බෝනිකි ගෙදර | Page 2 | සිළුමිණ

බෝනිකි ගෙදර

හෙන්රික් ඉබ්සන් (1828 - 1906)නමැති නෝර්වේ ජාතික නාට්‍ය රචකයා විසින් 1879 වසරේදී ඩැනිෂ් බසින් රචනා කරන ලද Et dukkehjem නම් නාට්‍යයේ ඉංගිරිසි පරිවර්තනය A Doll’sHouse ඇසුරින් කළ සිංහල පරිවර්තනයයි. ලෝකය වෙනස් කළ පළමු වැනි සාහිත්‍ය කෘති 100 අතරට මේ නාට්‍යය ද ඇතුළත්ය.

හෙන්රික් ඉබ්සන් යථාර්ථවාදී නාට්‍යයේ පියා ලෙස ද නූතන වාදයේ සමාරම්භකයකු ලෙස ද සැලකේ. 1850 සිට 1899 දක්වා කාලය තුළ ඔහු නාට්‍ය 21 සහ පැදිඑකතු තුනක් එළි දක්වා ඇත. Et dukkehjem මුල් අත්පිටපත එක්සත්ජාතීන් විසින් ලෝක උරුමයක් සේ 2001 සිට සංරක්ෂණය කෙරේ.

මෙම නාට්‍යය නෝරා හෙල්මර් නමැති තරුණ තිදරු මවක් කේන්ද්‍රකැර ගනියි. ඇය සාමාන්‍ය ගෘහණියක වන අතර ඇගේ සැමියා වන ටෝවල්ඩ් හෙල්මර් උගත් නීතිඥයෙකි. හෙට සිට ඔහු ඉතිරි කිරීමේ බැංකුවේ කළමනාකාර තනතුරට පත්කරනු ලැබ ඇත. ඔහු නෝරා අමතන්නේ ලේනිච්චී, සින්දු කිරිල්ලී වැනි සුරතල් නම්වලිනි. ඇය සිටින්නී මුළුමණින්ම ඔහුගේ පාලනය යටතේය. ඇය රසකැවිල්ලක් පවා කන්නේ ඔහුට රහසිනි. නිවෙසේ ලියුම් පෙට්ටියේ යතුර මොහොතකට හෝ ඔහු ඇයට නොදෙයි.

ඉතිරි කිරීමේ බැංකුවේ සේවය කරන ක්රොග්ස්ටඩ් නමැත්තා කූඨ ලේඛන සෑදීම පිළිබඳ චෝදනාවකට ලක් වැ සිටින්නෙකි. ඔහු සහ නෝරා අතර රහසක් තිබේ. ඒ නෝරා සිය සැමියාට නොදන්වා බැංකුවෙන් ගත් ණයක් හා සබැඳි කරුණකි.

ඇය ණය ලබා ගන්නේ ටෝවල්ඩ්ගේ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කළ හැකි අන් කිසිවක් නොවූ හෙයින් සිය පියා මියගොස් දින දෙකකට පසු ඔහුගේ අත්සන ව්‍යාජ ලෙස යොදමිනි. ඇත්තටම ඇය ඒ අවස්ථාවේ එම ණය ලබාගෙන ඔහුට ප්‍රතිකාර ලබානොදුන්නේ නම් ටෝවල්ඩ් මරණයට පත්වන්නට පවා ඉඩ තිබිණි. කෙසේවෙතත් නෝරා මේ වනතුරු ඒ ණය වාරික නිසිපරිදි ගෙවා ඇත.

සැමියාට කියා තමාගේ රැකියාව රැක දෙන ලෙසත් එසේ නොකරන්නේ නම් රහස සැමියාට හෙළි කරන බවටත් රැකියාව අහිමිවීමේ අවදානමකට ලක් වැ සිටින ක්රොග්ස්ටඩ් නෝරාට තර්ජනය කරයි. සිය ණය පිළිබඳ රහස නෝරා ලින්ඩේ සමඟ පවසයි. ලින්ඩේ එවිට නෝරාට උපදෙස් දෙන්නේ එය ටෝවල්ඩ් සමඟ පැවසිය යුතු බවයි. නෝරා ඊට නොකැමැතිය. කෙසේවෙතත් සිය අතීත පෙම්වතා වන ක්රොග්ස්ටඩ් සමඟග ඒ කාරණය සාකච්ඡා කරන්නට ලින්ඩේ එකඟ වෙයි.

නෝරාගේ රහස හෙළිදරව් කරමින් ටෝවල්ඩ් අමතා ලියන ලිපියක් ක්රොග්ස්ටඩ් ලියුම් පෙට්ටියේ බහාලයි. ක්රොග්ස්ටඩ් රැකියාවෙන්නොනෙරපන්නැයි නෝරා ටෝවල්ඩ්ගෙන් ඉල්ලන නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරයි. අලුත් අවුරුදු සාදය සඳහා නැටුම් පුහුණුවක් පැවැත්වෙයි. නෝරා එහිදී ආවේශ වූවාක් මෙන් නටයි. සුපුරුදු පරිදි ටෝවල්ඩ් නොයෙක් අයුරින් ඇය සුරතල් කරයි. මෙයින් පසු ලියුම් පෙට්ටිය විවෘත කරන ටෝවල්ඩ්, ක්රොග්ස්ටඩ්ගේ ලිපිය කියවයි.

