
ලක්මවගේ කඳුළු
ඉවසා මෙතෙක් සිටියෙමි දුක් කඳුළු පිස
අවසානයක් නොපෙනෙයි හිස් බස් ම මිස
තිබුණත් ගැටලු කන්දක් මහ මෙරට උස
ඇයි දරුවනේ හැසිරෙන්නේ වියරු ලෙස
රකුසකු කොවිඩ් නම ඇති ඔරවමින් සිටී
ජීවිත බිලි ගනියි නොතකයි උස් ද මිටි
ආර්ථිකය යයි අවපාතයක වැටී
නොතැකුව හොතින් සිදුවන දේ සිතනු වටී
පොඩි දෙයකටත් වර්ජන අවි අතට ගෙන
තර්ජන කෙරුම නොහොබි දොස් - පරොස් බැන
හැම දෙයකින් ම පෑගී පොඩිවෙමින් යන
බිඳුවක් සිතනු මැන අසරණ පිරිස ගැන
අග - හිඟ නොමැති සතුටින් පිරි රටක් පතා
පොදි බැඳි පැතුම් බොඳ වෙයි එය දුකකි ඉතා
දිගු කොට ඇඟිලි උනුනට දොස් තබන කතා
පල නැත, නැඟෙනු මිස - සමගියෙ බලය සිතා
සරත් සී. රාමනායක - කුලියාපිටිය
---------------------
හැරගිය සොඳුරිය
ඔබේ දෙඅත් අල්ලන් ආ පළමු දිනේ
ඇවිදින් ගියේ අපි මල් වතු යාය දිගේ
එදිනයි අපේ ආදරයේ සිහි වටනේ
පෙම් සුව වින්ද හැටි මතකද ළබැඳිලියේ
ඔබේ දෑත හුරු බුහුටිය සොඳුර මගේ
ඔබෙ පෙම් වදන් මතකයි ප්‍රියාවියේ
විලවුන් නොවේ ඔබෙ සුවඳයි මට දැනුනේ
අපෙ පෙම් කථා තවමත් මට මතක තියේ
අපෙ පෙම් සුව විඳි තැන් සිහිවී සතුට දැනේ
ගස් වැල් අතර එබිකම් කළ හැටි සිහිවේ
ඔබ මා හැර ගියත් මා සොඳුරු ළඳේ
එනමුදු ඔබේ වත දකිනෙමි රෑ සිහිනේ
අරුණ අසිත ජයසිංහ
------------------
විදෙස් කවිය
නැළවිලි ගීයක්
වන වදුලින් වෙල් යාය උඩින්
පිපුණු නෙළුම් විල් තෙර අසලින්
ඔබට ගෙනාවෙමි පුතණුවනේ
පින්නේ දිදුලන රන් සිහිනේ
ආල වඩන කිරි කැටි සිහිනේ
දෑස පියාගත් රන් පුතුණේ
කණ මැදිරියො නොදැමුණු ලෙසිනේ
රඟ දෙති වට නිඹ තුරු සිරසේ
පොපි මල් පඳුරෙන් හොර රහසේ
ගෙන ආවෙමි කිරි කැටි සිහිනේ
ආදර දෑසට සොඳුරු රැයේ
ඔබ වට කර රන් තරු එළියේ
හාදුවකින් ඔබ සනසන්නම්
කිරි කැටි ආදර රන් සිහිනේ
භාරතයේ මහා කිවිඳියක වන
සරෝජනී නායිදු මෙරට බොහෝ ගේය කාව්‍යයන්ට මූලාංකුර සැපයූ එම අග්‍රගණ්‍ය කිවිඳියක ලෙස සැලකේ. “භාරතයේ නයිටිංගේල්” ලෙස ද
විරුදාවලිය ලැබූ ඇය, ඇය ඉන්දීය
නිදහස් අරගලයේ පුරෝගාමී
සාමාජිකාවක ද වූවාය. සමකාලීන ඉන්දීය ජන ජීවිතය හා බැඳුණු සිද්ධීන් පාදක කරගනිමින් ඇය ලියූ බෙහෝ කවි දෙස් විදෙස් පාඨක ආකර්ෂණයට ලක්විය.ගැහැනිය සතු විසල් ආත්ම ශක්තිය අවදි කරමින් සරෝජනී නායිදු ලියූ කවි වඩාත් ජනප්‍රිය විය.
