මැයි 09 විනාශය ‘ඉතා සංවිධානාත්මකව සිදුවූවක්’ | Page 2 | සිළුමිණ

මැයි 09 විනාශය ‘ඉතා සංවිධානාත්මකව සිදුවූවක්’

1988/89 කාලයේත් ඔවුන් කළේ ඒ දේ තමයි

- මැතිවරණ ව්‍යාපාරයේදී මම ජනතාවට පොරොන්දුවක් දුන්නා ඡන්දෙන් දිනුවොත් මම ගම්පහ පදිංචියට එනවා කියලා 

කුත් මැයි 09 වැනිදා මෙරට ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පෙළ බොහෝ දෙනකුගේ සිත් තුළ ජනිත කළේ රට මුහුණු දුන් එක්තරා බිහිසුණු කාලපරිච්ඡේදයක අඳුරු සෙවණැලිය. ඊට ගොදුරු වූ මහජන නියෝජිතයන් අතර උගත්, බුද්ධිමත්, පළපුරුදු වෘත්තිකයන් ලෙස දේශපාලනයට පැමිණි පිරිසක් ද වූහ. ආචාර්ය නාලක ගොඩහේවා ද ඒ අතර වේ. මැයි මස 09 වැනිදා ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනිබත් කළේ හුදෙක් ඔහුට අයත් භෞතික දේපළක් පමණක් නොව උගත්, බුද්ධිමත් පුද්ගලයන් දේශපාලනයේ නිරත වනු දැකීමට ප්‍රිය කළ බහුතර මහජනතාවගේ අපේක්ෂාවන්ය.

ආචාර්ය නාලක ගොඩහේවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ල­ිමේන්තුවට පිවිසෙන්නේ මනාප ඡන්ද 325,479ක් ලබමින් ගම්පහ දිස්ති­්‍රක්කයේ වැඩිම මනාප ලැබූ පළමුවැන්නා සහ රටේම තුන්වැනියා බවට පත්වෙමිනි. මැයි 09 වැනිදා ප්‍රචණ්ඩකාරීන් ගිනිබත් කළේ ආචාර්ය නාලක ගොඩහේවා කෙරෙහි විශ්වාසය තැබූ ඒ ජනතා බලාපොරොත්තුවලටය.

"මැයි 9 වැනිදා සිදුවුණේ 'විනාශය' තමන්ගේ දේශපාලන දැක්ම බවට පත්කරගත් පිරිසක් විසින් ඉතා සංවිධානාත්මකව සිදුකළ සිදුවීම් පෙළක්. 88,89 කාලේත් ඔවුන් කළේ ඒ දේම තමයි. මැයි 09 වැනිදා සිදුවීම්වලට පෙරටුගාමී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බව මම දැඩිව විශ්වාස කරනවා. සමගි ජන බලවේගයේ සහ වෙනත් පක්ෂවල අයත් ඊට සම්බන්ධ වුණා. මගේ නිවෙස ගිනි තියන්න ඇවිත් තිබුණෙත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. ඔවුන් අන්තරේ සාමාජිකයන්. ගේ ගිනි තියන්න ඔවුන් යොදාගෙන තිබුණේ පෙට්‍ර්ල් බෝම්බ. ඒ සියල්ල කල්තියා සූදානම් කරගෙන, පහර දෙන ස්ථාන හඳුනගෙන සැලසුම් කරලා සිදුකළ ප්‍රහාරයක්. මැයි 09 වැනිදා උදේ ගෝල්ෆේස් එකේ සිදුවූ සිදුවීමෙන් ඒ ප්‍රහාරය ඉක්මන් වෙන්න ඇති."

ඒ, ආචාර්ය නාලක ගොඩහේවා ගේ අදහසයි. ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනිතබා විනාශ කරනු ලැබුවේ ගම්පහ නගරයෙන් කිලෝ මීටර කිහිපයක් ඇතුළට වෙන්නට පිහිටි, ඉහළ යාගොඩ ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ අචාර්ය ගොඩහේවාට අයත් නිවෙසකි.

