තුන් පාරක්ම මාරයාට අතවැනූ ජැක්සන්ගේ ‘සුන්දරී’ | සිළුමිණ

තුන් පාරක්ම මාරයාට අතවැනූ ජැක්සන්ගේ ‘සුන්දරී’

නුරාධපුර තලාව මාර්ගය ජනාකීර්ණ නැත. මේ පුළුල් මාර්ගයේ දහවල් වාහන ගමනාගමනය එතරම් අවදානමක් නැති වුවද රාත්‍රි ගමනාගමනය තරමක් දුෂ්කරය. අවදානමට හා අවධානයට මුල් තැනක් දිය යුතුය. ඒ මේ මාර්ගයේ විටින් විට අලි රංචු පිටින් එහා මෙහා සැරිසරන අලිමංකඩ බොහෝ ඇති නිසාය. ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී, ඔහුගේ සහෝදර සමන් ඇන්තනී, සහයක ඉරේෂ් ඇතුළු පිරිස අනුරාධපුර බලා පසුගිය 30 වැනිදා ගියේ සිංහබාහු රූගත කිරිමක් සඳහාය. චිත්‍රපට නිෂ්පාදක සෝමරත්න දිසානායක , රේණුකා බාලසූරිය මෙන්ම ජැක්සන් ඇතුළු මේ පිරිසේ රූගත කිරීම් යෙදී තිබුණේ අනුරාධපුරයෙන් තරමක් ඈතින් වූ නටබුන් ස්ථානයක් වන හත්ථිකුච්චි නම් ස්ථානයේ කැළෑ බඳ පෙදෙසකය. අනුරාධපුර නගරයේ සිට කුරුණෑගල දෙසට කිලෝ මීටර 42 ක් පමණ ගිය පසු හමුවන ගල්කල්ල හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර 2 ක් පමණ ගිය තැන හමුවන්නේ හත්ථිකුච්චි මෙම නටබුන් ස්ථානයය. 30 වැනිදා අනුරාධපුරයට පැමිණියද ජැක්සන්ගේ රූගත කිරීම් යෙදී තිබුණේ 2 වැනිදා සවස් වරුවේ රාත්‍රි දර්ශනයක් පමණි. 

එදින රාත්‍රි දර්ශනයෙන් අනතුරුව ජැක්සන්ට කවදත් අතට හුරු ඔහුගේ 250-8484 දරන කැබ් රථයෙන් අනුරාධපුර නවාතන් පොළ බලා පිටත් වූ මේ පිරිස එදින රාත්‍රියේදි හදිසි අනතුරට මුහුණ දෙන්නේ රටක්ම දැඩි තිගැස්සීමකට පත් කරමිනි.

“අලියා කරුවලේ එකපාරටම පාර හරහා මාරුවෙලා කැබ් රථයේ වේගයෙන් වැදුණා. ඌ නැගිටලා යන්න හැදුවත් ආයිත් කැබ් එක මතටම වැටෙනවා දැක්කා. අලියා ගියත් එක්කම අපි ගිහින් තුන් දෙනාවම රෝහල් ගත කළා“අසල්වැසියෝ දුටු දේ පැවැසුවේ ඒ අයුරිනි.

ජැක්සන් ඇන්තනි , ඔහුගේ සොහොයුරු සමන් ඇන්තනි තවමත් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. “ ජැක්සන් ඇන්තනිගේ ගෙලේ අස්ථි දෙකක් පැනලා තියෙනවා. පෙනහලුවලට තුවාල සිදුවුණා. පෙනහලු දෙකටම බට දා තිබෙනවා. මේ නිසා ඔහුට කොළඹ ජාතික රෝහලට හදිසි ශල්‍ය කර්මයක් සඳහා මාරු කළා.සමන් ඇන්තනීගේ පෙනහලුවලට බට දමා තිබෙනවා. ඔහු අනුරාධපුර ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා“ ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීරය.

