“වෛද්‍ය­වරු මාව හැංගුවේ ශල්‍යා­ගා­රයේ” | සිළුමිණ

“වෛද්‍ය­වරු මාව හැංගුවේ ශල්‍යා­ගා­රයේ”

රෝ­හල් කර්ය ­ම­ණ්ඩ­ලයේ ග්‍රහ­ණ­යට හසුව ඇය වෛද්‍ය විසින් ආරක්ෂිතව රැගෙන යන අයුරු
රෝ­හල් කර්ය ­ම­ණ්ඩ­ලයේ ග්‍රහ­ණ­යට හසුව ඇය වෛද්‍ය විසින් ආරක්ෂිතව රැගෙන යන අයුරු

මෙරට සෑම නගරයකම ඒ සඳහා පෝලිම් බිහිවූයේ කූට ජාවාරම්කාරයින්ගේ අතමිට සරුකරමින් හා පාතාල මැරයන්ගේ බලපෑම් ද සමඟය. එය ජනපීඩනය වැඩිකරන්නක් වූ අතර ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සහිත පළමු සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ මාතරිනි. ගෑස් හා ඉන්ධන මාපියාව වෙනස් කරමින් ජනතා සාධාරණයක් වෙනුවෙන් පෙනී සිටි මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි හා ප්‍රාදේශීය මහ ලේකම් කෞශල්‍යා කුමාරි යන අය රටටම ලබා දුන්නේ ආදර්ශයකි.

 

දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත ගෑස් හා ඉන්ධන පෝලිම්වල වංචා හා අක්‍රමිකතා දුරු කරමින් එතෙක් චණ්ඩින්ගේ හා ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ තිබූ බෙදාහැරීම් කටයුතු ක්‍රමවත් කිරීමේ වගකීම පැවරුණේ මාතර ප්‍රාදේශීය මහලේකම් කෞශල්‍යා කුමාරිට ය. ඇය ඒ වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය හා එක්වී දිවාරෑ වෙහෙසවී ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරද්දී එතෙක් පෝලිම් තුළදී අසාධාරණයට ලක්වූ පිරිස සැනසුම් සුසුමක් හෙළුහ.

කෞශල්‍යා කුමාරි මෙරට පළමු වරට ගෑස් හා ඉන්ධන ලබාදීම වෙනුවෙන් අවසරපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර පෝලිම් සඳහා සාධාරණ ක්‍රමවේදයකින් බෙදා හැරීම් සිදුකරද්දී ඒ තුළින් විවිධ බලපෑම් හා කූට ක්‍රියා මඟින් ගෑස් මෙන්ම ඉන්ධන ද රැස්කර වැඩි මිලට අලෙවි කිරීමේ ව්‍යාපාරය බිඳ වැටුණේය. එය ජනතාවට විශාල සහනයක් විය. එහිදී ඉන්ධන බෙදාදීම සඳහා එක් එක් අංශ සඳහා සතියේ දිනයන් වෙන් වෙන්ව ලබාදීම සිදුවිය. ඒ අතර ඉන්ධන සඳහා ඇය විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන තුළින් තමන්ට අසාධාරණයක් සිදු කළේ යැයි පවසමින් මාතර දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලය ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි කෞශල්‍යා කුමාරි ට එම අවස්ථාව ලබා නොදී පැයකට වැඩි කාලයක් රෝහල තුළ කොටුකරගෙන සිටියේ රටේම කතාබහක් ඇති කරවමිනි.

ප්‍රාෙද්ශීය ලේකම් රෝහලේ ප්‍රති­කාර ලබ­මින්

කෞශල්‍යා කුමාරිගේ පරිපාලන සේවයේ ගමන්මඟ වෙනස් වන්නේ 2011අප්‍රේල් මස 18 වැනි දින සිට පස්ගොඩ ප්‍රාදේශීය මහ ලේකම් තනතුර සඳහා පත්වීමක් සමඟ ය. ඉඩමක අයිතිය නොමැති ජනතාව සඳහා 2019.09.16 වන විට රජයේ ඉඩම් බලපත්‍ර හයදහසකට ආසන්න ප්‍රමාණයක් ලබාදෙන ඇය ඌරුබොක්ක සංවර්ධන වැඩසටහන ආරම්භ කර එය සාර්ථකව අවසන් කරන්නේ “පස්ගොඩ යකඩ ගැහැනිය” ලෙසින් නමක් ද ලබා ගනිමිනි.

