පෝලිම් ගැන ජනතාව කියන කතා | සිළුමිණ

පෝලිම් ගැන ජනතාව කියන කතා

සතියක් දුවන්න පෙට්‍රල් ගන්න දවස් 3ක් පෝලිමේ 
සාරද ප්‍රතාප (30) කහංගම - කළමනාකරු

සතියක් දුවන්න කාරෙකට පෙට්‍රල් ගහන්න දින 3 විතර පෝලිමේ ඉන්න වෙනවා. මේ දවස්වල හුඟක් දෙනෙකුගේ ජීවිතවල රැය පහන්වෙන්නේ පෝලිම්වල, වාහන ඇතුළෙ, මහපාරේ, එදිනෙදා පිරිසිදුවීම්, වැසිකිළි භාවිතය, ආහාර පාන සපයා ගැනීමත් හරිම දුෂ්කරයි. ඒත් අපහසුතා විඳගෙන පෝලිමේ ඉන්න සිදුවෙලා රැකියාව සඳහා ළඟ පාත අයට නම් පාපැදි නැත්නම් පයින් හරි යා හැකියි. ඒත් පොදු ප්‍රවාහනයත් අඩාළ වෙලා තියන මේ වෙලාවෙ කොහොම හරි පෙට්‍රල් ටිකක් ගන්නයි කවුරුත් බලන්නේ. මේ ඉවරයක් නැති පෝලිම් නිසා මේ ගැන වග කිවයුත්තන් තාමත් ඉන්නේ ඇහැ කන පියාගෙන මර නින්දේ.

බලයේ ඉන්න පාලකයන්ටත් මේවට වන්දි ගෙවන්නම වෙනවා 
පෙන්සීලී ඇලෝමා පෙරේරා (70) රෝයල් ගාඩ්න් - රාජගිරිය, ජ්‍යොතිර්වේදිනී හා පෞද්ගලික ලේකම්

හදිසියකට බෙහෙත් ගන්න යන්න හරි වාහනයට පෙට්‍රල් තියෙන්න ඕනේ අපි වගේ වියපත් අය දැන් ඉන්ධන පෝලිම්වල මැරෙනවා. ධනවත් මිනිස්සුන් ඉන්ධන පෝලිම්වල අනිත් අය දෙන බත් පැකැට් එකෙන් සැනසෙනවා. මුදල් තිබුණත් ඉන්ධන හා වෙනත් අත්‍යවශ්‍ය දේ හිඟා කමින් දැන් හිඟන්නො නොවී පුලන්නෝ වෙලා. මේ හැම දෙයක්ම කොයි කාටත් සිදුවන්නේ කර්මානුරූපව. හැබැයි මෙලෙසින් අකටයුතුකම් කරන පාලකයන්ටත් මේවට වන්දි ගෙවන්නම වෙනවා. මේක නම් අරුම පුදුම පෝලිම් යුගයක්. නිමාවක් පෙනෙන්නෙ නැති. අපේ කාලෙ ඉවරයි. ඒත් අනාගත පරපුර?

පෝලිම්වල දැන් අමුතුම සංස්කෘතියක් බිහිවෙලා 
ඉන්දික සෙනෙවිරත්න (46) ගොඩකන්ද - ගාල්ල, රියදුරු අධිකරණ අමාත්‍යාංශය

රාජකාරිය සඳහා වුණත් තෙල් පෝලිමේ දවස් තුනක් එකම ඉරියව්වෙ ඉදලා කකුල් හිරිවැටිලා, ඉදිමිලා මේ පෝලිම්වල ඉද්දි විවිධ තරාතිරම්වල අය හමුවෙනවා. විවිධ ප්‍රශ්න වගේම මූලික සෞඛ්‍ය පහසුකම්වත් ඉටු කරගන්න බැරුව සමහරු අන්න්ත දුක් විඳිනවා. ඒත් අතරමඟ පෝලිම දාල ගියොත් ආයෙත් අන්තිම කෙළවරේ සිට එන්න වෙන්නේ. කවුරුත් මාර කට්ටක් කන්නේ. සමහරු එකතු වෙලා කාඩ් ගහනවා. තවත් අය අඩි ගහනවා. තවත් අය උයාගෙන කනවා. සමහර වෙලාවට ගහගන්නවා. සමහර දවස්වල දානපතියන් කෑම, වතුර ගෙනත් දෙනවා. පෝලිම්වල අමුතුම සංස්කෘතියක් බිහිවෙලා. සමහරු වාහන ගෙනත් තියලා යනවා කට්ටියට බලාගන්න කියලා. සහයෝගයෙන් වැඩ කරගෙන යනවා.

