ජවිපෙ නාය­ක­යා­ගෙන් තුවක්කු දෙක ඉල්ලුවේ කවුද | Page 2 | සිළුමිණ

ජවිපෙ නාය­ක­යා­ගෙන් තුවක්කු දෙක ඉල්ලුවේ කවුද

ට වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් තෝරා ගනු ලැබූ රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙනු ලැබූවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ය. පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ ජනාධිපති හා අගමැති කාර්යාල මැද පරිශ්‍රයේ දී චාම් හා අභිමානවත් අයුරින් දිවුරුම් දීමේ උත්සවය පැවැත්විනි. සාම්ප්‍රදායිකව පැවැති කෙටි ත්‍රිවිධ හමුදා උත්තමාචාරයෙන් පසුව ජනාධිපතිවරයා දෙවන මහලට ගොස් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.

 

මෙම පරිශ්‍රයේ බිත්තිවල මීට පෙර සිටි දැනට ජීවතුන් අතර නොමැති රාජ්‍ය නායකයින්ගේ සිතුවම් ද දක්නට ලැබීම විශේෂත්වයකි. රනිල් වික්‍රමසිංහගේ මාමා වන මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේත් දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේත් සිතුවම් ඒ අතරෙවීම විශේෂත්වයකි.

ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ පළමුව ගියේ සිය සදාදරණීය බිරිය වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහයන් ළඟටය.

ඇය අසලට ගොස් හාදුවක් දෙද්දී රැස්ව සිටි පිරිසගේ නෙතට සතුටු කඳුළක් එක් වූවේ නිතැතිනි. අනතුරුව ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආදී පක්ෂ නායකයන් අසලට යද්දී ඔහුගේ නෙත ගැටුණේ පාර්ලිමේන්තු බිත්තියේ එල්ලා තිබූ ඩී.එස් සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක යන අගමැතිවරුන්ගේ ආලේඛ්‍ය චිත්‍රයන්ය.

 

තේ පැන් සංග්‍රහයේ වියදමත් රනිල්ගෙන්

 

සුළු තේ පැන් සංග්‍රහයක් ද සුදානම් කර තිබූ අතර පිරිස එහිදී ද ඇමති මණ්ඩලය පත් කිරීම ගැන මෙන්ම නව අගමැතිවරයා සම්බන්ධයෙන් ද විමසා සිටියේය.

“හැමෝගෙම යෝජනාව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කියන එකනේ. ඉතින් ඒකට අපි අවස්ථාව දෙනවා. මම හැමෝටම ආරාධනා කරලා තියෙන්නේ මේකට සම්බන්ධ වෙන්න කියලා.

නමුත් රට පවත්වාගෙන යන්න ඕන හින්දා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තෙක් හිටපු ඇමතිවරුම යළි භාරකාර රජයක් ලෙස දිවුරුම් දෙනවා. “ ජනාධිපති කීවේය.

“ඉතින් අගමැති කවුද කියලා කිව්වේ නෑනේ.“ නැවත මන්ත්‍රීවරු විමසුවේය.

“පාර්ලිමේන්තුවෙන් අගමැතිවරයා, ජනාධිපති ලෙස පත්වුණාම සභානායකවරයා, අගමැති කරන එක තමයි සම්ප්‍රදාය.“ එසේ කියමින් ඔහු මන්ත්‍රීවරු දෙස බැලුවේ වෙනත් අදහසක් ඇති ද කියා දැනගැනීමට මෙනි.

“ජනාධිපතියි අගමැතියි දෙන්නම එකම ඉස්කෝලේ එකම පන්තියේ.“ ආශු මාරසිංහ කියද්දී සභානායක දිනේෂ් ගුණවර්ධන කීවේ තවත් තනතුරුවල අපේ අය මේ විදියටම හිටියා කියාය.

“ඔව් සභානායක, විපක්ෂ නායක වගේම කථානායක වෙලත් මගේ පාසල් මිතුරෝ හිටියා.“ ජනාධිපති කිවේය.