විශේෂයෙන් ගැහැනිය සහ මරණය පිළිබඳ ලෝකයා නොදුටු පැතිකඩක් පිළිබඳ කතිකාවක යෙදෙන්නට
ඇය භාවිත කළේ කවියයි.
1879 පෙබරවාරි 13 වැනිදා හයිද්‍රාබාද්හි උපත ලැබූ ඇය 1949 මාර්තු මස
දෙවැනිදා අලහාබාද්හිදී මිය ගියාය.
පරිවර්තනය - සාලිය ගුණවර්ධන
--------------------
සැනසීම
දොළක් ලස්සනයි හැඩට හැඩේ වක් වී ගලන කොට
විලක් ලස්සනයි සුවඳ දී පස් පියුම් පිපෙන කොට
සඳක් ලස්සනයි රැස් විහිදා පන් පැහැයෙන් දිලෙන කොට
ලඳක් ලස්සනයි යහමින් යහ ගුණ දම් වඩන කොට
වලා යටින් වැහි ළිහිණි පෙළ පියා සලන කොට
වැහි අඳුර නෙතු මානෙන් මානෙට පෙනෙන කොට
මිහිකත සැනසේ මල් මල් වැසි වහින කොට
සිතක් සැනසේ පරිසරයේ ඇති සොඳුරු කොට
සුනේත්‍රා විජේරත්න ප්‍රේමසුන්දර
------------------
දාරක ප්‍රේමය
පැතුම් පුරා ගෙන අහසට සඳ ආ සැටියේ
සිත දුක්බරයි අමාවක පෝය දිනයේ
නෙත් කඳුළු මැදින් විහඟ තටු පිරිමැද්දේ
ඇති දැඩි වුණත් නුඹ කැකුළකි මට පුතුණේ
තුන්කල් බලා සැදුව තුන්පත් රෑනේ
සතුට වියකුණා උඩු සුළඟට පාවි ගොසිනේ
අතඟිල්ලේ එල්ලී නුඹ ගිය වේලේ
ජීවන බර අදිමි මම සංසාරේ
පෙර භවයේ කළ පව් පල දෙනවාය
අප කළ පින් පව් පසුපස එනවාය
කිරි දුන් ළමැද සොම්නස අඩුවක් නැතිදාය
වැලේ ගෙඩිය වැලකට බර නැති වෙතිය
ඇල්.ජේ. ආනන්දශීලී පෙරේරා
----------------
මලක් පරවේ
අසරණකමයි තැළුවේ
අකලට මලක් පරවේ
ගමම හඬමින් ඇහුවේ
ඇයි ද? පොඩිවුන් වැඩට යැව්වේ,
කොස්සෙ මිට වැදුණා
කොස්සටත් දුක හිතුණා
ජීවිතේ ඉරුණා
මැඩම්ටත් තරු පෙනුණා
මැඩම් හිටියත් ගෙදර
අනේ මල පොඩිකර
පහස ලැබුවත් නිතර
සුදුවටම පේනවා
නුඹ සිටිය ගෙදර
වේදනාවේ කඳුළු
පොළොව සිප ගන්න ඇති
මේ වගේ මල්කැකුළු
තවත් පරවෙනව ඇති
තිලකරත්න ඕබඩගේ
----------------
ඇය
කරදර දුක් කම් කටොලු
ජීවන අරගලය මැද
මහ මෙරක් තරම් බර
කර තබා සිටින්නී
සොයා ගත් පතොක් මල
නෙතක් ඇති නෙතක් නැති
ගුප්ත හදවතක් ළඟ
ආදරය සොයන්නී
දුකට පිහිටට එන්න
නොමැති මුත් කිසි අයෙක්
අනුන්ගේ දුක අසා
ඉකි ගසා හඬන්නී
උපාලි නන්දසිරි
-----------------
ඉරු දින අසිරිය
හීන් ඉනවට - සුදෝ සුදුවට
ළමා සාරිය ඔතා කදිමට
සුදෝ සුදු මල් නෙළා
මල් අසුන සරසලා
ළා දලුව බෝ රුකේ
සිලි සිලියෙ පැටලිලා
සිනා පොද තවරලා
හැරී අප දෙස බලා
ගුණ දහම රඳවලා
වඳිති පිරිපුන් වෙලා
හෙළ උරුම ලෙස සොඳින්
සුදු වතින් සැරසෙමින්
දකින අප දූ පුතුන්
හමයි මේ බැති කුසුම්
පියසීලි විජේනායක