ඒ ඉකුත් 25 වැනිදාය. ඉන්ධන බෙදාදීම සම්බන්ධයෙන් සතියේ දින හත එක් එක් අංශ වෙත වෙන්කර අවසරපත්‍ර ලබාදීමේ වැඩසටහන සකස් කිරීම සඳහා දින කීපයක් පුරා කාලය කැපකළ කෞශල්‍යා කුමාරි සිකුරාදා දින අලුයම එක පමණ වනතෙක් වැඩකර දැඩිසේ වෙහෙසට පත්ව සිටියාය. ඒ වන විට ඇඟපත වේදනාව පැවතිය ද එය ගණනකට නොගත් ඇය වැඩකටයුතු සිදුකරමින් සිටියදි උණ ගතිය ද දැනෙන්නට වූයෙන් ඒ පිළිබඳ දැන්වූ විට ඇයට හිතවත් වෛද්‍යවරයෙකු පැවසූවේ රෝගී තත්ත්වය පරීක්ෂා කර ගැනීම සඳහා මාතර මහ රෝහලට පැමිණෙන ලෙසයි. ඒ අනුව එදින සවස මාතර මහ රෝහල වෙත ගිය කෞශල්‍යා කුමාරිට මුහුණදීමට සිදුවූයේ නොසිතූවිරූ තත්වයකටය.

“සෙනසුරාද හවස් වන විට මට කලින් තිබූ අමාරුකම් වලට වඩා අපහසුතා දැනෙන්න පටන් ගත්තා. මම රෝහලට ගොස් පළමුව ගියේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයට. එහි සිටි වෛද්‍යවරයකු හමුවෙලා රෝගී තත්වය පිළිබඳ කියල මම ටිකට් එකක් ලියවා ගත්තා. ඉන්පසු ලේ සාම්පලයක් අරගෙන එය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයට බාරදෙන්න යනවිට එතනට පැමිණි රෝහල් කාර්යමණ්ඩලය මා වටකර ගත්තා. ඔවුන් විවිධ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඉන්ධන ලීටර් විසිපහක් වෛද්‍යවරුන්ට දෙන විට අපිට අඩුවෙන් දෙන්නේ ඇයි කියා ඇහුවා. මම එවිට කීවේ එවැනි තත්වයක් ගැන මම ඒ වන විට දැනගෙන හිටියේ නෑ කියා. එවිට ප්‍රයිවට් හොස්පිටල්වලට දුන්නේ ඇයි කියා ඇහුවා. මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කීවා. ගෙදරට හරි ඇවිත් බඩු දෙනවා කීවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කිසිවෙකුටත් බෙහෙත් දෙන්නේ නෑ කිවුවා” තමා මුහුණ දුන් භයානක අත්දැකීම කෞශල්‍යා කුමාරි එලෙස විස්තර කළාය.

රෝහල් කාර්ය මණ්ඩලය තව තවත් එතැනට රොක්වෙමින් තත්ත්වය තව තවත් තීව්‍ර අතට හැරෙමින් තිබියදී කෞශල්‍යා කුමාරිට රෝහල වෙත පැමිණෙන ලෙස දැන්වූ හිතවත් විශේෂඥ වෛද්‍යවරයාත්, රෝහලට පැමිණි පසු පරීක්ෂා කළ වෛද්‍යවරයාත් එක්ව ඇය බාහිර රෝගී අංශයෙන් ඉහළ මාලය වෙත රැගෙන ගොස් ශල්‍යාගාරය දෙසට රැගෙන ගියේය. ඒ ඇයගේ ආරක්ෂාව සඳහාය.

“වෛද්‍යවරු මම ශල්‍යාගාරයේ වෛද්‍යවරුන්ගේ විවේක කාමරය වෙත රැගෙන ගොස් රැකවරණය ලබා දුන්නා. රෝහල් කාර්යමණ්ඩලයේ කොටස් කීපයක් එක්වී කාමරයෙන් පිටත සිට විවිධ දේ කියමින් සිටියා. මුල් අවස්ථාවේ මට ඒ අය හිරිහැර කරන්න උත්සාහ කළා. අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා මගේ ඇඟේ තැළීම් තිබෙනවා කියා” කෞශල්‍යා කුමාරි පැවසුවාය.

