හරිනිට තමයි හොඳටම තේරුණේ රනිල් කියයි | සිළුමිණ

හරිනිට තමයි හොඳටම තේරුණේ රනිල් කියයි

තෙල් අර්බුදය මේ දක්වා විසඳී නොමැති නිසා පසුගිය සතිය තුළදී ද දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමු වී තිබුණේද මෙම අර්බුදය කෙරෙහිය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව ද රැස්වුණු නිසා මැතිසබයද යම් යම් අවස්ථාවලදී උණුසුම් වූයේ තෙල් හා ගෑස් පිළිබඳව කතාබස් කෙරුණු නිසාය. 

ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවේ සභා ගර්බය තුළදීත් පාර්ලිමේන්තු සංකීර්ණයේදීත් විරුද්ධ පක්ෂයේ පිරිස් වෙත කියා සිටියේ තෙල් හා ගෑස් අර්බුද කඩිනමින් විසඳීමට උපරිම පියවර ගනිමින් සිටින බවයි.

“10 වැනිදායින් පසුව තෙල් හා ගෑස් බෙදාදීම ක්‍රම ක්‍රමයෙන් සිදු වෙනවා. ඊට ඉස්සරවෙලා දේශපාලන වාසි ගන්න රට ගිනි තියන්න එපා" යනුවෙන් ඔවුහු නිතරම පැවසූහ.

“මිනිස්සු තෙල් පෝලිම්වල මැරිලා වැටෙනවා. තවත් බලාගෙන ඉන්න බැහැ. ඉවසුවා හොඳටම ඇති.” යනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් සමඟි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ජනබලවේගයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ධම්මිකගෙන් රත්වෙන කතාවක්

මේ අතර මෙලෙස රත්වී තිබූ දේශපාලන ක්ෂේත්‍රය තවත් රත්වීමට ගන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා විසින් කරන ලද ප්‍රකාශයක් දෙබරකට ගැලූ ගලක් ආකාරයෙන් ඇවිස්සී ගොස් තිබුණු නිසාය.

“රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ඔහු අග්‍රාමාත්‍යධුරයේ හිටියට ප්‍රශ්නයක් නැහැ. නමුත් මුදල් ඇමතිකමට සුදුසු නැහැ. රටට ඩොලර් ගෙන එන සැලසුම් ක්‍රියාත්මක කරන්න මුදල් ඇමති වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කරමින් ධම්මික පෙරේරා දෙබරයකට ගල් ගැසුවේ පසුගිය 06 වැනිදා දහවල්ය.

ධම්මිකගේ කතාව රනිල් දැනගත්තේ හර්ෂගෙන්

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව රැස්වී තිබුණු අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා‍ගෙන් ප්‍රශ්න අසන අවස්ථාව මැතිසබය තුළ සිදුවෙමින් පැවතුණි.

රටේ ආර්ථීකය ගැන ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් සිටියේ සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාය.

“මෙන්න ඔබතුමන්ට අයින්වෙන්න කියලා ධම්මික පෙරේරා ඇමතිතුමා දැන් කිව්වා කියලා මේ දැන් මට නිවුස් ඇලර්ට් එකක් ආවා. මා දන්නේ නැහැ. මොකක්ද කාරණය කියලා. ඔබතුමා වහාම මේකට උත්තරයක් දුන්නොත් හොඳයි.” යනුවෙන් හර්ෂ ද සිල්වා ප්‍රකාාශ කළේය. රනිල්ට පමණක් නොව එම ප්‍රකාශය හරහා එම පුවත මුළු රටටම දැනගැනීමට ඉඩ හැරියේද හර්ෂ ද සිල්වාය. ඊට මඳක් සිනහවෙමින් ප්‍රතිචාර දැක්වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමා එ් ගැන බලන්නම් කියාය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් රනිල් හොයාගෙන ආවේ ඇයි?