------------------
ළමා ලෝකය
පුංචි පුංචි ළමා පැටව් සින්දු කියනවා
සුරතල් මුහුණු වලින් සිනා හැලෙනවා
මවුපිය හදවත්වල සෙනෙහස උතුරනවා
සොඳුරු ළමා සිඟිති මුහුණු එළිය වැටෙනවා
ගීතයකට තාලෙ තියා ළමයි නටන්නේ
සිනා සිසී තවත් පැටවු ගීත ගයන්නේ
පෙර පාසල් ගුරුතිමීව වැරදි හදන්නේ
වැරදි වුණත් පුංචි වැරදි නිවැරදි වන්නේ
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු චරිත මවන්නේ
ඇමති චරිතෙ වුණත් උන්ට බරක් නොවන්නේ
වෙද, හෙද, දොස්තරවරු ලෙස පෙනී සිටින්නේ
හෙට දවසේ ඒ තනතුරු නැත හිමි වන්නේ
පුංචි කාලෙ විතරයි ලොකු තැන් හිමිවන්නේ
ලොකු වුණාම ලැබෙයි කියා කවුරුද දන්නේ
නැති බැරිකම් දුප්පත්කම් හරහට ඉන්නේ
ලොකු වෙන්නට එපා පුතේ පුංචි වෙයන්නේ
බන්දුල සේනානායක
------------------
අම්මා
කවිය කුමට නුඹ ගුණ ගී වැල් ගොතමී
සිතැඟි කුමට නුඹ සෙනෙහස සිහි කරමී
වදන කුමට නුඹ ළඟ ගොළුවී හිඳිමී
තනිය කුමට නුඹ තුරුලේ සුව විඳිමී
පහස විඳිනු නොහැකියි නැත දුක් කම්පා
නිතර රුව පෙනෙයි නෙත් අග මගෙ අම්මා
සිතත් නුඹ ළඟයි හැමදාමත් අම්මා
මනුදම් සුවඳ විහිදයි නුඹ නැත නිම්මා
සීතල දිය දහර සේ හද ගිනි නිව්වා
මදහස පිරුණු දෙතොලග සිත් සැනසෙව්වා
ආදර රැකවරණ දරු පෙම පැතිරෙව්වා
හිරු මෙන් අඳුර පරදා ලෝකය මැව්වා
ඩී. ඉමාලි උදේශිකා සිල්වා
----------------
නූතන යසෝදරා
සසරෙන් සසර නුඹ හා මා බැඳීමට
තෙරුවන් පුරා ආ ගමනේ නිමාවට
කියමන් තිබේ මා ගැන ගුණ වැයීමට
හැඟුමන් කිවි ඇසින් නැඟුවා කවියකට
හිමියනි නුඹ කන්ථක හා නැඟී පිට
ගිය සැටි කියයි රෑ පායන සඳක් මට
රජ සැප, සකල සේනා ඇති මුත් මෙමට
දැනුනා මුළු ලොව ගිලිහී ගිය බවට
නුඹ මා හැර බුදුබව ලැබ ගන්නට නොවෙද ගියේ
එලෙසයි මගෙ සිතුවිලි සැතපී නිදුකින් සිටියේ
දුටුවෙමි කතක් මා ලෙසටම තනිවි උසාවියේ
ඇයගේ හිමි සඳත් අද බුදු වෙන්නටද ගියේ
සඳමිණි රවිහංසා සරණසූරිය
------------------
සුවඳයි ගම්මානේ
ගොවිතැන් බතින් ජීවත් වන බහුතරය
කුරුඳුකුඹුර ගම සොඳුරුය පරි සරය
ලොකු පොඩි හැමදෙනම මෙහි දහමට බරය
පන්සල ඉදිව ඇත්තේ ගම කෙළ වරය
කැත්තට උදැල්ලට ඇති හුරුකම දෑත
පැවතී ඒමක්ය කාලයෙ සිට ඈත
සුහදව සිටින හැම අයෙකුම ළඟ පාත
වැඩකදි නොසලකති එන අව්වැසි සීත
කොස්වාරයට ගස්වල වැලවරක ඉදී
සුවඳයි ගමේ පවතියි හැම තැනම රැඳී
යව්වනියන්ගෙ ආරා පුළුලුකුල හැදී
පෙන්වන ලලිත බව දැක ගම සතුට විඳී
