
මෙරට දුප්පත් පවුලක දරුවකුට පවා ඉතාමත් අඩු මුදලකට ලබා ගත හැකි පෝෂණීය ආහාරයක් වූයේ බිත්තරයි. පසුගිය මාර්තු මාසය වන විටත් රු. 15 ට තිබූ බිත්තරයක අද මිල රු. 45කි. එවැනි පසුබිමක මාස ගණනකින් බිත්තරයක් නොකෑ දරුවන් ලක්ෂ ගණනක් මේ රටේ වෙසෙති.
පෝෂණවේදීන්ට අනුව, අද ළමා පරපුර ක්‍රමයෙන් මන්දපෝෂණය වෙත තල්ලු වෙමින් සිටිති. අඩුම ගාණට කන්නට තිබූ හොඳම පෝෂණීය ආහාරය වන බිත්තර සහ කුකුළු මස් තව නොබෝ දිනකින් තරු පහේ ආහාරයක් බවට පත්වන බව කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.
එක් පසෙකින් සත්ත්ව ආහාර මිලදී ගැනීමට නොහැකිව රට පුරා කුඩා හා මධ්‍ය පරිමාණ සත්ත්ව ගොවිපළවල් 90%ක් පමණ මේ වන විට වැසී යාමේ තර්ජනයට ලක්ව තිබේ. මේ තත්ත්වය කර්මාන්තයේ විවිධ ස්ථරවලට එල්ල කර ඇති බලපෑම ඉතාමත් අහිතකර ය.
එක් අතෙකින්, සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් අඩු ආදායම් සමෘද්ධිලාභීන්ගේ ආර්ථිකය සවිමත් කිරීමට ග්‍රාමීය මට්ටමින් සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ 'නිදැලි කුකුළු ව්‍යාපෘතිය' ද වර්තමානය වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. රු. 3,200ට තිබූ කුකුළු කෑම කොට්ටයක මිල දැන් රු. 15,000ක් තරම් මිලකට ඉහළ නැඟ ඇති අතර, හෝටල් වැසී ඇති නිසා ඌරන්ට ද ඉවත් කරන කෑම ගැනීමට ක්‍රමයක් නැතිව ගොවිපළ බහුතරයක් වැසී ගොස් තිබේ.
“සමෘද්ධියෙන් නිදැලි කුකුළු පාලනයට නව ගොවීන් හුරු කළා. එවකට එය සාර්ථක වැඩසටහනක් වුණා. නමුත් කුකුළු කෑම නැතිව දැන් අපි අනාථයි. සමෘද්ධි කූපනය ලැබෙන්නේ රු.5,000යි.
කුකුළු කෑම ගන්න රු.15,000ක් ගෙවන්න ඕනේ. ඒ නිසා අපේ සත්ත්ව පාලන ගොවීන් විශාල ප්‍රමාණයක් මේ සත්ත්ව ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් අසරණ වෙලා. බිත්තරයක මිල පවා පාරිභෝගිකයන්ට දරාගන්න බැරි තැනට ගිහින්. අපි බලධාරීන්ට යෝජනා කරන්නේ සත්ත්ව ආහාර මිල කඩිනමින් පහළ දමා ජාතික ආර්ථිකයට සත්ත්ව පාලන ගොවීන්ගේ දායකත්වය ලබා ගන්න කියලයි...“
අඩු ආදායම් ලාභීන් එසේ මැසිවිලි නඟද්දී, මෙරට කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනයේ යෙදී සිටින සෑම තරාතිරමක ම කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ කුකුළු කෑම හිඟය තුළ තව මාස දෙක තුනකින් රට තුළ කුකුළු මස් සහ බිත්තර නැත්තටම නැතිවන තත්ත්වයක් උද්ගත වන බව ය.
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන් ගේ සංගමයේ සභාපති, අජිත් එච්. ගුණසේකර ඒ පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.
" මෙරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටින 99% ක්ම පුද්ගලික අංශයේ. කෘෂිකර්මාන්තයේ දී සත්ත්ව පාලන අංශයෙන් වැඩිම දායකත්වයක් ඇත්තේත් කුකුළු කර්මාන්තය යටතේ. එනම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 67% කම දායකත්වය සපයන්නේ කුකුළු කර්මාන්තයෙන් වීම විශේෂත්වයක්. ඊට අමතරව ගව පාලනය තිබුණත්, කිරි නිෂ්පාදනය කරන්නේ 40%ක් පමණයි.
