
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධිසාමාජිකයකු මෙන්ම ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධිසාමාජිකයකු වන සුජීව රාජපක්ෂ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය විසින් පිරිනමන ව්‍යාපාර පරිපාලනපති උපාධිධාරියකු ද වේ. දශක හතරකට අධික තම කීර්තිමත් වෘත්තිමය දිවිය ඇතුළත ඔහු දරන ලද තනතුරු රාශියකි. සුජීව රාජපක්ෂ වර්තමානයේ මහජන බැංකුවේ සභාපතිවරයා ය. මේ සුජීව රාජපක්ෂ දිවිසැරියේ ලිවිසැරිය පිළිබඳ කරන ලද සාකච්ඡාවක සංක්ෂිප්තයයි.
- මම එදා බැංකුවේ රස්සාවට ගියා නම් එතනින්ම නවතින්න තිබුණා
- පුද්ගල සන්නාමයක් වෙන එක තමයි ජීවිතේ හොඳම බ්‍රෑන්ඩ් එක
කවදාද කොහේද ඔබේ උපදින්නේ -
1961 සැප්තැම්බර් 29 දා මාතර තිහගොඩ කිතලගමදී
සුජීව රාජපක්ෂ කියන්නෙ උප්පැන්නෙ සඳහන් නාමය ද; නැත්නම් නමේ තව කොටස් තියෙනවද?
මගේ තාත්තා මට දාලා තියෙන එක ම නම සුජීව. මං ඒ ගැන ආඩම්බරයි.
අම්මා තාත්තා වෘත්තීයමය වශයෙන් කළේ මොනවද?
තාත්තා ප්‍රධාන වශයෙන් කළේ ගොවිතැන. අපිට පොඩි සිල්ලර කඩයක් තිබුණා. අම්මා රැකියාවක් කළේ නැහැ. අපි මේ තත්ත්වයට ගෙන එන්න ඒ අය විශාල කැපවීමක් කළා.
තාත්තාගේ සහ අම්මාගේ නම් මොනවද?
දොන් සයිමන් රාජපක්ෂ; ඔහුගේ ගම තමයි මාතර තිහගොඩ. අම්මා නන්දා වීරතුංග. ඇය මාතර පාතේගම ඉපදුණු අයෙක්
ඔබ පවුලේ කී වැනියද?
අපේ පවුලේ පස්දෙනයි. මම දෙවැනියා. මට අක්කා කෙනෙක් සහ බාල මල්ලිලා තුන්දෙනෙක් ඉන්නවා. මල්ලිලා අතරෙන් එක්කෙනෙක් හදිසි අනතුරකින් නැති වුණා.
කොහෙන්ද පාසල් අධ්‍යාපනය පටන් ගන්නෙ
මාතර තිහගොඩ කිතලගම කනිෂ්ඨ විද්‍යාලයට මම තුන්වැනි පන්තිය දක්වා ගියා. ඒක පොඩි ඉස්කෝලයක්. තුන්වැනි පන්තියෙන් පස්සෙ මම ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට. අපේ අම්මයි තාත්තයි අපි පස්දෙනාම තුන්වැනි පන්තියෙන් පස්සෙ ගමෙන් පිට කළා. ඒ හොඳම ඉස්කෝලවලට දාන්න.
ඇයි දරුවන් පස්දෙනාම ගමෙන් පිට කළේ.
මං හිතන්නෙ ඒ අයට මුල ඉඳල ම අපි ගැන, අපේ අනාගතය ගැන හොඳ දැක්මක් තිබුණා. අපි හැමෝම විනය අතින් හොඳ හැඳියාවකින් හදන්න ඕන කියන එක දෙමව්පියන්ගෙ හිතේ තිබුණා.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කොහොමද ඔබේ ජිවිතයට එක් කළ ආලෝකය
මාතර තිහගොඩ වගේ ගමක ඉඳල රිච්මන්ඩ් වගේ ඉස්කෝලෙකට ඒ කාලේ එනකොට ඇත්තට ම මාව කරකවල අතහැරියා වගේ. අමුතුම පරිසරයක් තිබුණෙ. හැමදේම වෙලාවට සහ කලාවට කෙරුණෙ. අම්ම තාත්තා ළඟ නෑ; හොස්ටල් එකේ හිටියෙ; දුරකතනයක් නෑ; ලියුම් ගනුදෙනු විතරයි. මේ ඔක්කොම එක්ක තමයි මගේ ජීවිතේ හැදෙන්න පටන් ගන්නෙ.
