
කෘතිය- සිංහල ධම්මපදය
සංස්කාරක-මුවගම ඤාණසීහ නාහිමි
ප්‍රකාශක- ඇම්.ඩී.ගුණසේන සහ සමාගම
මිල- රුපියල් 575 ⁄ = පිටු ගණන- 490
විමසීම්- 0112 323 981
ත්‍රිපිටක ග්‍රන්ථාවලියට අයත් ඉතා ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වන ධම්මපදයෙහි සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවිතය අර්ථවත් කරගැනීමට උපකාරී වන ධර්මෝපදේශ ඇතුළත් වී ඇත. ගුණ නුවණ දියුණු කරගැනීමට කැමති උපාසක උපාසිකාවන්ටත් භික්ෂු භික්ෂුණි දෙපිරිසටත් භාවනානුයෝගීන්ටත් ධර්මදේශකයන්ටත් අත්පොතක් වශයෙන් භාවිත කළ හැකි මේ කෘතිය සංස්කරණය කර ඇත්තේ ආචාර්ය,රාජකීය පණ්ඩිත මුවගම ඤාණසීහ නාහිමියන් විසිනි. පාලි පද්‍ය 423කින් මේ කෘතිය සමන්විත වන අතර, ගාථාවලින් මතුවන අර්ථ පරිච්ඡේද 26කට බෙදා දක්වා ඇත.
කෘතිය- බෞද්ධ රාජ්‍ය පරිපාලන මූලධර්ම සහ භාවිතය
කර්තෘ- වජිර නාරම්පනාව
කර්තෘ ප්‍රකාශනයකි
මිල- රුපියල්1,000 ⁄ = පිටු ගණන- 324
විමසීම්- 0718 051 139
මේ කෘතිය රචනා කිරීමේ අරමුණ බුදු දහමේ ඉගැන්වීම් අතර තිබෙන විසි එක් වැනි සියවසේ අධිතාක්ෂණික සමාජයට ගැළපෙන පරිපාලන මූලධර්ම සහ සංකල්ප හඳුනාගැනීමත් ඒවා භාවිත කරමින් ආසියාවේ දැහැමි රාජ්‍ය බිහිවූ ආකාරය පෙන්වා දීමත් වර්තමානයේ සහ අනාගතයේ දැහැමි රාජ්‍ය පාලනයක් ගොඩනඟාගැනීමට උපයෝගී කරගත හැකි ආකාරය ගැන සාකච්ඡාවට බඳුන් කිරීමයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු පළපුරුදු, ජ්‍යේෂ්ඨ නිලධාරියකු වන වජිර නාරම්පනාව මේ කෘතියේ කතුවරයාය. මෙය රචනා කිරීමේදී ත්‍රිපිටක මූලාශ්‍ර උපයෝගී කරගෙන ඇති අතර, ඒ කරුණු තහවුරු කරගැනීම සඳහා විදේශීය සහ දේශීය මූලාශ්‍ර සහ විචාර ග්‍රන්ථ භාවිත කර ඇත.
කෘතිය- අතු ඉති
කර්තෘ- අතුකෝරාළගේ නීල්
කර්තෘ ප්‍රකාශනයකි
මිල- රුපියල් 500⁄ = පිටු ගණන- 62
විමසීම්- 0767 972 499
මෙය කතුවරයාගේ පළමු කෙටිකතා සංග්‍රහයයි. විවිධ තේමාවන් යටතේ රචිත කෙටිකතා 07ක් කෘතියට ඇතුළත්ය. ජීවිත ගමන තුළ කතුවරයා ලැබූ විවිධාකර අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මේ කෙටිකතා සංග්‍රහයේ එන කෙටිකතා මනෝ විශ්ලේෂණයට වැඩි නැඹුරුවක් පෙන්නුම් කරයි.
