ප්‍රතිවාදීන්ගේ තර්ජනය තර්ජනී | Page 2 | සිළුමිණ

ප්‍රතිවාදීන්ගේ තර්ජනය තර්ජනී

12 දෙනා තෝරලා ඉවරයි. 13 වැනියා විදියට තර්ජනී කණ්ඩායමට එකතු වෙනවා. ක්‍රීඩිකාවන්, පුහුණුකාරිය විදියට මම සහ අපේ සම්මේලනය ලියුමකට අත්සන් කරලා ඉල්ලීමක් කරලා තියෙනවා තර්ජනීව මේ තරගාවලියට එක් කරන්න කියලා
- ප්‍රධාන පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ

සිංගප්පුරුවේ සැප්තැම්බර් 4 සිට 12 දක්වා පැවැත්වීමට නියමිත මෙවර ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලියට නම් කළ ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් යුත් ජාතික නෙට්බෝල් කණ්ඩායමට 43 වැනි වියේ පසුවන මෙරට සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාවක වන තර්ජනී ශිවලිංගම් ඇතුළත් නොවුවද, 13 වැනි ක්‍රීඩිකාව ලෙස එක්වීමට නියමිතය. ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන තරගාවලියකට එක්ව සිටින තර්ජනී තේරීම් තරගාවලියට එක් නොවී ආසියානු තරගාවලියට එක්වීමට කැමැත්තෙන් පසුවූ බව වාර්තා වෙයි.

“12 දෙනකුගෙන් සමන්විත සංචිතය තෝරලා ඉවරයි. මේ සංචිතය තේරීම් කරද්දි නෙට්බෝල් සම්මේලනය හෝ තේරීම් කමිටුව අතර ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. පුහුණුකාරිනිය හෝ තේරීම් කමිටුව හෝ සම්මේලනය අතරවත් ගැටලු ඇති වුණේ නෑ ”යැයි නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි අප කළ විමසීමේදී පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තරගාවලියකට එක්ව සිටින තර්ජනීට අවසන් තේරීම් තරග සඳහා එක්වීමට ජාතික තේරීම් කමිටුව අවස්ථාව ලබා දී තිබුණ නමුත්, ඈ ඊට එක් නොවීම නිසා ඇගේ වත්මන් දක්ෂතා පිළිබඳ නිසි තක්සේරුවක් ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට මගහැරුණි.

ආසියානු කුසලාන තරගාවලියේ ශූරියන්ට සහ අනුශූරියන්ට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 16 වැනි ලෝක කුසලාන තරගාවලියට ආසියානු කලාපයෙන් එක්වීමේ අවස්ථාව හිමිවෙයි.1985 ආරම්භ වු ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ (1989/97/2001/09/18) පස් වතාවක් ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගැනීමට සමත්ව ඇත.

මෙවර ආසියානු තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 13දෙනකු එක්වන බව ප්‍රධාන පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ පවසයි. “12 දෙනා තෝරලා ඉවරයි. 13 වැනියා විදියට තර්ජනී කණ්ඩායමට එකතු වෙනවා. ක්‍රීඩිකාවන්, පුහුණුකාරිය විදියට මම සහ අපේ සම්මේලනය ලියුමකට අත්සන් කරලා ඉල්ලීමක් කරලා තියෙනවා තර්ජනීව මේ තරගාවලියට එක් කරන්න කියලා” ඇය එසේ ද කීවාය.

මේ දිනවල රටේ පවතින වතාවරණය මත ආසියානු තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට නිසි පුහුණුවක් පවා ලබා ගැනීමට නොහැකි වූ බව රහසක් නොවේ. විදුලිය විටින් විට විසන්ධි වීම නිසා බොහෝ අවස්ථාවලදී ගෘහස්ථ පුහුණුවීම්වලට නිරන්තරයෙන් බාධා එල්ල වී තිබේ. මීට පෙර සාමාන්‍යයෙන් මෙවන් ප්‍රධාන තරගාවලියක් ඉලක්ක කරගෙන විදේශ සංචාරයකට පවා එක් වුවද කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව මෙරට ඇති වු ආර්ථික අවපාතය හමුවේ බොහෝ දෑ හකුළා ගැනීමට සිදු වු අතර ක්‍රීඩාවට ද ඉන් මිදීමට නොහැකි විය. වාර්තාවන ආකාරයට සිංගප්පුරුව ආසියානු තරගාවලිය ඉලක්ක කරගෙන මේ වන විට විදේශීය තරගාවලි හතරකට පමණ එක්ව තිබේ. සිංගප්පුරුව මෙන්ම ආසියාවේ තවත් ප්‍රබල කණ්ඩායමක් වන මලයාසියාව දෙවැනි වටයේම ශ්‍රී ලංකාවට හමුවීම ද ලෙහෙසියෙන් බැහැර කළ හැකි කරුණක් නොවේ.

තර්ජනී 2005 සිට ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර, 2009 /18 ආසියානු ශූරතා ජයග්‍රහණවලදී ද ප්‍රබල දායකත්වයක් කණ්ඩායමට සපයා තිබේ. තර්ජනී ඔස්ට්‍රේලියානු තරගාවලිය අවසානයේ එනම් අගෝස්තු 28 වැනිදා හෝ ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට නියමිතය. 2012 ශ්‍රී ලංකාවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරු කණ්ඩායමට පරාජය වූයේ එක් ලකුණකිනි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දරුවේද තර්ජිනී ශිවලිංගම් ය.