“කථානායක කවුද?“ අසල සිටි අයෙක් විමසීය.

“ඇයි අනුර බණ්ඩාරනායක.“ ජනාධිපති කියද්දී අමතක වූ දේ සැමට සිහිපත් වූවේ ඒ වෙලාවේදී ය. අනුර බණ්ඩාරනායක ගැන කියද්දී බොහෝ දෙනෙකු තරමක් සංවේදී වූයේ ඔහු වසර කිහිපයකට පෙර මිය ගොස් තිබුණු නිසාය.

 

අනුරගෙන් තුවක්කු ඉල්ලයි

 

එදින වැඩබලන ජනාධිපතිවරයා සභාවෙන් පිටත්ව ලොබිය දෙසට එද්දී හමුවුවේ ජතික ජන බලවේගයේ නායක අනුර දිසානායකව ය. “කෝ අපේ තුවක්කු දෙක.“ වැඩබලන ජනාධිපතිවරයා එකවර විමසා සිටියේය. ජනාධිපතිවරයා ඇසු පැනයෙන් තුෂ්නිම්භූත වූ අනුර දිසානායක “මොන තුවක්කු ද“ කියා පෙරලා විමසීය.

“ඇයි පාර්ලිමේන්තුව ළඟදී හමුදාවේ අයගෙන් ගත්ත තුවක්කු දෙක“ යැයි කියද්දී ජනාධිපති ඇසූ පැනයේ බරපතළකම අනුරට වැටහී ගියේ ගියේ එවිට ය.

“ඔබතුමා විහිළු කරනවාද? ඒක ගත්ත කෙනෙක්ගෙන් ඉල්ල ගන්න.“ කියා අනුර කියද්දී “හා හා එහෙනම් හමුදාවට දෙන්න කෝ“. කියමින් ජනාධිපති රනිල් නික්ම ගියේ සිනහසෙමිනි.

ජනාධිපතිවරණයෙන් ජයගැනීමෙන් පසු බොහෝමයක් මන්ත්‍රීවරුන් අසලට ජනාධිපතිවරයා ගොස් ඔවුන්ට ස්තූති කළේ තමන්ට දැක්වූ සහයෝගය අගය කරමිනි. අගමැති කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරුන්ට ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය. පසුව ජනාධිපතිවරයා සිය ආරක්ෂකයින්ට උපදෙස් දුන්නේ තමන්ට පාර්ලිමේන්තුව ආරක්ෂා කළ හමුදා හා පොලිස් සාමාජිකයන්ට ස්තූතිය පළ කළ යුතු බවකි.

ක්ෂණිකවම ජනාධිපතිවරයා රැගත් රථ පෙළ හමුදා සහ පොලිස් නිලධාරීන් සිටි ස්ථාන වෙත ගමන් කළ අතර ජනාධිපතිවරයා ස්ථාන 3 ක දී වාහනයෙන් බැස හමුදා සහ පොලිස් නිලධාරීන් අසලටම ගොස් ඔවුනට ස්තූතිය පුද කළේය.

 

රනිල් මහින්ද සොයා ගෙන එයි

 

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිධුරයට පත් වූ පසුගිය 15 වැනිදා සහ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිධුරයට පත්වූ පසුගිය 20 වැනිදා යන දින දෙකේදීම රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණියේය.

මහින්ද රාජපක්ෂගේ කොළඹ පිහිටි නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ සැලකිය යුතු වේලාවක් මහින්ද රාජපක්ෂ සමඟ කතාබහකොට තිබේ.

විශේෂයෙන්ම මේ අවස්ථාවේ රටේ දේශපාලන ස්ථාවරව ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කතාබස් කොට ඇති බව වාර්තා වේ.

රට ඉදිරියට ගෙන යාමේ කටයුතු සඳහා මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන පරිණතභාවය අනුව අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසටද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

 

හරීන්, මනූෂ, ප්‍රසන්න, ලන්සාගේ මෙහෙයුම

 

සෙනසුරාදා වන විට ජනාධිපතිධූරය සඳහා කිහිප දෙනෙක් තරග කරන බව ප්‍රකාශයට පත්වී තිබුණි. ඒ අනුව වජිරගේ නිවසේ සිට එම මෙහෙයුම් ආරම්භ විය. බොහෝ හමුවීම් පැවැත්වුණේ වජිර අබේවර්ධනගේ නිවසේය.