එදින සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආරක්ෂක මණ්ඩල හමුවට ද අගමැතිවරයා සහභාගී වූ අතර රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් එහිදි සාකච්ඡාවට බදුන් විය. අගමැති රනිල් බදාදා පාර්ලිමේන්තුවට පැමිණ සිය කාර්යාලයට යන්නට මත්තෙන්ම මැති ඇමතිවරුන් පිරිසක් ඔහු හමුවී තොරතුරක් විමසන්නට විය.

“ඇමති ධම්මික පෙරේරා, මුදල් ඇමතිකමින් සර්ට අයින් වෙන්න කියලා මාධ්‍ය හමුවක් තියලා කියලා තියෙනවා. ආණ්ඩුවට මොකද වෙන්නේ.“ මන්ත්‍රීවරු විමසන්නට වූහ.

“බලමු මම මේ ගැන හොයලා බලන්නම්.“ යැයි කියමින් අගමැතිවරයා එතනින් පිටව ගියේය.

පසුව මේ කාරණය ගැන ස.ජ.බ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුව තුළදීම විමසා සිටියද ඇමති මණ්ඩල සාමුහිකත්වය ගැන දන්නා අගමැති රනිල් ඊට සෘජු පිළිතුරක් නොදී ප්‍රශ්නයෙන් මගහැර ගියේය.

පසුව පොදුජන පෙරමුණේ ස්වාධින පසුපෙළ මන්ත්‍රීවරුන් වන වසන්ත බණ්ඩාර, මධූර විතානගේ, චාමර සම්පත් දිසානායක මෙන්ම ඇමති සුසිල් ප්‍රේමජයන්ත ද පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය වෙත පැමිණියේ අගමැති රනිල් මුණ ගැසීමටය.

“ඇමති කෙනෙක්ට පුළුවන් ද තවත් ඇමති කෙනෙක් අයින් වෙන්න කියලා ප්‍රසිද්ධියේ කියන්න.“ වසන්ත යාපා විමසීය.

“එහෙම අවශ්‍යතාවක් තියෙනවා නම් ඒක කියන්න ඕනේ මාධ්‍යයට නොවෙයි කැබිනට් එකේදී ජනාධිපතිතුමාට.“ ඇමති සුසිල් කීවේය.

“කැබිනට් සාමුහිකත්වය කියලා එකක් තියෙනවා නේද? කැබිනට් සාමුහිකත්වය පිළිපදින්න ඇමතිවරු බැදී ඉන්නවා නම් මෙහෙම කතා කරන්න පුළුවන්? මොකක්ද මේ විහිළුව. මේවට විනය පියවර ගන්න.“ චාමර සම්පත් දිසානායක විමසුවේය.

“ආණ්ඩුවේ ඇමතිවරුන්ට මෙහෙම කතා කරන්න දෙන්න බෑ. අපිත් මේ ගැන පාර්ලිමේන්තුවේදි කතා කරනවා.“ මධුර විතානගේ කීවේ අගමැති දෙස බලමිනි.

සියල්ල හමුවේ හිස සලමින් සහ සිනහසෙමින් සිටි අගමැති රනිල් “මටත් මෙතන කැබිනට් සාමුහිකත්වය තියෙනවා.

ඒක නිසා මම කැබිනට් එකේදීම මේ ගැන කතා කරන්නම්.“ යැයි කීවේ සැමට සහතිකයක් දෙමිනි. මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කළ පරිදිම ඔවුන් විවාදයේදී ද ඇමතිවරයාගේ ප්‍රකාශය විවේචනය කරමින් කතා කරන්නට වූහ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මොකද වුණේ?

ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊට සහභාගී වූහ. මුලින්ම අගමැති රනිල් එහිදී ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රගතිය මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය.

‘‘ IMF ” එකත් එක්ක තිබුණ සාකච්ඡා සාර්ථකයි. අපි ඒ ගැන ඉදිරි පියවර ගනිමින් තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී මන්ත්‍රීවරු දැනුම්වත් කරන්න කටයුතු කරනවා.” අගමැති රනිල් කීවේය.