පාසලේදී බාහිර වැඩ කළාද?
බාහිර ක්‍රියාකාරකම් හැටියට පන්ති නායකයාව හිටියා. ඊට පස්සෙ කනිෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායකයකු හැටියටත්, ජ්‍යේෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායකයකු හැටියටත් කටයුතු කළා. ඊට පස්සෙ මම නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළා. ඒ අතරට මම ගොඩක් සමිති සමාගම්වල හිටියා. වාණිජ සංගමය, බෞද්ධ සංගමය වගේ සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයකු ව සිටියා. ක්‍රීඩා වශයෙන් මම කළේ පිහිනීම.
ඔබ වාණිජ විෂයයන් හදාරන්න කලින් විද්‍යා විෂයයන් හදාරන්න පටන් ගන්නවා.
ඔව්, ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. මට සාපෙළින් පස්සෙ ඕනකම තිබුණෙ විද්‍යා විෂයයන් කරන්න. ඉතින් මම මාසයක් පමණ විද්‍යා විෂයයන් හැදෑරුවා. මට ම තේරුණා මට විද්‍යා විෂයයන් අල්ල ගන්න අමාරුයි කියලා. මම තාත්තට ලියුමක් යැව්වා මේ ගැන කියලා. තාත්තා ආවා. ආවම මම කිව්වා මට විද්‍යා විෂයයන් අමාරුයි කියලා. තාත්තා කිව්වෙ ඔය ළමයට කැමැති දෙයක් තෝර ගන්න කියලා. එතනදි තමයි මම වාණිජ විෂයයන් තෝරා ගන්නෙ. ඒකත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.
එතැනින් පස්සෙ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවද?
නැහැ. මට විශ්වවිද්‍යාලෙට යන්න බැරි වුණා. ලකුණු මදි වුණා. දෙවැනි වරත් කළා. හරි ගියේ නැහැ. තාත්තා මට ඒ ගැන තදබල විදියට කිව්වෙ නැතත්, ඒ ගැන දුක් වුණා කියලා මට තේරුණා. ඒ වෙලාවෙ මට තාත්තා කිව්වා මේ වගේ වෙන විභාග තියෙනවනෙ පුතා බලන්න කියලා.
මොකද්ද ඔබ තෝරා ගන්නෙ
මගේ හොඳම යාළුවෙක් ඉන්නවා ජගත් ප්‍රේමතිලක කියලා. එයා තමයි කිව්වෙ වරලත් ගණකාධිකාරී ආයතනය තියෙනවා; ඒකට බැඳෙමුද කියලා. ඉතින් අපි ඒක පටන් ගත්තා. තාත්තත් මට මේකට උදව් කළා. ඒ 82 දී විතර
ගොවියෙක් වුණු ඔබේ පියාට මේ දේවල්වලට වියදම් කරන්න මුදල් තිබුණද?
දෙයියන්ගෙ පිහිටෙන් අපි පස්දෙනාට උගන්වන්න තාත්තාට වියදම් කරන්න පුළුවන්කම තිබුණා. අම්මයි තාත්තයි දෙන්නම හයේ හතේ පන්තියට විතරක් ගියපු අය. නමුත් ඒ අයට පුළුවන් වුණා, හොඳ ම අධ්‍යාපනය ළමයින්ට දෙන්න. ඒකට ඒ අය කැප වුණා. එයාලා ජීවිතේ සැප වින්ද අය නොවෙයි.
ඔබ වරලත් ගණකාධිකාරී විභාගය කරන්න පටන් ගන්නවා. ඉතිරි දේවල් කොහොමද සැපිරෙන්නේ.
මම මාතර ඉඳන් කොළඹ ඇවිත් තමයි විභාගයට අදාළ පන්තිවලට සහභාගී වුණේ. මේ විභාගයේ අවශ්‍යතාවක් තමයි පුහුණුවක් සම්පූර්ණ කිරීම. එතකොට තාත්තා කිව්වා එයාගෙ පොඩි පොඩි ව්‍යාපාරවල ගිණුම් කටයුතු කරන්න කියලා. එතෙක් ඒවා කළේ කොළඹ විගණන ආයතනයත් එක්ක සම්බන්ධ වුණු සංඝදාස කියලා මහත්මයෙක්. එයා මට කිව්වා කොළඹ ඇවිත් මේ දේවල්වලට සම්බන්ධ වෙන්න කියලා. 1983 දෙසැම්බර් 1 දා මම කොළඹ ආවා.
