නොලැබුණු ඉන්ධන දීමනාව තමයි මාව මේ තත්ත්වයට ගෙනාවේ | සිළුමිණ

නොලැබුණු ඉන්ධන දීමනාව තමයි මාව මේ තත්ත්වයට ගෙනාවේ

කෙනෙක් අර්බුදයක් විදියට දකින දේ මම දකින්නේ අවස්ථාවක් විදියට

හේ කළමනාකාර අධ්‍යක්ෂවරයෙකි. පොළොන්නරුවේ හද්දා පිටිසර ගමක ඉපිද ඩිජිටල් ලොව ආක්‍රමණය කෙරූවෙකි. කැමරාව අතට ගත් කල ඔහු කැලෑවේ ගහකොළ අස්සේ හීන් සීරුවේ සතා සිවුපාවුන්ගේ ඉසියුම් ඉරියව් සොයා ඒවා සේයා ගත කර නිහඬ ව සතුටු වන්නෙකි. සිය කාර්ය මණ්ඩලය ඉදිරිපිට තවත් ප්‍රධානියකු වෙනුවට ඔවුන් හා නව ලොව වෙනස්කම් සොයන්නෙකි. ලලිත් සුමනසිරි නම් ඔහු ඔගිල්වි ඩිජිටල්, ඔගිල්වි මීඩියා කළමනාකාර අධ්‍යක්ෂවරයා ය. සිය ජිවිතයේ කඩඉම් හි දියවුණු අභියෝග මෙන්ම ජයග්‍රහණ ද එකසේ ඉවසීමෙන් හා සතුටු සිතින් බාර ගන්නා ඔහු ජීවිතයේ සතුට වෙනුවෙන් සිහින

දකින්නෙකි. මේ ඔහුගේ දිනූ ජීවිතය ගැන පසු විපරමකි.

මොකද්ද සම්පූර්ණ නම

පිලානේ ගොඩකන්දගේ ලලිත් සුමනසිරි

උපන්දිනය

1972 අප්‍රේල් 25

 ගම්පළාත කොහෙද

පොළොන්නරුව

අම්මා තාත්තා ගැන විස්තර කතා කළොත්

තාත්තා රජයේ සේවකයෙක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. තාත්තා ගෙ නම ආරියදාස; ගම ගාල්ල. අම්මා කෑගල්ලෙ. ඒ දෙන්නා පොලොන්නරුවෙ ගිහින් පදිංචි වෙලා. අම්මාගෙ නම කුසුම් වනසිංහ. අම්මා තමයි ගෙදර පරිපාලනය සම්පූර්ණයෙන් කරන්නෙ. තාත්තා රජයේ රැකියාවක් කළාට අපිට පොඩි ව්‍යාපාරික පසුබිමකුත් තියෙනවා. අපිට තිබුණා පොඩි කඩයකුයි වී මෝලකුයි. ඒවගේම කුඹුරු අක්කර දහයක් පහළොවකුත් තිබුණා.

සහෝදර සහෝදරියෝ කීදෙනෙක් ඉන්නවද?

අපේ පවුල ටිකක් ලොකු එකක්. මට අයියලා දෙන්නයි, මල්ලිලා දෙන්නයි, නංගියි ඉන්නෙ.

කොහේද ඔබ පාසල් යන්නෙ

මුලින් ම යන්නෙ බොහොම දුෂ්කර පාසලකට. පොලොන්නරුවෙ ඉඳන් කිලෝමීටර් 15ක් විතර ඇතුළට ගියාම තියෙනවා, පොඩි ගමක් කලහගල කියලා. මම මුලින් ම ගියේ කලහගල කනිෂ්ඨ විද්‍යාලයට. එතැනින් පස්සෙ මම හතරෙ පන්තියෙදි යනවා පොළොන්නරුව රාජකීය කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සෙ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට යනවා. උසස්පෙළ සඳහා මම කෑගල්ලෙ පින්නවෙල මධ්‍ය මහා විද්‍යාලයට යනවා.