"එදා ඔය සිදුවීම වෙද්දි මම කොළඹ ජනාධිපති මන්දිරයේ හිටියේ. මේ සිදුවීම නිසා මට ලොකු කලකිරීමක් ඇතිවුණා. දේශපාලනයේ හැටි මෙහෙමයි කියලා තේරුම් අරගෙන තවදුරටත් දේශපාලනය කරනවද නැද්ද කියලා තීරණය කරන එක තමයි දැන් කරන්න තියෙන්නේ. තවදුරටත් දේශපාලනය කරන එකේ තේරුමක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය බරපතළ ලෙස නැඟෙනවා. ඔය සිදුවීම සිදුවීමට පෙර මම එවකට දරමින් සිටි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක මිස වෙනත් කිසිම තනතුරක් බාර නොගන්න අදහසින්. මේ සිදුවීමෙන් පසුව මට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස්වෙන්න හිතුණා. නමුත් එය කරන්න බැරි මට ඡන්දය දීපු විශාල පිරිසක් සිටින නිසයි. විශේෂයෙන් මේ වන විට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල වී තියෙනවා. ඒවාට විසඳුම් ලෙස අදහස් රාශියක් මා තුළ තිබුණත් කැබිනට් මණ්ඩලයේ නැති නිසා ඒවා ගැන කතාකරන්න ඉඩක් නැහැ. නමුත් හැකි තරම් පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතදීත් මගේ අදහස් සහ විවේචන ඉදිරිපත් කරනවා"

ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ මහජන නියෝජිතයකු සතු යුතුකම සහ වගකීම අවධාරණය කරමිනි.

මෙත්තානන්ද ගොඩහේවා සහ කල්‍යාණි ගොඩහේවා යුවළට දාව අම්බලන්ගොඩදී උපන් නාලක ගොඩහේවාගේ උපන් ගම අම්බලන්ගොඩයි. ඔහුට වයස අවුරුද්ද සපිරීමට පෙර පියාගේ අභාවය සිදුවූයෙන් ඉන්පසු ඔහු ජීවත් වන්නේ ගුරුවරියක වූ මව සමඟ මහනුවර ප්‍රදේශයේය. 6 වැනි ශ්‍රේණියේදී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන නාලක ගොඩහේවා, මොරටු විශ්වවිද්‍යාලට ඇතුළත් වන්නේ ඉංජිනේරු විද්‍යාව හැදෑරීමටයි. ඔහු විදුලි සංදේශ ඉංජිනේරු උපාධිය ලබන විට ගණකාධිකරණ උපාධිය ද සම්පුර්ණ කරගෙන තිබීම විශේෂත්වයකි. ප්‍රකට පෞද්ගලික සමාගමක පුහුණු කළමනාකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු ආයතන ගණනාවක සේවය කරන අතර විෂයයන් ගණනාවක්ම හදාරමින් සුදුසුකම්වලින් තව තවත් සන්නද්ධ විය.

"2009 දක්වා වසර 18ක්ම මම ලංකාවේ සහ විදේශ රටවල් කිහිපයකම පෞද්ගලික අංශයේ ආයතන රැසක කටයුතු කිරීමෙන් අත්දැකීම් සම්භාරයක් ලබාගත්තා. 2009දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට යෝජනා කළා, ඒ අවස්ථාවේදී රජයට පවරාගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය බාරගන්නා ලෙස. මම ඒ වන විට කටයුතු කරමින් සිටියේ එහි වරලත් බලධාරියා ලෙසටයි. මම එහි කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබුවේ උසාවි තීන්දුවකින්. ඒ වන විට පස්වැනි ස්ථානයේ තිබු ආයතනය ඉතා කෙටි කලක් තුළ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට ගේන්න මට හැකිවුණා. 2010දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සංචාරක මණ්ඩලයේ සභාපති ලෙස මා පත්කළා. ඉතා කෙටි කාලයක් තුළ ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 4 සිට ලක්ෂ 10 දක්වා ඉහළ නංවන්නට මට හැකිවුණා. ඒ ආකාරයට සංවාරක මණ්ඩලය ඉතා සාර්ථකව ගොඩනැඟෙමින් තිබියදී ජනාධිපතිතුමා නැවත වරක් මගෙන් ඉල්ලීමක් කළා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරය භාරගන්නා ලෙස. ඒ වන විට කොටස් වෙළෙඳපොළ මාස 18ක් තිස්සේ එකදිගටම කඩාවැටෙමින් තිබුණේ. 2012 වසරේ මම එහි සභාපති ධුරයට පත්වුණා. 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් පරදින අවස්ථාව වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළ ලෙස සම්මානයකුත් දිනාගෙන තිබුණා. එය තවදුරටත් ඉහළ නැංවීමේ සැලසුම් රාශියක් මා සතුව තිබුණත් ජනාධිපතිවරයාගේ පරාජයත් සමඟ මමත් ඊට පසුදිනම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා."

