කර­න්දෙ­ණියේ සුද්දාගේ කොන්ත්‍රා­ත්තු­වකට ඉන්දි­යාවේ ඉඳන් ඇවිත් රාජු දුන්න ගේම | Page 2 | සිළුමිණ

කර­න්දෙ­ණියේ සුද්දාගේ කොන්ත්‍රා­ත්තු­වකට ඉන්දි­යාවේ ඉඳන් ඇවිත් රාජු දුන්න ගේම

බේරුවල රේගුව පාරේ පරණ කඩේ පදිංචිව සිටි මෝදර පේඩිගේ ගයාන් සමින්ද ප්‍රනාන්දු හතළිස් දෙහැවිරිදි වියේ පසුවූ එක්දරු පියෙකි. වෘත්තියෙන් ඔහු තැඹිලි වෙළෙන්දෙකි. කුඩා ලොරි රථයකින් ගෙයින් ගෙට ගොස් තැඹිලි කපා ජීවිකාව සරිකරගත් ගයාන් සමින්ද ඉකුත් ජුනි 03 වෙනිදා අලුත්ගම මොරගොල්ලේදී ඝාතනය වන්නේ සහසික ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වය. ඒ එදින උදෑසන 7.45ට පමණය.

මොරගොල්ලේ ගෙවත්තක තැඹිලි ගසකට නැඟ තැඹිලි වල්ලක් කපා එය ලොරි රථයට දමා ගනුදෙනුවද අවසන්කොට ලොරි රථයට නැඟ එහි ඇංජිම පණ ගන්වන්නට යන අතර තුර වෙඩි තබන්නේ ඔහුගේ හිසටමය. ඒ තැබූ වෙඩිල්ලේ හඬ කාටත් ඇසුණද වෙඩි තැබුවේ කවුරුන්දැයි කිසිවෙකුගේත් ඇස ගැටෙන්නේ ද නැත. ඒ තරමට සූක්ෂමව සැලසුම් සහගතව ගයාන් සමින්දගේ ජීවිතය ඩැහැගැනීමට වෙඩික්කරුවා වගබලා ගත්තේය.

මෙම ඝාතනය කන වැසුණු බොහෝ දෙනාගේ හදවත් කම්පාවට පත්වන්නේ ගස් බඩගා තැඹිලි වල්ලක් දෙකක් බාගෙන එය විකුණා ජීවිකාව සරිකරගත් අහිංසකයෙක්ව මෙසේ මරා දැමීම ගැනය. එහෙත් ඔහු අහිංසක වෙස් ගෙන දෙබිඩි ජීවිතයක් ගත කළ අයෙක් බව දැන සිටියේ අතළොස්සක් පමණි. ඒ අතර ඔහුගේ ජීවිතය ඩැහැගත්තවුන් වගේම පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙක් සිටියහ. ඒ නිසා පොලීසියට නම් මෙම ඝාතනය අරුමයක් නොවීය. හැබැයි එය පොලීසියට කළ යම් අභියෝගයක් බව නම් ඒ හැම දෙනාම දැන සිටියේය. ඒ වෙන කිසිවක් නිසා නොව, මේ තැඹිලි වෙළෙන්දා දැවැන්ත මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙක් බවට පත්ව සිටි අයෙක් වූ බැවිනි.

ගයාන් සමින්ද සාක්ෂිකරුවෙක් බවට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2020 මැයි 14 වෙනිදා අල්ලාගත් ආන්දෝලනයට තුඩුදුන් මත්කුඩු කිලෝ 200කට අධික ප්‍රමාණය සම්බන්ධයෙනි. එම මත්කුඩු ගොඩට ගෙනා බෝට්ටුව පදවන්නේ ඔහුගේ මස්සිනාය. නමින් ඔහු ජනකය. ඒ බෝට්ටුවේ ගයාන් සමින්ද ද එදා සිටි බව කියති. හැබැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දක්ෂ ලෙස විමර්ශන පවත්වා ඊට ගෑවුණු හැම ජාවාරම්කරුවෙක්ම අල්ලා ගත්තත් බෝට්ටුවේ කප්පිත්තා වූ ජනක ඇතුළු කිසිවකුත් අල්ලන්නට ගියේ නැත. ඒ අයට නිදැල්ලේ ඉන්නට ඉඩ හරින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් කොටුකර ගන්නේ ගොඩබිමේ සිට එම මත්කුඩු තොගය බෙදා හැරීමට මුල්වූ පුරුක් ටික පමණි.

අවසානයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට එය ආපස්සට කැරකෙන්නේ අල්ලාගත් මත්කුඩු තොගයෙන් කොටසක් හොර පාරෙන් විකුණා ඇති බවට චෝදනා එල්ල වෙමිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන කළ විමර්ශනයකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ගොන්නක්ම හිරේ විලංගුවේ වැටුණේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් වූ චෝදනා ලබමිනි. එහි ප්‍රධාන සාක්ෂිකරුවෙක් බවට පත්වන්නේ ජනක සහ ගයාන් සමින්දය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාට නිදැල්ලේ ඉන්නට ඉඩ දුන්නේ ඇයි දැයි කියා හෙළිවන්නේද එහිදීය. ඒ එම මත්කුඩු තොගය අල්ලන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ඔත්තුකරුවන් වී සිටියේ ඔවුන් වූ බැවිනි.

මේ දෙදෙනාව කිසිසේත්ම පිටතට නිරාවරණය වන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉඩ දුන්නේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තේද මත්කුඩු ජාවාරම සම්බන්ධයෙනි. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමත් සමඟිනි. ඒ ඔස්සේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු සැකයක් කිසිවෙකුටත් එල්ල වෙන්නට දුන්නේ නැත. ටික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද හිර ගෙදරද ගත කළ මෙම දෙමස්සිනාලාට ඩුබායි හි රැඳී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවකුගෙන් තවත් කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නේ එබැවිනි. ඒ දකුණු මුහුදු තීරයට ඔබ්බෙන් ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවට පකිස්තානුවන් පිරිසක් බෝට්ටුවකින් රැගෙන එන මත්කුඩු තොගයක් බාර ගැනීමට දියඹට යාමටය. ඒ වෙනුවෙන් අතට ලැබෙන මුදල සුළු පටු නොවීය. එය රුපියල් මිලියන 03කි. ඊට පයින් ගැසූ දෙමස්සිනාලා ඩුබායි ජාවාරම්කරුවන්ට ඒ වැඩේ කර දෙන්නට බේරුවලින් කණ්ඩායමක් මුණ ගැස්සුවේය.

හැබැයි එම මත්කුඩු තොගය නියමිත දින බේරුවලින් මුහුදු ගිය කණ්ඩායම අතට පත්වූයේ නැත. හෙරොයින් කිලෝ 240ක් රැගෙන පැමිණි පකිස්තානුවන්ගේ බහුදින යාත්‍රාව නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අල්ලා ගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද ඔත්තුවකට අනුවය. ඒ ඉකුත් මැයි 08 වෙනිදාය.

ඩුබායි හි රැඳී සිටින මෙරට කුඩු පාතාලයේ රජවරු තමන්ව පාවා දෙන්නන්ට එරෙහිව නැඟී සිටීමට සම්මුතියකට එළඹෙන්නේ ඒත් සමඟිනි.

“තොපිට යහතින් ඉන්න දෙන්නේ නැහැ යකෝ“ යැයි දෙමස්සිනාලාට ඒත් එක්කම මරණීය තර්ජන ගලා එන්නට ගත්තේය. ඒ ඩුබායි රටිනි.

