දේශයම කඳුළු හෙළූ දවසක් | Page 2 | සිළුමිණ

දේශයම කඳුළු හෙළූ දවසක්

දිඹු­ලා­ගල හිමියෝ ජීවි­ත­ක්ෂ­යට පත්ව සිටි අයුරු

- දිඹුලාගල කඳු ඉස්මත්තේ සිට සැතපුම් විසි තිස් දහසක් පමණ භූමියේ වැව් අමුණු සකසන්නට මුල් වූ යතිවරයාණන්ගේ අවසන් මොහොත
- කොයි මොහොතක හෝ තමා මරණයට පත්වූවොත් තම දරුවන් මෙන් හැදූ පන්සියයක් පමණ වූ මහා සඟරුවනට කුමක් සිදුවේද යන්න හිමි තුළ පැවැති කරදරකාරී සිතිවිල්ලකි

ගමැති ආර්. ප්‍රේමදාස සිය පක්ෂය තුළ පැන නැඟී ඇති අභ්‍යන්තර වියවුල් පිළිබඳ දැඩි අවධානයකින් පසුවූ අතර, එහි අග මුල හරියාකාරව දැනගත යුතු වූ හෙයින් දිඹුලාගල නායක හාමුදුරුවන්ගෙන් මේ පිළිබඳව උපදේශනයක් බලාපොරොත්තු විය. 

එහෙත් ඒ වන විට නායක හාමුදුරුවෝ මුත්‍රාශයේ ආබාධයකට ලක්ව පොළොන්නරු රෝහලට ඇතුළත් කළ බව දැනගන්නට ලැබිණි. වෛද්‍යවරු කණ්ඩායමක් සහිතව පොළොන්නරු රෝහලට යැවූ හෙලිකොප්ටර් යානයකින් එදිනම උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට කැඳවාගෙන පැමිණියේය. එදිනම ශල්‍ය කර්මයකට භාජන කළ පසු මුත්‍රාශයේ රැඳී තිබුණු ගල්කැට කිහිපයක් ඉවත් කෙරිණ. හිමියන් බලන්නට පැමිණි පිරිසට උන්වහන්සේ ප්‍රකාශ කළේ “මෙන්න මේව තමයි අර රුසියන් කාරයා හඳෙන් ගෙනාපු ගල්” උන්වහන්සේ රෝහල්ගතව සිටියදී දානමාන සිල්ල සැපයුවේ අගමැතිවරයාය. කිසිවකු සමඟ නොපැවසුවද ගතවූ වසරක පමණ කාලයක් තුළ සිදුවූ සිද්ධීන් සිහිපත් කරමින් සිටි උන්වහන්සේට තම ජීවිතය ගැන එක්තරා අන්දමක අවදානම් ස්වරූපයක් ඇතැයි හැඟීමක් ඇති විය.

උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඇති කළ නව මහවැලි සංවර්ධන ව්‍යාපාරයට වසරක් ගතවීමට තිබුණේ මාස කිහිපයකි. දහස් නමකට මහවැලි අස්වැන්නෙන් සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීම අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස අවබෝධකරගත් හිමියෝ ඒ සඳහා උත්සුක විය. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි සංවර්ධන ඇමති ගාමිණී දිසානායක විසින් ලබා දෙන ලදී. හිමියන්ට බලපෑ ප්‍රධාන ගැටලුව වූයේ දහස් නමක් වෙනුවෙන් පවත්වන පින්කමට අවශ්‍ය පිරිකර සොයා ගැනීමය. පොළොන්නරු අවට ප්‍රදේශවල කිසිවකුගෙන් මේ සඳහා සහායක් ලබාගත නොහැකි නිසා උන්වහන්සේ තම හිතවත් දායකයා වන මුතු බණ්ඩා සමඟ කොළඹ බලා පැමිණියේය. දින කීපයක් තුළ දී එකී ප්‍රශ්නය විසඳුණේ ද පුදුමාකාරයකටය. එවකට වෙළෙඳ ඇමති එම්.එස්. අමරසිරි යටතේ වූ සළුසල ආයතනයෙන් සිවුරු දහසක් ලැබිණ. දිවයින පුවත්පතේ නිර්මාතෘ උපාලි විජයවර්ධන ගෙන් යුනික් රේඩියෝ දහසක් ලැබිණ. හිමියන්ගේ ඉලක්කය සම්පූර්ණ වුවද තවත් ප්‍රශ්නයක් මතු විය. එනම්, දිඹුලාගල පුණ්‍ය භූමියට විදුලිබල මණ්ඩලයෙන් විදුලිය දුන්නත් දිඹුලාගල අරණ්‍ය සෙනසුනේ ඇති වයෝවෘධ භික්ෂුන්ගේ කුටි පන්සියයකට විදුලි රැහැන් සම්බන්ධ කිරීමය. ඒ සඳහා උන්වහන්සේට ආධාර උපකාර කරන්නට ඉදිරිපත් වූයේ කොළඹ ප්‍රදේශයේ විදුලිය පිරිවැද්දුම් කරන කොළඹ රාජගිරියේ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බඩී වෙත්තසිංහ ය. ඔහු පන්සියයක් භාවනා කුටිවලට විදුල් රැහැන් සැකසුවේය.

