
වර්තමාන ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රශ්න උද්ගතව ඇත්තේ ඩොලර් අහේනිය නිසාය. ඉන්ධන, ඹෟෂධ මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අහස උසට නැග්ගේද එහි ප්‍රතිඵලයක් නිසාවෙනි. එවන් පසුබිමක උදාවන හෙට දවස ගැන බලාපොරොත්තුවක් නොමැති ව බරපතළ ගැටලුකාරී තත්ත්වයක පැටලී සිටින ජනතාවට ඩොලර් සොයන හැටි ක්‍රියාවෙන් ඔප්පු කළ කොළඹගෙආර කරමැටිආරේ අජිත් රත්නසිරි ලබා දෙන ආදර්ශය ඉතා වැදගත්ය.
අජිත් රත්නසිරි මේ වන විට මඤ්ඤොක්කා, තැඹිලි, ගස්ලබු, අන්නාසි, දෙහි ආදිය අපනයනය කරන ව්‍යවසායකයෙකි. මේ සිළුමිණ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.
"ඩොලර් උපදින පොළවක ඉපදුන අපි අද පිටරටවලින් ඩොලර් යදිනවා. තෙල් ගෑස් ටික නැතුව ළතැවෙනවා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. නමුත් අපි කොන්ද කෙළින් තියාගෙන රට ආර්ථික අතින් ඉහළටම ගෙන යා හැකි ශ්‍රේෂ්ඨ ජාතියක් ." ඒ අජිත් රත්නසිරි පැවසු වදන්ය. සහෝදර සහෝදරියන් අටදෙනෙකුගේ පවුලේ පස්වෙනියා අජිත්. ඔහු ට වයස අවුරුදු හතළිස් දෙකකි. බිරිඳ එන්.ජී.නදීකා ඉරෝෂනීය. නෙතුනි දිවාසා, රිස්මිත පැහැදුල, සෙනුජි සමිල්කා අජිත්ගේ දරුවන් තිදෙනාය. ගොවි පවුලක ඉපදුන අජිත් අධ්‍යාපනය ලැබුවෙ කොළඹගෙආර මහ විද්‍යාලයෙනි. ගොවිතැන් වලට දෑත හුරුවුණු අජිත් ට අරාබියට මඤ්ඤොක්කා අපනයනය කරන්න ලැබුණු අවස්ථාව ගැන අජිත් විස්තර කළේ මෙලෙසිනි.
“මම අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉස්කෝලෙන් අයින් වෙලා ගොවිතැන් කළා. අවුරුදු තුනක් පුද්ගලික ආයතනයක රැකියාවක් කළා. තවත් අවුරුද්දක් කොළඹ පුද්ගලික අංශයේ රැකියාවකට ගියා. කොළඹ ඇවිත් ගමේ යාළුවො කීප දෙනෙක් එක්ක එළවළු, පලතුරු එකතු කරලා කොළඹ මැනිං මාර්කට් දැම්මා. ඒ අතර කුලියට මඤ්ඤොක්කා ගලවන්න ගියා. රෑට ඒ මුදලාලිලාගේ බඩු අරන් කොම්පැණි වලට ගියා, රියදුරෙක් විදිහට. එයාලා මඤ්ඤොක්කා ගෙනල්ලා කරන විදිහ බලා ගත්තා. පැකිං කරන හැටි,ඇසුරුම් කරන විදිහ බලා ගෙන ඉඳලා ඉගෙන ගත්තා. ඊට පස්සෙ මම තනියම පොඩ්ඩ පොඩ්ඩ මඤ්ඤොක්කා ගෙනියන්න පටන් ගත්තා. මම හොඳට බඩු දුන්න නිසා එයාලා මට කිව්වා පෙට්ටි දීලා ඒවා ඇසුරුම් කරලම දෙන්න කියලා.