අපේ රටේ එ්ක පුද්ගලයෙක් වසරකට පරිභෝජනය කරන බිත්තර ප්‍රමාණය 120ක්. අපේ රටේ දෛනිකව බිත්තර අවශ්‍යතාව ලක්ෂ 70 ක්. ඒ ඉල්ලුම හිඟයකින් තොරව සපයන්නට අපේ කර්මාන්තකරුවන්ට හැකි වී තිබෙනවා. ඒ වගේම, අපේ මාසික කුකුළු මස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 18,000 ක්. අපේ රටේ එක් පුද්ගලයෙක් වසරකට මස් කිලෝ දහයක් පරිභෝජනය කරන අතර, චීනයේ නම් ඒ ප්‍රමාණය කිලෝ 25ක්.“
“අපේ රටේ කුකුළු කර්මාන්තයේ නියැළී සිටින පවුල් ප්‍රමාණය ලක්ෂයක් පමණ වනවා. කුකුළු මස්, බිත්තර, සත්ත්ව ආහාර, සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය, ඖෂධ, එන්නත්, කූඩු හදන අය, ඒවාට අමුද්‍රව්‍ය සපයන අය, කෘෂිකාර්මික අතුරු ඵල නිෂ්පාදනය කරන අය, හුණුසාල් සහ පුන්නක්කු සැපයුම්කරුවන්... ආදී ලෙස මේ කර්මාන්තය පුරා විවිධ අංශ රාශියක් විසිරී පවතිනවා. දේශීයව සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී, බඩඉරිඟු ගොවීන්ගේ අස්වැන්න 95% ක්ම මිල දී ගන්නේ කුකුළු ආහාර කර්මාන්තයට.
ඒ අනුව බඩ ඉරිගු වගා කරන පවුල් ලංකාවේ 15,000ට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. හෙක්ටයාර ලක්ෂයක් බඩඉරිඟු වගා කරන අතර, ඒ ගොවීන්ගේ නිෂ්පාදන සියල්ලම පාහේ ගන්නේ මේ කර්මාන්තය වෙනුවෙන්. වැදගත්ම දේ තමයි, ලංකාවට අවශ්‍ය කුකුළු පැටවුන් බෝ කිරීම සදහා Grandparent Farm තුනක් තිබෙනවා. ලංකාවට මේ වගේ GP ෆාම් තුනක් තිබෙනවා කියන්නේ, අපේ රටේ කුකුළු කර්මාන්තය අති සාර්ථකයි කියන එක. පිටරටින් ගෙන්වන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. එම GP ෆාම් තුනෙන් පැටවු අරගෙන හදන parent farm 30ක් තිබෙනවා. ඔවුන් තමයි මස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පැටවුන් බෝ කිරීම සිදු කරන්නේ.
අපිට හොඳ වෙළෙඳපොළක් හැදී තිබුණා. අපි ඒ සඳහා ආයෝජන සිදුකර ඉවරයි. පසුබිම හදලා ඉවරයි. අපිට විශාල ලෙස ඇණවුම් ලැබෙමින් පවතිනවා. නමුත් ගැටලුව තමයි, සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික නිපදවා ගන්නට හෝ ගෙන්වා ගන්නට බැරිකම. මේ වෙලාවේ අපේ GP ෆාම් තුන රැක ගැනීම අත්‍යවශ්‍යයයි. මේවා වැටුණොත් යළි පණ ගන්වන්න අවුරුදු තුනකට වඩා යනවා. මොකද, GP පැටව් ගෙන්වන එක ලේසි නැහැ. GP ෆාම්වලින් කෙරෙන්නේ පැටවු හදන එක විතරක් නෙවෙයි. ඒ අය කුකුළු කෑම නිෂ්පාදනය කරනවා. තමන්ගේ ම ගොවිපළවල් පවත්වාගෙන යනවා. මස් සහ බිත්තර නිෂ්පාදනය කරනවා. value added නිෂ්පාදන පිටරට යවනවා. මෙය පරිපූර්ණ දාමයක්. මේ දාමය කැඩුණොත් වෙන්නේ ගොවීන් සිටිනවා, අවුරුදු තුනකටවත් පැටවුන් නැහැ. එතකොට කොහොමද කර්මාන්තයක් පවතින්නේ.
