
ඒ ඝාතකයාගේ අභියාචනය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. යුක්තිය පසිඳලීම විෂයෙහි අධිකරණ ක්‍රියාවලියේ සාධනීය බව පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟෙන ඒ තීන්දු ලැබෙන්නේ ජුනි 16 වැනිදා ය. වෛද්‍ය වෘත්තියේ සමස්ත හරයම එකට කැටි කොට දූෂණය කර ඝාතනය කළාක් බඳු ඒ ම්ලේච්ඡ සිද්ධිය මේ රටේ මිනිස්සුන්ට අමතක නැත. තමන් ළඟට එන රෝගී තරුණියක් දූෂණය කර මරා දමා රෝහලේ හයවන මහලින් පහළට තල්ලු කර එය සිය දිවි නසාගැනීමක් බව පෙන්වීමට තැත් කළ මීගමුව රෝහලේ වෛද්‍යවරයාගේ කතාව අප ජීවත්වන සමාජයේ ප්‍රතිමාන බිඳ වැටී ඇති ආකාරය චිත්රණය කළ අඳුරු සිතුවමක් ලෙසින් අපේ සංස්කෘතික අධිමානය කුඩු කරගෙන මතු වූ ආකාරය මතකය.
ඒ සිදුවීම වාර්තා වූයේ වර්ෂ 2007 නොවැම්බර් මස 12 වැනිදා ය. එවකට මීගමුව රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයට අනුයුක්තව සේවය කළ බාලගේ ඉන්දික සුදර්ශන නමැති වෛද්‍යවරයාට එරෙහිව දිසානායකගේ චමිලා දිසානායක නමැති තරුණිය දූෂණය කිරීම හා ඝාතනය කිරීම යන අධිචෝදනා දෙක යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ මීගමුව මහාධිකරණය 2014. 09 03 දා විත්තිකරුට එරෙහිව මරණීය දණ්ඩනයත්, අවුරුදු 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් දස දහසක දඩයකුත් නියම කළේය.
විත්තිකාර වෛද්‍යවරයා එම දණ්ඩනය අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හා පී. කුමාරත්නම් හමුවේ විභාගයට ගැනුණි. දීර්ඝ විමර්ශනයකින් පසු ජුනි 16 වැනිදා අභියාචනාධිකරණය එම ඝාතකයාගේ අභියාචනය ප්‍රතික්ෂේප කළේය.
මීගමුව මහාධිකරණය විසින් එකී අධිචෝදනා දෙකට විත්තිකරුට නියම කළ මරණීය දණ්ඩනය, අවුරුදු 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් දසදහසක දඩය යුක්ති සහගත හා නීතියට අනුකූල සාධාරණ තීන්දුවක් බවට අභියාචනාධිකරණය නිගමනය කළේය. සාක්ෂි මනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මහාධිකරණය විසින් එකී දඬුවම් නියම කර ඇති බව විනිසුරු සම්පත් අබේකෝන්ගේ එකඟතාව ඇතිව විනිසුරු පී. කුමාරත්නම් නිකුත් කළ එම අභියාචනාධිකරණ තීන්දුව මඟින් පෙන්වා දුන්නේය.
අපරාධය
මෙම සිද්ධිය සිදුවන්නේ මීගමුව රෝහල තුළදීය. චමිලා දිසානායක නමැති විසි දෙහැවිරිදි වියේ පසු වූ තරුණියක් මීගමුව රෝහල තුළ දූෂණ වී ඝාතනය වූවාය.
මේ සාහසික අපරාධයට ගොදුරු වන්නේ මොනරාගල තම්පාවිල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් අට දෙනකුගෙන් යුත් දුගී ගොවි පවුලක සිවුවැනි දරුවා ලෙස උපන් තරුණියකි. ඇය මොනරාගල සිට කටුනායක වෙළෙඳ කලාපයේ ආයතනයක සේවයට එක්වන්නේ දරාගත නොහැකි ජීවිත පීඩනයේ අල්පයක් හෝ සමහන් කරගනු රිසියෙනි.
ඇය මීගමුව රෝහලට එදා පැමිණෙන්නේ ඇගේ පියයුරක තිබුණු ගැටිත්තක් ඉවත්කරලීමෙන් පසු පැවැත්වෙන වෛද්‍ය සායනයට සහභාගී වන්නටය. රෝහලට පැමිණි ඇගේ මළ සිරුර හමුවන්නේ ඊට පැය කිහිපයකට පසුවය. ඇය රොහලේ ඉහළ මාලයකින් වැටී මියගොස් ඇති බවට කියැවිණි.