අනතුරුව කතා කළේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරය, අමරවීර කතා කළේ පොහොර ගැනය.

‘‘ පොහොර නැව දැන් පිටත්වෙලා තියෙන්නේ. 08 වෙනිදා රෑ පොහොර නැව ලංකාවට ඒවී. 09 – 10 දවස් දෙකේ අපි පොහොර බෙදා හරින්න කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලයි තියෙන්නේ.” අමරවීර කීවේය.

කාචංන විජේසේකර ඇමැතිවරයා අනතුරුව තෙල් තත්ත්වය පැහැදිලි කළේය.

‘‘ලබන සතිය වනවිට ඩීසල් නැව් දෙකක් ශ්‍රි ලංකාවට එනවා. ඒ එක්කම පෙට්‍රල් නැවකුත් ගෙන්වා ගැනීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඩීසල් නැව් සඳහා මුදල් ගෙවීම අවසන්.” කාංචන පැහැදිලි කළේය.

වීරසේකර ගන්න යන තීන්දුව මොකක්ද?

අනතුරුව කතා කළේ සරත් වීරසේකරය.

‘‘ එළියේ තත්ත්වය හරිම භයානකයි. හැම තැනම තෙල් පෝලිම්. මිනිස්සු ලොකු පීඩනයක ඉන්නේ.

කඩේකට යන්න බෑ අපිට අපහාස කරනවා. තෙල් ගබඩා කර ගැනීම තමයි ලොකුම ප්‍රශ්නය. අද රට තුළ නීතිය හා සාමය බිඳ වැටිලා. ජනතාවගෙන් මේ ප්‍රශ්නය විසඳගන්න කිසිම සහයෝගයක් නෑ. ත්‍රීවිල් අය පාරේ හයර් කරන්නේ ෂෙඩ්වල පෝලිමේ ඉදලා තෙල් ගහලා විකුණන එක. පාරේ ඉන්න අයත් පොලිමේ ඉන්න අයත් මේක විසඳගන්න අපිට සහාය දෙන්න ඕනෑ. වීරසේකර කීවේය.

වීරසේකර IMF සාකච්ඡා ගැන වැඩි ප්‍රසාදයක් දැක්වූයේ නැත

ගිනි තැබීමක් ගැන ලන්සා කියයි

නිමල් ලන්සා කීවේ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් එක්ව රට ගිනි තබන්නට උත්සාහ කරන බවය.

‘‘ජනතාවට අපි විශ්වාසයක් ඇති කරන්න ඕනෑ ආණ්ඩුවක් විදියට අපි දැන් මේ අර්බුදය විසඳගන්න කටයුතු කරගෙන යනවා. ගමට අපි කරන දේ ගැන කියන්න ඕනෑ. අපි බොහොම අමාරුවෙන් ඩොලර් හොයාගෙන තෙල් හොයලා ගෙනාපුවාම ඒවා ජාවාරමක් කරගෙන. මේවට විරුද්ධව පියවර ගන්න. ලන්සා කිවේය.

‘‘අපි කොච්චර තෙල් ගෙනාවත් ෂෙඩ් පාලනය කරන්නේ චණ්ඩි. ත්‍රිවිධ හමුදාව සමඟ ගැටුම් ඇති කරගන්න තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මේක වහාම නතර කරන්න ඕනෑ. මේක ගණන් කළේ නැත්නම් කොච්චර තෙල් නැව් ආවත් අපිට පාලනය කරගන්න බැරි වෙයි.” තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.

රනිල්ගේ අඩි පාරේ යන්නේ කවුද?

මේ ආණ්ඩුව මිනිසුන්ට සහනයක් දෙන්න මහන්සි වෙනවා.

