ජපනටත් වැඩිය හපන් යන්තම්පලාවේ සයිලන්සර් චන්දරේ | Page 2 | සිළුමිණ

ජපනටත් වැඩිය හපන් යන්තම්පලාවේ සයිලන්සර් චන්දරේ

 

 ලෝකයම ජයගත් නව නිර්මාණ ලෝකයට දායාද කළ විස්මිත මොළකරුවන් වරින් වර අපේ පුංචි රටෙන් ද මතු වේ. ජපනා නිර්මාණය කළ යතුරු පැදි වර්ග දෙකක් ජපනාටත් වඩා හොඳට මෙරටදී නිෂ්පාදනය කරන්නට අත ගසා ඇති අපූරු මිනිසකු අපට කුරුණෑගල යන්තම්පලාවේ දී හමුවිය.

ඔහු නමින් ඩී.ඒ. චන්ද්‍රසෝම ය.

" සයිලන්සර් චන්දරේ" යන ආදරණීය නමින් රටම දන්නා මේ අපූරු මිනිසා ජපනාටත් වඩා හොඳට ජපානයේ නිෂ්පාදිත හොන්ඩා CD125බෙන්ලි සහ CD200 රෝඩ් මාස්ටර් යන යතුරු පැදි දෙක මෙරට නිෂ්පාදනය කර ලෝක වෙළෙඳපොළට සපයන්නට බලාපොරොත්තුවෙන් සිටී. මේ වනවිටත් මෙම යතුරු පැදි වර්ග දෙකට අදාළ බොහෝ අමතර කොටස් සහ එම යතුරු පැදිවල චැසිය නිෂ්පාදනය කර ඇති ඩී.ඒ.චන්ද්‍රසෝම මේ කටයුත්තේ නියැළී ඉන්නේ බොහෝ කලක සිටය. මේ ‘චන්දරේ’ ඒ ගැන අපිට කියන කතාවයි.

“දශක ගණනාවක සිට ලංකාවේ විශාලතම යතුරු පැදි වෙළෙඳපොළ හිමිකරගෙන සිටින්නේ කුරුණෑගලයි. ආරම්භක යුගයේ එහි ඉදිරියෙන්ම තිබූ ධර්මසිරි සහ සිසිර යතුරු පැදි අලෙවි ආයතනයේ

ෆෝමන්වරයකු විදිහට මම වැඩ කළා. එම ආයතනය වෙනුවෙන් ජපානයේ යතුරු පැදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවල රැකියාව කරන්න මට අවස්ථාව ලැබුණා.”

එහිදී ඉතා ඉහළ තාක්ෂණික ක්‍රමවේද යටතේ සිදුකළ යතුරුපැදි අමතර කොටස් නිෂ්පාදන ක්‍රියාවලිය චන්ද්‍රසෝම විසින් මනාව ග්‍රහණය කරගන්නේ කුඩා කල සිට ඕනෑම දෙයක් ග්‍රහණය කරගැනීමට ඔහු තුළ තිබූ අපූරු හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි.

“ටික කලක් එහෙම වැඩ කරන කොට මට පුළුවන් වුණා ඒ විධිමත් තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ලොකු දැනුමක් ලබා ගන්න. මම ආපසු ලංකාවට ආවේ මේ අමතර කොටස් නිෂ්පාදනය ජපානටත් වඩා හොඳට නිෂ්පාදනය කරනවා කියන අධිෂ්ඨානයත් එක්ක. මේ වෙද්දි ලංකාවට චීන, තායිවාන් ඉන්දියන් වැනි යතුරුපැදි වර්ග එන්න පටන් අරන් තිබුණා. නමුත් කල්පැවැත්ම ඇතුළු බොහෝ කාරණාවලදී ජපන් යතුරු පැදි අභිබවා යාමේ හැකියාව අනෙකුත් යතුරුපැදිවලට තිබුණෙ නැහැ.

අඩු මිල නිසා බොහෝ අය වෙනත් යතුරුපැදි වර්ග මිලදී ගත්තත්, ජපන් යතුරුපැදි විශේෂයෙන් හොන්ඩා බයික්වලට තිබුණ ඉල්ලුම දිගින් දිගටම තිබුණා. මිල වැඩි වුණත් ජපන් බයික් එකක්ම ගන්න ඕනෑ කියන මතයේ ඉන්න ලොකු පිරිසක් හිටියා. මේ වගේ වාතාවරණයක් ශ්‍රී ලංකාවේ යතුරුපැදි වෙළෙඳපොළ තුළ නිර්මාණය වන කාලේ තමයි මම නැවත ලංකාවට ඇවිත් හොන්ඩා බයික්වල අමතර කොටස් නිෂ්පාදනය ආරම්භ කළේ. වැඩිම ඉල්ලුම තිබුණෙ සයිලන්සර්වලට නිසා මම හොන්ඩා බයික්වලට සයිලන්සර් නිෂ්පාදනය ආරම්භ කළා, ඉතා ඉහළ ප්‍රමිතියෙන් ඒවා නිෂ්පාදනය කළේ සුදු යකඩ උපයෝගී කරගෙන.”

