ඉන්ධන පෝලිම් උඩු­ය­ටි­කුරු කළ හද බැඳ ගත් මිනිස්සු | සිළුමිණ

ඉන්ධන පෝලිම් උඩු­ය­ටි­කුරු කළ හද බැඳ ගත් මිනිස්සු

පංචිකාවත්ත වට රවුමේ ඇති අස්සයා නිපදවා ඇත්තේ වාහන ඉවතලන අමතර කොටස් වලිනි. මේ හතර මංහන්දියේ දෙමටගොඩ සමන්තා සිනමාශාලාව දෙසට යන විටම පල්ලිය ඉදිරිපිට ඇති IOC ෂෙඩ් එකකි. වටරවුමේ අස්සයා දෙසම බලාගෙන සිටින්නේ cepetco ඉන්ධන හලකි. එම ඉන්ධන හල දැන් නොවැදගත් එකක් ලෙස අතහැර දමා තිබේ.

සංඝරාජ මාවතේදී මා එළවාගෙන ආ වාහනය නතර වී දැන් සති තුනකි. එය නවත්වා ඇත්තේ බලමෙවලම් නොහොත් පවර් ටුල්ස් අලෙවි කරන ආයතනයක් ඉදිරිපිටය. සති තුනක් තුළ දිනපතා වාහන ඉන්ධන පෝලිම් දෙස බලා පසුබැසීම විනා අන් සරණක් නොවීය.

මේ සති 3 තුළ මේ IOC ෂෙඩ් එකේ පෝලිමේ වැඩියෙන්ම තිබුණේ ත්‍රිරෝද රථය. දිනපතා මෙම පෝලිම නිරික්ෂණයේදී ඉන්ධන පොලිමේ ඉන්නේ එකම පිරිසක් බව අමුතුවෙන් තහවුරු කරගත යුතු වුවේ නැත.

අවසන් වරට මේ ඉන්ධන පෝලිමේ සිට ඉන්ධන ගත හැකිදැයි විමසා සිටියේ පසුගිය බදාදාය. එහි කළමනාකරු හමුවී අවශ්‍යතාව පැවසුවෙමි.

"ආණ්ඩුව මීඩියා කට්ටියට පෙට්‍රල් දෙන්න කීවට IOC කියන්නේ ප්‍රයිවට් කොම්පැණියක් අපිව පාලනය කරන්න ආණ්ඩුවට බෑ. පෝලිමේ ආවොත් ගහන්නම්! කළමනාකරුගේ පිළිතුර විය.

ඉන්ධන සපයන තැන එකම කාල ගෝට්ටියකි. බොහෝ දෙනකු තම වාහනවලට ඉන්ධන ගහගන්නේ මේ ලෝකයේ ඉතුරු වී ඇති අන්තිම පෙට්‍රල් බිංදුව ලෝක විනාශයට පෙර ගසා ගන්නා මෙනි. බොහෝ ත්‍රිරෝද රථ 'ටිංකරින්' සඳහා මේ ප්‍රදේශයට ගෙනා ඒවා බව පැහැදිලිය.

"මේ ටිංකරින් කරන ත්‍රිවිල් නේද? මේ මොනාටද පෙට්‍රල් ගහන්නේ විකුණන්න නේද ? පොලිසිය අසයි.

"ලොක්කා ස්ටාට් වෙන්නැති ත්‍රිවිල්වලට පෙට්‍රල් ගහන්න එපා කියලා තහනමක් නෑනේ. අපි ගහන්නේ සල්ලිවලට.පොම්පකරුට මොනරෙක් නොහොත් ගතමන්ට් එකක් ලැබෙන අතර ලීටර 5 ක් වෙනුවෙට ෆුල් ටෑංක් වඳින්නේ එංජිමකුත් නැති ත්‍රීවිලර් එකටය.

නැවතත් පංචිකාවත්ත පෙට්‍රල් ෂෙඩ් එකේ සිට ඉන්ධන පෝලිමේ කොන සොයා ගන්නට ගමන ආරම්භ කළෙමි. පෝලිම ආරම්භයේම සුදු යකඩ දැවැන්ත බැරලයක පුරවා ඇත්තේ බත් කැඳය. ඒවා දෙන්නේ ප්ලාස්ටික් කප්වලටය. එතැන පෝලිමේ වෙන්නේ කුමක්දැයි විමසිලිමත් වුණෙමි. පෝලිමේ නොසිටම බත් කැඳ කප් එකක් ලබන්නට හැකිවිය. පෝලිම දිගේ යන්නට වූයේ ටික දුරකි. කයි කරත්තයක බත් පාර්සල් පටවාගෙන පෝලිමේ ඇත්තන්ට නොමිලේ බත් පාර්සල් දෙන පුද්ගලයෙකි. එක අතක බත් කැඳ කප් එක තියාගෙන යද්දි අනිත් අතට ලැබුණේ 'උණුම උණු' බත් පාර්සලයකි.

