රටේ අර්බුද ගැන ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

රටේ අර්බුද ගැන ප්‍රශ්න 5ක්

මෙය  රාජ්‍ය බලය  හුවමාරුවකට  සුදුසු අවස්ථාවක් නොවෙයි

 

1 මේ වන විට ඇති වෙලා තියෙන ඩොලර් අර්බුදය නිසා ඩොලර් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට පොලීි රහිත ණය ලබාදීම කළ හැකියි. නමුත් ඒ අයට සහතිකයක් ලබාදිය යුතුයි. නිෂ්පාදන ආර්ථිකයට දායකත්වය දීමට බැංකු හරහා පොලී රහිත ණය, නිවාසයක් සඳහා හෝ ඉඩමක් ලබා ගැනීමට වැනි දේ සඳහා ලබාදිය යුතුයි. විදෙස් රැකියා සඳහා පිටත්ව යන පිරිසට වර්තමාන පවතින තත්ත්වය තේරුම් ගෙන මේ අවස්ථාවේ විදෙස්ගත කිරීමේ අවකාශය ඇති රටවලට පිරිස් යැවීමට අවශ්‍ය සුදුසුකම් ඉක්මනින් සපුරාලීමට කටයුතු කළ යුතුයි. විදෙස් රටවලට යන අය මෙරටට යම් ආයෝජනයක් කළ යුතුයි. පිටරටවලට යන අයට ආයෝජනය සහ කළමනාකරණ පිළිබඳ දැනුමක් ලබාදිය යුතුයි; ආයෝජනයට අවශ්‍ය සහයෝගය රජය ලබා දිය යුතුයි. එම විදෙස් ගතවන ශ්‍රමිකයන්ට මෙරටට එවන ඩොලර් සඳහා පොලී රහිත ණයක් වෙනත් නිවාස ණයක් වැනි දෙයක් පහසු ක්‍රමයට ලබාදිය යුතුයි. ඒ අයගෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ නිෂ්පාදන ආර්ථිකයට දායකත්වය ලබා ගත යුතුයි. විශේෂයෙන් විදෙස් ගතවීමට බලාපොරොත්තු වන අයට පිටත්ව යෑමට අවශ්‍ය දායකත්වය රජය පාර්ශ්වයෙන් ලබා දිය යුතුයි. තානාපති කාර්යාල නැති රටවල්වලට කඩිනමින් තානාපති කාර්යාල පිහිටු විය යුතුයි. ඒවගේම විදෙස් විනිමය මෙරටට එවන අයට විශ්‍රාම වැටුපක් සකස් කළ යුතුයි.

 

2. අත්‍යවශ්‍ය සේවා කියලා නම් කරලා තියෙන පොලීසිය වැනි සේවාවලටත් පුළුවන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න. සෞඛ්‍ය සේවාවේ හැම කෙනෙක්ටම අවශ්‍ය නැහැ; බස්වලින් එන්න පුළුවන් අය ඉන්නවා. අත්‍යවශ්‍ය සේවා කියලා අදාළ ක්ෂේත්‍රවල සියලු අයට තෙල්දෙන්න ගියොත් ප්‍රශ්න මතු වෙනවා නමුත් ත්‍රීවිල් වල වැඩ කරන බස් සේවාවන් වල කටයුතු කරන පොඩි මිනිසුන් ජීවත් වෙන්නේ ඒ සේවාවලින්. ඒ අයට අනිවාර්යෙන් දිය යුතුයි. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත වලට මේ අවස්ථාවේ අනිවාර්යෙන් ලබාදිය යුතුයි. ඒ අයට ගැටලුවක් මතුවෙලා තියනවා ඒ නිසා ඒ අයට අනිවාර්යෙන් දිය යුතුයි.