කොක්කු රෑන් පියඹන ගම වෙල මැද්දෙන්
සැරසුන උවැසියන් වාගෙයි සුදු රෙද්දෙන්
කිචිබිචි හඬ ඇසෙන වැව අද්දර බැද්දෙන්
සාදු හඬක් මෙනි දෙන එය දැක සද්දෙන්
පිබිදෙයි බුදුපුදට කොඳමල් හඳපානේ
හසරැල්ලක් පෙනේ හැම අයකුගෙ මූනේ
නැතිමුත් කුරුඳු මේ දෙය කීමට ඕනේ
කුරුඳුකුඹුර සුවඳයි මුළු ගම් මානේ
කුරුඳුකුඹුරේ නන්දසිරි
-----------------
තාත්තාට ලියූ කව
නුඹ කුසගින්නේ ඉඳගෙන
අපෙ කුසගිනි නිවා දැම්මෙ
අම්ම කෙනෙක් වගේ අපට
රස කර කර කෑම කැව්වෙ
හැන්දෑවට පුංචි අපිට
රසට කතා කියල දුන්නෙ
වන්නම් කවි, ගී කියමින්
පුංචි අපට සතුට දුන්නෙ
උගත මනා ශිල්පය මයි
කියල අපට කියල දුන්නෙ
තාත්තෙ, නුඹ හින්දාමයි
අකුරු කරල අපි දිනන්නෙ
තාත්තෙ නුඹ හින්දාමයි
දූත්, පුතුත් හිනාවෙන්නෙ
තාත්තෙ නුඹ හින්දාමයි
අපෙ පණ නල තව ගැහෙන්නෙ
තාත්තෙ නුඹ ගිය දා සිට
ඉරත් හඳත් නෑ දිලෙන්නෙ
දුවේ! කියා කියන හඬයි
රෑ තුන්යම මට ඇහෙන්නෙ
ජයන්තා පී. මිහිඳුකුලසූරිය
------------------
නිමා කළ පිය සෙනේ
සෙනෙහසේ බැමි බිඳ දමා
පීතු පාදං නිම කළා
මපිය සමනොළ කන්දකී
නුඹ මහද විල මැද
පුද ලැබූ....
නෙත් අයා විශ්මිත වුණා
ලොව ඵල නොමැත
දැන් ළතවෙලා
කැණිමඬලටම ගිනි තියා
නුඹ දුන්නෙ ඇයි
අවමන් නිගා....
ශ්‍රීමතී කුමාරි ජයකොඩි
--------------------
පෙර සහ පසු වදන
එදා අප පෙම්වතුන් විලසින් ගෙවූ ඒ සමනල වියේ
අපේ ආදර පෙර වදන ඔබ ලියා මට පිළිගැන්වූයේ
අලංකාරය සුන්දරත්වය හැම වදනකම මුසු වුණේ
ආදරය හා සොම්නස ද දෝරෙ ගලමින් පැවතුණේ
ඉවුරෙ සිට මම බලා හිඳිනෙමි ගඟ ගලන හැටි නිදහසේ
විටෙක නවතියි විටෙක පාවෙයි වලාකුළු හිතුමනාපේ
හමන සුළඟට වැට කඩොලු බැඳ කවුරු කවදාද සිර කළේ
සොඳුරු නැත මගෙ පසු වදන ඔබේ පෙර වදන මෙන් හිමියනේ
මාලතී රූපිකා පුංචිහේවා
-----------------
දියණියේ
නොදැරුවත් මම
දස මසක් කුස
දරාගමි නුඹව මම
මියෙනකන් හිස
නොදුන්නත් මම
ලේ කිරි විලස
මගේ හුස්මකම හැම
හිදී නුඹ පණ විලස
නොපැතුවත් මම
සක්විති රජ වන්නට
නුඹ වැඩියෙන් හැම
සවිබල රැගෙන මට
නොදුටුවත් මම
පාට ගෑ හීනයක් යසට
දුවේ නුඹ හැමදාම
සුර කුමරියයි මෙමට
නොපෙන්නුවත් හැමවිට
හද පතුලේ රැඳි පෙම
නුඹයි එ පැතුම මට
මියෙන දින තෙක්ම
නොකිව්වත් හැමවිට
නුඹ වටින තරම
මගේ දිවි කුමට
දුවේ නැතිනම් මා ළඟම
සුදර්ශනී පෙරේරා
-------------------
කැලණි ගඟට විසි කළ මවු සෙනෙහස
දසමස කුස දරා බිහි කෙරු සිඟිති පුතු
