
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී පංචලිංගම් තුසිදරන් කළ රටක් වටින වැඩක්
මේ දිනවල තරමක් අඩුවුවද පසුගිය දිනවල අපට බැලූ බැලූ අත දක්නට ලැබුණේ ඉන්ධන පෝලිම්ය. ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ඒ අසල මාර්ගයෙන් යාමට අවම වශයෙන් විනාඩි 30ක පමණ කාලයක් ගත විය. එයට හේතු වූයේ ඉන්ධන ලබා ගැන්මට පැමිණෙන්නන් පිළිවෙළකට ඉන්ධන ලබා නොගෙන විධිමත් නොවන අයුරින් ඉන්ධන ලබා ගැනීමට යාමයි. එමෙන්ම කලහකාරී ලෙසින් හැසිරීමයි. මේ නිසා පළමුව පොලිසියත් පසුව යුද, නාවික හා ගුවන් යන ත්‍රිවිධ හමුදාවම යෙදවීමටත් සිදු විය.
එසේ වුවද මේ ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයට ස්ථිර විසඳුමක් නොවුණි. මෙයින් වඩාත්ම මතු වූ ගැටලුව වූයේ ත්‍රිරෝද රථ හා යතුරු පැදි තමන් ලබාගත් ඉන්ධන වාහනයෙන් ඉවතට ගෙන බූලි හෝ කෑන්වලට පුරවා යළිත් ඉන්ධන පෝලිමට එකතු වීමයි. මේ තත්ත්වයේ වර්ධනයක් මිස අඩුවක් දක්නට නොවීය.
තැන් තැන්වල පෝලිම්වල ජනතාව පැය ගණන් පෝලිම්වල සිට මිය යන්නටද විය. එමෙන්ම ඉන්ධන ලබා ගැනීමේදී පොලිසිය හා ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇති කර ගැනීමටද ඇතැම්හු පෙලඹුණහ. මේ තත්ත්වයට ස්ථිර විසඳුමක් ලබා දෙන්නට ඛනිජ තෙල් සංස්ථාවට හෝ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ හැකියාවක් නොවීය.
සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වූ මේ ගැටලුව කෙරෙහි අවධානය යොමු කරන්නට එක් තරුණ නිලධාරියෙක් සමත් විය. කුඩා කල සිටම පරිගණක විෂයට උනන්දු වූ ඔහු නමින් පංචලිංගම් තුසිදරන්ය. තුසිදරන් සිය ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිගණකය උපයෝගී කරගෙන යෙදවුමක් (ඇප් එකක්) නිර්මාණය කෙළේය. ඔහුගේ ඇප් එක හරහා දත්ත ඇතුළත් කිරීම ඉතා පහසු විය. එයින් මේ ඉන්ධන පෝලිම් සඳහා විසඳුමක් ලබා දෙන්නට හැකි වනු ඇතැයි ඔහු සිතුවේය. තවමත් 28 වෙනි වියෙහි පසුවන තුසිදරන් වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකි. දිනපතා කාර්යාලයට එද්දී පෝලිම් ගැටලුව ඔහු හොඳින් දුටුවේය. එමෙන්ම අවස්ථා ගණනාවකදී අවශ්‍යතාවයක් පවා නොමැතිව එකම වාහනය වරින් වර පෝලිම්වල නවතා තිබෙනු ඔහු දුටුවේය. ඒ අනුව බොහෝ දෙනා ඉන්ධන එකතු කිරීම පුරුද්දක් කරගෙන ඇති බවද ඔහුට වැටහී ගියේය. එම නිසා තම යෙදවුම (ඇප් එක) ඒ වෙනුවෙන් යෙදවිය හැකි නම් එය මහත් සේ ප්‍රයෝජනයට ගත හැක්කක් වනු ඇතැයි ඔහු සිතුවේය. ඒ අනුව ඔහු අත්හදා බැලීම් කිහිපයක් සිදු කෙළේය. තම නිවසේ සිට අවස්ථා ගණනාවකදී ලැප්ටොප් පරිගණකයෙන් මේ අත්හදා බැලීම කළ ඔහු පසුව එය පසෙකින් තබා ජංගම දුරකථනයෙන් පමණක්ම මේ ඇප් එක භාවිත කිරීමේ ක්‍රමවේදය අත්හදා බලන්නට විය. ඔහුට ගත වූයේ ඉතා සුළු කාලයකි. එය අතිසාර්ථකය.
ඔහු වහා තම නිර්මාණය ගැන වවුනියාව ප්‍රාදේශීය ලේකම් එන්. කමලදාසන් හමුවී තම නිර්මාණය ගැන අදහස ඉදිරිපත් කළේය.
‘‘ඉන්ධන පෝලිම් එකපාර නවත්වන්න බැරිබව මම දන්නවා. ඒත් සැලකිය යුතු පිරිසක් ඉන්ධන පෝලිම්වල ඉන්නෙ තෙල් එකතු කරන්න කියන එක මට තේරුම් ගියා. මම යන එන පාරෙ අද පෝලිමේ මුල හරියෙ තියෙන වාහනය, හෙට ආයෙත් පෝලිමේ අග හරියෙ තියෙනවා. මට තේරුණා මේ විදිහට කට්ටිය කටයුතු කළොත් හදිසියකටවත් කාටවත් තෙල් ටිකක් ගහගන්න විදිහක් නැහැ කියලා, මේ තත්ත්වය ලංකාව පුරාම තියෙනව ඇති කියල මට පැහැදිලි වුණා. ඒක නිසයි මම මේ වගේ ඇප් එකක් හැදුවෙ. ඒත් මම සංවර්ධන නිලධාරියෙක් නිසා මට ඒ සම්බන්ධව තීරණයක් ගන්න බැහැ. මම වවුනියාව ප්‍රාදේශීය ලේකම් කමලදාසන්ට ඒ බව කිව්වා. ඔහු ඉතාම සතුටු වුණා. මේ වගේ දෙයක් හරිම වැදගත් කියලා එතුමා මට කිව්වා. ඒ වගේම එතුමා ඉක්මනින් දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කළා. දිස්ත්‍රික් ලේකම්තුමාත් ඉතාම සතුටු වුණා. මට ඒ ගැන ලොකු සතුටක් ඇතිවුණා. මම දන්න ශිල්පයකින් රටට වැඩක් කරන්න හැකි වීම ගැන.
මම දන්න කාලෙ ඉදල දැක්කෙ යුද්දෙ ගැන කතා. වවුනියාව කියන්නෙ ඒ දවස්වල කොළඹ ඉදල එන්න පුළුවන් අවසන් නගරයයි. ඒ මානසිකත්වය මැද ඉගෙන ගත්ත අපට මේ වගේ තාක්ෂණික දැනුමක් ඇති කර ගන්න පුළුවන් වුණේ ගුරුවරුන්ගේ කැපවීමත් නිසයි. විශේෂයෙන්ම මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරපු වවුනියාව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය හා පරිගණක විද්‍යා අංශයට මම කෘතගුණ දක්වනවා. එහිදී ඇතිවුණු පන්නරය නිසා තමයි මේ ලෙසින් අලුත් අත්හදාබැලීම් කරන්න මට හැකියාව ලැබුණේ.
කොහොම හරි මේ ඇප් එක හඳුන්වා දීමෙන් පසුව ඉන්ධන පිරවුම්හල්වල තදබදය අඩු කර ගන්න පුළුවන් බව දිස්ත්‍රික් ලේකම්තුමාත්, ප්‍රාදේශීය ලේකම්තුමාත් කිව්වා. ඊට පස්සෙ තමයි අපි මේ ඇප් එක භාවිතයට යොමු වුණේ. දැන් ඒක ඉතා සාර්ථක බව කියනවා‘‘
‘‘මොකක්ද මේ ඇප් එක හරහා කරන්නෙ?‘‘
‘‘ මේ ඇප් එක වවුනියාව දිස්ත්‍රික්කයේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකට භාවිත කළ හැකි ලෙසින් අපි මේ වන විට සැපයුම් සකස් කර තිබෙනවා. එය දිස්ත්‍රික් ලේකම්වරයාගේ හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණේ. මේ ඇප් එකෙන් වෙන්නෙ යම් වාහනයක් වවුනියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ලබා ගැනීමට ගියවිට අදාළ වාහනයේ දත්ත එයට ඇතුළු කිරීමයි. එහිදී අදාළ වාහනයේ අංකය, ඉන්ධන වර්ගය, හිමිකරු ඇතුළු තොරතුරු ඇතුළත් වෙනවා. ඒ සමඟම ඇප් එක හරහා තොරතුරු ඇතුළත් කරන ලද ඉන්ධන පිරවුම්හල කුමක්ද යන්නත් අපට සොයා ගන්න පුළුවන්. ඒ සමඟම අදාළ වාහනයට ලබා දුන් ඉන්ධන ප්‍රමාණයද ඉන්ධන ලබා දුන් පිරවුම්හල හා වේලාව යන සියල්ල එහි සටහන් වෙනවා. මේ ඇප් එකට අනුව යළිත් දින 4ක් ගත වන තුරු එම වාහනයට වවුනියාව දිස්ත්‍රික්කයේ කිසිදු පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට හැකියාව නැහැ. සිපෙට්කෝ එහෙමත් නැත්නම් අයිඕසී ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේදී අදාළ දත්ත සියල්ලම එහි අන්තර්ගත වෙනවා. ඒ වගේම කියන්න ඕන මේ ඇප් එක ඕනම ස්මාට් ජංගම දුරකථනයකින් පහසුවෙන් යාවත්කාලීන කරන්න පුළුවන්. ඉතාම සරල භාවිතයක් තියෙන්නෙ. වාහන අංකය ඇතුළත් කළ විගස පෙර ඉන්ධන ලබාගත් දිනය, නැවත ලබාගත හැකි දිනය, මේ සියල්ල පෙන්වනවා. මේ නිසා දිගින් දිගටම පැමිණ ඉන්ධන ලබා ගැන්මට හැකියාවක් නැහැ. ජංගම දුරකථනයකින් ඉතාම සරලව මේ ඇප් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා කිසිම ගැටලුවක් ඇතිවන්නේ නැහැ. විදුලි බලය ඇණ හිටීම එහෙම නැත්නම් වෙනත් ගැටලු නැහැ. එක් ජංගම දුරකථනයක් අක්‍රිය වුවත් වෙනත් දුරකථනයක් හරහා පිවිසෙන්න පුළුවන්.‘‘
මේ සම්බන්ධයෙන් සිළුමිණ වවුනියාව ප්‍රාදේශීය ලේකම් එන්. කමලදාසන් පවසන්නේද ඇප් එක භාවිතය හරහා ඉන්ධනවලින් කරනු ලබන ජාවාරම් මැඬ පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.
‘‘මේ ඇප් එක හේතුවෙන් ජනතාවට අනවශ්‍ය ලෙස පෝලිම් තුළ රැඳී සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉන්ධන ලබාගත් පුද්ගලයකු දින හතරකට පසුව නැවත ඉන්ධන පෝලිම් වෙත පැමිණීම මත ඔවුනගේ කාලයද ඉතිරි කර ගැනීමට හැකිවී ඇති තියෙනවා. ඒ වගේම අපේ සාර්ථකත්වය මත මේ වන විට මේ ඇප් එක මන්නාරම, මුලතිව්, මඩකළපුව හා බදුල්ල දිස්ත්‍රික්කවලටත් ක්‍රියාත්මක කරන්න ඉල්ලීම් ඇවිත් තියෙනවා. අපේ සංවර්ධන නිලධාරී පංචලිංගම් ඒ වෙනුවෙන් කැමැත්ත පළ කර තියෙනවා නොමිලේම ඒ සේවාව ලබා දෙන්න. ‘ෆියුලෝමීටර‘ නමැති ඇප් එක තමයි මේ ලෙසින් භාවිතයට ගෙන තියෙන්නේත මේ නිසා නගරය ඇතුළු බොහෝ තැන්වල ඉතා සාර්ථකව මේ වන විට ඉන්ධන බෙදීම ක්‍රමවත් බවක් දක්නට තියෙනවා. පෝලිම් තිබුණත් යම්කිසි සාධාරණත්වයක් තියෙන බව ජනතාවත් දන්නවා. ආරම්භයේදී ජනතාව මේ ගැන ඒ තරම් තැකීමක් කරේ නැහැ. ඒකට විරුද්ධ වෙච්ච කට්ටියත් හිටියා. පසුව ඒ සියලු දෙනාටම තේරුණා මේ හරහා හැමට සාධාරණයක් වන බව. වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත් තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් සංවර්ධන නිලධාරීන් මේ වන විට අදාළ ඉන්ධන පිරවුම්හල්වලට ගොස් ඒ සේවාව කඩිනම් කිරීමට අදාළ සහාය ලබා දෙනවා. ඒ වෙනුවෙන් සංවර්ධන නිලධාරීන් 30 දෙනකු පමණ ඇප කැප වී කටයුතු කරනවා. ඉඳහිට කීප දෙනෙක් ඇප් එක නොසලකා ඉන්ධන ලබා ගැනීමට පැමිණෙනවා. නමුත් ඇප් එකට බොරු කරන්න බැහැ. දින 4ක් ඇතුළත ඉන්ධන ලබා ගත් අය බව දැන ගත්විට ආරක්ෂක අංශවලට අපේ නිලධාරීන් දැනුම් දෙනවා. එවිට ආරක්ෂක අංශ ඔවුන් හරවා යවනවා. දැන් ඒ විදිහට එන පිරිස ඉතාම අඩුයි.
ඒ වගේම මේ ඇප් එක ගැන ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍යවලින් හොඳ ප්‍රතිචාර ලැබී තියෙන නිසා අපට මේ කාර්යය ඉතා හොඳින් කරන්න පුළුවන්. මම කියන්නෙ මේ ක්‍රමවේදය ලංකාවටම ක්‍රියාත්මක කරන්න කියලා ‘‘වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍රගේ හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් එන්. කමලදාසන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ මේ ඉන්ධන ඇප් එක මේ වන විට උතුරු පළාතේ පමණක් නොව සමස්ත දිවයිනේම අවධානය යොදා ගන්නට සමත්ව තිබෙනවා. එයට හේතුව වන්නේ ඒ හරහා සැමට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට හැකියාව ලැබීමයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර පැවසුවේ දිස්ත්‍රික්කයේ ජනතාවට මෙය විශාල වටිනාකමක් ලබා දුන්නක් බවයි.
‘‘වවුනියාව ප්‍රාදේශීය ලේකම්වරයා මේ සම්බන්ධව මා දැනුවත් කළ විගස මම කිව්වෙ ඉක්මනින් ඒ සම්බන්ධව කටයුතු කරමු කියලයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාවට නංවන්න මම කටයුතු කළා.
ඒ අනුව දිස්ත්‍රික්කයේ යුද හමුදා අණ දෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ඉන්ධන පිරවුම්හල් හිමියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ගෙන්වා අප සාකච්ඡෘ කළා. ඒ සියලු දෙනා මේ ක්‍රමවේදයට කැමැති වුණා. හැමට අවශ්‍ය වුණේ සාධාරණ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන බෙදා හැරීමටයි.
ඒ අනුව ආරම්භයේදී දින 4කට වරක් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කළා. ඇප් එක හරහා වාහනයකට ඉන්ධන නිකුත් කළ සියලු විස්තර ලබාගත හැකියි කියන විශ්වාසය මත ජනතාව තුළ තියෙනවා. මේ ඇප් එක සාර්ථකව ක්‍රියාත්මක වීම නිසා මේ වන විට මඩකළපුව හා මුලතිව් දිස්ත්‍රික්කවලටත් ඇප් එක ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඉදිරයේදී මේ ඇප් එක වැඩිදියුණු කර දිස්ත්‍රික්කයේ ජනතාවට එස්.එම්.එස් පණිවුඩයක් මඟින් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වනවා.
මේ හරහා ඉන්ධන කළුකඩ ජාවාරමට තිත තියන්න අපට හැකියාව ලැබී තියෙනවා. එය සම්පූර්ණයෙන්ම වළක්වන්න නොහැකි වුණත් අපට හැකියාව ලැබී තියෙනවා උපරිම වශයෙන් එය පාලනය කරන්න.
දැනට සිදුවිය හැක්කේ බස් රථ සඳහා ඉන්ධන ලබා ගෙන ඒවා ධාවනය නොකර සිට ඉන්ධන අලෙවි කිරීම වැනි ක්‍රියාවන් සිදු කිරීමට පමණයි. සමස්ත ජනතාවගේම පිළිගැනීමක් තියෙනවා මේ ක්‍රමවේදය හරහා යහපතක් වන බවට. විශේෂයෙන්ම ඔවුන්ට තේරුම් ගොස් තියෙනවා මේ හරහා සියලු දෙනාටම සම ලෙසින් සැලකිල්ලක් වන බවට. ඒ නිසා ඒ ක්‍රමයට අනුගත වෙන්න හැමෝම එකතු වෙලා තියෙනවා. වවුනියාව කියන්නෙ සිංහල, දෙමළ ජනතාව වගේම මුස්ලිම් ජනතාවත් වෙසෙන නගරයක් ඒ සහෝදරත්වයටත් මේ ක්‍රියාදාමය හොඳින් බලපා තියෙනවා.
කොහොම වුණත් ඕනෑම කාර්යයක සාර්ථක අසාර්ථක බව රඳා පවතින්නේ ජනතා ක්‍රියාකාරීත්වය මතයි. ඒ ක්‍රියාකාරීත්වය මේ වන විට අපට නම් ඉතාම හොඳින් තියෙනවා. මේ න විට වවුනියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 16න් අයිඕසී පිරවුම්හල් 4ට පමණයි ඉන්ධන ලැබෙන්නේ. සිපෙට්කෝ පිරවුම්හල් 12 වසා දමා තියෙන්නෙ. අයිඕසී පිරවුම්හල්වලින් පසුගිය අඟහරුවාදා ඩීසල් ලීටර් 2000ක් ගොවිතැන් කටයුතු වෙනුවෙන් ලබා දුන්නා. ජනතාව තේරුම් අරගෙන තියෙන්නෙ මේ ක්‍රමවේදය අනුව සාධාරණත්වයක් වෙනවා කියලා. ඒ නිසා ගොවිතැන්වලට පවා ඉන්ධන ලබා දෙනවට ඒ අය එකඟ වෙලා සහයෝගය දෙනවා. ‘‘
මේ අනුව වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාව දුන් මේ යෙදවුම (ඇප් එක) සමස්ත ශ්‍රී ලංකාවටම හඳුන්වා දිය යුතුය. එහි වගකීම ඛනිජ තෙල් සංස්ථාව හෝ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සතුය. නොමිලේ ලබා දෙන මේ ඇප් එක ලබා ගැනීමට තවත් මාස ගණන් ගත කළහොත් එයින් සිදුවන හානිය සුළුපටු නොවනු ඇත.