හත්පාරක්ම වැටුණු මම නැගිටිටෙ අටවැනි පාර | සිළුමිණ

හත්පාරක්ම වැටුණු මම නැගිටිටෙ අටවැනි පාර

අචාර්ය නයන දෙහිගම Epic Innovation Redefined ආයතනයේ විධායක සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ය. අප භාවිත කරන ජීවිතය සරල කළ තාක්ෂණික සේවා බොහොමයක් අපට තිළිණ කළේ ආචාර්ය නයන ය. හේ සිය වෘත්තීමය සිහින හඹා යෑම පටන් ගන්නේ පාසල් වියේ සිට ය. තමන් ජීවිතයේ ආශා කරන යම් දෙයක් වේ ද එය වැඩිදියුණු කරගැනීම සාර්ථක වෘත්තිකයකුගේ රහස බැව් මේ සාකච්ඡාවෙන් ඔහු අවධාරණය කරන්නේ ය.

ඔබේ උපන් ගම...

නුවර ගෙලිඔයෙන් ඇතුළට තියෙන පෙතියාගොඩ කියන ගමේ

මොකද්ද ඔබේ සම්පූර්ණ නම

නයන ප්‍රියදර්ශන ප්‍රසාද් දෙහිගම තමයි සම්පූර්ණ නම

උපන්දිනය කවදාද

1966 පෙබරවාරි 2 වැනිදා

ඔබේ අම්මා තාත්තා ගැන කියමුද? 

මගේ අම්මා ගුරුවරියක්. තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්. මට අයියලා දෙන්නෙක් සහ නංගි කෙනෙක් තමයි ඉන්නෙ. එයින් එක අයියා කෙනෙක් හදිසි අනතුරකින් නැති වුණා. රජයේ සේවකයන්ගෙ දරුවන් විදියට අපි ගත කළේ හරිම සාමාන්‍ය ජිවිතයක්.

පාසල් අධ්‍යාපනය ලබන්නේ කොහේද?

එකේ ඉඳන් පහ වසරට යනකම් මම ගියේ බදුල්ල ධර්මදූතයට. ඒ පාසලේ ඉඳන් මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා නුවර කිංස්වුඩ් විද්‍යාලයට එනවා.

කොහොමද ළමා කාලය ගෙවෙන්නෙ

බදුල්ලෙ ධර්මදූතයට යනකම් මම හැමදාම පන්තියේ පළමු තුන්දෙනා අතරේ හිටියා. මගේ ජීවිතේ හැඩ ගැහෙන්න බලපාන්නෙ කිංස්වුඩ් විද්‍යාලය. බොහෝ දේවල් ජීවිතේට එකතු වෙන්න මගේ පාසල මට බලපෑවා.

පාසලේදී ඔබ බාහිර වැඩ කළා ද

පාසල් කාලයේදී මම කරාතේ, මාෂල් ආර්ට්ස්, හොකී වගේ ක්‍රීඩා කළා. සාමාන්‍ය පෙළ කළාට පස්සෙ මම ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකොමියුනිකේෂන් හදාරලා සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විභාග කළා. කරාතේ කළු පටි ගත්ත කෙනෙක් මම.

අනාගතේ ගැන දැක්ක සිහින මොනවද?

මට පොඩි කාලෙ ඉඳල ම ඕන වුණේ කෙටි පාරවල්වල යන්න. උසස් පෙළ ඉවර වුණු ගමන් මම උත්සාහ කළේ මගේ ම දෙයක් කරන්න. උසස් පෙළ කරලා යනවා කියන්නෙ කාලය අපතේ යෑමක් කියලයි මට හිතුණෙ. මට ඉක්මනට දියුණු වෙන්න ඕන වුණා. මම තාක්ෂණය පැත්ත කරන්න ඕන කියලා අප්පච්චිට කිව්වා. එයා මාව සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විභාග සඳහා යොමු කළා. මම ඉතාමත් හොඳින් ඒ විභාගත් කළා. පාසලේ වැඩවලට වඩා මගේ අරමුණ තිබුණෙ මේවා ගැන.

පොඩි කාලේ ඉඳල ම ඔබට අදහසක් තිබුණ ද ව්‍යාපාරිකයෙක් වෙන්න

ඔව්. ඒක මගේ ඔළුවෙ තිබුණා. ව්‍යාපාර කරලා සල්ලි හොයාගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න ඕන කියන අදහසයි මට තිබුණෙ.

ව්‍යාපාර සිහිනය ඔබේ මනසට ආවෙ කොහොමද?

අපේ ඉස්කෝලෙ ළඟ පොහොසත් ගෙදරක ඩොනල්ඩ් ප්‍රනාන්දු කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුට තිබුණා ලස්සන කහපාට ජගුවා රේසින් කාර් එකක්. ඒක උදේට අපේ ඉස්කෝලෙ ඉස්සරහින් යනවා. අපි හැමදාම උදේට කන්ද උඩ ඉඳන් මේ කාර් එක යනකම් බලන් ඉන්නවා. මාත් කවදහරි මෙහෙම එකක් ගන්නවා කියලා, මේ වගේ වෙනවා කියලා මට ඒ දිහා බලන්න හිතනවා.

සාමාන්‍ය පෙළ පන්තියේ හිටියා මගේ යාළුවෙක් පොඩි පොඩි බිස්නස් කරන. එයා කොච්චරවත් කළේ ව්‍යාපාර ගැන කතා කරන එක. එයා කිව්ව කාරණය තමයි බිස්නස් කළොත් හම්බු කරන්න පුළුවන් කියන දේ. ජගුවා කාර් එකයි, මගේ යාළුවගෙ කතාවයි තමයි මට සල්ලිකාරයෙක් වෙන්න ඕන කියන සිතිවිල්ල ඇති කළේ.

කොහොමද ඔබ ඒ වෙනුවෙන් වැඩ කළේ

මට ඕන වුණේ ඉක්මනට ඉගෙන ගන්න. ඒනිසයි සාමාන්‍ය පෙළ කරපු ගමන් මම සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විභාග කරන්න ගියේ. මම ඒකෙ කොටස් දෙකක් සමත් වුණා. ඒ උසස් පෙළ පන්තියේ ඉන්න ගමන්. මම ගණිත අංශයෙන් උසස්පෙළ කළේ. ඊට අමතර ව මම අමතර තෝරා ගන්නා විෂයයක් විදියට ව්‍යාපාර කළමනාකරණය විෂයය කළා. ලාල් ගමගේ කියලා ගුරුවරයෙක් හිටියෙ මේ විෂය උගන්වන්න. හරි ම ලස්සනට එතුමා මේ විෂයය අපට ඉගැන්වුවා. මම හරි ම ආසාවෙන් මේ විෂයය කළේ. ව්‍යාපාර අධ්‍යයනයට වාර්ෂික ව ලැබෙන පාසල් ත්‍යාගය ගත්තෙත් මම.

උසස්පෙළ ප්‍රතිඵල කොහොමද?

එස් එකයි. භෞතික විද්‍යාව විතරයි පාස්. ඇත්තට ම මම විෂයයන් දෙකකට සහභාගී වුණෙත් නෑ. ඒ විෂයයන් දෙකේ විභාගය තිබුණු දවස් දෙකේ මම කරාතෙ කළුපටි ශ්‍රේණි පරීක්ෂණයට සහභාගී වුණා. මට ඕන වුණේ සාම්ප්‍රදායික ගමන් මඟේ යන්න නොවෙයි. මම කළු පටි පලඳින්නෙ පාසල් යන ළමයෙක් විදියට.

ගෙදර අය කොහොමද ඔබේ මේ වෙනස් චර්යා රටාවලට දක්වන ප්‍රතිචාරය

ඒක කියන්න ම ඕන දෙයක්. මම කළ දේකට කවදාවත් මගේ අප්පච්චියි, අම්මයි එරෙහි වුණේ නෑ. මම විභාගයට ගියේ නැති එකට වුණත් අප්පච්චි මුකුත් කිව්වෙ නැහැ. පුතා කරන දේ හරියට කරන්න කියලා විතරයි කිව්වෙ. සාමාන්‍ය පෙළ ඉවර වුණු ගමන් අප්පච්චි මාව සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්වලට දාන්නෙම; අප්පච්චිට ඕන මම කැමති දේ කරවන්න නිසයි.

කොහොමද ව්‍යාපාර සිහිනයට යන්න ආරම්භය ගන්නෙ

මම පාසල් යන කාලේ ම සිටි ඇන්ඩ් ගිල්ස් මගේ පන්තියෙම හිටිය තවත් හතර දෙනෙක් එකතු කරගෙන මගේ පළවෙනි ආයතනය ඉන්සිටිටියුට් ඔෆ් ඉංජිනියරින් ස්ටඩීස් ආරම්භ කළා. මේක ලියාපදිංචි ආයතනයක්. නුවර ගෙයක උඩ තට්ටුවක් කුලියට අරන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් සහ චාර්ටඩ් ඉන්ජිනියර් උගන්වන්නයි මේ ඉන්ස්ටිටියුට් එක හැදුවෙ. මට ඕන මේක කවදහරි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් කරන්න. ඒ අතර මමත් චාර්ටඩ් ඉන්ජිනියරින් කරන්න පටන් ගත්තා.

ඔබ වරින්වර ‍විවිධ ආයතන පටන් ගන්නවා. නමුත් ඒවා විවිධ හේතු නිසා වැහෙනවා.

මට සිහින ගොඩක් තිබුණා. ඒත් මේ සිහිනවලට යන්න අමාරුයි. ඒ හැම තැනක ම මොකක් හරි ගැටලුවක් තිබුණා. මම අවුරුදු පහළොවක් තිස්සේ විවිධ ව්‍යාපාර ආරම්භ කළා. ඒ විදියට මම ව්‍යාපාර 7ක් පටන් අරන් තියෙනවා. මේ ව්‍යාපාර විවිධ හේතු නිසා වැහුණා. ඒ අතරෙ මම විභාගත් කළා.

මේ අසාර්ථක ව්‍යාපාරත් එක්ක ඔබට හිතුණෙ නැද්ද රස්සාවක් කළා නම් කියලා.

මම කොළඹට ආවා. මුලින් ම මම පර්යේෂණාගාර උපකරණ විකුණන සමාගමක සේල්ස් රෙප් කෙනෙක් විදියට රස්සාවට බැඳුණා. ඒක මගේ ජිවිතේ එක්තරා සන්ධිස්ථානයක්. එතැන මගේ ප්‍රධානියා විදියට හිටියෙ රසායන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ඔහු යූජින් ද සිල්වා. ඔහු දැන් මහාචාර්යවරයෙක්. අපි දෙන්නා එකතු වෙලා සමාගමක් පටන් ගත්තා. වැඩ කරන අතරේ තමයි මේක කළේ. එක තැනකදි මේක අපි වැඩකරපු ආයතනයට අහුවුණා. අපට ඉල්ලා අස්වෙන්න වුණා.

ඔබේ ජීවිතේ අසීරු කාලයක් පටන් ගන්න ඇති

ඔව්. ඉන්න තැනක් නෑ. කන්න බොන්න සල්ලි නෑ. බයිසිකලේට පෙට්‍රල් ගහ ගන්න සල්ලි නෑ. යාළුවෙක්ගෙ තැනක මාසයක් ඉන්නවා; තව යාළුවෙක්ගෙ තැනක තව කාලයක් ඉන්නවා. ගොඩක් දවසට එක වේලයි කන්නෙ. ඒකත් එළවළු රොටි දෙකක් වගේ. මමයි යූජිනුයි දෙන්න ම අවුරුදු එකහාමාරක් විතර නොවිඳිනා දුක් වින්දා. අඳින්න ඇඳුමක් නෑ. යාළුවන්ගෙන් ඉල්ලන් ජීවත් වුණේ. කන්න නැතිව ගෙවුණු දවස් තිබුණා. ඒ අතරේ යූජින් ඇමෙරිකාවට ගියා. මම ආපහු තනි වුණා.

කවුද මේ අසීරු කාලෙ ගෙවන්න උදව් කරන්නෙ.

මට මේ කාලෙ කල්‍යාණ මිත්‍රයෙක් හමු වෙනවා. එයා මට කිව්වා එයාගෙ ගෙදර ඇවිත් නවතින්න කියලා. ක්‍රිස්ටෝපර් තමයි ඇක්සස් ඉන්ජිනියරීන් එක පටන් ගන්නෙ. ඔහු ඒකෙ කළමනාකාර අධ්‍යක්ෂ. එයා මට කන්න බොන්න දුන්නා; මාව බලා ගත්තා. ඒ අතරේ මම විවිධ දේවලට උත්සාහ කළා.

ඔබ ආයෙත් රැකියාවකට යනවා

මම කලම්බු ඒජන්සීස් එකේ අලෙවි නිලධාරියෙක් විදියට රැකියාවට යනවා. ටික කාලයක් ගියාට පස්සෙ මම ඩිමෝ එකට එකතු වුණා. ඩිමෝ එකෙන් මම ආයෙත් වෙන තැනකට යනවා. මේ අතරෙත් මම විවිධ ආයතන පටන් ගන්නවා. අත්හදා බලනවා. ඒවගේම ඉගෙන ගන්න වැඩත් කරනවා. ඒ අතරේ මම උපාධියක් නැති අයට පටන් ගත්ත ඩිප්ලෝමා ඉන් මාර්කටින් මැනේජ්මන්ට් කියන පාඨමාලාවට මම බැඳෙනවා.

මේ පටන් ගන්න අධ්‍යාපනය ඔබ ආචාර්ය උපාධිය දක්වා සීරුවට අරන් එනවා.

ඔව්. මට විශ්වවිද්‍යාලෙ යන්න බැරි වුණාට සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ලන්ඩන් විභාග හරහා ඉංජිනේරු උපාධියක් කළා. ඊළඟට වරලත් ඉංජිනේරු උපාධිය (ලන්ඩන්), ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා එම්. බී. ඒ. එක කළා. ඊටත් පස්සෙ මම බැංකොක්වල AIT විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය කළා. විශ්වවිද්‍යාලෙ යන්න බැරි වුණු මම ආචාර්ය උපාධිය ගත්තෙ එහෙමයි.

තව කෙනෙක් යටතේ කළ අවසන් රැකියාව කුමක්ද?

අන්තිමට ම මම වැඩ කළේ BC කම්පියුටර්ස් ආයතනයේ. මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත තැනක් එතැන. මම එතැන හිටියෙ අලෙවි විධායක විදියට. දැන් මම පරිණත කෙනෙක්. තාක්ෂණය පැත්තේ දැනුම මගේ උඩට ම එනවා. මගේ ආයතනයක් හදන්න මට හරි ම අදහස එන්නෙ BC කම්පියුටර්ස් ආයතනයේ වැඩ කරද්දි. epic අරඹන්න මූලික අදහස මට එනවා. කොහේ හිටියත් මට මගේ සිහිනය අමතක වෙන්නෙ නෑ.

epic කියන්නෙ ඔබ අරඹන 8 වැනි ආයතනය.

ඔව්. මම ඒ වෙනකොට විවිධ ආයතතන 7ක් අරඹලා ඒවා බංකොලොත් වෙලා හිටියෙ. එතකොට 1998 වසර. මගේ අතේ තිබුණෙ රුපියල් දහදාහයි. මම හිටියෙත් කාමර දෙකක කුලී ගෙදරක. මම ඒකෙ එක කාමරයක් ඔෆිස් එක කරගත්තා. මට අත්‍යවශ්‍ය කුඩා උපකරණ ටිකක් මම මිලදී ගත්තා.

ආයතන 7ක් අසාර්ථක වෙලා හිටිය ඔබට මේ ගත්ත අවදානම ගැන බය හිතෙන්නෙ නැද්ද?

නෑ, මම නිතරම අලුත් දේවල් කරන්න කැමැතියි. කොච්චර හොඳට කළත් ඊටත් වඩා හොඳට කරන්න ඕන කියන අදහස තමයි මට තියෙන්නෙ. කිසිම ව්‍යාපාරයක් පටන් ගනිද්දි මම හිතන්නෙ නැහැ, ඒක සාර්ථක වෙයිද; අසාර්ථක වෙයි ද කියලා. හරියන්න හෝ වරදින්න මම ඒ අවදානම ගන්නවා. වැරදුණොත් මම ඒක අතහැරලා ඊළඟ විකල්පයට යනවා. බැරිම වුණොත් ආපහු රස්සාවකට යනවා.

මේ තීරණයට එන්න බලපාපු ආසන්තම හේතුව කුමක්ද? 

ඉලෙක්ට්‍රොන්ක් පේමන්ට්ස් කියන දේට ලංකාව හිමින් හිමින් ගමන් කරමින් සිටි අවස්ථාවක සිංගප්පූරු වෙළෙඳ ප්‍රදර්ශනයකදි තමයි මට වෙරිෆෝන් ගැන දැන ගන්න ලැබෙන්නෙ. මම වෙරිෆෝන් කම්පැනියේ ඒජන්සියක් ගන්නවා. ඒ වෙනකොට ලෝකෙ තිබුණු අංක එකේ පේමන්ට් සොලූෂන්ස් ආයතනය විදිටයටයි වෙරිෆෝන් තිබුණෙ. අදටත් ලංකාවේ හැම තැනකම භාවිත වෙන ක්‍රෙඩිට් කාඩ් ස්වයිප් කරන මැෂින් එක එදා මං තමයි ලංකාවට ගෙනාවෙ.

