
“වන්නි හත්පත්තුවේ ඉපදුණු මට ඕනේ මේ සත් කෝරලයට විතරක් නෙවෙයි මගේ නමත් එක්ක අපේ රට ගැන ලෝකයම කතාකරන දෙයක් කරන්නයි. ඒ වගේම මම වගේ තවත් කැලෑ මල්වලට පිපෙන්න ඉඩක් හදාගන්නයි ”ඒ වදන් 13 හැවිරිදි පුංචි දැරිවියකගෙයි. ඇය වයසට වඩා වැඩි ආත්ම ශක්තියකින් සහ දැනුමකින් බුද්ධියකින් සහ කුසලතාවලින් සපිරි අපූරු දැරියක් කිවහොත් නිවැරදිය. ඇය ගැන රටම කතාකරන්නට පටන් ගත්තේ 2021 ගොඩගේ සම්මාන උලෙළේදී වසරේ නිර්මාණශීලී යොවුන් නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟය. ඇය නමින් සමාසි දිව්‍යාංජලී ඇල්වලදෙණියයි. ඇය ඉගෙනුම ලබන්නේ ගල්ගමුව යු.බී. වන්නිනායක ජාතික පාසලේ 8 ශ්‍රේණියේය.
‘‘මුලින්ම ජීවත් වුණ පළුකන්දෑව ගමේදී අපිට ගොඩක් කරදර සිද්ධ වුණා. ඒ හින්දා අපිට තැන් තැන්වල කුළී ගෙවල්වල ජීවත් වෙන්න සිද්ධ වුණා. ඒ සේරම මට අලුත්ම අත්දැකීම් වුණා. විවිධ තැන්වල ජීවත් වුණ නිසා ඒ ඒ තැන්වල තිබුණු පරිසරය වෙනස්, ජීවන රටාව වෙනස්. මම ඒ දේවල් හොඳට හිතේ තියාගත්තා. පස්සේ අපි ගජමුතුගම උදාගම්මානයට අවා. ඒකත් වෙනස්ම අත්දැකීමක්. ඒ ගමේ පන්සලට බුදු මැදුරක් හදන්න සල්පිලක් තිබුණා. ඒ සල්පිලේදී වැඩිම ලන්සුවට විකිණුණේ මත්පැන් බෝතලයක්. ඒ සිද්ධිය මගේ හිතට ගොඩක් දැනුණා. මම හැමතිස්සෙම අම්මා එක්ක ඒ ගැන කතාකළා. බුදු මැදුරක් හදනවා වගේ උත්තරීතර දෙයක් වෙනුවෙන් තිබ්බ සල්පිලේදී වැඩිම ගාණට විකුණුනේ මත්පැන් බෝතලයක්. ඒක හරිම නරක වැඩක් විදිහටයි මට දැනුණේ. අම්මා කිව්වා ඔයා ඔච්චරම ඔය ගැන කියන එකේ මොකක්හරි ලියන්න කියලා. ඒ වෙද්දිත් මම නවකතාවක් ලියන්න පටන් අරගෙන තිබුණේ. ඒ පරිසරය පොතක් ලියන්න තියා ජීවත්වෙන්නවත් හොඳ පරිසරයක් නෙවෙයි. ගහක්කොළක් නැති කාන්තාරයක්. ඒත් මට හොඳට පරිසර වර්ණනා ලියන්න පුළුවන්. ඒ වගේම තැන් තැන්වල ජීවත් වුණු නිසා මම එකතු කරගත්ත අත්දැකීම් ගොඩකුත් තිබුණා. මනසින් මට අවශ්‍ය තැනට ගිහින් අවශ්‍ය කරුණු ගොනුකරගෙනයි මම ‘කිරි අත්තගේ සිහිනය’ පොත ලිව්වෙ. අපේ ගම්වල තියෙන අලි ගැටුම් එහෙමත් මේ කතාවට පාදක වුණා.”
වයස අවුරුදු 11දී දුෂ්කරතා රැසක් මැද ලියූ පළමු නවකතාවටම සම්මානයක් හිමි වේ යැයි දිව්‍යාංජලී සිහිනෙනදු නොසිතුවාය.