ඊට පස්සෙ මට දැනගන්න ලැබුණා අනිත් ඇසුරුම් කරන බඩුවලට වඩා මම පැකිං කරල යවන බඩු ඩුබායි වෙළෙඳපොළේ ඉක්මනින් අලෙවි වෙනවා කියලා.ඊට පස්සෙ කොළඹ කොම්පැණිවලින් කන්ටේනර් පෙට්ටි එව්වා, පැකිං කරල ඇසුරුම් කරල රට යවන මට්ටමට එවන්න කියලා ඒ වෙලාවෙ මම හිතුවෙ මගේ නමින් ම ඩුබායි මාර්කට් එකට බඩු සපයන සැපයුම්කරුවෙකු වෙන්න ඕන කියලා. ඒ අනුව මම එක කන්ටේනර් පෙට්ටියක් ගානෙ සතියට යැව්වා. ඊට අමතරව අනෙක් කොම්පැණිවල ඇසුරුම් කර දුන්නා. අද වන විට සතියකට කන්ටේනර් පහක් යවනවා.“
“මඤ්ඤොක්කා, තැඹිලි, ගස්ලබු, දෙහි, අන්නාසි, කිරිඅල, රාජා අල වගේ දේවල් දැනට යවන්න පුළුවන්. හොඳ ඉල්ලුමක් තියෙනවා. සතියකට තැඹිලි ගෙඩි ලක්ෂයක් විතර, ගස්ලබු කිලෝ හතලිස් දාහක්,මඤ්ඤොක්කා පනස් දාහක් විතර යවන්න පුළුවන්. මගේ ව්‍යාපාරය ගැන මම ගොඩක් සතුටු වෙනවා.මඤ්ඤොක්කා ගැලවීම, පිරිසිදු කිරීම, සහ ඇසුරුම් කිරීමේ කටයුතු වල නිරතවන සේවක පිරිස හැත්තෑවක් විතර ඉන්නවා. මීට අමතරව වක්‍ර රැකියා අවස්ථා සැපයුම්කරුවන් කොහු බත් ගෙන එන අය රියදුරන් හා සහායකයන් වැනි අය තුන්සීයකට වැඩියි. ගමේ ම කිලෝමීටර් දෙක තුනක් ඇතුලත සේවකයින් ඉන්නෙ. මෙතෙක් මම ආපු ගමනේ කිසිම රාජ්‍ය මැදිහත් වීමක් නෑ. රජයේ නිලධාරියෙක් කියලා මේ අවුරුදු හතටම ඇවිත් තියෙන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විතරයි. කලින් හිටපු ග්‍රාම නිලධාරිතුමා නම් ඇවිත් තියෙනවා. වෙනත් රාජ්‍ය නිලධාරීන් අපේ වැඩපොළ ඉදිරියෙන් යනවා නිකං වත් නවත්තලා බලල නෑ. මොකක් ද කරන්නෙ කියලවත්. පවුලේ හැමෝම මට උදව් කරනවා සතුටු වෙනවා. පවුලේ අයත් මෙතන වැඩ කරනවා. තෙල් පොහොර කිසිවක් නෑ. මඤ්ඤොක්කා වැව්වොත් අවුරුද්දෙන් පලදාව ගන්න පුළුවන්. අනෙක ලෝකෙ කොහේවත් තැඹිලි නැහැ. අපේ රටේ තැඹිලිවලට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ...“ අජිත් පවසන්නේය.
“නමුත් මේ වන විට ව්‍යාපාරික කටයුතු වලට ගැටලු කීපයක්ම බලපාලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ම මේ වෙලාවෙ තියෙන ප්‍රධාන අභියෝගය ඉන්ධන. වගා කටයුතු වලටත් අවශ්‍ය පොහොර වැනි ද්‍රව්‍යයන් ගොඩක් ම හිඟයි. ඒ වගේම පැකින් කිරීමට භාවිතා කරන කාඩ්බෝඩ් පොලිතීන් සහ සෙලෝටේප් ගිණි ගණන්.