ඔබ අරඹනවා epic ආයතනය. මොකද්ද මේ epic කියන්නෙ.

මේ අකුරු හතරේ තේරුමක් තියෙනවා. Electronic payments and internet Commerce. මේකට අපි පසුව Innovation Redefind කොටසත් එකතු කළා. 1996 වගේ කාලයේ තමයි ඉලෙක්ට්‍රොනික් පේමන්ට් එන්න පටන් ගත්තෙ. e - commerce කියන මේ විෂය මට ඉගෙන ගන්න ලැබුණෙ මගේ අන්තිම රස්සාව නිසා. ව්‍යාපාරිකයෙක් වෙන්න සිහිනයක හිටිය මට මේ විෂයය හදවතට ම දැනුණා. ඒ කියන්නෙ මම මගේ ජීවිතයේ ෆැෂන් එක සොයා ගත්තා.

epic මොනවාද කරන්නේ

මේක ආයතන ජාලයක්. සමූහ ව්‍යාපාරයක්. මෘදුකාංග ඉංජිනේරුවො විශාල ප්‍රමාණයක් තමන්ගෙ හැකියාව පෙන්වන තැනක්. තොරතුරු තාක්ෂණය, ආරක්ෂක පද්ධති නිර්මාණය, බෝඩර් මැනේජ්මන්ට්, දත්ත, මොබයිල් ඇප්ලිකේෂන් මේ ආදී බොහොමයක එකතුවක්.

ඔබ නිරන්තර අවදානම් ගන්න කැමැති කෙනෙක්. epic ආයතනය විසල් පිම්මක් පනිනවා 2003 දී...

ඒ පාස්පෝට් සපයන්න. ඒ ටෙන්ඩර් එක ගන්න ලේසි වුණේ නෑ. මම තරග කළේ එච්චර කාලයක් ලංකාවට පාස්පෝට් හදපු ඩිලාරෝ කියන බ්‍රිතාන්‍ය සමාගමත් එක්ක. ඔවුන් අවුරුදු 14ක් විතර එකදිගට මේක කළා. මේක ඒ කාලෙ ඩොලර් මිලියන 600ක 700ක ව්‍යාපෘතියක්.

ඒක යුද්ධයක් දිනුවා වගේ වැඩක්. මේක අපිට නොදෙන්න කරන්න පුළුවන් මොනවද; ඒ හැමදේම කළා. හැබැයි මමත් අතහැරියෙ නැහැ. සියලු ගැටලු, තර්ජන මැද්දෙ මම මේක ගත්තා. අද මම දිනුව එකේ වාසිය අද ගන්නෙ ජනතාව. අපේ මෘදුකාංග ඉංජිනේරුවො හතර දෙනෙක් එතැන පූර්ණකාලීනව වැඩ. අපි ෆේල් වෙන්න වැඩ කරන්නෙ නැහැ.

epic ඔබේ ආයතනය කිහිපවරක් සම්මානයට පාත්‍ර වෙනවා.

හොඳ ම සොෆ්ට්වෙයාර් ආයතනය විදියට අපි හතරවරක් සම්මානයට පාත්‍ර වුණා. දැනට දේශීය හා විදේශීය සම්මාන 100කට වඩා අපි ලබාගෙන තියෙනවා. අපි තරම් සම්මාන ගත්ත ආයතනයක් ලංකාවෙ නැහැ

දේශීය ව්‍යාපාරිකයකුට ලංකාවේ නැඟිටින්න අමාරුද?

එහෙම එකක් නැහැ. ඒක බොරුවක්. රටේ හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම්, අපිට අනවශ්‍ය බාධා කිරීම් කරන්නෙ නැත්නම් කවදාවත් හොඳ ව්‍යවසායකයෙක් ආණ්ඩුවෙන්වත් බැංකුවෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔවුන්ට පුළුවන් තමන්ගෙ ගමන යන්න. ඕනෑ ම අභියෝගයක් ජයගෙන ඉදිරියට යන පාර අපියි හොයා ගන්න ඕන. මේ තියෙන තත්ත්වය උඩ වුණත් තවමත් ව්‍යවසායකයන් තනියම හයියෙන් ඉන්නවනෙ.

