ව්‍යාජ ධනාත්මක චින්තනය භයානකයි | සිළුමිණ

ව්‍යාජ ධනාත්මක චින්තනය භයානකයි

ඔය කිසි දෙයක් ගණන් ගන්නෙ නෑනෙ."

" ඒ කිව්වෙ? "

" ලෝකෙ පෙරළුණත් මට ගානක් නෑ. මං හිත හදාගෙන ඉන්නෙ."

" ඒක හරි පුදුම වැඩක්නෙ. එහෙම හිත හදාගෙන, හිර කරගෙන ඉන්නා එකම පුදුම වදයක්නෙ."

ලෝකෙ පෙරළුණත් ගානක් නැති ගණනට ඉන්නා මිනිසුන් අප අතර නැතුවා නොවේ. හිත ගල් කර ගැනීම හෝ " අපි සංතෝසෙන් ඉන්නේ - දුක ශෝකය නෑ දන්නේ " (Good vibes only) තාලයෙන් ජීවත් වීම මනසට එක්තරා ආකාරයක පීඩාවක් ලෙස සැලකේ. මෙය හැඳින්වෙන්නේ පීඩාකාරී ධනාත්මකබව ( Toxic Positivity) යනුවෙනි. වඩාත් සරලව පැහැදිලි කළහොත් අසීරුවෙන් ධනාත්මක සංකල්පවල එල්ලී ගෙන සිටීම යනුවෙන් ද මේ තත්ත්වය වටහා ගත හැකිය. එක් අතකින් එය ව්‍යාජ සර්ව සුබවාදී බවකි.

කෙතරම් අසීරු, පීඩාකාරී හා වේදනාකාරී තත්ත්වයක් මතු වූයේ වුවද එය ඉවසා දරා ගන්නට වෑයම් කිරීමත්, ව්‍යාජ සර්ව සුබවාදී බවකින් ඒ හැඟීම් වසාගෙන සිටීමක් වශයෙන් ද තවදුරටත් එය පැහැදිලි කර ගන්නට පුළුවන. ධනාත්මක චින්තනය හරහා සර්ව සුබවාදියකු ලෙස ජීවිතයට යම් වාසියක් සාර්ථක බවක් උදා කර ගන්නට හැකි බව ඇත්තකි. එහෙත් මේ පීඩාකාරී හෙවත් ව්‍යාජ ධනාත්මකබව හරහා සිදු වන්නේ ව්‍යාජ ආකාරයෙකින් අසීරු චිත්තවේගවලට මුහුණ දීමය.

ධනාත්මක සංකල්පවල රැඳී සිටීම හා සුබවාදී සංකල්පය කවරකුගේ වුව මානසික සෞඛ්‍යය කෙරේ සාධනීය යහ බලපෑමක් ඇති කරන්නකි. එහෙත් ඇත්ත කතාව නම් ජීවිතය හැමවිටම ධනාත්මක නොවීමය. එදිනෙදා ජීවිතයේදී වේදනාකාරී , පීඩාකාරී චිත්තවේගවලට හා අත්දැකීම්වලට මුහුණ දෙන්නට අපට සිදු වෙයි. මේ චිත්තවේග බොහෝ විට අප්‍රසන්න හා වේදනාකාරී වුවද ඒවා තේරුම් ගැනීම, විවෘත හා අවංක ලෙස ඒවා සමඟ ගනුදෙනු කිරීම අනිවාර්ය කාරණයකි.

පීඩාකාරී ධනාත්මක බව හෝ ඒ හා සම්බන්ධ හැඟීම් යමකු ධනාත්මක සංකල්පවලින් ඔබ්බට ඇදගෙන ගොස් අධි සාමාන්‍යකරන අන්තයක තනිකර දමයි. එය සාමාන්‍ය මානසික ක්‍රියාකාරීත්වයට පටහැනි වන්නා පමණක් නොව මානව චිත්තවේග තනිකර ධනාත්මක හෝ තනිකර සෘණාත්මක නොවන බවට ඇති ස්වාභාවික පිළිගැනීම පවා ඉක්මවා යයි.

