
ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය යෙදී තිබුණේ ජුනි 14 වැනිදාටය. මේ දිනය තෝරාගනු ලැබුවේ මිනිස් රුධිරයේ ABO වශයෙන් රුධිර කාණ්ඩ ඇති බව සොයා ගත් නොබෙල් ත්‍යාගය දිනු ඔස්ට්‍රියානු විද්‍යාඥ කාල් ලෑන්ඩිස්ටයන්ගේ උපන්දිනය ජුනි 14 වැනිදාට යෙදී ඇති නිසාය. ජුනි 14 වැනි දිනය ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබුවේ 2005 මැයි මාසයේ පැවැත්වුණු 58 වැනි සම්මේලනයේදීය.
ජීවිත මිලියන ගණනක් බේරා ගැනෙන්නේ රුධිර පරිත්‍යාගශීලීන් නිසාය. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගින්ගේ සහ පිළිකා රෝගීන්ගේ ආයු අපේක්ෂණය දීර්ඝ වන්නේ රුධිර පාරවිලයනය මගිනි. දරු ප්‍රසුතියකදීත් හදිසි අනතුරකදි අධික ලෙස රුධිරය වහනය වන අයගේත් ජීවිත ආරක්ෂා වන්නේ රුධිර පරිත්‍යාගශීලීන් නිසාය. රුධිර පරිත්‍යාගශීලින් අගයනු පිණිස ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයක් නම් කරනු ලැබුවේ එබැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික අරමුණ වන්නේ ලොව පුරා සිටින සෑම රටකම රුධිර පාරවිලයන සේවාව 100% කින් රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ලබා ගැනීමය. 2014 දී ලංකාව මෙම ඉලක්කය සපුරා ගත් අතර දකුණු ආසියාවෙන් මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන සිටින්නේ අප පමණි. මෙම වසරේ ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය පැවැත්වූයේ මෙක්සිකෝවේ ය. "ජීවිත සුරැකීමේ සමාජ මෙහෙවරට දායක වෙමු" යන්න මේ වසරේ තේමාවයි.
ලංකාවේ ලේ බැංකු 107 ක් ස්ථාපිත කර තිබෙන්නේ පර්ෂද රුධිර මධ්‍යස්ථාන 24ක් කේන්ද්‍ර කර ගනිමිනි. ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් මෙම පර්ෂද රුධිර මධ්‍යස්ථාන 24 දී 700 දෙනෙකු ඇගයීමට කටයුතු යොදා ඇත. මෙම ඇගයීම සඳහා වර්ෂයකදී වැඩි වාර ගණනක් ලේ දන් දුන් පරිත්‍යාගශීලින් මෙන්ම ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කරනු ලබන පිරිස අයත් වෙති. සහතික පත්‍රයක් සමග වටිනා සමරු තිළිණයක් පමණක් ඔවුන්ට ප්‍රදානය කරනු ලබන්නේ ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කිරීම උදෙසා මූල්‍ය වටිනාකමක් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන නිසාය. රුධිරය පරිත්‍යාගශීලින් පිළිබඳව අවධානය යොමු කිරීමේදී වසර පුරාම රුධිරය පරිත්‍යාග කරන අය, රුධිර පට්ටිකා පරිත්‍යාග කරන අය, වසරකදී රුධිරය වැඩි වාර ගණනක් පරිත්‍යාග කරන අය, දුර්ලභ හා විශේෂ රුධිර කාණ්ඩ පරිත්‍යාග කරන අය සහ සැසඳුම් පරීක්ෂණවලට රුධිරය පරිත්‍යාග කරන ප්‍රතික්‍රීයක දායකයන් යනුවෙන් බෙදා වෙන් කර හඳුනා ගත හැකිය. රුධිර පරිත්‍යාගශීලීන් ඇගයීමේදී මේ සියලුම කාණ්ඩ කෙරෙහි සැලකිල්ල යොමු කර තිබේ.
ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කරන අය ගැන අවධානය යොමු කරන විට ජංගම ලේ දන්දීමේ කඳවුරු සහ රුධිර පරිත්‍යාගශීලීන් බැංකුවට පැමිණ පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුරු වශයෙන් දෙයාකාරයකි. ජංගම ලේ දන්දීමේ කඳවුරු නැවතත් වසරකදී කීප වතාවක් සංවිධානය කරන අය සහ 200 කට වැඩි පිරිසක් දායක කර ගනිමින් මහා පරිමාණ වශයෙන් ජංගම ලේ දන්දීමේ කඳවුරු පවත්වන අය වශයෙන් වෙන් කර ඇත. මේ සියලු දෙනාවම ඇගයීම සඳහා පසුගිය ජුනි 14 වැනි දින දීප ව්‍යාප්තව වැඩසටහන් ක්‍රියාත්මක විය. රුධිරය පරිත්‍යාග කරන අය මෙන්ම ලේ දන් දීමේ කඳවුරු සංවිධානය කරන අය ද එක සේ වැදගත් වන්නේ ඔවුන් නොමැති වුවහොත් ලේ බැංකුවට ලේ නැති වන නිසාය.
"රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය වැඩිපුරම එකතු කළේ 2018 වර්ෂයේදී. 2019 වර්ෂයේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමඟ රටේ සාමාන්‍ය තත්ත්වය වෙනස් වුණා. 2020 සහ 2021 කොවිඩ් වසංගතය එක්ක රටේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ලේ දන්දීම සඳහා රටේ තත්ත්වයත් ප්‍රධාන වශයෙන් බලපානවා. යනුවෙන් පැහැදිලි කළේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ය.
"ලේ බැංකුවත් අනිත් බැංකු වගේම ඉල්ලුම හා සැපයුම මත තීරණය කෙරෙන තැනක්. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කළමනාකරණ කමිටුවක් තිබෙනවා. ඒ කමිටුව සෑම සතියකට වරක් රැස්වෙලා ඊට පෙර සතියේ ලංකාව පුරා රුධිර ඉල්ලුම ගැන සාකච්ඡා කරනවා. ඒ විදිහට සමාලෝචනය කරපුවාම අපිට දළ වශයෙන් සතියකට අවශ්‍ය රුධිර ඒකක ප්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ ප්‍රමාණය ලේ බැංකුවල සංචිත වශයෙන් තබා ගන්නවා. ඇත්තටම ලේ පරිත්‍යාගශීලින්ගෙන් වැඩිපුර ලේ අරගෙන ගබඩා කරගන්න එක තේරුමක් නැහැ. අපිට එක් රුධිර ඒකක පැකට් 1ක් සකස් කර ගැනීමට රු. 3,500 - රු. 10,000 අතර මුදලක් වැය වෙනවා. රෝග 5ක් නිර්ණය කර ගැනීමට පරීක්ෂණ 5ක් කරන්න වෙනවා. රුධිරය පැකට් කරන බෑග් එකට ඉඳිකටු වයර් ඇතුළු උපකරණවලට වියදම් කරන්න වෙනවා. ශල්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍ය කියලා ඒ උපකරණ හඳුන්වන්නේ. ඒවා අපි ගෙන්වන්නේ යුරෝපීය රටවල්වලින්. ශල්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමටත් ඩොලර් වැය වෙනවා. ප්‍රතික්‍රීයක මානුෂීය යෙදවුම් සඳහා පිරිවැයක් දරන්නට සිදු වෙනවා. ලේ පරිත්‍යගශීලීන් නොමිලේ ලේ දන් දුන්නත් අපිට පිරිවැයක් දැරීමට සිදු වන්නේ ඒ නිසයි." යනුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පැහැදිලි කළේය.
රටක රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක අපතේ යන රුධිර ප්‍රමාණය 5%ට වඩා අඩු මට්ටමක තිබේ නම් එය ප්‍රශස්ත මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමයි. අපේ රටේ අපතේ යන රුධිරය ප්‍රමාණය 3%කි.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ තවදුරටත් සඳහන් කළේ 2019, 2020 සහ 2021 වසරවල රටේ පැවැති අයහපත් වාතාවරණය ලේ පරිත්‍යාග අඩුවීම කෙරෙහි බලපෑමට සමගාමීව ලේ ඉල්ලුමේ ද අඩුවීමක් දක්නට ලැබුණු බවයි. දිනකට සාමාන්‍යයෙන් රතු රුධිරානු ඒකක 1200ක අවශ්‍යතාවක් තිබුණත් 2020 වර්ෂයේ එය 900 දක්වා අඩු වූ බව ඔහු පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයත් සමඟ රට අඟුළු දැමීම නිසා හදිසි අනතුරු අඩුවීම, ශල්‍යකර්ම කල් දැමීම ඊට බලපෑ හේතූන් කිහිපයක් පමණි. එහෙත් මේ වන විට එකී තත්ත්වය පහව යමින් තිබෙන්නේ අපේ රටේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ දන් දී දාන පාරමිතා පුරන අය තවමත් සිටින නිසාය.