ඒ ගැන දෙමස්සිනාලාට එතරම් තැකීමක් නොවීය. මැයි 30 වෙනිදා ජනක යැයි සිතා හිටපු කමාන්ඩෝ සෙබළෙකුට කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ දී වෙඩි පත්තුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිණි. එම වෙඩිල්ල පත්තු වූයේ ජනක ඉලක්කරගෙන බව පොලීසියට දැනෙන්නේ ගයාන් සමින්දගේ ඝාතනයත් සමඟිනි. ඒ නිසාම ගයාන් සමින්ද පත්තු වූ වෙඩිල්ල පස්සේ පැන්නීමේ වගකීම පැවරෙන්නේ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලටය. අපරාධ විමර්ශනයේ නමක් දිනා සිටින නිලධාරියෙක් වන ඕලුගලට මේ සඳහා හොඳ කණ්ඩායමක්ද සිටියේය. ඒ කළුතර දිස්ත්‍රික්කය තුළ සිදුවූ මිනිස් ඝාතන 33ක් විසඳා සැකකරුවන්ද අල්ලා වැඩ පෙන්නා ඇති දක්ෂ අපරාධ විමර්ශකයෙක් වන පොලිස් පරීක්ෂක තිලංග සංජීව ඇතුළු පිරිසකි.

උප පොලිස් පරීක්ෂකවරුන් වන අතුල කුමාර, දිල්රුක් මධුෂාන්, පොලිස් සැරයන්වරුන් වන සමන්තිලක(41104), ගුණේන්ද්‍ර (55301), කොස්තාපල්වරුන් වන ජයසූරිය (69615), ප්‍රසන්න (69474), වසන්ත (69615), පද්මකුමාර (88400), අංජුල (98857) පොලිස් කොස්තාපල් රියදුරු බස්නායක (98971) යන නිලධාරීන් එම පිරිසට එක්ව සිටියහ.

මෙම විමර්ශන කණ්ඩායමට පැවරෙන මුල්ම අභියෝගය වන්නේ වෙඩික්කරුවා හඳුනා ගැනීමය. ආරක්ෂක කැමරා දත්ත විශ්ලේෂණයකදී පෙනී යන්නේ ගයාන් සමින්දගේ ඝාතකයා එහි එන්නේ යතුරු පැදිය නැඟී බවය. එම යතුරු පැදිය පදවන්නේ දෑතටම මුදු දැමූ තරුණයෙක් බව සියුම් පරීක්ෂා කිරීම්වලදී විමර්ශකයන්ට පෙනී ගියේය. ඔවුන් මෙම වෙඩි තැබීමෙන් පසු පලා යන්නේ දකුණු පළාත දෙසටය. යතුරු පැදියේ අංකය හඳුනා ගත්තද එය වෙඩික්කරුවන් පැමිණි සැබෑ යතුරු පැදියේ අංකය නොවීය. එබැවින් ඒ ඔස්සේ ඝාතකයා පසු පස හඹායාම එතරම් පහසු කටයුත්තක් නොවීය. එබැවින් සිය විමර්ශන ඥානය සහ දීර්ඝ කාලයක් තිස්සේ අපරාධ විමර්ශනයෙන් උපයාගත් සම්බන්ධකම් ඔස්සේ තොරතුරු රැස්කන්නට ඕලුගල ඇතුළු විමර්ශකයෝ වගබලා ගත්හ. ගයාන් සමින්දගේ ඝාතනයේ සැඟවුණු රහස් ගොන්නක්ම එළියට එන්නට ගත්තේ ඒත් සමඟිනි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඔත්තුවෙන් මැයි 08 වෙනිදා මහා මුහුදේදී නාවික හමුදාව විසින් අල්ලාගත් මත්කුඩු තොගය සහ ගයාන් සමින්දගේ ඝාතනය අතර සම්බන්ධයක් ඇති බව ඒ අනුව විමර්ශකයන්ට පෙනී ගියේය. එම මත්කුඩු තොගය ඩුබායි හී රැඳී සිටින කුඩු රජවරු කිහිප දෙනෙකුගේම බඩුය. ඒ නිසා ඔවුන් ගයාන් සාමින්දත් ජනකත් සමඟ සිටියේ මරාගෙන කන කේන්තියකිනි. මැයි 30 වෙනිදා බැස්ටියන් මාවතේදී පළමු වෙඩිල්ල පත්තුවන්නේ එබැවිනි. මොරගොල්ලේදී ගයාන් සමින්ද ට පත්තුවන්නේ එහි දෙවැනි වෙඩිල්ලය. එය පිටුපස සිටියේ කරන්දෙණියේ සුද්දාය. ඩුබායි සිට ඔහු ගයාන් සමින්දට වෙඩි පත්තුකරන්නේ සිය සහෝදරයා වූ කරන්දෙණියේ රාජුට කියාය. ඒ ඉන්දියාවට පලාගොස් සිටි රාජුව නැවත මෙරටට ගෙන්වාගෙනය.

