ඒ ක්‍රිකට් ක්‍රිඩකයාගේ කෝච් මගේ කලින් සැමියාගේ තාත්තා | සිළුමිණ

ඒ ක්‍රිකට් ක්‍රිඩකයාගේ කෝච් මගේ කලින් සැමියාගේ තාත්තා

මම  විවාහ වෙලා හිටියේ ජනප්‍රිය ගායකයෙක් එක්ක, එයා වෙන කෙනෙකුට  ආදරේ කළා  හර්ෂණී  වෙත්තසිංහ

 

මයිකෆෝනයක් ඉදිරියේ හැම කෙනෙකුටම ලස්සනට බස හසුරුවන්න බැහැ. එයත් කලාවක්, වචන සමඟ ශ්‍රාවකයින්ගේ හිතත් එක්ක ගණුදෙනු කරන ඈ හර්ෂණී වෙත්තසිංහ. සිරස ගුවන් විදුලියෙන් ඔබ හමුවට එන ඈ විවාහ වෙලා හිටියේ ජනප්‍රිය ගායකයෙක් එක්ක. ඒ දීගයෙන් නික්මෙන්න ඈට සිදු වුවත් මේ වෙද්දී හර්ෂණීත් ජනප්‍රිය ක්‍රීඩකයෙකුගේ ආදරයක් විදින තරුණියක්. ඒ ගැන වගේම ඇය ගැන කිව්වේ මෙහෙමයි.

හර්ෂණී ගේ කටහඬ ගුවන් විදුලියට හුරු වුණාට ඔබේ රුව බොහෝ දෙනෙක් දන්නේ නැහැ, ඒ නිසා මුලින්ම ඔබ ගැන කතා කරමු..?

මම අවුරුදු දහයක් ජනප්‍රිය රූපවාහිනී ආයතනයක වැඩ කළා. ඊට පස්සේ තමයි සිරස ගුවන් විදුලියට එකතු වෙන්නේ. ඒ 2017 වර්ෂයේ. එදා ඉදලා මේ වෙනකල් වැඩසටහන් කරමින් ජීවීතේ ගෙනියනවා.

මම සිරස හවස එකේ සිට හවස හතරවෙනකල් හා ඉරිදා උදේ දහයේ සිට දවල් දොළහා වෙනකල් වැඩසටහන් කරන්නේ.

ඔබේ පියා සහ සහෝදරයා ව්‍යාපාරකයින්, එහෙම පසුබිමක් තියෙන ඔබ ඇයි රැකියාවට මාධ්‍ය තෝරා ගන්නේ..?

ආසාවට. පුංචි කාලේ හිතුවේ ගුරුවරියක් වෙන්න. බැංකු රැකියාවක් කරන්නත් ආසාවක් තිබ්බා. නමුත් අපේ දෙමාපියන් බොහෝ කලාකරුවන් ළඟින් ආශ්‍රය කළ අය. පුංචි කාලේ මට රඟපාන්නත් ආරාධනා ලැබුණා ඒ හිතවත්කම් මත. නමුත් මම රගපාන්න කැමති නැහැ . උසස් පෙළ කරලා ඉද්දි තමයි නිවේදිකාවක් වුණොත් හොඳයි කියලා හිතුවේ, බැංකු රැකියාවක් ලැබිලත් ඊට වඩා අඩු පඩියක් තිබුණ ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සේවයට එක් වුණා.

නිවේදන රැකියාව ඔබ තෝරා ගත් නිසාම විවාහයට තෝරා ගන්නෙත් ජනප්‍රිය ගායන තරුවක්..?

නිවේදනය නිසා තමයි මට ඔහුව මුණගැහෙන්නේ. මගේ වැඩසටහනකට එයා ආවා. එයා තමයි කේෂාන් ශෂින්ද්‍ර. ඊට පස්සේ එයා මට විවාහයට යෝජනා කළා. මුලින්ම මම එයාට කැමති වුණේ නැහැ. එයා රැඩිකල් කෙනෙක් වගේ මම දැක්කේ. කතා බහ කළාට පස්සේ එයා හොඳ කෙනෙක් කියලා තේරුණා. සංගීතය නිසා එයා ජොබ් එකෙන් අයින් වෙලා හිටියේ, එහෙම පසුබිමක එයා වගේ කෙනෙක් එක්ක විවාහ වෙනවට මගේ ගෙදරින් අකමැති වුණා. නමුත් මම ඔහු එක්ක විවාහ වුණා. කිසි දෙයක් බලාපොරොත්තු නොවී. අපි 2014 විවාහ වුණා. ඇති වුණු ප්‍රශ්න එක්ක 2018 දික්කසාද වුණා .

දික්කසාද වෙන එක ප්‍රශ්නවල විසඳුමක් කියලා ඔබ හිතුවද..?