“ අනුරාධපුර හත්ථිකුච්චි නටබුන් ආශ්‍රිත කැළැබඳ ප්‍රදේශයේ සිංහබාහු පුහුණුවීම් කටයුතු සිදු කළේ මාසයක පමණ කාලයක සිටයි. අපි නවාතැන් ගෙන සිටියේ අනුරාධපුරයේ. මමත්, රේණුකාත් තවත් පිරිසකුත් මේ සඳහා සහභාගි වුණා. මේ වන විට සිංහබාහු තුනෙන් එකක් අවසන් කරලයි තිබුණේ. එදා අවසාන රූගත කිරීමට තිබුණේ ජැක්සන් සහභාගී වන රාත්‍රි දර්ශනයක්. ඒ වුණත් රාත්‍රී 8 ට පමණ අවසන් කළා. ජැක්සන් රූගත කිරිම් අවසන් කර එයාගේ වාහනයෙන් සමන් හා ඉරේෂ් සමඟ නවාතැනට පිටත් වුණා. මමත් මගේ වාහනයෙන් සහය අධ්‍යක්ෂක චාමර හා රියදුරු සමඟ ඔහු පිටු පසින්ම ගමන් කළා. රේණුකා අස්පස් කිරීම් සඳහා ඒ ස්ථානයේ නැවතුණා. ටික දුරක් යද්දි මට පෙණුනා පාර මැද රථ වාහන තදබදයක්. මම හිතුවා එක්කෝ විරෝධතාවයක් නැතිනම් හදිසි අනතුරක් කියලා. මේ එක්කම රේණුකාගෙන් මට කෝල් එකක් ආවා, ජැක්සන් ගිය වාහනයේ අලියෙක් වැදිලා. ටිකක් ගිහින් බලන්න කියලා. මෙ වන විට විනාඩි දෙක තුනක් ගෙවී ගිහින්. මම යන කොට අලියෙක් හිටියේ නැහැ. මම අලියෙක් හෙව්වෙත් නැහැ. මම හෙව්වේ ලෙඩ්ඩු කෝ කියලා. ජැක්සන් පාරේ නිදි කරවලා තිබුණේ. ඔහු ඇස් ඇරගෙන සිටියත් හොඳ සිහියෙන් හිටියේ නැහැ. ඔහුගේ සහයක දිනේෂ් පාරේ වාඩි වෙලා හිටියේ. ඔහුගේ මුහුණ පුරා ලේ. සමන් ඒ වෙලාවෙයි වාහනයෙන් එළියට ගත්තේ. මම මගේ වාහනයේ ජැක්සන්ව දාගත්තා. අනිත් අයවත් වාහනවලට දා ගත්තා. ජැක්සන්ව වාහනයේ හේත්තු කරගෙන බෙල්ල හෙළවෙන්න නොදි රෝහලට ගෙන ගියා. අපි වේගයෙන් විනාඩි 15 ක් ඇතුළත අනුරාධපුර රෝහලට ජැක්සන්ව ගෙනාවා. ඒ වෙලාවේ ජැක්සන් වේදනාවෙන් කෙදිරි ගැවා. බෙල්ල රිදෙන බව හැඟෙව්වා. ජැක්සන් බව නොදැන අනුරාධපුර රෝහල කාර්යක්ෂමව අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. නමුත් ජැක්සන්ගේ බෙල්ලේ ස්නායු පද්ධතියට වූ හානිය නිසා කොළඹ ගෙනියන්න කිව්වා. අපි හෙලිකොප්ටරයක් හෙව්වත් රාත්‍රීයේ නිසා එය ලබා ගැනීමට නොහැකි වුණා. මේ නිසා රෝහලේ ගිලන් රථයෙන්ම කොළඹට ගෙනාවා. .....“එ් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකය.

ජැක්සන්ට හදිසි ප්‍රතිකාර ලබා දුන්නද ඔහුගේ බෙල්ලට වූ හානිය හේතුවෙන් ඒ රාත්‍රියේම ශල්‍ය කර්මයක් සඳහා කොළඹ මහ රෝහලට ගෙන යා යුතු විය. අනුරාධපුරයේ සිට කොළඹට ඇති දුර ප්‍රමාණය අනුවත් රෝගියාගේ රෝගී තත්ත්වයේ අවදානමත් හේතුවෙන් ඒ සඳහා හෙලිකොප්ටරයක් අවශ්‍ය වුවද රාත්‍රියේ එය සූදානම් කිරීම දුෂ්කර විය. අනතුරුව එකම විකල්පය වූ රෝගියා දැඩි ආරක්ෂාව යටතේ කොළඹ ගෙනයාමට ගිලන් රථ දෙකක් අවශ්‍ය වුවද, ඒ වන විට රෝහලේ වූ ගිලන් රථ 10 ටම ධාවනයට ඉන්ධන තිබී නැත. 

