ජන්ම අංකය 4 හිමි ඔබ මෙහෙමයි | Page 2 | සිළුමිණ

ජන්ම අංකය 4 හිමි ඔබ මෙහෙමයි

- අද දිළිඳු ඔබ හෙට රජ වීමටත් පුළුවන්
- අවුරුදු 40 සිට ජීවිතයේ සාර්ථකත්වය ළඟාවෙයි

අංක 4, යුරේනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් නමුත් පෙරදිග ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවට අනුව එය රාහු ලෙසද සලකනු ලබයි. අධික රස්නයකින් නිරන්තරයෙන් ගිනි ගෙන දැවී පවතින සූර්යයා හා සෘජු සම්බන්ධයක් යුරෙනස් ගේ පවතින බැවින් සූර්යයාගේ ලක්ෂණ යුරේනස්ට ද ආරෝපණය කර ඇත. මේ අනුව ජන්ම අංක හතරෙන් උපන් අය නිතර උස් පහත් වෙන සහ ඉහළ පහළ යන ජීවිතයක් පෙන්නුම් කරයි.

ජුනි මස 21 සිට අගෝස්තු 21 දක්වා උපදින අයට මෙම බලපෑම් වැඩි වශයෙන් පවතින බව පෙනේ. මොවුන් ස්ථාවර භාවයකට පත් වන්නේ බොහොම හෙමින් වන අතර, නිරන්තර වෙනස්වීම්වලට ලක්වෙයි. ජීවිතයේ හදිසි අවස්ථාවන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන අතර කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීම් ද ඒ අතර වේ. වරෙක ඉතා උසස් මට්ටමට පත් වෙන ඔබ බලාපොරොත්තු නොවූ අවස්ථාවන්වල ඉතාමත් ඛේදනීය ලෙස පහත වැටෙන අවස්ථා තිබේ. අද ඉතා දුක්ඛිත දුප්පත් ජීවිතයක් ගත කරන අයකු හෙට රජකු සේ ඉතා ඉහළ යහපත් ජීවිතයක් ගෙවීමටත් හැකියාව ඇත. එමෙන්ම කුමන බාධා තිබුණද ගල්පර අතරින් ගලන ගඟක් සේ ඔබේ ජීවිතය ද ඉතා සුන්දර ලෙස ගලා යනු ඇත.

කලබලකාරී ගතිය මෙන්ම තරමක් හිතුවක්කාර මුරණ්ඩු ස්වභාවයක් ද ඔබ තුළින් පෙන්නුම් කරයි. පිටතින් ඉතාමත් මෘදු ස්වභාවයක් සෞම්‍ය ගතියක් පෙන්නුවද ඇතුළතින් ඔබ ඉතා දැඩිය; ශක්තිමත්ය. හොඳ දරා ගැනීමේ හැකියාවක් ඔබට ඇත. එහෙත් ඉක්මන් කේන්තිය නිසා ඔබ බොහෝ දේවල් පාඩු කරගන්නා අතර ඒ පිළිබඳ පසුතැවිලි වීම පසුව සිදු වෙයි. ඔබගේ තරහ වැඩි වේලාවක් නොපැවතියද ඒ වන විට ඔබ ප්‍රමාද වැඩිය. රැකියාව තුළ ද උස්පහත් වීම් ජීවිතය පුරා සිදුවන අතර විවිධ බාධා දුෂ්කරතා මැද රැකියාව කිරීමට සිදුවන බව පෙනේ. බොහෝ විට සියලු කටයුතු තුළ පිළිවෙළක් නැති බවක් පෙනෙයි.

හෙට දවස හා අනාගතය පිළිබඳව තියා අද දවස පිළිබඳව වුවත් නිසි සැලැස්මක් නැතිකම ඔබේ දුර්වලතාවක් බව පෙනේ. ඔබේ මනසේ ඇති මේ චංචල ස්වභාවය හොඳින් තේරුම් ගත හොත් ජීවිතයේ ඉහළම තලයකට පත්වීමේ හැකියාව පවති. ජන්ම අංක හතර හිමියෝ ජීවිතයේ ඉහළට නැඟීමට පටන් ගත් විට හිනිපෙත්තටම ගමන් කරන අතර, පහළ වැටීමට පටන් ගතහොත් බින්දුවටම වැටීමට සිදු වෙයි.