වරලත් ගණකාධිකාරී විභාග පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. කොහොමද ඒ වෙනකොට ඔබේ ඉංග්‍රීසි දැනුම
මට ඒ ප්‍රශ්නෙ තිබුණා. මගේ ප්‍රබල ම අභියෝගය වුණේ ඒක. ගමේදී ඉංග්‍රීසි භාෂාව පාවිච්චි වෙන්නෙ ම නෑ. ගාල්ලෙ රිච්මන්ඩ් ආවත් මුළුමනින් ම ඉංග්‍රීසියෙන් නොවෙයි වැඩ කළේ. කොළඹට ආව ම මට සියයට සියයක් ම ඉංග්‍රීසියෙන් වැඩ කරන්න සිදු වුණා. මම ඇතෑරියෙ නෑ. ගමත් දකුණෙනෙ. මම ගියා ඇක්වයිනාස් ඩිප්ලෝමා පාඨමාලාව කරන්න. ඒකෙ මූලික විභාගයේදී මම දෙවැනි තත්ත්වයට තේරුණා. මම කැපවීමෙන් ඒ අවුරුදු දෙක කළා. ඒකෙන් පස්සෙ මට සෑහෙන ලොකු ගැම්මක් ආවා; මට දැන් කෙනෙක් එක්ක බය නැතිව ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් කියලා. ලියන්නත් පුළුවන් කියන හැඟීමත් මට ආවා. මගේ දැක්ම මාව ටිකෙන් ටික ඉදිරියට අරන් ගියා.
ඒ කඩඉමත් ජයග්‍රහණය කළාට පස්සෙ වරලත් ගණකාධිකාරී විභාගයේ ඉතිරි කඩඉම් සඳහා කොහොමද සූදානම් වුණේ
හරිම අමාරුවෙන් තමයි මේවා සේරම මම සමබර කර ගත්තෙ. පාඩම් කරන්න ඕන; පන්ති යන්න ඕන. ඒ අතරෙ මගේ සියලු ම වැඩ කරගන්න ඕන. කවුරුවත් උදව්වට ගියේ නෑ. ඒත් කොහොම හරි විභාග ටික මම කරගත්තා. මම වරලත් ගණකාධිකාරිවරයෙකු වන තුරු චමරියෙන් එළියට බැස්සෙ නෑ, පාඩම් කරද්දි. අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තුව ඒකනෙ. දැන් වගේ නොවෙයි, අම්මා තාත්තා කිව්වම ඒක කරන්න ම ඕන.
වරලත් ගණකාධිකාරී විභාගය කඩඉම් 4ක් යටතේ කරන්න ඕනනෙ. මේ වෙනකොට ඔබ මෙයින් කීයක් අවසන් කරලද?
ඒ වෙනකොට දෙකක් අවසානයි. මට වුවමනාව තිබුණා, අම්මට තාත්තට කරදර කරන්නෙ නැතිව මගේ වැඩ කරගන්න මම ම හම්බු කරගෙන. ඒකාලෙ සම්පත් බැංකුව පටන් ගන්න හදන කාලෙ. මමත් ඉල්ලුම් කළා විධායක ශ්‍රේණියේ රැකියාවකට. සතියකට පස්සෙ මට සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා ලියුමක් ආවා. සම්මුඛ පරීක්ෂණෙන් දවස් දෙකකට පස්සෙ මාව තේරුණ බවට ලියුමක් ආවා. රුපියල් 5000 යි පඩිය. ඒ කාලෙ වෙනකොට මම රුපියල් 500ට තමයි රැකියාව කරමින් හිටියෙ. මම හිතුවා මේක තමයි ලෝකෙ කියලා. තාත්තට මේ ගැන කියලා මම ලියුමක් යැව්වා. තාත්තා මට ලියුමක් එව්වා වහාම ගෙදර එන්න කියලා.
