රනිල්ට ගින්න දුන් SMS පණිවුඩය | සිළුමිණ

රනිල්ට ගින්න දුන් SMS පණිවුඩය

මෙරට හත්වැනි විධායක ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපතිධුරයට පත්වීම, ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු තෝරා පත්කරගැනීමත් යන කාරණා ඇතුළු තවත් කරුණු හේතුවෙන් මෙම අවධානයට යොමු වී තිබේ.

 

•ගෝඨාභය අලුයම 2.00ට පිටව යයි

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය (13) අලුයම 2.00ට පමණ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා සමඟ ඔහුගේ බිරිය හා ආරක්ෂකයන් දෙදෙනෙකුද ගොස් ඇති අතර පිරිසගේ ගුවන් ගමන් බලපත්‍ර හා අවශ්‍ය ලියකියවිලි ගුවන් හමුදා නිලධාරීන් විසින් කලින්ම සූදානම් කරගෙන විත් තිබුණි. අනතුරුව පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්වී තිබේ.

ජනාධිපතිවරයා රටින් පිටවීම වැළැක්වීමට අරගලකරුවන් හා විවිධ දේශපාලන කණ්ඩායම් උත්සාහ දැරූ අතර ඔවුන් ගුවන්තොටුපළ හා ආගමන විගමන නිලධාරීන්වද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස අරගලකරුවන් විසින් බල කළත් තමන්ට හා තම පවුලට නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවෙන් පිටවීමේ අවස්ථාව ලබා දෙන තෙක් තමන් ධුරයෙක් අස්නොවන බවට ඉඟියක් ඔහු විදෙස් මාධ්‍යන්ට දී තිබුණි.

 

•ආගමන විගමන නිලධාරීන්ට බලපෑම්

 

කෙසේ වෙතත් 13 වැනිදාට එළිවන විට ගෝඨාභය සිය බිරිය ද සමඟ රටින් පිට විය. මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා ආගමන විගමන නිලධාරීන්ට දෝස් මුරය එල්ල කරන්නට ගත්තේය. මීට ප්‍රතිචාර දක්වමින් ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සිදු වූ දේ කියමින් නිවේදනයක් නිකුත් කළේය.

නිල වශයෙන් ධුරයේ රැඳී සිටින ජනාධිපතිවරයා රටින් බැහැර යාම වැළැක්වීමේ නීත්‍යානුකූල බලයක් ආගමන හා විගමන නිලධාරීන්ට නොමැති බව එම නිවේදනය මඟින් ඔහු පෙන්වා දී තිබුණි. එමෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවීමට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් ජනාධිපතිවරයාට රටින් පිටවීමට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බවට පළවන ප්‍රචාරවල ද කිසිදු සත්‍යතාවක් නොමැති බව ඔහු කියා තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කටුනායක ගුවන් තොටුපළේ සේද මාවතින් පිටවීම වැළැක්වාලීම සඳහා එම නිලධාරීන් රාජකාරී කටයුතුවලින් බැහැරවීම ගැන ආණ්ඩුවේ ඉහළ නායකයින් දැඩි අවධානය යොමු වී තිබුණි.

එම පුවත දැනගත් විගස ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු කතාබස් කළේ අධිකරණයෙන් කිසිම තහනම් නියෝගයක් නොමැතිව කෙනෙකුට රටින් පියවීම වැළැක්වීමට හෝ බාධා කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි බවයි.

එදින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවයේ යෙදී සිටි ආගමන විගමන නිලධාරීන් සහ ඔවුන්ට යම් යම් බලපෑම් කළ පුද්ගලයන් හෝ සංවිධාන ගැන වහාම සොයා බලා ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී කතිකා කරගෙන ඇත.

ජනාධිපතිවරයාට පිටත්ව යාම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දීමට ගුවන් හමුදාපතිවරයාට අනුමැතිය දුන්නේ කවුරුන්දැයි ප්‍රශ්නයක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදා මූලස්ථාන‍ පවසා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා, බිරිය සහ ආරක්ෂකයන් දෙදෙනෙකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් යානයක් ලබා දුන් බවයි.

