ජීවිත දෙකක් අහිමි කළ ගාල්ල කැලඹූ උදම් රළ ඇති වුණේ මෙහෙමයි | සිළුමිණ

ජීවිත දෙකක් අහිමි කළ ගාල්ල කැලඹූ උදම් රළ ඇති වුණේ මෙහෙමයි

- කුණාටු ඇති වෙන්නේ අධික සුළං ධාරාවකින් 
- සුනාමියක් ඇති වෙන්නේ භූ කම්පන තත්ත්වයක් නිසා 

පෙණ පිඬු නංවමින් මුදු සරින් සිනාසෙන මහා සාගරය පසුගිය 02 වැනිදා වියරු වැටී ප්‍රචණ්ඩ වූයේ දකුණු ලක ජනතාව අපහසුතාවට පත් කරමිනි. වියරු වැටුණු දළ රළ පෙළ ඇඹරෙමින් උස්ව නැඟෙමින් රට තුළට පැමිණීමත් සමඟ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ උස් මුදුලාව හන්දියේ සිට හික්කඩුව කුමාරකන්ද හන්දිය දක්වා වූ කොටස වසා දැමීමට සිදු විය. ගාල්ල වරායේ පොලිස් භූමිය ජලයෙන් යට වූ අතර උණවටුන, හික්කඩුව, කහව, තෙල්වත්ත, මාදම්පාගම, පැරැළිය ආදි ප්‍රදේශයන් හී මාර්ගයට බොහෝ හානි සිදු වී තිබිණි. ගාල්ල සමුද්‍ර මාවත මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් පිරී ගියේය. තවද වෙරළේ නවතා තිබු බෝට්ටුවලට හානි වීමෙන් කෝටි ගණනක අලාභයක්ද සිදු විය. කහව ගොඩගම ප්‍රදේශයේ රළ පහරට හසු වීමෙන් විදුලි රැහැන් කණු ද බිම වැටී තිබිණි. වෙරළ අයිනේ පවත්වාගෙන ගිය ආපනශාලා, සංචාරක හෝටල් සහ වෙළෙඳසැල් කීපයක්ද මුහුදු ජලයෙන් යට වී තිබිණි. ගාල්ල සමනල පාලම අසලින් මුහුදට ගලා බසින කුණු ඇළ මාර්ගයේ මුහුදු ජලය පැමිණීම නිසා ඇළ මාර්ගයද යට විය. 

මුහුදු රළ ප්‍රචණ්ඩ වීමේ වඩාත්ම ශෝචනීය සිදු වීම වන්නේ ජීවිත 2ක් අහිමි වීමයි. රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ පංකජ ජයෝද් සහ කඩවත බියන්විල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඉරේෂා සුභාෂිණී මෙසේ ජීවිතක්ෂයට පත් වුහ. ඉරේෂා සුභාෂිණී කඩවත සිට පමුණුගම උස්වැටකෙයියාවට පැමිණියේ හෝටලයක පැවැත්වූ සාදයකට සහභාගී වීමටය. සාදය අවසානයේ උස්වැටකෙයියාව මුහුදු වෙරළේ රැල්ල පෑගීමට ගිය ඇයව ප්‍රචණ්ඩ වූ මහ මුහුද උදුරා ගත්තේ සිත් පිත් නැති අයුරිනි.

"මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිත දිග මෝසම් වර්ෂාව ලැබෙනවා. ඒ කාලයේ සුළං හමන්නේ නිරිත දිශාවෙන්. නිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ බස්නාහිර දකුණ, සබරගමුව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වැසි ලැබෙනවා. නිරිත දිග මෝසම් සක්‍රීය අවස්ථාවලදී තද වැසි සමඟ තද සුළං ඇති වෙනවා. බෙංගාල බොක්ක කලාපයේ අඩු පීඩන තත්ත්වයක් හෝ සුළි කුණාටු ඇති වුවහොත් සුළගේ වේගය වැඩි වෙනවා. පසුගිය 02 වැනිදා ඇති වුණේ නිරිත දිග මෝසමේ සක්‍රීය අවස්ථාවක්. මෙය මුහුදුබඩ ජීවත්වන අයට සාමාන්‍ය දෙයක්. සුළං වැඩි වුණාම යට තිබෙන උදම් රළ උසට නඟිනවා. වාරකන් කාලය කියන්නේ මේකට. මුහුදු රළ උසට නඟිනකොට සමහරු මෙය සුනාමි තත්ත්වයක් කියලා භය වෙනවා. සුනාමියේදී මුහුදු රළ ගොඩබිමේදී උස් වෙනවා. අනික සුනාමියක් ඇති වෙන්නේ භූ කම්පන තත්ත්වයක් සමඟ. පසුගියදා මුහුදු රළ උස්ව නැඟුණේ සුළගේ වේගය නිසා මිසක් භූ කම්පනයක් නිසා නොවෙයි. මේ වාරකන් කාලය ගැන ධීවර ප්‍රජාව හොඳින් දන්නවා. ඒ කාලේට බටහිර දකුණේ සිටින ධීවරයන් මාළු අල්ලන්න යන්නේ නැ‍ෙඟනහිර මුහුදට." යනුවෙන් පසුගිය 02 වැනිදා ඇති වූ මුහුදේ රළු ස්වභාවය ගැන විස්තර කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්නය.

සුළගේ වේගයට අමතරව සඳේ ඇති ගුරුත්වාකර්ෂණ බලය ජල ස්කන්ධය කෙරෙහි බලපෑමෙන්ද මුහුදු රළ වෙනස් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. වඩදිය බාදිය ඇති වන්නේ සඳෙන් ඇතිවන බලපෑමෙනි.

පසුගියදා දකුණු වෙරළ තීරයට කඩා වැදුණු මුහුදු රළ උස මීටර් 3-4 ක් පමණ විය. මෙය හැඳින්වෙන්නේ කුණාටු රළ යනුවෙනි. මුහුදු රළ, කුණාටු රළ බවට පරිවර්තනය වන ආකාරය විද්‍යාත්මකව පැහැදිලි කර ගැනීම සඳහා සාගර විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් රාජපක්ෂ සම්බන්ධ කර ගනු ලැබුවේ ඔහු මුහුදු රළ පිළිබඳව පර්යේෂණය කරන ප්‍රාමාණිකයකු වන නිසාය.

"සාමාන්‍ය විදිහට මුහුදේ රැල්ල ඇති වෙන්නේ සුළං නිසා. කුණාටු රළ කියලා හැඳින්වෙන්නේ අධික සුළං ධාරාවක් හෝ සුළි සුළං තත්ත්වයකදී ඇති වන මුහුදු මට්ටම ඉහළ යෑමත් එමඟින් ඇති වන මුහුදු රළ ගොඩබිමට පැමිණීමත් වශයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඝර්ම කලාපීය සුළි සුළං තත්ත්වයකදී එහි බාහිර කලාපයේ වායු පීඩනය එහි අභ්‍යන්තර නාභි ප්‍රදේශයට වඩා වැඩි වෙනවා. මෙම හේතුව නිසා සුළි සුළඟින් ආවරණය වන කලාපයේ පිටතින් ඇති කරන වැඩි පීඩනයත් අභ්‍යන්තර ප්‍රදේශයේ අඩු පීඩනයත් නිසා මධ්‍යම ප්‍රදේශයේ මුහුදු මට්ටම ඉහළ යනවා. ඒවගේම අධික සුළං තත්ත්වය නිසා එම සුළගේ ශක්තිය මුහුද මතුපිටට සම්ප්‍රේෂණය වීමෙන් මුහුදු රැල්ලක උස වර්ධනය වෙනවා. මෙවැනි අවස්ථාවක මුහුදු මට්ටමේ උස මීටර් 10 ක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මෙම අවස්ථාවේදී වඩදිය අවස්ථාවකුත් පවතිනවා නම් එයිනුත් මුහුදු මට්ටම තව තවත් ඉහළ යන්න පුළුවන්. වඩදිය බාදිය වෙනස් වීම ස්ථානය අනුව වෙනස් වෙනවා. එය ශ්‍රී ලංකාව අවට නම් මීටරයකට වඩා අඩුයි. කුණාටු රළවල විශාලත්වය අනුව එහි ගැබ්වී තිබෙන ශක්තිය වෙනස් වෙනවා. එම ශක්තිය වෙරළට මුදා හැරීම නිසා සිදු වන හානිය ඉතා භයානකයි. දේපළ සහ ජීවිත හානි සිදු වෙන්නේ කුණාටු රළවල තිබෙන ශක්තිය අනුව." යනුවෙන් සාගර විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් රාජපක්ෂ පැහැදිලි කළේය.