හරින්, මනුෂ, නිමල් ලංසා, ප්‍රසන්න රණතුංග වෙන් වෙන්ව කණ්ඩායම් මුණ ගැසෙමින් රනිල්ට සහාය ලබාගැනීම සඳහා වන මෙහෙයුම ආරම්භ කළේය. අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාත් මනුෂත් වෙනම හමුවෙමින් සාකච්ඡා ඉදිරියට ගෙන ගියේය. හරීන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සමඟ තරුණ මන්ත්‍රීවරුන්ට කතා කිරීමට පටන් ගෙන තිබුණි.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු සමඟ රනිල් සෘජුව සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල්ට ලබාදීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළේ මහින්ද අමරවීරය.‍ ඉරිදා දිනය වන විට රනිල් ක්‍රියාකාරී කමිටුවක් පත් කළේය. ඒ සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමටය. වජිර, මනුෂ, හරින්, ජොන්ස්ටන්, පවිත්‍රා ඇතුළු කණ්ඩායමකින් එය සමන්විත විය.

“රටේ නීතියක් තියෙන්න ඕන. මම මේ තනතුරෙන් අයින් වෙලා රට අරාජික වෙන්න දෙන්නේ නෑ. මම කාට හරි රට භාරදීලා යනවා මිසක් රට අරාජික කරලා මේක දාලා යන්නේ නෑ”රනිල් ක්‍රියාකාරී කමිටුවට දැනුම් දුන්නේය.

මාදිවෙල මෙහෙයුම

 

ඉරිදා උදෑසන වන විට මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුනේය. ඒ වන විට අගමැති ලේකම් කාර්යාලයත් වට කර තිබූ අතර එතැන සිටි මන්ත්‍රීවරයෙක් රනිල්ට දුරකතන ඇමතුමක් ගත්තේය.

“සර් මේ වොලවේ අපි ඔබතුමා වෙනුවෙන් ඉන්නවා” මන්ත්‍රීවරයා කීවේය.

එදා සවස හතරට පමණ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා එතැනට පැමිණියේය. ඒ එම නිවසේ සිටි පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවටය.

“අපිට ගෙවල්වලට යන්න බෑ. අපේ ගෙවල් ගිනි තියාවි. අපේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා‘’ මන්ත්‍රීවරු ප්‍රසන්නට කීහ.

“අපේ ගෙවල්වලට ගිනි තිබ්බේ සජිතගේ අයයි අනුර කුමාරගේ අයයි. මම ඩලස්ට කතා කළා. එයා ජනාධිපති වුණොත් සජිත් අගමැති කරනවා කියලා කියනවා. එහෙම වුනොත් ගම්වල සමගි ජන බලවේගයේ අය යළිත් ශක්තිමත් වෙලා අපි ආයෙමත් ගුටි කනවා”ප්‍රසන්න ඇතිවිය හැකි අවදානම පැහැදිලි කළේය.

 

ජී එල් ගේ ගෙදරට රනිල්ගේ කණ්ඩායමක්

 

මේ අතර සඳුදා දිනයේදී පාර්ලිමේන්තුවේදී රනිල් තවත් මෙහෙයුමක් පටන් ගත්තේය. ඒ පළාත් වශයෙන් මන්ත්‍රීවරුන් ගෙන්වමින් සාකච්ඡා කිරීමටය. පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට පළාත් වශයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කැඳවූ රනිල් ඔවුන්ට කණ්ඩායමක් ලෙස කතා කරමින් තත්ත්වය පැහැදිලි කළේය.

