
- මුලින් හැක් කරලා තියෙන්නේ මිතුරියගේ මුහුණු පොත් ගිණුම
- රැවටුණු තරුණියන් අතර සසර කළකිරී මහණ දම් පුරන කාන්තාවකුත් ඉඳලා
උසස් පෙළ විභාගයට මුහුණ දී විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටින ඇය ගම්පහට නුදුරු ප්‍රසිද්ධ නගරයක ජීවත්වන්නියකි. ඒ ඇගේ අනාගත අපේක්ෂාව වූයේ නිළියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙස ජාත්‍යන්තරය දිනා ගැනීමය.
දිනක් ඇයට පාසල් මිතුරියකගෙන් මුහුණු පොත හරහා පණිවුඩයක් ලැබෙන්නේ ඇගේ අනාගත සිහිනය ඉටුකර ගැනීමට මඟක් කියා දෙමිනි.
" තනුජි ඩිවෝනි කියල ඉන්ටර් නැෂනල් මොඩ්ලින් කෙනෙක් ඉන්නවා. ඒ අක්කා අපේ ළඟ හිතවතියක්. මමත් මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැ. මම ඔයා ගැන එයාට කිව්වා. එයා ඔයාට කතා කරයි. ඔයාට චාන්ස් එකක් ලැබිල තියෙන්නේ. එයත් එක්ක දුර ගමනක් යන්න පුළුවන් වේවි. " මිතුරිය මුහුණු පොත හරහා එවා තිබූ ඒ පණිවුඩය ඇයට ගෙන දුන්නේ නිම්හිම් නැති ප්‍රීතියකි.
එම මිතුරියද අයේෂා මෙන්ම පාසල් කාලයේ පටන් නිරූපණ ශිල්පිනියක් වන්නට සිහින මැවූ තැනැත්තියක් වූවාය. අයේෂාට මෙන් ඇයට විශ්වවිද්‍යාල වරම් හිමිව නොතිබුණාය.
වැඩි දවසක් ගෙවී ගියේ නැත. තනුජි ඩිවෝනිගෙන් මුහුණු පොත හරහා අයේෂාට ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ තමාවද සිය මිතුරු කණ්ඩායමට සම්බන්ධ කර ගන්නා ලෙසටය. සිය මිතුරිය ඇයට තනුජි ඩියෝනි ගැන සඳහන් කර තිබූ බැවින් ඇය ප්‍රීතියෙන් පිනා යමින් ඇයව සිය මිතුරු කණ්ඩායමට ඇතුළත් කර ගත්තාය.
" මේක හොඳ ෆීල්ඩ් එකක්. ඔයා කැමති නම් මට පුළුවන් ඔයාට උදව් කරන්න. ඔයා ගැන මට ඔයාගේ යාළුවා හැම විස්තරයක්ම කිව්වා. එයත් අපේ ටීම් එකේ දැන් ඉන්නවා. ඉස්සරහාට ෆැෂන් ෂෝස් ගොඩක් තියෙනවා. ඉන්ටර්නැෂනල් ඒවත් තියෙනවා. එක ෂෝ එකකට අලුත් අයට අපි 50,000ක් ගෙවනවා. " තනුජි ඩිවෝනි මුහුණු පොත හරහා අයේෂානිට සිය කණ්ඩායම සමඟ එක්වීමට ආරාධනයක් කරන්නේ එසේය.
තනුජි ඩිවෝනිගේ මුහුණු පොතට අනුව ඇය ජාත්‍යන්තර සම්මාන දිනූ නිරූපිකාවකි. ඇය සුරූපිනියකි. බැලූබැල්මට ඇය ශ්‍රී ලාංකික කාන්තාවක් යැයි කියන්නට බැරි තරම්ය. ඇය දිනූ සම්මාන රාශියකි. ඇය විවිධ ඉරියව්වලින් පෙනී සිටින ඡායාරූප ගොන්නකි. එම ඡායාරූප දුටු අයේෂා සිතන්නේ මමත් ඇය මෙන්ම ජාත්‍යන්තරය දිනා තාරකාවක් වන බවය.