“ෆේස්බුක් එකේ ගොඩගේ සම්මාන ගැන දාලා තියෙනවා දැකලා මාමා කෙනෙක් තමයි මට ඒකේ ෆොටෝ එකක් එව්වෙ. මට ඒක විශ්වාස කරන්නත් බැරිවුණා. පස්සේ ගොඩගේ ආයතනයට කතාකරලා තමයි විස්තරේ හරියටම දැනගත්තේ.”
දිව්‍යාංජලී කියන්නේ සතුටින් ඉපිලෙමිනි. ඇය සිය පළමු නවකතාව ලියන්නේ රටම කොවිඩ් වසංගතයට ගොදුරු වී පාසල් දරුවන්ට පාසල් යන්නට පවා අවකාශ නැති අවාසනාවන්ත කාලයකදීය. එහෙත් ඒ කිසිවක් ඇයට බාධාවක් නොවේ.
“අපේ පැත්ත හරිම රස්නෙයි. ගොඩක් කටුක පරිසරයක් තියෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මම ඉන්නේ මිදුලෙ; වත්තේ. එහෙම ඉන්නකොට හුළං පාරක් වැදුණත් මට ඒක ලියන්න හිතෙනවා. මම අම්මගෙනුයි අප්පච්චිගෙනුයි ගැමි දේවල් ගැන විස්තර අහගන්නවා. එයාලගේ පුංචි කාලේ සිදුවීම් හැමදේම මම අහගන්නවා. ඒ නිසාම ඇස්දෙක පියාගෙන වුණත් මට දිගටම ලියාගෙන යන්න පුළුවන්. මම ඉස්කෝලේ ගිහින් එන්නේ බස් එකේ. බස් එකේ මඩ වළකට වැටුණත් මට මොකක්හරි වෙනස් අදහසක් එනවා. එහෙම වෙලාවට මම පොතක කටුවට ඒ අදහස් ලියාගන්නවා. පස්සේ ගෙදර ගිහින් ඒ සේරම හොඳට පෙළගස්සගෙන ලියනවා. කිරි අත්තගේ සිහිනය පොත ලියන්න මට උපරිම මාස හතරක් යන්නැති. එක දිගටම ලිව්වා. ”
ලියන්නට මෙන්ම දිව්‍යාංජලී කතාවට ද බුහුටිය. ඉගෙනුමට ද දක්ෂය. 2019 පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඇය ලකුණු 157ක් ලබාගත්තාය. ඒ වසරේ පැවති කඩඉම් ලකුණු වූයේ ලකුණු 159කි. දිව්‍යාංජලීගේ පියා සරත් කුමාර සහ මව ඉනෝකා ස්වර්ණලතා පාරම්පරික වෙදකමේ නියුතු වූවන්ය. අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ දිනවල වෙදකමෙන් බැහැරව සිටින්නීය. දිව්‍යාංජලීගේ එකම සහෝදරයා ඉසුරු පැතුම් 17 හැවිරිදිය. සිය දියණිය ගැන ඉනෝකා හඬ අවදි කළේ සතුටිනි.
“දුව චූටි කාලේ ඉඳන් කතාවට හරි දක්ෂයි. ගහක මලක් පිපුණත් වැව දැක්කත් හුළඟ හැමුවත් එයා ඒ ගැන හරි ලස්සනට කතාකරනවා. ඉස්සෙල්ලාම දුව දක්ෂකම් පෙන්නුවේ රචනාවලින්. අලුත්ම රටාවකට කතා ගොතන්නත් දක්ෂකමක් පෙන්නුවා. කොරෝනා කාලේ ‘රටක් වටින පොතක්’ කියන වැඩසටහන පටන් ගද්දිත් දුව පොත ලියන්න පටන් අරගෙන හිටියේ. ගොඩගේ සම්මානය ලැබුණු පොත ලියද්දි දුවට අවුරුදු 11යි. ‘උඩඟු මිරිඟුව’ කියන දෙවැනි නවකතා පොත ලියද්දි අවුරුදු 12යි. තුන් වැනි නවකතා පොතත් දැන් ලියලා ඉවරයි. දුව ලියන්න වගේම තොරතුරු එකතු කරන්න, රඟපාන්න, තාක්ෂණික දේවල්වලටත් ගොඩක් දක්ෂයි.