මේවට සහනයක් ලැබෙනවනම් අපි ට ලොකු දෙයක්. තෙල් පොහොර නැතුව වවන්න පුළුවන් මුරුංගා කොළවලට විශාල ඉල්ලුමක් තියෙනවා. අපේ රටේ මිනිස්සු කොළ මැල්ලුමක් කන්නත් අකමැතියි.
මුරුංගා කොළ වලට ලෝකයේ රටවල් ගොඩක් කැමතියි .පසුගිය දවස් වල ඉන්ධන පෝලිම්වල හිටපු අයට මඤ්ඤොක්කා කිලෝ පන්දහසක්,තැඹිලි එක්දහස් පන්සීයක් විතර දන්සල් දුන්නා. ඉදිරියට ව්‍යාපාරික දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා.මගේ ව්‍යාපාරික වැඩවලට හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමා උදව් කරන්න සූදානම් වුණා.එතුමා බලන්නත් ආවා.“ අජිත් ආඩම්බරයෙන් පවසන්නේය. " මම මෙහේ වැඩට ඇවිත් අවුරුදු හතක් වෙනවා.
මාසික වශයෙන් ප්‍රමාණවත් වැටුපක් ලැබෙනවා .අනෙකුත් දීමනා වගේම වසර අවසානයේ විනෝද චාරිකාවක් එක්ක යනවා.
අනික අපි වැඩ කරන්නෙ දරුවන්ගේ වැඩත් කරගෙන. ගමේ කෙනෙක් මේ වගේ දෙයක් පටන් ගත්තු එක ලොකු දෙයක්. මේ ව්‍යාපාරය නිසා ජීවිතය ගෙනියනවා.“ ඒ මෙම වැඩපොළේ සේවය කරන ලතිකා නිශානීය.
“ මගේ පදිංචිය ගුරුමඩයාය පනහඩුව මට දරුවන් දෙදෙනෙකු සිටිනවා. බිරියත් සමඟ අපේ ජීවිතයම රැඳී තියෙන්නෙ මේ ව්‍යාපාරයත් එක්ක. කලින් රියදුරු රස්සාවක් කළා. මේ රැකියාව නිදහස් වගේ ම රටට විශාල හයියක්.
ගමේ කෙනෙක් නිසා කිසිම ගැටලුවක් නෑ. සතුටින් වැඩ කරනවා.“ ආයතනයේ සේවකයෙකු වන එම්. ටී.ජගත් රණවීරය.
“මම ගොඩක් සතුටු වෙනවා මගේ සැමියා ගැන. ඉස්සර අපි ගොඩක් දුක් වින්ඳා. රැයක් දහවලක් නැතුව වැඩ කළා. දවල්ට මඤ්ඤොක්කා ගලවලා රෑ නිදිවරා ගෙන කොළඹ අරන් ගියා. කිසිම විවේකයක් තිබුණෙ නැහැ.
අපේ දරුවො තුන් දෙනත් එක්ක ගමේ දෙතුන් සීයකට රැකියා ලබා දෙනව කියන්නෙ මේ කාලේ කොච්චර ලොකු දෙයක්ද? “ ඒ අජිත්ගේ බිරිඳ එන්.ජී.නදීකා ඉරෝෂනීය.
“මම වගේ අවදානමක් දරලා අලුත් විදිහට හිතුවොත් ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. එදා කුලියට මඤ්ඤොක්කා ගලවන්න ගිය මම අද අරාබියට මඤ්ඤොක්කා ඇතුළු වර්ග කීපයක් අපනයනය කරන ව්‍යවසායකයෙක්. මේ ගෞරවය හා ආඩම්බරය මගේ මව්බිමට වගේම මගේ දෙමාපියන්ටත් හිමිවිය යුතුයි.“ අජිත් පවසන්නේය.