උසස් පෙළෙන් පස්සෙ විශ්වවිද්‍යාලෙට තේරෙනවා

ඔව්, මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යනවා. කළමනාකරණ උපාධිය හදාරන්නයි මම යන්නෙ. එතැනින් පස්සෙ මම කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හදාරනවා. ඒ අතරෙ විශ්වවිද්‍යාලෙ යන කාලෙම මම වරලත් ගණකාධිකාරී විභාගයත් කරන්න පටන් ගන්නවා. ආසියා ශාන්තිකර කලාපයේ කළමනාකරුවන්ගේ ආයතනයේත් මම සුදුසුකම් ලත් අලෙවිකරුවෙක්.

ඔබ වරලත් ගණකාධිකාරීවරයෙක් ලෙසත් සුදුසුකම් ලබනවද?

නැහැ, මට ඕන වෙන්නෙ නැහැ ඒක. මම ඒකෙ අදියර දෙකයි කරන්නෙ. මොකද මගේ විෂයය අලෙවිකරණය. ඕන ම දේකට ගණකාධිකරණ දැනුම වැදගත් නිසයි පළමු අදියර දෙක මම කරන්නෙ.

කොහොමද වෘත්තීය ජීවිතේ පටන් ගන්නෙ.

මම පොඩි කාලෙ ඉඳල ම එක එක බිස්නස් වැඩ කළා. අපේ ගෙදර තිබුණා ට්‍රැක්ටරයක්. ඒක අරගෙන ගිහින් මම අනෙක් අයගෙ වැඩ කරලා දෙනවා. ඒකෙන් මම ආදායමක් ගත්තා. ඒ වගේ ම ලෑන්ඩ්මාස්ටර් එක අරන් ගිහින් වී අදිනවා; වී හුළං කරනවා වගේ දේවලුත් කළා

විශ්වවිද්‍යාලෙට ආව ම ඔබට මේ දේවල් මග හැරෙන්න ඇති

විශ්වවිද්‍යාලෙ ආව ම මම ටියුෂන් කළා. ඒ කාලෙ අපේ පැත්තෙ කැලෑ එළිකරලා වගා කරන්න ඉඩම් ලබා දෙනවා. මම ඒ එළි කරපු කැලෑවෙ දර ටික කොළඹට පටවනවා. අපේ පැත්තෙ හරක් ගාල් තියෙනවානෙ. ඒවයේ වේළුණු ගොම එකතු කරලා බෑග්වලට අසුරලා මම ඒවා නුවරඑළි යවනවා.

කොහොමද මේ දේවල්වලට අදාළ සම්බන්ධතා ජාලය හදාගන්නෙ.

කොහේහරි එක තැනකින් කොනක් අහු වුණාම ඒ ඔස්සේ යන්නයි තියෙන්නෙ. මට එහෙම විශේෂ සම්බන්ධතා තිබුණෙ නැහැ. ඕනෑ ම කෙනකුට එහෙම වෙන්න පුළුවන්. එතකොට පාරවල් විවෘත වෙනවා. කෙනෙක් අර්බුදයක් විදියට දකින දේ මම දකින්නෙ අවස්ථාවක් විදියට. ඒ ඔස්සෙ මම හඹා යනවා.

ඔබේ ඉන්ස්ටග්‍රෑමය පිරී තියෙන්නෙ මේ රටේ වගේ ම විවිධ රටවල කෑලෑවේ ජීවත් වෙන සතුන්ගේ විවිධ ඉරියව් රැගත් ඡායාරූපවලින්.

විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න අවදියේදී ම මම වන සංරක්ෂණ මාර්ගෝපදේශකයෙක් විදියට වැඩ කළා. සිංහරාජ, විල්පත්තු, යාල වගේ තැන්වල කණ්ඩායමක් එක්ක මම මාර්ගෝපදේශකයෙක් විදියට යනවා. ඒ අවස්ථාවලදිත්, ඊට පසුවත් මම විනෝදාංශයක් විදියට කළ දෙයක් තමයි වන සතුන්ගේ ඡායාරූප ගැනීම.

මොකද්ද පාවිච්චි කරපු කැමරාව

වනජීවී ඡායාරූපකරණයට ගියාට මට කැමරාවක් තිබුණෙ නැහැ. විශ්වවිද්‍යාලෙ යන කාලෙ මම යාළුවෙක්ගෙ කැමරාවක් ඉල්ලගෙන තමයි පාවිච්චි කළේ. DSLR කැමරාවක් ගන්න තරම් මට ලොකු මුදලක් තිබුණෙත් නෑ. මට එහෙම අවශ්‍යතාවක් තිබුණෙත් නෑ ඇත්තට ම.