දින කිහිපයක් තිස්සේ දෙදෙනා අතර නිරූපණ ක්ෂේත්‍රය ගැන අදහස් බොහෝමයක් හුවමාරු වන්නට ගත්තේය. අවසානයේදී මුහුණු පොත අතහැර වට්ස් ඇප් ඔස්සේ දෙදෙනා අදහස් හුවමාරුකර ගන්නට ගත්තේ සුහඳත්වය වඩාත් වර්ධනය වීමත් සමඟනි.
" ඔයාගේ ෆොටෝ දෙක තුනක් අරගෙන එවන්න, අපේ මිස් කෙනෙක් ලංකාවට ඇවිල්ල ඉන්නවා එයාට ඔයාව පෙන්වන්න." තනුජිගෙන් දිනක් අයේෂාගේ වට්ස් ඇප් අංකයට පණිවුඩයක් ලැබී තිබුණාය.
අයේෂා ඒ සැණින් ඇයට ඇති ලස්සනම ඇඳුමෙන් සැරසී සෙල්ෆි ඡායාරූප දෙක තුනක් ගෙන තනුජ්ට යොමු කළා ය. ඒ වට්ස් ඇප් ඔස්සේය.
"හරිම ලස්සනයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ ඇගේ හැඩේ පේන්නේ නැහැ ඔය ඇදුමට. ඒ නිසා ටිකක් ඇඟ හිරවෙන්න ඇඳුමක් තියෙනව නම් ඒක ඇදලා ෆොටෝ ටිකක් එවන්න." තනුජි පෙරළා ඇයට පණිවුඩයක් එව්වාය.
අයේෂා ඇගේ අල්මාරිය අවුස්සා ඇඟට හිර වෙන්නට ඇති හොඳම ඇඳුම ඇඟලා ගෙන නැවතත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් ගත්තාය. ඡායාරූප කිහිපයක් තෝරා තනුජිගේ වට්ස් ඇප් අංකයට යොමු කළාය.
"දැන්නේ කෙල්ලගේ හැඩ පේන්නේ. අපේ මිස්ට මම පෙන්නුවා. මිස්ට ඔයා ගැන හිත ගියා. ළඟදී ෂෝ එකක් තියෙනවලු. ගොඩක් අය ට්‍රයි කරනවා ඒ ෂෝ එකට. මිස් කැමතියි ඔයාට චාන්ස් එකක් දෙන්න. ඒ නිසා ඔයා මම කියන විදිහට තව ෆෝටෝ දෙක තුනක් අරගෙන එවන්න මිස්ට පෙන්වන්න" ඇය අයේෂාට කීවාය. ඒ වට්ස් ඇප් පණිවුඩයක් ඔස්සේය.
ඒ අනුව ඇය සිය සිරුර තරමක් නිරාවරණය වන ආකාරයේ ඡායාරූප කිහිපයක් පෙර පරිදිම ඇය වෙත යැව්වාය. එයින් තනුජි සෑහීමකට පත්නොවූවාය. තව තවත් ඇගෙන් ඡායාරූප ඉල්ලා සිටියාය. දෙවන තුන්වැනි වටයට යන විට තනුජි ඇගෙන් ඉල්ලා සිටියේ අඩනිරුවත් ඡායාරූපය. පැකිළීමකින් තොරව අයේෂාද ඇය ඉල්ලූ අයුරින්ම ඡායාරූප යොමුකරනු ලැබුවාය.
"ඔයා එවමු හැම ෆොටෝ එකක්ම අපේ මිස් බැලුවා. එයාට ඔයාව හොඳටෝම හිතට අල්ලලා. මොඩ්ලින් කරනකොට වැදගත් ඇඟේ හැඩයයි." යැයි ඇයට පණිවුඩයක් ලබාදෙමින් ඇය අයේෂාගෙන් අපේක්ෂා කරන්නේ තිසර පටයෙන් පෙනී සිටින ඡායාරූපයකි.
