
ග්‍රන්ථයේ නම: මාධ්‍ය පර්යේෂණ
කතුවරයා: මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චි
ග්‍රන්ථය ප්‍රකාශිත වර්ෂය: 2022
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
මිල: රු 1,200/=
’සන්නිවේදන පර්යේෂණ’ නමැති මෙම ග්‍රන්ථය, කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චි විසින් රචනා කොට ඇත. කතුවරයා ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙසත්, මණ්ඩපාධිපතිවරයා ලෙසත් කලක් කටයුතු කොට ඇත.එසේම ඔහු මෙරට විශ්වවිද්‍යාල ගණනාවක මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියාටෙක් සරසවියේ ද සහාය මහාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ. මේ වන විට නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ ආරාධිත විද්වතකු ලෙස ද කටයුතු කරමින් සිටී.
මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චි මීට පෙර ද විවිධ විෂයයන් අලළා ග්‍රන්ථ ගණනාවක් ද රචනා කර ඇති අතර, ඔහුගේ පර්යේෂණාත්මක ලිපි, පත්‍රිකා දෙස් විදෙස් පර්යේෂණ සඟරා හා ප්‍රකාශනයන්හි පළ වී ඇත. මෙම ග්‍රන්ථය, මෙරට සන්නිවේදන පර්යේෂණ සාහිත්‍යයේ පැවති බලවත් අඩුවක් යම් පමණකින් සපුරාලීමකි.
මාධ්‍ය තාක්ෂණය ශීඝ්‍රයෙන් වර්ධනය වේ.
අනාගත සන්නිවේදන පරිවර්තනයන් පිළිබඳ අනුමානයන් කිරීම පවා අසීරුය. එබැවින් ඒ පිළිබඳ විද්‍යාත්මකව හැදෑරීමක් අත්‍යවශ්‍යය.
අපගේ සන්නිවේදන මාතෘකා හා ගැටලුවලට පර්යේෂණයන් අප විසින්ම සිදුකිරීම වඩාත් නිවැරදි ක්‍රමය ලෙස හැඳින්විය හැකිය. එය එසේ වුවද, බොහෝ ආසියානු රාජ්‍යයන් විසින් සිදු කරනුයේ උතුරු ඇමරිකානු හා යුරෝපීය පර්යේෂණ සොයාගැනීම් මත තම රටවල සන්නිවේදන ප්‍රශ්න හා ගැටලු පිළිබඳ නිගමනයන්ට එළඹීමය. මෙය ඇතැම්විට ඒවා යොදාගන්නා රටවල් කෙරෙහි ගැටලු ඇතිකරවන්නක් ද විය හැකිය. මෙමඟින් එම පර්යේෂණ ප්‍රතික්ෂේප කිරීමක් ගම්‍ය නොකරන බව සැලකිය යුතුය. එම පර්යේෂණයන්ගෙන් අපට ආලෝකයක් ලද හැකිය. එහෙත් වඩාත් වැදගත් වනුයේ අපගේ අවශ්‍යතා, අපගේ සමාජ සංස්කෘතික, දේශපාලනික ආදී පසුතලයන්ට අදාළ දැනුම නිෂ්පාදනය කර ගැනීමය.
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ තම සුවිශේෂිතාවන්ට අදාළව සන්නිවේදන පර්යේෂණ සිදුකිරීමේ අවශ්‍යතාව දැඩිව පවතී. මෙහිලා විශේෂයෙන්ම එම රටවල දැනුම ගොඩනඟාගැනීම සඳහා භාවිත කළ සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳ සලකා බැලීම ද මෙහිලා අවධානයට ගත යුතුවේ. කෙසේවෙතදු, ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් අවධානය යොමු කිරීමේදී සන්නිවේදන පර්යේෂණ ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ගැටලු හා සීමා ගණනාවක් ද අඩු වැඩි වශයෙන් හඳුනා ගත හැකිය.
මේ වන විට ‘නිර්බටහිරකරණය’ පිළිබඳ සාකච්ඡාවක් වේ. කෙසේවෙතදු, මෙහිලා වැදගත් වනුයේ පෙරදිග හා බටහිර අතර සන්නිවේදන පර්යේෂණ සමබරතාවකින් පවත්වාගෙන යෑමය. බොහෝවිට ආසියානු සන්නිවේදන පර්යේෂකයන් තවදුරටත් යොමුව පවත්නා “මානසික යටත්විජිත කරණයෙන්” මිදීම ද අවශ්‍යතාවක්ව පවතී.
මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චිගේ මෙම ග්‍රන්ථයේ සුවිශේෂත්වය පිළිබඳව එහි පෙරවදන මඟින් මහාචාර්ය ටියුඩර් වීරසිංහ මැනවින් දක්වා ඇත.
“මේ ඔබ අතට පත්වන කෘතියේ විශේෂත්වය වන්නේ එය හුදු ආනුභවික සමාජීය විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම, විධික්‍රම, විධිවේදී ශිල්පීය තාක්ෂණික පද්ධතියෙන් ඔබ්බට ගොස් සමාජ හා සංස්කෘතික මාධ්‍ය ප්‍රපංචයන් සහ ක්‍රියාවලින් අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදාත්මක ප්‍රවේශ සාකච්ඡා කර තිබීමය. එම පර්යේෂණාත්මක ප්‍රවේශ එක් අතකින් පුළුල් න්‍යායික සහ සංකල්පීය පදනමක් මක ද අනෙක් අතින් දාර්ශනික තාර්කික පසුබිමක් මත ද හැඩගැසී වර්ධනය වී තිබෙන බව සඳහන් කළ යුතුය”.