එහෙත් හිමි තුළ පැවතියේ තම ජීවිතය පිළිබඳව වූ උකටලී අදහසකි. කොයි මොහොතක හෝ තමා මරණයට පත්වූවොත් තම දරුවන් මෙන් හැදූ පන්සියයක් පමණ වූ මහා සඟරුවනට කුමක් සිදුවේද යන්න හිමි තුළ පැවැති කරදරකාරී සිතිවිල්ලක් විය. හිමිවරු පරිහරණය කරන කනිණ ලද විශාල ළිඳක් බුදු මැදුර අසල තිබිණ. බණ දහම් මඟට පැමිණ සැහැල්ලු සිතින් බුද්ධ පුත්‍රයන් පන්සිය පනස් නමක් නිද්‍රාවට පත්වෙද්දී හැම දිනකම මහ රැය දිඹුලාගල හිමි පහන් කළේ ළිඳ ළඟ වැතිර සිටිමිනි. එතරම්ම තර්ජන ගර්ජන උන්වහන්සේට ලැබෙමින් තිබිණ. මෙම තර්ජනවලට හේතුව වූයේ වසර ගණනක් තිස්සේ විජාතික බලවේගය විසින් මතු කරන්නට හැදූ පැළ මුලිනුපුටා දාන්නට දිඹුලාගල හිමි කළ මහ මෙහෙවරය.

*******

ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ උග්‍රවෙමින් පවතින ජනවාර්ගික ප්‍රශ්නයට කෙළින්ම මැදිහත්වීම මෙරට රාජ්‍ය තන්ත්‍රය හා පොදු ජනතාව තුළත් ඇති කළේ ඉදිරියේදී සිදුවිය හැකි අනන්ත අප්‍රමාණ වූ ගැටලු සහගත තත්ත්වයන්ට අප රට මුහුණ දිය යුත්තේ කෙසේද යන්නය. උතුරුකරය තම පාරම්පරික භූමිය ලෙස සලකා ශ්‍රී ලංකා රජයෙන් වෙන්කොට වෙනම ප්‍රාන්ත රාජ්‍යයක් සේ නම් කිරීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අරමුණ විය.

එතෙර සිටි ද්‍රවිඩ ජාතිකයන්ගෙන් ලැබුණු අතිවිශාල ධන සම්බාරයකින් නවීන පන්නයේ ආයුධ උතුරට ගෙන්වාගෙන සිය ජාතික බළකාය ආණ්ඩු මට්ටු කිරීමට තරම් ඔවුහු බලවත් විය. රටේ පාලන අධිකාරියේ ප්‍රධානියා වූ ජනාධිපතිවරයා මේ වන විට ඉන්දීය අගමැතිවරයා සමඟ දින කීපයක් කථාබහ කොට තිබිණි. අන්තිම රතු එළිය නිකුත් විණි. පසුදා අලුයම වනවිට ඉන්දීය නාවික හමුදාව යුද පිරිස් සමඟ උතුරුකරයට එන වග දැනුම් දුන්හ. මැති සබයේ හදිසි රැස්වීමක් කැඳවිණි. එහි අදහස වූයේ මේ ජාතික අරගලය විසඳීමට ඉන්දීය රජය සමඟ එකඟවීම අත්‍යවශ්‍ය බවය.

