මහ සයුරේ ගැඹුරු දියට ජීවිතය උකස් කර වැල්ලේ මාළිගා තනන අසරණ මිනිස්සු | Page 2 | සිළුමිණ

මහ සයුරේ ගැඹුරු දියට ජීවිතය උකස් කර වැල්ලේ මාළිගා තනන අසරණ මිනිස්සු

- ජූනි මස පමණක් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ගොස් පිටුවල් කළ ශ්‍රී ලාංකේය පිරිස 79 ක්
- අවස්ථා 09ක දී වෙරළ තීරයේ දී අත්අඩංගුවට පත් සංඛ්‍යාව 150ක් 
- ජනවාරි 01 දා සිට මේ දක්වා බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යෑමට ගොස් අත්අඩංගුවට පත් වූ පිරිස 634ක්
- නැඟෙනහිර මුහුදේ බෝට්ටු 05 ක්, වයඹ මුහුදේ දී බෝට්ටුවක්, බස්නාහිර මුහුදේ දී බෝට්ටු 05 ක් අත්අඩංගුවට
- හැත්තෑවකට වැඩි පිරිසක් සිටි එක් බෝට්ටුවක කාන්තාවෝ 05ක්, ළමුන් 04ක් සහ මාස 09ක් වයසැති ළදරුවකුත් ඉඳලා

මේ අපේක්ෂා භංගත්වයට පත් වූ මිනිසුන් සොයා ගිය ගමනකි. ඇතැම්හු ඉන්දියාවට හෝ පැන ගොස් ජීවත් වීම සඳහා උත්සාහ කරති. යුරෝපයට හෝ ඔස්ට්‍රේලියාවට යන ගමන වෙනුවෙන් ඒ මිනිස්සු දිවි පරදුවට තැබීම තේරුම් ගත හැකිය.

මේ ලියමන පටන් ගත් අවස්ථාවේත් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යෑම සඳහා පැමිණි තවත් හතර දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ. ඒ වැල්වැටිතුරෙයි දී ය.

සංඛ්‍යා ලේඛන බෙහෙවින්ම වෙනස්වන සුලුය. පසුගිය ජනවාරි 01 සිට මේ ලියන මොහොත දක්වා බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යෑමට ගොස් අත්අඩංගුවට වූ පිරිස 634කි.

නාවික හමුදා මධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වාගෙන් විමසන අවස්ථාව වනවිට 484ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුදේ දීය. ඒ බෝට්ටු 11ක් සමඟිනි. නැඟෙනහිර මුහුදේ බෝට්ටු 05ක්, වයඹ මුහුදේ දී බෝට්ටුවක්, බස්නාහිර මුහුදේ දී බෝට්ටු 05ක් අත්අඩංගුවට පත් වී තිබේ.

අවස්ථා 09ක දී 146ක් දෙනෙක් වෙරළ තීරයේ දී අත්අඩංගුවට පත් වී තිබේ. දැන් ඊට තවත් සිවුදෙනෙක් එක් විය යුතුය. ඒ අනුව මේ අවස්ථාව වනවිට අවුරුද්ද පුරා රටින් පිටවී ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යෑමට උත්සාහ කර අත්අඩංගුවට පත් පිරිස 634කි.

ආරක්ෂක අංශවල ඇස් වසා පැන්න මිනිස්සු

සමුද්‍රාරක්ෂණ පද්ධතියේ ඇස් වසා බෝට්ටු හයකින් පුද්ගලයන් 137ක් ඔස්ට්‍රේලියාවට ගොස් තිබිණි. ඔස්ට්‍රේලියාව ඔවුන් ආපසු හරවා එව්වේය.

ජූනි 09 වැනිදා 15 දෙනෙක් එව්වේය. තවත් ලාංකිකයන් 41 දෙනෙක් ඔස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් පසුගිය මස 18 වැනිදා ලංකාවට පිටුවහල් කළේය. පසුගිය 20 වැනිදා ශ්‍රී ලාංකේයන් 23 දෙනෙක් ගුවන් මගින් යළි ලංකාවට එවා තිබිණි. ජූනි මස පමණක් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ගොස් පිටුවල් කළ ශ්‍රී ලංෙක්යන් ගණන 79ක් විය.