බත් බෙදන පුද්ගලයාගේ ගමනට වැඩි දුරක් තිබුණේ නැත. ඇති වූයේ එකම කාල ගෝට්ටියකි.

"අඩො උඹ බසාර් එකේ වටේටම සල්ලි නොදී පොලු තියලා පව් මකා ගන්නද බත් පාර්සල් බෙදන්නේ"

බත් දන්සලත් දෙන්නට ගිය පුද්ගලයාට අන්තිමට හොඳ හැටි 'ගුටි දන්සලක්' බඩ පුරා කන්නට සිදු විය.

නැවතත් පෝලිමේ කොන සොයා සංඝරාජ මාවත දිගේ ප්‍රේමදාස ස්මාරකය ඉදිරිපිටින් දකුණට හැරි ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ද පසු කොට පෝලිමේ කොන සොයා ගත්තේ කිලෝමීටර 4ක් ද පසු කිරීමෙන් පසුවය. එතැන සිට බැලුවිට ගමන් ආරම්භ කළ පංචිකාවත්ත ෂෙඩ් එකට ඇත්තේ හූවක දුරකි.

මේ සමහර ත්‍රිරෝද රථවල රියදුරු අසුනේ සිටිනා කොලුවන්ගේ දැලි රැවුලවත් ඇවිල්ලා නැත. ත්‍රිවිල් රියැදුරු අසුනේ සිට 'මුහුණු පොත' අන්තයටම ගිලී සිටි ගැටයකුගෙන් මල්ලි ත්‍රිවිල් එළවන්න ලයිසන් තියෙනවාදැයි අසුවෙමි.

"ඇයි ලොක්කට අවුලක් වගේද පෙන්නේ, මගේ වයස වැට්, ජී එස් ටී වුනාම තිස්පහක් විතර වෙනවා. මොකද ත්‍රී වීලර් සීට් එකේ ඉඳගන්න ලසිසන් තියෙන්න ඕනද? නිකං යනවා ලොක්ක යන්න. කැපෙනවා පව් නොදි අපි මේ කීයක් හරි ගතමන්ට් එකක් හොයා ගන්න එකට බාල්දියක් පෙරළන්නේ නැතිව"

ග්‍රෑන්පාස්හි ත්‍රිරෝද සඳහා ඉන්ධන පෝලිමකට වට්ටියකට දමාගත් යමක් කලබලයෙන් බෙදන අයෙකු දැක විමසිලිමත් විය. සාමාන්‍යයෙන් කුසගින්නට පත් අය බඩගින්නට පොඩි සහනයක් වෙන්නට කරන්නේ ෂෝට් ඊට්ස් නොහොත් පැටිස් - කට්ලිස් - පේස්ට්‍රි - මාලුපාන් ය. මේ වට්ටියට පොඩ්ඩක් එබිකම් කර බැලූ විට තිබුණේ අදහාගත නොහැකි කෑමකි. ඒ සමපෝෂ ගුලිය, සමපෝෂ ගුලිවලට කලින්ම මුදල් ගෙවා වෙන්කරගත් pre paid පෙර ගෙවුම් සේවයක් අප මුල්වරට දැකගත්තේ මෙතැනය. වට්ටියේ වූ සමපෝෂ හඳුනාගත් පාරිභෝගිකයන්ට බෙදාහැර වට්ටියේ අයිතිකරු අතුරුදහන් විය. පසුව දැනගන්නට ලැබුණේ අයිස් නමැති මත්ද්‍රව්‍ය මේ සමපෝෂ ගුලි ඇතුළේ ඇති බවය. සමපෝෂ වනාහි මත්ද්‍රව්‍ය රසිකයින්ගේ ප්‍රියතම ආහාරයක් බවය. පොලිසියෙන් බේරෙන්නට සමපෝෂ වැනි විවිධ ඇසුරුම් මේ මත් ද්‍රව්‍ය සඳහා යොදාගැනීම මේ පෙට්‍රල් පෝලිම්වල දැකිය හැකි සුලබ දසුනකි. පොලිස් නිලධාරින්ද කිසිවක් නොදත් බබාලා සේ අහක බලාගෙන සිටිති.

