කේක් හදන්න දන්න රනිල් රටත් හද­යිද? | සිළුමිණ

කේක් හදන්න දන්න රනිල් රටත් හද­යිද?

* දුසිම් භාගයක වාරගණනක් ලෝකයේ අගමැති වූ එකම පුද්ගලයා හා වත්මන් විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බාල කාලයේ සිට ඇසුර ආරම්භ වන්නේ කෙසේද?

රනිල් සමඟ මගේ සම්බන්ධය ඇතිවන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නටත් පෙර. මගේ තාත්තා ශ්‍රීලාල් හික්කඩුව ලියනගේයි. ඔහු 'සිළුමිණ' ප්‍රධාන කර්තෘ ධුරයට පත් කළේ (1944 සිට 1953 දක්වා) ඩී.ආර්. විජේවර්ධනයි. එතුමාගේ දුව නාලිනි විවාහ වුණේ එස්මන්ඩ් වික්‍රමසිංහ සමඟයි. ඒ කියන්නේ රනිල්ගේ අම්මයි තාත්තයි. පොඩිම කාලේ රනිල් සමඟ මම සෙල්ලම් කළේ රනිල්ගේ සීයා ඩී.ආර්. විජේවර්ධනගේ ගෙදර හුණුපිටියේ. ඒක ගෙයක් නෙමෙයි මාලිගයක්.

* රනිල් සමඟ පාසල් ජීවිතය ආරම්භ කරන්නේ කොයි කාලේද?

1954 දී රාජකීය විද්‍යාලයේ බාලාංශයේ සිංහල පන්ති දෙකයි, දෙමළ පන්තියයි, ඉංග්‍රීසි පන්තියයි. රනිලුයි මායි එක පන්තියට එක දවසේ ඇතුළු වුණේ.

* පන්තියේ හිටපු දන්න අය කවුද?

මගේ ක්ලාස්මෙට්ලා වුණේ අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන, තෝමස් අමරසුරිය, චරිත රත්වත්තේ. අපට වඩා පන්තියක් උඩින් හිටියේ ලක්ෂමන් කිරිඇල්ලයි, හේමන්ත වර්ණකුලසුරියයි.

  එතකොට උපාලි විජේවර්ධන සහ රංජිත් විජේවර්ධන ඒගොල්ල අපිට වඩා ගොඩක් සිනියර්

* චන්ද්‍රිකා මහ ඇමති කාලේ කියලා තිබුණා සුදුසුකම් තිබුණත් විමුක්ති කුමාරතුංගව රෝයල් එකට යන්නේ නෑ කියලා. එහෙනම් ගංගොඩවිල හිටපු 'දීප්ති' කොහොමද කොළඹ 7 රෝයල් කොලිජියට ගියේ.

ඒකට තමයි බලය කියන්නේ. අපේ තාත්තා සිළුමිණ ප්‍රධාන කර්තෘ හික්කඩුවේ ශ්‍රීලාල් ලියනගේ. ඒ කාලේ පත්තරේක කර්තෘ කියන්නේ රටේ නායකයාට කෙළින්ම කතා කරන්න පුළුවන් බලවතෙක්. මං විතරක් නෙමෙයි පස්සේ කාලේ 'තරුණි' කර්තෘ අයියත් රෝයල් එකට ආවේ ගංගොඩවිල ඉඳන් තාත්තගේ හිල්මන් කාර් ඒකේ

* රනිල්ගේ අම්මා අයියත් එක්ක ගැටුමක් තිබුණා නේද?

රනිල්ගේ අම්මත් සමඟ ගැටුම නිසා අයියා ලේක්හවුස් ජොබ් එක දමල ගහල ගියා

* රනිල්ගෙත්, ඔබෙත්, අනුර හා දිනේෂ්ගෙත් පළමු කාලයේ ගුරුවරිය කවුද?

මිසිස් පිරිස් තමයි. රනිල් වගේම අනුර පොඩි කාලේ හරී ලස්සනයි. අනුර සුදුපාට බෝල ගෙඩියක් වගේ

* ඔය කියන විදිහට රෝයල් කොලීජියේ ඔය පන්තියට ආගිය තාත්තලා කව්ද?