"බුදුරජාණන්වහන්සේ බෝධිසත්ව අවදියේදී දාන පාරමිතාව පරිපූර්ණ ආකාරයට ලබා දුන් කෙනෙක්. බුදුදහමේ මූලික සිද්ධාන්තය තමයි අත් හැරීම, ඒ කියන්නේ දන් දීම. දාන පාරමිතාව දාන පාරමිතා, දාන උප පාරමිතා සහ දාන පරමත්ථ පාරමිතා කියලා කොටස් 3කට බෙදෙනවා. ශරීරයේ අංගෝපාංග දන්දීම අයිති වෙන්නේ දාන උප පාරමිතාවට. ඒ අනුව ලේ දන්දීම අයිති වෙන්නේ දාන උප පාරමිතාවට. මමත් තරුණ කාලේ 21 වතාවක් ලේ දන්දීලා තිබෙනවා. බෞද්ධ ආභාෂය තියෙන අපේ රටේ අය ලේ දන්දීමට පෙලඹෙන බව පෙනෙනවා. නියම බෞද්ධයෙක් නම් ඔහු කළ යුත්තේ ජාතිය, ආගම ගැන නොසලකා පුද්ගල ජීවිතයක් බේරා ගැනීමේ යහපත් චේතනාවෙන් ලේ දන්දීමයි." යනුවෙන් බම්බලපිටිය වජිරාරාමවාසි තිරිකුණාමලේ ආනන්ද හිමියෝ ලේ දන්දීමේ වැදගත්කම පැවසූහ.
"ඉමං සරත්තප්පිසිතං සරීරං - ධාරෙමි ලෝකස්ස හිතත්ථමේව" (මස් ලේ වැනි මේ සිරුර ලෝකයාට හිතසුව පිණිසම දරමි) යනුවෙන් සිරිසඟබෝ රජතුමා සඳහන් කළ පාඨයක් උපුටා දැක්වූ උන්වහන්සේ, අන්‍යයන්ගේ හිත සුව සැලසීම පිණිස බෞද්ධයන් ලේ දන්දීමෙන් පූර්වාදර්ශ සැපයිය යුතු බව දන්වා සිටියහ.
"ලේ පරිත්‍යාග කිරීම කිතුනු දහමෙත් සඳහන් වී තිබෙන දෙයක්. යේසුස් ක්‍රිස්තුන්වහන්සේ තමන්ගේ ජීවිතය පූජා කළේ අන්‍යයන්ගේ ගැලවීම සඳහා. ජීවිතය රැඳී පවතින්නේ රුධිරය මත බව අපි කවුරුත් දන්නවා. යේසුස්වහන්සේ ජීවිතය පූජා කිරීමෙන් කියවෙන්නේ අන්‍යයන් වෙනුවෙන් රුධිරය පූජා කළ බව. ඒ වගේම උන්වහන්සේ කුරුසයේ මියැදුණේ අවසාන රාත්‍රි භෝජන සංග්‍රහයේදී පූප ශරීරය බවටත් මිදියුෂ උන්වහන්සේගේ රුධිරය බවටත් හැරවීමෙන්. උන්වහන්සේගේ ශරීරය අනුභව කරන සහ රුධිරය පානය කරන සෑම කෙනෙකුටම සදාකාලික ජීවනය ඇත කියලා උන්වහන්සේ දේශනා කළා. අපි දිව්‍ය සත්ප්‍රසාද ලබා ගැනීමේ අදහස යේසුස් වහන්සේගේ ජීවිතය සහ රුධිරය අපි ලබා ගැනීමයි. කිතුනුවන් හැටියට උන්වහන්සේගේ රුධිරයෙන් තමයි අපි ජීවිත ලබා තිබෙන්නේ. යේසුස් වහන්සේ අප වෙනුවෙන් රුධිරය පූජා කළා වගේම උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේව සිහි කිරීම පිණිස රුධිරය පූජා කරන්න කියලා. ඒ නිසා රුධිරය පූජා කිරීම ගැන කිතු දහමේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා." යනුවෙන් ලේ දන්දීම පිළිබඳව කිතු දහමේ අර්ථ දක්වා ඇති ආකාරය විස්තර කළේ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ කර්තෘ සිරිල් ගාමිණි පියතුමාය.
අපේ රටේ බොහෝදෙනකු ජාති ආගම් භේදයකින් තොරව ලේ දන්දීමට ඉදිරිපත් වන්නේ පුණ්‍ය කටයුත්තකට එහා ගිය මානුෂීය හැඟීමකිනි.