- ප්‍රධාන නිදන කාමරය ඊශානයේ පිහිටීම අහිතකරයි
- ඊශානයේ පිහිටි වැසිකිළිය නිසා නිවැසියන්ට ලෙඩරෝග
වාස්තු ශාස්ත්‍රයේදී නිරන්තරයෙන් අප විසින් දිශා අට පිළිබඳව ඉතා පැහැදිලි අවධානයක් යොමු කිරීම වැදගත් වේ. දිශා පිළිබඳ සැලකිල්ලට නොගෙන වාස්තු විෂයය පිළිබඳවයම් කරුණක් ඉදිරිපත් කිරීම නම් එතරම් නිවැරදි එකක් ලෙස සැලකිය යුතු නොවේ.
ඒ අනුව දිශාවන්හි පවත්නා ධාතු තත්ත්වයන් සමඟ ගැළපෙන පරිදි ගෘහාංගයන්හි ගැළපීම අප විසින් වාස්තු ශාස්ත්‍රයේදී සිදුකළ යුතුව තිබේ. එසේ නොවී නොගැළපෙන ධාතූන් සමඟ ගෘහාංග පිහිටුවීම නිසා බරපතළ වාස්තු දෝෂ තත්වයන් හා පෞද්ගලිකව නිවැසියනට දුර්විපාක ඇති වන බව පැහැදිලි කළ හැකිය.
මේ අනුව ප්‍රධාන වශයෙන් අනු දිශාවන්ගේ දෝෂ තත්ත්වයන් අදාළ ධාතූනට අනුව කවර ආකාරයෙන් දෝෂ ඇති කරන්නේද යන වග මෙහිදී අවධානයට ගත යුතුව තිබේ. මෙහිදී ඊශාන දිශාව අතිශයින් ශුභ දිසාව ලෙස බොහෝ ශාස්ත්‍රයන්හි සලකන ලැබේ. එසේ හෙයින් අප විසින් මේ අවස්ථාවේ දී ඊශානයේ ඇතිවන දෝෂ තත්ත්වය පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමු කරමු. ඒ අනුව ඊශානයේ ඇතිවන දෝෂ හට ගන්නා ගෘහාංග කවරක් ද යන්න මෙහිදී විමසා බලමු. එහිදී ඊශාන දිශාවෙන් මුළුතැන්ගෙය, වැසිකිළිය, ප්‍රධාන නිදන කාමරය, ගරාජය, පඩිපෙළ යන අංගයන් පිහිටුවීම දිශාගත දෝෂ ලෙස අපට හඳුන්වා දිය හැකියි. මෙකී අංගයන් ඊශානයේ පිහිටීම නිසා ඇතිවන දුර්විපාක හා දෝෂ විවිධ වුවත් නිසැක වශයෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන එන බවට නම් සැකයක් නොමැත.
මුළුතැන්ගෙය ඊශානයේ පිහිටීම නිසා ඇතිවන භෞතික තත්ත්වය නම් ගලා එන අන්තරීක්ෂ ශක්තිය ඊශානයේදී ඇතිවන තාපමය බලපෑම නිසා වාස්තු දෝෂයක් හට ගැනීම සිදු වන බව මෙහිදී කිව යුතුව තිබේ. මේ පිළිබඳ අවධානය යොමු කරන්නකුට අන්තරීක්ෂ ශක්තිතාව අඩු වීම කෙරෙහි ඇති කරන බලපෑම කවරාකාරද යන වග විග්‍රහ කිරීම අවශ්‍ය වේ.
ඊසානයට වැසිකිළිය පිහිටුවීම නිසා ඇතිවන දෝෂ තත්ත්වය පිළිබඳ මෙසේ සලකා බලමු. අන්තරීක්ෂ ශක්තිය ඊශාන දිශාවෙන් නිවෙස වෙත ඇතුළුවීමේදී වැසිකිළියක් හෝ වැසිකිළි වළක් ඊශානයේ පිහිටා ඇති විට සිදුවන්නේ එහිදී උපදින අසුබ ශක්තීන් සමඟ අන්තරීක්ෂ ශක්තිය මුසුවී නිවෙස පුරා පැතිර යෑමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන්නේ නිවෙසේ වාසය කරන අයගේ ජෛව ශක්ති ක්ෂේත්‍රය හෙවත් ශක්ති ශරීරයට අශුභ බලපෑම් ඇති වීමත් එහි ඉදිරි ඵලයක් වශයෙන් ශාරීරික යෝග්‍යතාවයේ ගැටලු ඇතිවීමයි.
