දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ග්‍රහ පිහිටීම් | සිළුමිණ

දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ග්‍රහ පිහිටීම්

•අසමත් දරුවන් සමත් කරවන විශේෂ වත්පිළිවෙත් 
•ඉගෙනුමට බාධා කරන ග්‍රහ පිහිටීම් හඳුනා ගන්න 
•අධ්‍යාපනයෙන් ඉහළටම යන බලවත් ග්‍රහ පිහිටීම් රැසක්

ම් කේන්ද්‍ර සටහනක ග්‍රහ පිහිටීම්වලට අනුව අධ්‍යාපනයට ඇති උනන්දුව පිළිබඳ සහ කෙතරම් දුරට අධ්‍යාපනයක් ලබා ගත හැකිද යන්න පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකිය. උදාහරණ ලෙස කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ඕනෑම භාවයක රවි සහ බුධ යන ග්‍රහයන් වෙනත් ග්‍රහයන්ගෙන් තොරව සංයෝග වී ඇත්නම් එය ප්‍රබල ඥාන යෝගයක් වන අතර, ඒ තුළින් කේන්ද්‍ර හිමියාට උසස් අධ්‍යාපනයක් ලැබීමට භාග්‍යය උදා වනු ඇත.

මෙම රවි සහ බුධ යන ග්‍රහයන් 5 වැනි භාවය තුළ හෝ 9 වැනි භාවය තුළ තැම්පත්ව ඇතිනම් එසේ උසස් අධ්‍යාපනයක් ලැබීමට ඇති භාග්‍යය තව දුරටත් වැඩි වනු ඇත. කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ගුරු ග්‍රහයා 5 වැනි භාවය තුළ හෝ 9 වන භාවය තුළ තැම්පත් වීම ද ඉතා බලගතු ඥාන යෝගයකි. ඒ අනුව එවැනි පිහිටීම් ඇති අයට ද අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉහළට යෑමට භාග්‍යය උදා වනු ඇත.

කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ගුරු සහ කේතු යන ග්‍රහයන් එකම භාවයක් තුළ නොහොත් එකම කොටුවක් තුළ තැම්පත් වීම ද බුධ සහ කේතු යන ග්‍රහයන් එකම කොටුවක් තුළ තැම්පත් වීම ද බලගතු ඥාන යෝග වන අතර මෙම ග්‍රහයන් 5 වන භාවය තුළ හෝ 9 වන භාවය තුළ තැම්පත් වීමෙන් ඥාන යෝගයේ ප්‍රතිඵලය උපරිම වනු ඇත. තවද යම් කේන්ද්‍ර සටහනක කුමන හෝ භාවයක ගුරු සහ බුධ යන ග්‍රහයන් පිරිසිදුව තැම්පත්ව ඇත්නම් එය ද ප්‍රබල ඥාන යෝගයක් වන අතර මෙම ඥාන යෝගය 1, 5, 9 යන භාවයක තැම්පත්ව ඇත්නම් මෙම බුද්ධි යෝගයේ ප්‍රතිඵලය උපරිම වනු ඇත. බුධ සහ ගුරු යන ග්‍රහයන් එකිනෙකාට සප්තමව සිටීම ද බුධ සහ ගුරු යන ග්‍රහයන් පරිවර්තා යෝගයකට සම්බන්ධව සිටීම ද ඉතා ප්‍රබල බුද්ධි යෝග වන අතර එවැනි කේන්ද්‍ර සටහන් හිමි අයට ද සාර්ථක අධ්‍යාපනයක් ලබන්නට වාසනාව උදා වනු ඇත. ඉහත පිහිටීම්වලට අමතර ලෙස කේතු ග්‍රහයා 1, 5, 9 යන භාවයන් හි පිහිටීම ද ප්‍රබල ඥාන යෝගයක් වන අතර, ඒ ආකාරයේ පිහිටීම් ඇති කේන්ද්‍ර හිමියන්ට ද අධ්‍යාපනයෙන් ඉහළට යෑමට භාග්‍යය උදා වනු ඇත. එමෙන්ම ඕනෑම උත්පත්ති කේන්ද්‍ර සටහනක රවි, බුධ, ගුරු යෝගයක් ඇත්නම් ද රවි, බුධ, කේතු යෝගයක් ඇත්නම් ද රවි, බුධ, ගුරු, කේතු යෝගයක් ඇත්නම් ද උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි අතර එම සංයෝගයන් ද 5, 9 යන භාවවල ඇත්නම් වඩාත් ඵලදායක ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත. ඉහත පිහිටීම්වලට අමතරව යම් උත්පත්ති කේන්ද්‍ර සටහනක බුධ ග්‍රහයා 1, 5, 9 යන භාවයක ඇත්නම් එම පිහිටීම් ද බුද්ධි යෝගයක් වන අතර ඒ අනුව එවැනි පිහිටීම් ඇති අයට ද තම ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අමතර ජවයක් ලැබෙනු ඇත.