එය අපට කීප ආකාරයකින්ම අවාසිදායක වෙයි. පෞද්ගලික ජීවිතයට මෙන්ම සාමාජයීය ජීවිතයට ද එයින් යම් බලපෑමක් පීඩාවක් සිදුවන්නට ඉඩ තිබේ. " සියල්ල සිදු වන්නේ හොඳට" යැයි අප කුඩා කල සිටම දරුවන්ට හුරු කරමු. අප එබන්දක් පවසන්නේ චිත්තවේග දරා ගන්නට යම් උදවුවක් වශයෙනි. එහෙත් එය පීඩාකාරී හෝ ව්‍යාජ අන්තයට සිතේ පැලපදියම් වුවහොත් කවර අවාසනාවකදී හෝ පරාජයකදී හෝ අවාසියකදී යළි උත්සාහ කරන්නට හෝ සටන් කරන්නට හෝ නොපෙලඹෙන්නට ඉඩ ඇත.

අනෙක් අතට සමාජයීය වශයෙන් එය තහවුරු වූ කල එරෙහි විය යුතු සටන් කළ යුතු තත්ත්වවලදී පවා සියල්ල සිදුවන්නේ හොඳට යැයි සිතා කරබාගෙන ඉන්නට ඉඩ තිබේ. එය පුද්ගලයන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් හෝ අපේ ඉදිරි ගමනට බාධාවකි.

ඇත්තෙන්ම සුබවාදීබව නපුරට හේතුවක් නොවේ. එහෙත් යමකු තම ඇතුළාන්තයේ ඇති මානසික ගැටලු හා පීඩා ගැන කල්පනා නොකොට ඒවාට පිළියම් නොසිතා සර්ව සුබවාදී සංකල්පවලින් එවා යටපත් කර දමන්නට උත්සාහ කරන්නේ නම් එතැනදී ඇති වන්නේ ගැටලුවකි. එපමණක් ද නොව හැම විටම ඒ ආකාරයෙන් හිතන්නට පතන්නට, කටයුතු කරන්නට යාම අනෙකකුට , විශේෂයෙන්ම අපේ කිට්ටුවන්තයන්ට හා පවුලේ සාමාජිකයන්ට වුව පීඩාවක් බවට පත් වන්නට ඉඩ ඇත.

2020 වසරේදී සිදු කළ අධ්‍යයන ගණනාවක්ම පෙන්වා දී තිබුණේ මේ පීඩාකාරී ධනාත්මක බව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, සාමාජයීය හා පුද්ගල සම්බන්ධතා බිඳීයෑම කෙරේ බලපා ඇති බවය. එහිදී සිදුව ඇත්තේ සැබෑ හානිය හඳුනා ගැනීමේ ඇති ඉඩකඩ යටපත්ව යෑමය;ඇහිරී යෑමය.

ශෝකය හා කනගාටුව යම් අහිමි වීමකදී, පාඩුවකදී අපට විඳ දරා ගන්නට සිදුවන සාමාන්‍ය තත්ත්වයකි. එබඳු තත්ත්වයක් තුළ යමකු දිගින් දිගටම අනෙකා වෙත සර්වසුබවාදී වීමේ ආදීනව පවසන්නට යෑමේදී සිදු වන්නේ එකී සම්බන්ධතාවලට කණකොකා හැඬීමය. එහිදී ඔවුන් කල්පනා කරනු ඇත්තේ එකී තැනැත්තා තමා පත්වී ඇති අගතිය, වේදනාකාරී තත්ත්වය ගණනකට නොගෙන ඉන්නා බවකි.