දිවි පරදුවට තැබූ මිනිස්සු සිළුමිණ ට කී කතාව

“2022.06.07 අපිව අල්ලා ගත්තා.“ මේ මහා අවධානමක් සහිත ගමන දෙවතාවක්ම අත්හදා බලා හොඳටෝම වරද්දා ගත් ඔහු අප සමඟ කතා කරන්නට පටන් ගත්තේ එසේය.

මුලින්ම මේ රටෙන් යන්න හිතුවේ 2014 අවුරුද්දේ. එතකොට මට වයස අවුරුදු 28යි. ඒ ගමන ගැන මතක් කරන්න ඕන. අන්තිම මොහොතෙයි බලාපොරොත්තු අත්හැරුණේ. 2014 එකොළොස්වැනි මාසෙ. දවස් 16ක් මුහුදෙ ගියා. කොකෝස් දූපත ළඟඳී තමයි ඔස්ට්‍රේලියන් නේවි එකට අහුවුණේ.

අපිව අත්අඩංගුවට අරන් එයාලගෙ නැවකට මාරු කළා. නැවට ආවා ලංකාවේ තුන් දෙනෙක් අපේ කට උත්තර ගන්න. එක්කෙනෙක් සිංහල. අනෙක් දෙන්නා දෙමළ. සිංහලෙන් සහ දෙමළෙන් කටඋත්තර ගත්තා. ඉතින් නැවට ගත්තු නිසා අපි හිතුවා මේ යන්නේ ඔස්ට්‍රේලියාවට තමයි කියලා.

ඒත් නැවෙන්ම ඒ අය අපිව ලංකාවට අරන් ඇවිත්. ගාලු මුහුදෙදි අපිව ලංකාවේ නේවි එකට බාර දුන්නා. පස්සෙ අල්ලලා නඩු දැම්මා. තවමත් ඒ නඩුව තියනවා. “

ඔහු දෙවැනි වර ඔස්ට්‍රේලියාවට යන්නට උත්සාහ කරන්නේ ඒ නඩුව තිබෙන අතරතුරය. මෙවර මේ ගමනට ඔහු සිය බිරියත් එක් කරගෙන සිටියේය. විශේෂත්වය වන්නේ මේ කිසිම අවස්ථාවක ඔහු ගමන සංවිධානය කළ ආකාරය හෝ ඒ සඳහා යෙදවූ මුදල සම්බන්ධව ප්‍රකාශයක් නොකිරීමය.

“ මේ රටේ දැන් කොහොමද ජීවත් වෙන්නෙ කියන්න. අපි මුහුදු රස්සාව කරන මිනිස්සු. දැන් අපිට අත්වෙලා තියන ඉරණම අපිට වඩා ඔයාල දන්නවා. ඒ හින්දා තමයි නෝනත් එක්කම මේ පාර යන්න උත්සාහ කළේ. අපි ගියේ 06 වැනිදා හවස. පොඩි බෝට්ටුවලින් දියඹට ගියා. දියඹෙ ලොකු බෝට්ටුව නවත්වලා තිබුණා. බෝට්ටු 10කින් සෙනඟ ආවා. බෝට්ටු 04කට එන්න බැරි වුණා. අපි ඉතින් 76ක්. හවස පහ හමාරට විතර ඇති අපි ඔක්කොම මහ බෝට්ටුවට නැඟලා ඉවර වෙනකොට.

කෑම බීමත් ඔක්කොම තිබුණා. ඇතිවෙන්න තෙලුත් තිබුණා. ගමන පිටත් වෙලා පැය හය හමාරකින් විතර රංගල නාවික හමුදා කඳවුරේ කට්ටිය ඇවිත් අපිව අත්අඩංගුවට ගත්තා.“

“ඉතින් දැන් ආයෙත් නඩු?.“ මම විමසුවෙමි.