කොටි හමුදාව නිර්මාණය කොට අවි ආයුධ පරිහරණය හා සටන් ක්‍රම පිළිබඳව ද පූර්ණ පුහුණුවක් ලබා දුන් ඉන්දීය රජය මේ වන විට නිසැකවම උතුරුකරය ඔවුනගේ බූදලයක් ලෙස නම් කරනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයකු හා බුද්ධිමතකු වූ අගමැති ප්‍රේමදාස දැන සිටියේය. පාර්ලිමේන්තු සභාව දෙවනත් කරමින් තම ස්ථාවරය හෙළිකොට ඉන් ඉවත්වීය.

පසුදින එළඹිණ. ජනාධිපති ආචාර සම්මානය ලබා ගන්නට ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ආචාර සමාචාර පිළිගන්නට රතු පලස මතින් ගමන් ගනිමින් සිටියේය. මෙවැනි විටෙක තමා සතු ගිනි අවිය වෙඩි උණ්ඩවලින් තොරව ඇතැයි දැන හිටියත් රණකාමී එක් භටයකුගෙන් ඉන්දීය අගමැතිගේ හිසට දරුණු පහරක් එල්ලවීය. හමුදා විනය නීති අකුරටම පිළිපැදීමට දිවුරුම් දී පැමිණියද ශ්‍රී ලංකාවට මතු කාලයේදී එල්ල විය හැකි ගැටලු පිළිබඳ තනිව ගත් තීරණය එය විය.

මෙම ක්‍රියාවලියට විරුද්ධව රට පුරා ඒ වන විට ජනයාගේ විරෝධතා දැඩිව නැඟී ආයේය. අගමැතිවරයා ඉන්දීය හමුදාව වඳුරු හමුදාවක් ලෙස හැඳින්වීය. ගිවිසුම අත්සන් කළ පසු ඉන්දීය ගුවන් හමුදාව තමන්ට ලද තොරතුරු අනුව ගුවන් යානා මඟින් උතුරේ ජනතාවට අවශ්‍ය වියළි ආහාර බෙදන්න පටන් ගති. එදා මුළු රටම ගිනිගත් දිනයකි. මිනිසුන් මහපාර පුරා එක්රොක්ව පා ගමන් ගියේය. ඒ, තම ජාතිය අන්‍ය ජාතික පිරිසකගේ නිත්‍ය බැලමෙහෙවර කරන්නවුන් වන බවට සේයාවක්

ඔවුන්ට දැනී තිබුණ හෙයිනි. අගමැති ප්‍රේමදාස මෙකී ගරු ගාම්භීර පිළිගැනීම් උත්සවයට සහභාගි නොවී නිල නිවෙස වූ අරලියගහ මැදුරේදී සියක් නමක් වූ සඟරුවන වෙනුවෙන් පින්කමක් පැවැත්වීය. දිඹුලාගල නායක හිමියන් එම දානමය කටයුත්තේ ප්‍රධානියා වූයේ ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ සංඝ පීතෘවරයකු වූ හෙයිනි. අගමැතිතුමා සිය ආර්යාව සමඟ භික්ෂුන්ට දන් පිළිගැන්වීම අවසන් කර තිබිණ.

“අපේ අගමැතිතුමා දානේ පිළිගන්වපු, හැටි හරිම හොඳයි. ඒත් පුංචි දෙයක් අඩුයි නේ මහත්තයො.” මෙතරම් සුවිශේෂී දානයක් කළ ද එහි එක් අඩුවක් ඇති බව දිඹුලාගල හිමියෝ කියත්ම තමාගෙන් වූ මදිපුංචිකමට ඔහුගේ හිත සලිත විය. “මම මැරිච්ච සතුන්ගේ මස් මාළු වළඳන්නෙ නෑ. ඒ වුණත් පණ පිටින් ඉන්න මහ එකාගේ මස් කෑල්ලක් කපල එවන්න. මම මේ දාන පිඟාන පැත්තකින් තියල උගේ මස් කුට්ටියක් එක හුස්මට වළඳනවා. අපේ රට අපේ ජාතිය පාවා දෙන්න වරිගපරම්පරාවෙන් පුනරුත්පත්තියක් ලැබූ කෙනෙක් මහත්තයො.”