“එදා මම ගෙදර සිටියේ. රාත්‍රී 10.30 වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක සුනිල් සර් මට කතා කර කිව්වා. ඇම්බියුලන්ස් දෙකක් ලැස්ති කරන්න ලෙඩාව කොළඹ යවන්න කියලා. ඒත් ඒවායේ තෙල් නැහැ. මේ නිසා දිස්ත්‍රික්කය තුළ තියෙන රෝහලකටවත් හදිසි ලෙඩෙක්ව යවන්න ක්‍රමයක් නැහැ. මම එවලේම මගේ පාපැදියෙන් කිලෝමීටර් 15 ක් දුරින් වන අනුරාධපුර ඩිපෝවට ගිහින් ඩිපෝවේ කළමනාකරු කළුආරච්චි මහත්තයට කතා කර තෙල් ඉල්ලුවා. වාහන තුනකට තෙල් ලීටර 20 බැගින් දෙන්නම් කිව්වා. මේ රෝගියාගේ රෝගී තත්ත්වය නිසා ගිලන් රථ දෙකක් යැවිය යුතු වෙනවා. එකක වෙන්ටිලේටර් මැෂින් හා කාර්ය මණ්ඩලය. කොහොම හරි අවශ්‍යතාව පවසා තෙල් ඉල්ලගෙන පැය තුනක් ඇතුළත අපි රෝගියාව කොළඹට ගෙනාවා...“ ඒ ජැක්සන් කොළඹට ගෙන යාමට තෙල් සොයා දුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සුළු සේවක පාලක සරත් සෙනෙවිරත්න සිළුමිණට පැවැසූ දේය.

කොළඹ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ ජැක්සන්ට පැය හතක සුෂුම්නාවට සම්බන්ධ හදිසි සැත්කමක් සිදු විය. බෙල්ලේ වූ මේ සැත්කම සිදු කළේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ කේ. උමාපති ඇතුළු ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

වසර 8 ක පමණ කාලයක සිට ජැක්සන් ඇන්තනී ගේ කළමනාකරණ සහායක වූයේ රත්නපුර පදිංචි ඉරේෂ් ලක්මාල්ය. ජූලි 2 වැනිදා ජැක්සන් සමඟ ඉරේෂ්ද මේ අනතුරට මුහුණ දුන් අතර, දින කිහිපයකින් අනුරාධපුර රෝහලේ සිට ශල්‍ය කර්මයකට මුහුණ දී ප්‍රතිකාර ලබා ගෙන ඔහු රෝහලින් පිටව ගියේ ජැක්සන් ගේ නිවසටය. තවමත් නිසි පරිදි කතා බහ කිරීමට නොහැකි අන්දමින් රෝගී තත්ත්වයේ පසුවන ඔහු සිළුමිණට අවස්ථා කිහිපයකදී සම්බන්ධ විය.

“ මම අවුරුදු 8 ක පමණ කාලයක සිට සර් ගාව සේවය කරනවා. එදා සිංහබාහු රූගත කිරීම් සඳහා අනුරාධපුරයට ගියේ 30 වැනිදා උදයේ. ඒ ගියේ සර්ගේ හුරුපුරුදු වාහනයෙන්මයි. අපි නවාතැන් ගත්තේ අනුරාධපුරයේ සිලෝන් ලොජ් කියන හෝටලයේ. දෙවැනිදා දහවල් 12 ට පමණ තමයි අපි ෂූටින් සඳහා හත්ථිකුච්චි නටබුන් ප්‍රදේශයට ගියේ. ෂූටින් ඉවර වුණේ රෑ 8.30 ට විතර. අපිට අවදානම් තිබුණේ හත්ථිකුච්චි දක්වා එන මාර්ගයේ. මේ මාර්ගයේ එද්දි අපි පෝක් ලයිට් පවා දාගෙන ඇවිත් තලාව හරියෙදි අනිත් වාහනවලට කරදර නිසා එය නිවා සාමාන්‍ය වාහනයේ එළියෙන් ආවේ. සර් හා සර්ගේ මල්ලි ඉදිරිපස අසුනේ හිටියේ. මම පිටුපස අසුනේ හිටියේ. සර් වාහනය එළෙව්වේ හරිම හෙමින්; ඒ වගේම කල්පනාවෙන්. පහුවෙනිදාට අපිට ෂූටින් නොමැති නිසා කරන දේවල් ගැන කතා කරමින් ආවේ. සර්ගේ පුතා අකිල ෂූටින් ඉවර වෙලා කලින්ම හෝටලයට ගිහින් තිබුණා. තලාව නගරය පසු කළාම මම නවතින හෝටලය සොයා ගන්න ලොකේෂන් ඔන් කළා. දෙපැත්තෙම ගෙවල් තිබුණා. අඩමානයක් තිබුණේ නැහැ. එක පාරටම දඩාස් ගාලා අලියා හැප්පෙනවා විතරයි මතක. වුණු දේ කියන්න තේරුමක් නැහැ. අලියෙක් ඉන්නවා දැක්කෙත් නැහැ. මම දොර ඇරගෙන වාහනයෙන් එළියට බැස්සා. මට සර්ව බේරගන්න වුවමනා වුණා. කලන්ත ගතියක් තිබුණත් මම හිතන්නේ මගේ ලේ ගලන තුවාල ගැන නොතකා සර්ව එළියට අරගෙන පාරේ දිගා කෙරෙව්වේ මම කියලා. මම සාක්තුවේ තියෙන මගේ ෆෝන් එක අරගෙන රේණුකා මැඩම්ට කෝල් කළා. එතනින් පසුව මට සිදුවූ දේ මතකයක් නැහැ.... “ ඉරේෂ් පවසන්නේය. 

