ගිනි තිබ්බට කමක් නැහැ. නමුත් මේ රට කොතැනටද යන්නේ කියන ප්‍රශ්නය එයින් මතුවෙනවා. ”
ප්‍රචණ්ඩකාරීන් විසින් මැයි 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් ගේ කුලියාපිටිය නගරයේ පිහිටි කාර්යාලයත් කඩහපොල පිහිටි නිවෙසත් ගිනි තබා මුළුමනින්ම විනාශ කොට ඇත.
“ඒ ගේ තිබුණේ මගේ බිරියට අයිති අක්කර තුන්කාලක ඉඩමක. ග්‍රාමීය බැංකුවෙන් ලක්ෂ දෙකහමාරක ලෝන් එකක් අරගෙන ඒ ඉඩමේ කාමර දෙකක් හදාගෙනයි මුලින්ම අපි පදිංචි වුණේ. මම පළාත් සභාවට ගියාට පස්සේ ලෝන් එකක් අරගෙන ගේ තව ටිකක් හදාගත්තා. පාර්ලිමේන්තුවට පත්වුණාට පස්සේ ලක්ෂ 65ක ලෝන් එකක් අරගෙන ගේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කරලා මාසයක්වත් යන්න කලින් තමයි එදා මැයි 9 වැනිදා ගිනි තියලා විනාශ කළේ. ලෝන් එක ගෙවන්න තියෙනවා. කාර්යාලයත් සම්පූර්ණයෙන් විනාශයි. සිද්ධ වුණ අලාභ හානිය තවම සම්පුර්ණයෙන් තක්සේරු කරලා නැහැ. දළ වශයෙන් කියනවා නම් ලක්ෂ හාර පන්සීයක් විතර අලාභයක් වෙලා ඇති. ගෙදර තිබුණු බඩුභාණ්ඩ පවා කොල්ලකාලා තියෙනවා. කනගාටුදායක සිදුවීම නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිතුමා බලාගෙන ඉද්දි තමයි පිරිස ගෙට ගිනි තියලා තියෙන්නේ. ඒ සිදුවීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත සැකකරුවන්ට පසුදිනම ඇප ලැබුණා. ඒ ඇප ලැබුණු පිරිස් එදා අපේ මහගේ ළඟින් ගිහින් තියෙන්නෙ හූ කියාගෙන. පොලිස් නිලධාරීන්ටවත් ගරු අධිකරණයටවත් මම දෝෂාරෝපණය කරන්නේ නැහැ. නමුත් නීතිය අවනීතිය කරගෙන ත්‍රස්තවාදයෙන් රජ කරන්න හදන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිවිය යුතුයි. මගේ නිවෙසත් කාර්යාලයත් ගිනිතැබීමට සම්බන්ධ පුද්ගලයන් අතර ජවිපෙ, සජබට සහ එජාපයට සම්බන්ධ පුද්ගලයන් සිටිනවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකියි.”
අරගලය නමින් ප්‍රචණ්ඩත්වය සහ වෛරය වැපුරූ පිරිසක් මැයි 9 වැනිදා රට පුරා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් දාමයට වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්ගේ අදහසයි.
“මහල්ලන් දේශපාලනයට වැඩක් නැහැ, තරුණයන් දේශපාලනය ආ යුතුයි කියලා මතයක් තියෙනවා. තරුණ පරපුරට අවස්ථාව ලැබිය යුතු බව මමත් පිළිගන්නවා. නමුත් තරුණයන්ට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබිය යුතුයි. තරුණයන් විදිහට හතර කොන පේනවා අඩු නිසා වැරදීම් සිදුවනවා අඩුයි. නමුත් වැඩිහිටියන් තීරණ ගන්නේ සිවුකොන බලලයි. ඒ නිසා දේශපාලනය තරුණයන් සහ වැඩිහිටියන් කියන දෙකොටසින්ම සමබර විය යුතු බව මගේ හැඟීමයි. රාජ්‍ය විරෝධී කණ්ඩායම් බලය අතට ගැනීම භයානක තත්ත්වයක්. ඒ විනාශයක්. 88,89 කාලේ අපි ඒ බව පැහැදිලිවම දැක්කා. අයිතිවාසිකම් දිනාගන්න අපි අරගල කළ යුතුයි. නමුත් අරගලය සාමකාමී සහ සාධාරණ විය යුතුයි.”