මේ අතර මීගමුව මූලස්ථාන පොලීසියට කාන්තාවකගෙන් නිර්නාමිකව ලද දුරකථන ඇමතුමක් පැමිණියේය. ඉන් කියැවුණේ මීගමුව රෝහලේ උඩු මහලේ සිට වැටී මිය ගිය තරුණියගේ මරණය සැක සහිත බවය. ඒ පිළිබඳ අභිරහසක් තිබෙන බවය. දුරකථන පණිවිඩය එන්නේ එදින සවස් වරුවේය.
![]() |
මරණීය දණ්ඩනය නියම වූ බාලගේ ඉන්දික සුදර්ෂණගේ මංගල ඡායාරූපය |
එවකට මීගමුව මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේය. මෙම දුරකථන පණිවිඩය එනතුරු ඔහු එවැනි සිදුවීමක් පිළිබඳ දැනුම්වත් වී සිටියේ නැත. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා රෝහල් පොලිසිය විමසුවේය.
තරුණියක් රොහලේ ඉහළ මාලයෙන් ඇදවැටුණු බවත්, ඇය රාගම රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව වාර්තා වුණු බවත් රෝහල් පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට කීවේය.
එවකට මීගමුව කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රේමසිරි විතානගේට සිද්ධිය පිළිබඳ දැනුම් දුන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ පොලිස් අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද රැගෙන මීගමුව රෝහලට ගියේය.
මූලිකව නිරීක්ෂණයට ලක්වන්නේ තරුණිය ගොඩනැඟිල්ලෙන් බිමට වැටුණු ස්ථානයයි. ඒ අවට ලේ පැල්ලම් විසිරී තිබුණේ ඇය බිමට පැන්නේ යැයි සඳහන් ගොඩනැගිල්ලෙහි බිත්තියේ පාමුල සිට අඩි හතරක් පහක් ඈතිනි. මෙම මරණය පිටුපස කිසියම් අභිරහසක් තිබිය හැකි බවට වූ දුරකථන ඇමතුමේ සාධනීය පදනමක් තිබෙන බව මූලික ඉඟිය ඒ නිරීක්ෂණයත් සමඟ ලැබිණි.
සාමාන්‍යයෙන් යම් පුද්ගලයකු සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ඉහළ මහලකින් පැන්නේ නම් පැනීමට යොදන බලයත් සමඟ එම තැනැත්තා බිමට වැටිය යුත්තේ අඩි පහළොවක් විස්සක් පමණ ඈතකිනි. පුද්ගලයා ජනේලයක් අසල සිටියදී යමකු තල්ලු කළත් එහිදීද බලයක් යෙදෙන බැවින් එවන් අවස්ථාවක දී පුද්ගලයෙක් වැටිය යුත්තේ ගොඩනැගිල්ලේ පාදමේ සිට අඩි 20ක සීමාවෙන් එපිටට ය. එහෙත් පොලීසියට නිරීක්ෂණය වූයේ ඇය බිමට වැටී ඇත්තේ එක එල්ලේ බවය. ගොඩනැගිල්ලෙහි පිහිටීම අනුවත්, ජනෙල් මට්ටම් අනුවත් තල්ලුකර යමකු බිමට වට්ටන්නට බැරි බවද පෙනුණි. මරණය පිළිබඳ මුල්ම තාර්කික සැකය මතුවන්නේ ඒ නිරීක්ෂණ සමඟය.
දැන් පොලිසිය අභිමුව ඇත්තේ මේ තරුණිය ඉහළ මාලයේ සිට අතහැරියේ කවුද, ඒ කී වැනි මහලේ සිට ද යන්නය. මේ වනවිට රාගම රෝහලින් ඉතා වැදගත් තොරතුරක් පොලීසියට ලැබී තිබිණි . ඒ බිමට වැටී මියගිය තරුණියගේ යට ඇඳුම් සිරුරේ නොතිබුණ බවය. මේ වනතුරුත් තරුණියගේ අනන්‍යතාව අනාවරණය කර ගැනීමට හැකි කිසිදු සාක්ෂියක් සොයා ගන්නටද පොලීසියට හැකියාවක් ලැබී තිබුණේ නැත. ඇය නේවාසික රෝගියකුද නොවූවාය. ඇය වැටුණු තැන අඩුම තරමින් ඇගේ පාවහන් යුවළවත් නොතිබිණි.