“ ඔව්... නඩු... ඒත් අවදානමක් අරන් නඩුත් දාගන්න එක හොඳයි මේ රටේ මෙහෙම ජීවත් වෙනවට වැඩිය. මමත් තොඩුවාවේ. ධීවර රස්සාව කළේ. මට දැන් වයස 36ක්. අපේ අය කී දෙනෙක් නම් ගියා ද ඔස්ට්‍රේලියාවට. ගිහින් ඒ මිනිස්සු හොඳින් ඉන්නවා. සමහර ගිය අය ආපහු ආවා. තවත් සමහර අයව භාර ගත්තා. ඒක තීරණය කරන්නෙ ඒ රට. කන්න බොන්න නැතිව මැරෙන්න වැටිලා ඉන්න අපි යන්න හරි උත්සාහ කරන්න ඕන කියලා හිතුවා. මේ පාරවත් හොඳක් වෙයි කියලා හිතුණා“.

මේ මිනිස්සුන්ගේ ආකල්පය පුදුම සහගතය. ඔස්ට්‍රේලියාව නිශ්චිත ලෙස කියන්නේ කිසිම නීති විරෝධී සංක්‍රමණිකයෙක් බාර නොගන්නා බවය. මේ රටේ බලධාරීන් යළි යළිත් මේ ගමන නොයන ලෙස අවවාද කරන්නේය. ඒත් මේ පිරිස් බෝට්ටුවෙන් තරණය කරන සිය ඔස්ට්‍රේලියානු හීනය අත්හැර නැත.

“ තව පාරක් චාන්ස් එක්ක ආවොත් ට්‍රයි කරනවා“ රුපියල් මිලියන ගණනක් අහිමි කරගෙන නඩු දෙකක් දාගෙන සිටින තොඩුවාවේ තැනැත්තා අපට කීවේ එසේය. ඒ ස්ථාවරය නම් පුදුමාකාර බව සිතිණි.

තවත් එවැනි අත්දැකීමක් සහිත මාරවිල තරුණ පියෙක් මේ බෝට්ටු ගමන වැරදුණු හැටි ගැන කීවේය. ඔහුගෙ බිරිය මැදපෙරදිග රැකියාවකට ගොස් ඇත්තේ ඔහු මේ ගමන පිටත් වෙන්න දින දෙකකට පෙරාතුවය. ඔහුගේ ඥාති සොහොයුරකු ඉතාලි ගොස් ඇත්තේත් බෝට්ටුවෙනි. දියණියන් දෙදෙනකුගේ පියෙක් වූ ඔහු සිය 12 හැවිරිදි වැඩිමල් දියණිය සමඟ ඔස්ට්‍රේලියානු හීනය බෝට්ටුවෙන් තරණය කිරීමට උත්සාහ කරන්නේ සිය සිවු හැවිරිදි බාල දියණිය බිරියගේ සොයුරියට බාර කරමිනි. හීනයේ ගැඹුර ඉතින් ඔබ තේරුම් ගත යුතුය. මම ඒ තරුණ තාත්තා කියන කතාව අසාගෙන සිටියෙමි.

“ මම මුහුදු රස්සාව කළ මනුස්සයෙක්. අන්තිමට මාළු ලෑල්ලක් කළා. මුහුදෙ ජීවිතේ අපිට හොඳටම පුරුදුයි. මේ රටින් පැනගන්න හැදුවේ මීට අවුරුදු 20කට විතර කලින්. ඒ යන් හැදුවේ ඉතාලියට. ඒක මාස එක හමාරකට වඩා වැඩි ගමනක්. මුලින්ම ඊජිප්තුවෙ කයිරෝවලට. ඊට පස්සෙ එතැනින් ඉතාලියට. කයිරෝවලට යන්න මාසයක් යනවා. කයිරෝ ඉඳලා සතියක් යනවා ඉතාලියට. ඒ ගමන හරිම දුෂ්කයි. කෑම දෙන්නෙ සීමා කරලා. වතුර දෙන්නෙ සීමා කරලා. දෙන දෙයක් කාලා ඉවසීමෙන් ඉන්න ඕන ගමනක්. අපට ඉතාලියට යන්න බැරි වුණා. කයිරෝවලදි අපි අහු වුණා. ආයෙ ලංකාවට එව්වා.“

ඊට පස්සෙ පුළුවන් විදිහට රස්සාව කරගෙන හිටියා. අපේ ගමේ ගොඩක් දෙනෙක් පහුගිය යුද්ධ කාලෙන් පස්සෙ ඔස්ට්‍රේලියාවට පැන්නා. අපේ ගිය අය එහෙ ඉන්නවා. ඒ අයත් කතා කරනවා. මේ අතරෙ තමයි ජීවිතේ හරිම අමාරු වෙන්නෙ.