නිවෙස ගිනි ගැනීම නිසා මන්ත්‍රීවරයාටත් පවුලේ සාමාජිකයන්ටත් විඳගැනීමට සිදුවී ඇති දුෂ්කරතා බොහෝය. මේ වසරේදී සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඔහුගේ වැඩිමහල් පුතු කුරුණෑගල පිහිටි මන්ත්‍රීවරයාගේ නැඟණියගේ නිවෙසේ නවාතැන් ගෙන සිටී. බිරිය ඩිලානි සහ බාල දියණියන් දෙදෙනා ඇයගේ මහගෙදරය. මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් නවාතැන වී ඇත්තේ මාදිවෙල මන්ත්‍රී නිවාසයයි. ප්‍රචණ්ඩකාරීන් විසින් ඔහු සතු සියලු දේපළ විනාශ කළද ඔහුගේ සිතෙහි ඇති නොසැලෙන ආත්ම ශක්තිය ඒ සියල්ලටම වඩා සවිමත්ය.
“ ගෙවල් ගිනි තියලා දේපළ විනාශ කරලා ඉදිරි දේශපාලන ගමන නතර කරන්න හදනවා නම් ඒක විහිළුවක්. ඒ සිදුවීමෙන් මගේ හිතට තවත් හයියක් ලැබුණා මිසක් දේශපාලන ගමන නතර කරන්න තරම් මානසිකව වැටෙන්න තරම් දුර්වල වෙලා නෑ කියලා පැහැදිලිවම කිව යුතුයි. රටේ ප්‍රශ්න, අර්බුද තිබෙන බව අපි පිළිගන්නවා. අවුරුදු 74ක් තිස්සේ මේ රටේ තියෙන සියලුම දේශපාලන පක්ෂ සහ රට පාලනය කළ ආණ්ඩු මේ සඳහා ඍජු සහ වක්‍ර ආකාරයෙන් වගකිව යුතුයි. එහෙම නැතුව එක පක්ෂයකට, එක ආණ්ඩුවකට චෝදනා කිරීම ඵලක් නැහැ. 88-89 කාලයේ මේ රටේ සිදුවු දේවල් අපි දැක්කා. 60,000ක් පමණ තරුණ ජීවිත රටට අහිමි වුණා. අද නීතිය වල්වැදිලා, මැරයෝ රටේ නීතිය අතට අරගෙන ත්‍රස්තවාදය පතුරමින් ආයෙමත් මේ රට අරගෙන යන්න හදන්නේ 88-89 යුගයටද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තියෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දක්වා මේ ගමන ආවේ බොහොම අමාරුවෙන්. ජනතාවගේ ආශිර්වාදයෙන්. මේ දක්වා අවංකව වැඩ කළා මිසක් ජනතාවගෙන් රටෙන් සතපහක්වත් හොරකම් කරලා නැහැ. මන්ත්‍රීවරු සුරසැප විඳිනවා කියලා බොරු මතයක් අද සමාජගත කරලා තියෙනවා. නමුත් මන්ත්‍රීවරුන්ට මුවාවෙලා හොරකම් කරන තක්කඩි නිලධාරි පිරිසකුත් ඉන්නවා. කෝප් කමිටුවට ඇවිත් බැලුවොත් ඒ ඇත්ත ඕන කෙනෙක්ට තේරෙයි. විනාශ කළ යුත්තේ මන්ත්‍රීවරුන්ගේ නිවාස, දේපළ නෙවෙයි. ජනතාව අතර පතුරලා තියෙන ඒ වැරදි මතවාදයි.”