කෙළිලොල් වියට පත් වුවා ලෙසම පැතු
කරදරයක් වුණේ කෙලෙසද එකම පුතු
කැලණි ගඟට බිලිවුණි කිසිවෙක් නොපැතු
මවකට පුළුවන්ද තම පුතු මරන්නට
එලෙසම පුළුවන්ද ගඟකට දමන්නට
දරු සෙනෙහස විසි කෙරුවේ ගඟ මැදට
මවු පදවියද සේදුණි මහ ජල කඳට
මතු මතුවටත් මෙලෙසින් සිදු නොමවේවා
විකසිත මල් කැකුළු දින දින සුරැකේවා
මවු පියවරුන් කරුණාවෙන් ඉතිරේවා
ජීවන වරම දරු පිරිසට හිමිවේවා
කනවැරැල්ලේ හේමාලෝක හිමි
-------------------
අහිමි විජිතය
නෙත් කොනින් බලා ඉගිකරනු එපා
නුඹ ආදරේ නැතිනම්
හඬවන්නෙපා රිදවන්නෙපා
අවිහිංසකයි පැතුමන්
සෙනෙහස සොයා පෙරුමන් පුරා
ළතවෙයි සදා සිත නම්
කඳුළැලි පිරි සුසුමන් නැඟී
සැඟවී ගියා හසරැල්
ඉගිළී ගියා නුඹ සොය සොයා
දුක් ගී ගයා විහඟුන්
ආයාසයෙන් සමුගන්නේ මා
අහිමි වූ විජිතෙන්
ගයාන් නිරෝෂන්
-----------------------
දැති බිඳුණු පනාව
කතුන් රුව නඟන්නට ගොස්
තමන් රුව නසා ගත්
අනුන් හිස්වල ගැට ලිහීමට ගොස්
තමන් දත් කඩා ගත්
අන් අය සබයට නිස්පත් කරන්නට ගොස්
තමන් කුණු බඳුනට විසි වූ
අමතකව ගිය
මිතුරා
ප්‍රේමදාස හේවගේ
ප්‍රවීණ, ආධුනික ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.
කවි සිළුමිණ,
ලේක්හවුස් - කොළඹ 10.
දුරකථනය 011 2429265
*************************************
සතියේ කවිපොත
කෘතිය- මතක සුවඳ
කර්තෘ- විජේ පී. උඩකන්ද
කර්තෘ ප්‍රකාශනයකි
මිල- රුපියල් 200/= පිටු ගණන-72
70 දශකයේ සිට කාව්‍යකරණයේ යෙදෙන විජේ පී. උඩකන්ද විසින් රචිත මෙම කාව්‍ය කෘතිය ඔහුගේ මුල් කාව්‍ය නිර්මාණ 60ක එකතුවකි. කොළඹ යුගයේ නූතන පරපුරට අයත් හෙතෙම දක්ෂ හිටිවන කවියෙකි. ඒ නිසඟ කවිකම හිටිවන කවියට පමණක් සීමා නොකර කවි රචනය කෙරෙහි ද යොමුවී තිබීම සතුටට කරුණකි. මේ මතක සුවඳ කෘතියට ගොනු කර ඇත්තේ ඔහු විසින් ලියූ කාව්‍ය එකතුවකි. පොදු ජනතාවගේ හද ගැස්මට සමීප, ජනවහරින් පෝෂණය වූ පද්‍ය පන්ති රැසක් මෙහිදී දැකගත හැකිය. ඒ නිසාම එදිනෙදා ජීවිතයේදී බොහෝ දෙනකුට සමීප අත්දැකීම් සහෘද හදවතේ ප්‍රකම්පනයක් ඇතිකරන අයුරින් සහ රසවත්ව රචනා කිරීමට කවියා සමත්ව ඇත. සමාජ සේවකයකු ද වන කවියා ලැබූ සහ ලබන අත්දැකීම් ඒ සඳහා ඔහුට උපකාරී වී ඇතැයි සිතිය හැකිය. කාටත් හුරුපුරුදු අත්දැකීම් නවතාවයකින් යුතුව ඉදිරිපත් කරන්නට විජේ පී. උඩකන්ද කවියා දක්වන දක්ෂතාව මේ කාව්‍ය සංග්‍රහය පුරාවටම දැකගත හැකිය.