ආරක්ෂකයාගේ තොරතුර
මේ මිය ගිය තරුණිය එදින උදේ වෛද්‍යවරයෙක් සමඟ විදුලි සෝපානයේ ගමන් කරනු දුටු බව රෝහල් ආරක්ෂකයෙක් තොරතුරක් දෙන්නේ මේ අතරය. ඔවුන් ගියේ කීවැනි තට්ටුවට දැයි කිසිවෙක් දැනගෙන සිටියේත් නැත. එහෙත් රෝහලේ තුන්වන තට්ටුවේ වාට්ටුවක රෝගියෙක් ළඟ සිටි මවක් විදුලි සෝපානය 03වැනි තට්ටුවේ දොර ඇරෙද්දී ඒ තුළ වෛද්‍යවරයා සහ මෙම තරුණිය සිටිනු දැක තිබිණි.
තරුණිය සමඟ ගමන් කරමින් සිටියේ ඉන්දික සුදර්ශන නමැති එවකට මීගමුව රෝහලේ ශල්‍යාගාරයේ සේවයේ නිරතව සිටි සහය ශල්‍ය වෛද්‍යවරයකු බව පොලිසිය හඳුනා ගත්තේය. ඔහු පශ්චාත් සීමාවාසික පුහුණු කාලය සම්පූර්ණ කරමින් සිටි වෛද්‍යවරයෙකි. ඔහු එවකට රාගම රෝහලේ සේවය කරමින් සිටි හෙදියක හා විවාහවී සිටි එක් දරු පියෙකි. මරදන්කඩවල ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු අයෙකි.
බ්‍රියට්‍රිස් ගේ සාක්ෂිය
ඔහු රෝහලේ හය වන මහලේ වෛද්යරවරුන් සහ රෝහල් කාර්යමණ්ඩලය වෙනුවෙන් වෙන් කර ඇති නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටියේය. මේ සාක්ෂි ඔස්සේ පොලිසිය වෛද්‍යවරයාව විමසුවේය. ඔහු දැඩි ලෙස ඒ තොරතුර ප්‍රතික්ෂේප කළේය.
එහෙත් සියල්ල වෙනස් වී අපරාධකරු සම්බන්ධව නිශ්චිත සාක්ෂියක් ලැබෙන්නේ එවකට රෝහලේ පවිත්‍රතා සේවිකාවක් ලෙස කටයුතු කළ බ්රියට්රීස් නමැති කාන්තාවගේ ප්‍රකාශයක් සමඟය. ඇය කියන්නී ඇය රෝහලේ හත්වන මහලේ ඇති ශල්‍යාගාරයේ පවිත්‍රතා කටයුතු කරන බවය. වැඩ නැති අවස්ථාවලදී අසල කොරිඩෝවේ පුටුවක් තබාගෙන ඉඳගෙන සිටින බවය. එතැන සිට පහළ බැලූ විට වෛද්‍යවරුන්ගේ නේවාසික කාමර සහිත හයවන මහලේ කොරිඩෝව හොඳින් නිරීක්ෂණය වන බවය.
සිද්ධිය වූ දා ඇය ඉඳගෙන සිටින විට බර යමක් බිම දිගේ ඇදගෙන යන ශබ්දයක් ඇසී ඇය නැගිට බලා තිබිණි. ඇය දැක ඇත්තේ හුරු පුරුදු වෛද්‍යවරයෙක් ගෑනු ළමයෙක් කාර්ඩ් බෝඩ් එකක් මත දමාගෙන අමාරුවන් ඇදගෙන යන අයුරුය. වෛද්‍යවරයාගේ හිස කෙස් ඒ වන විට අවුල් වී තිබූ බවද ඇය කීවාය. ඇය දැක ඇත්තේ කාන්තාවට සිහිය තිබී නැති බවය. තමන් වෛද්‍යවරයාගේ බිරියට යම් කරදරයක් වී ඇතැයි සිතූ බවය. උදව්වක් අවශ්‍ය නම් කියන ලෙස ඇය වෛද්‍යවරයාට ප්‍රකාශ කර තිබිණි.
ඔහු එම උපකාරය ප්‍රතික්ෂේප කළ බව ඇය කීවාය. ඇය මේ කතාව රෝහලේ හෙදියකට කී විට ඇය එම වෛද්‍යවරයාගේ හැඩ රුව විමසා “ ඒ නම් සුදර්ශනයා තමයි“ යැයි පවසා කට පරෙස්සම් කරගෙන ඉන්නා ලෙස බ්රියට්රිස්ට අවවාද කර තිබිණි. මේ අතර ඇයව සොයාගෙන පැමිණෙන පොලිසිය ඇයට කිසිම කරදරයක් නොවන බව දන්වා දන්නා සියලු දේ විමසා තිබිණි. ඇය තමන් දුටු හැම දේම කීවාය. අනතුරුව විස්සකට ආසන්න පිරිසක් මධ්‍යයේ වෛද්‍යවරයා හඳුනා ගත්තේය. ඔහු වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශනය. අනතුරුව පොලිසිය සමඟ ගිය බ්‍රියට්‍රිස් රෝහලේ හයවන මහලේ දී වෛද්‍යවරයා ගැහැනු ළමයා ඇදගෙන එනු දුටු ස්ථානය හඳුනා ගත්තේය.