ඉන්පසු ඔහු කරන්නේ කෑකෝ ගසමින් නෝරාට පරිභව කිරීමයි. ඔහුට වැදගත් වනුයේ තමාගේ කීර්තිය හා යසස පමණි. ලින්ඩේගේ මෙහෙයවීම යටතේ සිත වෙනස්කැර ගන්නා ක්රොග්ස්ටඩ් සවස පැමිණ නෝරාගේ ණයට අදාළ ලේඛන නිවෙසේ සේවිකාවට දී යයි. ලියැවිල්ල බලන ටෝවල්ඩ් එය ඉරා උදුනට දමා ඉන්පසු මහත් ප්‍රීතියෙන් නෝරා සුරතල් කරන්නට එයි.

එහෙත් වික්ෂිප්තව සිටින නෝරා නැවත ටෝවල්ඩ්ගේ ඇසුර ප්‍රතික්ෂේප කරයි. තමා අවදානමකට මුහුණ දුන් විට “ඔව් මම ඒක භාර ගන්නවා”යි කියා තමා ආරක්ෂා කරන්නට නොපැමිණෙන, සිය යසස හා කීර්තිය ගැනම සිතන සැමියකුගෙන් තමාට වැඩක් නැතැයි කියන නෝරා තමා කුටුම්භය හැර යන බව කියයි. තමා එකල පියාගේබෝනික්කාය. අවුරුදු අටක් තිස්සේ සැමියාගේ බෝනික්කාය. 

දෙදෙනාම බෝනික්කා සුරතල් කරනවා විනා බෝනික්කා අතින් සිදුවන වැරදිවලට සමාව දෙන්නට නොසිතති. තවදුරටත් බෝනික්කකු වැ සිටින්ට නොකැමැති නෝරා තමා වටහා නොගන්නා සැමියාගෙන් වෙන්ව යයි. ටෝවල්ඩ් කොතෙක් අයැද සිටියත් ඇය සිය තීරණය වෙනස් නොකරයි.

මේ කෘතිය 19 වැනි සියවසේ වික්ටෝරියානු සදාචාරයේ කුහකත්වය නිරූපණය කරන්නක් ලෙස විචාරකයෝ දකිති. පුරුෂ මූලික කුටුම්භයේ ගැහැනිය හුදෙක් පිරිමියා යටතේ සිටින බෝනික්කකු පමණි. ගැහැනියක් සිය සැමියාගේ ආධිපත්‍යයට අභියෝග කරනු නාටකීයව ප්‍රථම වරට ඉදිරිපත් කෙරුණේ මේ නාට්‍යයේය. එසමයේ ප්‍රමුඛ සමාජ මතවාදයත් එහි භාවිතාවත් අතර විසංවාදය ඉබ්සන්ගේ කෘතිවල මූලික තේමාව වෙයි. තත්කාලීන බුර්ෂුවා සමාජයේ සාමාජිකයන්ගේ සමාජමය ජීවිතය හා පෞද්ගලික ජීවිතය බොහෝවිට එකිනෙකට පටහැනි විය. මේ නිසා ඔවුන්ගේ ජීවන රටාව කුහක වූයේය. මෙනයින් එකී පවුල් තුළ ආධ්‍යාත්මික වශයෙන් බරපතළ පිරිහීමක් තිබිණි.

එබඳු සමාජයක ජනයා සමාජ සම්මුති සහ ව්‍යුහ පවත්වාගෙන යෑම පිණිස ඒවා තුළ සිරවී කල් ගත කරති. එහෙත් ඔවුහු තමන් වැටී සිටින ආගාධය ගැන නොදනිති. ඉබ්සන් පෙන්වා දෙන්නේ මේ තත්ත්වයයි. මෙහි මතු නොව ඉබ්සන්ගේ අනෙක් නාට්‍යවල ද මේ ගුණය තීව්‍රව දක්නට ලැබෙන බව විචාරකයෝ පෙන්වා දෙති. මෙය ප්‍රථම වරට රඟ දක්වා වසර 130කට පසුව වුවද තත්ත්වය නොවෙනස් වැ පවතිනු දැකිය හැකිය.

එම කෘතියේ නාට්‍යය පෙළට අමතරව ඇති ඉබ්සන් සහ ඔහුගේ කෘති පිළිබඳ විස්තරය කියවීම පාඨකයකුට බොහෝ ප්‍රයෝජනවත් විය හැකිය.

බෝනිකි ගෙදර 
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ කෘතියකි.

Comments