
- ගැබිනි කතුන් සහ රෝගීන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් වාහන 9ක්
- පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව 50ක් පිරිනමා තිබෙනවා
- දරුවන් තිදෙනකුට පාසල් යෑමට බස් වියදම් දෙනවා
යටියන්තොට මීගහවැල්ලේ පදිංචි චානක රජීව් දිනක් රූපවාහිනි ප්‍රවෘත්ති නරඹන අතරවාරයේදී අමුතු පහේ පුවතකට දෙනෙත් යොමු වූයේ එය අසන්නට ලැබෙන විරල සිදුවීමක් වූ නිසාය. එකී පුවත වූයේ ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහලට යෑමට නොහැකි ගැබිනි කතුන් නිවසේදී දරු ප්‍රසූතිය සිදු කිරීමයි. ශ්‍රී ලංකාව නිදහස ලැබීමට පෙර ගැබිනි මව්වරුන් නිවසේ දරුවන් බිහි කිරීම සාමාන්‍ය දෙයක් වුවද දැන් නම් එය අසාමාන්‍ය සිදුවීමක් වී තිබේ. චානක රජීව්ගේ අවධානය මේ කෙරෙහි යොමු වූයේ එබැවිනි. ගෘහ ප්‍රසූතියකදී බිහි වන දරුවාගේත් මවගේත් ජීවිත අවදානම ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත. එමෙන්ම එවැනි දරු ප්‍රසූතියකදී සංකූලතා ඇති වීමේ ඉඩකඩ ද වැඩිය. ගැබිනි මව්වරුන්ට රෝහල්ගත වීම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමේ සත් කාර්යයට අත ගසන්නට ඔහු තීරණය කළේ එබැවිනි.
"මම තොග වෙළෙඳසැලක් පවත්වාගෙන යනවා. මට වාහන 9ක් තිබෙනවා. ත්‍රීවිලර් 3ක් තිබෙනවා. එක කැබ් රථයක් තිබෙනවා. අනිත් සේරම ලොරි. ඇත්තටම මටත් ඉන්ධන ප්‍රශ්නය තිබෙනවා. අපි දවල්ට කඩේ විවෘත කරගෙන වෙළඳාම් කරනවා. රෑට තෙල් පෝලිමේ ඉන්නවා. ඒත් මේ වෙලාවේ මහජනතාවට පිහිට වෙන්න ඕනෑනේ. ඒ නිසයි මම ගැබිනි මව්වරුන් රෝහලට රැගෙන යෑමට නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නේ. ගැබිනි මව්වරුන් වගේම හෘදයාබාධ වැනි හදිසි රෝගි තත්ත්වයන් ඇති වූ අයටත් මම ප්‍රවාහන පහසුකම් සපයනවා." යනුවෙන් චානක රජීව් සඳහන් කළේය.
ඔහුගේ මෙම සත් කාර්යය අරඹා දැන් සතියක් පමණ ගත වී තිබේ. මේ වන විට ඔහු කතුන් සිව්දෙනකු (04) කරවනැල්ල රෝහල කරා ගෙන ගොස් තිබේ. ඉන් තිදෙනෙක් (3) දරු ප්‍රසූතිය සඳහා රෝහලට ගිය අය වෙති. අනෙක් කාන්තාව දරුවා ලැබී රෝහලේ සිට නිවසට පැමිණීමට වාහනයක් නොමැතිව රෝහලේ රැඳී සිටි මවකි.
ගර්භණී මව්වරුන්ටත් හදිසි රෝගින්ටත් ප්‍රවාහන පහසුකම් නොමිලේ සපයන චානක රජීව්ගේ පුණ්‍යකටයුතු නිමක් නැත. මේ දිනවල පවතින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඔහු රුපියල් 5000/- ක වටිනාකමින් යුතු වියළි ආහාර මලු බෙදා දීමටද පියවර ගෙන තිබේ.
"මම වෙළෙඳසැලේ ඉදිරිපිට මේසයක් තබා තිබෙනවා. මම රුපියල් 5000/- ක පමණ වටිනාකමින් යුතු වියළි ආහාර ද්‍රව්‍ය මලු එහි තබනවා. ගමේ අයත් ඔවුන්ට හැකි පමණින් මොනවා හරි දෙයක් ඒ මේසය උඩ තබනවා. සමහරවිට පොල්තෙල් කාලක්, හඳුන්කූරු පැකට්1ක්, සබන් කැටයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කඩේට බඩු අරං එන ලොරිවලිනුත් බඩු තියනවා. මේ සේරම දේවල් ආර්ථික අපහසුතාවලින් පෙළෙන අය අරගෙන යනවා. කොහොමහරි හවස් වන විට මේසය උඩ තිබෙන බඩු අරං ගිහින් ඉවර වෙනවා." යනුවෙන් වෙළෙඳ ව්‍යාපාරික චානක රජීව් විස්තර කළේය.