එම සාකච්ඡා වැළැක්වීමට ජී. එල් පීරිස් වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි. නීතිපතිවරයාටත් පිටපතක යවමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම සාකච්ඡා සඳහා පාර්ලිමේන්තු සංකිර්ණය ලබා නොදෙන ලෙසට ඉල්ලීමට සූදානමින් සිටියේය.

ඒ වන විට ප්‍රසන්න රණතුංග තමන්ට විශ්වාසවන්ත කණ්ඩායමක් ජී එල් ගේ නිවසට යවා තිබුණි. ඒ ජී එල් පාර්ශ්වයෙන් තොරතුරු ලබාගැනීමටය. ඔවුන් මෙම ලිපිය ගැනත් දැනුවත් කර තිබූ අතර එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ගෙන තිබුණේය.

අවසානයේදී ලිපිය මහ ලේකම්වරයා අතට පත්ව නොතිබුණි.

මේ අතර රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 2010 දී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ට හමුවීමක් අවශ්‍ය බවය.

මනුෂ නානායක්කාර සහ ආශු මාරසිංහ එක්ව එය සංවිධානය කළේය.

මේ අතර පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී සංසදය පැමිණ රනිල්ට සිය සහාය ලබාදෙන බවට සහතික විය.

මනුෂ නානායක්කාර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සමඟ සාකච්ඡා කරන්නට විය.

“දැන් මේ සල්ලිවලට මන්ත්‍රීවරු ගන්නවා කියලා කතාවක් යනවා. රනිල් ලොක්කා එහෙම සල්ලි දෙනවාද’ මන්ත්‍රීවරයෙක් මනුෂගෙන් ඇසුවේය.

“එක සත පහක්වත් දෙන්නේ නෑ. අපි සල්ලි දීලා කාගේවත් සහාය ගන්නේ නෑ. මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය ගැන තේරුමක් තියන අයගේ සහාය තමයි අපිට අවශ්‍ය” මනුෂ කීවේ සල්ලිවලට මන්ත්‍රීවරුන් බිලි බා ගන්නා කතාවේ ඇත්ත නැත්තය.

ප්‍රසන්න කැඳවූ සාකච්ඡාවට ඩලස්ගේ අයත් ඇවිත්

 

සඳුදා උදෑසන පැවති මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සංවිධානය කර තිබුණේ රොෂාන් රණසිංහය. එයට නාලක ගොඩහේවා සහ චන්න ජයසුමනත් පැමිණ සිටියහ.

“මම ඩලස්ට කතා කළා. රනිල් ජනාධිපති කරලා අගමැතිකම ගන්න කියලා යෝජනා කළත් ඒ යෝජනාවට කැමැත් වුනේ නෑ”ප්‍රසන්න පැහැදිලි කළේය.

“අපි ඩලස් අරගෙන එන්න ඕන. එයාට උදව් කරන්න ඕන” චන්න ජයසුමන සිටියේ ඩලස්ගේ පැත්තේය.

“දැන් මේ වෙලාවේ රට මුහුණදී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට අත්දැකීම් ඇති අයෙක් පත් කරගත යුතු වෙනවා.

ඒ අනුව එතැනට සුදුසු වෙන්නේ රනිල් වගේ කෙනෙක්” ශාන්ත බණ්ඩාර පැවසුවේය.

ඒ අතර ප්‍රසන්න රණතුංග දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරුන්ගේ දුරකතන අංක ලබාගෙන ඔවුන්ට කතා කරමින් රනිල්ට සහාය ලබාගැනීමේ මෙහෙයුමක් ක්‍රීයාත්මක කළේය. අඟහරුවාදා වන විට ප්‍රසන්නගේ ලයිස්තුව අනුව රනිල්ට මන්ත්‍රිවරු 126කගේ සහාය හිමිවීමට නියමිතව තිබුණි.

නාම යෝජනා ඉදිරිපත් කරන දිනයේදී රනිල්ගේ නම මනුෂ යෝජනා කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චාමර සම්පත් දසනායක විසින් එය ස්ථිර කිරීමටත් සාකච්ඡා විය. එහෙත් පාර්ලිමේන්තුවට යන අතරවාරයේදී මනුෂට ආශු මාරසිංහගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය.