ඇය තිසර පටේ එක පැත්තක් පහත්කර පියයුරුවක් අඩක් පෙනෙන ආකාරයට ඡායාරූපයක්ද ඇය යොමු කළාය. අවසානයේදී ඇයෙගන් ඉල්ලා සිටින්නේ උඩුකය නිරුවත් ඡායාරූපයකි.
" අපෝ මට නම් බැහැ." අැය ඊට තිගැස්සී තනුජිට පණිවුඩක් තිබ්බාය.
"දැන් මෙච්චර හොඳට වැඩේ කරල, ඇයි අන්තිම මොහොතේ ඔයා අතහරින්න හදන්නේ. කීදෙනෙක් ට්‍රයි කරනවද මේ චාන්ස් එක ගන්න. අපරාදෙ අත්හරින්න එපා. ඔයා බය වෙන්න එපා. මම දැන් ඔයාට ෆොටෝ එකක් එවන්නම්. ඒක බලලම තීරණයක් අරගන්න." තනුජි එවන් පණිවුඩයක් තබමින් වට්ස් ඇප් ඔස්සේ අයේෂාට ඡායාරූපයක් එව්වාය. ඒ තනුජිව ඇයට මුණ ගැස්සූ ඇගේ මිතුරියගේය. ඒ ඇය නිරුවතින් සිටින ඡායාරූපයකි.
එම ඡායාරූපය දුටු අයේෂාට ඇතිවන්නේ ලොකු හයියකි. ලැජ්ජාව බිය ඇගෙන් පහව ගියාය. තනුජි ඉල්ලා සිටි ආකාරයේ සෙල්ෆි ඡායාරූප ගොන්නක්ම ලබාගෙන ඇයට යැව්වාය. ඒ අතර ඇගේ නූල් පොටක්වත් නැති ඡායාරූප ද වූවාය.
තනුජි තව තවත් ඇගෙන් නිරුවත් ඡායාරූප ඉල්ලා ඇවිටිලි කරන්නට ගත්තාය. ඇයට මෙය හිසරදයක් වන්නට වැඩි කාලයක් ගත නොවූවාය. ඇයට එය නිරූපිකාවක් වීමේ සිහිනය එපාවන තරමටම දුරදිග ගොස් තිබුණාය.
"මේ වැඩේ මෙතැනින් නවත්තමු. මට තවත් ඕනේ නැහැ මොඩ්ලින් කරන්න. මේක මහා වාතයක්" තනුජිට ඇයට වට්ස් ඇප් පණිවුඩයක් තැබුවාය.
" එහෙම ඔයාට ඕනේ හැටියට මේකෙන් අයින් වෙන්න බැහැ. ඔයාව අපි ෂෝ එකට තෝරගෙනයි ඉන්නේ. සිස්ටම් එකෙන් ඔයාව අයින් කරන්න නම් අපිට මුදලක් යනවා." තනුජි ඊට දක්වන්නේ එවන් ප්‍රතිචාරයකි.
"මට සල්ලි දෙන්න විදිහක් නැහැ. මම තාම ඉගෙන ගන්න ළමයෙක්. ගෙවල්වලින් දන්නෙත් නැහැ මම මෙහෙම එකකට ෆෝටෝ දුන්න කියල." ඇය තනුජිට පණිවුඩයක් තැබුවාය.
"එහෙම නම් අපිට සිද්ධ වෙනුවා ඔයාගේ ෆෝටෝ ටික නෙට් එකට දාන්න." තනුජිගෙන් ලද එම ප්‍රතිචාරය දුටු අයේෂාගේ ඉහමොළ රත්වී ගියාය. ඇය තනියම කාමරයට වී දොර වසාගෙන දවසක් පුරා හැඬුවාය. සිය දිවි හානිකර ගන්නට පවා සිතූ වාර ගණන අපමණය. එහෙත් ඇය සිත දැඩිකර ගත්තාය. ඒ ගැන සිය නැන්දනියට කීවාය.