ප්‍රධාන නිදන කාමරය ඊශානයේ පිහිටු වීම් නිසා සිදුවන්නේ අන්තරීක්ෂ ශක්තිය එහි අඩුවීමයි. ශක්තිය ඊශානයෙන් ඇතුළු වන බැවින් ශක්තිය රැඳීම සිදුවන්නේ නිරිතෙහි වේ. මේ නිසා කිසිම අවස්ථාවක දී ප්‍රධාන නිදන කාමරය ඊශාන නොපිහිටුවිය යුතු ඇති අතර, ළාබාල දූ දරුවන් ආදී සඳහා කාමර පිහිටීම සඳහා හෝ වෙනත් කාර්යයක් සඳහා විශේෂයෙන් සාලය හෝ පිවිසුම් දොරටු ආදිය පිහිටුවීම සඳහා ඊශානය යොදා ගැනීම උචිත වේ.
රථ වාහන පිහිටුවීම සඳහා ඊශාන යොදා ගැනීම නොකළ යුත්තකි. එයට හේතුව වන්නේ ගරාජයේ නවතන වාහන අද වන විට මෝටර් හෝ එන්ජින් සහිත ඒවා බැවින් එහිදී ඇතිවන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයන් නිසා ද අන්තරීක්ෂ ශක්තිය නිවෙසට ඇතුළු වීමට බාධා ඇතිවීමයි.
එහි ප්‍රතිඵලය වශයෙන් සිදුවන්නේ නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්තිය වඩ වඩාත් දුර්වල වීමයි. එසේම පඩිපෙළ පිහිටුවීම ද නොකළ යුත්තකි. එසේ වන්නේ පඩිපෙළ ලෙස අද භාවිත කරන කොන්ක්‍රීට්වල විශාල පදාර්ථ ප්‍රමාණයක් පවත්නා බැවිනි හි ප්‍රතිඵලය වශයෙන් අන්තර් ශක්තියෙන් වැඩිම ප්‍රමාණයක් පඩිපෙළෙහි පදාර්ථ විසින් උරා ගන්නා හේතුව නිසා නිවෙස අභ්‍යන්තරයට අන්තර් ශක්තිය ගලා ඒම අඩු වීමයි.
මේ අනුව කිව යුත්තේ ඊශානයෙන් අන්තරීක්ෂ ශක්තියට ගරාජයෙන් හා පඩිපෙළෙන් බාධා වීම සිදුවන අතර ප්‍රධාන නිදන කාමරය පිහිටුවීම නිසා එයට අන්තර් ශක්තිය ගලා ඒම අඩු වීම සිදුවන අතර, මුළුතැන්ගේ පිහිටුවීම නිසා ඇතුළුවන අන්තරීක්ෂ ශක්තිය බාහිර දීම විසිර යෑමක් සිදු වීම් ආදිය පැහැදිලිව දක්වමින් සම්ප්‍රදායිකව අප යොදා ගන්නා වාස්තු දෝෂවල ශාස්ත්‍රීය පදනම විග්‍රහ කරගත හැකි බවයි.
දෝෂ තත්ත්වයන් සහිත නිවෙස් කඩා බිඳ දැමීමකින් තොරව නිවැරදි කිරීමේ ශිල්ප ක්‍රම ද අද වන විට භාවිතයට පැමිණ තිබේ. ඒ අනුව පිරමීඩ භාවිතයෙන් දෝෂ නිවා නිවාරණය කිරීම් එක් ක්‍රමයක් නිශ්චිතවත් තවත් බොහෝ ක්‍රම අත්හදා බැලීම් මට්ටමේත් පවත්නා බවත් පැහැදිලිය. එබැවින් ඉදිරියේදී වාස්තු දෝෂ නිවාරණය සඳහා යල්පැනගිය බරපතළ පිරිවැය සහිත කරදරකාරී ක්‍රම වෙනුවට සරල අඩු වියදමකින් කළ හැකි ක්‍රමවේද වෙත වාස්තු ශිල්පීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.