එතැන් පසු ආචාර්ය නාලක ගොඩහේවාගේ ජීවිතය දේශපාලන කටයුතු සමඟ වඩාත් සමීප වන්නේ එවක පැවති යහපාලන රජය පිළිබඳ ඔහු කළ විවේචන නිසාය.

"මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලය ගැන මුලින්ම විවේචනය කළේ මමයි. මහබැංකු බැඳුම්කර මංකොල්ලය සරල බසින් කියලා මම ඉදිරිපත් කළ වීඩියෝවක් ලක්ෂ ගානක් නරඹලා තිබුණා. ඒ සියල්ල නිසා යහපාලන ආණ්ඩුවෙන් මට ගොඩක් කරදර විඳින්න සිදු වුණා.ජනාධිපති කොමිෂම, අල්ලස් කොමිෂමට වගේම සී.අයි.ඩී.යට පවා මාව කැඳෙව්වා. නමුත් ඒ එකක්වත් ඉදිරියට ගෙනියන්න බැරිව මාස කීපෙකින් ඔවුන්ම අතෑරලා දැම්මා. ඒ කාලේ තිබුණු ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගෙන් 2015 නොවැම්බර් මාසයේදී මට ඇරයුමක් ලැබුණා අයවැය ගැන වැඩසටහනක් කරන්න කියලා. මම ඒ වැඩසටහන කළාම යහපාලන ආණ්ඩුව නැවත වරක් මට විරුද්ධව නඩුවක් දැම්මා. නමුත් මම දිගටම ඒ අසාධාරණයට විරුද්ධව හඬ නැඟුවා. 2016 වියත්මඟ සංවිධානය බිහිවන්නේත් ඒ අනුවයි."

ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විද්වතුන් පිරිසක් දේශපාලනයට පිවිසෙන්නේ වියත්මඟ හරහාය. ඒ වන විට ඔහු වැනි උගත් වෘත්තිකයන්ට ඉහළ ජන ප්‍රසාදයක් ගොඩනැඟෙමින් තිබිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ආචාර්ය ගොඩහේවාට ආරාධනා කරන්නේ ද ඒ ජනප්‍රසාදය හේතුකර ගෙනය.

" මැතිවරණයකට ඉදිරිපත් වීමේ කිසිදු අදහසක් ඒ වන විට මා තුළ තිබුණේ නැහැ. අඩුමතරමේ තරග කරන්නේ මොන දිස්ත්‍රික්කයෙන්ද කියලවත් මට අදහසක් තිබුණේ නැහැ. මම ජීවත් වුණේ කොළඹ වුණත් ගම්පහින් තරග කරන්න කියලා කිව්වේ පක්ෂයෙන්මයි. ගම්පහ මට කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා මුල ඉඳන්ම හැමදේම පටන් ගන්න සිදු වුණා. මුලින්ම තුන් හතර දෙනෙක්ගෙන් පටන්ගත්ත මගේ මැතිවරණ ව්‍යාපාරය වැඩි දවසක් යන්න කලින් විශාල පිරිසක් බවට පත්වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ හැම ගමකටම වගේ මම ගියා."

එසේ ලබාගත් ජනතා ප්‍රසාදය ඔහුට මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමේ භාග්‍යය උදාකර දුන්නේය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පළමුවැන්නා පමණක් නොව ලංකාවේ වැඩිම මනාප ලැබූ තෙවැන්නා බවට පත්වූයේද ආචාර්ය නාලක ගොඩහේවා ය. ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම එවැනි විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දෙමින් තමා විශ්වාස කළ ජනතාවට ඔහු කෘතගුණ සලකන්නේද අපූරු ආකාරයකටය.