බොහෝ පෙට්‍රල් ෂෙඩ්වල ත්‍රිරෝද රථවලට දාන්නේ පෙට්‍රල් ලීටර් 5කි. ත්‍රිවිල් වර්ග දෙකක් ඇත්තේ 2 Stroke හා 4Stroke නමින්. මෙයින් 2 SStroke වර්ගයේ ඇන්ජිම ඇති ත්‍රිවිල්වලට පෙට්‍රල් සමඟ ඔයිල් ස්වල්පයක්ද එක් කළ යුතුය. සුළුවට ඉන්ධන ලිටර් 4ක් විකුණන අයකු කරන්නේ පෙට්‍රල් ගැසූ සැණින් තිනර් ලිටර් දෙක තුනක්ද මිලදී ගැනීමය. ඉන්පසු ඉන්ධන අලෙවිකරන්නට ගෙන යන තැනට යාමට පෙර පෙට්‍රල් ලිටර් 1/2 ක් පමණ ස්වල්පයක් බෝතලයට පුරවාගනි. ඉන්පසු ඉන්ධන වැඩි මිලට විකිණීමට පෙර ත්‍රිවිලයේ පෙට්‍රල් ටැංකියට ටිනර් ලිටර් දෙක තුන කලවම් කරන අතර. ඉන්පසු ලිටරය රුපියල් 4000ට විකුණනේ තිනර් කවලම් ඉන්ධනය.

"මාත් පෙට්‍රල් ටිකක් ඇදලා දෙන්නේ මනුස්සකමට ඔගොල්ලන් අමාරුවේ වැටුන වේලාවකයි. ත්‍රිරෝද රියදුරු පවසයි. ත්‍රිවිල් හොරු පෙට්‍රල් ලිටර් 4 ක් විකුණන්නේ රුපියල් 24,000 කටය. පෙට්‍රල්වලටත් කලවම් තිනර්වලටත් එකතුව ත්‍රිවිල් රියදුරාට යන මුළු වියදම 4500/- ට අඩුය. මේ පෙට්‍රල් දාන ත්‍රිරෝද රථ හා බයිසිකල් රථවල හෙඩ් එකට ඇතිවන ආබාධ නිසා දිනගණනකින් වාහන හිමියන් අන්ත අසරණ වේ. ත්‍රිරෝද රියදුරා කරන්නේ රථයේ ටැංකියේ ඉතුරු කළවම් පෙට්‍රල් ටික තවත් බෝතලයකට රැස්කර කලින් පරිස්සම් කොටගත් ඔරිජිනල් පෙට්‍රල් තම ත්‍රිරෝද රියේ ටැංකියට එක්කොට නැවත ඉන්ධන පෝලිමට එක්වීමය. පෙට්‍රල් පොලිමේ දිවා රෑ කල්මරා දවසකට දෙකකට රුපියල් විසි දහසක ආසන්න ලාභයක් ලැබීම නිසා කවුරුත් දැන් ත්‍රිවිල් දුවන්න ඇලි මැළි වී ඇත. මේ තිනර් කවලම් පෙට්‍රල්වල ඇති එක් දෝසයක් නම් රථයක් හෙමින් ගමන් කළොත් 'මිස්' කර කැහැ කැහැ ගොස් රථය නතර වීමය. ඒ නිසා මේ කලවම් පෙට්‍රල් ගැහුවොත් හැටට හැටේ වේගයෙන් නොගියොත් ඒවා මග නැවතීම ස්වභාවයයි.ඊටත් වඩා මේ වාහනයේ ගිය පසු පළාතම තිනර් ගන්දස්සාරේ බැරිය.

වාහනය සංගරාජ මාවතේ නතර වූ සති 3කට පෙර සිට කොළඹ නගරාශ්‍රිතව ඇති ඉන්ධන හල් බොහොමයක් නිරීක්ෂණයේදී පෙනී ගියේ ලංකාවේ වැඩිම ත්‍රිරෝද රථ ඇත්තේ මේ ප්‍රදේශවල බවය. පංචිකාවත්ත, ආමර්විදිය, තොටළඟ, ඔරගොඩවත්ත, මරදාන, බොරැල්ල, ග්‍රෑන්පාස්, කොස්ගස්හංදිය, නාරාහේන්පිට ආදි ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිටි ත්‍රිරෝද රථ කීපයක් අපේ නිරීක්ෂණයට ලක්විය.

