
පසුගිය 09 වැනිදා ලංකාවේ දසතින් කොළඹට පැමිණි ජනතාව ජන අරගලයට සහභාගී වූ අයුරු මුළු රටම දැනගත්තේ ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු වාර්තාකරණයත් සමඟය. සෑම අස්සකට මුල්ලකට රිංගමින් ජීවිත අවදානම නොතකා ඔවුන් කළ කාර්යභාරය අති විශිෂ්ටය. යුද බිමේදීත් ගැටුමකදීත් හදිසි අනතුරකදීත් ආපදාවකදීත් සත්‍ය තොරතුරු ජනතාවට දැන ගැනීමට හැකි වන්නේ දිවි පරදුවට තබා මාධ්‍යවේදින් සිදු කරන වාර්තාකරණය නිසාය. ප්රජාතන්ත්රවාදි සමාජයක් සක්‍රීය කිරීමට මාධ්‍ය නිදහස අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගෙන තිබෙන්නේ එබැවිනි.
එහෙත් පසුගිය 09 වැනිදා මෙරට මාධ්‍යවේදින් පිරිසකට පොලිස් ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වූයේ සිය රාජකාරිය කරන අතරවාරයේදීය. එදින රාත්‍රි 7.00 ට පමණ කොල්ලුපිටියේ පිහිටි වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ඉදිරිපිට ඇති වූ කලහකාරි සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදිහු මෙසේ පොලිස් පහරදීමට ගොදුරු වූහ. මෙම අමානුෂික පහරදීමට ලක් වු මාධ්‍යවේදින් 7 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය. ඉන් සිව් දෙනකු සිරස මාධ්‍ය ජාලයට අයත් වන අතර ඊට මාධ්‍යවේදිනියක් ද අයත් වෙයි. ඈ නිව්ස් ෆස්ට් මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන සරසි පීරිස් ය. සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පි වරුණ සම්පත් සහ යු.ඩී. සිදුජය, සිරස වෙබ් මාධ්‍යවේදී ජනිත මෙන්ඩිස් සෙසු අය වෙති.
මෙම මාධ්‍යවේදින්ට පහරදීමේ සිද්ධියට අදාළව සහ එම පහරදීම වැළැක්වීමට කටයුතු නොකිරීමේ හේතුව මත ආයතන සංග්‍රහය මඟින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියගේ මේ වන විට වැඩ තහනමකට ලක් කර ඇත.
"මාධ්‍යවේදින්ගේ කාර්යභාරය වෙන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සාක්ෂාත් කිරීම. ඒ සඳහා ඔවුන් ජීවිත අවදානම නොතකා කටයුතු කරනවා. එය තවත් විදිහකින් විස්තර කරනවා නම් ජනතා පරමාධිපත්‍ය ඉෂ්ට කිරීම හැටියට හඳුන්වන්න පුළුවන්. ජනතා පරමාධිපත්‍ය කියන්නේ ජනතාව විසින් ව්‍යවස්ථාව, විධායක හා අධිකරණය භාරදීපු අය මොනවාද කරන්නේ කියලා දැනගැනීමට ජනතාවට ඇති අයිතියටයි. ඒ සඳහා ක්‍රියා කරන මාධ්‍යවේදියාට වගේම මාධ්‍ය කාර්යයටත් සමහරු බයයි. මම දැකලා තියෙනවා මඟතොටේ ඉන්න සමහරු යම් යම් සිද්ධි ජංගම දුරකතනවලින් රූගත කරලා වෙබ් පිටුවල පළ කරනවා. එය මාධ්‍යවේදියාගේ කාර්යභාරයක් නිසා ඔහු මාධ්‍යවේදියකු නොවුණත් පහර දෙනවා. ඔවුන් බය මාධ්‍යවේදියා කියන පුද්ගලයාට නොවෙයි. මාධ්‍යවේදියාගේ කාර්යභාරයට. අසාර්ථක පාලනයක ප්‍රධාන ක්‍රමවේදයක් තමයි මර්දනය කිරීම. මාධ්‍යවේදින්ට පහරදීමෙන් කියවෙන්නේ එයයි. මෙහි යටි අරුත තමයි අපි එක්ක හැප්පෙන්න ආවොත් වෙන දේ මේකයි කියලා සංඥාවක් දීම. එක්කෙනකුට පහර දුන්නාම අනිත් අයට උණ ගැනෙනවා කියලා ඔවුන් දන්නවා. මාධ්‍යවේදින්ට පහර දීමේදී ඔවුන්ගේ වාර්තාකරණ අයිතිය කියන මානව හිමිකම උල්ලංඝනය වෙනවා. ඒ විතරක් නොවෙයි, රටේ පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියත් උල්ලංඝනය වෙනවා. ඒ නිසා මාධ්‍යවේදින්ට පහරදීමට එරෙහිව මාධ්‍යවේදින් විතරක් නොවෙයි. රටේ පුරවැසියනුත් නැඟී සිටිය යුතුයි". යනුවෙන් පැවසුවේ මානව හිමිකම් පිළිබඳ නීතිඥ උදුල ප්‍රේමරත්න ය.