 

•ඉන්දියාව කිව්වේ මොනවාද?

ගෝඨාට හා බැසිල්ට රටින් පැනීමට ඉන්දියාව පහසුකම්, සැපයූ බවට චෝදානාවක් එල්ල විය. මේ සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසා තිබුණේ එකී චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත එකක් බවයි.

ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන බව නැවත නැවතත් ප්‍රකාශ කරන බවද එම පණිවිඩයේ තවදුරටත් සඳහන්ව තිබුණි.

 

•රනිල් අභියෝගය බාර ගනී

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 13 වැනිදා උදෑසන 10.35 ට වැඩබලන ජනාධිපතියවරයා ලෙස වැඩ බාර ගත්තේය. ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව යාමත් සමඟ ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වේ.

රනිල් ජනාධිපති ධුරයේ වැඩ බාර ගත් සැණින් ආරක්ෂක මණ්ඩලය රැස් කළ අතර එහිදී රටේ වත්මන් ආරක්ෂක කටයුතු හා නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය තීන්දු තීරණ රැසක් ගත්තේය.

අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා මුළු දිවයිනටම හදිසි නීතිය පැනවීය. එමෙන්ම බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවූ අතර කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් වහා අත්අඩංගුවට ගැනීමටද ආරක්ෂක අංශවලට නියෝග කළේය.

 

•අරගලකරුවෝ මල් පාරට කඩා වදිති

 

රනිල් වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමඟම අරගලකරුවන් කොල්ලුපිටියේ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගත් අතර එහි ආරක්ෂාවට යොදවා සිටි සිටි ආරක්ෂක අංශ ඊට විරෝධයක් නොපෑ බව වාර්තා වේ.

මේ අතර වැඩබලන ජනාධිපතිවරයා ජාතීය ඇමතීය. සියලු දෙනා රටේ නීතිය ආරක්ෂා කළ යුතු බවත් හදිසි නීතිය හා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළේ පාර්ලිමේන්තුව ඇතුළු මර්මස්ථාන කීපයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු හේතුවෙන් බවත් හෙතෙම පැවසීය.

මුලින් පොරොන්දු වූ පරිදි එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට තමන් කටයුතු කරන බව පැවසූ රනිල් ඒ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත කඩාකප්පල් කිරීම පිණිස අද ඇතැම් දේශපාලන කණ්ඩායම් අරගලකරුවන් මෙහෙයවන බව පැවසීය.

 

•රනිල්ගෙන් විවෘත ආරාධනාවක්

 

මේ අතර වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහයන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී දිවුරුම් දුන්නේ පසුගිය 15 වැනිදා දහවල්ය.

දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියේ රටේ අභිවෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරීමට සියලු දේශපාල පක්ෂ වලට ආරාධනා කරන බවයි.

සිංගප්පූරුවේ සිට ගෝඨාභයගෙන් ඇමතුම්

මේ අතර සිංගප්පූරුවේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 14 වැනිදා රාත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථනයෙන් කතාකොට ඇති බව වාර්තා වේ. ඇතිවූ සිදුවීම් ගැන මෙම මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂට කනගාටුව ප්‍රකාශ කර ඇත.

කොවිඩ් වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරාගැනීස සඳහා දහසකුත් බාධක මධ්‍යයේ ඔබතුමා කළ සේවය මේ රටේ ජනතාවට කවදාවත් අමතක නොවන බව එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ කතාකොට තිබේ.

 

•රහස් ඡන්දයෙන් දිනන්නේ කවුද?

 

නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පැවැත්වීමට නියමිතය. මේ සඳහා මේ වන විටත් අපේක්ෂකයන් තුන් දෙනෙකු ඉදිරිපත් වන බව වාර්තා වේ. ඒ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමයි.