හිමි හඬ තීව්‍ර විය. අගමැතිවරයා හිමියන් සන්සුන් කළේය. හදිසියේම තම ගම රට ලෙස සැලකූ දිඹුලාගල යෑමට අවශ්‍ය විය. එහෙත් හිමියන්ට මහවැලියෙන් ලබාදී තිබූ ජීප් රථයට ඉන්ධන ලබා ගැනීම මහත් ගැටලුවක් වූයේ අගනුවර ඉන්ධනහල් මෙන්ම කඩ සාප්පු ද වසා තිබුණ හෙයිනි. රජයේ වාහනයක් දුටු විට ගල් මුල් ගසා කුඩු කරන්නට මිනිස්සු මහ මඟ රැක සිටියහ. ගමන් කළේ රාජ්‍ය ලාංඡනය සහිත ජීප්රියක වුවද ඉදිරිපස අසුනේ සිටියේ දිඹුලාගල හිමි බව දුටු ඔවුහු මහ මඟ හරස්කර රථය නතර කළහ. “මේ අපේ ලොකු හාමුදුරුවො නේ. ඔබවහන්සේ කරපු කියපු දේ අපි දන්නවා. අපි දිඹුලාගල දායකයො. අපි දානමාන අරගෙන ඇවිත් පන්සලට පූජා කළා. බලන්න නායක හාමුදුරුවනේ රටට වෙච්ච වින්නැහිය.” පිරිසේ සිටි එක් අයකු තැඹිලි ගෙඩියක් රැගෙන හිමි අසලට පැමිණියේය. “මහත්තයො මම මේ දානෙ වළඳල එන ගමන්. ඒ දානෙ තිබ්බෙ අගමැති නිල නිවාසෙ. මම අගමැතිතුමාට කිව්ව මම මස් මාළු කන්නෙ නෑ. ඒ වුණත් අර මී හරකගෙ ඝාතයක් කපල ටෝස් කරල ගේන්න කියල. බලන්නකො මහත්තයො රටට වෙන්න තියන වින්නැහිය. ආණ්ඩුවෙ එක පරබල්ලෙකුට මේ පාරෙන් යන්න දෙන්න එපා. ඒක නෙමෙයි මහත්තයො. මට දිඹුලාගලට යන්න ඕන. පෙට්‍රල් ෂෙඩ් ඔක්කොම වහල ඩීසල් ටිකක් හොයා ගන්න තැනක් නැද්ද?”

“දන්න කියන තැන් තියෙනව නම් ගෙනත් දෙනව. බූලි දහයක් දොළහක් හරි. අද මේ පළාතට ලයිට් ඇත්තෙ නෑ. ලයිට් කනු, ට්‍රාන්ස්ෆෝමර් කඩල දාල. ඉන්දියන් කාරයො ගෙන්න ගන්නවට මුළු රටම විරුද්ධයි හාමුදුරුවනේ. ”

එදින හිතවත් දායකයකුගේ නිවසේ නවාතැන් ගත් හිමියෝ පසු දින දිඹුලාගලට වැඩම කළහ. 

*******

ගමක් හැදූ හිමියන් ගමේ දායක කාරකාදීන්ට බණ දහම් ගැන අවබෝධ ඇති කිරීම තුළින් යහපත් වටා පිටාවක්, සමාජ සංවර්ධනයක් ඇතිවෙතැයි කල්පනා කළහ. ඒ අනුව තමන් උපසම්පදා කළ මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන් තම වාසභූමියට ගෙන්වා ගත්තේ බණ දහම ගැන අසල් වැසියනට අවබෝධයක් ලබාදීමටය. මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියෝ තම සංඝ පරම්පරාව ගමින් ගමට යමින් බෞද්ධ වත් පිළිවෙත්වල පවත්නා වටිනාකම සහ සිංහල පෞරාණික ඇවතුම් පැවතුම් පිළිබඳව මුළු මහත් දේශයම අවදි කළ අනගාරික ධර්මපාල තුමා ගෙන ගිය ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛත්වයක් ගෙන සිටියහ.