ජීවිතය පුරාවට ඔබට විවිධ සතුරු බලවේගවලට මුහුණදීමට සිදුවේ. එක සතුරෙකු පරාජය කරන විට තව බොහෝදෙනකු ඔබට විරුද්ධව නැඟී සිටින බව හොඳින් මතක තබාගන්න. ඔබට රහස් රැකීමේ හොඳ දක්ෂතාවක් ද ඇත. තම පෞද්ගලික කටයුතු පවා පසෙකලා අන් අය වෙනුවෙන් කැපවන ඔබ, කුමන බාධා අවහිරතා මැද්දේ වුවද තම යුතුකම් වගකීම් නිසි පරිදි ඉටු කිරීමට උපරිම උත්සාහ දරයි. මේ නිසාම ජන්ම අංක 4 හිමියන් සමාජය තුළ ඉතා ජනප්‍රිය, ප්‍රියමනාප පුද්ගලයන් වනු ඇත. කොපමණ වැඩ කළත් මහන්සි වුණත් එය ප්‍රමාණවත් නොවන සේ ඔබට දැනෙයි. එක් අභියෝගයක් ජයගෙන අවසන් කරන විට තව අභියෝග රැසක් ඔබ ඉදිරියේ දිස් වනු ඇත.

ඔබට පවුලේ ඥාතීන්ගෙන් බලාපොරොත්තු වෙන තරම් ආධාර උපකාර නොලැබුණද පවුලේ බොහෝ වගකීම් ඔබගේ කර පිට පැටවෙනු ඇත. සමාජයේ උසස් මට්ටමේ අය ඔබේ මිතුරන් බවට පත්වේ. එහෙත් ඉක්මනින් මිතුරන් බවට පත්වෙන්නන් පිළිබඳ සැලකිලිමත් වන්න. ඔවුන් කරදරකාරයන් වන්නට වැඩි කලක් ගත නොවේ.

හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව ද ඔබට තිබේ.

එහෙත් මුදල් පසුපස අනවශ්‍ය ලෙස හඹා යෑමේ වුවමනාවක් නැති ඔබ වියදමට සරිලන මුදලක් තිබුණා නම් ඇති යැයි සිතයි. අනවශ්‍ය වියදම් පාලනය කරගෙන අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කර ගැනීම පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. මුදල් අතින් අපහසුතා ඇති වු විට ඔබට එයට මුහුණ දීමට ඉතා අපහසු වෙන අතර කම්පාවට සහ දුකට පත්වෙයි. ඔබගේ ජීවිතයේ දියුණුව සහ ස්ථාවරත්වය සැලසෙන්නේ අවුරුදු 40 සිටය. මොන තරම් දේවල් තිබුණත් සමහර විට ජීවිතයේ හිස් බවක් හෝ හුදෙකලා බවක් ද හිතට දැනෙනු ඇත.

ඇවිදීමට, සංචාරය කිරීමට කැමති ඔබ සතුන්ගෙන් වඩාත් පරෙස්සම් විය යුත්තේ ඔවුන්ගෙන් අනතුරු සහ සපාකෑම සිදුවිය හැකි බැවිනි. ජන්ම අංක 4 හිමි අයට අධ්‍යාපනඥයන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, නීතීඥයන් සහ ව්‍යවසායකයන් බවට පත්වීමේ වාසනාව ඇත. එමෙන්ම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරුවන් , සංචාරක හෝටල්, ඇඟලුම් ක්ෂේත්‍රය, ප්‍රව­ාහන සේවා, ගොඩනැඟිලි ඉදිකිරීම්, රියදුරු සේවය, ප්ලාස්ටික් හා රබර් කර්මාන්ත ආශ්‍රිත රැකියා, කොන්ත්‍රාත් වැඩ ආදී වෘත්තීන් ද ඔබට ඉතාමත් පල දේ.