කරන්දෙණියේ සුද්දා යනු අද වන විට දකුණ හොල්ලාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකි. හැබැයි දැන් නම් ඔහු ඉන්නේ ඩුබායිවලය. අණක් ගුණක් නැති පාතාලයේ දඩබ්බරයෙක් වන කරන්දෙණියේ සුද්දා මෙන්ම ඔහුගේ සහෝදරයා වන කරන්දෙණියේ රාජුද හමුදා සේවයේ සිටි දක්ෂ වෙඩික්කරුවන්ය. හමුදාවට යන්නට පෙර ටික කාලයක් රජු පොලිස් විශේෂ කාර්ය බළකායේද සේවයේ නිරතව සිටියේය. විශේෂ කාර්ය බළකායට සමුදෙන්නේ විශේෂ ‍බළකා සෙබළෙක් වීමටය. සුද්දා ඒ වන විට සිටියේ කමාන්ඩෝ

බළකායේය. ඔවුන්ගේ ගම්පියස වූයේ මීටියාගොඩ මහවත්ත පැත්තය.

මාකදුරේ මධුෂ් , කොස්ගොඩ සුජී සහ පොඩි ලැසී යන දකුණේ පාතාලයේ ප්‍රබලයන් ඉතා කිට්ටුවෙන් එකල ඇසුරු කළ මේ දෙදෙනා කොන්ත්‍රාත් ඝාතනවල නිරත වූයේ හමුදා සේවයේ සිටින අතරතුරදීමය. දකුණේ පාතාලයේ අභිරහස් වෙඩික්කරුවන් ලෙස ද කටයුතු කළ මොවුන් දෙදෙනාට වැඩ වරදින්නේ කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයෙක් වූ ප්‍රියංක ප්‍රසාද් ජයසිංහගේ ඝාතනයත් සමඟිනි. හිත හොඳ දොස්තර නමින් කරන්දෙණිය පැත්තේ කොයි කා අතරත් ප්‍රචලිතව සිටි ඔහුට වෙඩි තබා මරා දමන්නේ 2011 වසරේ සැත්තැම්බර් 29 වෙනිදාය. ඒ හිතහොඳ දොස්තරගේ පුද්ගලික බොහෙත් සාප්පුවට වැඩි වශයෙන් රෝගීන් ඇදී එන්නට වූ බැවින් එහි බලපෑම එල්ල වූ ඒ කිට්ටුවපාත පිහිටි චැනල් සේවාවක හිමිකරුවෙක් වූ හමුදාවේ ලොක්කකුගේ කොන්ත්‍රාත්තුවකට අනුවය.

සුද්දාත් රාජුත් එක්ව හිතහොඳ දොස්තරව මරා දමන්නේ ද සුපුරුදු ලෙස කඳවුරේ රාජකාරියේ නිතරව සිටින අතරතුර හොර රහසේ කඳවුරෙන් පලාවිත්ය. හිත හොඳ දොස්තරව මරාදැමූ ඔවුන් නැවත කඳවුරට ගොස් සිටින්නේ කිසිවක් නොවූ ගානයට. එහෙත් වැඩිකල් ඔවුන්ට මේ සෙල්ලම කරගෙන යන්නට ඉඩක් නොවීය. දොස්තර ඝාතනය ගැන විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නේ වෙඩි තැබූ ගිනි අවියද සමඟිනි. සොබාහැන්නදිගේ ජයලත්ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා සහ ‍සොබාහැන්නදිගේ සනත්ද සිල්වා නොහොත් කරන්දෙණියේ රාජු ගේ නම් දකුණේ පාතාල අපරාධ ලැයිස්තුවට එක්වන්නේ ඒත් සමගිනි.