වැඩ කිහිපයක් එකට කිරීම ඔබට අපහසු කාර්යයක් නොවෙයි

ඔව්. මම සතියෙ දවස්වල විශ්වවිද්‍යාලෙ දේශනවලට යනවා. හවස්වරුවෙ අමතර පන්ති කරනවා. සති අන්තෙ සංචාරක මාර්ගෝපදේශකයකු ලෙස වැඩ කරනවා. මේ සියල්ල ම මම හරිම කැමැත්තෙන් කළ දේවල්. මගේ වෘත්තිය ජීවිතය මම නොදැනුවත් ව ම ආරම්භ වුණේ ඒ විදියට.

මේ සියල්ලට ඉංග්‍රීසි භාෂාව වැදගත්. පොලොන්නරුවෙ ඉඳන් ආපු ඔබ කොහොමද ඒ කඩඉම ජය ගන්නෙ.

මගේ අම්මා තාත්තා ඉංග්‍රීසි භාෂාව වචනයක්වත් කතා කරන අය නොවෙයි. අපට එහෙම පසුබිමක් තිබුණෙ නැහැ. පාසල් යන කාලෙ අපේ අකැමැති ම විෂයය තමයි ඉංග්‍රීසි. කොහොම හරි පන්තිය කට් කරන්නමයි බැලුවෙ. ගුටි කාලා, දණ ගස්සලාවත් අපට ඉංග්‍රීසි උගන්වන්න බැරි වුණා. සාමාන්‍ය පෙළ ට මට ඉංග්‍රීසිවලට තිබුණෙ S එකක්. අනික් සියලු විෂයයන්ට මට D සාමාර්ථ්‍යය තිබුණෙ. මට ඒ ගැන විශාල ලැජ්ජාවක් ඇති වුණා.

මොකද කළේ. පන්ති ගියාද? නැත්නම් අත හැරලා ම දැම්මද?

නෑ මම තනියම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මම ඉංග්‍රීසිවලට කවදාවත් පන්ති ගිහින් නෑ. පොත් කියෙව්වා. සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ කියෙව්වා. රේඩියෝ එකේ ඉංග්‍රීසි නාළිකා ඇහුවා. දන්න දන්න අයත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඊළඟ සැරේ මම උසස් පෙළ කරද්දි ඉංග්‍රීසිත් ලියලා D එකක් ගත්තා. උසස් පෙළ අවසන් වෙද්දි මං මම ඩෙලික් ඉංග්‍රීසි ගුරු පත්වීම්වලට ඉල්ලුවා. මට ඉංග්‍රීසි ගුරු පත්වීමයි විශ්වවිද්‍යාල ඇතුළත් වීමයි එකට ආවෙ. මම විශ්වවිද්‍යාලෙ යන එක තෝරා ගත්තා.

ආයතනගතව කරන පළවෙනි රැකියාව මොකද්ද?

ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙ. විශ්වවිද්‍යාලෙ දෙවැනි අවුරුද්දෙ ඉඳන් ප්‍රායෝගික පුහුණුව සඳහා අවුරුදු දෙකකට අලෙවි විධායකවරයෙක් හැටියට රූපවාහිනියට ඇතුළත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඩිස්කවරි නාළිකාව ප්‍රවර්ධනය කරන්න තමයි අපිව ගත්තෙ. මගේ වනජීවී ඡායාරූපකරණ දැනුම ඒ රැකියාව ලැබෙන්න බෙහෙවින් බලපෑවා.

කොපමණ කාලයක් රූපවාහිනී සංස්ථාවෙ වැඩ කරනවද?

විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ ම මම රූපවාහිනියෙ හිටියා. විශ්වවිද්‍යාලෙ අවසන් වසර ඉවර වුණාමත් මට රූපවාහිනියෙ ඉන්න කිව්වා. සභාපතිතුමාත් මට කතා කරලා කිව්වා අමතර අධ්‍යක්ෂ තනතුරක් දෙන්නම්, යන්න එපා, ඉන්න කියලා. ඒ කාලෙ අපි සෑහෙන වැඩක් කළා. ගොඩක් මිනිස්සු අඳුනා ගත්තා. නමුත් මට දිගින් දිගට ම එහි ඉන්න හිතුණෙ නැහැ.