"මැතිවරණ ව්‍යාපාරයේදී මම ජනතාවට පොරොන්දුවක් දුන්නා ඡන්දෙන් දිනුවොත් මම ගම්පහ පදිංචියට එනවා කියලා. මගේ පදිංචිය කොළඹ නිසා දේශපාලන කටයුතු කරන්න ගම්පහ ස්ථානයක් අවශ්‍ය නිසා තමයි මම ඒ තීරණය ගත්තේ. ඡන්දේ දිනපු ගමන්ම මම මැතිවරණයට පාවිච්චි කළ ජිප් රථය විකුණලා බැංකුවෙන් විශාල ණය මුදලකුත් අරගෙන තමයි ගම්පහ ඉහළ යාගොඩ ඒ ගේ හදන්න පටන් ගත්තේ. අවුරුදු දෙකක් තිස්සේ හදපු ඒ ගෙදරට පදිංචියට යන්න මාසයක් විතර තියෙද්දි තමයි මැයි 9 වැනිදා ගිනි තිබ්බේ. ගේ හදන්න ගත්ත බැංකු ණය මිලියන 40ක් විතර ගෙවන්න තියෙනවා. ඊට අමතරව ජිප් එක විකුණලා ගත්ත මිලියන 10ත් එක්ක මිලියන 70ක විතර අලාභයක් ඒ ගිනි තැබීම නිසා මට සිද්ධ වුණා."

ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවල තත්ත්වය කෙබඳුද යන්න පිළිබඳ අප ආචාර්ය ගොඩහේවා ගෙන් විමසුවෙමු. 

"ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවෙන්නෙ නැති තරම්. මම කවදාවත් පොලිස් ආරක්ෂාව ගත්ත කෙනෙක් නෙවෙයි. පොලිස් ආරක්ෂාව තියා මම පිස්තෝලයක්වත් අරගෙන නැහැ. කවදාවත් බැකප් වෙහිකල් එකක් පාවිච්චි කරලත් නැහැ. මගේ ලොකු විශ්වාසයක් තිබුණා ජනතාව අතර මම සුරක්ෂිතයි කියලා. ඒකට හේතුව මම වැරදි වැඩ කරලා නැහැ, ජනතාවගේ මුදල් හොරකම් කරලා නැහැ. මගේ වාහනේ හැමදාම ගියේ මමත් රියැදුරාත් පමණයි. ගිනි තියපු ගම්පහ ගෙදරටත් විශේෂ ආරක්ෂාවක් යොදවලා තිබුණේ නැහැ. එහි ආරක්ෂාවට හිටියෙ මගේ හිතවතුන් විසින් යොදවා තිබූ දෙන්නෙක්."

ආචාර්ය නාලක ගොඩහේවා ඒ සිදුවීම සම්බන්ධයෙන් වඩාත් කනගාටු වන්නේ තමා පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් දේශපාලනයේ නිරත වූ අයකු නොවන නිසා බව ද ඔහු අවධාරණය කළේය.

" පෞද්ගලික අංශයේ ලක්ෂ 13ක පමණ ඉතා හොඳ මාසික වැටුපක් ලබමින් සිටි මම 2009දි සභාපතිවරයෙක් විදිහට රුපියල් 75,000ක වැටුපකට ආණ්ඩුවට වැඩ කරන්න ආවේ ඒ නිසයි. දේශපාලනය තුළින් මට පෞද්ගලිකව අත්පත් කරගත යුතු කිසිවක් නැහැ. මමත් මගේ බිරියත් දියණියත් හැමදාම ගත කළේ බොහොම සරල ජීවිතයක්. මගේ බිරිය මනෝරිත් මම වගේම විදුලි සංදේශ ඉංජිනේරුවරියක්. දරුවාගේ කටයුතු වෙනුවෙන් ඇය පසුකාලීනව රැකියාවෙන් ඉවත් වුණා. දැන් දියණිය නිත්‍යා ත් රැකියාවක් කරනවා. මාත් එක්ක විදුලි සංදේශ උපාධිය හදාරපු කණ්ඩායමෙන් සියයට 98ක් විතර ඉතා කෙටි කාලයකින් විදේශගත වුණා. ඒ විෂයය හදාරන්න තෝරාගන්නේ 250ක් 300ක් අතර සංඛ්‍යාවකගෙන් 50ක් වගේ බොහොම සීමිත පිරිසක්. නමුත් මම කවදාවත් රට යන්න හිතුවේ නැහැ. ඒ වගේම මගේ දරුවවත් විදේශ විශ්වවිද්‍යාලයකට ඇරියේ නැහැ. ඒ අපි මේ රටට ආදර් කරපු නිසයි, රට ගැන විශ්වාස කරපු නිසයි."