ඉරේෂ් පවසන ආකාරයට ජැක්සන්ගේ සියලු ගමන් බිමන්වලදී පසුපසින් සහායට යන්නේ ඔහුය. 1997 වසරේ සිට ජැක්සන් ඉතා ආදරයෙන් පරිහරණය කළේ අනතුරට පත් වූ මෙම කැබ් රථයමය. වරක් ඔහු පවසා තිබුණේ මේ වාහනය ඔහුගේ දරුවෙක් බවත්, 1997 වසරේ සිට ඔහු සතු එකම ධන රථය මේ කැබ් රථය බවත්ය. “මම ඇයට හරි ආදරෙයි. මමත් ඇයට හරි ආදරෙයි. මේ ගිරිදුර්ග හරහා යන මේ ගමන ඇය මාව ආරක්ෂා කරාවි.“ වරෙක ජැක්සන් ආඩම්බරයෙන් මෙම කැබ් රථය ගැන පවසා තිබුණේ එසේය.

“ සර්ගේ 250-8484 කැබ් වාහනයට සර් මාරම ආදරෙයි. වෙන වාහනයක් සර්ට ඇත්තෙත් නැහැ . සර් හැම වෙලාවෙම කියන්නේ මේ වාහනයත් සර්ට මාරම ආදරෙයි කියලා. ඒ ආදරේ නිසා මේ වාහනයට සර් නම දාලා තියෙන්නේ ‘ සුන්දරී ‘ කියලා.

එක පාරක් අනතුරකින් මේ වාහනය සර්ගේ ජීවිතය බේරුවා. මෙදා පාරත් මේ වාහනය සර්ව බේරුවා. සර් කොච්චර මහන්සි වෙලා මේ වාහනයේ ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වුණත් සර්ගේ මහන්සිය නිවිලා යනවා කියලයි සර් හැම වෙලාවෙම කියන්නේ...“ඉරේෂ් පවසන්නේය.

ජැක්සන්ගේ ධාවනය කළ මෙම කැබ් රථය මීට පෙරද බරපතළ අනතුරකට ලක්වී තිබුණි. ඒ 2001 වසරේදිය. ප්‍රසන්න විතානගේ ‘පුරහඳ කළුවර‘ පිළිබඳ මහවැලි කේන්ද්‍රයේ පැවැති සම්මන්ත්‍රණයේ දේශනාවක් ජැක්සන්ට ද ආරාධනා තර තිබුණි. ඔහු රාත්‍රි 10 ට පමණ එය අවසන් වී නිවසට යාමට කැබ් රථයට නැඟි ටවුන්හෝල් හරහා මරියකඩේ පසුකර සහිරා කොලීජිය අසලින් මරදානට අවතීර්ණ විය.

ටෙක්නිකල් පැත්තේ සිට රතු සංඥා බල්බ පවා නොතකමින් පැමිණි වාහනයක් වේගයෙන් ජැක්සන්ගේ කැබ් රථයේ වැදුණි. වාහනය විසිවී ගොස් පාර මැද වැට සහිත පේව්මන්ට් පඩියට නැඟ ඉන් නොනැවති යළි පාරට වැටී කරණම් දෙකක් ගසා එල්ෆින්ස්ටන් ඉදිරිපිටදී රෝද හතර උඩට සිටින සේ නැවතිණි. ජැක්සන් එදාත් මෙවැනිම ආකාරයේ සිරවීමක් කැබ් රථය තුළ විය. රියදුරු අසුනේ සිරවී සිටි ඔහුව එළියට ගැනීමට තැත් කරන ජනතාවට පෙනී ඇත්තේ ඔහුට පණ ඇති බවකි. චිත්‍රපටයක දසුනක් වැනි වූ මේ සිදුවීමෙන් පසු ඔහු සිය කැබ් රථය යළිත් අලුත්වැඩියා කර ගත්තේ එය තමන්ගේ විශ්වාසවන්ත ආරක්ෂකයා බවට සපථ වූ නිසාවෙනි.