මේ කියපු කොයි තැනක පහන් වෙන තුරු ත්‍රිරෝද හිමියන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදුනත් පොදුවේ කියන්නේ එකම කතා ගොඩකි. මේ ත්‍රිරෝද හිමියන් කියන කතා අනුව පෙනි යන්නේ හයර් දුවනවාට වඩා ඉන්ධන පෝලිමක දින 3 - 4 රස්තියාදු වී ලබාගන්නා පෙට්‍රල් ලීටර් 5 විකිණීමෙන් අධික ලාභයක් ලැබිය හැකි බවය. මේ කලින් කියු ප්‍රදේශවල මුලින්ම පෙට්‍රල් ලීටරය වික්කේ බ්ලැක් මාකට් මිල රුපියල් 1000/- කි. ඒ කියන්නේ ලාභය 100% කි. ඒ දැන් අපට අවසානයේ ඛෙත්තාරාම ක්‍රිඩාංගණය අසලින් පෙට්‍රල් ලීටරය සොයාගත හැකි වූයේ රුපියල් 4000/- ටය.

"දැන් මහත්තයා ඉස්සර වගේ සිල්ලරට පෙට්‍රල් විකුණන්නෙ නැහැ. බැංකුවල ජෙනරේටර්වලට ඔය ලොකු v8 ජිප් තියෙන අය බ්‍රෝකර්ලට කියලා තියෙනවා ලිටර්25 - 50 හොයල තියන්න කියලා. ත්‍රිවිල් කට්ටිය පෙට්‍රල් විකුණන්නේ බ්‍රොකර්ට. මලාට පොලිසියට අල්ලන්න බෑ. කෝටි 12ක v8 ජිප් එකක් තිබෙන කෙනෙක්ට පෙට්‍රල් ලිටරයක් රුපියල් 4000/- ට ගන්න එක නතින්. වැඩ කරන්නේ ලිටරයට කිලෝ මීටර් 4යි. දැන් බලන්නකෝ පුෂ් බයික් වලට වැඩිය v8 ජිප් පාරේ දුවනවා."

එකම පුද්ගලයකු දින 3-4 ගෙදර නොයා පෙට්‍රල් පොලිමේ එක දිගට සිටීම අපිට ප්‍රශ්නයක් විය.

පස් දෙනෙක් විතර එකතු වෙනවා මාරුවෙන් මාරුවට ගෙදර ගිහින් එනවා. නයිට් එකට වාහන බලාගන්න අයත් ඉන්නවා වාහනයට රුපියල් 1000/- යි

මේ බොහෝ ඉන්ධන පෝලිම් රාත්‍රියට සැනකෙළි වගේය. බොහෝ දෙනා මත්පැන් සාඳ පවත්වන්නේ ඉන්ධන වලට ගෙනා මුදලෙනි. ඉන්ධන බ්‍රෝකර් හිතවත් වුනොත් ඊළඟට ගහන පෙට්‍රල් ටික දෙන පොරොන්දුවට 'ලෝන්' එකක්ද on the spot ගත හැකිය

මේ සමහර ඉන්ධන පෝලිම්වල ඇති ත්‍රිවිල් වල නොම්මර ඇත්තේ තිරරෙදි වලින් වසා දමාය. ඊට හේතුව ෆිනෑන්ස් ඇරියස් වාහන උස්සන සීසර්ලාට දැන් ඉන්ධන පෝලිම් කදිම ඉල්ලමක් වීමය. ත්‍රිවිල් හිමියන් කරන්නේ ත්‍රිවිල් 3 - 4 ක් එක්කොට දැවැන්ත දම්වැලක් දමා ඉබ්බෙකු දැමීමය. සීසර් පැමිණ ත්‍රිවිල් එකට නැග්ගත් ත්‍රිවිල් එක ගෙන යන්නට බැරිය. ඉන්පසු අවට සිටින ත්‍රිරෝද රියදුරන්ගේ 'ගුටි පෝරියල්' එක කෑමට සීසර්ට සිදුවේ.

දැන් මේ ත්‍රිරෝද රියදුරු අසුනේ සහ පිටුපස අසුන පිටුපස ඇත්තේ හිස් අරක්කු බෝතල්, බියර් කෑන්ය. දැන් ඉන්ධන පෝලිම්වල සිටින උදවිය අලුත්ම උප සංස්කෘතියක් බිහි වී තිබේ. පෝලිමේ සිටීම, කාඩ් සෙල්ලම් කිරීම, ඕපාදුප කතා කරමින් කාලය කාබාසිනියා කිරීම ඔවුන්ගේ විනෝදාස්වාද මාධ්‍යයක් වී හමාරය.