සිදුවීම පිළිබඳ වාර්තාවීමත් සමඟ මාතර සහකාර පොලිස් අධිකාරී අයි. ජී. චන්ද්‍රසේන හා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මාතර මහ රෝහල තුළට පැමිණ ප්‍රාදේශීය මහ ලේකම්වරිය රෝහල් කාර්යමණ්ඩල ග්‍රහණයෙන් මුදාගෙන රෝහලින් පිටතට රැඟෙන ආ අතර එම අවස්ථාවේ රෝහල් කාර්යමණඩලයේ පිරිස් විවිධ වචන කියමින් හා හූ තබමින් ඒ සඳහා විරෝධව පළ කළ ද ප්‍රාදේශීය ලේකම්වරිය සිනාමුසුව ඉන් බැහැර වූවාය.

පොලීසිය විසින් රෝහල් පරිශ්‍රයෙන් පිටතට ගත් කෞශල්‍යා කුමාරි මාතර කුමාරතුංග මාවතේ පිහිටි සමූපකාර ආරෝග්‍ය ශාලාව වෙත ඇතුළත් කළ අතර එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයගේ රුධිරයේ ප්ලේට්ලට් ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වඩා පහත බැස තිබුණි. දින හතරක් පුරා නේවාසිකව ප්‍රතිකාර ලැබූ කෞශල්‍යා කුමාරි පසුගිය 28 දින පස්වරුවේ රෝහලින් පිටව ගියාය.

මාතර මහ රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයකු අදාළ සිදුවීම පිළිබඳ මෙලෙස පැවසුවේය. “අත්‍යවශ්‍ය සේවාවක් ලෙස අපිට ඉන්ධන ලබාදීමේදී සිදුවන අසාධාරණය පිළිබඳ අපි සිකුරාදා දිනයේ රෝහලේ පිටත පරිශ්‍රයේදී විරෝතාවක් පැවැත්වූවා. එලෙස අපි පීඩනයට හා අසාධාරණයට ලක්වෙලා ඉන්න විටයි සෙනසුරාදා ප්‍රාදේශීය ලේකම් තුමිය කළුකෝට්ටගේ සර්ජන් එක්ක රෝහලට ඇවිත් තියෙන්නේ. සෞඛ්‍ය ලේකම්තුමාගේ චක්‍ර ලේඛනයෙන් ලබාදී තිබූ උපදෙස් වුණේ මෝටර් රථයක් සඳහා ලීටර් 25 ක්, ත්‍රීරෝද රථයක් සඳහා ලීටර් 15ක් හා යතුරුපැදි සඳහා ලීටර් 10 ලෙස ලබාදෙන ලෙසයි. එම උපදෙස්වලට පිටින් ගිහින් තමයි ඉන්ධන ලබාදීම සිදු කළේ. වෛද්‍යවරුන්ට ලීටර් 20 ක් දෙනවිට අනෙක් අයට ලීටර් පහයි දුන්නේ. ඒ හේතුව නිසා ප්‍රාදේශීය ලේකම් තුමිය සමඟ අපේ සේවකයින් උරණ වෙලයි හිටියේ. සිද්ධිය අතර වෛද්‍යවරු ප්‍රාදේශීය ලේකම්තුමිය තියටර් එකට අරන්යද්දි එහි ශල්‍යකර්මයක් සඳහා රෝගියෙක් සිහි නැතිකර සූදානම් කරමිනුයි සිට තිබෙන්නේ. පසුව එම රෝගියා ශල්‍යකර්මය නොකර සිහිය ලබාදී වාට්ටුවට යවා තිබෙනවා. එලෙස වෙන්නේ කොහොමද? ශල්‍යකර්මයක් වෙලාවට පිටස්තර කිසිවකුට ඒ තුළට යන්න බෑ. රෝහල් කාර්ය මණ්ඩලය පවා යන්නේ නෑ. මේ සිදුවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් යනවා විශේෂයෙන් සඳහන් කළයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි පසුගියදා මෙම සිදුවීමට විරෝධය දක්වා මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් උද්ඝෝෂණයක් පැවැත්වූවා. එහිදී ඔවුන් සඳහන් කර තිබුනේ මාතර මහ රෝහල් කාර්ය මණ්ඩලයට නිසි ලෙස කූපන්පත් ලබාදී තිබුණ ද එය රෝහල මගින් බෙදාදීමේදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි. ඉන් අප තේරුම්ගත් විශේෂ කරුණ තමයි මෙම ගැටලුව ඇතිවුණේ වෛද්‍යවරුන් සිදුකළ උපායශීලී ක්‍රියාවකින් ද යන සැකය. මේ ගැන තවදුරටත් සොයා බැලිය යුතුයි”