 

•මීළඟ අගමැති සභානායක ද

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය හිස්වීමෙන් පසු , එම හිස්වීමත්, නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමත් අතර කාලය තුළ, සිටින අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුතුය. එවිට අග්‍රාමාත්‍ය ධුරය හිස්වන බැවින්, එම ධුරයේ වැඩබැලීම සඳහා වැඩබලන ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයෙකු පත් කළ යුතුව තිබේ.

මේ බව සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 40 (1) (ඇ) වගන්තියේය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබේ. ඔහු අගවිනිසුරු ඉදිරියේ,එම ධුරයේ දිවුරුම් දීමද සිදු කළේය.

එසේ වත්මන් අගමැති, වැඩබලන ජනාධිපති නම්, ව්‍යවස්ථාවට අනුව ඔහු දැන් අගමැති ධුරය සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු ම පත්කළ යුතුය. 1993දී මෙසේ අගමැති වූයේ එවකට සභානායක වූ රනිල් වික්‍රමසිංහය. ඒ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කිරීමත් සමඟ, එවකට සිටි අගමැති ඩී. බී.විජේතුංග, වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ විජේතුංග, එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ රනිල් වික්‍රමසිංහ අගමැති කළේය. එහිදී සම්ප්‍රදාය වූයේ අගමැතිගෙන් පසු පාර්ලිමේන්තුවේ සභානායකවරයා ජ්‍යෙෂ්ඨ හා සුදුස්සා ලෙස සැලකීමේ ක්‍රමවේදයයි.

ඒ අනුව මෙවර සභානායක වන, අමාත්‍යවරයකු ද වන ජ්‍යෙෂ්ඨයා ද වන, දිනේෂ් ගුණවර්ධන වැඩබලන අගමැති ධුරයට පත්වීමේ සිදුවනු ඇත.

 

•රනිල්ගෙන් හකීම්ට චෝදනාවක්

 

මේ අතර 11 වැනිදා පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ‍ණේ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

9 වැනිදා සිට ඇතිවූ අරගලකාරී සිදුවීම්වලින් පසුව කුමක්ද? සිදු කළ යුත්තේ යන්න පිළිබඳව සාකච්ජා කිරීම සඳහා මෙම පක්ෂ නායක හමුව කැඳවා තිබුණි.

9 වැනිදා රාත්‍රී කොළඹ 05 වැනි පටුමගෙහි පිහිටි රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍යවරයාගේ පෞද්ගලික නිවස ද අරගලකරුවන් පිරිසක් විසින් ගිනිතබා තිබුණි.

මෙම උණුසුම් තත්ත්වයන් කිසිවක් පහව නොගිය අවස්ථාවක මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණු නිසා ඒ ගැනද පක්ෂ නායක රැස්වීම ආරම්භයේදීම අවධානය යොමු විය.

“රවුෆ් හකීම් මන්ත්‍රීතුමාගේ SMS පණිවිඩයක් මඟින් දුන් නිවුස් ඇලර්ට් එකක් නිසා තමයි විරෝධතාකරුවන් මගේ ගෙදරට ගිනි තිබ්බේ” යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තරමක් තද ස්වරූපයකින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයාට චෝදනා නැඟීය.

“අගමැතිතුමනි, ඒ චෝදනාව මං ප්‍රතික්ෂේප කරනවා. මං ප්‍රකාශ කරපු ඒ පණිවිඩය මං ඉතා ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කළා” යනුවෙන් රවුෆ් හකීම් පැවසුවේය.

“එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි” යනුවෙන් රනිල් ප්‍රකාශ කළේ තරමක නෝක්කාඩු ස්වරූපයකිනි.

 

•රනිල්ගේ ගෙදර ගින්නෙන් ඔරිජිනල් සිංහබාහු දැවී යයි

 

පසුගිය 09 වැනිදා පස්වරුවේ අරගලකරුවන් අතර සිටි පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ මල් පාරේ පිහිටි නිවසට ගිනි තැබීය.