නැන්දනිය ඇය ඉදිරියේ මේ ගැන කලබල නොවුණා ය. ඇගේ හිත හැදුවාය. ඉල්ලා සිටින මුදල තමා දෙන්නම් යැයි අයේෂාට කීවාය. ඒ අනුව අයේෂාද මුදල් ලබාදීමට හැකි බව පවසා තනුජිට පණිවුඩක් තැබුවාය. ඊට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු ආවාය. ඒ රාජ්‍ය බැංකු ශාඛාවක ගිණුම් අංකයක් යොමු කරමිනි.
එම ගිණුමට අයේෂා වෙනුවෙන් මුදල් බැර කරන්නේ ඇගේ නැන්දාය. ඇය එසේ මුදල් ඉක්මනින්ම ගිණුම්ගත කරන්නේ තනුජී සමඟ ගැටුමක් ඇතිකර ගැනීමකින් සිදුවන්නේ අයේෂාගේ ඡායාරූප ඔහු අන්තර් ජාලයට යොමු කිරීමේ සම්භාවිතාව වැඩි බව අවබෝධ කරගෙනය. අයේෂාගේ නැන්දනියට යම් සැලසුමක් තිබුණාය. ඒ අයේෂා තනුජිට හසුවී ඇති බව පෙන්වා ඇය ගැන පොලීසියට පැමිණිලි කරන්නටය. ඒ වෙනුවෙන් ඇය තෝරාගන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයයි. අයේෂාවත් රැගෙන ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියාය. එහිදී ඔවුන්ට මුලින්ම මුණ ගැසෙන්නේ එම කොට්ඨාසයේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය ව ය. අයේෂා සියල්ල ඔහු ඉදිරියේ කීවාය. අයේෂා අපරාධකරුවකුගේ ගොදුරක් බවට පත්ව ඇති බව බැලූ බැල්මටම ලකී රන්දෙණියට පෙනී ගියේය. අනෙක් ලැබී ඇති පැමිණිලි හා සැසඳීමේදී අයේෂා ඒවන විටත් වාසනාවන්තය. ඒ ඇගේ ඡායාරූප කිසිවක් ඒ වන විටත් අන්තර් ජාලයට යොමුකර ප්‍රසිද්ධ කර නොතිබීම නිසාය.
මේ ගැන විමර්ශන කටයුතු ලකී රන්දෙණිය විසින් පවරන්නේ සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුමටය. ඇය මේ කටයුත්තට අත තබන්නේ සමාජ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් පද්මසිරි සමඟ එක්වය.විමර්ශන නිලධාරීයා ලෙස පත්කරන්නේ උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂවය.
මෙහිදී විමර්ශන නිලධාරීන්ට පැන නැඟුණු ගැටලුවක් වූයේ එම මිතුරිය විසින් තමාගේ ළඟ හිතවතියක් යැයි කියා අයේෂාව තනුජිට බිලිදී තිබුණේ ඇයිදැයි කියාය. ඒ ගැන විමර්ශන නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කළාය.
"මම එහෙම මැසේජ් එකක් අයේෂාට දැම්මේ නැහැ. මම තනුජිව දැකලත් නැහැ. අපේ නැටුම් ටීචර් තමයි තනුජිව දන්නවා කියල මට මැසේජ් එකක් එවල එයත් එක්ක වැඩකරන්න කියුවේ." ඇය කීවාය.
