කතරගම දෙවියන්ගේ පිහිට ලැබුණාදැයි හරියටම දැනගන්නේ කොහොමද | Page 2 | සිළුමිණ

කතරගම දෙවියන්ගේ පිහිට ලැබුණාදැයි හරියටම දැනගන්නේ කොහොමද

- කිරිවෙහෙර අබියස ඇති බෝධින් වහන්සේ අබියස හෝ එවන් ශුද්ධ ස්ථානයකදී සිදු කළ හැකි නම් වඩාත් ප්‍රතිඵලදායකයි
- මේ පූජාවෙන් ඔබ මෙතෙක් කළ වත්පිළිවෙත්වල ප්‍රතිඵල ඉක්මනින් ලබාගත හැකියි
- දරුවන්ගේ ග්‍රහ අපල සඳහා පූජා පැවැත්වීමටත් මේ අවස්ථාව ඉතා සුදුසුයි

මෙතෙක් කරන ලද සියලුම පුද පූජාවන්ගේ උපරිම ප්‍රතිඵල ලබාගෙන සියලු දේ ජයග්‍රහණය කිරීමට, විශේෂයෙන් ඔබට ඇති අපල උපද්‍රව, දරුවන්ට ඇති අපල උපද්‍රව මෙන්ම නිවෙසේ ඇති අමනුෂ්‍ය බලවේගයන් ද පරදවා ජීවිතය සාර්ථක කරගැනීමට මෙම තුති පූජාවන් ඔබට මඟ සලසනු ඇත.

මෙතෙක් කරන ලද සියලුම දේවලින් මෙම නොපෙනෙන බලවේගයන්ගේ ශක්තිය, පිහිට, ආරක්ෂාව, දේව ආශිර්වාදය පිළිබඳව මෙම පූජනීය අඩවියේදී අපට එම බලාපොරොත්තු ඉටු වූවාදැයි සත්‍ය වශයෙන්ම දැක බලාගැනීම ඔබලාට ඇති තවත් කුතුහලය දනවන ප්‍රශ්නයක් බව මම දනිමි.

සන්සුන් මනසින්, පිරිසිදු චිත්තයෙන්, ශරීරයෙන් යුතුව මෙම කටයුතුවල විනිවිද භාවයේ ප්‍රතිඵල ඉක්මනින්ම අත්විඳීමට ඔබට තුති පූජාවක් මඟින් ලබාගත හැකිය. මෙය විශේෂයෙන්ම ගාථාවන්, ස්තෝත්‍ර ගායනයෙන් ද, පිරිත් සජ්ඣායනයෙන් ද මනසින් සහ සියැසින් දැක බලා ගනිමින් මෙම තුති පූජාව ඔබ දන්නා පරිදි කිරිවෙහෙර අබියස ඇති බෝධින් වහන්සේ අබියස හෝ එවන් ශුද්ධ ස්ථානයකදී සිදු කළ හැකි නම් වඩාත් ප්‍රතිඵලදායකය. නැතහොත් කතරගම පුද පූජාවන් සියල්ල අවසන නිවෙස් බලා පැමිණීමෙන් පසුව වුවද ඔබට මෙම කටයුතු කාරණාව එවන් ස්ථානයකදී සිදුකළ හැකිය.

මේ සඳහා ද ඔබ පෙරසේම පේවී, පිරිසුදු සුවඳ දුම් තමන් විසින්ම සාදාගෙන, එනම් සිංහල බෙහෙත් බඩු අලෙවි සැලකින් සුවඳ දුම් සෑදීමට අවශ්‍ය සුවඳ කොට්ටන්, සැවැන්දරා, දේවදාර, සුදු හඳුන්, රත් හඳුන්, සාම්බ්‍රානි මිලට ගෙන තමන්ගේ නිවෙසේදීම කලවම් කර සුවඳ දුම් කුඩු සාදා ගන්න. පහන් දැල්වීම සඳහා ඔබට පිරිසුදු තැඹිලි තෙල් ගත හැකි නම් ඉතාමත් මැනවි. එයට හේතුව අද පොල්තෙල් සමඟ වෙනත් නොයෙක් දෑ කලවම් කර අලෙවි කරන නිසාය.

මෙම තැඹිලි තෙල් ද බෙහෙත් බඩු කඩයකින්ම ලබාගන්න.