“පොඩි වෙනසක් තියෙනවා. දිනේෂ් ගුණවර්ධන නම යෝජනා කරාවි. ඔයා ඒක ස්ථිර කරන්න” මනුෂට ආශු කීවේය.

“කවුරු යෝජනා කළත් කවුරු ස්ථිර කළත් මට කමක් නෑ. මට ඕන රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන එක විතරයි” මනුෂ කීවේය.

ඒ අනුව දිනේෂ් නම යෝජනා කළ අතර සමගි ජන බලවේගයේ මනුෂ එය ස්ථිර කළේය.

ආශු පැවසුවේ තමන් ප්‍රවේශමෙන් චාමර සම්පත් දසනායක සමඟ මෙය විසඳා ගන්නම් කියාය. කියූ ලෙසටම ඔහු ප්‍රවේශමෙන් එය කළමනාකරණය කරගෙන තිබුණි.

සජිත්ට විරෝධයක්

 

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඡායාරූපයක් ගෙන තමන්ට එවන ලෙසට සජිත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී තිබුණේය.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වනවාත් සමඟම මුස්ලිම් මන්ත්‍රීවරයෙක් මනුෂට දුරකතන ඇමතුමක් ගෙන ඒ බව පවසා තිබුණේය.

“මේ යකාට අපිවත් ෂුවර් නෑ වගේනේ. ඉතින් එහෙම එකෙක් එක්ක දේශපාලනය කරන්නේ කොහොමද. අපිට කරන්න තියෙන්නේ ඇත්තටම රනිල්ට ඡන්දෙ දීලා ඩලස්ට ඡන්දෙ දීපු වෙන මන්ත්‍රී කෙනෙක්ගේ ෆොටෝ එකක් අරගෙන යවන එක තමයි” මන්ත්‍රීවරයා මනුෂ සමඟ කීවේය

මේ කතාව ඇසූ මනුෂ ඒ බව ඒ වන විටත් පාර්ලිමේන්තුවේ සිටි රනිල්ට දැනුම් දුන්නේය.

රනිල් හරීන් සහ මනුෂ කථානායකවරයා හමුවීමට ගියේ රහස් ඡන්දයක් පවත්වන අවස්ථාවකදී තමන්ගේ ඡන්දයේ ෆොටෝ එකක් ගැනීම තුළින් ඡන්දයේ රහස්‍යභාවය අහිමිවී යන බව ඔවුහු පැමිණිලි කරමින් පැවසූහ.

ඒ අවස්ථාවේදී කථානායකවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තමන්ගේ කාමරයට ගෙන්වූවේය. සජිත් ඡන්දය සලකුණු කරන කොළයේ ඡායාරූපයක් ගන්නා ලෙසට කර තිබූ ප්‍රකාශය ගැන ඔහු දැනුම්වත් කළේ තේරීම් භාර නිලධාරියා ලෙසට මහ ලේකම්වරයා කටයුතු කරන නිසාය.

“මට නම් ඒකට කිසිම දෙයක් කරන්න නීතිමය ප්‍රතිපාදන නෑ”මහ ලේකම්වරයා කීවේය

“එහෙම නීතිමය ප්‍රතිපාදන නෑ කියලා කියන්න බෑ. ඒකට නීතිමය ප්‍රතිපාදන තියෙනවා”රනිල් එතැන සිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන්වාගෙන එහි ඡේද පිටින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට පෙන්වා දුන්නේය.

අවසානයේදී රනිල් ව්‍යවස්ථාවේ පෙන්වාදී තිබූ දේ පිළිගැනීමට සිදුව තිබුණි. සජිත් මන්ත්‍රී කණ්ඩායමට යෝජනා කළ පරිදි ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගෙන ප්‍රසිද්ධ කිරිමට නොහැකි බවට නිවේදනය කළේ ඉන් පසුවය.