සිදුව ඇත්තේ කුමක්දැයි පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අවබෝධකර ගැනීමට එතරම් අපහසු වූයේ නැත. එය තහවුරු කර ගැනීමට විමර්ශන අංශයේ සමාජ ජාල විශේෂඥයන් යොදවා ඇගේ මුහුණු පොත තාක්ෂණික මෙහෙයුමකට යොමු කළේය. මිතුරියගේ මුහුණු පොතට අනවසර ප්‍රවිෂ්ට වීමක් සිදුව ඇති බව පෙනී යන්නේ එහිදීය. තනුජි සම්බන්ධයෙන් අයේෂාට ඇගේ මිතුරිය ලෙස පණිවුඩයක් තබන්නේ එම අනවසර පිවිසීමෙන් අනතුරුව බවද විමර්ශකයන්ට පෙනී ගියේය.
මේ අතර නැටුම් ගුරුවරියගෙන්ද පැමිණිල්ලක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ආවාය. ඇය කියන්නට වූයේ තමාගේ නමින් මුහුණු පොතේ ව්‍යාජ ගිණුමක් ඇති බවය. එම ව්‍යාජ ගිණුමෙන් තමා දන්නා කියන බොහෝ පිරිසකට පණිවුඩ තබා ඇති බවද ඇය කීවාය. අයේෂාගේ මිතුරිය හසුවී තිබුණේ ගුරුවරියගේ ව්‍යාජ මුහුණු පොතේ ගිණුමටය. ඒ බව තහවුරු වන්නේ සමාජ මාධ්‍ය ජාල විමර්ශකයින්ගේ තාක්ෂණික විමර්ශනයකදීය.
අයේෂා මුදල් බැරකළ බැංකු ගිණුම ගැන ඒ අතර විමර්ශකයන්ගේ අවධානය යොමු විය. එය රාජ්‍ය බැංකුවක කුරුණෑගල ශාඛාවක බැංකු ගිණුමකි. එම ගිණුමෙන් මුදල් ලබාගෙන තිබුණේ විද්‍යුත් කාඩ්පතක් ඔස්සේය. මෙවන් අපරාධකරුවන් කිසිවිටකත් තමාගේ නමින් ඇති බැංකු ගිණුම් මෙවැනි ක්‍රියා සඳහා යොදා නොගන්නා බව සිය විමර්ශන ඥානයෙන් දැන සිටි නිලධාරීන් ඒ ගැන එතරම් උනන්දුවක් මූලික විමර්ශනයේදී දැක්වූයේ නැත. ඔවුන් සිය අවධානය යොමු කරන්නට වූයේ තනුජි කොටුකර ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් තාක්ෂණික විමර්ශන දැලක් එළමින් සිටියදී අයේෂාගේ මිතුරුයට තනුජිගෙන් පණිවුඩයක් ලැබෙන්නේ "මට ඔයාව බලන්න ඕනේ. හලාවත ඉදන් කුරුණෑගලට එච්චර දුරකුත් නැහැනේ. එන්නකො දවසක." යැයි කියාය.
ඇය මේ ගැන විමර්ශකයන්ට කීවාය. අයේෂා මෙන් ඇය තනුජි සමඟ ගැටුමක් ඇතිකරගෙන නොසිටියාය. විමර්ශකයන්ද ඇයට උපදෙස් දී තිබුණේ කිසිවිටකත් වෙනසක් නොපෙන්වා දිගටම ඇය සමඟ සම්බන්ධව සිටින ලෙසය. හැබැයි ඒ තනුජි ලෙස පෙනී සිටින්නේ නම් කාන්තාවක් නොවන බව විමර්ශකයන් දැන සිටියේය.
"අපි හෙට හවස හම්බවෙමු. හැබැයි මගෙත් එක්ක ඉන්න බලාගෙනම එන්න ඕනේ හොදේ. මම ඔයාව ඉහළටම ගෙනියනවා. ඔයාව ඉන්ටර් නැෂනල් තරුවක් කරවනවා." තනුජිගෙන් ඒ පණිවුඩය ලැබෙන්නේ අයේෂාගේ මිතුරියටය.