කලාවට හෝ ලේඛනයේ නියුතු කිසිවකු සිය පරම්පරාවේ නැති බවත් දුලාංජලී මේ සියලු දස්කම් පාන්නේ සහජයෙන් ලැබූ කුසලතා නිසා බවත් ඇය කීවාය.
‘‘ දුව හැමදෙයක් ගැන තොරතුරු එකතු කරනවා. ලංකාවේ වගේම පිටරට දේවල් ගැනත්. ගම්වල දේවල් නම් මගෙනුයි තාත්තගෙනුයි අහගන්නවා. ඒ වගේම පැරණි දේවල් ගැන හොයන්න ගමේ වයසක ආච්චිලා සීයලා හම්බවෙන්න යනවා. අපි එයාට උපරිම සහයෝගය දෙනවා. සමහර වෙලාවට දුව රෑටත් ලියනවා. ඒ වෙලාවට මමත් ඇහැරගෙන ඉන්නවා. ”
දියණියගේ දක්ෂතා ගැන නිහතමානීව සතුටු වෙන අතරේම ඇයට අතහිත දුන් අය ගැන ද ඉනෝකා සිහිකරන්නේ කෘතවේදීවය.
“අවිස්සාවේල්ල රන්ජන් විජේරත්න විද්‍යාලයේ හිටපු විදුහල්පති නාලක සර් බෙහෙත් ගන්න කිහිප දවසක්ම අපේ ගෙදර ආවා. ඒ දවස්වල දුව ඔය පොත ලියනවා. ගෙදර මිදුලට වෙලා පැය ගාණක් එකදිගට ලියන දුවව දැකලා දුව මොනවද ලියන්නේ කියලා සර් ඇහුවාම අපි කිව්වා නවකතාවක් ලියනවා කියලා. සර් ඒ ගැන හරි සතුටුවෙලා දඹානේ ගුණවර්ධන කියන ලේඛක මහත්මයාට කෝල් කරලා කිව්වා පුංචි දරුවෙක් මෙහෙම වැඩක් කරනවා, පුළුවන් උදවුවක් කරන්න කියලා. ”
දිව්‍යාංජලී දියණියට ප්‍රවීණ ලේඛක දඹානේ ගුණවර්ධනයන් හමුවන්නේ ඒ අනුවය. ඒ ගැන අප ගුණවර්ධනයන්ගේ මතකය අවදි කළෙමු.
“ දිව්‍යාංජලී දුවගේ පොත කියෙව්වාම මට පුදුම හිතුණා, අවුරුදු එකළොහක පොඩි දරුවෙක්ද මේ පොත ලිව්වෙ කියලා. ඒ පොතේ කියන්න කිසිම අඩුවක් මම දැක්කේ නැහැ. මට හිතුණා මේ පොත ප්‍රින්ට් කළා නම් හොඳයි කියලා. තිස්ස ජිනසේන මහත්තයා මට කියලා තිබුණා මම ලියන පොත් මුද්‍රණය කරනවා කියලා. ඒ වෙද්දි මගේ පොතකුත් මුද්‍රණයට සූදානමින් තිබුණේ. මම තිස්ස මහත්තයාට කතාකරලා මේ දරුවගේ පොත ගැන කිව්වාම එයා කැමති වුණා පොත මුද්‍රණය කරලා දෙන්න. ඒ විදිහට තමයි දිව්‍යාංජලී දුවගේ පළමු පොත මුද්‍රණය වුණේ. ඒ දරුවාගේ දක්ෂතා ගැන මම ගොඩක් සතුටු වෙනවා. ගුරුවරයෙක් විදිහට මම ඒ විදිහේ දක්ෂතා තියෙන දරුවෙක් දැක්කමයි. මම කළේ එයාට පාර කපලා දුන්න එක විතරයි. පොත මුද්‍රණය කිරීමේ ගෞරවය අයිති වෙන්නෝති තිස්ස මහත්තයාටයි”
ඔහු පැවසුවේ නිහතමානීවය. ළමා ලේඛිකාවක ලෙස තමාට දොරට වඩින්නට උපකාර කළ සියලු දෙනාට දිව්‍යාංජලී සිය ස්තුතිය පුදන්නීය.
