
මේ ගතවෙමින් තිබෙන්නේ අප කාටත් දුෂ්කරතා රැසකින් යුතු කාලයකි. ඒ දුෂ්කරතා අතර මිනිස් වටිනාකම් ද පල්ලම් බැස යන බව කියැවෙන සිදුවීම් ද ඇතැම් විට වාර්තා නොවනවා නොවේ. රුපියල් සියයකට අහිංසක තරුණියකට දිවි අහිමි කළ නරුමයකු ගැන පුවතක් වාර්තා වූයේ මීට ටික දිනකට පෙරදීය. එවැනි නොමිනිසුන් අතර අනුන්ගේ දුකට සංවේදී වන හදවත් ද නැතුවා නොවේ.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සෑම තරාතිරමක ම ජනතාව දහසක් දුෂ්කරතා විඳිති. ඒ අතර අසනීපයකට බෙහෙත් ටිකක් ගන්නට රෝහලකට පවා යන්නට ප්‍රවාහන පහසුකම් සපයා ගත නොහැකි වීම ප්‍රධාන ගැටලුවකි. එසේ අසරණ වන ගැබිනි මවකට හෝ අසාධ්‍ය රෝගියකුට ඇතැම් විට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවිය හැකිය. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් තුළ ඉකුත් සතියේ මුහුණුපොතේ සංසරණය වූ පෝස්ටුවක් බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය.
පවතින අසීරු තත්ත්වය හමුවේ පින්දෙණිය, අටාල, අරන්දර ප්‍රදේශ අවට අසාධ්‍ය රෝගීන් සහ හදිසි තත්ත්වයේ පසුවන ගැබිනි මාතාවන් සිය පෞද්ගලික රථයෙන් කෑගල්ල රෝහල දක්වා නොමිලේ රැගෙන යා හැකි බව සඳහන් කර තිබූ එම පෝස්ටුවේ සඳහන් වී තිබුණේ පින්දෙණිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එස්.ඒ.ඩී.ඩී.එස්.පී. දිසානායක හෙවත් සමන්ත දිසානායකගේ දුරකථන අංකයයි. අඩු ආදායම්ලාභී වතු ජනතාව වැඩි වශයෙන් ජීවත් වන පින්දෙණිය ප්‍රදේශයේ ජනතාවට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දියත් කළ සද් කාර්යය පිහිටක් වී ඇති බව ඒ පිළිබඳ විමසීමේදී අපට දැනගන්නට ලැබිණ.
ඉන්ධන හිඟය හේතුවෙන් රටම පීඩා විඳින පසුබිමක පින්දෙණිය පොලිස් ස්ථානාධිපති එස්.ඒ. ඩී.ඩී. එස්.පී. දිසානායක නිල රථය වෙනුවට පාවිච්චි කරන්නේ සිය පෞද්ගලික යතුරු පැදියයි. ප්‍රදේශයට ඉන්ධන සපයන ගලිගමුව සහ කොටියාකුඹුර පිරවුම් හල් දෙකේම ඉන්ධන නොමැති පසුබිමක් තුළ ජනතාවට විශේෂයෙන්, අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට සහ ගැබිනි මාතාවන්ගේ ජීවිතයට සිදුවිය හැකි අවදානම වටහාගත් ඔහු ඒ වෙනුවෙන් 32-4149 දරන සිය පෞද්ගලික ජිප් රථය යොදවන්නට තීරණය කරන්නේ මීට ටික දිනකට පෙර අසන්නට ලැබුණු සිදුවීමක් මුල්කරගෙනය. ඒ ගැන වැඩි විස්තර අපට පැවසුවේ පොලිස් ස්ථානාධිපති දිසානායකගේ ඥාති සොහොයුරකු වන නිමේෂාන් රන්තිලක ය.
“පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිතුමා මගේ ඥාති සහෝදරයෙක් වගේම අපේ පවුල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසාම ඔහු සමඟ මගේ ලොකු බැඳීමක් තියෙනවා. ළඟදි දවසක අපි කතාබහ කරමින් ඉන්න වෙලාවක ඉන්ධන ගැටලුව නිසා රෝහලට යන්න ත්‍රිවිල් එකක්වත් නැතුව අසරණ වුණ රෝගියෙක් ගැන කතාවක් අහන්න ලැබුණා. ඒ කතාව අහලා පොලිස් ස්ථානාධිපතිතුමා ගොඩක් කම්පා වුණා. ඒ වෙලාවේ එයා කිව්වා මගෙ ජිප් එක තියෙනවනේ, එහෙම අමාරු ලෙඩ්ඩු ඉන්නවා නම් ජිප් එකෙන් නොමිලේ හොස්පිට්ල් ගෙනියමු කියලා. ඒ වෙලාවේ මටත් එතැන හිටපු ඔහුගේ රියැදුරු මහත්වරු දෙන්නටත් හිතුණා ඒ අදහස කොච්චර හොඳද කියලා. ඒ වෙලාවේ මම ස්ථානාධිපතිතුමාට කිව්වා අපි මේ ගැන පෝස්ට් එකක් හදලා මුහුණුපොතේ දාමු කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා ෆේස්බුක් පාවිච්චි කරන්නේ නැති නිසා මම පෝස්ට් එකක් හදලා මුහුණුපොතේ මගේ වෝල් එකේ දැම්මා. ඒක අපේ යාළුවෝ කිහිපදෙනෙක්ටත් ශෙයා කළා. පහුගිය ජුනි 28 වැනිදා තමයි ඒ පෝස්ට් එක දැම්මේ. ඒක අපි නොහිතපු විදිහට ෆේස්බුක් එකේ ගොඩක් අය අතරේ ශෙයා වුණා. 30 වැනිදා හවස අරන්දර කිරිදන ගමේ අවුරුදු 13ක දරුවෙක්ට අසනීපයි කියලා ඇමතුමක් ලැබුණා. ඒ දරුවා ශල්‍යකර්මයකට මුහුණ දීපු දරුවෙක්. මම පොලිස් ස්ථානාධිපතිතුමාගේ වාහනෙන් ඒ පුතාව කෑගල්ල රෝහලට අරගෙන ගියා. ඊට පස්සේ දවසක ගැබිනි අම්මා කෙනෙක් රියැදුරු පොලිස් කොස්තාපල් කුමාර විසින් කෑගල්ල රෝහලට ගෙනගියා. තවත් දවසක බයිසිකලයක් පෙරළිලා තුවාල වුණු කෙනෙක්වත් රෝහලට ගෙනිච්චා. මේ වෙද්දි ඒ විදිහට කිහිප දෙනෙක්ම රෝහල්ගත කරලා තියෙනවා.”
නිමේෂාන් කී අයුරින් රෝහල්ගත වීමේ අවශ්‍යතාවක් වෙනුවෙන් පොලිස් ස්ථානාධිපති දිසානායක වෙත කිසිවකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු විට ඒ අවශ්‍යතාව ඉටුකර දීමට ඔහු නොපැකිළව ඉදිරිපත් වෙයි.
“එහෙම කෝල් එක්ක ලැබුණාම රෝගියා අරගෙන රෝහලට යන්නේ ඒ වෙලාවේ ඩියුටි ඕෆ් වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැතුව පොලිස් රාජකාරිය අතරමැද ඒ රාජකාරි අතපසු කරලා නිලධාරියෙක් ඒ වෙනුවෙන් යොදවන්නේ නැහැ. හුඟක් වෙලාවට පොලිස් කොස්තාපල් රියැදුරු කමල් කුමාර සහ පොලිස් කොස්තාපල් රියැදුරු හසන්ත මදුරංග සේනාරත්න තමයි ඒ සඳහා යන්නේ. ඒ දෙන්නම නැති වෙලාවට මම යනවා. මම සෙංකඩගල මූල්‍ය සමාගමේ කෑගල්ල ශාඛාවේ සහකාර කළමනාකරු විදිහට වැඩ කරනවා. මමත් රාජකාරි කටයුතුවලින් බැහැර වෙලා ඉන්න අවස්ථාවල තමයි මගේ දායකත්වය මේ කාර්යය සඳහා ලබාදෙන්නේ. අපි කවුරුත්ම නැති වෙලාවක හදිසි රෝගියෙක් රෝහලකට ගෙනියන්න ඉල්ලීමක් ලැබුණොත් පොලිස් ස්ථානාධිපතිතුමා ඒ කාර්යය ඉටු කරනවා. ඔහු ඒ තරම් නිහතමානී පුද්ගලයෙක්. ඕනෑම වෙලාවක හදිසි අවශ්‍යතාවකට පිහිට වෙන කෙනෙක්.”