ඊළඟ හානිය වන්නේ තමාගේම ප්‍රශ්න සමඟ යමකුට තනිවන්නට සිදු වීමය. ව්‍යාජ සර්වසුබවාදී බවකින් පසු වන තැනැත්තා නිබඳ සිනාමුසු මුහුණින් ඉන්නට හෝ කිසිවක් සිදු නොවූ අයුරින් ඉන්නට වෑයම් කරන බැවින් කිසිවකුත් ඔහුට හෝ ඇයට යම් ගැටලුවක් ඇතැයි නොසිතයි. එබැවින් සිදු වන්නේ සමාජයෙන්, මිතුරන්ගෙන් හා සමීපතමයන්ගෙන් ලැබිය හැකි උදවු උපකාර මගහැරී යෑමය. American Psychiatric Association පවසන්නේ ව්‍යාජ සර්ව සුබවාදී බවට මුහුණ දෙන තැනැත්තන් මානසික සෞඛ්‍යය පිළිබඳ උපදෙස් පැතීම ලජ්ජාවට කාරණයක් ලෙස සලකන්නට පටන් ගන්නා බවය. තවදුරටත් මේ තත්ත්වය වර්ධනය වීම සන්නිවේදන හා අන්තර් පුද්ගල සබඳතාවලට හා දුර්වල ආත්ම සම්මානයට ද හේතුවක් වෙයි.

යමකු මෙකී ව්‍යාජ ධනාත්මක බවකින් පසුවන්නේදැයි හඳුනා ගන්නේ කෙසේද? බාගවිට ඔබ අප තුළ පවා එබඳු අහු කොන් තිබෙන්නට පුළුවන. අනෙකා වැරදි ලෙස වටහා ගනු ඇතැයි බියෙන් සැබෑ හැඟීම් හා චිත්තවේග හංගාගෙන හිඳින්නට එබඳු කෙනකු පෙලඹෙනු ඇත. ඉතා දැඩි, ප්‍රබල චිත්තවේග වුව යටපත් කරගෙන දරා ඉන්නට ඔවුන් සූදානම් ය. එය චිත්තවේග අවතක්සේරු කරන්නකුගේ ලක්ෂණයකි. නිතරම පාහේ ලෝක ස්වභාවය ගැන කියමන්වලම එල්ලී හිඳින්නෙකි. කිසි විටෙකත් සෘණාත්මක හැඟීමක් ගැන කෙළ පොදක් හෙළන්නට අකමැති ඔවුහු අනෙකාට ද හැම විටම හිනාවෙන්ම ඉන්නට උපදෙස් දෙති.

මේ කියන්නේ සුබවාදී නොවී ඉන්නටද? ඉඳ හිට සෘණාත්මක චිත්තවේගවලට ඇහුම්කන් දීම, අවනතවීම වරදක්ද? එසේ නොවේ. මිනිසුන් වන අපි ඉතා විශාල පරාසයක චිත්තවේග සංඛ්‍යාවක් අත්විඳින්නෙමු. ඒ සියල්ල අපේ මානසික සෞඛ්‍යයේ කොටස්ය. උදාහරණ වශයෙන් කාංසාව තැනැත්තකුට යම් අනතුරක් ගැන ඉඟි කරන්නකි. කෝපය අසාධාරණයක් හෝ වෙනස්කමකට ලක්වීමට එරෙහි සාමාන්‍ය ප්‍රතිචාරයකි.

මේ චිත්තවේග හඳුනා නොගැනීම යනු එක්තරා ආකාරයකින් මනසේ සැකැස්ම පිණිස අප කළ යුතු දේ නොසලකා හැරීමකි. ඒවා ගැන කතා නොකර හැරීම ඊට පිළියමක් නොවේ. විටින් විටම චිත්තවේග ගැන තක්සේරුවක් ලබා ගැනීම මානසික සෞඛ්‍යය කෙරේ අත්‍යාවශ්‍ය කාරණයකි. ව්‍යාජ ධනාත්මක බවකින් පසු වන්නකුට මේ අවස්ථාව මගහැරී යන්නට තිබෙන ඉඩකඩ වැඩිය.

ව්‍යාජ සර්වසුබවාදී බව හෝ මවාපෑ ධනාත්මක බවෙන් මිදීම සඳහා දෙආකාරයක කාර්යභාරයක් අපට පැවරෙයි. එකක් අප සම්බන්ධයෙනි; අනෙක අන්‍යයන් වෙනුවෙනි.