 

3. මම හිතන්නේ මැතිවරණයක් පිළිබඳ හිතන්නවත් පුළුවන් වෙලාවක නොවෙයි; අපි ඉන්නේ. සියලු දෙනා එකතු වෙලා; මේ රටේ ප්‍රශ්න විසඳිය යුතුයි. කියන තැනකට ජනාධිපතිවරයා යොමුවෙලා තියෙනවා. එතුමා සුදුසු දක්ෂයන් පාර්ලිමේන්තුවට ගතයුතුයි කියලා යෝජනා කළා. සියලු ම දේශපාලන පක්ෂවල දක්ෂයන් එකතු වෙලා වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. මේ නිසා අර්බුදයෙන් අර්බුදයට රට යනවා නියතයි. මේ මැතිවරණයක් පවත්වන්න අවස්ථාවක් නොවෙයි. මේ අවස්ථාව බල හුවමාරුවකට සුදුසු අවස්ථාවක් නොවෙයි. කිසිදු දේශපාලඥයෙක්වත් මේ අවස්ථාවේ වරප්‍රසාද භුක්ති විඳිනවා කියලා කියන්න අමාරුයි. මේ වෙලාවේ සියලුම පක්ෂවලට එකතුවෙලා වැඩකරන්න අවශ්‍යයි. මෙය වැඩ කරන කාලයක්. මැතිවරණ තියන කාලයක් නොවෙයි.

 

4. මේ යෝජනාව අධ්‍යයනය කළ යුතුයි. ඉන්ධන විදෙස් සමාගම්වලට ලබාදීමෙන් අත්වන ප්‍රතිඵලය සම්බන්ධයෙන් අපි දැනුම්වත් වෙලා සිටිය යුතුයි; බැලූ බැල්මට ප්‍රශ්නයට විසඳුමක් කියලා හිතුවත් එම සමාගම් කුමනාකාරයෙන් ද කටයුතු කරන්නේද පෙට්‍රල්වල ඩිසල් නිකුත් කරන්නේ කුමන ප්‍රමිතියක් අනුවද; කියලා නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඩොලර්වලින්ද ගනුදෙනු කරන්නේ කියන කාරණාව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. ප්‍රමිතිය මිල පාලනය යන කරුණු පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුයි. දැනට තියෙන ෂෙඩ්වලට බලපෑමක් නොවී මේ දෙවල් කළ යුතුයි. ඒ අය සමඟ ගිවිසුම්ගත වන ආකාරය නිරික්ෂණය කිරීමෙන් එහි හොඳ හෝ නරක ප්‍රතිඵල ලැබෙන්නේ.

 

5.මේ අර්බුදයට මූලික විසඳුම වෙන්නේ නිෂ්පාදනය කිරීම සහ වගා කිරීමයි. මේ වෙලාවේ ප්‍රායෝගික විසඳුම එයයි. ඒ සඳහායි ප්‍රමුඛතාව දිය යුත්තේ ලංකාවේ ඩොලර් වැඩි කරගත යුතුයි; ඩොලර් වැඩි වුවහොත් පමණයි ඩොලර් එක රුපියලට සාපෙක්ෂව අනුපාතය වැඩිවිම අඩුවෙන්නේ. මේ වැඩිවීම අතර තුර අපි අත්‍යවශ්‍ය භාණ්ඩත් පිටරටින් ගෙන ආවම ඒ භාණ්ඩ මිල අඩුවෙන්නේ නැහැ. සහල් නිෂ්පාදනය වැඩි කර ගත යුතුයි; වගාව වැඩිවන තරමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුවෙනවා; රසායනික පොහොර මේ වෙලාවේ ගෙන්වීමේ අර්බුදයක් තියෙනවා. කාබනික පොහොර දාලා වගා කළ යුතුයි. නිෂ්පාදනය වැඩිකරන්නේ නැතුව මිල අඩුකරගන්න බැහැ. සෑම තැනකම වගා කළ යුතුයි. නිෂ්පාදනය රැක ගත යුතුයි. අපනයනය සඳහා වගාකරන නිෂ්පාදනය කරන කර්මාන්ත අපි රැක ගත යුතුයි. ක්‍රමානුකූලව මේ සියල්ල සමාන්තරව සිදුවෙන්න අවශ්‍යයි.