එසේ වුවද සිය දැනුමින් අත්දැකීම්වලින් මේ රටට ඉටුවිය යුතු සේවය නායකයන් විසින් නිසි පරිදි ලබානොගැනීමේ කනගාටුව ද ඔහු තුළ වේ.

"මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලේ වත්මන් ජනාධිපතිතුමාගේ ආර්ථක ප්‍රතිපත්තිය හැදුවේ මමයි. ඒත් බලයට පත්වුණාට පස්සේ එතුමා වෙන පිරිසක් එක්ක ආර්ථිකය කළමනාකාරණය කරන්න ගිහින් තමයි මේ අවුල හදාගත්තේ. දැන් වුණත් අවස්ථාවක් ලැබෙනවා නම් මේ ආර්ථිකය ගොඩගත හැකි ඉතා හොඳ සැලසුම් මා සතුව තිබෙනවා."

මැයි 9 වැනිදා රට පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට රටේ තරුණ පිරිස වැඩි දායකත්වයක් දැක්වූ බවට ඇතැම් පිරිස් චෝදනා කළද ආචාර්ය නාලක ගොඩහේවා ඒ පිළිබඳ දරන්නේ මෙවැනි අදහසකි.

"යම් යම් පිරිස් විවිධ ආකාරයට දේශපාලනය කරනවා. ගාලුමුවදොර අරගලය ඉතාම ඉක්මනට සමාජගතවුණා. විශේෂයෙන් මධ්‍යම පාන්තික සහ තරුණ පිරිස නිර්මාණශීලිව පැවැත්වුණු ඒ අරගලය වටා ඒකරාශි වුණා. අපිත් අපේ හැකියාව අනුව පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය තුළ ඒ සඳහා සහයෝගය දුන්නා. මම කැබිනට් මණ්ඩලෙන් ඉල්ලා අස්වීමත් ඊට සහයෝගය දීමක්. නමුත් පහුවෙද්දි විවිධාකාර අරමුණු තියෙන පුද්ගලයන් සහ හොරු රාශියක් අරගලය තුළට රිංගාගත්තා. ඒ සමඟම මධ්‍යම පන්තිය සහ තරුණ පරපුර එයින් ඉවත් වුණා. දැන් ගාලුමුවදොර අරගලයේ ඉන්නේ රස්තියාදුකාර පිරිසක් පමණයි."

මේ දිනවල රට පුරා ඇතිවෙමින් තිබෙන මහජන විරෝධතා පිළිබඳ ආචාර්ය නාලක ගොඩහේවා දකින්නේ මෙලෙසිනි.

"වයස් භේදයකින් තොරව හැම මට්ටමකම ජනතාව තුළ ආණ්ඩුවට එරෙහිව මතවාදී විරෝධතාවක් තියෙනවා. ඒ විරෝධතා ආණ්ඩු පෙරළියක් දක්වා ගෙනයන්නේ කොහොමද කියන කාරණාව ගැනත් විවිධ මත තියෙනවා. ඇතැම් අය බලහත්කාරයෙන් ආණ්ඩු පෙරළීමක් ගැන කතා කරනවා. ඒත් මගේ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයකින් මේ ප්‍රශ්නය විසඳාගත යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැර වූ විසඳුම්වල ප්‍රතිඵලය ඉතා භයානක බව අපි මැයි 09 වැනිදා සිදුවූ සිදුවීම්වලින් ඉතා පැහැදිලිව දැක්කා. වාහනයක් තියෙන මනුස්සයෙකුට පාරේ යන්න බැරි තත්ත්වයක් එදා තිබුණේ, වාහනවලින් එළියට ඇදලා දාලා පහර දුන්නා. ඒ නිසා අවශ්‍ය වෙනස ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතුයි. එය දේශපාලඥයන් වගේම ජනතාවත් තේරුම් ගත යුතුයි."

Comments