ඔක්තෝම්බර් මුල සිට දෙසැම්බර් අවසානය දක්වා කාලය එතරම් යහපත් නැත. බාධා කරදර ඇති කළ හැකි බැවින් පරෙස්සම් විය යුතු කාලයකි. එමෙන්ම රුධිරගත රෝග, උදරය සහ පපුව ආශ්‍රිත රෝග තත්ත්ව, දණිස් හන්දිපත් ආදී ආබාධ, වකුගඩු හා මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග, මානසික ආතතිය, ශ්වසන ආබාධ ආදිය පහසුවෙන් වැලඳිය හැකි අතර මේ පිළිබඳ කල් ඇතිව නිසි වෛද්‍ය උපදෙස් ගැනීම ඉතා වැදගත් වෙයි.

කලබලයට පත් නොවී මානසික සුවයෙන් යුතුව කරුණාව සහ මෛත්‍රිය පෙරදැරිව ම කටයුතු කරන්න. දුටු පමණින් කිසිවකු විශ්වාස නොකරන්න. තද සීතලෙන් සහ බෝවෙන රෝගවලින් ආරක්ෂා වන්න. සකසුරුවම්කම සහ අරපරෙස්සම ගැන නිතර සිතන්න, ලේ කෝප වෙන ආකාරයේ කටයුතුවලින් අත්මිදෙන්න, කතාව අඩු කර, අවශ්‍ය දේ පමණක් කෙටියෙන් කියන්න.

ආදරය සහ ප්‍රේමය සම්බන්ධ කටයුතුවලදී ජන්ම අංක 1, 4, 8 අය වඩා යහපත් වෙයි. එමෙන්ම 13, 17,22, 26, 28, 31 යන දිනවල උපන් අය ද ජුනි 10 සිට අගෝස්තු 30 දක්වා උපන් අය ද ඉතා ගැළපෙයි. යහපත් ව්‍යාපාරික සම්බන්ධතාවකට හෝ මිත්‍ර සම්බන්ධතාවයන් සඳහා ඕනෑම මාසයක 1, 2,4,7,10,11,13,16,19,20,22,25,28,29,31 යන දිනවල උපන් අය ඉතා යහපත් ලෙස ගැළපෙයි. ඕනෑම මාසයක 1, 2, 4, 13, 22, 31 යන දින ඔබට වාසනාවන්ත දින වන අතර, සදුදා සහ සෙනසුරාදා වාසනාවන්ත දවස් වේ.මෙම දින සහ දවස් එක විට යෙදේ නම් වඩාත් සුබ පල ඇති කරයි. ඔබට වාසනාව ගෙන දෙන වර්ණ වන්නේ කහ, නිල්, අළු සහ සුදු වර්ණයයි.

මෙම වර්ණ ලේන්සු, ජනෙල් දොර තිර, ඇද ඇතිරිලි, කොට්ට උර, මේස රෙදි , කාමර බිත්ති, කෘතිම ආභරණ ආදී හැකි සෑම අවස්ථාවකදීම යොදා ගැනීම තුළින් සෞඛ්‍යයත් මානසික සුවයත් ආරක්ෂාවත් සලසා ගත හැකිය. 4,13, 22, 31, 40, 49, 58, 67 යන වර්ෂ ඔබේ ජීවිතේ ඉතා සුවිශේෂී වැදගත් වර්ෂ වේ. ජීවිතයේ වැදගත් සැලසුම් මේ වර්ෂවල යොදා ගැනීම ඉතා සාර්ථක වේ.

ඕනෑම වර්ෂයක ජූලි සහ අගෝස්තු මාසය ඔබට සමෘද්ධිමත් මාස වේ. වාහනයක් මිලදී ගන්නේ නම් වාහන අංකය තනි අංකයක් ලෙස එකතු කළ පසු 1, 4, සහ 8 වීම යහපත්ය. ඔබට සුබ පල දෙන ලෝහය තඹ වන අතර තඹ වළල්ලක් කාන්තාවක් නම් වම් අතේ ද පිරිමියකු නම් දකුණු අතේ ද පැලඳීම සුබයි.

ඕනෑම මාසයක 5, 14, 23 යන දිනවල උපන් ජන්ම අංක 5 අයගේ පලාපල ඊළඟ කලාපයෙන්...

Comments