හිත හොඳ දොස්තරගේ ඝාතනයට බන්ධනාගාරගත වන ඔවුන් දෙදෙනා හිරෙන් එළියට එන්නේ අපරාධ ලෝකයේ දැවැන්තයන් ලෙසිනි. ඔවුන්ගේ නම් ඉදිරියේ ලියැවුණු ඝාතනවලට වඩා නොලියැවුණු මිනිස් ඝාතන ගණන බොහෝය. ඒ බොහෝ ඝාතන කොස්ගොඩ සුජීගේ සහ මාකදුරේ මධුෂ්ගේ කොන්ත්‍රාත්ය.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් තිහාර ජයරත්න ඝාතනය පිටුපස සිටින්නේද කරන්දෙණියේ සුද්දාය. 2019 වසරේ ජූලි 03 වෙනිදා එම ඝාතනය සිදුවන්නේ අම්බලන්ගොඩ කුලීගොඩදීය. කරන්දෙණියේ සුද්දා ඒවන විට සිටියේ බන්ධනාගාරගතවය. ඒ ත්‍රිත්ව ඝාතනයකට සැකපිටය. ඒ වන විට ඔහුට එම ත්‍රිත්ව ඝාතනයට ඇප ලැබී තිබුණත් ඇප කොන්දේසි සපුරා එළියට ආවේ නැත. ඒ එළියට වඩා ඔහුට වඩාත් ආරක්ෂාකාරී වූයේ බන්ධනාගාරය වූ බැවිනි. එකල ඔහුට බන්ධනාගාරයේ ලොක්කෙකුගෙන් ලැබී තිබුණේ රජ සැලකිලිය. ඒ නිසා එළියට වඩා ඔහු ඇතුළේ ඉන්නට වැඩි උනන්දුවක් දැක්වූවේය. ඒ අතර පොඩි ලැසීද සිටියේය. හික්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මරා දමා බන්ධනාගාරයට ගිය පොඩි ලැසියාට එම බන්ධනාගාර ලොක්කා සැළකුවේ තමාගේ දරුවෙකුට ලෙසිණි. කරන්දෙණියේ සුද්දාට බන්ධනාගාරයේ සැලකිලි එම ලොක්කාගෙන් ලැබුණේ පොඩි ලැසී නිසාය.

මේ කියන ලොක්කාට ලොකුම හිසරදයක් බවට එකල පත්ව සිටියේ ජේලර් ජයරත්නය. ඒ ජේලර් ජයරත්න ලොක්කාගේ කුණු අවුස්සන්නට ගිය බැවිණි. ඒ නිසාම ලොක්කා තීරණය කරන්නේ ජේලර්ව නිහඩ කරන්නටය. ඒ වැඩේ භාරදෙන්නේ පොඩි ලැසියාටය. බන්ධනාගාර ලොක්කා සහ පොඩි ලැසියා අතර ඇති සම්බන්ධය බන්ධනාගාර පද්ධතිය තුළ ප්‍රසිද්ධ රහසක්වූ බැවින් ලැසියා ඒ ගැන වඩාත් කල්පනාකාරී වෙමින් වැඩේ පවරන්නේ කරන්දෙණියේ සුද්දාටය. බන්ධනාගාරය ඇතුළේ ඉදන්ම සුද්දා වැඩේ හමාරකරන්නේ වෙඩික්කරුවාව පොලීසියට හසුවන්නට පවා ඉඩ නොතියා බෝට්ටුවකින් ඉන්දියාවට පන්නමිනි.