 

රටේ සමස්ත  ජනතාවම පාරට  බැසිය යුතුයි

1විදෙස් ශ්‍රමිකයන් එවන මුදල් හරි අඩකින් පමණ අඩුවෙලා තියෙනවා. මාසෙක ඩොලර් මිලියන 600ක් පමණ ලැබුණ ඩොලර් ආදායම මේ වනවිට ඩොලර් මිලියන 300ක් දක්වා අඩුවෙලා තියෙනවා. ඒ සඳහා රට අභ්‍යන්තරයේ ඇති කාරණා හේතු භූත වී ඇති බව ඉතා පැහැදිලියි. ශ්‍රමිකයන් මේ‍ ආණ්ඩුව ගැන තියෙන අප්‍රසාදය මේ මුදල් ඒවීම අඩුවීමට හේතු භූත වෙලා තියනවා. මේ ආණ්ඩුවට විරුද්ධව ලෝකයේ හැම රටකම ඉතිහාසයේ පෙර නොවූ විරූ තැනක එම විරෝධය මතුවෙලා තියෙනවා. මේ ආණ්ඩුව ඉවත් විය යුතුයි; යන තැන සියලු ජනතාව ඉන්නේ. මේ අය සල්ලි එවන්න මැළි වෙන්නේ ඒ අප්‍රසාදය නිසා.

ආණ්ඩුව ගැන විදේශ ශ්‍රමිකයන් තුළ අවිශ්වාසය තරයේ තියෙන නිසයි; මේ අවස්ථාවේ මුදල් එවන එක අඩුවෙලා තියෙන්නේ. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ විදෙස් බැංකුවක් නඩුවක් දාලා තියෙනවා; සල්ලි හොරකම් කරපු පාලකයන්ට ඒ අයගේ සල්ලි ආපහු ගෙවන්න කියලා. ඒ වගේ මේ රජය ගැන තියෙන එවැනි අප්‍රසාදයට ලක්වන කාරණා නිසා මිනිසුන්ට බරපතළ අවිශ්වාසයක් තියෙනවා. තමන් එවන සල්ලි මේ පාලකයන් කොල්ල කනවා කියන මතයේ ඒ අය ඉන්නවා. ඒ නිසා ඒ මතය ඉවත් කරන්න නම් කළ යුත්තේ මේ පාලකයන් දේශපාලනයෙන් ඉවත් වීමයි. මේ ආණ්ඩුව අනුගමනය ඩොලර් රුපියල් අනුපාතය එය යථාර්ථවාදී නැහැ. ඒ නිසයි මේ උණ්ඩියල් ක්‍රමයට මිනිසුන් මුදල් එවන්න ආරම්භ කළේ; එය ආණ්ඩුව නතර කළා. එය නැවත ආරම්භ කරන්න පටන් අරගෙන තියෙනවා. රජයේ මුදලවන ඩොලරයට රුපියල් 365ට වඩා රුපියල්වලින් දෙන්න අය ඉන්නවා. ඒනිසා මේ ආණ්ඩුව ඩොලර් අනුපාතයක් සකස් කළ යුතුයි. යථාවර්ථවාදී විනිමය අනුපාතයකින් තොරව විදේශ ශ්‍රමිකයන්ට කියන්න බැහැ. සල්ලි එවන්න කියලා. දැන් ඉදිකිරීම් සඳහා හෝ වෙනත් කිසිදු දේකට විදෙස් ශ්‍රමිකයන් මුදල් ලැබෙන්නේ නැහැ. ඉදිකිරීම් සහ කර්මාන්ත ක්ෂේත්‍රය සියල්ල නිසා බිමට වැටිලා තියෙන්නේ; ඩොලර් අර්බුදය නිසා හටගත්ත තෙල් අර්බුදයයි; විදුලි අර්බුදයයි නිසා. රට බංකොලොත් වීම නිසා සල්ලි එව්වොත් ඒ සල්ලිවලටත් මොකද වෙන්නේ; කියන කාරණාව නිසා ඒ අය සල්ලි එවීමෙන් වැළකී සිටිනවා. ඒ නිසා මේ පාලකයන් ඉවත් වෙලා විශ්වාසය තහවුරු කළ යුතුයි.