ජනාධිපතිතුමා හැම වේලාවෙම කටයුතු කරන්නේ ඒකට. හැබැයි ආණ්ඩුවේ නරක ජනාධිපතිතුමාට විතරයි. හොඳ යන්නේ වෙන අයට. තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.

අගමැති රනිල් පාර්ලිමේන්තුවට අඟහරුවාදා ගියේ විශේෂ ප්‍රකාශය කිරීමට ය.

ඔහු පාර්ලිමේන්තු ලොබියේ සිට සභා ගර්භයට යද්දී අගමැතිවරයාට විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මූණ ගැසුණු අතර ඔවුන් සියල්ලෝම ඉන්ධන අර්බුදය ගැන විමසන්නට වූහ. “පාර්ලිමේන්තුව ඇතුළෙදිම අහන්නකෝ..“ අගමැතිවරයා සිනාසෙමින් සභාව තුළට ගියේය.

මාස හයෙන් රටේ ආර්ථිකය ධනාත්මක කිරීමට හැකිනම් තමන් අගමැතිකම අනුර දිසානායකට බාරදෙන්න සුදානම් යැයි රනිල් කියද්දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට ඉවත්ව යන ලෙස ඉල්ලමින් කළ විරෝධතාවයෙන් පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැතිවරයා මුණ ගැසුණේ පාර්ලිමේන්තු කාර්යාලයේදී ය.

“සර් අද ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ආත්ම ශක්තියක් ඇතිවෙන ලෙස කටයුතු කළා.

ඔබ තුමා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර මහත්තයට කරපු අභියෝගය ඉතාමත්ම හොඳයි. එතකොට තමයි ප්‍රායෝගිකත්වය ගැන ඒගොල්ලන්ට සිහියට එන්නේ. යනුවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනක් අගමැති රනිල්ගේ වික්‍රමසිංහට ප්‍රකාශ කළහ.

ඇයි ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මන්ත්‍රීතුමියම කියලා තියෙනවා මේ ප්‍රශ්න විසඳන්න කාලයක් යනවා. එකපාරටම විසඳගන්න බැහැ. කවුරු ආණ්ඩුව ගත්තත් යම් කාලයක් යන එක අනිවාර්යයි. ඒක හරිනි අමසූරිය මන්ත්‍රීවරියට හොඳට තේරිලා තියෙනවා” යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

අනුර කුමාර දිසානායක මහත්තයට තේරුණේ නැති වුණාට ආචාර්ය හරිනි අමරසුරිය මන්ත්‍රීවරියට නම් මේ ගැටලු විසඳන්න කාලයක් යන බව හොදට තේරිලා තියෙනවා. එතකොට අගමැතිතුමා හරිනි මන්ත්‍රීතුමිය ජනතා විමුක්ති පෙ‍රමුණේ වුණාට එතුමිය යන්නේ ඔබතුමාගේ අඩි පාරේ.” යනුවෙන් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරද්දී අග්‍රාමාත්‍යවරයා ඊට මඳක් සිනාසෙමින් ප්‍රතිචාර දැක්වීය.

සජිත්ගෙන් කිරිඇල්ලට තවත් වගකීමක්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරන සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට තවත් වගකීමක් හිමිවී තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීම සඳහා පත්කර තිබෙන කමිටුවේ කැඳවුම්කරු ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල පත්කර ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ වලින් සැඳුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම දැනුවත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීමයි.

ඊට ආර්ථීක හා දේශපාලන වශයෙන්ද අනුකමිටු 02ක් ඇතුළත් කර තිබේ. ආර්ථීක අනුකමිටුවේ ප්‍රධානියා ආචාර්ය හර්ෂ ද සිල්වායි.

දේශපාලන අනු කමිටුවේ ප්‍රධානියා වශයෙන් දොස්තර රාජිත සේනාරත්නයි.ජනතා විමුක්ති පෙරමුණ හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කගේ බහුතරයක් ලබාගෙන සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ඇති කිරීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.