මොකද කරන්නෙ කියලා කල්පනා කරමින් ඉන්නකොට මීට මාස එක හමාරකට කලින් තමයි මට ආරංචිය ආවේ කට්ටියක් තොඩුවාවෙන් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවක යන්න හදනවා කියලා. දවස් පහළොවයි ගමන. පෙර අත්දැකීම් එක්ක ඒක ලොකු කාලයක් නෙමෙයි. ඉතින් මම ලොකු දුවත් කතා කරගත්තා ගමනට..“ මොහොතකට ඔහුව නවත්වා විමසීමි.

“ ඔයාට මේ අවදානම ගන්න පුළුවන්. ඒත් හිතුවෙ නැද්ද මේ පොඩි එකා මේ වැඩේට එකතු කරගන්න එක අපරාධයක් කියලා.“

ඔහු සිනාසුණේය.

“ අපි ජීවිතේම මුහුද එක්ක හිටපු මිනිස්සු. මහ බෝට්ටු ගැන දන්නවා. ඒවයෙ වැඩ කරලා තියනවා. එහෙම අවදානමක් ඒ බෝට්ටුවක නෑ, පෙරළුණා කියලා ආරංචි වෙලා තියනව ද? ඒ බය අපට නෑ. ඒක තමයි දුවත් එකතු කරගත්තේ. දුව ඉස්කෝලෙන් අයින් කරගන්න හැදුවේ නෑ... මොකද මේ ගමනෙදි නේවි එකට අහුවෙලා ආපහු එවන්න පුළුවන්. එහෙම නැතිනම් ඔස්ට්‍රේලියාවෙන් එවන්න පුළුවන්. ඇත්තටම මම පොඩිම දුවත් එක්ක යන්න තමයි හැදුවේ. ඒත් නෝනා ඒකට කැමති වුණේ නෑ. එයා කිව්වෙ පොඩි දුව අක්කා ගාව තියලා ලොකු දුව එක්ක යන්න කියලා.“

“මුලින් ගමනට දෙන්නගෙන් ලක්ෂ 12ක් ඉල්ලුවා. දුවත් එක්ක යන නිසා ලක්ෂ 10ක් කළා. ගමන ලෑස්ති කරලා තිබුණේ තොඩුවාවෙ කෙනෙක්. ලක්ෂ 09ක් ඉල්ල ගත්තේ ඉතාලියෙ ඉන්න මම අර කලින් කියපු මගේ ඥාති මල්ලිගෙන්. එයත් ඉතාලි ආවේ බෝට්ටුවේ නිසා එයාට මේ අත්දැකීම තියනවා. එයා මට කිව්වා පුළුවන්නම් යන්න. ට්‍රයි කරලා බලන්න කියලා. එහෙම තමයි අපි සල්ලි දුන්නේ.“

“මහ බෝට්ටුව තිබුණෙ මුහුද මැද. අපි මහ බෝට්ටුවට ගියේ පොඩි බෝට්ටුවලින්. මම හොඳටම දැක්කා ඇති තරම් කෑම තෙල් තියෙනවා කියලා. මේ වගේ ගමන් යනකොට මේ ගමනටම බෝට්ටු සල්ලි දීලා අරන් කෑම ඉන්ධන එක්ක සූදානම් කරනවා.