 

2 ඕන තරම් ඒ යෝජනා තියෙනවා; මේ ආණ්ඩුවට ඒ දේවල් ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ජනතාවට රජය ගැන විශ්වාසය නැහැ. මේ ප්‍රතික්ෂේපිත පාලකයන් පිරිසත් සමඟ ඉවත් වීමයි කළයුතු වන්නේ. විකල්ප යෝජනා ගැන කතා කරන්නේ මොකටද. ඒ අයට ඕනම විකල්පයක් මේ ආණ්ඩුවට පුළුවන් කියලා මේ අය ආණ්ඩුව කරගෙන යනවා. ජනතාව එපා කියද්දිත් කරගෙන යනවා. ඒකයි මේ අයගේ ක්‍රමය. මේ අයට කළ හැකි එකම විකල්පය මේ ජනතාව එපා කියන අය ගෙදර යෑමයි. මහජනයාගේ ඉල්ලීම මේ අයට යන්න කියන එකයි. තෙල් සංස්ථාවට ජනතාව එපා කියන අය ගිහින් කරපු දේවල් නිසා තමයි තෙල් නැවත් නැතිව ගියේ. ඒ නිසා විකල්පය තමයි මේ ආණ්ඩුව එපා කියලා සමස්ත ජනතාවම පාරට බැහැලා කියන එක. ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැහැ ඒක මේ විරෝධතාවලින් ඉතා පැහැදිලියි.

 

3 මැතිවරණයට යන්න පෙර මැතිවරණ කොමිසම බලාත්මක කළ යුතුයි .ඒවගේ මැතිවරණයට වියඳම් කරන මුදල් හා ස්වාධීන ද කියන කාරණාව විනිවිඳ වීම සහ ඒ පිළිබඳ සහතිකයක් තියෙන්න අවශ්‍යයි. ජනමාධ්‍ය පුද්ගලික ජනමාධ්‍ය ස්වාධීන මැතිවරණ කොමිසමේ පාලනයට යටත් කළ යුතුයි. එසේ නොමැතිව මැතිවරණයක් පවත්වා එය යුක්ති සහගත මැතිවරණයක් වෙන්නේ නැහැ. ඒවගේම මැතිවරණයකින් ප්‍රතික්ෂේපිත අය ගෙදර යයි; නමුත් ජනතා කෝපයට පත් වෙලා නිවැරදි දිශානතියකට රට ගෙනියන්න පුළුවන් කෙනකුට බලය දිය යුතුයි කියන තීරණයක් ගනීද කියලා ගැටලුවක් තියෙනවා.

 

4 කොහොමද මේ වගේ යෝජනා වලින් ප්‍රශ්න විසඳෙන්නේ. මේ අය තෙල් ප්‍රශ්න විසඳෙන හැටි කියන්නේ නැහැ. ඩොලර්වලින් විකුණන තෙල් ගන්නවා. මේ රටේ මිනිස්සු ඕනෑම ආයෝජකයෙක් එයි. නමුත් අපේ මිනිස්සු ගෙවන්නේ රුපියල් නම් කවුරුත් එන්නේ නැහැ. රුපියල් ඩොලර් කරන්න ලංකාවට හැකියාවක් නැහැ. මූලික ප්‍රශ්නයක් තියෙනවා. ඩොලර් හිඟයක්. ඒ සඳහායි විසඳුම් හොයන්න අවශ්‍ය වෙන්නේ . පැළැස්තර විසඳුම් හොයලා වැඩක් නැහැ; රට බංකොලොත් වෙලා ඉවරයි. උදාහරණයක් ගත්තොත් බොරතෙල් නැවක් ගෙනාවා. ඒ අයට දෙන්න ඩොලර් නැහැ. මාසය කල් පිරුණා දෙන්න ඩොලර් නැහැ. එතකොට කොහොමද නැව් එන්න‍ෙ. අද විදෙස් සමාගම් ආවට අපිට දෙන තෙල්වලට ඩොලර්වලින් මුදල් ලබාගන්න බැරි නම් ඒ අය ආපහු එන්නේ නැහැ; මේකයි ඇත්ත තත්ත්වය.

 

5 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යන්න පටන් ගත්තේ; මේ පොහොර ගැටලුව නිසා. ජාවාරම්කාරයෝ ටිකක් ඇති කළා. රටට සීනි පොල් තෙල් ගෙන්වීමේදී භයානක වංචා කරන්න ගජ මිතුරන්ට ඉඩ දුන්නා. ජනතාව ඒ දේවල්වල ප්‍රතිඵල භුක්ති විඳිනවා. ජනතාවට මේ වගවීම බාරදීලා මේ පාලකයෝ ගෙදර යන්න ඕන. දැන් ජනතාවට වවන්න කියනවා. මේ පාලකයන්ගේ පවුල් වසර තුන්සියයක් ඉදිරියට ස්ථාපිත කරගත්තා රටක ජනතාව 1960 දශකයට ගෙනිහිල්ලා දැම්මා.