“ගුණවර්ධන සර්ගෙන් මම ලිවීම ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පොත මුද්‍රණය කරන්න තිස්ස ජිනසේන පදනමෙන් මුදල් ලබාදුන්නා. යු.බී. වන්නිනායක පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයත් මට ගොඩක් උදවු කළා. මගේ දක්ෂතා මුලින්ම හඳුනගත්තේ ඇබෝගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ගාමිණි සර්. මගේ දෙවැනි නවකතාව ‘උඬගු මිරිඟුව’ පොත එළිදක්වන්න ගොඩක් උදවු කළේ ගොඩඋඩ අරියධම්ම හාමුදුරුවෝ. පොතේ මුද්‍රණ වියදම දැරුවේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ආනන්ද බස්නායක මාමා. ආරියපාල රත්නායක සර් තමයි මුලින්ම පොතේ සෝදුපත් බැලුවේ. මං ගැන මුලින්ම ලිපි පළවුණේ ලේක්හවුස් ආයතනයේ සිළුමිණ සහ මිහිර පත්තරවල. මුලින් හිටපු ගමේ අපිට අලින්ගෙන් කරදර තිබුණ නිසා එහෙන් ආවා. ඊටපස්සේ ගම්උදාව ව්‍යාපෘතියෙන් ගෙවීමේ ක්‍රමය යටතේ ගෙයක් ලැබුණත් එහේ ළඟ ළඟ ගෙවල් 28ක් තිබුණා. එහේ නිර්මාණ කරන්න තරම් නිදහස් පරිසරයක් තිබුණේ නැහැ. දැන් අපි ඉන්නේ ගල්ගමුව ටවුන් එක කිට්ටුව. මෙහෙ හොඳ පරිසරයක් තියෙනවා.”
නිර්මාණත්මක සිතිවිලි ඇතිවීමට ජීවත්වන පරිසරය මෙන්ම දරුවකු මවු කුස සිටින කාලයේදී දැනෙන සිතිවිලි ද බලපාන බව නොරහසකි. මේ ඒ ගැන දිව්‍යාංජලීගේ මව කී කතාවයි.
“ලියන්න හැකියාවක් නැතිවුණාට මමත් සොබදහටම ගොඩක් ආදරය කරන කෙනෙක්. ගහකොළ, සතාසිවුපාවා ගැන කරුණාවක් තියෙන, පරිසරයේ සුන්දරත්වය විඳින්න කැමති කෙනෙක්. දුව ඉපදෙන්න ඉන්න කාලේ ඉඳලම මමත් දුවගේ තාත්තත් බුදු දහම එක්ක බැඳුණු ජීවිතයක් ගතකළේ. පුළුවන් විදිහට දානමාන කටයුතුවල යෙදුණා. ඒ නිසාම දුව මෙහෙම කලාකාරියක් වුණාද දන්නෙ නැහැ. මම බුදුන් ගැන වගේම පත්තිනි මෑණියන් ගැනත් විශ්වාස කරනවා. මම දුවෙක්ම තමයි ප්‍රාර්ථනා කළේ. ඒ වගේම පුංචි කාලේ ඉඳල එයා දැක්කේ මමයි මහත්තයයි වෙදකම් කරලා ලෙඩ්ඩුන්ට පිහිට වෙනවා. ඒ නිසාම වෙන්නැති එයාත් පුංචි කාලේ ඉඳන්ම ඕන කෙනෙක්ට කරුණාවන්තයි.”
දිව්‍යාංජලීගේ පියා සරත් ද ඇය ගැන කතා කළේ බොහෝ සෙනෙහසිනි.