පින්දෙණිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එස්.ඒ. ඩී.ඩී.එස්.පී.දිසානායක(42)අලව්ව රාහුල ජාතික පාසලේ ආදි සිසුවෙකි. වැඩිමහල් සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාල දරුවා ලෙස උපන් ඔහුගේ පියා විසින් ආරම්භ කළ ඉන්ධන පිරවුම්හල මේ වන විට පවත්වාගෙන යනු ලබන්නේ මව විසිනි. උසස් අධ්‍යාපනයෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවි හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි හෙතෙම 2003 වසරේදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්විය. කළුතර, මාතර, වැල්වැටිතුරේ,වරකපොල, වව්නියාව ආදී පොලිස් ස්ථාන රාශියක සේවය කර ඇති ඔහු වසර 5ක කාලයක් ක්‍රියාන්විත රාජකාරියේද නියැළෙමින් රට වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ නිලධාරියෙකි. පොලිස් රාජකාරිය අතර සිය අධ්‍යාපන කටයුතුවල නියැළි ඔහු 2011 වසරේදී අලෙවි කළමනාකරණ උපාධිය ලබාගත්තේය. කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස ද කලක් කටයුතු කළ ඔහු පින්දෙණිය පොලිස් ස්ථානාධිපති ලෙස පත්වීම් ලබන්නේ 2020 ජනවාරි මාසයේදීය. පොලිස් ස්ථානාධිපති දිසානායක 13 හැවිරිදි පුතකුගේ සහ 10 හැවිරිදි දියණියකගේ පියෙකි.
“අසීරු අවස්ථාවකදී ජනතාවට මොනම විදිහෙන් හරි උදවුවක්, උපකාරයක් වෙන එක තමයි මගේ කැමැත්ත. ඒ වෙනුවෙන් තමයි මම මේ දේ කරමු කියලා නිමේෂාන් මල්ලිට කිව්වේ. ඔවුන් තමයි ඒ දේ මං වෙනුවෙන් කරගෙන යන්නේ”
පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඒ.ඩී.ඩී.එස්.පී.දිසානායක එසේ පැවසුවේ නිහතමානීවය. ප්‍රසිද්ධිය නොව ජනතා සුබසෙත සිය ජීවිතයේ තේමාව කරගත් ඔහු පින්දෙණිය වැනි තරමක් දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන ජනතාවට මේ ආකාරයට හෝ සහනයක් සැලසීමට ලැබීම ගැන සතුටු වේ. මෙවැනි සද් කාර්යයක් සඳහා ඔහු තැබූ පියවර තවත් අයකුට ආදර්ශයක් වූ කතාවක් ද අපට දැනගන්නට ලැබිණි. මේ, ඒ ගැන නිමේෂාන් කී කතාවයි.