මොකද හිතුණෙ තාත්තා එකපාර ගෙදර එන්න කිව්වම
මම දැනන් හිටියා මොකද්ද වෙන්නෙ කියලා. ඒනිසා කියන පරක්කුවෙන් මම ගෙදර ගියා. තාත්තා කිව්වා, මම ඔය ළමයට කිව්ව දේ මතකනෙ. ඉගෙන ගන්න ඕන බාගෙට නොවෙයි; විභාග කරන්න, පාස් වෙන්න; මට පුළුවන් ඒ වෙනුවෙන් වියදම් කරන්න. කරුණාකරල ඕකට යන්න එපා, විභාග ඉවර කරන්න කිව්වා.
ඒකත් ඔබේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක්
ඔව්, සහතිකෙන් ම. මම එදා බැංකුවෙ රස්සාවට ගියා නම් එතනින් මම නවතින්න තිබුණා. බැංකුවේ විභාග කරලා මම ඉදිරියට යයි. නමුත් බැංකුවේ පමණයි. දැන් මම තව බොහෝ දේ කරලනෙ. තාත්තා එදා දැඩි ව ම කිව්ව නිසා තමයි මම බැංකුවට ගියේ නැත්තෙ
එතකොට හැරවුම් ලක්ෂ්‍යය කිහිපයක් තියෙනවා.
මගේ ජීවිතේ වෙනස් කරපු හැරවුම් ලක්ෂ්‍යය 3ක් තියෙනවා. එකක් ගමෙන් ගාල්ලට ඇවිත් රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වීම. දෙක මම විද්‍යා විෂයයන් කරන්න ගිහින් ඒක අතහැරලා වාණිජ විෂයයන් කිරීම. තුන තමයි මම බැංකුවෙ විධායක රස්සාවට යන්නෙ නැතිව වරලත් ගණකාධිකාරීවරයකු වෙනකම් ම විභාග හතර ම ඉවර කිරීම.
මේවා කරන්න අනුගමනය කරන ක්‍රියා පිළිවෙත කවරාකාරද?
මට අවස්ථාවක් ලැබුණොත් මම කවදාවත් ඒක අතහරින්නෙ නැහැ; මඟ හරින්නෙ නැහැ; ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම උපරිමයෙන් කරනවා
ඔබට ලැබෙනවා එහෙම අවස්ථාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වෙන්න
ඔව්, මට ලැබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන්න ආරාධනාවක්. මම බාර ගත්තා. මම ඒක බාර ගන්න කාලෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල ලෙස විවේචනයට භාජනය වූ කාලයක්. නමුත් මම ඒක බාර ගෙන අවුරුදු 6ක් හෝ 7ක් එකදිගට හිටියා. අන්තර් කමිටුවේ හය දෙනාගෙන් පස් දෙනෙක්ම කිහිපවතාවක් මාරු කළා. නමුත් මට එහෙම වුණේ නැහැ. ඒක උපරිමයට කැප වෙලා වැඩ කළා. 2011 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාව ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියෙත් භාණ්ඩාගාරික ලෙස පත් කළා. ඒ සියල්ල වෙලාවට ඉවර කළා.
එතැනින් කොතනටද ඔබේ සිහිනය ඉලක්ක ගත වෙන්නෙ
මම කැමැතියි එකින් එක උඩට යන්න. මට අවශ්‍යතාව තිබුණා වරලත් ගණකාධිකාරී කියන ආයතනයේ පාලක සභාවට පත් වෙන්න. එතැනට පත්වෙන්න ඕන වරලත් ගණකාධිකාරීවරුන්ගේ ඡන්දයෙන්. මම එතැන කාරක සභාවට පත් වුණා.
එතැනිනුත් සිහින හඹා යෑම නතර වෙන්නෙ නෑ
මට එකින් එක සිහින තියෙනවා. එකක් ඉවර වුණා ම මම තව සිහිනයකට මාරු වෙනවා. ඊට පස්සෙ මගේ දැක්ම තිබුණෙ වරලත් ගණකාධිකාරී ආයතනයේ උප සභාපති වෙන්න. ඒක ඉතා ම අමාරුයි. මම ඒ තනතුරටත් වැඩි ඡන්ද ප්‍රමාණයකින් පත් වුණා. ඊට පස්සෙ නිතරගයෙන් ම සභාපති තනතුරට පත් වුණා. 21 වැනි සභාපතිවරයා වුණේ මම.