මීගමුව කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීහු ස්ථානය සියුම් ලෙස පරීක්ෂා කළහ. කොරිඩෝවේ බර යමක් ඇදගෙන ගිය සලකුණු ද, කාන්තා කොණ්ඩා කටු දෙකක්ද ඔවුහු සොයා ගත්හ. ඇදගෙන ගිය සලකුණු ඔස්සේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීහු ගමන් කළහ. ඒ ගමන් මගෙහි එක් කෙළවරක් වූයේ වෛද්‍ය විවේක කාමරයය. අනිත් කෙළවර වූයේ අතහැර දැමුණු ගබඩා කාමරයකි.
පොලිස් කණ්ඩායම මුලින්ම අත්හල ගබඩා කාමරය පරීක්ෂා කළහ. දුහුවිල්ලෙන් වැසී ගිය ඒ කාමරයේ එක් තැනක හොඳින් දුහුවිලි පිසදමා ඇති බවත් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු නිරීක්ෂණය කළහ. කාමරයේ කොනක තිබුණු අගුල් නොදැමූ ලාච්චුවක් වූයේය.
එය විවෘත කර බලන විට කාන්තා අත්බෑගයක්, කුඩයක්, කාන්තා පාවහන් යුවළක්, කාන්තා උඩුකය යට ඇඳුමක් සහ යටිකය යට ඇඳුමක් තිබිණි. මේ සියල්ල රෝහල් ගොඩනැගිල්ලෙන් වැටී මිය ගිය තරුණියගේ විය හැකි බව පොලිස් කණ්ඩායම සැක කළේය. අනතුරුව රෝහල් අධිකාරීවරයාගේ විධිමත් අවසරයක් මත වෛද්‍ය සුදර්ශනගේ නේවාසික කාමරය වෙත ඇතුළු වන පොලිසියට විශාල ප්‍රමාණයේ කාඩ් බෝඩ් එකක් හමුවන්නේය.
තරුණියක් දමාගෙන වෛද්‍ය සුදර්ශන බිම දිගේ ඇදගෙන යනු බියට්‍රිස් දුටු බව පැවසූ කාඩ්බෝඩය එය බව තහවුරු විය. එමෙන්ම කාමරයේ වැසිකිලියේ ජනේලයෙන් පහළ බැලූ විට හරියටම තරුණිය වැටී සිටියේ එම ස්ථානයට පහළින් බව පොලිස් විමර්ශකයෝ තහවුරු කර ගත්හ.
මරණයට මෙම වෛද්‍යවරයා වගකිව යුතු බවට වූ ඉතා සාධාරණ සැකයක් දැන් පොලිසිය සතුය. පොලිසිය තවත් සාක්ෂි රැස් කළේය. ලාච්චුවේ තිබී සොයා ගත් කාන්තා අත් බෑගයේ වූ ඇඟලුම් කම්හල් සේවක හැඳුනුම්පතෙන් මිය ගිය තරුණියගේ අනන්‍යතාව තහවුරු විය. ඇය හුදෙකලාව රෝහලේ සායනයට පැමිණියේ ශල්‍ය කර්මයකින් සිය පියයුරේ වූ ගැටිත්තක් ඉවත් කිරීමෙන් සතියකට පසු පැවැත්වෙන සායනයට බව හෙළි වූයේ එහිදීය. ඒ සඳහා ඇය සිය බෝඩිමේ සිට සායනයට එන්නේ උදේ 6.15 ට පමණය. ඇය රෝහලට පැමිණි බව රෝහල් සායනයේ ලේඛනයෙන්ද තහවුරු විය. එමෙන්ම ඇගේ සායන පොත නැතිවී ඇති බවත් එය සොයන්නට එන ලෙසත් කියමින් වෛද්‍යවරයා ඇයව එම ස්ථානයට රැගෙන පැමිණි බවත් අනාවරණය විය.