තම ගෝල බාලයකු වූ දිඹුලාගල හාමුදුරුවෝ ගෙන යනු ලබන්නේ එයටත් වඩා විශිෂ්ට ක්‍රියාදාමක් බව මහ නායක හිමියෝ වටහා ගත්හ. එක අතකින් අන්ත අසරණ ජනතාවත්, තවත් අතකින් මෙම ශුද්ධ භූමිය ආක්‍රමණ කොට ජාතියේ පෞරාණික යටගියාව සුන්නත්ධූලි කරන්නට පෙර ගමන් යෙදෙන විදේශ ආක්‍රමණිකයන්, ඔවුන්ට එරෙහි නිර්භයව ගමන් ගන්නා දිඹුලාගල ස්වාමීන් වහන්සේට අනුග්‍රහයක් ලෙසින් සපැමිණි මඩිහේ පඤ්ඤාසීහ හිමි දිඹුලාගල හිමිගේ ගල්කුටියේ වැඩ සිටියහ.

අසල්වැසි පිරිස සමඟ ආගන්තුකයන් දිඹුලාගල කඳු මුඳුනට ගමන් ගත්හ. ඔවුන් යන ආඩම්බර විලාසය දුටු දිඹුලාගල හිමියෝ වැදිනායක මිල්ලානාට කථා කළහ.

“බොලේ වැඩක් තියනව. උඹලගෙ පැල්කොටවල තියන වළං හට්ටි මුට්ටි එකතු කරගෙන එන්න කියල උඹලගෙ බලවතුන්ට කියාපල්ල. වත්තේපිටියෙ තියන බටු, මිරිස්, පතෝල, කරවිල, බණ්ඩක්ක ගස්පිටින් ගේන්න කියාපන්. මම එහෙම කියන්නෙ, මම කියපු නිසානේ ඒක නැවැත්තුව හින්ද. හොඳ මිනිස්සුවෙලා ඉන්න හින්ද.

මේ ඇවිල්ල ඉන්නෙ මගේ නායක හාමුදුරුවන්ගෙ දායක කණ්ඩායම. අපි ඒ මිනිස්සුන්ට අපේ හැටියට මොකක් හරි සංග්‍රහයක් කරගන්න එපාය. මේ වැඩේ උඹට බාරයි. අතු ඉපල් දර කෝටු තියනවා.

ඒ මිනිස්සු සමහර දාට දවල්ට කඩ කෑල්ලකින් මොනව හරි කාල එන්න ඇති. අපි ඒ මිනිස්සුන්ට අපිට පුළුවන් විදියේ දෙයක් කරන්න ඕන.”

මිල්ලානා කඩිනම් විය. ඔහු තම අණ අනුව සියල්ල සිදු කළේය. කඳු මුඳුන තරණය කොට පැමිණි ආගන්තුක පිරිස දැඩි විඩාවකට පත්ව සිටියහ. පළාතක් පුරා පැතිරෙන සුවඳින් ඉදෙන, පැසෙන රත් හාල් බතේ එළවළු ව්‍යංජන සුවඳින් තරමක විඩාව මගහැරී එදෙස බලමින් සිටි පිරිස දෙස මොහොතක් නෑර ඉක්මන් ගමන් ගන්නා දිඹුලාගල හිමි දෙස මඬිහේ නා හිමියෝ සිනා මුහුණින් බලා සිටියහ.

“අපේ දිඹුලාගල උන්නාන්සේ මොකක් හරි දේකට පෙළ ගැහෙනව.” මහනාහිමි තියුණුව එදෙස බලා සිටියහ.