ඒ වන විට කරන්දෙණියේ රාජුද සිටියේ බන්ධනාගාරගතවය. එදා රාජු එළියේ සිටියේ නම් ඒ වැඩෙත් කෙරන්නේ රාජුගේ අතිනි. රාජු බන්ධනාගාරගත වන්නේ සිය සඟයා වූ කොස්ගොඩ රණා සමඟ ජා-ඇල පැත්තේ හෝටලයක සැගවී සිටියදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට හසුවීමෙනි. කොස්ගොඩ පැත්තේ එක දිගටම වෙඩි තබමින් හය හත් දෙනෙක් පරලොව යවා භිෂණයක් ඇතිකරමින් පොලීසියට කට්ටි පනිමින් සිටි ඔවුන් දෙදෙනා ටී 56 අවියක්ද සමඟ එසේ කොටුවන්නේ 2017 වසරේදීය.

එදා ඇතුළට ගිය රාජු නැවත එළියට එන්නේ 2021 දීය. ඒ පැමිණි ඔහු බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගන්නේ මෙරට රැඳී සිටිනවාට වඩා ඉන්දියාවේ රැඳී සිටීම ආරක්ෂාකාරී බව වැටහෙන්නට වූ බැවිනි. ඒ කොස්ගොඩ තාරක, මාකදුරේ මධුෂ්, ඌරු ජුවා වැනි පාතාල අපරාධකරුවන් අමුතු විදිහට පොලිස් අත්අඩංගුවේ සිටියදී මැරෙන හැටි දැකය. ඔහුගේ සහෝදරයා වූ කරන්දෙණියේ සුද්දාද ඇප ලැබුණත් කාලයක් තිස්සේම එළියට පය නොතියන්නට වූයේද එබැවිනි. ඒ ඔහු එළියට එනතුරු අවි අමෝරාගත් පිරිසක් කුරුමානම් අල්ලමින් සිටින බව ද සුද්දා දැන සිටියේය. ඒ නිසාම ඔහු එළියට පය තබන්නේ රටින් පැන යන්නට සියල්ල සූදානම්කරගෙනය. හිටි හැටියේම ඔහු එළියට ආයත් රටින් යන්නට ඉඩක් නොවීය. ඒ හැම පැත්තෙන්ම ඔහුව සොයන්නට ගත් බැවිනි. අවසානයේදී ඔහු ඇප කොන්දේසියක් කඩා අධිකරණයට භාරවී නැවතත් බන්ධනාගාරය ඇතුළටම යන්නේ එළියට වඩා ඇතුලේ සිටීම ජීවිතය බේරා ගැනීමට ඇති හොඳම තැන බව වටහාගෙනය. හැබැවි ඔහු වැඩි කාලයක් එහි රැඳී සිටියේ නැත. කාගේත් ඇස්වලට වැලි ගසා එළිවය අවුත් පැන ගන්නේ ඉන්දියාවටය. දැන් ඔහු සිටින්නේ යැයි කියැවෙන්නේ ඩුබායිවලය. ඉන්දියාවේ සිටි සිය සහෝදරයා වූ රාජුව ලංකාවට ගෙන්වා ගයාන්

සමින්දට වැඩේ දෙන්නේ ඩුබායි ඉඳන්ය.