වධ දීමට සහ අනිකුත් ක්‍රෑර අමානුෂික හෝ නින්දිත කැලඹීමකට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතියක් 1984 දෙසැම්බර මස 10 වැනි දින නිව්යෝක් නගරයේදී අත්සන් කෙරුණු අතර 1994 ජනවාරි මස 3 වැනි දිනැති වූ ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත 1993 දෙසැම්බර් මස 29 වැනි දින තැන්පත් කරන ලද්දා වූ ද එකඟවීමේ සාධන පත්‍රයක් මඟින් ශ්‍රී ලංකාව ඉහත කී සම්මුතිය පිළිගෙන ඇති හෙයින්ද ඉහත කී සම්මුතිය ශ්‍රී ලංකාවට අදාළව 1994 පෙරවාරි මස 2 වැනි දින සිට බලාත්මක වීම ආරම්භ වී ඇති හෙයින්ද ඉහත කී සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාමය විධිවිධාන පැනවීමට අවශ්‍යව ඇති හෙයින්ද වධ හිංසාවට ලක්වීම වැළැක්වීම පිළිබඳව පාර්ලිමේන්තුව අනුමත කළ නීතියක් තිබේ. එවැනි නීතියක් තිබියදී පොලිස් නිලධාරින් විසින් එළවා එළවා අමානුෂික අයුරින් පහරදීම දඬුවම් ලැබිය යුතු වරදකි. "අනේ ගහන්න එපා" යනුවෙන් මාධ්‍යවේදිනී සරසි පීරිස් හඬ නඟා පවසද්දීත් ඇයට අමානුෂික අයුරින් පහරදුන් ආකාරය අපි රූපවාහිනි මාධ්‍ය ඔස්සේ දුටුවෙමු. මාධ්‍යවේදින් ඔවුන්ගේ රාජකාරි හැඳුනුම්පත පෙන් වූ නමුදු එම පොලිස් නිලධාරින් එය සත පහකට ගණන් ගත්තේ නැත.
"සිරස ආයතනයේ මාධ්‍යවේදින් ඇතුළු අනෙකුත් මාධ්‍යවේදින්ට එදා අමානුෂික විදිහට පහර දුන් ආකාරය අපි දැක්කා. එය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ව්‍යවස්ථාවේ 14.1 වගන්තියෙන් රැස්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, සමාගමේ, රැකියාවේ නිදහස යනාදියේ අයිතිය තහවුරු කරනවා ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම අපි පිළිඅරගෙන තිබෙනවා. ඒ අයිතිය උල්ලංඝනය වීම බරපතළ ගැටලුවක්. ඒ වගේම අධිකරණය මගින් දඬුවම් ලැබිය යුතු වරදක්. වෘත්තියක නිරත වෙලා සිටියදී හිංසනයට ලක් වීම ලොකු ප්‍රශ්නයක්. මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් දඬුවම් කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. මෙවැනි සිදුවීම් නැවතත් සිදු නොවීමට වග බලා ගත යුතුයි." යනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සඳහන් කළේය.