දිනේෂ්, ඩග්ලස් ඇතුළු පක්ෂ නායකයෝ බැසිල් හමුවෙති

මහජන එක්සත් පෙරමුණ,EPDP,TMVP සහ දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුලු ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන සහෝදර පක්ෂ කිහිපයක නායකයින් පිරිසක් පසුගිය බදාදා හැන්දෑවෙ නෙලුම් මාවත කාර්‍යාලයට ආවා.

ඒ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මුණගැහෙන්න.

දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද ,සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, යදාමිණි ගුණවර්ධන, කුලසිංහම් තිලීපන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයන් සහෝදර පක්ෂ වෙනුවෙන් පැමිණ සිටි අතර පොදුජන පෙරමුණේන් බැසිල් රාජපක්, GL පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් එක්ව සිටිය.

අපි වෙනදටත් වඩා ශක්තිමත්ව එකමුතු වෙලා මේ වෙලාවෙ වැඩකරන්න අවශ්‍යයි. දිනේෂ් ගුණවර්ධන එහෙම කියද්දි බැසිල් රාජපක්ෂ කිව්වෙ අපි නිතර මුණගැහිල කතා කිරීමත් බොහොම වැදගත් බවයි.මම පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙනුත් ඉල්ලා අස් උණාට පස්සෙ දැන් රාජ්‍ය පාලනයට සම්බන්ධයක් නෑ.

නමුත් මේ අර්බුදකාරී තත්ත්වයන්ගෙන් අත්මිදීම වෙනුවෙන් දේශපාලනිකව දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම මම දෙනව.

ඔබතුමා ඉන්දීයාවට ගිහින් මෝදි අගමැතිතුමා එක්ක කතා කරල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක ගත්තේ නැත්නම් අපි මීට වඩා ලොකු අමාරුවක තමයි වැටෙන්නෙ.

ඩග්ලස් දේවානන්ද එහෙම කිව්වෙ බැසිල් රාජපක්ෂට ප්‍රතිචාර දක්වමින්.

අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් අරමුදලක්

පසුගිය මැයි 09 වැනිදා විරෝධතාකරුවන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඉතා අමානුෂික ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට මාදිවෙල මිතුරෝ සංවිධානය පෙරමුණ ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ අදහසක් අනුව මෙම අරමුදල පිහිටුවා එය අතුකෝරාළ හිටපු මන්ත්‍රීවරයාගේ දරුවන්ට ලබාදීමට සැලසුම්කර ඇත.

මේ සඳහා ආණ්ඩු පක්ෂය නි‍යෝජනය කරන සියලුම දෙනා, ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට ගොස් ස්වාධීන වී සිටින සියළු දෙනා ඇතුළු ජනතා නියෝජිතයින් 157 දෙනකුගේ කැමැත්ත පළ කර ඇත.

එම අරමුදල ඇති කිරීමේ අරමුණ පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් සකස් කරන ලද ලේඛනය මෙම ජනතා නියෝජිතයින්ට ලබා දීමට නියමිතයි.

ඇමරිකානු තානාපතිනියගෙන් වජිරට සුබ ආරංචියක්

මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය බ්‍රහස්පතින්දා සවස ඇමරිකානු තානාපතිනිය වන ජුලියානා චුන්ග් (Julie Chung) සමඟ සුහද සාකච්ඡාවක් හෝටර්න් පෙදෙසේ පිහිටි තානාපතිවරියගේ නිල නිවසේදී පවත්වනු ලැබීය.

එහිදී IMF සාකච්ඡා සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වූ අතර මෙම වසරේදී සුබදායක ප්‍රතිඵලයක් ලැබෙන බවද තහවුරු වී තිබුණි.

ද්විපාර්ශ්වික ණය ලබාගැනීමට විශේෂයෙන් ඇමරිකන් සමාගම් විසින් සෘජු විදේශ ආයෝජන ලැබීමට ඇති ඉඩකඩ ගැනද මෙහිදී කතාබහ විය.