“දුව අඩු වයසින් සම්මානයට පාත්‍රවීම අපිට ලොකු සතුටක්. නාලක සර්, දඹානේ ගුණවර්ධන සර් දුවට ගොඩක් උදවු කළා. ඩලස් ඇමතිතුමත් දුවගේ දක්ෂතා අගය කළා. මාලිගාවත්ත සුදර්මාරාමයේ ගොඩඋඩ අරියධම්ම හාමුදුරුවොත් දුවට ගොඩක් උදවු කළා. ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවො කිව්වා සම්මාන ගත්ත ළබාලම ලේඛිකාව අපේ දුවද දන්නෙ නැහැ කියලා. දුවගේ දක්ෂතා නිසා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළු වෙන්න කියලා ආරාධනාවකුත් ලැබුණා. ඒත් මේ පරිසරය දාලා කොළඹ යන්න දුව කැමති නැහැ. ”
දිව්‍යාංජලී කියන්නේ ද ඇය ස්වාභාවික සුන්දරත්වයෙන් පිරි ගමේ ජීවත් වීමට වඩාත් ප්‍රිය කරන බවයි. මේ වන විට නවකතා කෘති 2ක් ප්‍රකාශයට පත්කර ඇති ඇය දැන් සිය තෙවැනි නවකතාව ද ලියා අවසන්ය.
“කෙටිකතාත් 2කුත් ලියන්න පටන් අරගෙන තියෙනවා. ඒත් නවකතා වගේ ඉක්මනට මට කෙටිකතා ලියන්න තේරෙන්නෙ නැහැ. නවකතා නම් ඕනතරම් ලියන්න පුළුවන්. කිරි අත්තගේ සිහිනය පොත ලිව්වේ ඒ කාලේ මගේ වයසට ගැළපෙන විදිහට. ඊට පස්සේ ලියපු උඩඟු මිරිඟුව පොත ඊට වඩා වෙනස් එකක්. ‘මල් පාවර’ කියන මගේ තුන්වැනි පොතේ තියෙන්නෙ කියන අවුරුදු අසූගානක් වයස සීයා කෙනෙක්ගේ අත්දැකීම්. ඒක සම්පූර්ණයෙන්ම ගැමි කතාවක්. හුළඟේ ශබ්දය පවා එදාට වඩා අද වෙනස් කියලයි මට හිතෙන්නෙ. ඒ හැමදේම ඒ පොතේ තියෙනවා.”
දිව්‍යාංජලී ඇයගේ නමේ අරුතටම ගැළපෙන ලෙස දෙවියන්ගේ දෑස්වලින් ලෝකය දකින්නියකි;ජීවිතය විඳින්නියක යැයි සිතේ. ලිවීමට අමතරව ඇයගේ ප්‍රියතම විනෝදාංශය ඡායාරූපකරණයයි. සතුන්ගේ විවිධ ඉරියව් ඡායාරූපයට නගන්නට ඇය වඩාත් කැමතිය. කොවිඩ් වසංගතය මෙන්ම මේ දිනවල රටේ පවතින තත්ත්වය නිසා නිතර පාසල් වැසී යෑම ඇයගේ සිතේ ඇත්තේ ළතැවිල්ලකි.
‘‘අපිට ඉස්කෝලෙත් නෑ. ඔන්ලයිනුත් නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ...”
දිව්‍යාංජලී කියන්නේ සන්තාපයෙනි.
‘‘අද ගොඩක් නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඔන්ලයින් ඉගෙන ගන්නවා කියලා අම්මලා තාත්තලා රවට්ටනවා. අන්තර්ජාලයයි ෆෝන් එකයි දැන් ගොඩක් ළමයින්ගේ ජීවිතේම වෙලා. ඒ ආකල්ප වෙනස් කරන්න අපිටත් පුළුවන්. මම ෆෝන් එකෙන් ගෘෘප් එකක් හැදුවා ඉගෙන ගන්න. ඒකට ගුරුවරුත් සම්බන්ධ වෙලා ඉන්නවා උගන්වන්න. ඒත් සමහර ළමයි ඒ ගෘෘප් එකෙන් අයින් වෙනවා. මම නම් හිතන්නේ කියවීම වගේම සොබාදහම එක්ක ජීවත් වීමෙන් තමයි පරිපූර්ණ පුද්ගලයෙක් බිහිවෙන්නේ.”
පුංචි වයසට ඇය ජීවිතය ගැන සිතන පතන අයුරු ඉතා අරුත්බරය; සුන්දරය. සිංහල හා විද්‍යාව විෂයයන් වඩාත් ප්‍රිය කරන ඇයගේ බලාපොරොත්තුව ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා මහාචාර්යවරියක වීමය.