කොහොමද බැංකු ක්ෂේත්‍රයට එන්නේ
ඊළඟට මගේ සිහිනය වුණේ බැංකුවක සේවය කිරීම. එතකොට මට එවකට පැවැති රජය විසින් ආරාධනා කළා පුද්ගලික බැංකුවක අධ්‍යක්ෂ ධූරයකට. මම බාර ගත්තා. ඒ ජාතික සංවර්ධන (NDB) බැංකුවෙ. එතැන අවුරුදු 3ක් හිටියා. ඊළඟට පත්වුණු ආණ්ඩුවෙන් පස්සෙ අපි එතැනින් ඉවත් වුණා. මේ සියල්ල තාවකාලික දේවල්. මට ඉවත් වෙන්න කියපු ගමන් මම මගේ අස්වීමේ ලිපිය යැව්වා. ඉවත් වුණු තැන් එක්ක ඇලෙන්න ගැටෙන්න හොඳ නැහැ. මගේ ඊළඟ සිහිනය වුණේ බැංකුවක සභාපතිවරයෙක් වීම. මේ රජයෙන් මුලින් කිව්වා තමන් කැමැති තනතුරුවලට ඉල්ලුම් කරන්න කියලා. මමත් ඒ අනුව ඉල්ලුවා. අපි වැඩ කරන්නෙ මේ රටේ වෘත්තිකයො විදියට. අපි මේ කරන්නෙ කාටවත් කඩේ යෑමක් හෝ වෙන යම් දෙයක් නොවෙයි. වෘත්තියවේදීන් මේ තනතුරුවලට ඇවිත් වැඩ කරන්න ඕන. ඒ වගේම අපි මේවට ඉදිරිපත් වෙන්න ඕන. ඒක ඉතා වැදගත්. ඒ පරමාර්ථයෙන් තමයි මම මහජන බැංකුවට මීට අවුරුදු දෙකහමාරකට පෙර 2020 ජනවාරි 5 වැනිදා සභාපති ලෙස ආවෙ.
ඕනෑ ම සිහිනයක් කැප වුණොත් හැබෑ කරගන්න පුළුවන්ද?
නෑ, තමන් සිහින දකින්න ඕන තමන්ට සාක්ෂාත් කරගන්න පුළුවන් සිහින ගැන. සිහින සාධාරණ වෙන්න ඕන. මට කරන්න පුළුවන් දේවල් සේරම මම කරල තියෙනවා කියලා මට හිතෙනවා.
නව පරම්පරාවට දෙන ආදර්ශ මොනවාද
මම නිතරම කියන්නෙ අභියෝග බාර ගන්න බය වෙන්න එපා කියලයි. ගොඩක් අයට මෘදු නිපුණතා නැහැ. මම නිතරම කියන දෙයක් තමයි, පතපොතේ දැනුමට අමතර ව ප්‍රායෝගික ව වැඩ කරද්දි මතුවෙන ගැටලු කළමනාකරණය කරගැනීම වැදගත් බව. ඒ වගේම 100%ක් කාල කළමනාකරණය කිරීම අතිශය වැදගත්. ඒක තමයි දියුණුවක රහස. මේවා මෘදු නිපුණතා ගණයට ගැනෙන ඒවා. කැප කිරීම වැදගත්. වෘත්තිය විෂමාචාර කරන්න හොඳ නැහැ. තමන් වැඩ කරන ආයතනයට ආදරේ කරන්න ඕන. ඒක අංක එක. විනය ඉතා වැදගත්.
මහජන බැංකුවේ සභාපති ධූරයට අමතර ව තවත් මොන ආයතනවලද නියුක්ත ව සිටින්නේ
මහජන බැංකුවට අමතර ව, පීපල්ස් ලීසිං ආයතනයේ සභාපති ලෙසත්, මගේ ආයතනය වන බීඩීඕ පාර්ට්නර්ස්හි ප්‍රධානියා හැටියට වගේම හේලීස් සමාගමේ සමාගම් 3ක අධ්‍යක්ෂ ධූරයන් හා ශ්‍රී ජයවර්ධනපුුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවෙත් ඉන්නවා. මම මේ හැම තැනක්ම හරියට සමබර ව කරනවා.