මේ වැඩේට සුද්දා තවත් අයෙක් හවුල්කර ගත්තේය. එම හවුල්කරු මහගමගේ දිනේෂ් ප්‍රදීප් නොහොත් මීටියාගොඩ චූටියාය. යුද හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙක් වන චූටියා මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වූවෙකි. මොහුගෙන් හොඳටෝම වැඩ ගත්තේ කොස්ගොඩ සුජීය. කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාව සිටි ඩොනල් සම්පත් රණවීරට 2018 වසරේ ජුනි 08 වෙනිදා ඌරගස්මන් හන්දියේදී වෙඩි තබා මරා දමන්නේ චූටියාය. කොස්ගොඩ සුජී එම වැඩේ චූටියාගෙන් කරගන්නේ ඔහුට මුහුදු යන්නට කුඩා බෝට්ටුවක් අරගෙන දෙන්නම් යැයි කියාය. උප සභාපතිවරයාගේ ඝාතනයට පොලීසියට හසුවූ චූටියා පසුගිය අප්‍රේල් 04 වෙනිදා වෙනකම්ම හිටියේ හිර ගෙදරය. ඩුබායි සිටින සුජී සිය ගෝල බාලයින් හරහා මිල මුදලින් චූටියාට මේ කාලය පුරාම සැලකුවේය. නඩු හබවලට යන වියදම් ද දැරුවේය. එහෙත් බෝට්ටුවක් නම් ලැබුණේ නැත.

තමාගේම කියා බෝට්ටුවක හිමිකරුවෙක් වීමට හිරේ සිටියදීත් සිහින දකිමින් සිටි චූටියාට ඒ සිහිනය සැබෑ කරදෙන්නට ඉදිරිපත්වන්නේ කරන්දෙණියේ සුද්දාය. චූටියා ඔහුව දැන හඳුනා ගන්නේ හිර ගෙදර සිටියදීය.

චූටියාට හිරගේ ඇතුළේ තිබුණේ රජ සැලකිලිය. ඒ සුද්දාගේ හයියටය. ඒ නිසාම චූටියා සිටියේ සුද්දාට පණ උනත් දෙන්නට සූදානමිනි. ඒ නිසාම සුද්දාගේ කීමට ජුනි 01 වෙනිදා කපුටන් හඩලන්නටත් කලියෙන් චූටියා අම්බලන්ගොඩ සිට බස් රථයක නැගී බේරුවලට එන්නේ ගයාන් සමින්දට වැඩක් දෙන්නට කලියෙන් ඒ ගැන ඔත්තු බලන්නටය. මොරගොල්ල හංදියෙන් එදින උදෑසන බස් රථයෙන් බැසි චූටියාට මඟ පෙන්වීමට ඒ වන විටත් පුද්ගලයෙක් සූදානමින් සිටියේය. ඔහු කවුරුන්දැයි අදටත් චූටියා දන්නේ නැත. ඔහුව සූදානම් කරන්නේ සුද්දාය.

මොරගොල්ලේ සිට ත්‍රීරෝද රථයකට ගොඩවන ඔවුන් දෙදෙනා මඳ දුරක් ගොස් එම ත්‍රීරෝද රථයෙන් බැස්සේය. පසුව මඳක් ඉදිරියට පා ගමනින් ඇවිද යමින් තවත් ත්‍රීරෝද රථයකට ගොඩවෙමින් රේගුව පාර ඔස්සේ පරණ කඩේ දෙසට ආවේය. ගයාන් සමින්දගේ නිවස කිට්ටුව කරක් ගසමින් සොයා බලන්නේ ඒ කිට්ටුව පාතකදීම ගයාන් සමින්දට වැඩක් දෙන්නට සුදුසු පරිසරයක් පවතින්නේදැයි කියාය. ඒ උදෑසන 7.00 වන විට ඔහු රැකියාවට යාමට නිවසින් එළියට බැසීම පුරුද්දක් කරගෙන සිටි බැවිනි. ගයාන් සමින්දට වෙඩි තබා පළායන අයුරු පවා හිතේ කටුසටහනක් ගසාගත් චූටියා එතැන් පිටව යන්නේ තනිවමය.

ගයාන් සමින්දට වැඩේ දෙන්නට දින නියම වන්නේ ජුනි 03 වෙනිදාටය. ඒ වෙනුවෙන් යතුරු පැදියක් සොයා ගැනීමේ වගකීම පැවරෙන්නේ ද චූටියාටය. ඒ සඳහා සුද්දා සිය ගෝලයෙක් අත චූටියාට රුපියල් 40,000ක්ද එවා තිබුණේය. පසුව තවත් 20,000ක් ඔහු අතට පත්කරනුයේ මත්කුඩු පැකට් කිහිපයකුත් සමඟිනි.