ඒ බව ඇය විමර්ශකයන්ට දැනුම් දුන්නාය. විමර්ශකයින් ඇයට උපදෙස් ලැබෙන්නේ එදින සවස වැඩ ඇරී දෙදෙනා මුණ ගැසෙමු යැයි කියාය. මේ ගමනට ඇය සමඟ ගුරුවරියවද එක්කර ගැනීමට විමර්ශකයින් තීරණය කළේය. ඒ ඇගේ තනි නොතනියටය.
එදා ජුනි 04 වෙනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ජාල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නුවන් පද්මකුමාර, විමර්ශන නිලධාරී උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ, කොස්තාපල්වරුන් වන රත්නායක (85072) සහ අශෝක (80364) යන නිලධාරීන් ඇයත් ගුරුවරියත් රැගෙන කොළඹින් පිටත්ව යන්නේ කුරුණෑගල බලාය. තනුජි ඇයට පණිවුඩයක් තබන්නේ කුරුණෑගල බස් නැවතුම්පොළේදී හමුවෙමු යැයි කියාය. හලාවතින් පිටත්වන විට තනුජීට ඇය පණිවුඩයක්ද තැබුවාය. ඒ තනුජි ඇයට එසේ කරන්නැයි කල්තියා පණිවුඩයක් තබා තිබුණු බැවිණි. විටෙන් විට තනුජි ඇයට වට්ස් ඇප් පණිවුඩ එවමින් ඉන්නා තැන විමසන්නට ගත්තාය. ගූගල් සිතියම දිගහැරගත් විමර්ශකයෝ හලාවත සිට කුරුණෑගලට ඇති ගමන් මාර්ගය පරීක්ෂා කරමින් මඟ සලකුණු තනුජිගේ වට්ස් ඇප් ගිණුමට යොමුකරන්නට වූයේ කොළඹ සිට කුරුණෑගලට යමින් සිටිමිනි.
තනුජි යැයි කියන්නේ සැබවින්ම කාන්තාවක් නොවන බවත් ඇය බොහෝ විට පිරිමියෙක් වනු ඇති බවටත් අයේෂාගේ මිතුරියට විමර්ශන නිලධාරීන් පැහැදිලි කර දෙන්නේ කුරුණෑගලට කිට්ටුවනවාත් සමඟිනි.
"ඔයා කිසි දේකට බය වෙන්න එපා. අපි ඔයාව තනිවෙන්න දෙන්නේ නැහැ. හැම දේකටම අපි ඉන්නේ සූදානමකින්. තේ එකක් බොන්න යමු කීවොත් යන්න. අපිත් එනවා ඒ පස්සෙන්ම. හැබැයි වාහනයක් ඇවිල්ල ඒකේ නඟින්න කීවොත් නගින්න එපා. ඔයා කල්පනාවෙන් ඉදල ජූස් බාර් එකකට වගේ තැනකට එයාව එක්ක යන්න බලන්න."
මෙහිදී විමර්ශන නිලධාරීන් ඇගේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙමින් ඇගේ ජංගම දුරකතනය හා විමර්ශන නිලධාරීන්ගේ ජංගම දුරකතන අතර යම් තාක්ෂණික සම්බන්ධයක් ගොඩ නැඟුවේය. ඒ ඇය කොතනක සිටියත් සෑම විමර්ශන නිලධාරියකුටම ඇය සිටින ස්ථානය පැහැදිලිවම හඳුනා ගැනීමට හැකිවන ලෙසිනි.