 

මේ දූෂිත  පාලනය  ජනතාව දෙවරක්  හම ගහල  තියෙන්නේ

1 මේ ආණ්ඩුවේ පාලනය දුෂණය, හොරකම්වලින් පිරුණු පාලනයක්. ඒ නිසා විදේශගත ලාංකිකයෝ ඩොලර් එවන්නේ නැහැ. මේ රජයට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විනිමය ලැබෙන්නේ නැත්තේ ඒ නිසයි. ගිය අවුරුද්දේ ජුනි මාසයේ සිට මේ අප්‍රේල් 30 දක්වා ඒ මාස 10 ට ඩොලර් මිලියන 3500 ක්‌ එව්වේ නැහැ. විදේශිකයේ තමන්ගේ සල්ලි මේරටට එවන එක නැවැත්තුවා. මේ දුෂිත පාලනය තියෙන තාක්කල් කොච්චර කිව්වත් සල්ලි එවන්නේ නැහැ. මේ පාලනය වෙනස් කරලා අදූෂිත පාලනයක් හදපු දවසට තමයි අපේ ලාංකිකයෝ ඩොලර් එවන්නේ.

 

2මේ පාලනය පෙරළලා දාන්න ඕන. මේ පාලනය තියෙන තාක්කල් මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. දැන් තෙල් ටික නෑ; කන්න ටික නෑ; මේ ආණ්ඩුවට ජනතාව ජිවත් කරවන්න බැහැ. එනිසා මේ ආණ්ඩුව පන්නල දාලා ජනතාව ජීවත් කරවන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න ඕන. එහෙම නැතුව පැළැස්තර විසඳුම්වලින් මේ ප්‍රශ්නයෙන් ගොඩයන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණා ම ලොකු බලාපොරොත්තු ඇතිකළා. අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වාට මුකුත් නැහැ. දැන් දවස් 50 විතර වුණා. මොකුත් හම්බවුණේ නැහැ. තිබුණටත් වඩා ප්‍රශ්න වැඩිවුණා. දැන් රට වහල තියෙන්නේ. ඉස්කෝල නැහැ; වැඩට යන්න බැහැ; රටක් මෙහෙම යන්න බැහැ. අද නිෂ්පාදන ආර්ථිකය කඩාවැටිලා. තේ දලු කඩන්න බෑ.දැන් ඇත්තටම රට වහල තියෙන්නේ. ඒ නිසා මේ පාලනය තුළ ජනතාව ජිවත් කරවන්න බැහැ. මේ පාලනය පන්නන්න ඕන ජනතාව ජිවත් කරවන්න. මේ දූෂිත පාලනය ජනතාව දෙවරක් හම ගහල තියෙන්නේ. බදු වැඩිකරලා, බඩු මිල වැඩි කරලා, රජයේ සේවකයෝ පෞද්ගලික සේවකයෝ හැමෝම දැන් හමගහල තියෙන්නේ පළවෙනිදා ඉදලා නව බද්දක් එනවා. ඒක විශේෂ සමාජ දායකත්ව බද්ධ අලුතෙන් එනවා. එය වැට් බද්ධට අමතරව තමයි ඒ එන්නේ. ඒක වැල් බද්ධක්. වැල් පොලිය වගේ වැල් බද්ධක්. ජනතාවට බදු පිට බදු. ජනතාවට ඉදිරියේදී ආවම තවත් අමාරු වෙනවා. නිෂ්පාදනයේදී, සේවා සැපයීමේදී හා ආනයනයේදී සිට භාණ්ඩ හුවමාරු වන සියලු දෙනාගේ සිට පාරිභෝගිකයා දක්වා මෙය පැනවෙනවා. පළවෙනිදා එන අලුත් බද්දෙන් තවත් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා. කිසිදු බැංකුවක් හරහා සහනයක් නෑ. බදු ක්‍රමය හරහා සහනයක් නෑ.තවත් අමාරුවේ වැටීමක් ජනතාවට තියෙන්නේ.

 

3 හැකි ඉක්මනින් මැතිවරණයකට යන්න ඕන. රටේ දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. දේශපාලනය අස්ථාවරයි. දේශපාලන ස්ථාවරය හදන්න පුළුවන් ඉක්මන් මැතිවරණයකින් පමණයි. ඒක කල් දැම්මාම අපිට ආර්ථික අර්බුදය විසඳගන්න බැහැ.ආර්ථික අර්බුදය විසඳන්න ඉස්සෙල්ලම දේශපාලන අර්බුදය විසඳන්න ඕන. දේශපාලන අර්බුදය විසඳන්න නම් හැකි ඉක්මනින් යන්න ඕන මැතිවරණයකට ඩොලර් ඕනි නැහැ. පසුගිය මැතිවරණයට වියදම් වුණේ රුපියල් කෝටි පන්සිය හැත්තෑ තුනයි. හරියට මැතිවරණය කරන්න අවශ්‍යයි විනිවිදභාවයෙන් යුතුව. ඉක්මනින් මැතිවරණය පවත්වල අලුත් ජනවරමකට අලුත් ආණ්ඩුවක් පිහිටුවල රටේ ස්ථාවරත්වය ඇතිකරන්න අවශ්‍යයි. එසේ නොවන්නට තවතවත් අර්බුදය වැඩිවෙනවා.

 

4 මෙය පැහැදිලි කුමන්ත්‍රණයක්. මේ ඉන්ධන අර්බුදය ඇතිකරලා අපේ තෙල් බෙදා හැරීම විදෙස් පුද්ගලික අංශයට ලබා දීමටයි මේ ක්‍රමන්ත්‍රණය කරන්නේ. විදුලි අර්බුදයේදීත් කළේ ඒකයි. පුද්ගලික තෙල් සමාගම්වලට දෙන්න තෙල් අර්බුදය පාවිච්ච් කරලා පනත් සංශෝධන හැදුවා; වෙනස් කළා. බෙදා හැරීම හා බලශක්තිය සම්පූර්ණයෙන් පුද්ගලික අංශයට දෙනවා. මේ මඟින් වෙන්නේ විදේශීය සමාගම් මුළුමනින්ම අපේ බලශක්තිය අත්පත් කර ගන්නවා. දැනටමත් ඒක වෙලා තියෙනවා. සිපෙට්කෝ එකේ තෙල් නැහැ. IOC එකේ තෙල් තියෙනවා. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා; මේ අර්බුදය පිටිපස්සේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ඉතුරු වෙලා තියෙන බලශක්ති සම්පතත් අපිට අහිමි වෙනවා. අනාගතයේ අපේ ජාතික ආරක්ෂාවටත් එය බලපානවා. බලශක්තිය අපෙන් ගිලිහුණා කියන්නේ; ජාතික ආරක්ෂාව විශාල තර්ජනයකට ලක් වෙනවා.

 

5 රට පාලනය කරන ආණ්ඩුවක් නැහැනේ. ආණ්ඩුවක් නැති වුණාම පාලනයකින් තොර වෙනවා එකිනෙකාට ඕන විදිහට බඩුමිල වැඩිකරනවා. බඩු මිල වැඩි වෙනවා භාණ්ඩ හිඟ නිසා. අදාළ අංශ වලට පත් කරපු නිලධාරීන් ආගිය අතක් නැහැ. භාණ්ඩ හිඟය සහ වෙළෙඳ මාෆියාව නිසා බඩු භාණ්ඩ හිඟය ඇති වුණේ. වෙළෙඳ මාෆියාවකුත් ඇතිවෙලා තියෙනවා. දැන් එවැනි භාණ්ඩ හිඟය ඇතුළේ විවිධ අය විවිධ මිල ගණන්වලට බඩු විකුණනවා. පෙට්‍රල්, ඩීසල්, හාල් වගේම අනිත් භාණ්ඩත් එසේ විකුණනවා. ඒවා පාලනය කරගන්න ආණ්ඩුවක් නැහැ; සියල්ල පාලනයකින් තොරයි. පාරිභෝගික අධිකාරියකුත් නැහැ. පත් වුණ නිලධාරීන්ට වෙච්ච දේකුත් නැහැ. රට අරාජික වුණාම වෙළෙඳ මාෆියාවක් බිහිවෙලා හිතු හිතු ගාණට බඩු විකුණනවා. රටේ පාලනයක් නැහැ.

 

 

 

 

 

Comments