එතැනින් පස්සෙ යන්නෙ කොහාටද?

මට අවස්ථාවක් ලැබුණා JWT කියන ආයතනයෙන්. රූපවාහිනියෙයි, මේකෙයි මාසික වේතන අතර ලොකු වෙනසක් තිබුණෙ නැහැ. හැබැයි මට හිතුණා මට දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම ඒ ආයතනයට සම්බන්ධ වුණා.

ඒ වෙනකොට ඔබට අර ව්‍යාපාර කරන්න තිබුණු ආශාව කැමැත්ත නැති වෙලාද?

නෑ, එහෙම නැහැ. රූපවාහිනියේ ඉද්දිත් අලෙවිකරණය පැත්තෙනෙ හිටියෙ. එතැන මම හිටියෙත් මගේ දෙයක් විකුණනවා වගේ තමයි. රැකියාවට ඔබ්බෙන් දෙයක් කරන්න මට නිරන්තර පිපාසාවක් තිබුණා.

ඒ කියන්නෙ ගන්න මාසික වේතනයට වඩා දෙයක් කරන්න ඕන කියලා නිතර හිතුවා

අනිවාර්යෙන්. පඩියට වැඩ කළා නම් අද මෙතැන ඉන්න බැහැ. පොළොන්නරුවෙ කහලගල වගේ දුෂ්කර පැත්තක ඉඳන් නෙ මම ආවෙ. මුළු ගමට ම දවසට ම තිබුණෙ බස්වාර 4යි. ඒකෙනුත් හවස 5 බස් එක මගහැරුණොත් පයින්ම කිලෝමීටර් 15ක් ගිහින් තමයි ගමට යන්න තිබුණෙ. ඒ වගේ දුෂ්කර තත්ත්වයක හිටිය මම මේ වගේ තැනකට එයි කියලා හිතන්නවත් බැහැ. හැබැයි ඒක තමයි මට ආව පන්නරය. ඕන දෙයක් දරා ගන්නත් පුළුවන්.

කොහොමද ඔගිල්වී ආයතනයට සම්බන්ධ වෙන්නෙ

මම කළමනාකරුවෙක් විදියට ඔගිල්වී ආයතනයට සම්බන්ධ වෙන්නෙ 2003 වසරෙදි. උදේ 8. 30 ට පටන් ගන්න මම වැඩ ඉවර කරන්නෙ රෑ එකොළහට දොළහට. වෙලාවක් කලාවක් තිබුණෙ නෑ. අපි අලුත් දේවල් කළා. වෙනස්කම් කළා. අවුරුදු 19ක් ඇතුළත අපි මේ ආයතනය දියුණු කරලා තියෙනවා, ලංකාවේ දෙවන විශාලත ම මාධ්‍ය සැලසුම්කරණ ආයතනය විදියට.

ඒ දියුණුවේ රහස මොකද්ද?

පළමුවැනි දේ අපි අලුත් දෙයක් කරන්න හැමතිස්සෙම හිතන එක. වෙනසක් කරන්න නිතර හිතනවා. අනික මගේ කණ්ඩායම. මට ඉන්නෙ බොහොම තරුණ කණ්ඩායමක්. ඒ කණ්ඩායමත් එක්ක අපි ගනුදෙනු කරන විදියත් මේ දියුණුවට බලපානවා. කණ්ඩායමක් විදියටයි අපි අපේ වැඩ කරන්නෙ. ඔවුන්ගේ නව චින්තනය බෙහෙවින් වැදගත්. හොඳ කණ්ඩායමක් හැදුණට පස්සෙ ඕන ගමනක් යන්න පුළුවන්.

කොහොමද තමන්ගෙ කණ්ඩායම එක්ක ගනුදෙනු කරන්නෙ

මම කවදාවත් එයාලට බොස් කෙනෙක් නොවෙයි. මම එයාලට මඟ පෙන්වන කෙනෙක්; ගුරුවරයෙක්; සමීප හිතවතෙක්; එයාලගෙ ජීවිතේ බෙදා ගන්න කෙනෙක්. එයාලත් එක්ක සමීප වෙනවා වගේ ම එයාලට මඟ පෙන්වන්නත් ඕන. මෘදු වෙන්න ඕන තැන්වලදි මෘදු වෙන්නත්; රළු වෙන්න ඕන තැන්වලදි රළු වෙන්නත් ඕන.