අවසන් වරට එංගලන්තයේ පැවැති ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රථම වරට වැඩිම ගෝල් ලාභිනිය තෝරන ලද අතර එහිදී ශ්‍රී ලංකාවේ තර්ජිනි ශිවලිංගම් තරගාවලියේ වැඩිම ගෝල් ලාභිනිය වූයේ තරග 7කදී ගෝල් 348ක් රැස් කරමින්ය. මූලික වටයේදී ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ගෝල් 49න් 44ක්ම රැස් කළේ තර්ජිනී ය. එහිදී තර්ජිනී උත්සාහක අවස්ථා 45න් 44ක්ම සාර්ථක කර ගැනීමට සමත් වූවාය. අයර්ලන්තය සමඟ පැවැති තරගයේදි ශ්‍රී ලංකාව රැස් කළ ගෝල් 50න් 47ක්ම රැස් කළේ තර්ජිනී ය. එහිදී උත්සාහක අවස්ථා 52කදී 47ක්ම සාර්ථක ‍කර ගැනීමට තර්ජිනී සමත් වූවාය. ඔස්ට්‍රේලියාව හමුවේ ද උත්සාහක අවස්ථා 19න් 16ක් ම සාර්ථක කර ගැනීමට තර්ජිනී සමත් වූවාය.

පරාජිතයන් අතර කාණ්ඩයේදී එනම් ඊ කොටසින් තරග කළ ශ්‍රී ලංකාව එහිදී සිංගප්පූරුව තරගයේදී උත්සාහක අවස්ථා 78න් 76ක් සාර්ථක කර ගැනීමට තර්ජිනී සමත් වූවාය. සැමෝවා - ශ්‍රී ලංකා තරගයේදි උත්සාහක අවස්ථා 58කින් 52ක්ම සාර්ථක කර ගැනීමට තර්ජිනී සමත් වූවාය. ෆීජි හමුවේද ශ්‍රී ලංකාව පරාජය වූ අතර, තර්ජිනී එහිදී උත්සාහක අවස්ථා 39න් 36ක් සාර්ථක කර ගැනීමට සමත් වූවාය. අවසානයේ පැවැති සමස්ත තරගාවලියේ ස්ථාන තෝරා ගැනීමේ (ශ්‍රේණිගත තරගාවලියේ) තරග වටයේදි සිංගප්පූරුව 78-57ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව 15 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම තීරණාත්මක තරගයේදී ද සාර්ථකව පෙරමුණට පැමිණි තර්ජිනී උත්සාහක අවස්ථා 84කින් 77ක් සාර්ථක කර ගැනීමට සමත් වූවාය. මේ අනුව ශ්‍රී ලංකාව තරග කළ තරග 7දී තර්ජිනී ශිවලිංගම් ඉදිරියේ සටහන් වූ ගෝල් සංඛ්‍යාව 348කි. ඒ උත්සාහක අවස්ථා 375කින්ය. ශ්‍රී ලංකාව තරග 7දී ගෝල් 388ක් වාර්තා කර ගත් අතර ඉන් ගෝල් 348ක් ම තර්ජනිගේ නම ඉදිරියේ සටහන් වීම ද විශේෂත්වයකි.

සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැති එකළොස්වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ වසර නවයකට පසුවය.

“ඇයට අමුතුවෙන් සිදු කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇයගේ ආරෝහ පරිණාහ දේහය ඇය වෙනුවෙන් නැඟී සිටියා. ගෝල රැස් කළ අවස්ථාවලින් 93% ක්ම සාර්ථක වෙන්න හේතුව මෙයයි.”

2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් ගැන අන්තර්ජාතික විස්තර විචාරකයන් අදහස් දක්වා තිබුණේ එලෙසිනි. තරගාවලිය පුරා තර්ජිනී දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක් වී තිබුණි.

සෙන්ටිමීටර 208ක් උසැති ලාංකේය 'ෂූටර්' ආසියානු ශූරතාව සහ හොංකොං අතර තරගයේ බාධකයක් ලෙස නැඟී සිටියා, යැයි අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං කණ්ඩායම පරාජයට පත්කිරීම ගැන ‘සවුත් චයිනා මොර්නින්ග් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබිණි.

තර්ජිනී ශිවලිංගම් අන්තර්ජාතික තරග බිමේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකේ. උස අඩි 6 අඟල් 10 කි. අන්තර්ජාතිකව තරග නොකළ උසම ක්‍රීඩිකාව ජැමෙයිකාවේ මාර්වාඩේන් ඇන්ඩර්සන් ය. උස අඩි 6 අඟල් 11 1/2 කි. උසට අමතරව සාර්ථකව ගෝල විදීමට ඇති හැකියාව තර්ජිනීගේ සාර්ථකත්වයට හේතු වී තිබේ. මෙවර තරගාවලියේ දී ඇය ගෝල විදීමේදී 93%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබිණි.

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ චතුරංගි ජයසූරියගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සැලසුම් සහගතව ක්‍රීඩා කළ අතර තර්ජිනී වෙත පන්දුව යොමුකිරීමට ඔවුන් දැක්වූ දක්ෂතා විචාරකයන්ගේ ද ඇගයීමට ලක්විය.

ආසියාවේ ප්‍රබලතම දැල්පන්දු කණ්ඩායමක් ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට 2009න් පසු ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් වසර නවයකට පසු සිය ප්‍රබලම ප්‍රතිවාදියා වූ සිංගප්පුරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෑත යුගයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ටතම දැල්පන්දු (නෙට්බෝල්) ක්‍රීඩිකාව වනුයේ තර්ජිනි ශිවලිංගම් ය. එසේ වුවත් දැල් පන්දු ක්‍රීඩා පරිපාලනය සමඟ හටගත් ගැටලු මත ඇය 2014 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වූවාය. ඊට පසුව ඇය දිගු කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කළේ නැත.

දක්ෂ ක්‍රීඩිකාවක වන තර්ජනී, පස්සා දොරෙන් හෝ හොර පාරෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ යුතුද යන්න සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතු කරුණකි.

Comments