බණ්ඩාරනායක මහත්තයා අනුරව හිටපු හැටියේ කැඩිලාක් කාර් එකේ දාගෙන එනවා. පයිප්පය හප හපා සිංහල රාජ්‍ය භාෂාව කරපු මිස්ට බණ්ඩාරනායක මං දැකල නෑ අනුරට තියා ස්ටාෆ් එකටවත් සිංහලෙන් කතා කරනවා. පිලිප් ගුණවර්ධන එනවා; දිනේෂ්ව බස්සනවා. රනිල්ගේ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ නම් කලාතුරකින් ආවේ. ඒ ආවෙත් පයින්

* පොඩි කාලේ පන්තියේ ඉන්නකොට රනිල් - අනුර - දිනේෂ්ලගේ අම්මල පලතුරු රසකැවිලි එහෙම එවනවද?

රනිල්ව බලාගන්න ජේන් කියල ගෑනු කෙනෙක් හිටියා. රනිල්ගේ අම්මා පන්තියට එවන තරමක් එව්වේ එයා හදපු කේක්. ජේන් අතේ තමයි පන්තියට කේක් එවන්නේ. දවසක් රනිල් කේක් එකක් ඔතාගෙන ආවා. පැත්තක් යන්තං කරවෙලා තිබුණා. අපි පොඩි එව්වොනේ; කඩාගෙන කෑවා. රනිල් අපි කන දිහා ටිකක් බයෙන් වගේ බලාගෙන හිටියා. ඊළඟ දවසේ ජේන් තමයි කිව්වේ ඒ කේක් එක හැදුවේ රනිල් කියලා. දිනේෂ්ගේ අම්මා ඒ කාලේ පිලිප්ගේ සීට් එක වේකන්ට් වෙලා අවිස්සාවේල්ල මන්.ත්‍රී බොරලුගොඩින් එවන දූරියන් නිසා මුළු පන්තියම පුසුඹයි. අනිත් පන්තිවල අයත් හොට දානවා. බණ්ඩාරනායක මහත්තයා එව්වේ පොල්වලින් හදපු පුහුල් දෝසි වගේ ජාතියක්. සිරිමාවෝ බැඳලා ලයනල් වෙන්ඩ්ගේ ගේක කුලියට ඉන්නකොට තමයි අනුර හම්බවෙලා තිබුණේ.

* අරගලකරුවෝ ගිනි තිව්ව කියන රනිල්ගේ පියානෝ එක දැකල තියෙනවද?

අපි ඉතින් ඒ කාලේ පොඩි එවුන්නේ. ඔය ගෙදර ස්කොලේ ඇරිලා හවසට යනවා. ඕක ඒ කාලේ ඇඹුල් පේර, ලොවි, වෙරළු යායක්. පොඩි දියපාරවල් ඉඳන් තිබුණා. අපේ පොඩි සෙට් එකේ අයගෙන් ඔය පියානෝ එක යන්තම් හරි ගහන්න දැනන් හිටියේ අනුර විතරයි.

* රනිල් පොඩි කාලේ කන්න ආස කරපුවා මොනවද?

ගෙදර මොන රාජ භෝජන තිබුණත් රනිල් කාපු ගමන් ගෙදරින් එනවා. සත 2කට ඇඹරැල්ලා අච්චාරු ගන්නවා. ඒක තඩි ගොට්ටක්. රනිල් කවදාවත් තනියෙන් කෑවේ නෑ. යාළුවන්ටත් දුන්නා. රනිල් අඹ අච්චාරු, ලොවි අච්චාරු, කඩචොරු කන්න මරුවා. චොකලට්වලටත් එහෙමයි.

* ඔය කියන කාලේ රෝයල් කොලිජියේ යුනිෆෝම් එකක් තිබුණද?

ඒ කාලේ මොන යුනිෆෝම්ද? රනිල් ඇන්දේ කාකි කලිසම, රබර් සෙරෙප්පු දාගෙන ආවේ. ප්‍රයිස් ගිවින් එකට ඉස්කෝලෙන් කිව්වොත් විතරයි සපත්තු දැම්මේ. නිරහංකාර චරිතයක්.

* හැමෝම කියන්නේ රනිල් පොත් කියෝපු කෙනෙක් කියලා. රනිල් ඉස්කොලේ යන කාලේ 'අතහැරීම' කියලා ‍පොත කියෝලා තිබුණාද?

මේ මොනවා කියවනවද; ඒ කාලේ අපි සෙල්ලම විතරයි. මිස්ට බණ්ඩාරනායක සමහර වෙලාවට ඉංග්‍රීසි රහස් පරික්ෂක කතා පොත් එවනවා. රනිලුයි - අනුරයි ඒ කොළවලින් රොකට් හදල යවනවා

* එස්මන්ඩ් වික්‍රමසිංහට රන් පැන සම්මානය ලැබුණ අවස්ථාව මතකද?