ඝර්ම කලාපීය සුළි සුළං ඉතාමත් වේගවත් වන අතර එය නාවික සැතපුම් 50 - 150 දක්වා වෙනස් විය හැකිය. මේ නිසා ඇති වන වායුගෝලීය අවපීඩන තත්ත්වය සමඟ විශාල වලාකුළු ඒකරාශි වේ. පසුව එය ධාරණිපාත වර්ෂාවක් සමඟ කුණාටු රළ පැමිණීම දක්වා වර්ධනය විය හැකිය. උදාහරණයක් වශයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් රාජපක්ෂ පෙන්වා දෙන්නේ 1970 ඇති වූ බෝලා සුළි කුණාටුව මඟින් බංග්ලාදේශයේ ලක්ෂ 6කට ආසන්න ජීවිත ප්‍රමාණයක් විනාශ වූ ආකාරයයි.

මුහුදු රළ මඟින් සිදු විය හැකි ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත පූර්ව දැනුම් දීමේ පද්ධතියක් සවි කිරීම ඉතා වැදගත් වේ. මන්ද එයින් ආපදාවන්ට ලක් විය හැකි ප්‍රදේශ සහ දින කීපයකට පෙර ආපදාවක් හඳුනාගත හැකි නිසාය.

මීට අමතරව වෙරළ අයිනේ කළු ගල් වැටි ඉදිකරනු ලබන්නේ වෙරළ ඛාදනය වළක්වා ගැනීම සඳහාය. එහෙත් පසුගිය 02 වැනිදා මුහුද ගොඩ ගැලීම හේතුවෙන් ගාලු පාරේ අකුරළ සිට කහව දක්වා කිලෝ මීටර් 3ක් දිගට යෙදු ගල් වැටියද තැනින් තැන කඩා වැටී තිබෙන අයුරු දක්නට ලැබිණි. මෙම වෙරළාරක්ෂක ගල්වැටිය නොතිබුණේ නම් ගාලු පාර සම්පූර්ණයෙන්ම කහවේ සිට අකුරළ දක්වා ඛාදනය වී විශාල හානියක් වීමට ඉඩ තිබූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. 