මේ තත්ත්වයට පත්වී සිටින, පත්වෙමින් සිටින හෝ ඒ ගැන හාංකවිසියක් හෝ නොදැන ඉන්නා කවර හෝ තැනැත්තකුට මෙයින් මිදීමේ මඟ ගැන කියවීම වැදගත් වනු ඇත. ඇතැම් විට යම් උපදෙස් දීමකදී හෝ එය යමකුට වැදගත් වනු ඇත. මෙහිදී අප වටහා ගත යුතු මූලිකම දෙය වන්නේ සෘණාත්මක චිත්තවේග කවරකුට වුව සාමාන්‍ය දෙයක් බවය. එමෙන්ම ඒවා මානව අත්දැකීම්වල වැදගත් කොටසක් ද වන බවය. එබඳු චිත්තවේග මගහැර , බලාත්කාරයෙන් යටපත් කරනවාට වඩා ඒවා හඳුනා ගැනීම වැදගත් ය.

මේ සියල්ල පෙළපොත් න්‍යාය ලෙස ඔබට පෙනෙනවාට සැක නැත. එබැවින් ප්‍රායෝගික ක්‍රියා ගැන ද මෙහි සටහන් කළ යුතුමය. ඉන් එකක් වන්නේ සිත තුළ උපදින සෘණාත්මක චිත්තවේග ගැන අනෙකකු සමඟ කතාබහ කිරීමයි. මේ අනෙකා තෝරා ගැනීම නම් ඉතා පරෙස්සමෙන් කළ යුත්තකි. නැතිනම් සිදු වන්නේ කබලෙන් ලිපට වැටෙන්නටය. ඔහු හෝ ඇය විශ්වාසවන්ත තැනැත්තෙකුම විය යුතුය. සෘණාත්මක චිත්තවේග සඟවාගෙන ව්‍යාජ ධනාත්මක බවක රැඳී, බොරුවට සිනාසී මනස ලෙඩ කර ගන්නවාට වඩා විශ්වාසවන්ත කිසිවකු සමඟ එය බෙදා ගැනීම අතිශය වැදගත්ය. මේ තැනැත්තා සැමවිටම පාහේ තමා අවබෝධ කර ගත් මිතුරකු වීම අවශ්‍යම සාධකයකි. ඔහු හෝ ඇය පූර්ව නිගමනවලට පැමිණි සිටින තැනැත්තකු නොවීම ද සාර්ථක බව කෙරේ සෘජුව දායක වන්නකි. එමෙන්ම ප්‍රතිකාරකවරයකුගේ (therapist) සහාය පැතීම ද ප්‍රධාන විකල්පවලින් එකකි.

අනෙක් අතට අනෙකකු මත පීඩාකාරී ධනාත්මක බව පටවා නොසිටින්නට ද අපට වගකීමක් ඇත. ඉන් එකක් වන්නේ මිනිසුන් සිය හැඟීම් ගැන විවෘතව කතා කරන්නට දිරිගැන්වීමය; පෙලඹවීමය. එබඳු ගැටලුවලින් පෙළෙන තැනැත්තන් හා වෙනසක් නොපෙන්වා කතාබහ කිරීම ද අප විසින් කළ යුත්තකි. යමකු කියන හැම දෙයකටම ඔළුව වැනීම ද නොකළ යුත්තකි. ඒ වෙනුවට සෘණාත්මක බව සාමාන්‍ය හැඟීමක් බව ඒත්තු යන ලෙස ඔවුන් හා කතා කළ යුතුය.

මේ කාරණාව සම්බන්ධයෙන් කිව හැකි වැදගත්ම දෙය වන්නේ ඉතා ප්‍රබල සෘණාත්මක චිත්තවේගයක් පසුපස වුව ප්‍රබල ධනාත්මක චිත්තවේගයක් පැමිණිය හැකි බවය.

Comments