ඒ උත්සවයට ආරාධනය අරන් ආවේ රනිල් අපේ තාත්තට. තාත්තා රනිල්ට හරි ආදරෙයි. ඉන්විටේෂන් එක රනිල්ගෙන් අරන් තාත්තා අනිත් පැත්තේ මෙහෙම ලියල රනිල්ගේ තාත්තට දෙන්න කිව්වා.

එන්නත් ආසයි එන්නත් ඕන ඇඳුම් නැහැ - සිළුමිණ කර්තෘ හවස රනිල් ආයෙමත් අපේ ගෙදර ආවේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ ලියුමක් අරගෙන  එන්නත් ආසයි එනවට කැමතියි ඇඳුම ප්‍රශ්නයක් නැහැ වැරහැලි ඇඳගෙන එව

* රනිල්ගේ සියා ඩී.ආර්. විජේවර්ධනගේ මරණය මතකද?

එතකොට අපි පොඩි අය. හුණුපිටිය ගෙදර තමයි මළගෙදර තිබුණේ. ඒ ගේ රජගෙදර පරාදයි.

*රනිල් - ජේ. ආර් ජයවර්ධනට කතා කළේ කොහොමද?

* මේ හින්ද නේද රනිල් විරෝධි ජේ.ආර්. ආණ්ඩුවේ උදවිය රනිල්ට 'පැඟිරා ' කිව්වේ

ජේ. ආර්ගෙන් පස්සේ පවුලේ කෙනෙක් හැටියට ජේ.ආර් බලාපොරොත්තු තියන් හිටියේ 'රනිල්' ගැන තමයි.

* සිරිමාවෝට 'හදෙන් හරි හාල් ගේනවා' කියපු Concept එක බිහි කරපු හික්කඩුවේ ශ්‍රිලාල් ජනාධිපතිවරණයට තරග කරන්න 'රනිල්ට' විවාහ වන ලෙස උපදෙස් දුන් කතාව සත්‍යයක්ද?

ඔය ගැන ලොකු උන්නැහේ (තාත්තගෙන්) මම අහන්න ගිහින් නෑ. එතකොට රනිල්ගේ අම්මා නාලිනිත් හිටියනෙ.

* රනිල් ඉස්කෝලෙ යන කාලේ නාට්‍යවල එහෙම රඟපෑවද?

එක සැරයක් ඉංග්‍රීසි නාට්‍යයක ඔරලෝසුවකට හිටියා. තව සැරයක් ලයිට් කණුවකට හිටියා. පන්තියේ හිටපු උසම කොල්ලා රනිල් තමයි. රනිලුයි චන්ද්‍රිකා දෙන්නම චිත්‍රසේනගෙන් නැටුම් ඉගෙන ගත්තා.

* බණ්ඩාරනායක මහතාට වෙඩි තියපු අවස්ථාව මතකද?

ඒ 1959 බණ්ඩාරනායක මහත්තයාට වෙඩි තියපු වෙලේ. සිරිමාවෝ මැතිනිය වෙනුවෙන් අනුරව ගෙනියන්න ආවේ රනිල්ගේ අම්මා නාලිනි. ඒත් එක්කම රනිලුත් ගියා. පස්සේ බණ්ඩාරනායක මහත්තයා මළාම අපේ පන්තියේ ඔක්කෝම මළ ගෙදර ගියා.

* රනිල්ගේ අම්මා රාජකීය විද්‍යාලයට සමීප චරිතයක්ද?

ඒ කාලේ හිටියා සුගතපාල කියල මාස්ටර් කෙනෙක්. රෝයල් එකේ තියෙන නව කලාගාරය එතුමියගේ සල්ලි වලින් හැදුවේ; සුගතපාල මාස්ටර් එක්ක.

* රනිල්ගේ පරම්පරාවේ අය කේන්දර විශ්වාස කළාද?

බණ්ඩාරනායක මැතිනියගේ උපදේශකයෙක් වුණේ අපේ තාත්තා. රනිල් ගේ අම්මා නාලිනි, දිනේෂ්ගේ අම්මා කුසුම, මැතිනියගේ යාළුවෝ, සිළුමිණ ජ්‍යොතිෂය ලිපි ලියපු හෙට්ටිගොඩ දවසක් තාත්තත් එක්ක රොස්මිඩ් වලව්වට ගිහින් තිබුණා. බණ්ඩාරනායක මැතිනිය කේන්දර 3ක් දීලා තිබුණා පක්ෂියා රජ වෙන එක තෝරන්න. හෙට්ටිගොඩ උන්නැහේ එක කේන්දරයක් තේරුවා. ඒ නිසා මැතිනිය විරසක වුණා. මැතිනිය පෙරැත්ත කරපු නිසා තව 1ක් තේරුවා. ඒ කේන්දරවලින් ඉතුරු එක අනුරගෙ. පක්ෂියා රජවෙනවා කියල මුලින්ම තෝරපු කේන්දරය රනිල්ගේ. දෙවැනියට තෝරපු එක දිනේෂ්ගේ.