අවුරුදු 200 ක් පමණ පැරණි පෞරාණික වටිනාකමකින් යුතු මෙම නිවසට ගින්නෙන් දැඩි අලාබ හානි වී තිබුණි. අලාබ හානි වූ දෑ අතර අග්‍රාමාත්‍යවරයාද පවසන පරිදි වටිනාම දෑ වන්නේ අග්‍රාමාත්‍යවරයා සතුව පැවති අනගි පුස්තකාලයයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පුස්තකාලවලද නැති තරම් පැරණි පොත් පත් රනිල්ගේ පුස්තකාලයේ තිබුණි. ඒ අතර 20 වැනි සියවසේ මුල් දශකයේ ලියැවුණු ශ්‍රී ලංකාවේ වාරිමාර්ග පිළිබඳ අනගි ග්‍රන්ථයක් ද තිබී ඇත. වාර්තා වන පරිදි ඒ ශ්‍රී ලංකාවටම තිබුණු එකම පුස්තකයයි.

එම පුස්තකය ගිනි රකුසාට බිලිවිය. එමෙන්ම මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහූ නාටකයේ “ගල්ලෙන බිඳලා - ලෙන් දොර ඇරලා” ගීතය අඩංගු ශ්‍රී ලංකාවේ පැරණිතම ඔරිජිනල් තැටියද මේ ගින්නෙන් දැවී ගොස් තිබුණි. මීට අමතරව වටිනා ග්‍රන්ථ රැසක්ද චිත්‍ර රැසක්ද විනාශ වී ඇත.

 

•ඩී. එස්, ඩඩ්ලි, සර් ජෝන්ගේ පිඟන් කුඩු

 

රනිල්ගේ නිවසට යාබද නිවස රනිල්ගේ මහගෙදරයි. එහි දැන් පදිංචිව සිටින්නේ රනිල්ගේ බාලම සොහොයුරායි. රනිල්ගේ මහගෙදරටද මේ ගින්නෙන් අලාභ වී ඇති අතර ඊටත් වඩා ගෙට කඩා වැදුණු පිරිස් සිදුකර ඇති අලාභය දැවැන්තය.

එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමීන් වූ ඩී.ඇස්. සේනානාය., ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල ආදීන් රනිල්ගේ නිවසට එකල පැමිණි අවස්ථාවන්හිදී ආහාර ගත් වටිනා පිඟන් භාණ්ඩ රැසක්, මේස පුටු ආදිය පහරදී කුඩු පට්ටම් කර තිබුණි.

 

•මෛත්‍රී හිත හදාගනී

 

රනිල්ගේ නිවස ගිනි ගැනීමේ පුවත එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට මෙන්ම රනිල්ගේ කිට්ටුවන්තයන්ගේ හිතට මහත් ශෝකයක් ජනිත කළේය. නිවස ගිනි ගත් මොහොතේ සිට රනිල්ට හිතවත් බොහෝ පිරිස් හැඬූ කඳුළෙන් නිවස වෙත යන්නට විය.

පෙරේදා දහවල් මෙසේ ගිය පිරිසක් නිවසේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ එතැනය පැමිණියේය. එහිදී රැස්ව සිටි පිරිස ශෝකයෙන් සිටින අයුරු දැක මුවඟට සිනාවක් නගාගත් මෛත්‍රී හරි අපූරු කතාවක් කියා ඇත. "ඇයි ඔයාලා තාම දුකෙන් ඉන්නේ. අපි නං හිත හදාගත්තා. ඔයාලත් ශක්තිමත් වෙන්න” යනුවෙන මහාචාර්යවරිය පවසා ඇත.

 

•ශවේන්ද්‍ර සිල්වා අධිකාරී බලයක් ඉල්ලයි

 

රටේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගිය 13 වැනි බදාදා පස්වරුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයාද සහභාගි වී සිටියහ. මේ වෙන විටත් අරගලකරුවන් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීම සඳහා පැමිණෙමින් තිබුණි.

නායක රැස්වීම ආරම්භ වීමට පෙර ඊට සහභාගී වී සිටි පක්ෂ නායකයන් සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහයන් අනිවාර්යෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

නායක රැස්වීමේදී වත්මන් තත්වය පිළිබඳ දැනුවත් කළ ආක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ පාර්ලිමේන්තු පාරේ යොදා තිබූ පළමු බාධකය අරගල කරුවන් විසින් බිද දමා ඇති බවයි.