එදා ජූනි 06. අපිත් එක්ක පොඩි බෝට්ටු ගණනාවකින් හැත්තෑවට වැඩි පිරිසක් ඇවිත් හිටියා. කාන්තාවෝ 05යි. ළමයි 04යි. මාස 09ක දරුවෙකුත් එතන. අපි හවස පහට විතර පිටත් වුණේ. ඒත් පහුවදා පාන්දර විතර වෙනකොට අපිව අහු වුණා.“

ලක්ෂ 10 නැති වීම ගැන විමසුවෙමි. ඒ ගැන ලොකු දුකක් නෑ. මීට වඩා දේවල් නැතිවෙනවා මිනිස්සුන්ට.

ගෙදර ආපු දවසෙම අක්කා ගාව ඉන්න පොඩි දුව එක්කගෙන ආවා. දැන් ලොකු දුව ආයෙ ඉස්කෝලෙ යනවා. දරුවන්ට කන්න උයලා දීගෙන ඒ අය බලාගෙන ඉන්නවා.“ ඔස්ට්‍රේලියාවට ගිය තොඩුවාවේ වැල්ලේ ඥාතීන් හමුවන සිහිනය තවමත් ඔහුගේ හිතේ කෙළවරක ඇති ආකාරය දුටුවෙමි.

මේ තිව්‍ර ගැටලුව මැඬ පැවැත්වීම සඳහා භූමියේ ප්‍රධාන වගකීම දරන්නේ නාවික හමුදාවය. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන ආකාරයට මේ මිනිස් ජාවාරම ඉතාම සැලසුම් සහගතව සිදුවන්නකි.

“ලංකාව වටේ මුහුද කිලෝ මීටර එක්දහස් තුන්සිය හතළිහක් තියනවා. රටවටා සිදුවන සියලුම නීති විරෝධි කටයුතු වැළැක්වීම සඳහා වූ විධිමත් ආරක්ෂක පද්ධතිය ඇතුළෙ අපට මුහුණ දෙන්න වෙලා තිබෙන එක් ප්‍රධාන ගැටලුවක් තමයි මේ නීති විරෝධී සංක්‍රමණ. “

“ මිනිස් ජාවාරම කරන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මේ ගමන සංවිධානය කරනවා. බොහෝ විට මේ සම්පූර්ණ ගමනක් සඳහා ඒ අය ඉල්ලන්නෙ ලක්ෂ දහයක්. බාගයක් දීලා තමයි බෝට්ටුවට නගින්නෙ. ඉතිරි අඩ ඒ අයගෙ ගමන සම්පූර්ණ වුණාම. බොහෝ විට මේ ගමන සඳහා එකතුවන අයෙකුගේ ගාස්තුව මූලිකවම ලක්ෂ පහක්.“

“ බෝට්ටු ගමන සංවිධානය කරන අය පරණ බෝට්ටු මිල දී ගන්නවා. මිලදී ගන්නෙ සල්ලි දීලා ගමන යන්න ලෑස්තිවෙන විශ්වාසවන්ත කෙනකුගෙ නමට. ඒ වෙනුවෙන් ඒ පුද්ගලයා නොමිලේ ගමනට එක්ක යනවා. අත්අඩංගුවට ගත්තට පස්සේ අයිතිකාරයා වෙන්නේ ඒ පුද්ගලයා.“

මේක විශාල ජාවාරමක්. ගමන සංවිධානය කරන කෙනා සල්ලි ටික අරන් හැංගෙනවා. නීති ක්‍රියාත්මක කරන අයට ජාවාරම් කාරයන් සොයා ගන්න අමාරු ඒ නිසා.

පසුගිය ජනවාරි මස වනතුරු ඉන්දියාවෙ වැලි පරවලට උතුරේ මිනිසුන් ගෙන ගොස් අතහරිමින් සිටි මිනිස් ජාවාරම ඔස්ට්‍රේලියාව වෙත හැරවීමට මිනිස් ජාවාරම්කරුවන් කටයුතු කරන්නේ ඒ ර‍ටේ දේශපාලන වෙනස්කමය. දැන් බලයේ ඉන්නේ ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයය. 2013 බුරුතුපිටින් ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාවට ගිය වකවානුවේ ඒ ආණ්ඩුව කළේ කම්කරු පක්ෂය ය. මානුෂීය පදනම මත සරණාගතභාවය නීති විරෝධී සංක්‍රමණිකයින්ට ලබා දුන් එම රජය පෙරළුනේය. එම බල පෙරළියට එයත් එක් හේතුවක් වූ බව කියැවිණි.