මේ පවතින තත්ත්වය තුළ සත්ත්ව ආහාර සඳහා යන වියදම 73%ක්. දේශීයව ගන්න පුළුවන් දේ තමයි, බඩඉරිඟු. නමුත් ගොවීන්ගේ සියලුම අස්වනු ප්‍රමාණය මිලදී ගත්තත් ලංකාවෙන් ලැබෙන්නේ අපේ අවශ්‍යතාවයෙන් 50%ක් විතරයි. වාර්ෂිකව අපිට බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් ඕනෙ.
සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්ත දත්ත අනුව ගොවීන් අපිට වාර්ෂිකව දෙන්නේ මෙට්ට්‍රික් ටොන් 3-4ක් විතරයි. ගිය මහ කන්නයේ රසායනික පොහොර ප්‍රශ්නය සහ කෘෂි රසායන හිඟය නිසා ඒ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 75,000ට පහළ බැස්සා. රුපියල් 90ට තිබූ බඩඉරිඟු කිලෝව දැන් රුපියල් 260යි. අපි රජයට කියලා ආනයනය සඳහා බලපත්‍රයක් ගත්තා. මේ මාස තුනට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දාහක් ආනයනය කරන්න අවසර දී තිබෙනවා. නමුත් කිසිම බැංකුවකින් අපිට ඩොලර් සහනයක් දෙන්නේ නැහැ. මේ සත්ත්ව ආහාර ටික ගෙන්වා ගන්න. සතුන්ට ශක්තිජනක ආහාරයක් ලෙස අඩුම මුදලට ගන්න පුළුවන් බඩඉරිඟු විතරයි. ආහාර නිෂ්පාදනයේදී 50% ක්ම දාන්න පුළුවන් වෙන්නෙත් බඩඉරිඟු විතරයි. ඊළඟට, ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස දාන්නේ සෝයා පුන්නක්කු. එය ලංකාවේ හදන්නේ නැහැ. ඇමෙරිකාවෙන් යුක්රේනයෙන් හෝ ඉන්දියාවෙන් ගෙන්වන්නට ඕනෙ. ඒවාට LC ඇර ගන්න බැරුව ඉන්නවා. මුදල් ගෙවා ගන්න බැරුව ඉන්නවා.
ඊළඟට වෙන්නේ, කුකුළු පැටවුන්ට ප්‍රෝටීන සහ ශක්ති ජනක ආහාර කියන දෙකම නොලැබුණොත් වර්ධනය සිදුවන්නේ නැහැ. දරුණුම තත්ත්වය තමයි, හැම අවුරුද්දෙම සතුන්ගේ වයිරස් රෝග පාලනයට දිය යුතු, සත්ත්ව එන්නත් සහ විටමින් ගෙන්වා ගන්නට නොහැකිකම.
මේවා නොදී රෝග පාලනය කරන්න බැහැ ලෙඩක් හැදුණොත් සතුන්ට බෙහෙත් නැහැ. ගොවිපොළ පිටින්ම මැරිලා යනවා. එන්නත් සහ බෙහෙත් කියන්නේ, අත්‍යවශ්‍ය දෙයක්. අපි මුදල් අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කළා. මේවා ගෙන්වන්න අවස්ථාව හදා දෙන්න කියලා.
තවම කිසි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අද වෙනකොට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පැටවු ලොකු කරගන්න විදියක් නැහැ, කෑම නැතිකම නිසා. මහා පරිමාණ සමාගම් තුන කියනවා, ඒ අයටත් අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්න බැරිකම තුළ කෑම හදන්න විදියක් නැහැ කියලා. ඉතින් කෑම නැතුව කොහොමද කිකිළියෝ බිත්තර දාන්නේ. මේක උඩින් පේනවාට වඩා ඔඩු දුවපු සමාජ ගැටලුවක්.
කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය කඩා වැටෙන විට මුලින්ම ඉවත් වෙන්න සිදු වන්නේ පවුල් ලක්ෂයක් වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට. ඊළඟට වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන්න පටන් ගන්නවා. ගිය මාර්තුවේ රු. 460 ට තිබූ කුකුළු මස් කිලෝව අද රු.1,250ක්. මාර්තුවේ බිත්තරයක් 15යි. අද 45යි. මේකෙන් නිෂ්පාදකයා කඩා වැටෙනවා වගේම, පාරිභෝගිකයාත් අසරණ වනවා.