ඒ වගේම මෙහිදී වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්ද විස්තර පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය.

රුසියානු සහ ජපාන තානාපතිවරුන් දිනේෂ්ට කීවේ මොනවාද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මිතුරු රටවල් දෙකක් වන රුසියාව සහ ජපානයේ මෙරට,තානාපතිවරු පසුගිය සතියේ දින දෙකකදී පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට අමාත්‍යංශයට පැමිණ තිබිණි.

රුසියානු තානාපති Yury Matery, කොළඹ 07, නිදහස් චතුරස්‍රය පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණියේ පසුගිය 29 වැනිදාය.

ඒ, මෙරට තෙල් අර්බුදයට රුසියාවේ සහය ලබාගැනීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මෙන්ම රුසියාවේ ගුවන් යානයක් මෙරට නතර කර ගැනීමේ සිද්ධියද කතාබහට ලක්වෙමින් පැවති අවස්ථාවකය.

ගුවන් යානයේ ගැටලුව පැන නැගි අවස්ථාවේ දිනේෂ් සෘජු ස්ථාවරයක සිටියේය.

" ශ්‍රී ලංකාවේ රඳවාගෙන තිබෙන රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීම මෙරට බලධාරීන් කටයුතු කළ යුතුයි.

දෙරට අතර හා ආර්ථික වශයෙන්ද විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියා කළ යුතුයි. " ඔහු කීවේය.

රුසියාවේ සහය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා, දිනේෂ් හමුවූයේ බ්‍රහස්පතින්දා (07)ය.

ඒ, පසුගිය රජය සමයේ කොළඹ නගරබද ගමනාගමන බාධා වළක්වා ගැනීමට යෝජනා වූ,ජපාන සහනදායී ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය, වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි පසු අහෝසි කිරීමට තීරණය කිරීමේ සිද්ධියද අවසාන විසඳුමකින් තොරව පැවතියදීය.

මේ නිසා ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝකාලීන මිත්‍රත්වයේ අතීතයද, නොබැඳි පිළිවෙතද මෙම සාකච්ඡාවට හොඳ පසුබිමක් සකස් කෙරිණි.

ෂින්ෂෝ අබේ ඝාතනයෙන් මහින්ද කම්පා වෙයි

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේට (shinzo Abe) වෙඩි ප්‍රහාරයක් එල්ල වී රෝහල්ගත කළ ප්‍රවෘත්තිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැනගන්නේ 08 වැනි සිකුරාදා උදෑසන 9.00ට පමණය.

විදෙස් ප්‍රවෘත්ති නරඹමින් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ඔහු සමඟ සිටි කිහිප දෙනෙකු සමඟ ප්‍රකාශ කළේ ෂින්ෂෝ අබේ මහතා තමාගේත් ශ්‍රී ලංකාවේත් ඉතා හොඳ මිත්‍රයකු බවයි.

ඒ අවස්ථාවේදීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයට කතා කොට වැඩිදුර තොරතුරු විමසීමට ද මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.

ඉන් පැය 5.00කට පමණ පසු රෝහල්ගත කර සිටි ෂින්ෂෝ අබේ මහතා මිය ගිය පුවත අසා මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස කම්පාවට පත් විය.

“ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා විශාල සහයෝගයක් ලබාදුන්නා. අපේ තරුණයන්ට ජපානයේ නව රැකියා අවස්ථා ලබා දුන්නා.

රටවල් දෙක අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන්න ෂින්ෂෝ අබේ මහතා කැපවුණා. මෙම ඝාතනය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වුණු බරපතළ තර්ජනයක්. මේ ඝාතනය රටක් ලෙස අපි තරයේ හෙළා දකිනවා.” යනුවෙන් ෂින්ෂෝ අබේ මහතාගේ ඝාතනය වෙනුවෙන් ශෝකය පළ කරමින් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

Comments