"වෙරළ ඛාදනය වළක්වා ගැනීමේ ක්‍රම කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි කළුගල් වැටි දැමීම. දෙවැනි ක්‍රමය හැටියට කෘත්‍රිමව වැලි අරගෙන වෙරළ වැලි දාලා පිරවීම පෙන්වා දෙන්න පුළුවන්. ස්වභාවධර්මයට අනුව වෙරළට වැලි ලැබෙන්නේ ගංගා ඇළදොළවලින් ගලාගෙන එන ජලය සමඟ. ඒත් ගංගාවල වැලි ගොඩදාන නිසා දැන් ගංගාවලින් වැලි එනවා අඩුයි. බටහිර වෙරළේ වැලි ගමන් කරන්නේ දකුණේ සිට උතුරට. නැඟෙනහිර වෙරළේ වැලි ගමන් කරන්නේ උතුරේ සිට දකුණට. වෙරළට වැලි ලැබෙනවා අඩු වුණාම ස්වභාව ධර්මයෙන්ම වෙරළ බලනවා, එයාට අවශ්‍ය වැලි කොහෙන්ද ගන්නේ කියලා. ඊට පස්සේ වෙරළ අයිනේ ගොඩබිම ඛාදනය කරමින් වෙරළට අවශ්‍ය වැලි ලබා ගන්නවා. ඒ නිසා වෙරළට වැලි දැමීමෙන් වෙරළ ඛාදනය වළක්වා ගන්න පුළුවන්. ඒත් වැලි දැමීමේ ව්‍යාපෘතියට අධික වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා වැලි දැමීම සිද්ධ වෙන්නේ අඩුවෙන්. ගල් වැටි යොදලා වෙරළ ආරක්ෂා කිරීමට තමයි වැඩි ප්‍රමුඛත්වයක් දෙන්නේ. ගල් වැටි යෙදීමේදී ඕනෑම උස රළකට ඔරොත්තු දෙන ආකාරයට තමයි අපි ගල්වැටි යොදන්නේ. එදා දකුණු පළාතට ඇතුළු වුණ මුහුදු රළ මීටර් 3කට වඩා උසින් පැමිණ තිබුණා. අපි කළුගල්වැටි දැමුවාට ඒතරම් උසකට යොදලා නැහැ. උස ගල් වැටි දමනවා නම් ලොකු වියදමක් දරන්න වෙනවා. එදා මුහුදු රළ රට ඇතුළට එනකොට ගල් කෑලි, වැලි එහෙම පාරට ඇවිත් පාරවල් අවහිර වුණා." යනුවෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ. සුජීව රණවක පැහැදිලි කළේය.

මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ද නගර සභාවද එක් වී මාර්ගයේ තිබූ ගල් වැලි සහ අනෙකුත් බාධක ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් රථවාහන ගමනාගමනයට ඉඩ සලසනු ලැබීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලට අමතරව වැලිගම, මිදිගම, පැළෑන, තල් අරඹ, කඹුරුගමුව, මඩීහ, පොල්හේන, මාතර, කොටුවේගොඩ, මැද්දවත්ත, කෝට්ටගොඩ, දෙවිනුවර, බෙලිඅත්ත, දික්වැල්ල, ගන්දර, නිල්වැල්ල යන ප්‍රදේශවලටද මුහුද ගොඩ ගැලීමෙන් බලපෑම් ඇති වී තිබිණි.

වාරකන් කාලයට මුහුදු රළ රට ඇතුළට ගලා ඒම සාමාන්‍ය දෙයක් වුවද මීටර් 3 -4 ක් උසින් මුහුදු රළ නැඟී ආවේ වසර 10 කට 15 කට පමණ පසුව බව පැවසුවේ ගාල්ලේ ධීවර කාර්මිකයන්ය.

"රළ පහර ධීවර වරායට කඩා වැදීම නිසා බහු දින යාත්‍රාවලට හානි වීමෙන් යාත්‍රා හිමියන්ට කෝටි ගණනක පාඩුවක් වෙලා තිබෙනවා.


මගෙ රත්තරන් පුතා තවම සොයා ගත්තෙවත් නෑ 
- පංකජ ජයෝද්ගේ අම්මා සිළුමිණට හැඩූ කඳුළින් කියයි

දකුණු මුහුද ප්‍රචණ්ඩ වීමත් සමඟ පසුගිය 02දා රළ පහරකට හසුවී දියඹට ගසාගෙන ගිය ගාල්ල තල්ගම්පල පදිංචි පංකජ ජයෝද් තවම සොයාගෙන නැත. ඔහු පිළිබඳව තොරතුරු සොයා අපි තල්ගම්පල පිහිටි ඔහුගේ නිවෙසට ගියෙමු. පංකජ ජයෝද්ගේ මව, ශිරාණි අජන්තා තම පුතාගේ අතුරුදන්වීම පිළිබඳව වේදනාවෙන් අප හා කතා කළේය. 