ඩලස්ලාගේ මාධ්‍ය මෙහෙයුම

 

ඡන්දයට පෙර දින රාත්‍රිය වන විට ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. ඔවුන්ට ඒ වන විටත් සහාය ලබාදෙන බවට සහතික වී සිටි කණ්ඩායම් විටින් විට මාධ්‍ය හමුවට පැමිණ ඔවුන්ගේ සහාය ඩලස්ට බව ප්‍රකාශ කරන්නට වූහ.

ඔවුන්ගේ මාධ්‍ය මෙහෙයුමට මුහුණ දිය හැකි ආකාරයේ මෙහෙයුමක් සකස් කිරීමේ වගකීම මනුෂට රනිල් පවරාදී තිබුණේය. ඒ අනුව සත්‍ය තත්වය හෙළි කිරීමට මනුෂ කටයුතු කර තිබුණි.

ඒ අතර ජීවන් තොණ්ඩමන් මනුෂට දුරකතන ඇමතුමක් දුන්නේය

“දැන් අයියේ නොම්බර කොහොමද” ජීවන් ඇසුවේය

“අපිට 130ක් විතර තියෙනවා” මනුෂ උත්තර දුන්නේය. ඒ මන්ත්‍රීවරුන්ගේ ගණන් සෑදීම ගැන ඇසූ ජීවන් තමන්ගේ සහාය රනිල්ට ලබාදෙන බව ප්‍රසිද්ධියේ ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේය

ඒ අතර හරින් මාධ්‍යයට පැමිණ මන්ත්‍රීවරුන් 130කට වැඩි සංඛ්‍යාවක සහාය ලබාගැනීමට හැකි බව කීවේ අනෙක් පාර්ශ්වයේ මාධ්‍ය මෙහෙයුමට අභියෝගයක් එල්ල කරමිනි.

මේ අතර රාත්‍රී දෙකට පමණ රනිල්ට දුරකතන ඇමතුමක් ගත් මනුෂ ඒ වන විට පවතින තත්ත්වය පැවසුවේය. මාධ්‍ය මෙහෙයුමෙන් තමන්ට අවාසියක් විය හැකිදැයි යන්න රනිල්ට මනුෂ කීවේය.

“බය වෙන්න එපා. මම ඒ සේරම බලාගන්නම්”රනිල් උත්තර දුන්නේය. ඡන්දය පැවැත්වෙන දිනයේදී රනිල් වජිරගේ නිවසින් ගියේ උදෑසන හතරට පමණය.

ලන්සාගේ ඔට්ටුව

 

ඡන්දය දවසේ උදෑසනම ප්‍රසන්නත් ලංසාත් පාර්ලිමේන්තුවට ගොස් සිටියේය. මන්ත්‍රී පිවිසුමෙන් සමගි ජන බලවේගයේ කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා පැමිණෙන විට ලංසා ඇසුවේ ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්නය

“අපි දිනනවා. අපිට 126ක් ගන්න පුළුවන්” කිංස් කීවේය

වහාම ප්‍රසන්න හා ලංසා ඔහු පැත්තකට ගෙන ගියේය. ඔහුගේ තක්සේරුව අනුව ඡන්ද බෙදී යා හැකි ආකාරය ගැන විමසුවේය. කිංස් නෙල්සන්ගේ ගණන් හැදීම අනුව මන්ත්‍රීවරු 82කට වඩා වැඩි සංඛ්‍යාවක් පෙන්වීමට ඔහුට හැකිවූයේ නැත .

“අපි ඔට්ටුවක් අල්ලමුද”ලංසා කිංස් සමඟ ඔට්ටුවක් ඇල්ලුවේය.

සජබයේ සහාය

 

“සජිත් එක්ක මේ ගමන යන්න බැ. ඒ නිසා අපි රනිල්ට සහාය දෙනවා” සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීහ.

එහෙත් ඒ ගැන පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන්ට සැකයක් තිබුණි. සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා මනුෂගෙන් මේ ගැන විමසුවේය.