කථානායකවරයාගේ නිල නිවස ආසන්නයටම ඒ වන විටත් අරගලකරුවන් පැමිණ තිබිණි. තත්ත්වය පාලනය කිරීම සඳහා පක්ෂ නායකයන් ලෙස ආරක්ෂක අංශ සඳහා අධිකාරි බලයක් ලබා දෙන ලෙස ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටියේය. වැඩිදුරටත් සඳහන් සදහන් කර සිටියේ වත්මන් තත්ත්වය පාලනය කිරිමේ හැකියාව ආරක්ෂක අංශ සතු බවයි.

මේ වන විටත් ආරක්ෂක අංශ විසින් තත්ත්වය පාලනය කරන්නේ අවම බලයක් යටතේ බවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා පෙන්වා දී ඇත. මෙතෙක් වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් හෝ අධිකාරී බලයක් ආරක්ෂක වන අංශ වෙත ලැබී නැතැයි ද වැඩිදුරටත් සඳහන් කළ ශවීන්ද්‍ර සිල්වා පක්ෂ නායකයන් ලෙස බලය පාවිච්චි කිරීමේ අධිකාරී බලයක් දෙන්නේ නම් ආරක්ෂක අංශ සම්පූර්ණයෙන් තත්ත්වය පාලනය කරන බව ද සඳහන් කර තිබේ.

ඒ අවස්ථාවේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ " අපි කොහොමද එහෙම කරන්නේ. ඒ වගේ ඕඩරයක් ආණ්ඩුවෙන් ඉල්ලගන්න" යනුවෙනි.

 

•අරගලකරුවන් ගැන ශවේන්ද්‍රට පණිවිඩයක්

 

ඔබතුමාලා අරගලකරුවන් එක්ක සම්බන්ධයි කියලා අපි දන්නවා. 20 වැනිදා වෙනකල් අරගලකරුවන්ට ඉවසන්න කියන්න. ඊට පස්සේ පත්වෙන ආණ්ඩුව එක්ක තීරණයක් ගන්න කියන්න යි එවිට ශවේන්ද සිල්වා සඳහන් කර තිබේ. " අපිට ඒක කරන්න බැහැ රනිල් අනිවාර්යෙන් අයින් වෙන්න ඕන" පක්ෂ නායකයන් නැවතත් ඊට විරෝධය දක්වා ඇත.

මේ අතර ශවේන්ද්‍ර සිල්වාට දුරකථන ඇමතුමක් ලැබිණ.

අරගලකරුවන් කථානායකවරයාගේ නිවස ඉදිරිපිට යොදා ඇති බාධකය කඩා දමමින් පාර්ලිමේන්තුව දෙසට වේගයෙන් පැමිණෙමින් සිටින බව පණිවිඩයෙන් කියවිණි. පැය භාගයක් ඇතුළත පාර්ලිමේන්තු භූමිය අරගලකරුවන්ගේ ග්‍රහණයට මතුවිය හැකි බව ද එම පණිවිඩයෙන් වැඩිදුරටත් කියැවිණි.

 

•පක්ෂ නායකයන් කිහිපදෙ‍නෙක් දිවගියේ ඇයි?

 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මේ පණිවිඩය පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති අතර පක්ෂ නායකයන් සාකච්ඡාව අතරමග නතර කොට හැකි ඉක්මනින් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටවීම සඳහා දිව ගොස් ඇත. සාකච්ඡාව කිසිදු තීරණයකින් තොරව අවසන්ව තිබේ.

පක්ෂ නායක රැස්වීම සඳහා වැඩබලන ජනාධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ආණ්ඩුවේ නියෝජිතයන් සහභාගී නොවීමද විශේෂත්වයකි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීම සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි, එම්. ඒ. අතාවුල්ලා,රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානන්ද, රංජිත් මද්දුමබණ්ඩාර, ටිරාන් අලස්, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, පී. රාධාක්‍රිෂ්ණන්, අංගජන් රාමනාදන්, ගෙවිදු කුමාරතුංග, උදය ගම්මන්පිල, එම්.ඒ. සුමන්තිරන් සහභාගි වී ඇත.