මොකද්ද මේ ගමනේ රහස

තමන්ගෙ ෆැෂන් එක හඳුනා ගැනීම. ඕනෑම කෙනකුට දිනන්න නම් තමන් කැමැති දේ හඳුනා ගන්න ඕන. තමන් කරන තමන් ම සතුටු වෙන්න ඕන. තමන් කරන්න ඕන තමන් ආදරය කරන දේ, තමන් සතුටු කරන දේ, තමන් රසවිඳින දේ. මගේ ඇඟ ඇතුළෙ තිබුණු උණ තමයි මාව මේ තරම් දුර අරගෙන ආවෙ. මට තේරෙන්නෙ නෑ මම කරන්නෙ රස්සාවක් කියලා. 

ඉදිරි පරම්පරාවට මොනවද කියන්න තියෙන්නෙ

තමන්ගෙ ෆැෂන් එක හඳුනා ගන්න ඕන. ඊට පස්සෙ ඒකට අදාළ දේවල් අධ්‍යයනය කරන්න අවශ්‍යයයි. ඒ දේවල්වලට අදාළ සම්පත් දායකයන් හඳුනා ගැනීමත් වැදගත්. සිහිනයක් තියෙන්න ඕන මෙන්න මේ කාලෙ වෙනකොට මම මගේ අරමුණට යනවා කියලා. එතනට යන්න නම් කරන්න ඕන කැපවීම් ටිකක් තියෙනවා. ඒවත් වැදගත්. අනිත් එක නිහතමානී වෙන්න ඕන. වැටෙන වැටෙන හැම වාරයක ම නැගිටින්න අවශ්‍යයයි. නිරන්තරයෙන් හිතේ තියෙන්න ඕන Never to Give up කියලා. අනිත් දේ දැන් කළ යුතු දේ දැන් ම කරන්න ඕන. මගේ යාළුවෙක් මට නිතරම කියන කතාවක් තමයි Do It Now කියලා. ඒක දේව වාක්‍යයක් වගේ මම අදහනවා.

ඔබ විවාහ වෙන්නේ කොයි කාලෙද?

දැන් විවාහ වෙලා අවුරුදු විසි ගණනක්. මගේ බිරිය දිනූත් epic හි ආයතන තුනක අධ්‍යක්ෂවරියක් ලෙස ක්‍රියා කරනවා. ඇය ඉතා ම හොඳ ගෘහණියක්. මම සාර්ථක වෙන්නෙ ඇයගේ සහයෝගය නිසා. අපට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. දුව නෙත්මි දෙහිගම; පුතා නෙතුම් දෙහිගම.

සාමාන්‍යයෙන් පොත්පත් කියවනවද?

මම කියවන්නේ මගේ විෂයයට අදාළ පොත්පත්. මම හරියට තේරුම් බේරුම් කරගෙන මට අදාළ කොටස් කියවනවා.

සාමාන්‍යයෙන් චිත්‍රපට බලනවද?

චිත්‍රපට නම් එච්චර බැලෙන්නෙ නැහැ. ගෙදර නිවාඩුපාඩුවෙ ඉන්නකොට මගේ බිරිය දිනූ එක්ක රූපවාහිනියෙ චිත්‍රපටයක් යනවා දැක්කොත් බලනවා.

සාමාන්‍යයෙන් සංචාරය කරන්න කැමැති කොහේද?

නුවර තමයි වැඩියෙන් ම කැමැති යන්න. ඉපදුණ පළාතනෙ. මගේ ව්‍යාපාර කටයුතුවලට මම කොහොමත් නිතර ලෝකෙ පුරා යනවා.

සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ

මම ලොකු බ්‍රෑන්ඩ් පස්සෙ යන්නෙ නෑ. කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් මොන බ්‍රෑන්ඩ් එක ද මම ඒක තමයි පාවිච්චි කරන්නෙ.

හැබෑ කරගන්න තව ම බැරි වුණු හීන තියෙනවාද?

මට ඕන මගේ ආයතනය විශ්වීය ආයතනයක් කරන්න. මම දැන් ඒකටයි මහන්සි වෙන්නෙ.

ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු

Comments