ඔහුගේ මෙම දානමය කටයුත්ත නිසා ආර්ථික ප්‍රශ්නවලින් දැවෙන ජනතාවට ලැබෙන සහනය අස්වැසිල්ල කොපමණද ? තුන් වේලකින් එක වේලක් පමණක් දළ අහරකින් කුස පුරවා ගන්නා අයට තුන්වේලක් සරි කර ගත හැකි නම් එය මහඟු පුණ්‍යකර්මයක් නොවේද?
මීට අමතරව ආර්ථික ගැටලු නිසා පාසල් අධ්‍යාපනය නිසියාකාරව කරගෙන යෑමට නොහැකි දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමටද චානක රජීව් කටයුතු කර තිබේ. මෙම දරුවන් සොයා දීමේදී යටියන්තොට පොලිසිය ලබා දුන් මැදිහත් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ වන විට ඔහු පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රමාණය 50කි. එක් පාසල් දරුවකුට රුපියල් 3000/- - රුපියල් 5000/- අතර මුදලක් ඔහු මාස් පතා ප්‍රදානය කරයි. තවද පාසල් යෑමට බස් වියදම සොයා ගැනීමට නොහැකි දරුවන් තිදෙනකුටද ඔහු ගමන් වියදම් දරයි. ඔහු මෙම සමාජ සද්කාර්යයන් කරන්නේ පාසල් අධ්‍යාපනය ලබා නැණැස පාදා ගැනීමෙන් අනතුරුව ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ වගකීමෙනි.
"මම ව්‍යාපාරය ආරම්භ කරලා අවුරුදු 15ක් විතර වෙනවා. මීට ටික කාලයකට පෙර මගේ ව්‍යාපාරය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ වෙනකොට මම බැංකු ණයකුත් අරගෙන තිබුණා. ඒ වෙලාවේ මම මානසිකව වැටිලා හිටියේ. හැබැයි මට ගොඩාක් දෙනා උදව් කළා. එක්කෙනෙක් ගොඩනැඟිල්ල දුන්නා. තවත් කෙනෙක් මුදලින් රුපියල් ලක්ෂ 20ක් දුන්නා. ඒ විදිහට මට ගොඩාක් අය උදව් කළා. ඇත්තටම මම හිතුවේ නැහැ මට මේ තරම් උදව් ලැබේවි කියලා. ඒ උදව් උපකාර ඇතිව මම මගේ ව්‍යාපාරය තිබුණාටත් වඩා හොඳ තත්ත්වයකට ගත්තා". යනුවෙන් පැවසුවේ චානක රජීව් දානපතියාය.
ඔහුට මෙලෙසින් ගමේ කොයි කාගෙනුත් උදව් පදව් ලැබුණේ ඔහු ප්‍රදේශවාසින්ට කළ ආධාර උපකාරවලට ප්‍රතිඋපකාර වශයෙනි. කවදත් නැති බැරි අයට උදව් උපකාර කිරීමෙන් ප්‍රදේශවාසින් අතර ජනාදරයට පත් වී සිටින චානක රජීව් කොවිඩ් වසංගත සමයේදී කොවිඩ් වැලඳුණු අයටත් නිරෝධායනය වන පවුල්වලටත් බඩු මලු සහ ඖෂධ වර්ග ගෙන ගොස් ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිට තැබීමෙන් ඔහුගේ පරිත්‍යාගශීලිත්වය සහ පරාර්ථකාමීත්වය පිළිබිඹු වේ. චානක රජීව් තරුණයාට පරෝපකාරි හැඟීම් උරුම වන්නට ඇත්තේ ඔහුගේ සීයාගෙන් විය හැකිය. මන්ද ඔහුගේ සීයා වන ඇරැව්වල වෙද මහත්තයාද රෝගින්ට නොමිලේ ප්‍රතිකාර කළ සමාජ සත්කාරයේ යෙදුණු පරිත්‍යාගශීලි අයකු වූ නිසාය.
චානක රජීව් තරුණයා මෑතකදි විවාහ දිවියට ඇතුළත් වූ අයෙකි. ඔහුගේ පුණ්‍ය කටයුතු සහ සමාජ සද්කාරක සේවාවන් සඳහා ඇයගෙන් ලැබෙන්නේ නොමද සහයෝගයකි.
වසන්ත රෝහණ - බුලත්කොහුපිටිය සමූහ