මුහුණු පොතෙන් හමුවී අස­ම්මත ආශා­වෙන් මත් වී වැඩ වැර­දුණු යුව­ළක් | Page 2 | සිළුමිණ

මුහුණු පොතෙන් හමුවී අස­ම්මත ආශා­වෙන් මත් වී වැඩ වැර­දුණු යුව­ළක්

 

සිය පෙම්වතිය සොයාගෙන ඉන්දියාවේ සිට අක්කරෙයිපත්තුවට පැමිණි 24 හැවිරිදි සමරිසි තරුණියක් ගැන කතාවකි. ඇය පැමිණ තිබුණේ තමන් හා ප්‍රේමයෙන් බැඳුණු සිය පෙම්වතිය විවාහ කරගැනීම සඳහාය. අපේ සංස්කෘතික කුටුම්භ ඒ ප්‍රවෘත්තියත් සමඟ පිපිරී ගියේය.

 

මෙම ඉන්දීය තරුණිය තමිල්නාඩුවේ ගුන්නතූර් ප්‍රදේශයේ පදිංචි කාරියකි. උපාධිධාරිණියකි. ඇයට අක්කරෙයිපත්තුවේ කාන්තාව හමුවන්නේ අන්තර්ජාලයෙනි. ෆේස් බුක් සමාජ මාධ්‍ය වේදිකාවේදී ඔවුන් මුණ ගැසෙන්නේය. ප්‍රේමයෙන් වෙළෙන්නේය. පුරා දෙවසරක් ඔවුන් ප්‍රේම කරන්නේය. අක්කරෙයිපත්තු කාන්තාව සම්ප්‍රදායික විවාහයක සිටි එක්දරු මවකි. ඇය 19 හැවිරිදිය. ඇයගේ දරුවාට වයස අවුරුදු එකහමාරකි. මුස්ලිම් සමාජයේ දැඩි විනය තුළ හැදුණු කාන්තාවක් වන ඇයගේ සමරිසි ආශා ඇයටත් නොදැනී මතුවී තිබිණි.

ඇය සමඟ දෙවසරක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන 24 හැවිරිදි ඉන්දීය තරුණිය ඇයට තමිල්නාඩුවේ ඇයගේ ගම් පළාත වන ගුන්නතූර් වෙත පැමිණීමට ආරාධනා කරන්නීය. එහෙත් රටේ පවතින ආගමන විගමන පීඩනය හේතුවෙන් ඇයට ඉන්දියාවට පැමිණෙන්නට හැකි වන්නේ නැත. එහෙත් ඉන්දියානු තරුණිය ඇය වෙනුවෙන් සංචාරක වීසා සකසාගෙන පසුගිය 20 වැනිදා ලංකාවට ආවාය. පැමිණ අක්කරෙයිපත්තුවේ කාන්තාවගේ නිවෙසේම ළැඟුම් ගත්තාය.

ඉවසුම් රහිත ඒ උණුසුම් හමුව නිවැසියන් වික්ෂිප්ත කර තිබිණි. මේ දෙපළගේ ප්‍රේමාන්විත චර්යා ඔවුන් බලාගෙන සිටියේ ගල්වූවා සේය. නිවැසියන්ගේ ඉවසීම් සීමා පිපිරී ගියේ ඉන්දීය යුවතිය අක්කරපත්තු තරුණ කාන්තාව විවාහ කර ගැනීමට අවශ්‍ය බවට ඇගේ නිවැසියන්ට පැවසීමත් සමඟය.

තරුණියගේ පියා වහාම අක්කරෙයිපත්තුව පොලිසියට ගියේය. පැමිණිල්ලක් දැම්මේය. ඒ සිය දියණිය ඉන්දියානු තරුණිය හා පවත්වන අසම්මතයැයි ඔවුන් දකින චර්යා සම්බන්ධයෙනි.

අක්කරෙයිපත්තුව පොලිසිය මේ තරුණිය සහ කාන්තාව අත්අඩංගුවට ගත්තේය. ඒ පසුගිය 22 වැනිදාය. අම්පාර කොට්ඨාස බාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක උපදෙස් පරිදි අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි සෙනෙවිරත්න මඟපෙන්වීම මත අක්කරපත්තුව වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. හසන් ඇතුළු කණ්ඩායම විමර්ශන ආරම්භ කළහ.