“යාළුවො එක්ක කතාවෙලා අපේ පුතාලා කැම්පස් එකේ ළමයි 16ක් එක්ක මාතර බෙලිවත්ත සීතගල්ල ස්වභාවික මුහුදු තටාකයට ගිහිල්ලා තියෙනවා. එහේදී මගේ පුතාත් තව දෙන්නෙකුත් මහා රළ පහරට අහුවෙලා මුහුදට ගහගෙන ගිහිල්ලා. මගේ රත්තරන් පුතා තවම හොයා ගත්තෙත් නැහැ.”

චණ්ඩ රළ පහරට තිදෙනක් හසුවී තිබු අතර ඉන් බේරාගත් දෙදෙනකු මේ වනවිට මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ගාල්ල තල්ගම්පල පදිංචි පංකජ ජයෝද් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයාය.

මව ශිරාණි අජන්තා මෙසේද කීවාය. “අපේ පුතා ඉගෙන ගන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ පළමු වසරේ. මට දුවෙක් සහ පුතාලා දෙදෙනෙක් ඉන්නවා. මේ පුතා රුහුණ් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නවා. ඉන්න අතරේ තමයි මෙහෙ ගිහිල්ලා තියෙන්නේ. මේ මුහුදු තටාකය බලන්න මේ අයට ප්‍රාදේශීය සභාවෙන් සල්ලි අරගෙන ටිකටුත් දීලා, ඒත් කිසිම ආරක්ෂාවක් නැහැ. අද මගේ දරුවට මේ දේ වුණා. මේ වගේ සිද්ධීන් වෙන අයට නොවෙන්න බලධාරීන් වග බලාගන්න ඕන. අපි ගියා බලන්න, මේ වගේ තැනක නාන්න තියා යන්නවත් හොඳ නැහැ. ප්‍රාදේශීය සභාව මේ වගේ තැන්වලට යන්න දීම කෙසේ වෙතත් මේ තැන් තහනම් කරන්න ඕන තැන්. මගේ රත්තරන් පුතා හොඳට ඉගෙන ගත්තා. අනේ මම දන්නෑ පුතාට මොනවා වුණාද කියලා.” 

“මේ පුතා අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාලා තියෙන තැන බලන්න අපි ගියා. කිසිම ආරක්ෂාවක් නැහැ. අපි ගියාට පස්සේ තමයි ආරක්ෂාවට බෝඩ් ගැහුවේ. මීට කලින් මේ දේ සවි කරා නම් මේ දේ වෙන්නේ නැහැ. ටිකට්වලට කියලා රුපියල් 1700.00 ක් අරගෙන තියෙනවා කියලා ආරංචියි. ටිකට් දීලා නැහැ කියලත් කියනවා.”යැයි යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන කීවේය.

අතුරුදන් අයගේ නැන්දනියක වන එස්.ශ්‍රියානි මහත්මිය මෙසේ කීවාය. “ මේ පුතා දක්ෂ දරුවෙක්. අනේ පුතාට මොනවා වෙලාද කියලා අපි හිත හිතා ඉන්නවා. මේ වගේ අනාරක්ෂිත තැන් ආරක්‍ෂිත තැන් කරන්න ඕන. නැත්නම් තහනම් කරන්න ඕනෑ. පිහිනන්න යන්න කලින් තමයි රළ ඇවිත් තියෙන්නේ. පුතා හැමෝම එක්ක හොඳින් ජීවත් වුණා. මගේ පුතා ගමේ කෑ අතරත් හොඳ හිත දිනාගෙන හිටිය හොඳ දරුවෙක්.”

හිනිදුම රවීන්ද්‍ර ලියනගේ 
ඡායාරූප :- රවින්ද්‍ර චන්ද්‍රලාල් - හිනිදුම විශේෂ

Comments