සජිත්ගේ නම ෆොන්සේකා ස්ථීර කරයි. දිනෙන් දින වෙනස් වන සහ උත්සන්න වෙමින් පවතින දේශපාලන අර්බුදය සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත්ව යන තැනට කටයුතු යෙදුණේ ඉකුත් 9 වෙනිදා කොළඹට ආ ජනතාවගේ අරගලය හේතුවෙනි.

රටේ පවත්නා බැරෑරුම් දේශපාලන තත්වය පිළිබඳව සජිත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝව සාකච්ඡා කළේය.

"දවසින් දවස මෙහෙම ගියොත් මුළු රටම අරාජික වෙනවා. අපි ඉතාම ඉක්මනට බුද්ධිමත්ව තීන්දුවක් ගන්න ඕන"

සජිත් මන්ත්‍රී කණ්ඩායමට පැහැදිලි කළේය. "වෙන විකල්පයක් නෑ, මේ වෙලාවේ රටේ ජනාධිපති කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා අපි දන්නේ නෑ.අනුප්‍රාප්තික ජනාධිපති වරයා විදිහට සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන්න ඕන."

මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

ඒ සඳහා මන්ත්‍රී කණ්ඩායම අනුමැතිය ලැබුණු සැණින් ම රංජිත් මද්දුමබණ්ඩාර නැගිට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන බවට යෝජනා කළේය.එසැණින්, පක්ෂයේ සභාපති ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් එය ස්ථිර කරනු ලැබීය.එම යෝජනා ස්ථිරත්වය සමස්ත මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.

 

•අරගලකරුවන් ගැන සජිත්ට දුකක්

 

මේ අතර 09 වැනිදා උදෑසනම විශාල ගුප්ත බවක් ඇති වූ අතර තැන් තැන් වලින් ඉහළට නැ‌ෙඟන හෙලිකොප්ටර් වලින් යම් බැරෑරුම් දෙයක් සිදුවෙමින් පවතින බවට සලකුණු පැතිරෙන්නට විය.

"අරගල කරුවෝ ඇවිල්ලා අග්‍රාමාත්‍ය කාර්යාලය වට කරලා.ඒ අයට පහර දෙනවා කියලා ආරංචියක් තියෙනවා" සජිත්ට ඉහළ පෙළේ ආරක්ෂක අංශයකින් ආරංචි ආවේය. "කොහොමද එහෙම කරන්නෙ.මේ රටේ අරගලය කරන තරුණ තරුණියන් අරගල කරන්නේ,රට ප්‍රජාතන්ත්‍රවාදී කරනය කරන්න කියලා.එහෙම නැතුව එක එක්කෙනාට තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර හදන්න නෙවෙයි."

එහෙම කී සජිත් වහාම මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය.

"අපි ආරක්ෂක අංශ වලට කියනවා දෙදෙනෙක් ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කරන්න." සජිත්ට කීවේය.

 

•අරගලයට අර්ල්ගේ කරුණාව

 

පසුගිය 09 වැනිදා කොළඹ පැවති විරෝධතාවට එක්වීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනතාව පැමිණි අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීමට ද යම් යම් අය ඉදිරිපත් වී තිබුණි. මේ ආකාරයෙන් මහනුවර සිට අරගලය සඳහා කොළඹට දුම්රියකින් පැමිණි සියළුම මඟී ජනතාවට නොමිලේ ප්‍රවාහන සලසමින් එම දුම්රියෙන් පැමිණි සියලුම දෙනාට ටිකට් පත් ලබා ගැනීමට කටයුතු කළේ ව්‍යාපාරික හිටපු අමාත්‍යවරයෙකු වන අර්ල් ගුණසේකරයි.

අර්ල් ගුණසේකර මේ වන විට සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කරයි.

 

Comments