සුවඳැති හඳුන්කූරු සහ නිල්, රතු, කහ, සුදු ආදී පාටවලින් යුතු මල් ද රැගෙන තෝරා ගත් ස්ථානයට පැමිණෙන්න. ඉන්පසු ඒ අවට පරිසරය පිරිසුදු කර කහ වතුර ස්වල්පයක් ඉස ඔබ ගෙනා මල්, පහන්, හඳුන් කූරු පූජා කර සුවඳ දුම් අල්ලා ප්‍රථමයෙන් බුදුන් වඳින්න. ඉන්පසුව දෙවියන්ට ආරාධනා කරන්න. ඉන්පසු පිරිත් තුන් සූත්‍රය අවම තුන් වරක් හෝ සත් වරක් බැගින් නම් වඩාත් යහපත්ය. ජය පිරිත ද සජ්ඣායනය කරන්න. ඉන්පසු ඔබට ඔබගේ දරුවන්ට ඇති ග්‍රහ අපල ආදිය ගැන ඉතාමත් පිරිසුදු චිත්තනයෙන් යුතුව මෙනෙහි කරන්න.

මේ සඳහා ඔබට ප්‍රවීණ ජ්‍යොතිර්වේදියකු ලවා දරුවන්ට ඇති අපල උපද්‍රව ගැන කේන්ද්‍ර සටහන අනුව පරීක්ෂා කර දැනුම්වත් විය හැකිය. ඒ ඒ ග්‍රහ අපල සඳහා දෙවියන් සඳහා පුද පූජාවන් පැවැත්විය යුතු ද යන්න අසා දැනගන්න. ඉන්පසු ඔබ ග්‍රහ අපලය ගැන මෙනෙහි කරන අවස්ථාවේදී එම ග්‍රහයාට අධිපති දෙවියන් ද විශේෂයෙන් සිහිපත් කරන්න.

මේ අවස්ථාවේදී ඔබ එම දෙවියන් සඳහා කියන ගාථාවන් ගැන දැනුම්වත් නැත්නම් ඔබගේ මනසින් එම දෙවියන් සිහිපත් කර මා විසින් මෙම සිදුකිරීමට යන්නාවූ පිරිත් සජ්ඣායනයෙන් ලැබෙන්නා වූ පින් දෙවියන්ට ද අත්වේවා යයි ප්‍රාර්ථනය කරන්න.

ඔබ මෙහිදී පූජා කරනු ලබන පුෂ්ප, මල් නැතහොත් කුසුම් විවිධ අවස්ථාවලදී පුෂ්ප උපහාර සඳහා යොදා ගනු ලැබුවද මේ අවස්ථාවේදී එය ගෞරවයක්, භක්තියක් දැක්වීම සඳහා යොදා ගනු ලබන නිසා එම පුෂ්පයන් ඉතාමත් පිරිසුදු ලෙස සකසා ගත යුතුය.

මෙවැනි අවස්ථාවකදී එම පුෂ්පයන්ගෙන් තමන්ට අපල උපද්‍රව ඇති කරන ග්‍රහයාට අධිපති දෙවියන් සඳහා නියමිත පුෂ්පයන් සහ වර්ණයන් වැඩි වශයෙන් භාවිත කිරීමට සිතට ගන්න. මෙම පුෂ්පයන් පිරිසුදු පැනින් දෝවනය කර කුඩා වට්ටියක තැන්පත් කර පූජාව සඳහා සූදානම් කරගන්නේ නම් ඉතා මැනවි.

ඔබ බෝධින් වහන්සේ වැඩ සිටින ස්ථානයක මෙම කටයුතු සිදු කරන්නේ නම් ඉතාමත් මැනවි. මෙම කටයුතු කාරණා සිදුකර ඉන්පසු අවම වශයෙන් විනාඩි විස්සක්වත් තමන් කළ කටයුතු මෙනෙහි කරමින් සිත එක්තැන් කර ගෙන මෙතෙක් සිදු කළ සියලුම දේවලින් ලැබුවාවූ පින් සියලු දෙවි දේවතාවන් වහන්සේලාට අත්වේවා! එමඟින් මාගේ තිබෙන්නාවූ සියලු ග්‍රහදෝෂ, අපල, විපත් සියල්ලම අවසන් වේවා! මටත් මගේ පවුලටත් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබේවා! යැයි සිතා සියලු සත්වයෝ නිදුක්වේවා, නිරෝගි වේවා! යැයි ප්‍රාර්ථනය කරමින් කෙටි භාවනාවක් සිදුකර ඉන්පසු කරණීය මෙත්ත සූත්‍රය අවම තුන් වරක් කියා සියලු දෙවියන්ට මෙන්ම මළගිය සියලු ඥාතීන්ට ද පින් දෙන්න.

මෙම පින් ලබා ගන්නාවූ සියලුම නොපෙනෙන බලවේගයන්ගේ ශක්තියෙන් මාගේ කටයුතු සියල්ල සාර්ථක වේවා! යැයි පතන්න. පිරිසුදුව බැතිබර සිතින් මෙය සිදු කරන්න. ඔබ නොසිතූ ලෙස ඔබට යහපත ශාන්තිය ලැබෙනු ඇත.

අගස්ති ප්‍රනාන්දු

Comments