මාතර දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහසයක් ක්‍රියාත්මක වන අතර එම සියල්ලේම මෙන්ම මුළු දිවයින පුරාම ගෑස් හා ඉන්ධන ගැටලුව පවතිද්දී ජනතාවට යම් සහනයක් ගෙනදෙන සේ වැඩපිළිවෙළක් සකස් කළ පළමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වන්නේ මාතරය. ඒ සඳහා නායකත්වය දුන් ප්‍රාදේශීය මහ ලේකම් කෞශල්‍යා කුමාරිට අනපේක්ෂිත ලෙස මුහුණදීමට සිදුවූ මෙම සිදුවීම පිළිබඳ මාතර දිස්ත්‍රික් ලේකම් නීතීඥ වයි. වික්‍රමසිරි මෙලෙස පැවසුවේය.

“ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන නිලධාරිනියකට මුහුණදීමට සිදුවූ මෙම අනපේක්ෂිත සිදුවීම පිළිබඳ ඇත්තේ කනගාටුවක්. ප්‍රාදේශීය ලේකම් තුමිය ක්‍රියාත්මක කළේ මා විසින් දෙන ලද උපදෙසයි. ඇය හා ඇයගේ කාර්ය මණ්ඩලය දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කැපවුනා. එවන් කෙනෙකුටයි මෙම සිදුවීම වුණේ. මම කිසිවිටකවත් හිතන්නේ නෑ ඇය හිතමතා යම් කණ්ඩායමකට අගතියක් හෝ බෙදීමක් සිදුවන ආකාරයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා කියා. ඇය වැඩකළේ හොඳ සැලසුමක් ඇතිවයි. එය අධීක්ෂණය කළ මමත් ඇය සමග වැඩකළ නිලධාරී මණ්ඩලයත් එය හොඳින් දන්නවා. පෘතග්ජන පුද්ගලයන් තම තමන්ගේ දැණුම, අවබෝධය හා හැඟීම් දැණිම් අනුව වැඩකරනවා. අපි ඉතින් ඒවා අපේ වැඩවලට බාධාවක් කර ගන්නේ නෑ. ජනතාව වෙනුවෙන් කළයුතු දේ අපි කරනවා. ප්‍රාදේශීය ලේකම්තුමියත් හැකි ඉක්මණින් ඇයගේ වැඩ කොටස යළි ආරම්භ කරාවි”

අදාළ සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ඇතුළු සංවිධාන රැසක් සිය අප්‍රසාදය හා විරෝධය දක්වා ප්‍රකාශ නිකුත් කර තිබූ අතර සිදුවීමට මුහුණ දුන් මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞශල්‍යා සිය ඉදිරි අරමුණ මෙලෙස පැවසුවාය.

“මම මේ සිදුවීම මගේ ඉදිරි කටයුතු සඳහා බාධාවක් කර ගන්නේ නෑ. මගේ රාජ්‍ය සේවයේ වසර විසි හයක පළපුරුද්දත්, වසර දහසයක පරිපාලන සේවා පළපුරුද්දත් උපයෝගී කරගෙන ඉදිරියටත් ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. අපි පත්වීම් ලබා ඇත්තේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් වැඩ කරන්න. මගේ ශරීරයට පමණක් නොවෙයි මට කතාකරන්න පුළුවන් වූ විගස මම යළි කාර්යාලයට ඇවිත් වැඩ පටන් ගන්නවා”

 

Comments