එදා ජුනි 03 වෙනිදා පාන්දර 5.00 වන විට චූටියාගේ නිවස ඉදිරිපිටින් මතුවන්නේ ඉන්දියාවට ගොස් සිටි රාජුය. මේ වැඩේට රාජු එතැයි චූටියා සිහිනෙකින්වත් සිතුවේ නැත. චූටියා සිතන්නේ ඒ වැඩෙත් තමාටම කරන්නට සිදුවනු ඇතැයි කියාය. රාජුගේ පැමිණිමත් සමඟ චූටියාට පැවරෙන්නේ යතුරු පැදිය පදවන්නටය. ඊට පෙර චූටියාගේ වෙස් මාරුකරන්නට රාජු වග බලා ගත්තේය. අම්බලන්ගොඩ විහාරගොඩ පිහිටි චූටියාගේ නිවස ඉදිරිපිටම තබාගෙන දිග කලිසමක් සහ ටී-ෂර්ටුවක් චූටියාට ඇන්දුවේය. අතට වළලු කිහිපයක්ද දැමුවේ දෑතේම ඇගිලි වලට තඩි මුදු හතර පහක්ම රිංගවමිනි. චූටියාට යතුරු පැදියට ගොඩවීමට ඉඩ ලැබෙන්නේ එම වෙස් මාරුවෙන් පසුවය. එසේ චූටියාගේ වෙස් මාරුකිරීමට රාජු වගබලා ගන්නේ පොලීසිය නොමඟ යවන්නටය. ඒ ගයාන්ගේ ඝාතකයන් පසුපස පොලීසිය පන්නන්නේ අතේ වළලු සහ ඇගිලිවල මුදු පුරෝගත් පුද්ගලයන් සොයා බැවිනි. ඒ තරමට සූක්ෂමව රාජු මේ වැඩේට බැස තිබුණේය.

සැලසුම් කළ පරිදි උදෑසන 7.00 වන විට ඉලක්කය වෙත ළඟාවිය යුතු විය. විනාඩි දහයක පහළොවක වෙනසක් හේතුවෙන් ගයාන් සමින්ද සිටියේ නිවසින් ඒ වන විටත් පිටත්ව රැකියාවේ නිරත වෙමිනි. එබැවින් චූටියාටත් රාජුටත් සිදුවන්නේ ලොරිය පස්සේ පන්නා යන්නටය. ඉලක්කයට කිට්ටුවන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ මොරගොල්ලේදීය. කිසිවකුටත් ඇස නොගැටෙන්නට රාජු සිය ඉලක්කය ගත්තේය. චූටියාද කිසිවකුටත් නොදැනෙන්නට රාජුව රැගෙන එතැනින් විසිවන්නේ අම්බලන්ගොඩින් මතු වෙමිනි. එහිදී චූටියා හැඳ සිටි ඇඳුම් මෙන්ම ආයිත්තම්ද ගලවා ගත් රාජු අතුරුදන් වන්නේ අදටත් ඉන්නා තැනක් හරිහැටි සොයා ගන්නට නොහැකි වන ලෙසිනි. චූටියාද වහන් වෙන්නට පසුදින බලපිටියෙන් ධීවර බෝට්ටුවක නැඟී මාළු අල්ලන්නට ගොසිනි. දින ගණනාවකට පසු ගොඩබිමට පැමිණි චූටියා නැවතත් මුහුදු යන්නට තීරණය කරන්නේ පොලීසිය ඔහු පස්සේ වැටී අතැයි ඉව වැටුණු බැවිනි. එවර ඔහු බේරුවලට එන්නේ මුහුදු යන්නට බලාගෙනය. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට චූටියා කොටුවන්නේ ඒ පැමිණි ගමනේදීය.

 

Comments