“කොල්ලනේ මෙහෙ වරෙල්ල මේ කොළඹ රටින් ගෙනා තෑගි බෝග. හාල්මුට්ට, පිටි මුට්ට, සීනි මුට්ට, කරවල ගෝනි, මේ බලපල්ල ඇඳුම් කැඩුම් මේ ඔක්කොම ගොඩ ගහගනිල්ල. හැබැයි හරි හරියට බෙදා දෙන්න ඕන සමගි සමාදානයෙන්. උඹලට වැඩියි කියල හිතෙනවා නම් අල්ලපු ගම්වල නෑදෑයන්ටත් බෙදා දීපල්ල. ”

ගමේ පිරිස ලැබුණු තෑගි බෝග කර පින්නාගෙන සිය ගේ දොර කරා ගමන් ගන්නා අයුරු දකින දිඹුලාගල හිමිගේ හිතේ මතුවන සතුට අප්‍රමාණ විය.

මහ හඬින් සිනා සෙමින් ඒ දෙස බලා සිටින මහ නා හිමියන් එමෙන් දස ගුණයක ප්‍රීතියක් වින්දේ මෙවන් මිනිසකු තම ජාතියට කෙතරම් උතුම් දායාදයක් ද යන්න සිහි කරමිනි. වැදි පිරිසට ධර්ම දේශනයක් කරන්නට යනුවෙන් ආරාධනා ලැබ වැඩම කළද සවස් භාගය වන විට අක්කර තුන හතරක පමණ විශාල වූ භූමියක ඉතිරි යන ජන ගඟක් එහි හෙමින් සීරුවේ පතිත වන්නට විය. ගව්වක් දෙගව්වක් දුර සිට පැමිණි බැතිමතුන් දොහොත් මුඳුන් දී හිමි දෙසුමට සවන් දෙන අයුරු අතිශය විචිත්‍ර විය.

මෙම කාල වකවානුව වූ කලී උතුරේ ත්‍රස්තවාදය මෙන්ම දකුණේ මතු වූ ත්‍රස්තවාදය ද ඉහළින් මතුව ආ යුගයක් විය. කොටි ත්‍රස්තවාදීන් නිතරම තම පුණ්‍ය භූමියත්, තම භික්ෂු බළකායත් වනසා යළි ප්‍රකෘතිමත් කළ නොහැකි ආකාරය දිඹුලාගල සුන්නද්ධූලි කරන බවට හිමියන්ට නිරන්තරව පණිවුඩ ලැබුණ එහි සැබෑ තත්ත්වය දැනගත් හිමියෝ 1995 මැයි මස 23 වැනිදා දුරකථනයෙන් මා ඇමතූහ.

හිමියන්ගේ කට හඬෙහි එදා තිබුණේ තැති ගැනීමේ විලාසයකි. “මහත්තයො, මම මේ හදිසියේ කථා කරන්නේ. දැන් පැය කාලකටත් ඉස්සෙල්ල දෙමළෙක් මට අමුතිත්ත කුණුහරුපෙන් කතා කළා.

මරල පෙති ගහනව කීව. මම මේ කථා කරන්නෙ පින් අනුමෝදන් කරන්න. එදා අහම්බෙන් දිවයින පත්තර කන්තෝරුවේදී හමුවූ වෙලාවෙ ඉඳල අද වෙනකම් මගේ වැඩවලට කරන්න පුළුවන් දේ අන්තිම ඉහළින්ම කළා මට හොඳට මතකයි. මම පින් අනුමෝදන් කරපු බව නෝන මහත්තයටයි ළමයි දෙන්නටයි කියන්න.” හිමියන්ගේ හඬ තුනී වී ගියේය.

පසුදා අපට දැන ගන්න ලැබුණේ දිඹුලාගල පන්සලේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට දාන මාන උදෙසා අසල බිම් කඩක එළවළු සහ පලතුරු වගාවක් කර තිබූ ස්ථානයකදී පිස්සියක මෙන් වෙස් වළාගත් කොටි ත්‍රස්තවාදී ගැහැනියක එල්ල කළ වෙඩි පහරකින් උන්වහන්සේ මහ පොළොව බදාගෙන මරණයට පත්වූ බවයි.

නිමි


Comments