ඉන්දීය තරුණිය පොලිසියට කීවේ අක්කරෙයිපත්තුවේ කාන්තාවට ඇය ආදරය කරන බවය. ඇයට විවාහ කරගෙන ඉන්දියාවට යෑමේ අභිලාෂයෙන් පසුවන බවය. තමන් දෙදෙනාට ඉන්දියාවට යාමට කිසිවකු ඉඩ නොදෙන්නේ නම් දෙදෙනාම සිය දිවි නසා ගන්නා බව ඇය පොලිස් නිලධාරින් ඉදිරියේදී පැවසුවාය. අක්කරෙයිපත්තු පොලිසියත් කළේ මේ කාන්තාවන් දෙපළ අධිකරණයට ඉදිරිපත් කිරීමය. නඩුව මුල්ම වරයට විභාගයට ගත්තේ පසුගිය 22 දාය.

අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත්වරයා එම්.එච්.එම්. හම්සාය. මේ කාන්තාවන් දෙදෙනා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර 27 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ඔහු පොලිසියට දැන්නුවේය. කාන්තාවන් දෙදෙනාම මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කල්මුණේ මූලික රෝහල වෙත යැවිණි. අනතුරුව ඔවුන් දෙපළ රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අනතුරුව පසුගිය 27 වැනිදා දෙදෙනාම අක්කරෙයිපත්තු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. ඉන්දීය තරුණිය වෙනුවෙන් මඩකලපුව පදනම් කරගත් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයක සහාය සහිතව මඩකලපුවේ නීතිඥවරයෙක් පෙනී සිටියේය.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීම හා ගොනු වී ඇති කරුණු සම්බන්ධව සලකා බැලූ විනිසුරුවරයා ඉන්දීය තරුණිය නිදොස් කොට නිදහස් කර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාර දී නැවත සිය රටට යැවීමට නියෝග කළේය.

අක්කරෙයිපත්තුවේ තරුණ කාන්තාව පිළිබඳ පැමිණිලි කළ මවුපියන් සහ සැමියා වෙනුවෙන් නීතිඥ ඒ.එම්.ජනීර් සහ එම්.අයි.රිස්වාන් පෙනී සිටියහ.

නඩුව විමසන අතර අක්කරෙයිපත්තුවේ තරුණ කාන්තාව සිය සැමියා සමඟ යෑම ප්‍රතික්ෂේප කළාය. මේ 19 හැවිරිදි තරුණ මව සහ ඇයගේ වයස අවුරුදු එක හමාරක් වූ දරුවා පිළිබඳ සිදුවන විභාගයට ළමා සුබසාධන නිලධාරියෙක් ද එක් වී සිටියේය. මහේස්ත්‍රාත්වරයා මවගේ සහ දරුවාගේ අනාගත අභිවෘද්ධිය තකා ඇය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මුදා හැර පරිවාස භාරයට පත් කළේය. ලබන මස 29 වැනිදා නඩුව යළි කැඳවීමට නියෝග කළේය.

මේ සිදුවීම මුල් කරගත් අධිකරණ තීන්දුව මනුෂ්‍යත්වයේ නාමයෙන් යළි අපේ නෛතික රාමුව තුළ සිදුකළ යුතු මානුෂීය ප්‍රතිසංස්කරණ ගැන සමාලෝචනයක් කිරීමට අපව පොළඹවන්නේය.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සමරිසිත්වය මහා අපරාධයක් කර එය දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කළේය. සමරිසි ප්‍රජාවට ලංකාව තුළ ක්‍රියාත්මකවන නීතිය 1886 දී සම්පාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුළ සමරිසි චර්යාවල නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 වගන්තීන්ට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයතු ස්වකැමැත්තෙන් සම ලිංගික චර්යාවක හෝ එසෙත් නොමැතිනම් සතකු සමඟ හෝ අනෙක් පාර්ශ්වයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමරිසි චර්යාවක යෙදේ නම් වසර 10 සිර දඬුවමක් සහ දඩයකට යටත්විය යුතුය. බාල වයස්කරුවකු සමඟ සමරිසි ඇසුරක් නම් බරපතළ වැඩසහිත වසර 10 නොඅඩු සිරදඬුවමක් හෝ වසර 20 සිර දඬුවමක් සමඟ දඩයකට යටත්විය යුතුය. එසෙම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියම කළ වන්දියක් ගෙවීමට සිදු වේ.

365A වගන්තිය අනුව යම් පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක දී සමරිසි චර්යාවල ස්ව කැමැත්තෙන් යෙදේ නම් වසර 2 කට නොඅඩු සිර දඬුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ. බාල වයස්කරුවකු සමඟ සමරිසි ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඬුවමක් හෝ වසර 20 සිර දඬුවමක් සහිත දඩයක් හා අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට සිදුවේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ සමරිසි චර්යාවකට තම අභිමතය පරිදි අනෙක් පාර්ශ්වයේ කැමැත්ත ඇතිව හෝ නැතිව යෙදීම දඬුවම් ලැබිය හැකි වරදකි.

 

 

Comments