“පින්දෙණිය පොලිස් ස්ථානය අවට ඉන්න අඩු ආදායම්ලාභී ජනතාව ත්‍රිවිල් ගාස්තුව දරාගන්න අමාරුයි. ඉන්ධන හිඟය නිසා හදිසියකට ත්‍රිවිල් එකක් හොයාගන්නත් අමාරුයි. කිට්ටුවම තියෙන්නේ පින්දෙණිය ප්‍රාථමික රෝහල. අසාධ්‍ය රෝගියෙක් නම් කෑගල්ල රෝහලට ගෙනියන්න ඕනේ. පින්දෙණියට 1990 සුවසැරිය ගිලන් රථයකුත් නැහැ. ඒ නිසා මේ විදිහට අසරණ මිනිස්සුන්ට උදවු කරන්න ලැබීම අපිටත් ලොකු සතුටක්. මම මේ ගැන පෝස්ට් එක දැම්මේ පින්දෙණිය, අටාල, අරන්දර, කොටියාකුඹුර ප්‍රදේශවල ගැබිනි මාතාවන් හෝ අසාධ්‍ය රෝගීන් සහ හදිසි අවශ්‍යතාවකට මුහුණ දුන් අයට අමතන්න කියලයි. අපිට පහසුවෙන් බලන්න පුළුවන් ඒ ප්‍රදේශ විතරයි. ඒ පෝස්ට් එක දැකලා ගලිගමුව කැන්ඩියන් පැලස් ආයතනයේ හිමිකරු ශාන් ගුණරත්න පොලිස් ස්ථානාධිපතිතුමාට කතාකරලා කියලා තිබුණා ඔහුගේ මෝටර් රථය හා බස් රථය යොදාගෙන ගලිගමුව, බෝයගම, කෝට්ටපොල අවට ප්‍රදේශවල රෝගීන් රෝහලට ගෙනියන්නම් කියලා. පසුව මම ඒ ගැනත් කියලා පෝස්ට් එකක් මුහුණුපොතට දැම්මා. අපිට හරිම සතුටුයි ඒ විදිහට මේ වගේ හොඳ දේවල්වලට තවත් අය එකතුවෙන එක ගැන...”
නිමේෂාන් කීවේ ඒ සතුට විඳිමිනි. පින්දෙණිය වත්තේ අන්නලෙච්චමී නැමති 70 හැවිරිදි මව ද මේ සද් කාර්යයේ පිහිට ලැබූ අයෙකි. රෝගාතුර වූ තමා දින පහක් තිස්සේ බෙහෙත් ටිකක් ගන්නට රෝහලට යා ගත නොහැකි අසරණ වී සිටි බවත් අවසානයේ පොලිසියේ ‘ලොකු මහත්තයාට’ දුරකථනයෙන් අමතා දැනුම් දුන් බවත් පසුව ඉකුත් 6 වැනිදා රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගන්නට හැකිවූ බවත් ඇය පැවසුවේ සැනසුම් සුසුම් හෙළමිනි. එසේ අසරණ තත්ත්වයට පත්වී සිටින ඕනෑම අයකුට මනුෂ්‍යත්වයේත් දයාවේත් දෑත දිගුකරන්නට පින්දෙණිය පොලිස් ස්ථානාධිපති දිසානායක ඇතුළු කණ්ඩායම සූදානම්ය. පින්දෙණිය, අටාල, අරන්දර, කොටියාකුඹුර අවට ප්‍රදේශවල සිටින අසාධ්‍ය රෝගීන් සහ හදිසි තත්ත්වයේ පසුවන ගැබිනි මවුවරු ඇතුළු ඕනෑම රෝගියකු රෝහල්ගත කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම් මේ දුරකථන අංකවලට 0718 591421/ 0719 968171 අමතන ලෙස නිමේෂාන් රන්තිලක කීවේය.
මෙවැනි දුෂ්කර සමයක ඔවුන් විසින් කරනු ලබන ඒ සේවාව ඉතා අගනේය. එහෙත් එවැනි සේවයකින් උපරිම ඵල ලබාගන්නට නම් එය භාවිත කරන්නන්ගේ අවංක භාවය ද ඉතා වැදගත් බව සටහන් කරනු කැමැත්තෙමි. තමන් සතුව වාහනයක් සහ ඉන්ධන තිබෙන අය හෝ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් නොමැති පුද්ගලයන් මෙම සේවාවෙන් ප්‍රයෝජනය ගැනීමට උත්සාහ කිරීම ඉතා අසරණ තත්ත්වයේ පසුවන මේ සේවාව අත්‍යවශ්‍යම අයකුට කරන අසාධාරණයක් බව ද අවධාරණය කළ යුතුමය.
පසුබිම් වාර්තා සහ ඡායාරූප- රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර