අපි දෙන්නා දරුවන් එක්ක ගොඩක් සතුටින් හිටියේ | සිළුමිණ

අපි දෙන්නා දරුවන් එක්ක ගොඩක් සතුටින් හිටියේ

කුත්දා අපට මේ කතාව අසන්නට ලැබුණේ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ප්‍රදේශයෙනි. විශාල ප්‍රදේශයක කෙත් වතු සඳහා ජලය ලබාදෙමින් ගම්දනව් විශාල ප්‍රමාණයක සතාසීපාවන් ඇතුළු ජනයාගේ සා පිපාසාව සංසිඳුවන චන්ද්‍රකා වැවද කම්පා කරවමින් මවක් දරු දෙදෙනා සමඟ වැවට පැන්නේ ඉකුත් 01 වැනි දිනය.

සූරියවැව සමාජ සේවාපුර පදිංචි 32 හැවිරිදි සුරංගිකා මධුමාලිත් 35 හැවිරිදි කළුආරච්චිගේ ප්‍රේමතිලකත් මිට වසර 12කට පමණ පෙරදී විවාහ දිවියට ඇතුළු වූයේ දෙදෙනා අතර වු පෙම් පලහිලව්වක ප්‍රතිඵලයක් ලෙසය. එලෙස යුගදිවිය ඇරඹී දෙදෙනාට දාව පුතුන් දෙදෙනකු මෙලොව එළිය දුටුවේය. වැඩිමල් පුතු 11 හැවිරිදි කළුආරච්චිගේ දුෂ්මන්ත වු අතර ඔහු සූරියවැව මහ විදුහලේ 07 වසරේ ඉගෙනුම ලැබීය. නිවෙසේ බඩ පිස්සා වුයේ 05 හැවිරිදි කළුආරච්චිගේ නෙතුන් නෙත්මය.මධුමාලිත් ප්‍රේමතිලකත් දෙදෙනා දරුවන් සමඟ ඉතා හොඳ පවුල් දිවියක් ගත කළේය. ප්‍රේමතිලක රැකියාව ලෙස කළේ ගව පාලනයයි. ගවයන් තුන් හාරසියක් සමඟ ප්‍රේමතිලක නිතරම සිටියේ නිවසින් පිටවය. ඒ ගවයන් බලා ගැනීමට අවශ්‍ය නිසාය. නිතරම ප්‍රේමතිලක නිවසේ නොසිටියත් මධුමාලිටත් දරුවන් දෙදෙනාටත් කිසිදු අඩුවක් පාඩුවක් කළේ නැත. ඉඩක් ලද සෑම විටකම ප්‍රේමතිලක බිරිය හා දරුවන් සමඟ ආගමික කටයුතු වලට මෙන්ම අනිකුත් කටයුතුවලටද සහභාගි වීය. මිට වසර 03කට පමණ පෙරදී මධුමාලිගෙත් ප්‍රේමතිලකගේත් යුග දිවියට කණකොකා හඬන්නට වුයේ කිසිවකුටත් සිතාගන්නටද නොහැකි ලෙසය. ඒ මධුමාලිට හදිසියේ ඇති වු අසනීප තත්ත්වයකි. නිතර නිතර මධුමාලි අසනීප වීමත් සමඟ සිදුකළ වෛද්‍ය පරික්ෂණ වලදි අනාවරණය වූයේ මධුමාලි යම් මානසික රෝගයකින් පිඩා විඳින බවත්, ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුවපත් කරගත හැකි බවත්ය. මියගිය මධුමාලිත් ඇයගේ නැඟණියත් විවාහ වී සිටින්නේ එකම පවුලේ අයියා මලෝය.

මියගිය මධුමාලිගේ සැමියා වූ ප්‍රේමතිලක සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළේය.

“ අපි දෙන්නා දරුවන් එක්ක ගොඩාක් සතුටින් හිටියා. මධුමාලිට ලෙඩක් තිබුණා. ඒකට අපි බෙහෙත් ගත්තා. මධුමාලි පුංචිදේත් ගොඩාක් හිතන කෙනෙක්. මං පහුගිය ටිකේම හරක් දමාගෙන හිටියේ අම්පාරේ පොතුවිල් ප්‍රදේශයේ. එහේදී මගේ හරක් 13ක් හොර අරගෙන ගිහින් මස් කරලා තිබුණා. මේ නිසා මට නිතරම පොලිසි ගානෙත් යන්න වුණා. මධුමාලි හරිම බයෙන් හිටියා මං පොලිසිවල යනකොට මට මොනවා හරි වේවි කියලා. එයා නිතරම මට කිව්වේ අනේ මහත්තයෝ ඔයා නැතිව නම් මට මේ දරුවෝ දෙන්නා බලාගෙන ජිවත් වෙන්න බෑ කියලමයි. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවම මධුමාලි මට නිතරම කිව්වේ මං දැන් ලෙඩෙක්. මගේ අසනිපයත් එක්ක මට ඔයා නැතිව මේ ළමයි බලාගෙන ජිවත් වෙන්න බැ. එක්කෝ ඔයා වෙන විවාහයක් කරගෙන මේ ළමයි එක්ක සතුටින් ජීවත් වෙන්නකෝ කියලා නිතර මට කිව්වා.මම ඒ හැම වෙලාවකදිම මධුමාලිගේ හිත හැදුවා.මං මට පුළුවන් හැම වෙලාවෙම ගෙදර ආවා. පසුගිය 30 වෙනිදා මං ගෙදර හිටියේ. එදා හවස අපි දෙන්නත් එක්ක සූරියවැව ටවුමට ගිහින් පොඩි පුතාට බෙහෙත් අරගෙන ආවා. ඒ එනගමන් බැංකුවට ගිහින් රුපියල් 25000ක මුදලකුත් ගත්තා. මොනරාගල පන්සලකට බුදුපිළිමයක් පුජා කරන්න කියලා. ගෙදර ඇවිත් රෑ 10.30ට විතර අපි නිදා ගත්තා. කොහොම හරි මියගිය බාල පුතා පාන්දර 02ට විතර මගේ කාමරයට ආවා. මං ඇයි පුතේ කියලා ඇහුවම මට බඩගිනියි කිව්වා. ඊට පස්සේ එවෙලෙම මධුමාලිත් නැගිටලා කිරි තේ එකක් හදාල බිස්කට් එක්ක දුන්නා. එදා උදේ පාන්දර (01) මං පොතුවිල් යන්න තිබුණ නිසා මධුමාලි පාන්දර 4ට විතර නැගිටලා මට කන්න ගෙනියන්න බත් උයලා දුන්නා. මම ගෙදරින් පොතුවිල් යන්න බස් එකට යන්න ගෙදරින් පිටත් වුණේ පාන්දර 6ට විතරයි. ඒ වෙනකොට මධුමාලි මල් නෙළලා මට බුදුන් වඳින්න ඔක්කොම හදලා තිබුණා. මම බුදුන් වැදලා ගෙදරින් පිටත් වෙනකොට දරුවෝ දෙන්නත් ඇවිත් මට වැන්දා. මධුමාලිත් මගේ මුණ ඉඹලා පරිස්සමින් ගිහින් එන්න මහත්තයෝ කියලා කිව්වා. කොහොම හරි හවස් වෙනකොට මං පොතුවිල් ගිහින් පන්සලට බුදු පිළිමය අරන් දෙන්න ඕඩර් එක දුන්නා. පිළිමයට ලක්ෂ දෙකක් යනවා කිව්වම මං අරන්ගිය 25000ක මුදල ඇඩ්වාන්ස් කරලා ගෙදරට කෝල් එකක් ගත්තා. දවල් 02ට විතර වගේ මගේ මතකයේ හැටියට. ඒ වෙලාවේ පුතා ෆෝන් එක අරගෙන මට කිව්වා තාත්තේ පුළුවන් තරම් ඉක්මනට එන්න. අම්මා මල්ලි එක්ක වැවට පැන්නා කිව්වා. මට කර කියා ගන්න දෙයක් තිබුණේ නෑ. මං මල්ලිට අරන් ඇහුවා අක්කා ගෙදර ඉන්නවද කියලා. ගෙදර නෑ කිව්වම මං විස්තරේ කිව්වා. මං ඉක්මනට ඉක්මනට ගෙදර එන්න පයින් දුවන්න ගත්තා. කොහොම හරි මට කරකියා ගන්න දෙයක් නැතිව මං මොනරාගලට එනකම් ඇවිත් මොනරාගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂ ප්‍රියන්ත මහත්තයාට මේ ගැන කිව්වා. මට දරුවන් බලන්න යන්න විදියක් නෑ සර් කියලා. එවෙලෙම එතුමා මට වාහනයක් සූදානම් කරලා දුන්නා ගෙදර යන්න කියලා. මං ගෙදරට එනකොට නෝනත් පොඩි දරුවත් මියගිහින් තිබුණා.“

මියගිය මධුමාලිගේ මස්සිනා වු කේ.ඒ.යූ.සමන්ත මහතා මෙලෙස පැවසිය.

“ නංගිට මානසික ලෙඩක් තිබුණත් එය ප්‍රතිකාර කිරීමෙන් සුව අතට ඇවිත් තිබුණේ. පසුගිය මැයි මාසේ මල්ලි හරක් දමාගෙන හිටියේ පොතුවිල්වල.එහේදී මල්ලිගේ රුපියල් ලක්ෂ 20ක් විතර වටින් හරක් 13 දෙනෙකු හොරාට අරගෙන ගිහින් පිරිසක් මස් කරලා විකුණලා තිබුණා.

මල්ලි ඒ ගැන පොතුවිල් පොලිසියට පැමිණිල්ලක් කරන්න ගිහින් තිබුණා. නමුත් පොතුවිල් පොලිසිය මල්ලිගේ පැමිණිල්ල බාරගෙන තිබුණේ නෑ. සාක්ෂි අරගෙන එන්න කියලා තිබුණා පැමිණිල්ල බාරගන්න නම්. පස්සේ මල්ලි හරක් කපපුවාගේ විස්තර සහිත වීඩියෝවකුත් අරන් පොලිසි ගිහින් තිබුණත් පොලිසියෙන් මල්ලිට කිව්වලු හරක් හොරකම් කළ අය කවුද කියලා දන්නේ නැතිව පැමිණිල්ල බාරගන්න බෑ කියලා. ඉතින් පොලිසියෙන් මල්ලිව දවස ගානේ පොලිසියට ගෙන්වලා රස්තියාදු කරලා යැව්වා මිසක් මල්ලිට සාධාරණයක් කළේ නෑ. මේ සිදුවිමත් එක්ක මධුමාලි නංගි හිටියේ හරිම බයෙන්. මල්ලිට මොකක් හරි වුනොත් මට දරුවන් එක්ක ජිවත් වෙන්න විදියක් නෑ කියන බය නංගිගේ හිතතේ තිබුණා. එදා 01 වෙනිදා උදේම මල්ලිට පොතුවිල් පොලිසියෙන් එන්න කියලා තිබුණා. ඒකට යන්න තමා මල්ලි ගෙදරින් ගියේ. ඒ ගියාට පස්සේ පොලිසියෙන් මල්ලිට කරදරයක් වේවි කියන බියත් එක්ක තමා නංගි දරුවන් එක්ක ගිහින් චන්ද්‍රකා වැවට පැනලා තිබුණා “ යැයි පැවසිය.

මියගිය මධුමාලිගේ නැඟණිය වන සුදේශිකා දිමුතුමාලී මෙලෙස පැවසුවාය.

“ අක්කත් අයියත් අතර කවදාවත් රණ්ඩු සරුවත් ඇති වෙලා නෑ. අයියා ගව පාලනය තමයි කරන්නේ. අයියා නිතර ගෙදර නැහැ හරක් බලන්න යන නිසා. නමුත් එහෙමයි කියලා ගෙදර කිසිම දෙයකින් අඩුපාඩුවක් අක්කටවත් දරු දෙන්නටවත් තිබුණේ නෑ. ඒ සියල්ල අයියා හොයා බැලුවා.දැනට අවුරුදු 03ක වගේ ඉදලා අක්කට මානසික ලෙඩක් තිබුණා. ඒකට දැන් අවුරුදු 03ක් තිස්සේ බෙහෙතුත් බොනවා. හිටි ගමන් නම් අක්කා බෙහෙත් බොන්නේ නෑ. අයියා හරක් අරගෙන ගිහින් අම්පාරේ හිටියේ. ඒ ඉද්දී තමයි අක්කා මේ කරදරේ කරගෙන තිබුණේ. අයියා නිතරම ගෙදරින් එළියේ ඉන්න නිසා අයියට මොකක් හරි කරදරයක් වුනොත් මට දරුවන් සමඟ ජීවත් වෙන්න නම් බෑ කියලයි අක්කා නිතරම කිව්වේ. මොකද අක්කගේ වැඩිමල් දරුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. නමුත් ලොකු දරුවා ටිකක් මුරණ්ඩුයි කියලා අක්කා හරිම වේදනාවකින් තමයි හිටියේ. අක්කා අපි එක්ක කියලා නිතරම ලොකු පුතා කියන කිසි දෙයක් අහන්නේ නෑ. මට මේ සියල්ලම එපා වෙලා ඉන්නේ කියලා. ඒත් මන් අක්කට අනන්තවත් කිව්වා ඔවා ගනන් ගන්න එපා.ලොකු වෙනකොට ඕවා හරියාවි කියලාත්. කොහොම හරි හිතාගන්නවත් බැ “ ඇය පැවසුවාය. 