ඔබේ විවාහය සිදු වෙන්නේ කවදා කාත් සමඟ ද සිදු වෙන්නේ
1994 වසරේ මැයි 19 වැනිදා තමයි මම විවාහ වෙන්නේ. ඇය රුවන්මලී රාජපක්ෂ. අපේ ලොකු දුව ඉපදෙද්දි මගේ බිරිය රැකියාවෙන් අයින් වුණා. ඒක අවබෝධයෙන් අපි කතා කළේ.
දරුවන් දෙදෙනා ගැන මතක් කළොත්
ලොකු දුව පියුමිකා රාජපක්ෂ. පොඩි දුව තරිදි රාජපක්ෂ. ලොකු දුව නීති විද්‍යාලයේ. පොඩි දුව තරිදි ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි උපාධිය කරලා ප්‍රතිඵල එනකම් ඉන්නෙ.
කොහොමද දවස පටන් ගන්නෙ
මම උදෙන් ම නැගිටිනවා. දවස පටන් ගන්නෙ පාන්දර 4.30ට. මොනවහරි කාලා පැයක් ඇවිදින්න යනවා. දවසට කිලෝමීටර් හතරක් හතරහමාරක් දුවනවා. තව කිලෝමීටරයක් දෙකක් ඇවිදිනවා. ව්‍යායාම කරලා ගෙදරට එනවා 6.10 වෙද්දි. මිදුල එහෙම අතුගාලා මම ලැහැස්ති වෙනවා රාජකාරියට එන්න. උදේ 7ට වාහනයට නඟිනවා. ඇවිල්ලා පත්තර දෙක තුනක් බලලා වැඩ ටික කරලා වැඩ පටන් ගන්නවා.
පොත් කියවනවද?
මගේ කියැවීමේ පුරුද්ද අඩුයි. මම ඒක පුරුදු වුණේ ම නෑ. හැබැයි මගේ බිරියයි දුවලා දෙන්නයි හොඳට කියවනවා. ගොඩක් වෙලාවට පෞරුෂ වර්ධනය කරන පොත් කියවන්න උනන්දු වෙනවා. ඒත් පුරුද්දක් විදියට කියවන්න මම පුරුදු වුණේ ම නෑ. ආගම ධර්මයට අදාළ පොත්පත් නම් මම කියවනවා.
ඔබේ බිරියට ඇත්තේ ඇගේ පියා අමර හේවාමද්දුමගේ ආභාසය වෙන්න ඇති
අනිවාර්යයෙන්. මගේ දරුවො දෙන්නටත් සීයාගෙ අභාසය තියෙනවා. එයාලත් පොතට පතට නැඹුරුයි.
චිත්‍රපට බලනවද සාමාන්‍යයෙන්. මොකද්ද අන්තිමට බලපු චිත්‍රපටය
මේ දවස්වල නෙට්න්ලික්ස් බලනවා. අන්තිමට බැලුවෙ එකවුන්ටන් කියලා චිත්‍රපටයක්. ඒක මගේ ක්ෂේත්‍රයත් එක්කත් ගැළපීමක් තිබුණා. මිස්ටර් බීන්ගෙ අලුත් ම චිත්‍රපටයකුත් බැලුවා ළඟදි.
සංචාරය කරන්න කැමති කොහේද?
ලංකාවෙ මම යන්න කැමති ම මගේ ගමට. මාතර තිහගොඩට. කතරගම, නුවර, නුවරඑළිය වගේ තැන්වලත් යන්න කැමැතියි
සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ
ඔව්, 100% ක් ම. මම බ්‍රෑන්ඩ්ස්වලට හරි කැමැතියි. සුජීව රාජපක්ෂ කියන පුද්ගලයා නැති තැනකදි එයා ගැන කරන කතාව කොහොමද ගොඩනැඟෙන්නෙ කියන එක තමයි වඩාත් වැදගත්. ඒනිසා මම ගොඩක් ම උනන්දු වෙන්නෙ පුද්ගලිකත්වය කොහොමද සන්නාමයක් කර ගන්නෙ කියලා. පුද්ගල සන්නාමයක් වෙන එක තමයි ජීවිතේ හොඳ ම සහ ගන්න අපහසු ම බ්‍රෑන්ඩ් එක.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න