වරක් අපේ නිරීක්ෂණයට ලක් වූයේ පෑලියගොඩ මාලු මාකට් එකේ මාලු පටවන ත්‍රිරෝද රථයකි. වෙනදාට ඇති ත්‍රිරෝද රථ එහි නැත.

"මහත්තයා මරදානෙන් මාලු ටික බාගන්නවානම් රුපියල් 1500/- ක් දෙන්න. ටවුන් හෝල් බහින මහත්තයාගෙන් හෝටලේ ගාවට රුපියල් 2000/- ක් දෙන්න. කොම්පඤ්ඤවීදියේ හෝටලය ගාවින් බහින මහත්තයා රුපියල් 3000/- ක් දෙන්න. කවුරුවත් ඔය ගානට දැන් යන්නේ නෑ. දවස් 4ක් ඉඳලා පෙට්‍රල් ගහගන්නේ."

විනාඩි ගණනකදි තිදෙනකු හට මාලු තොග පටවාගෙන ත්‍රිවිල් එක නැගගත් අතර පෑලියගොඩ සිට කොම්පඤ්ඤවීදියට හයර් එකේ මුලු ගණන රුපියල් 6500/- කි . දැන් කොම්පඤ්ඤවීදියේ සිට කොටුව ස්ටේෂමට ත්‍රීවීල් ගාස්තුව රු 800 කි.

දැන් ත්‍රිරෝද රියදුරන් මීටරේට දුවන්නේ නැහැ. ඔවුන් බොහෝ විට පවසන්නේ ගමනාන්තය අසා මීටරයට අමතරව රුපියල් 500/- ක් දෙන්නේ නම් පමණක් යා හැකි බවය.

දැන් මේ ඉන්ධන පෝලිම්වල අමුතුම රැකියා අවස්ථා බිහිවී තිබේ. ඉන්ධන පොම්පය තෙක් වාහනය තල්ලු කරගෙන දවස පඩියට යන අය, රාත්‍රියට වාහන මුර කරන අය මෙන්ම වඩාත් ආදායම් උපයන්නේ ඉන්ධන හල වෙත වාහන තල්ලු කරන කුඩ්ඩන්ය. ත්‍රිරෝද රථ පමණක් නොව, ලක්ෂ 60 -70 වැගන් ආර්, පැජරෝ, ජිප්, ලොරි මෙන්ම තඩි වයිකින්, ලේලන්ඩ් බස් පවා කුඩ්ඩන් තල්ලු කරන්නේ 'ගිනි පෙට්ටියක්' තල්ලු කරන්නාක් මෙනි. එහෙත් මේ මොන 'හත්ඉලව්වක්' තල්ලු කරන්නටත් පෙර කුඩ්ඩා රුපියල් 1500/- ඇඩ්වාන්ස් ගන්නේ 'කුඩු' ෂොට් එකෙන් චාජ් වී ඒමටය.

පසුගිය මාස 3ට ඉන්ධන සඟවා ගත් පුද්ගලයින් 997 ක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ඉන්ධන ලීටර් ප්‍රමාණය 162,997 කි. ඒ අත්අඩංගුවට ගත් ගණනය. හොරාට අලෙවි වූ ප්‍රමාණය ගැන දත්ත සංඛ්‍යාලේඛන නැත. ලංකාවේ ෂෙඩ් අසල පොරකන ත්‍රිවිල් පෝලිම් නැති කරන්නට ලොකයේ ඇති සියලු පෙට්‍රල් නෞකා ගොඩබෑවත් හැකියාවක් තිබේදැයි සැක සහිතය. ඒ අතර සැබැවටම ඉන්ධන අර්බුදය නිසා අසරණ වූ පවුලක ස්වාමියකු පැවසු කතාව අවසානට එක් කරමි.

"ගෙවල්වල අපි හිරවෙලා ඉන්නේ. වයිෆ් වුණත් කැමතියි වාහනයට තෙල් ටිකක් ගහගෙන ගමන් බිමන් යන්නේ තෙල් පෝලිමට එනවට වයිෆ් කැමතියි. අපි ඉතිං පොඩි ෂොට් එකක් ගහල සින්දුවක් කියලා ඕබි අතක් ගහල ෆන් එකක් ගන්න තියෙන්නේ මේ වගේ වෙලාවක තමයි. රනිල් ලොක්කා ජනාධිපති වෙලා පෙට්‍රල් පෝලිම් නැති කරලා අපේ 'ෆන් එක ' කඩන්න තරම් ආත්මාර්ථකාමී වෙන්න එපා කියලයි අපි කියන්නේ.

 

 

Comments