එහෙත් ජුලි 13 වැනි රාත්රියේදී ද මාධ්‍යවේදින් දෙදෙනෙකු තුවාල ලැබීය. ඒ පොල්දුව මංසන්ධියේ පැවැති විරෝධතා ආවරණය කිරීමට ගිය අවස්ථාවේදීය. මීට පෙර අප්‍රේල් 01 වැනිදා මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නිවෙස අසල පැවැති මහජන විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදින් කීප දෙනකුට එල්ල වූ ප්රහාරයන් ද අපට අමතක නැත. ඩේලිමිරර් පුවත්පතේ වරුණ වන්නි ආරච්චි සහ නිසල් බදුගේ, සිරස ආයතනයේ අවංක කුමාර, දෙරණ මාධ්‍ය ජාලයේ නිශ්ශංක වේරපිටිය සහ ප්‍රදීප් වික්‍රමසිංහ, ලේක්හවුස් ආයතනයේ සුලෝචන ගමගේ යන මාධ්‍යවේදිහු එදා මිරිහානේ පැවැති විරෝධතාව අතරතුර තුවාල ලැබුහ.
මෙම අවස්ථාවේදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග, අතුරුදන් වූ මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ, පහරදීම්වලට ලක් වූ මාධ්‍යවේදි පෝද්දල ජයන්ත, කාටුන් ශිල්පි යුනුස්, ඡායාරූප ශිල්පි සජීව චින්තක වැනි අයද සිහිපත් වන්නේ නිරායාසයෙනි.
"අපේ රටේ හැම කාලෙකදිම මාධ්‍යවේදින්ට පහරදීම් සිද්ධ වුණා. ඒක ඛේදනිය තත්ත්වයක්. ආරක්ෂකයන් කරන්නෙත් රස්සාවක්. මාධ්‍යවේදින් කරන්නෙත් රස්සාවක්. මේ දෙගොල්ලන්ටම වෘත්තීය කටයුතුවලදී ගැටුම් තිබෙන්න බැහැ. ආරක්ෂක නිලධාරින්ගේ වගකීම වෙන්නේ ජනතාව හා දේපළ ආරක්ෂ කිරීම. එවැනි පිරිසක් අතින් මාධ්‍යවේදින් ඇතුළු පුරවැසියන්ට පහර දීමක් සිද්ධ වෙනවා නම් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය එය තරයේ හෙළා දකිනවා. එදා පහරදීමට ලක් වී තුවාල ලැබූ මාධ්‍යවේදින් ගැන විද්‍යුත් විකාශකයන්ගේ සංගමය වශයෙන් අපි සොයා බැලීම් කළා.
අපි දිගටම ඔවුන් සමඟ රැදී සිටිනවා. ඔවුන්ට පහර දුන් නිලධාරින්ට එරෙහිව නීතිය මඟින් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි විද්‍යුත් විකාශකයන්ගේ සංගමය පිහිටුවා ගත්තේ අපේ කර්මාන්තය උසස් තලයකට ගෙනෙන්න. දැන් අපේ වෘත්තිය කටයුතු වුණත් ජාත්‍යන්තර මට්ටමට පත් විය යුතුයි. ඒ සඳහා මාධ්‍යයෙන් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි. ජනතාව විනයවත් කිරීමේ මූලික වගකීම තිබෙන්නේ අධ්‍යාපනයට සහ ජනමාධ්‍යයට. ඒ නිසා ජනමාධ්‍යයට ලොකු අභියෝගයක් තිබෙනවා. සමාජයේ විශාල වගකීමක් කරපින්නා ගත් මාධ්‍යවේදින්ට පහරදීම සම්බන්ධයෙන් අපේ බලවත් විරෝධය සහ කනගාටුව ප්‍රකාශ කරනවා." යනුවෙන් පැවසුවේ විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ කැඳවුම්කරු නුවන් ලියනගේය.