ඇත්තම කිව්වොත් එයාට ඕන වුණේ නැහැ ඩිවොස් වෙන්න. නමුත් එයා වෙන කෙනෙකුට ආදරේ කරන්න පටන් අරගෙන. ඔහුව මම ගොඩාක් විස්වාස කළා. මගෙනුත් මොකක් හරි අඩුවක් තියෙන්න ඇති එයා වෙනතක බැදඳන්න. මම හිතුවා එයාගේ සතුට එයාට දීලා එයාගෙන් අයින් වෙන්න. මම එයාට ගොඩාක් ආදරේ කළා. එයත් එහෙමයි. ඒ වගේම ගතිගුණ එයාගේ වචනවලින් කියන්න බැහැ එතරම් හොඳයි. දෛවය මේක වෙන්න ඇති. අදටත් එයාගේ පවුලේ අය මට හිතවත්. අපි අතර වෛරයක් නැහැ

විවාහයට යෝජනා එන්නේ ජනප්‍රිය අයගෙන්ම කිව්වොත් ?

එහෙම ම නැහැ . මම මුලින්ම ආදරේ කරන්නේ තාත්තාගේ යාළුවෙකුගේ පුතෙක් එක්ක. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ . ඊට පස්සේ තාත්තා යාළුවෙකුගේ පුතෙක් යෝජනා කළා පයිලට් ඉංජිනේරුවරයෙක් එයා. අපි දෙන්නා පුංචි කාලේ ඉඳලා හොඳම යාළුවෝ ඒ නිසා මම අකමැති වුණා. කේෂාන්ගෙන් පස්සේ ඇත්ලටික් වලින් ජනප්‍රිය කෙනෙකුට ආදරේ කළා. නොගැළපීම් නිසා අයින් වුණා.

දැන් ඔබේ පෙම්වතා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නේද..?

දැන් මම වැඩිපුරම ආදරේ කරන්නේ ක්‍රීඩකයෙකුට තමයි. නමුත් විවාහ වෙයිද නැද්ද දන්නේ නැහැ . බලමු

එතකොට ඒ හිතවත්කම ඇති වෙන්නේ..?

එයා මගේ හොද හිතවතෙක්. හරිම ආදරණීය පුද්ගලයෙක්. නිහතමානී කෙනෙක්. මගේ කලින් සැමියා කේෂාන් ගේ තාත්තා තමයි එයාගේ එක කෝච් කෙනෙක් වෙලා හිටියේ. ඒ නිසා ඉස්සර ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩකයින් එක්ක කේෂාන් ගේ ආශ්‍රය තිබ්බා. ඔහුව දන්නෙත් එහෙම. මම කේෂාන් ගෙන් අයින් වුණා ට පස්සේ එයාට ඒ ගැන හිතා ගන්න බැරි වෙලා. එයා ශොක් වෙලා. දවසක් එයා මගෙන් ඒ ගැන ඇහුවා. හොදට හිටපු දෙන්නෙක් ඇයි ඩිවෝස් වෙන්නේ කියලා ඇහුවා. ඒ විදිහට කතා බහ ආරම්භ කළා. නොදැනුවත්ව අපි හිතවත් වුණා. එයාට එහෙම මාත් එක්ක කතා කරන්න වේලාවක් නැහැ. නමුත් පුළුවන් හැම වෙලාවකම මම ගැන හොයලා බලනවා.

ආයෙමත් විවාහ වෙනවද..?

මමත් ආසයි ලස්සන විවාහ ජීවීතයක් ගත කරන්න. දරූවෝ හදන්න. ආයෙත් ජීවීතේ වරදින්නේ නැති වෙන්න ඒ තීරණය ගන්න ඕන. නමුත් තවම එහෙම තීරණයක් අරගෙන නැහැ .

ජනප්‍රිය කෙනෙකුට ආදරේ කරනවා කියන්නේ හොඳ ඉවසීමක් තියෙන්න ඕන නේද ..?

ඒක මම කේෂාන් එක්ක විවාහ වුණා ට පස්සේ අත්වින්දා. එයාට ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය වැඩියි. ඒ නිසා හිත් රිදීම් අනන්තයි. ඒ නිසා ජනප්‍රිය කෙනෙක් එක්ක විවාහ වෙනවා නම් ඉවසීම සියයට දාහක්වත් තියෙන්න ඕන

කොහොමද ශ්‍රාවකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ..?

කට හඬට ආදරේ කරන අය ඉන්න එකත් සතුටක්. මට තෑගි , කෑම, එහෙම එවන අය ඉන්නවා. නදී ගායනා කරන සඳකුමාරි මගේ මනාලී ගීතයේ වීඩියෝ එකට හිටියා. ඒ නිසා අදුරගෙන කතා කරන අයත් ඉන්නවා.

 

Comments