සයිලන්සර් ගැන කටින් කට පැතිරී ගිය ආරංචිය ඔහුට වැඩි ඉල්ලුමක් ද ලබා දුන්නේය.

“ඒකට හේතු වුණේ ප්‍රමිතිය වගේම සාධාරණ මිල ජපානෙන් ගෙන්වලා ලක්ෂ දෙකහමාරකට දෙන සයිලන්සර් ජෝඩුව මම දුන්නෙ රු.75,000ට වීමයි. මේ අතරෙ ගැනුම්කරුවන් මගෙන් වෙනත් අමතර කොටස් ඉල්ලන්නත් ගත්ත නිසා මම ඒ නිෂ්පාදන කටයුතුත් ආරම්භ කළා. හොන්ඩා බයික් අතර ලංකාවෙ ඉතා ජනප්‍රිය හොන්ඩා CD 125 බෙන්ලි සහ CD 200 රෝඩ් මාස්ටර් කියන බයික් දෙක. නමුත් හොන්ඩා කොම්පැණිය මේ බයික් දෙක දැනට නිෂ්පාදනය කරන්නෙ නැහැ.හේතුව ජපානයේ දී මේ බයික් එකක් නිෂ්පාදනය කරන්න අධික පිරිවැයක් වැයවීමයි. නමුත් මේ බයික් එකක් ජපානයට වඩා 50% වගේ අඩු නිෂ්පාදන පිරිවැයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම අදටත් මේ බයික් වර්ග දෙකට විශාල ඉල්ලුමක් තියනවා. ලංකාවෙ මගෙන් විතරක් මේ බයික් දෙක ලංකාවෙ නිෂ්පාදනය කළොත් මිලදී ගන්න ඉන්න අයගේ ලයිස්තුව 500ත් ඉක්මවලා. ජපානයේ හොන්ඩා සමාගම නිෂ්පාදනය නොකරන මේ යතුරු පැදි දෙක සඳහා බොහෝ අමතර කොටස් දැනටමත් මම නිෂ්පාදනය කරලා අවසන්.

චැසියත් හදලා අවසන්. දැන් තියෙන්නෙ එකලස් කරලා වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න විතරයි.

ඒ සඳහා දැන් මට රජයේ සහයෝගය අවශ්‍යයයි. මම මීට පෙරත් මේ ඉල්ලීම රජයෙන් කරලා තියනවා.

දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ යන අමාත්‍යතුමන්ලා මගේ වැඩපොළට ඇවිත් මේ නිෂ්පාදන පරීක්ෂා කරලා ඉදිරි කටයුතු සඳහා යොමු කරලා තියනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගිය වසරේ ජාතික කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී මා එතුමා හමුවෙලා ටික වෙලාවක් කතා කළා. එතුමා මගේ නිෂ්පාදන බලන්න එන්න පවා කැමැත්ත පළ කළා. නමුත් රටේ පැවැති වසංගත රෝග තත්ත්වයන් සහ විවිධ ආර්ථික අර්බුද හමුවේ ඒ ඉදිරි පියවර නැවතිලා.”

අපේ මිත්‍ර රටක් වන ජපානය ජපානය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරලා මේ සඳහා අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මට අවශ්‍ය මගේ ව්‍යාපාරය දියුණු කර ගන්න නෙමේ. පෞද්ගලිකව මම උපයන, උපයපු ධනය මට ප්‍රමාණවත්.

මේ යතුරු පැදි දෙක ඇතුළු හොන්ඩා යතුරුපැදි අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් රජයේ මැදිහත් වීමෙන් ආරම්භ කරන්න කියන ඉල්ලීමයි මම කරන්නේ. ඊට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද මා සතුයි. ඒවා රටට දෙන්න මම සූදානම්.”

රට වෙනුවෙන් තම දැනුම, හැකියාව නොමසුරුව කැපකිරීමට සූදානම් මේ අපූරු මිනිසා කලාකාමියෙකි. ගෙවත්තේ මල්, එළවළු, පලතුරු වවන ඔහු තබ්ලා, ඕගන් සහ ගිටාර් වාදනයට මෙන්ම ගී ගැයීමට ද දක්ෂයෙකි. තවත් නව නිපැයුම් දෙකක් ද ඔහු මේ දිනවල සම්පූර්ණ කරමින් සිටී.

ඒ, එකවර ඉඳිආප්ප 40ක් සෑදිය හැකි පිටි මිශ්‍රණයක් ගබඩා කළ හැකි ඉඳිආප්ප නිෂ්පාදන යන්ත්‍රයක් සහ ගෘහස්ත දර පැළීමේ යන්ත්‍රයකි. ඒවා අලෙවිය සඳහා නිෂ්පාදනය නොකරන බවත් තමන් ප්‍රගුණ කරගන්නා තාක්ෂණය නිර්ලෝභීව ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ලබා දීමට සූදානම් බවත් ඔහු පැවසුවේ නිහතමානීවය.

ඒ ගැන උනන්දුවක් දක්වන අයකු වේ නම්, 0766622082 දුරකථන අංකයෙන් ඔහු ඇමතිය හැකිය.

 සුනිල් පොරමඬල

ඡායාරූප - තාරක විජේවර්ධන (කුලියාපිටිය සමූහ)

Comments