1988- 89 තරුණ නැගිටීම් හරහා ඇතිවුණු භීෂණ යුගය කොහොමද ඔබේ ජීවිතයට බලපෑම් කරන්නෙ.

ඒ කාලෙ මම සාමාන්‍ය පෙළ කරනවා. මම ජීවිතේ මට හමුවෙන හැම අභියෝගයක් ම පන්නරයක්, අභියෝගයක් කර ගන්නවා. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. අපි ජීවිතේ බේර ගත්තෙ බොහොම අමාරුවෙන්. නැත්නම් අද මම ජීවතුන් අතර නෑ. අපි පාසල් යන තරුණ ළමයි. ඉන්දියන් හමුදාව හැමතැනම. බලන බලන අත වැඩ වර්ජන. අපිත් කෑ ගහනවා. ඉදිරියට යනවා; කතා පවත්වනවා. මගේ පොදු ස්ථානයක කතා කිරීමේ හැකියාව හැදුණෙත් මේවා නිසා තමයි. ඊට පස්සෙ මම ජීවිතේ බේරා ගැනීමේ අරගලයට මුහුණ දුන්නෙ.

ඔබේ දේශපාලනික ආස්ථානය මේකට බලපෑම් කළා ද?

ඇත්තට ම එදා ජීවිත නැති වුණේ දේශපාලනය කළ අයගෙම විතරක් නොවෙයි. අපි හැමෝ ම මේ තත්ත්වයට මුහුණ දුන්නා.

ඒකෙන් පස්සෙ ජීවිතේ වෙනස් කළ තවත් හැරවුම් ලක්ෂ්‍යය තියෙනවාද?

මම විශ්වවිද්‍යාලෙදි කළේ ඉගෙන ගත්ත එක විතරක් නොවෙයි. මම විශ්වවිද්‍යාලෙ ශිෂ්‍ය සභාවෙ අවුරුදු දෙකක් සාමාජිකයෙක්. හැබැයි මම දේශපාලනය කළේ නෑ. මම විශ්වවිද්‍යාලෙදි ඉගෙන ගන්න ගමන් ඉගැන්වුවා. ළමයින්ට හරියට කුප්පි දැම්මා. ඉගෙන ගන්න තියෙන හොඳ ම විදිය තමයි ඉගැන්වීම. ටියුෂන් කරන්න පටන් ගත්තෙ එහෙමයි. මේ වෙනකොට මම කොළඹ, කැලණිය හා මොරටුව විශ්වවිද්‍යාල තුනේ ම බාහිර කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කරනවා. විශ්වවිද්‍යාලෙදි මම කරපු කුප්පි තමයි මේවට බලපෑම් කළේ. ඒකත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.

ඒ විතරක් ද?

රූපවාහිනියෙන් එළියට බැහීමත් එක්තරා විදියක හැරවුම් ලක්ෂ්‍යයක්. මාධ්‍ය විකිණීමේ ඉඳලා මාධ්‍ය සැලසුම්කරණයට මම එනවා. ඒ දෙක හාත්පසින් ම වෙනස් දෙකක්. ඉතින් රූපවාහිනියට සමුදීම එක්තරා සංදිස්ථානයක් වෙන්නෙ ඒකයි. ඊළඟට මම ඔගිල්වි ආයතනයට සම්බන්ධ වීමත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.

ඔගිල්වී එන්න බලපෑම් කරන ආසන්නතම හේතුව මොකද්ද?