අපි කියන්න තියෙන හැම රාජ්‍ය ආයතනයකට ම කිව්වා. දැන් ප්‍රශ්නය නැවතිලා තිබෙන්නේ මහ බැංකුවේ. ඉදිරි මාස 6 ට මේ කෑම ටික ගෙන්වන්න ඩොලර් මිලියන දෙසීයක් වත් ඕනේ. අඩුම තරමේ මාසෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතළිහක් වත් දුන්නොත් කර්මාන්තය ඇදගෙන යන්න පුළුවන්. එහෙම නොවුණොත් අගෝස්තු මාසය වන විට බිත්තර සහ කුකුළු මස් සුපිරි ආහාරයක් තරමට මිල ඉහළ යාවි.
මේ රාජ්‍ය නිලධාරීන් තේරුම් ගන්නට ඕනේ, කූඩු කරපු සතුන්ට අවශ්‍ය සමබර ආහාර සහ පෝෂණය නුදුන්නොත් සතුන්ගේ වර්ධනය සිදුවන්නේ නැති බව. සාමාන්‍යයෙන් වසරකට කිකිළියෙක් බිත්තර 290ක් දානවා. අද එය 200ට බැහැලා.
රජයේ ආදායම් විශාල ලෙස පහළ ගොස් තිබෙන අවස්ථාවක සියලු දෙනාම ඉල්ලා සිටින සහන සැපයීමට මුදල් ලබා දීම දුෂ්කර වී ඇතැයි මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරියකු, මේ සම්බන්ධව අප කළ විමසීමේ දී සිළුමිණට ප්‍රකාශ කළේය. මේ දිනවල අහස උසට නැඟ ඇති බිත්තර සහ කුකුළු මස් මිල ගණන් පහත දමා ගැනීමට හා මෙම කර්මාන්තයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමට මහා භාණ්ඩාගාරයෙන් සහන ලබා දිය යුතු යැයි, කර්මාන්තකරුවන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය කුමක්දැයි කළ විමසීමේ දී පිළිතුරු දෙමින් එම නිලධාරියා මේ බව පැහැදිලි කළේය.
" මහා භාණ්ඩාගාරයෙන් සියලු දෙනාම විවිධ සහන අරමුදල් ඉල්ලා සිටිනවා. ඒවා අපි ප්‍රමුඛතාව මත පෙළ ගස්වා තිබෙනවා. ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත්... ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමටයි, මුලින්ම ක්‍රියා කරන්නේ. අනෙකුත් ඉල්ලීම පිළිබඳවත් අපි දෙවනුව සලකා බලනවා. ඒ සෑම ඉල්ලීමක් ම අපට වටිනවා. නමුත් මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබීම තවමත් ප්‍රමාණවත් නැති නම් කළ යුත්තේ කුමක්ද...?
අප නිතරම මේ ඉල්ලීම් සිදු කරන පිරිසගෙන් ඉල්ලා සිටින්නේ එක දෙයයි. මේ මොහොතේ අපි හැමෝම සිටින්නේ විශාල අර්බුදයක. අභියෝගාත්මක තත්ත්වයක. ඉන් මිදීමට නම් අපි හැමෝම කැපවීම් කළ යුතුයි. අප නිරත වී සිටින කාර්යාල හෝ කර්මාන්තය ගොඩනඟා ගැනීමට අප යම් ආයෝජනයක් හෝ ඉතුරුම් මුදලක් වැය කළ යුතුයි.
ඒ අනුව, අපි අපිම අපේ කර්මාන්තය ගැන සිතා ඒවායේ දියුණුවට සහ සංවර්ධනයට මේ මොහොතේ අවංකව කැපවීමෙන් වෙහෙසීමෙන් ක්‍රියා කිරීම වැදගත්. එලෙස ක්‍රියා කොට මේ අසීරු අවස්ථාව ජය ගැනීමටයි, සියලු දෙනා ක්‍රියා කළ යුත්තේ.
මහා භාණ්ඩාගාරය යම් ස්ථාවර ශක්තිමත් තත්ත්වයකට ගොඩනැඟුණු වහාම අපි සියලු දෙනාට ම මීට වඩා සහන ප්‍රතිලාභ ලබා දීමට මැළි වන්නේ නැහැ.
එතෙක් බලා නොසිට, තම තමන්ගේ උපරිම කැපවීමෙන් ක්‍රියා කොට මේ අර්බුදයෙන් මිදීමට පළමුව කටයුතු කරමු, කියන යෝජනාව කර්මාන්තකරුවන්ට කරන්නට මම මෙය අවස්ථාවක් කරගන්නවා..."