ඉන්ධන පෝලිම් නිසා ජීවිත අවුල් වියවුල් වෙලා 
සාලිය සෙනෙවිරත්න (40) කැකිරාව, පෞද්ගලික බස් රියදුරු

තෙල් පිරිමහගෙන දවසකට ගමන්වාර දෙකයි දුවන්නේ කිරිල්ලවල - කොළඹ ඒක ඉවර වුනාම නැවත පෝලිමේ. මේ දවස්වල කොයි කාගේත් කාලය අපරාදේ නාස්ති වෙලා යනවා. පෝලිම්වල දවස් ගණන් පෝලිම්වල ඉද්දි වැඩ රස්සා කරන්නේ ගෙදර ජීවිතය ගෙනියන්නෙ කොහොමද තෙල් පෝලිම් නිසා රටේ හැමෝගෙම ජීවිත අවුල් වියවුල් වෙලා. සමහරු අවසන් ගමන් යන්නෙත් තෙල් පෝලිම්වල හැමෝම පුදුම තරම් පීඩනයක. දැන් සමහරු වෙන රස්සා අත්හැරලා පෝලිම්වල ත්‍රිවිලර්වලට තෙල් පුරවගෙන ඇදලා වැඩි ගානට විකුණනවා. පහුගිය කාලෙ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලට ගන්නත් පෝලිම් පාරවල්වල මේ දවස්වල වාහන දුවන්නේ අඩුවෙන්. ඒත් පෝලිම්වල නම් වාහන අඩුවක් නෑ.

ගැබිනියන්ටත් දැන් පෝලිමේ යන්න වෙලා 
නාමලී ලෙනෝරා (53) සුදුවැල්ල - මරදාන, ගෘහණියක්

ළමයින්ගේ වැඩවලටත්, ගෙදර බඩු ගෙන්නත් දැන් ත්‍රිවිල් එකක් හයර් එකට ගන්නත් බෑ. ගණන්. මෝටර් සයිකලේට තෙල් ලීටර් කීපයක් ගහගන්නත් පුදුම පෝලිමක්. එන්න එන්නම තත්ත්වය දුෂ්කරයි. පිරිමි නම් දින ගණන් පෝලිමේ ඉදී. ඒත් අපි ඉන්නේ කොහොමද? ළමයි ගෙවල්වල තනියෙන් දාලා මහත්තයා පෝලිමට ගියාම රස්සාවට යන්නෙ කොහොමද? වැඩි ගානට පෙට්‍රල් ගන්න නම් තියෙනවා. ඇත්තටම හරිම ශෝචනීය තත්ත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ. කොයි අත බැලුවත් පෙට්‍රල් පෝලිම්. ඒ මදිවට එතනත් සමහරුන්ට ප්‍රමුඛත්වය දෙනවා. ෂෙඩ්වලත් ගැටුම්. සමහර පොලිස් හමුදා නිලධාරින්ගෙන් සාමාන්‍ය ජනතාවටත් කෙනෙහිලිකම් සමහර ගෙවල්වල අය ගෙදර ඉන්න වැඩිහිටියන්ව පෝලිමේ තියලා. මොකද කවුරුත් වැඩ රස්සාවලට යා යුතු නිසා.

පෝලිම් සංස්කෘතිය තුළ ජාති, ආගම් භේද නෑ 
එම්. ඩී. දුමින්ද කුමාර (35) කඩුවෙල, ත්‍රිවිල් රියදුරු

දවස් තුනකින් ගෙදර ගියේ නෑ. ඊයේ රැ ඉදලා කාල නෑ. ඒ මදිවට ෆෝන් එකේ බැටරි බැහැලා චාඡ් කරගන්න බෑ. කඩවල වැසිකිළියකට යන්න වෙන්නෙ; ඒකෙන් කෑම ගත්තට පස්සේ. අපේ පෝලිමේ හිටපු කෙනෙක් තමයි කාරෙක ඇතුළෙ මැරුණේ. වෙන රස්සාවක් අපිට නෑ. ත්‍රිවිල් දුවන්න තෙල් ඕනෙ නිසා දවස් තුනක් පෝලිමේ ඉදලා දවස් දෙකක් හයර් දුවනවා. ආයේ පෝලිමට එනවා. ඔහොම තමයි දැන් ජීවිතේ ගෙවෙන්නේ. මේ පෝලිම් සංස්කෘතිය තුළ ජාති, ආගම් භේද නෑ. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් එක බත් එක බෙදාගෙන කනවා. ඒත් අපේ හිත්වල තියෙන්නෙ දුක, වේදනාව, ගින්දර, ඒ වේදනාව තාවකාලිකව හරි මකාගන්නෙ එහෙමයි. මේ පාලකයන්ට මේවට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන දිනය වැඩි ඈතක නෑ.

Comments