මීට අමතර ලෙස කුජ හා බුධ යන ග්‍රහයන් එක්ව සිටීම කූට බුද්ධිය නොහොත් උපායශීලී බුද්ධිය ඇති කරවන ග්‍රහ පිහිටීමක් වන අතර, එම සියුම් බුද්ධිය ද සමහර අවස්ථාවලදී අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යොදා ගත හැකි වනු ඇත. එමෙන්ම යම් කේන්ද්‍ර සටහනක කුජ ග්‍රහයා ප්‍රබල ලෙස රාශි ගත වීම නීතිය හැදෑරීමට සුදුසු ග්‍රහ පිහිටීමක් වන අතර, කේන්ද්‍ර සටහනේ කුමන හෝ භාවයක ගුරු සහ කුජ සංයෝග වීම තුළින් තර්ක කිරීමේ දක්ෂතාව ඇති වෙයි. එමෙන්ම යම් උත්පත්ති කේන්ද්‍ර සටහනක බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන් කුමන හෝ භාවයක සංයෝග වී ඇත්නම් හෝ බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකිනෙකාට මුහුණට මුහුණලා ඇත්නම් හෝ බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකිනෙකාට ත්‍රිකෝණගතව ඇත්නම් එවැනි කේන්ද්‍ර හිමියන්ට විදේශ අධ්‍යාපනයක් ලබන්නට හෝ විදේශගතව පුහුණු වීමක යෙදෙන්නට වාසනාව උදා වනු ඇත.

කෙසේ වෙතත් කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ශනි, රාහු වැනි ග්‍රහයන් 5 වන භාවය තුළ තැම්පත්ව ඇත්නම් එවැනි කේන්ද්‍ර හිමියන්ට හදිසියේ අධ්‍යාපනයට ඇති වන බාධා පෙන්නුම් කෙරේ. විශේෂයෙන් දක්ෂ ලෙස අධ්‍යාපනය ලබමින් සිටින සමහර අයගේ ඉගෙනීම කෙරෙහි ඇති උද්යෝගය හදිසියේ අඩු වන්නේ මෙවැනි පිහිටීම් ඇති විටය. එමෙන්ම කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක කුමන හෝ භාවයක නොහොත් කුමන හෝ කොටුවක බුධ, රාහු වැනි ග්‍රහ සංයෝගයක් ඇත්නම් එම පුද්ගලයාට අධ්‍යාපනය සම්බන්ධ කර්මානුරූප බලපෑම් නොහොත් පෙර ආත්මගත බලපෑම් ඇත. එම නිසා එවැනි අයට ඇති විය හැකි ඉගෙනීම් ගැටලුවලින් සමහරක් ඒවා වළක්වා ගැනීම අපහසු වනු ඇත. කිසියම් අයකුගේ කේන්ද්‍ර සටහනක කේතු හෝ රාහු යන ග්‍රහයන්ගෙන් එක් ග්‍රහයකු දෙවැනි භාවය තුළ තැම්පත්ව ඇතිනම් එවැනි අයට ද ජීවිතයේ එක්තරා අවධියකදී අධ්‍යාපන කටයුතුවලින් පසුබෑමක් ඇති වීමේ අවදානමක් හට ගනියි.

අධ්‍යාපන කටයුතු කරන ස්ථානයේ ගණ දෙවි රූපයක් තබා ගැනීමෙන් ද, ගණ දෙවි රූපයක ආකෘතියක් ළඟ තබා ගැනීමෙන් ද, කුඩා කල අධ්‍යාපනය ලබා දුන් ගුරු මහත්ම මහත්මීන්ගේ සුව දුක් බැලීමට යෑමෙන් ද, උදේ හවස බුදුන් වැඳීමෙන් ද විභාගවලට පිටත් වීමට පෙර අනුහස් සහිත ආගමික ස්ථානයකට විදුලිය වෙනුවෙන් ආලෝක පූජාවක් බාර වීමෙන් ද, විභාගවලට පිටත් වද්දී "ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ" ගාථාව කියමින් පිටත් වීමෙන් ද, සිසු සිසුවියන් ද සහිත විශ්වවිද්‍යාලයක පින්තූරයක් පාඩම් කරන ස්ථානයේ තබා ගැනීමෙන් ද, පාඩම් කරන ස්ථානයේ අසුන වඩාත් සුවපහසු ලෙස පිළියෙල කර ගැනීමෙන් ද, ආර්ථික අතින් දුර්වල දරුවන්ට පොත්පත්, ඇඳුම් පැලඳුම්, සපත්තු, බෑග් ආදිය පරිත්‍යාග කිරීමෙන් ද අසරණ දරුවන්ගේ පන්ති ගාස්තු ගෙවීම සහ ඔවුන්ට ශිෂ්‍යත්ව ලබාදීම ආදිය මඟින් ද දරුවන්ගේ අධ්‍යාපන ගැටලුවලට යම් මට්ටමකට හෝ විසඳුම් ලැබෙනු ඇත.

Comments