කෘතිය- නොකියන කතා
කර්තෘ- ඩබ්ලිව්.එම්.බී. කරුණාරත්න
කර්තෘ ප්‍රකාශනයකි
මිල- රුපියල් 400 ⁄ = පිටු ගණන- 140
විමසීම්- 0714 477 889
මීට පෙර ‘අප්පා නැති දරුවෙක්’ නමින් තම ජීවිත අත්දැකීම් අව්‍යාජ ගැමි රීතියකින් ඉදිරිපත් කළ කතුවරයා මනුෂ්‍යත්වයට හිමි ගති සොබා ඉදිරිපත් කළේ ‘ගඳ සුවඳ’ නම් කෘතිය මඟිනි. කතුවරයාගේ සිවුවැනි කෘතිය වන මෙය කෙටිකතා සංග්‍රහයකි. විවිධ ජීවන අනුභූතීන් ඇසුරින් සමාජ ජීවිතයේ ඇතුළාන්තය විනිවිඳ දැකීමට මේ කෘතිය මඟින් කතුවරයා උත්සාහ දරා ඇති අතර, ඒ සඳහා ඔහු යොදාගන්නා ආඛ්‍යාන ශෛලිය විටෙක කාව්‍යාත්මක හැඩතල මතුකර දක්වයි.
කෘතිය- වැනිලා වගාකරුවන් සඳහා වූ මාර්ගෝපදේශ අත්වැල
සංස්කාරක- ජයන්ත ද සිල්වා
ප්‍රකාශක- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
පිටු ගණන- 23
විමසීම්- 0112 035 454
වැනිලා වගාකරුවන් සඳහා වූ මාර්ගෝපදේශ අත්වැල නමින් වැනිලා වගාකරුවන් හට නොමිලේ බෙදාදීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අනුග්‍රහය යටතේ ප්‍රකාශයට පත්කර ඇති මේ කෘතිය, එම බැංකුවේ තවත් සමාජ සත්කාරයකි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මේ කෘතිය සඳහා ඉතා කැමැත්තෙන් බරපැන දරා ඇත්තේ ලොව දෙවැනි ස්ථානයට ඉහළම මිලක් නිර්මාණය වී ඇති කුළුබඩු වර්ගයක් වන වැනිලා වගාවේ නියුතු ගොවීන් හා ඊට උනන්දුවක් දක්වන්නන් වෙත දැනුම, චිත්ත ශක්තිය හා මඟපෙන්වීම ලබාදීම සඳහාය. අන්තර්ජාතික වෙළෙඳපොළෙහි ඉහළ මිලක් යටතේ දැඩි ඉල්ලුමක් පවතින මෙම භෝගය විදේශ විනිමය උල්පතක් බැවින් දේශීය ආර්ථික සංවර්ධනය සඳහා කිසියම් ප්‍රමාණයකින් හෝ දායකත්වයක් ලබාදීම සඳහා මේ කෘතිය ඉතා ප්‍රයෝජනවත් අත්පොතක් වනු ඇති බව කෘතිය පිළිබඳ හැඳින්වීමක් කළ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය ගේ විශ්වාසයයි.
කෘතිය- ගෙදර දී ‘ගෝල්’
සර්ව් ප්‍රකාශනයකි
පිටු ගණන- 108
තමන් වෙසෙන ප්‍රජාවන්හි නායිකාවන් වීම පිණිස අවශ ධාරිතාව ලබාගැනීම සඳහා ගෝල් වැඩසටහන මඟින් ක්‍රීඩා සහ ජීවන කුසලතා පුහුණුව පාදක කරගනු ලැබේ. ගෝල් වැඩසටහන යනු ඉදිරි පරම්පරාවට ඉගෙනීම, ඉපැයීම සහ වර්ධනය වීමට අවශ්‍ය බලසතු කිරීම ඉලක්ක කරගත්තකි. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ‘ෆියුචර්මේකර්ස්’ වැඩසටහනේ කොටසක් ලෙස මේ කෘතිය ඉදිරිපත් කර ඇත. ගැහැනු ළමයින් සඳහා ක්‍රියාකාරකම් ඇතුළත් මේ කෘතිය ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ සහ Women Win ආයතනයේ හවුල්කාරීත්වයෙන් ඉදිරිපත් කර ඇත.