අප රටේ පර්යේෂණාත්මක සංස්කෘතිය උසස් මට්ටමට පත්වීමට ඇති ප්‍රබල බාධාවක් ලෙස පවතින්නේ සමස්ත පර්යේෂණාත්මක සංස්කෘතිය එක් අතකින් ආනුභවික සමාජ විද්‍යාවේ ශිල්පීය පද්ධතිය තුළ සිරවී තිබීමත්, අනෙක් අතින් ශාස්ත්‍රාලීය අවශ්‍යතාවලට වඩා පර්යේෂණ පටු වෙළෙඳපොළ සහ වෘත්තීය ජීවන පැවැත්මේ මාදිලිනයක් බවට පත් වී තිබීමත් නිසා බව පෙන්වා දිය යුතුය.
වර්තමාන පර්ය්ෂකයා තාක්ෂණික ශිල්පීය ක්‍රමවලට වහල් වී ඇති අතර පුළුල් දාර්ශනික හා තාක්ෂණික දැක්මෙන් හීන වී තිබේ. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතියේ නිරීක්ෂණය මත තවත් බරපතළ ඌනතාවක් වන්නේ පර්යේෂණ ශිල්පීය ක්‍රම පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් පර්යේෂණ සම්බන්ධ න්‍යායික ක්‍රමවේද පදනම වෙත අවශ්‍ය අවධානය යොමු නොකිරීමය. මෙම කෘතිය තුළ ඒකීය පර්යේෂණ අනිශ්චය වෙත තුලනාත්මක ස්ථාවරයක් වර්ධනය කිරීම සුවිශේෂතාවකි“
මෙම ග්‍රන්ථයට පරිච්ඡේද අටක් ඇතුළත්ව තිබේ. එනම්, පර්යේෂණ හැඳින්වීම, විද්‍යාත්මක ක්‍රමවේදය සහ සංහතික මාධ්‍ය පර්යේෂණ, පර්යේෂණ මූලාශ්‍ර සහ සාහිත්‍ය විමර්ශනය, විචල්‍ය, මිනුම් හා දත්ත විශ්ලේෂණය, දත්ත රැස්කිරීමේ ක්‍රම, නියැදිකරණය, හා ගුණාත්මක පර්යේෂණ වශයෙනි.
‘පර්යේෂණ හැඳින්වීම’ නමැති ආරම්භක පරිච්ඡේදය මඟින් පර්යේෂණ පිළිබඳ නිර්වචනාශ්‍රිත පුළුල් විමසීමක් සිදුකර ඇත. දෙවැනි පරිච්ඡේදය වෙන් වනුයේ ‘විද්‍යාත්මක ක්‍රමවේදය හා සංහතික මාධ්‍ය පර්යේෂණ’ මැයෙනි. මෙම පරිචේඡේදය ආරම්භයේ දී විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳව ගැඹුරු පැහැදිලි කිරීමක් ඇතුළත්ව තිබේ. තෙවැනි පරිච්ඡේදය ‘පර්යේෂණ මුලාශ්‍ර සහ සාහිත්‍ය විමර්ශනය’ සඳහා වෙන්ව තිබේ. සිවුවැනි පරිච්ඡේදය වෙන්ව ඇත්තේ විචල්‍ය නැමැති මාතෘකාව සඳහාය. පස්වැනි පරිච්ඡේදය වනුයේ ‘මිනුම් හා දත්ත විශ්ලේෂණයයි’.
මෙම පරිච්ඡේදය කතුවරයා පර්යේෂණ සිදුකිරීමෙන් ලත් තම අත්දැකීම් ද බෙහෙවින් යොදාගනිමින් රචනා කර ඇත. හයවැනි පරිච්ඡේදය මඟින් ‘දත්ත රැස්කිරීමේ ක්‍රම’ පිළිබඳ පැහැදිලි කරනු ලබයි. නියැදිකරණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීමට හත්වැනි පරිච්ඡේදය මඟින් උත්සාහගෙන තිබේ. ග්‍රන්ථයේ අවසන් පරිච්ඡේදය වෙන්ව ඇත්තේ ගුණාත්මක පර්යේෂණ පැහැදිලි කිරීම සඳහාය.
ඒ අනුව සිද්ධි අධ්‍යයනය, අන්තර්ගත විශ්ලේෂණ, ප්‍රලේඛන පර්යේෂණ, ක්‍රියාබද්ධ පර්යේෂණ, මානව වංශ පර්යේෂණ හා අත්හදා බැලීමේ පර්යේෂණ යනාදී පර්යේෂණ ක්‍රම පිළිබඳ ගැඹුරින් පැහැදිලි කර තිබේ. අදාළ පර්යේෂණ ක්‍රමවල විෂය ප්‍රදේශය, නියැදිය තෝරා ගැනීම, දත්ත ලබාගැනීමේ ක්‍රම සාකච්ඡා කිරීම හා අදාළ පර්යේෂණ ක්‍රමවල වාසි සහ අවාසි සාකච්ඡා කිරීම මෙම පරිච්ඡේදය මඟින් සිදු කර තිබේ.
ඉහතින් දක්වනු ලැබුවේ එකී පරිච්ඡේදවලින් විස්තර වන කරුණු පිළිබඳ ඉතා කෙටියෙනි.
මෙම ග්‍රන්ථය ඉදිරි සංස්කරණයේදී පර්යේෂණ සඳහා සංඛ්‍යාතය, ක්‍රම භාවිතය, හා පර්යේෂණ ආචාරධර්ම ආදී ක්ෂේත්‍රයන් ද ආවරණය වනු ඇතැයි අපේක්ෂා කරමි. මෙම ග්‍රන්ථය පර්යේෂණ පිළිබඳ උනන්දුවක් දක්වන සෑම අයකුම සතුව තිබිය යුතු පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය.
ආචාර්ය සුගත් සෙනරත්