2011 වසරේ කුස පබා නාට්‍ය රූගත කරන අවස්ථාවේදී යාලදි මෙම වාහනය නැවතත් අනතුරකට පත්වී ඇත්තේය. ඒ යාල ආශ්‍රිත වැලි පාරකදී කැබ් රථය පාරන් පිටතට පැන නොපෙරළි බේරීමෙනි. ඒ අවස්ථාවේ රේණුකා බාලසූරියද සිට ඇති අතර සුළු තුවාල ලබා ඔවුහු බේරි ඇත. මෙදාද ඔහු මුහුණ දුන්නේ අලි අනතුරකටය. එය ඇත්තෙන්ම බිහිසුණු අනතුරකි. ජැක්සන්ගේ දිවි බේරුණි. කැබ් රථයේ වූ වීඩියෝවකින් ගත්තේ යැයි පවසමින් ෆේස්බුක් හී සැරිසරන ලද අනතුරේ වීඩියෝවද අසත්‍ය එකකි. මන්ද එවැනි කැමරා වීඩියෝවක් මෙම පැරණි කැබ් රථයේ තිබී නැත. ඔහුගේ එකම දියණිය වන මාධවී වත්සලාද පවසා ඇත්තේ තම පියා පරිහරණය කළ මෙම කැබ් රථයේ කිසිදු නවීන පහසුකමක් හෝ නොතිබූ බවකි. 

“ Safety Airbag නැති, Sensors නැති, LED හෙඩ්ලයිට් නැති, Viper එකවත් හරියට වැඩ කරන්නෙ නැති 1997 දී පළමු වාහනය විදිහට අප්පච්චි ගත්තු කැබ් එකක් වෙනුවට, ඔය හම්බ කළා කියන සල්ලිවලින් අප්පච්චි හීන දැකපු විදිහේ ජීප් එකක් ගන්න එයාට පුළුවන් වුණා නම්, අද එයාලත් අලියත් හැමෝම හොඳින්. සිංහබාහු නිෂ්පාදන කණ්ඩායම විසින් ලබා දුන් ඉන්ධන ලීටර් 30 කින් අනුරාධපුරය ෂූටිං ගිහින් ඉද්දි අනතුරට ලක් වුණාම, දේශපාලනික සම්බන්ධතා අම්බානකට තිබුණා නම් අනතුර වෙලා පැය හත අටක් යනකනුත් මහ මඟින් මිසක්, ගුවන් මඟින් අප්පච්චි ව කොළඹට ගෙන්න ගන්න අවසර ගන්න ඒ නිෂ්පාදක කණ්ඩායමට නොහැකි වෙන්නෙ නෑ.

හැප්පුනේ එයාලා වුනාට තුවාල වුණේ අපි හැමෝටමයි. මේ වගේ දරාගන්න අමාරුම ප්‍රශ්නකාරී මොහොතක "කාගේ වුණත්" ආදරේ සැබෑවටම ඇති හෝ නැති බව මැනෙවින් පසක් වෙනවා... “ ජැක්සන්ගේ දියණිය වන මාධවී වත්සලා සිය ෆේස්බුක් පිටුවේ එවැනි අදහසක් දක්වමින් පවසා සිටින්නේ මේ සිදුවීමට මෙන්ම පුද්ගල නම් එක්කරමින් විවිධ අය විවිධාකාර අර්ථ නිරූපණ දුන් නිසාවෙනි.

අද ජැක්සන් ගේ බිරිය කුමාරි සඳලතා මුණසිංහ, දරුවන් වන මාධවී වත්සලා, අකිල ධනුද්දර, සජිත ඇන්තනි පමණක් නොව රටේ සැමගේ අපේක්ෂාව වන්නේද මේ මහ රංගධරයා සුවෙන් සිටිනු දැකීමය. හැමෝම සෙත් පතන්නේ ඔහුගේ සුවපත් වීමටය.

සේයාරූ - කිත්සිරි වණසිංහ 
(අනුරාධපුර සංචාරක)

Comments