* රනිල් සමඟ ඔබ විශ්වවිද්‍යාලයටත් තේරි පත්වුණා නේද?

රනිල්ගේ දේශපාලන ආරම්භය නීති ශිෂ්‍ය සභාවේ නායකත්වය. රත්තරං පෙරවගෙන යන්න පුළුවන. කෝටිපතියෙක්ගෙ පුතෙක් වුණු රනිල් කැම්පස් එකට ආවේ සෙරෙප්පු දෙක දාගෙන; කාකි සුට් එක දාගෙන.

* රනිල්ට කැම්පස් එකේ පෙම්වතියක් එහෙම හිටියේ නැද්ද?

ඒ කාලේ කැම්පස් එකේ හිටපු උසම ලස්සනම කොල්ල රනිල්. රනිල් එක්ක යාළුවෙන්න කෙල්ලෝ පොරකනවා.

* ඔය රනිල් නම් නීතිඥයා පෙනී සිටපු නඩු මොනවාද?

ඇයි රනිල් සැරයක් රෝහණ විජේවීර නඩුවේ රෝහණ විජේවීර වෙනුවෙන් පෙනී සිටියා.

* රනිල් - රෝහණ විජේවීර සමඟ සම්බන්ධයක් තිබුණාද?

විජේවීර අල්ලාගත්ත වෙලේ ප්‍රේමදාස ජනධිපතිටත් කලින් දැනගත්තේ සභානායක රනිල්. රනිල් - රංජන් විජේරත්නට විජේවීරව මරන්න එපා කියලා කෙළින්ම කිව්වා.

* රනිල් අඩි පුඩි එහෙම ගහනවද?

1954 රෝයල් ඉගෙන ගත්ත අපේ Group එකක් තියෙනවා. හැම රැස්වීමකටම රනිල් ඉඳගත්තේ මං ගාව. රනිල් ඉතින් පොඩි ෂොට් එකක් දානවා.

* රනිල්ගේ වෙඩින් එකේ ඔබත් ආරාධිතයෙක්ද?

මට දෙපැත්තෙන්ම ආරාධනා ලැබුණා.

මනමාලි අපේ විශ්වවිද්‍යාලයේ ෆස්ට් ක්ලාස් ලැන්වේජ් ලෙක්චර් කෙනෙක් නේ.

* රනිල්ගේ පාසල් ජීවිතයේ මෙතෙක් අනාවරණය නොකරපු දේවල් තියෙනවද?

රෝයල් එකේ තිබුණා රයිෆල් ක්ලබ් කියලා වෙඩි තියන්න උගන්නපු සංගමයක්. රනිල් තමයි හැමදාම කුසලානේ ගන්නේ. රනිල් කියන්නේ නොම්මර එකේ ඉලක්කෙට වෙඩි තියන වෙඩික්කාරයෙක්.

* අනුරට වෙඩි තියන්න බැරිද?

දවසක් හවස රනිල් ඉලක්කෙට වෙඩි තියපු දවසක යුරි ගගාරින් හඳට ගොඩ බැස්සා. අනුර කිව්වා රනිල්ට යුරි ගගාරින් හඳට බැහැලා; හඳට වෙඩි තියපන් ඕයි කියලා. රනිල්ට ඒක අහල කුරුමානම වැරදුණා. තව පොඩ්ඩෙන් අපි දෙන්නට වෙඩි තියනවා. රනිල් ඒවගේ තරහ ගිහින් ඉන්න දවසක් මම නම් දැකල නෑ.

* රණසිංහ ප්‍රේමදාස - රනිල්ව සභානායක කරලා උඩට ගත්තේ තමන්ගේ දුව දුලංජලිව කරකාර බන්දන්න කියලා ඒ කාලේ විකල්ප පත්තරවල ගියා නේද?

මං දන්න රනිල් නම් ඔය වගේ මඟුලකට කැමති වෙන්නේ නෑ. ගාමිණිට, ලලිත්ට පක්ෂය අතහැරලා යන්න එපා කියපු රනිල් කවදාවත් පක්ෂය අතහැරල ගියේ නෑ. ඔය කයිවාරු ගහන සජිත්ගේ තාත්තා ප්‍රේමදාසව බේරාගත්තෙත් රනිල් දෝෂාභියෝගයේදී.