අධිකරණ වෛද්‍යවරුන්ගේ විමර්ශනය
තරුණියගේ මරණය ගැන අධිකරණ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණද පොලිස් විමර්ශකයන්ට ලැබුණේය. ඉන් කියැවුණේ ඇය බිමට වැටී මිය යන්නට පෙර දූෂණය වී තිබිණ බවය. ඇගේ කන්‍යාභාව නැතිවන්නේ මරණය සිදුවීමට ටික වේලාවකට පෙර බව ඉන් කියැවිණි. එය වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කර තිබිණි. එමෙන්ම ලිංගික කටයුත්ත සිදුව ඇත්තේ බලහත්කාරයෙන් බවද අධිකරණ වෛද්‍යවරු තහවුරු කළේය. එහෙත් මේ තැනැත්තා කොණ්ඩමයක් භාවිත කර ඇතැයි සිතිය හැකි බැවින් ඔහුගේ ශුක්‍ර තරලය තරුණියගේ ශරීර අභ්‍යන්තරයෙන් හමුවන්නේ නැති වීම ද ප්‍රකාශ විය.
ඒත් සමඟම අධිකරණ වෛද්‍යවරුන් තවත් දෙයක් පැහැදිලිවම පවසා තිබිණි. ඒ ඇයගේ ගෙල මිරිකා ඇයව අඩපණ කිරීමකින් මේ නින්දා සහගත දූෂණය සිදුකර ඇති බවය. අධිකරණ වෛද්‍යවරු එය තහවුරු කර කීහ.
සියලු සාක්ෂි සම්පින්ඩනයෙන් නිගමනය කළ හැකි වූයේ සුදර්ශන නමැති මෙම වෛද්‍යවරයා තමන් රවටාගෙන පැමිණි තරුණිය අඩපණ කර, දූෂණය කර, අවසානයේදී ඇයව කාඩ්බෝඩ් එකක දමා ඇදගෙන ගොස් තම නේවාසිකාගාරයේ ජනේලයෙන් බිමට දැමූ බවය. පරිවේක්ෂණ සාක්ෂි හැරුණු කොට ඒ බව සනාථ කිරීමට බියට්‍රිස්ගේ ඇසින් දුටු සාක්ෂියද තිබුණේය. පොලිසිය වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශන අත්අඩංගුවට ගත්තේය.
2007 වසරේ නොවැම්බර් 12 වෙනිදා සිදුවූ ඒ සිදුවීම් පෙළේ අවසානය සටහන් වන්නේ වර්ෂ 2014.09. 03 වෙනිදාය. මීගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගෆූර් විසින් ස්ත්‍රී දූෂක මිනීමරු වෛද්‍යවරයාට මරණීය දණ්ඩනය පනවන්නේය.
මරණීය දණ්ඩනට අමතරව බරපතළ වැඩ ඇතිව පහළොස් වසරක සිරදඬුවමක්ද, රුපියල් දස දහසක දඩයක්ද නියම කරනු ලබන්නේය. එම දඩය නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසරකුත් මාස පහකින් දීර්ඝ කරන්නේය. සිර දඬුවම සහ දඩය තරුණිය දූෂණය කළ වරදට දණ්ඩනය ය. මරණීය දණ්ඩනය හිමිවන්නේ තරුණිය මරා දැමීමේ වරදටය.
පරිවේක්ෂණ සාක්ෂි පදනම්කරගෙන විභාගයට ගත් මෙම නඩුව මෙරට ඉතිහාසයේ සුවිශේෂී නඩුවක් බවටද පත්වූයේය. ඒ විත්තිකරු වෙනුවෙන් කිසිදු සාක්ෂියක් කැඳවීමකින් තොරව මෙම නඩු විභාගය පවත්වා තිබිණි.
එසේම මෙම නඩුව විභාගයට ගන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් තොරවය. ඒ 2013 වසරේ අප්‍රේල් 29 වෙනිදාය නීතිපතිවරයා විසින් ඝෘජුවම මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන්ය. මහාධිකරණ විනිසුරුවරයා එකී නඩුව විභාගයට ගන්නේද ජූරි සභාවකින් තොරවය. ඒ වෛද්‍යවරයාගේ එකඟත්වය මතය.
අවුරුදු 8කට පසු යළිත් මේ කතාව ඉස්මතු වන්නේ ඒ තීන්දුව අභියෝගයට ලක් කරමින් චූදිතයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන අභියාචනාවය. ඒ අභියාචනාව අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරන්නේය.
අපරාධයට නිසි දඬුවම ලැබී ඇත්තේය. ඒ දණ්ඩනය මේ සමාජයට සිදුවීමක කුණු රසය විඳින්නට නොවේ. සමාජමය අර්ථයෙන් බරපතළ පාඩමක් ඉගෙන ගැනීම සඳහාය.