ජීවත් වීම කලක් තිස්සේ තමන්ගේ හිතට මහා වදයක් සේ සැලකූ මධුමාලී ජිවිතයට සමුදෙන්නට දිනයක් වේලාවක් බලමින් සිටි බව කිසිවෙකුත් දැන නොසිටියාය.ඉකුත් 01 වන දින ප්‍රේමතිලක යළි පොතුවිල් පොලිසියට යන්න පිටත් වීය. එදින තම අභිලාශය මුඳුන් පමුණුවා ගැනිමට හොඳම දවස යැයි සිතූ මධුමාලි දරු දෙදෙනාත් සූදානම් කරගෙන නිවසින් උදේ 10ට පමණ ඇඹිලිපිටියේ යමු කියා දරුවන් සමඟ ගොස් තිබේ. ඇඹිලිපිටියේ යමු කියා බස් එකට නැග්ග මධුමාලි දරු දොදෙනා සමඟ ඇඹිළිපිටිය චන්ද්‍රිකා වැව ළඟින් බැස්සාය. අම්මේ මට බඩගිණියි කුඩා දරුවන් හඩන්නට විය. එතනම තිබු හෝටලයකට දරු දෙදෙනා රැගෙන ගොස් බඩපිරෙන්නට දෙදෙනාටම කෑම අරගෙන දුන් මදුමාලි කුඩා දරුවාට එතනම වූ සෙල්ලම් බඩු කඩයකින් සෙල්ලම් ත්‍රි රෝද රථයක්ද අරගෙන දුන්නාය. පසුව තිදෙනාම ගියේ චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසලටය.

එතනට ගිය මධුමාලි සිය අත තිබූ ජංගම දුරකතනයෙන් අවසන් ජායාරූපයක්ද ගත්තාය. පසුව දුරකතනය හා අත තිබූ කුඩා මල්ලද වේල්ලේ පසෙකින් තැබූ මධුමාලි ලොකු දරුවාගේ අතින් අල්ලාගෙන කුඩා දරුවා වඩාගෙන වේල්ල අසලට ගියාය. අම්මා අපි මේ එක්ක යන්නේ අපේ පණ නහන්නට බව කිසිවිටකත් මේ දරුවන් නොසිතන්නට ඇත. කිසිවෙකුටත් කිසිවක් හිතන්නට අවස්ථාව නොවීය.මධුමාලි දරු දෙදෙනා සමඟ වේල්ලෙන් පහලට පැන්නාය. මහා වතුරේ පිහිනා විත් ලොකු දරුවා ගොඩට ආවත් මධුමාලිත් කුඩා දරුවන් ජල රකුසා අරගෙන ගියේය. වතුරෙන් ගොඩට ආ ලොකු දරුවා කෑ ගසන්නට විය. අහල පහල සිටි පිරිස් පැමිණ වතුරේ ගිලි සිටි මධුමාලිත් කුඩා දරුවන් ගොඩට ගත්තද පලක් නොවීය.වතුරෙන් ගොඩට ගන්නා විටත් මධුමාලී පණ අදිමින් සිටි අතර ඇයගේ ජිවිතය බේරාගැනිමට පිරිස් මහා වෙහෙසක් දැරුවද එය ව්‍යර්ථවිය. මවක් ලෙස මධුමාලි දෙපාරක් නොසිතා ගත් මෝඩ තිරණයක් හේතුවෙන් වයස අවුරුදු 05 ක දරුවාටද ජිවිතය අහිමි වීය.

නුවන් ජයසේකර, සූරියවැව විශේෂ

පසුබිම් වාර්තා - සේන වී. ගමගේ 
උඩවලව

Comments