තම ජීවිතය පරදුවට තබා යුද බිමට ගොස් වාර්තා කරණයේ යෙදෙන මාධ්‍යවේදින්, මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් ගැන අනාවරණය කරන මාධ්‍යවේදින්, රහස් වැළලෙන්නට ඉඩ නොදී සමාජයට හෙළිදරව් කරන මාධ්‍යවේදීන් වැනි සුවිශාල සමාජ මෙහෙවරක නිරත මාධ්යවේහු ද ලෝකයේ සිටිති. ලොවෙන් සැඟවෙන්නට ගිය ස්ටිව් බිකෝගේ මරණය ලෝකයට දැනගැනීමට ඉඩ සැලසුණේ ඩොනල්ඩ් වුඩ්ස් මාධ්‍යවේදියාගේ අපරිමිත කැපවීම නිසාය. කොළොම්බියාවේ ගුලිලර්මො කානො මාධ්‍යවේදියා ඝාතනය වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපස ලුහුබඳිමින් තොරතුරු වාර්තා කළ නිසාය. මේ අනුව මාධ්‍යවේදියාගේ කාර්යභාරය හා වගකීම ඉතා පුළුල් බව අපට පෙනේ.
"මාධ්‍යවේදින්ට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට පහරදීමක් කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තමයි. පොලිසිය වැනි ආරක්ෂක නිලධාරින් පහර දුන්නත් වෙනත් කෙනෙකු පහර දුන්නත් එය මානව හිමිකම් කඩවීමක් හැටියට සැලකෙනවා. මාධ්‍යවේදින් රාජකාරි කිරීමේදී ජීවිත පවා අහිමි වෙලා තිබෙනවා.
හැබැයි මාධ්‍යවේදිනුත් රාජකාරි කිරීමේදි වටපිටාව හා පරිසරය ගැන සැලකිල්ලට ගැනීම අවශ්‍යයි. සමහර මාධ්‍යවේදින් කටයුතු කරන්නේ ගිනි නිවනවාට වඩා ගිනි අවුළුවන එක. නිසි පරිදි වාර්තා කිරීම මාධ්‍යවේදින්ගේ වගකීමක්. ඒවගේම තමයි රාජ්‍ය නිලධාරින් නීතියට පටහැනිව නීතිය ඉක්මවා කටයුතු කිරීම වරදක්. මේ දෙපාර්ශ්වයම නිසි අවබෝධයෙන් තම තමුන්ගේ රාජකාරිය කළ යුතුයි.
මාධ්‍යවේදින් වුණත් රාජකාරිය කිරීමේදී සදාචාරාත්මකව සීමාව දැනගෙන කටයුතු කරනවා නම් හොඳයි.
සමහර මාධ්‍යවේදින් වාර්තාකරණයේදී සීමාව ඉක්මවා කටයුතු කරන බවක් අපිට දකින්න ලැබෙනවා. එය හොඳ නැහැ. බොහෝ ප්‍රශ්න මතු වෙන්නේ එවැනි අනවශ්‍ය ආකාරයේ සීමාව ඉක්මවා කටයුතු කිරීම නිසයි. කොයි කවුරුත් තමුන්ගේ සීමාවන් දැනගෙන වැඩ කරනවා නම් මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැහැ." යනුවෙන් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්, කළුපහන පියරතන හිමියෝ පැහැදිලි කළහ.
කොයි කවුරුත් තමතමුන්ගේ සීමාවන් දැනගෙන කටයුතු කිරීම ඉතා යහපත් ය. එසේ වුවහොත් ප්‍රශ්න නැත. මානව හිමිකම් කඩ වෙන්නේද නැත. නමුත් පහර කෑමට ලක් වු මාධ්‍යවේදින්ව කැටුව යෑමට පැමිණි මාධ්‍යවේදින්ටත් පසුගිය 09 වැනිදා ආරක්ෂක නිලධාරින්ගේ ප්‍රහාරයකට ගොදුරු වීමට සිදු විය. හෙට දිනයේදිත් මේ ආකාරයට මාධ්‍යවේදින් බැටන් පොලු පහරට ලක්විය හැකිය. මෙහි අවසානය ගැන කාටවත් කිව නොහැකිය.