කෙසේ වෙතත් මේ දේශපාලන වෙනස මිනිස් ජාවාරම් කරුවන්ට යළි ඔස්ට්‍රේලියාව වෙත යොමු වීමට හේතු සපයා ඇති බව බුද්ධි තොරතුරු හෙළි කර තිබිණි. එහෙත් අතීත අත්දැකීම් මත සංක්‍රමණිකයන් සම්බන්ධව දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් ඇත. එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදයත් මේ ජාවාරම් කාරයින්ට සිය ජාවාම කරගෙන යෑමට ඉඩ ප්‍රස්ථා සලසා දී ඇත. බොහෝ විට ලක්ෂ දෙකක් හෝ තුනක අත්තිකාරමක් ගෙන බෝට්ටුවට පුද්ගලයින් නන්වන මිනිස් ජාවාරමේ මහමොළකරුවන්ම පසුව පිටත් වූ කණ්ඩායම සම්බන්ධව පොලිසියට ඔත්තුව සපයන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

හතළිස් දෙනෙකුගේ කණ්ඩායමකින් ලක්ෂ අසූවක් එකතු කරගෙන බෝට්ටුවට සහ වෙනත් සැපයුම් වලට ලක්ෂ 50ක් වියදම් කළත් ලක්ෂ තිහක් ජාවාරම් කරුට හිමිය. මේ නීති විරෝධී සංක්‍රමණය සම්බන්ධව හිතකින් හෝ නොහිතන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේය.

“කිසිම ආකාරයකින් නීති විරෝධී සංක්‍රමණිකයන්ට රටට ඇතුළු වීමට හෝ කිසිම අවස්ථාවක් ඔස්ට්‍රේලියානු රජය ඉඩ ලබා දෙන්නෙ නෑ. නිරන්තරයෙන් ඔවුන් සෝදිසියෙන් ඉන්නෙ. ගියත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරන් පිටුවහල් කරනවා. මේ පිටුවහල් කරන අය අපට ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. අවසානයේ නඩු පවරනවා.

වරදකරුවො වුණොත් රුපියල් පනස් දහසකට නොඅඩු, රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට ඔවුන්ට යටත් වෙන්න සිද්ධ වෙනවා. මාස හයකට නොඅඩු වසර පහකට නොවැඩි සිර දඬුවමකට ලක් වීමට සිදුවෙනවා.“

මේ ගමන ඉතාම අවදානම් සහිතයි. මේ බෝට්ටුවල වැඩි පිරිසක් නංවනවා. ගැඹුරු මුහුදේ දින දාහතරක් ගමන් කළ යුතුයි. බෝට්ටුවට දැරිය නොහැකි පිරිසක් රැගෙන අබලන් බෝට්ටුව දින 14ක් ගමන් කිරීම අවදානමක් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව පවසන්නේය.

එහෙත් අබලන් බෝට්ටුවක ගැඹුරු මුහුදේ කරන සංචාරයක අවදානමත් මේ රටේ ජීවත් වීමේ අවදානමත් දෙපැත්තකට ගෙන තක්සේරු කරනවිට මිනිස්සු උත්සාහ කරන්නේ බෝට්ටුවෙන් හෝ වෙනත් රටකට පැන ගැනීමේ අවදානම ගන්නටය. ඉතිහාසයේ එක් මාසයක් තුළ නිකුත් කළ වැඩිම ගුවන් බලපත්‍ර ප්‍රමාණය නිකුත් වන්නේ ඉකුත් ජූනි මාසයේය. මෙසේ විදෙස් ගතවීමට වැඩි වශයෙන් ඉල්ලුම් කර ඇත්තේ තරුණයන්ය. නීත්‍යානුකූලව යා හැකි අය ඒ සඳහා පෙළ ගැසෙති. බැරි අසරණයන් බෝට්ටුවෙන් හෝ පලා යෑමට සැරසෙති.

Comments