මේ සියලු ආරක්ෂක පියවර ගැනීමෙන් අනතුරුව ඇයව කුරුණෑගල බස් නැවතුම් පොළින් බස්සවන්නේ නිලධාරීන්ද ඇය පස්සේ යමිනි. බස් නැවතුම්පොළේ ඇයට පැයක පමණ කාලයක් රැදී සිටීමට සිදුවන්නේ තනුජි කී වෙලාවට නොපැමිණිම නිසාය. පැයකට පසුව තනුජිගෙන් ඇයට වට්ස්ඇප් පණිවුඩයක් ලැබෙන්නේ කුරුණෑගල බස් නැවතුම්පොළට යාබදව ඇති ඔසු සල අසලට එන්නැයි කියාය. ඇය එතැනට ගොස් තමා පැමිණ ඇති බව තනුජිට වට්ස් ඇප් පණිවුඩයක් මඟින් දැනුම් දුන්නාය.
"හායි කොහොමද? මම තමයි ඔයාට තනුජි කියල චැට් කළේ." ඇයව මුණ ගැසීමට එතැනට එන්නේ තරුණයෙකි. කල්තියා ඒ ගැන විමර්ශන නිලධාරීන් පැහැදිලි කර දී තිබීම නිසා ඇයට ඒ ගැන තැති ගැම්මක් නොවූවාය.
"මම කෙල්ලෙක් වගේ චැට් කළේ කොල්ලෙක් වගේ චැට් කළොත් කෙල්ල බය වෙලා මේ වැඩේට එකතු වෙන්නේ නැති නිසයි. මම ඔයාව ඉන්ටර් නැෂනල් ස්ටාර්ස් කෙනෙක් කරනවා. මට ගොඩක් සම්බන්ධකම් තියෙනවා. අපේ මිස්වත් මම ඔයාට හඳුන්වල දෙන්නම්. එයත් එක්ක රට යන්නත් චාන්ස් එකත් අරන් දෙන්නම්" තනුජි ලෙස පෙනී සිටි තරුණයා ඇයව තවදුරටත් රවටමින් සිහින මාළිගාවක තුළ සිරකරන්නට උත්සාහ ගත්තේය. ඇයද එහිදී ඔහුට රැවටුණු බවක් පෙන්වමින් " ඔයාට ගොඩක් සම්බන්ධකම් තියෙනවද? එහෙම නම් මාව ඔයා ස්ටාර්ස් කෙනෙක් කරන්න ඕනේ. ඔයා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්නම්" යැයි ඇය කීවාය.
"අපි එහෙම නම් මොනවා හරි කාල යමු" තරුණයා කියමින් නගරයේ පිහිටි අවන්හලක් වෙත ඔහු ඇයව රැගෙන ගියාය. ගුරුවරිය සමඟ විමර්ශන නිලධාරීන්ද වෙන් වෙන්ම අවන්හලට ගොඩවුණේය.
තරුණයා ෆයිඩ් රයිස් සමඟ පැණි බීම බෝතලයක් ඇණවුම් කළේය. ඒ අතර අවන්හලේ කළමනාකරුට තමන් මෙහෙයුමක නිරතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව අන්‍යතාව හෙළි කිරීමට ද වගබලා ගත්තේය. ඒ එම තනුජි ලෙස වෙස් බැදි එම තරුණයාව අත්අඩංගුවට ගැනීමට තීරණය කෙරන්නේ අවන්හල තුළදී වීම නිසාය.
දෙදෙනා කා බී අවසන්ව අවන්හලේ බිලද ගෙවා දැමීමෙන් පසු විමර්ශන නිලධාරීන් ක්‍රියාත්මක වූයේය. ඒ " අපි සී.අයි.ඩී.යෙන්" යැයි කියමින් ඔහුව අල්ලා මාංචු දමාය.
මුලින්ම විමර්ශන නිලධාරීන් අතට ගන්නේ ඔහුගේ ජංගම දුරකථනයයි. එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ කාන්තාවන්ගේ ඡායාරූප ගොන්නකි. අයේෂාගේ මෙන්ම ඇගේ මිතුරියගේද ඡායාරූප ඒ තුළ ගබඩා වී තිබුණේය. ඒ අනුව තනුජි ලෙස පෙනී සිටියේ ඔහු බව පැහැදිලි විය.