ඇත්තට ම මම මේක වෙන තැනක කියලා නැහැ. මම කාලයක් සල්ලි එකතු කරලා පරණ කාර් එකක් ගත්තා. ඒ වෙනකොට රැකියාව කළ ආයතනයේ මම සෑහෙන වැඩ කළා. සම්මාන ගත්තා. මට නිතරම ලැබුණෙ ඩබල් ප්‍රමෝෂන්. මේ කරපු වැඩත් එක්ක මම කල්පනා කළා මට ඊළඟ වැටුප් වර්ධකයත් එක්ක ඉන්ධන දීමනාවක් ලැබේවි කියලා. ඒ කාලෙ මම තරුණයි; උපරිමෙන් වැඩත් කළා; ඉතින් එහෙම එකක් ලැබුණොත් හොඳයි කියලා මම බලාපොරොත්තු වුණා. නමුත් මට ඒක ලැබුණෙ නැහැ. ඉතින් මට පුංචි අතෘප්තිමත් බවක් ආවා. ඒ නිසා මම හිතුවා ඔගිල්වි එකෙන් ආව චාන්ස් එක අරන් බලන්න ඕන කියලා. ඒ ආයතනය මට සැලකුවා. නමුත් මගේ සිතිවිලි එක්ක ඒක සමපාත වුණේ නෑ. හැබැයි ඔගිල්වි එකෙන් මම ඉල්ලපු හැමදේම දෙන්න එකඟ වුණා. ඉතින් මම එතැනට ආවා.

ඒකාලෙ ඔගිල්වී එච්චර ලොකු ආයතනයක් නොවෙයි. බය හිතුණෙ නැද්ද අවදානමක් ගන්න. 

හැමෝම මට දොස් කිව්වා; එච්චර හොඳ තැනක ඉඳල ඇයි මේ වගේ නමක් නැති පොඩි තැනකට යන්නෙ කියලා. එතැන ලොකු සන්නාමවත්, ලොකු පාරිභෝගික ජාලයක්වත් තිබුණෙ නැහැ. ඉතින් මම කිව්ව දේ තමයි ඒක තමයි මට වැදගත්. මම ඉඳපු ආයතනයේ මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔගිල්වි එකේ මට කරන්න දේවල් තියෙනවා. මට ඒක හදන්න පුළුවන් කියලා. ඔගිල්වි එකට ආව එක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.

මොනවද ජයගන්න තිබුණු අභියෝග

මම වගේ කෙනකුට හැම දෙයක් ම අභියෝගයක්. මට කොළඹ ඇවිත් ඉන්න තැනක් තිබුණෙ නැහැ. මම කොළඹට ආවෙ කිසි දෙයක් දැනගෙන නෙවෙයි. ඉංග්‍රීසි හදා ගත්තෙ අමාරුවෙන්. කොළඹ පරිසරයට අපි පොලිෂ් නැහැ. නමුත් මම ඒ කිසිවක් අභියෝගයක් විදියට ගත්තෙ නැහැ.

සාමාන්‍යයෙන් විවේක වෙලාවට කරන්න කැමැති මොනවද?

කැලේට යන්න තමයි මම කැමති ම. විල්පත්තුව තමයි මගේ ප්‍රියතම ස්ථානය. මම ලෝකෙ පුරා ඇවිදින්න කැමතියි. අප්‍රිකාව, කෙන්යාව, ඉන්දියාව වගේ රටවල සත්තු බලන්න යනවා.

පොත් කියවනවද සාමාන්‍යයෙන්

අනිවාර්යයෙන්. ඒක ඇබ්බැහියක්. පටන් ගත්තේ රුසියන් පොත්වලින්. නොකියවපු රුසියන් පොතක් නෑ. තව මම කැමතියි චරිත කතා කියවන්න. රොබින් ෂර්මා, ඩේල් කානගී වගේ ලේඛකයන්ගෙ පොත් කියවන්නත් කැමැතියි.

චිත්‍රපට බලන්න කැමැතිද?

මම සෑහෙන්න චිත්‍රපට බලනවා. ඇත්තටම මම චිත්‍රපට ලෝලියෙක්.

සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ

මෙහෙමයි. මම කැමැතියි බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන්න. හැබැයි ඒව පස්සෙන් දුවන්නෙ නැහැ. අවශ්‍ය තැනට අවශ්‍ය විදියට භාවිත කරන්න උත්සාහ කරනවා.

හැබෑ කරගන්න බැරි වුණු හීන තියෙනවාද?

මගේ හීනය තමයි සතුට. සතුට කොහොමද ළඟා කරගන්නෙ කියලා මම නිතරම හිතනවා. මම හැම මොහොතක් ම විඳිනවා. හැමෝට ම හැමදේම ලැබෙන්නෙ නැහැ. හැබැයි ලැබුණු පුංචි ම දෙයින් හරි සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ

ඡායාරූප නිශ්ශංක විජේරත්න

Comments