මුල්ම පද්‍ය පන්තිය වන ‘සීතල’ ඊට කදිම උදාහරණයකි. ගසක් කතාකරයි ගහකොළ ඇතුළු සොබාදහම ගැන පාඨකයා තුළ ආදරයක්,ඇල්මක් ඇතිකරන්නට සමත් පද්‍ය පන්තියකි. කවියා යනු තුන්කල් දකින්නෙකි. රට යන අත නමැති පද්‍ය පන්තිය තුළින් ඔහු අද පවතින රට ගැන දුටු අයුරු පවසා ඇත්තේ මෙලෙසිනි.
ඉස්සර තිබූ රට යස ඉසුරින් පිරිලා
අද ගඳ ගසනු ඇත මඩ වගුරක එරිලා
දුටුවම ළය පැළේ මේවා කලකිරිලා
අවනීතියම රජවේ - නීතිය මැරිලා
කෙලෙසා දිනෙන් දින ලක් මෑණියගෙ අගේ
අවමානයට ලක් කරවන අයුරු හැඟේ
තව තව කුණු වුණොත් හිස් මොළ මිනිසු නගේ
හෙට කුමකින් කුමක්වේවිද රටට මගේ
විනාශ වන රට ගොඩනැඟිය හැක්කේද රටවැසියන්ටමය. කවියා ඒ පිළිබඳ අප සියලු දෙනාට ඇති වගකීම සහ යුතුකම ගැන මතක් කර දෙන්නේද අලුත් මිනිසෙක් සඳහා කවිය නම් පද්‍ය පන්තියෙනි.
නැහැ, බැහැ යන වදන් බස් වහරට නොගෙන
අබිමන් මාවතේ එන ගතිගුණ ඉගෙන
පුන් සඳ පරිද්දෙන් නිල් ගගනැබ නැඟෙන
ලෝකය දකිනු කවියක ඉමිහිර රැගෙන
ජීවිතය ගංගාවක් සේය. එය සුලබ උපමාවට ගංගාවක විදිහ නම් පද්‍ය පන්තිය තුළින් කවියා දෙන්නේ අලුත් ආලෝකයකි.
වයිරය, කොරෝදය සහ උස් මිටි බේද
නොතකා විටින් විට එක එක මතවාද
කරගෙන මිනිස්කම් පිළිබඳ අවබෝධ
ගඟ ආදුරුසයට ගත්තොත් හොඳ නේද
ජීවිතයට සතුට, මිහිර කැන්දන ඇය ගැන
ඔහුගේ පබැඳුම ළෙන්ගතුය;මනහරය.
පියකරු බවින් මුළු ජීවිතයටම හුරු
ළය විල් තෙරේ පිපි කුසුමකි සුපියකරු
පිය සෙනෙහස සදාකල්හිම කරණ ගරු
‘ඇය’ මා සතුය සංසාරයෙ සරණ තුරු
අපමණ දුක් විඳ උස්මහත් කරන දරුවන් සිය සෙවණින් දුරස් වූ විට වියපත් මවුපියන්ගේ හදවත්වලට දැනෙන වේදනාව වත්මන් සමාජයේ බොහෝ මවුපියන්ට නුහුරු වූවක් නොවේ. සෙනෙහස පද්‍ය පන්තිය තුළින් ඒ අත්දැකීම කවියා වදන්වලට පෙරළන්නේ මෙලෙසිනි.
අපි බලන්න එන්න කරද-රයි හැම දිනයක් පාහේ
දරුවනි ඔබෙ සුවඳ තවත්- තැවරී පවතියි නාහේ
ඉස්සර තිබූ සෙනෙහෙවන්ත - සුසුවඳ තවමත් වෑහේ
උඹලා හොඳින් කල් ගෙව්වොත්-එය අපි දෙන්නට සෑහේ