"සර් මම වැරැද්දක් කළා කියල පිළිගන්නවා. මීට ඉස්සරින් මම වැරදි කරල නැහැ. පොලිස් පොතකවත් නම ලියැවිලා නැහැ. පළමුවැනි පාර නිසා සමාව දෙන්න." විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු බැගෑපත් වන්නට ගත්තේය.
විමර්ශන නිලධාරීන්ගෙන් ඔහුට සමාවක් නොවීය. තනුජි ලෙසින් පෙනී සිටි මේ තරුණයා යුද හමුදා සෙබළෙක් ලෙස හඳුනා ගන්නේ එවිටය. වැහැර කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටින ඔහු යුද හමුදාවට එක්වන්නේ එහි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කරන්නටය. විසි හය හැවිරිදි ඔහු පාසල් ගොස් තිබුණේ 11 පන්තියට පමණි. සාමාන්‍ය පෙළද ගොඩදාගෙන ඇත්තේ යාන්තමටය. විමර්ශන නිලධාරීන් බෝයගනේ මල්පිටියේ පිහිටි ඔහුගේ නිවසද පරීක්ෂාවට ලක්කළේය. ඒ ඔහු සමඟම ගොසිනි. එහි තිබී බැංකු පොත් දෙකක් සහ ජංගම දුරකථන දෙකක්ද විමර්ශකයන් සොයා ගත්තේය. අයේෂා මුදල් දමා තිබුණේ ඒ එක් බැංකු ගිණුමකටය. එම බැංකු ගිණුම් පොතේ මුදල් බැර පැත්තේ එම මුදල පැහැදිලිවම සටහන් තිබෙනු විමර්ශන නිලධාරීන් දුටුවේය. ඒ අනුව ඔහුට එරෙහිව තවත් ප්‍රබල සාක්ෂියක් ලැබුණේය. ඒ අපරාධකරුවෙක් තමාගේම බැංකු ගිණුම් අපරාධ ක්‍රියා සඳහා යොදා නොගන්නවා යැයි එතෙක් විමර්ශකයන්ට පැවති විශ්වාසයද බිඳ දමමිනි. ඒ එම බැංකු පොත ඔහුගේ නමින් නිකුත් කර තිබුණු ඒවා වූ බැවිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ තරුණයා රැගෙන විත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පෙනී යන්නේ පරිගණක තාක්ෂණය පිළිබඳ ඉහළ දැනුමක් ඔහු ලබන්නේ අන්තර්ජාලයෙන් බවය. එසේ ඔහු සිය ගණන් තරුණියන්ගේ මුහුණු පොත් හැක්කර ඇති බවද විමර්ශකයන්ට පෙනී ගියේය. එසේ ඔහුගේ දඩයමට ලක්වූ 100යකට වැඩි තරුණියන්ගේ ඡායාරූප ජංගම දුරකතනයේ ගබඩා වී තිබුණේය. ඇයට වැඩි හරියක් දෙනා හසුවී සිටියේ අයේෂා මෙන් උසස් පෙළ අවසන්කර සිටි සිසුවියන් සහ වැඩිහිටි පාසල් සිසුවියන්ය. ඒ පහසුවෙන් ගොදුරුකර ගැනීමට හැකියාවක් ඇත්තේ ඒ අය බව අත්දැකීමෙන්ම ඔහුට අවබෝධයක් තිබුණු බැවිනි. මොහුගේ ගොදුර බවට පත්වූවෝ අතර සසර කලකිරී සසරෙන් එතෙර වන්නට පෙරුම් පුරන්නියක්ද සිටීම විශේෂත්වයකි.
අයේෂා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ ගැන පැමිණිලි නොකරන්නට ඔහුගේ ජංගම දුරකථනයෙන් හමුවූ ඡායාරූපවල සිටින තරුණියන් බොහෝ දෙනෙක් මේ වන විටත් නිරුවත් වී හමාරය.