* දැන් එකම පන්තියේ ඔබ සමඟ රෝයල් කොලිජියේ ඉගෙන ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති. ඒ පන්තියේම ඉගෙන ගත්ත දිනේෂ් ගුණවර්ධන අගමැති. දිනේෂ් ගැන පාසල් මතකයත් ඔහු මෙරට අගමැති ධුරයට පත්වේ යයි ඔබ සිතුවාද?

දිනේෂ් සිරිමාවෝ මැතිනියට පුදුම ආදරයක් දැක්වූයේ. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපුවම දිනේෂ් මව්බිම සුරකිමු ව්‍යාපාරයෙන් තමයි මැතිනි වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ. ඉස්කෝලේ යන කාලේ දිනේෂ්ගේ අයියා අම්මාට තාත්තට වැන්දේ නැහැ. දිනේෂ් මුලින්ම ඉල්ලුවේ මහරගමට දොස්තර ගාමිණි විජේසේකර එක්ක. මැතිනියගේ ආශිර්වාදයෙන් මහරගම දිනල මැතිනිය හම්බවෙච්ච වෙලේ තාත්තට බාප්පාට (පිලිප් - රොබට්) බැරි වුණත් කවදාහරි අගමැති වෙන්න වාසනා ගුණය තියෙනවා කියලා මැතිනි කිව්වා.

* දිනේෂ්ගේ බිරිය සමඟ මැතිනිය හිතවත් කමක් තිබුණා නේද?

දිනේෂ්ගේ බිරිය මියගිය අවස්ථාවේ මැතිනිය ආවා. දිනේෂ්ගේ දුව එතකොට පොඩියි. දිනේෂ්ගෙන් ඇහුවා තාත්තේ මම ආයි සැරයක් ගිහින් අම්මගේ අත අතගාලා එන්නද කියලා. ඒක අහල මැතිනිය සාරිපොටෙන් ඇහැට ආපු කඳුළු පිහිදා ගත්තා. දිනේෂ්ගේ වයිෆ්ගේ බොඩ් එක අරන් ගිය පෙරහැරේ පෙර ගමන් ගියේ විජය කුමාරතුංග

* පාසල් ජීවිතයේදී දිනේෂ් හා රනිල් අතරින් ඉහළ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළේ කව්ද?

රනිල්ගේ සද්ද බද්ද නෑ. සිංහයෙක් වගේ වැඩක් කළාමයි අපි දන්නේ කළා කියලා. දිනේෂ් එළිපිටම පාසල් කාලෙත් සටන්කාමියෙක්. ඊටත් වඩා හොඳ කථිකයෙක්. ජනාධිපති රනිල් සමඟ අගමැති දිනේෂ් සුසංයෝගය මේ රටේ ස්වර්ණමය යුගයක් ඇති කරයි කියලා තමයි මගේ නම් විශ්වාසය. රෝයල් එකේ අපේ ගෘප් එකෙන් රටේ ජනපතිත් - අගමැතිත් දෙන්නම බිහි වුණේ. ලෝක වාර්තාවක් මේක.

* රනිල් ජනාධිපති වෙන්න කලින් ඔබට කතා කළාද?

ඔව් මට ඊට කලින් දවසේ සුබ පැතුවා. මම මේ ඉතිහාසය මතක් කළාම ඕක ඉතින් පත්තරේක දාමු කියලා කිව්වා. මං කිව්වා උඹ දිනනවාමයි කියලා

* රනිල් කතා කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද?

රනිල් කතා කරන්නේ හොඳ සිංහලෙන්

* රනිල්ගේ ළමා කාලයේ සිට සමීපව ඇසුරු කළ පුද්ගලයකු ලෙස රනිල් ජනපතිධුරයට පත්ව අවසන් වශයෙන් ඔබ දකින්නේ කොහොමද?

මට හිතෙන්නේ රනිල් කියන්නේ අන්තිම යු.ඇන්.පී නායකයා. රනිල්, උගතෙක්, දක්ෂයෙක්, ජාත්‍යන්තර සබඳතා ඇති චරිතයක්. රනිල්ගේ උගත්කමෙන් වැඩක් අරගෙන ස්ථාවර රජයක් පවත්වාගෙන යාම දේශපාලන කෝන්තරවලින් රට වළපල්ලට යවන්නේ නැතුව ගොඩගන්න එක කාගෙත් යුතුකමක් කියලා අවසන් වශයෙන් මට කියන්න පුළුවන්.

 

Comments