“බය වෙන්න එපා මල්ලි. අඩුම තරමෙ සමගි ජන බලවේගයෙන් අටක් අපට ඡන්දය දෙනවා”මනුෂ සංජීව එදිරිමාන්න ඇතුළු කණ්ඩායමේ සැකය දුරු කළේය. එහෙත් ඡන්දය ප්‍රකාශ කරන විට එම අට දෙනා දොළොස් දෙනෙක් බවට වර්ධනය වී තිබුණි.

මේ වන විට තැන් කිහිපයකින්ම මන්ත්‍රීවරුන්ගේ ඡන්දය බෙදීම ගැන ගණන් සෑදි තිබුණි.

වජිර අබේවර්ධනගේ ගණන් සෑදීම අනුව එය 140කි. මනුෂගේ ගන්න සෑදීම අනුව එය 129ක් හෝ 130කි. ප්‍රසන්න රණතුංගත් ගණන් සාදා තිබුණේ මේ ආසන්න සංඛ්‍යාවකටය.

ඡන්දය ප්‍රකාශ කරන අතරවාරයේදී මන්ත්‍රීවරුන්ගේ නම් සහිත ලේඛන ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙක් අත මෙන්ම විපක්ෂයේ කිහිපදෙනෙක් අතද විය.

ශෙහාන් සේමසිංහ එක් පැත්තකින් අංක සටහන් කරන විට රෝහිත අබේගුණවර්ධන තවත් පැත්තකින් අංක සටහන් කරගෙන ගියේය.

ප්‍රසන්නගේ ගණන් හැදීම

 

මේ අතර මෙහෙයුමට සම්බන්ධවී සිටි නිමල් ලංසා මන්ත්‍රීවරයා පැත්තකට වී සිටියේය.

ඔහු පැත්තකට වී සිටින්නේ ඡන්දය පරාද වන බව ස්ථිර වශයෙන්ම දන්නා නිසා යැයි එතැන සිටි සජබ මන්ත්‍රීවරු පවසන්නට වූහ.

ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු සභා ගර්භයට ගියේ මන්ත්‍රී නාම ලේඛනයද රැගෙනය. ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරයාගෙන් මන්ත්‍රීවරයාට ලකුණු කළ ඔහු 113 සම්පූර්ණ වන බව දැනගත් වහාම රනිල් අසලට ගියේය.

“සර් දැන් 113ක් අපිට ඡන්ද වැටිලා තියෙන්නේ”ප්‍රසන්න කීවේය.

ඉන්පසුව ඔහු ගියේ මහින්ද රාජපක්ෂ ළඟටය.

“සර් අපිට දැන් බහුතරය තියෙනවා”ප්‍රසන්න කීවේය.

“ෂුවර්ද”මහින්ද ඇසුවේය.

“ඔව් ඔව් හොඳටම ෂුවර්. මම මේ ලකුණු කරලා තියෙන්නේ”ප්‍රසන්න තමන් නම් ලකුණු කළ ලේඛනය මහින්දට පෙන්වූවේය.

 

පළමු ප්‍රතිඵලය හරීන්ගෙන්

 

මේ අතර ඡන්ද විමසීමෙන් පසුව ගණන් කිරීම ආරම්භ වන විට රනිල්ගේ නියෝජිතයා ලෙස එයට සම්බන්ධ වුයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය.

ඡන්ද ගණන් කරමින් තිබියදී රනිල්ගේ ගොඩ 113 පැන්නූ වහාම හරීන් එක අතක් ඔසවමින් සංඥාවක් කළේය. 130 පැන්නු පසුව අත් දෙකම ඔසවමින් සංඥාවක් දුන්නේය.

ඡන්ද ගණන් කිරීම අවසන් වූ වහාම හරීන් පැමිණියේ මනුෂ සිටි දෙසටය.

’‘අපි දිනුම්”හරින් මනුෂ බදාගෙන කීවේය.

ඉන් පසුව රනිල් ළඟට ගොස් හරීන් සුබ පැතුවේය.

“සර් දිනුම්. ඡන්ද 134ක් සර් අරගෙන තියෙනවා” හරීන් සුබ පැතුවේය.

 

Comments