දරුපල ලබාදෙන වත්පිළිවෙත් රැසක් | Page 2 | සිළුමිණ

දරුපල ලබාදෙන වත්පිළිවෙත් රැසක්

බොහෝ යුවතිපතින් මුහුණ දෙන මූලික ගැටලුවක් ලෙස දරු ඵල අහිමි වීම හෝ දරු ඵල ප්‍රමාද වීමේ තත්ත්වය දැක්විය හැකිය. එම ගැටලුවට විසඳුම් ලෙස කළ හැකි විශේෂ වත්පිළිවෙත් කිහිපයක් පිළිබඳ මෙවර ලිපියෙන් සාකච්ඡා කරමු.

මෙම වසරෙහි ඉදිරි මාස කිහිපය තුළ, විශේෂයෙන් දරු ඵල ප්‍රමාද වෘශ්චික ලග්න කාන්තාවන්ට දරු ඵල පිළිබඳව සුබදායක ආරංචි ලැබෙන්නට ඉඩකඩ පවතින බව පෙනේ. තවද විශේෂයෙන් 2022 වසරෙහි ජුලි 12 වැනිදායින් පසුව එළැඹෙන මාස කිහිපය තුළ මිථුල ලග්න හිමියන්ට සහ මකර ලග්න හිමියන්ට වගකීම් වැඩි වන යෝගයක් යෙදෙන බැවින් එම ලග්න දරන කාන්තාවන්ට ද එම කාල සීමාව තුළ දරු ඵල පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි වනු ඇත. දරු ඵල ප්‍රමාද වීම් වෙනුවෙන් කළ හැකි වත්පිළිවෙත්, උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව දරු ඵල ලාභ පෙන්වා කාලයක සිදු කිරීමෙන් වඩාත් ඵලදායක ප්‍රතිඵල ලබා ගත හැකි අතර එය එසේ නොවුණද, මෙම වත්පිළිවෙත් සිදු කිරීමෙන් යම් තාක් දුරකට හෝ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

දරු ඵල ප්‍රමාද වීම වෙනුවෙන් කළ හැකි එක් වත් පිළිවෙතක් වන්නේ බ්‍රහස්පතින්දා දිනවල නිර්මාංශව සිට එම පිනෙන් අදාළ බලාපොරොත්තුව ඉටු වන ලෙස සිතීමය. එමෙන්ම බ්‍රහස්පතින්දා දිනවල උදෑසන 6.00ත්, උදෑසන 10.00 ත් අතර කාල සීමාව තුළ උපවාසයේ සිට එම අධිෂ්ඨාන ශක්තිය තුළින් දරු ඵල බලාපොරොත්තුව ඉටු වේවා! යැයි සිතීම සුදුසුය. එමෙන්ම එම උපවාසය නිම වීමට මොහොතකට පෙර නොහොත් කුසගින්න උපරිම වූ පසු පැටවුන් ලැබෙන්නට සිටින පුසියක, බැල්ලියක වැනි සතකුට එම සතා කැමතිම කෑම වර්ගයක් දී එම සතා එම කෑම වර්ගය ඉතා සතුටින් ආහාරයට ගන්නා ආකාරය කුසගින්නේ බලා සිට එම පිනෙන් දරු ඵල පිළිබඳ බලාපොරොත්තුව ඉටු වේවා! යැයි සිතීම සුදුසුය. මීට අමතරව බ්‍රහස්පතින්දා දින කිහිපයක් පැරණි බෝධියක් ළඟ කිරි පිඩු පූජාවක් තැබීම සුදුසුය. මෙහිදී පැරණි බෝධියක් තෝරා ගන්නේ පැරණි බෝධි අසල දෙවිවරු වැඩිපුරු වැඩ වෙසෙන්නේයැයි විශ්වාස කරන නිසාය. මෙහිදී හිරු පායන්නට පෙර බෝධිය ළඟට ගොස් බෝධියට අධිගෘහික දේවතාවාට කිරි පිඩු පිළිගන්වා, සාමාන්‍ය විධියට බෝධි පූජාවක් තබා බෝධි පූජාවෙන් රැස් කර ගත් පිං බෝධියට අධිගෘහිත දේවතාවාට සහ අනෙකුත් දෙවිවරුන්ට අනුමෝදන් කර අදාළ අරමුණ වෙනුවෙන් බෝධියට අධිගෘහිත දේවතාවාගේ සහ අනෙකුත් දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගත යුතුය. මේ ආකාරයට ශ්‍රී මහා බෝධිය අසල ද බ්‍රහස්පතින්දා දිනයක උදෑසන කාලයෙහි කිරි පිඩු පූජාවක් සිදු කර බෝධි පූජාවක් ද තබා ඉහත පරිදිම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගත යුතුය. මීට අමතර ලෙස ශ්‍රී මහා බෝධියට පහළින් ඇති ප්‍රාර්ථනා බෝධිය අසල දරු ඵල ලැබෙන ලෙස ප්‍රාර්ථනාවක් සිදු කර පඬුරක් ගැට ගැසිය යුතුය. නවගමුවේ පත්තිනි දේවාලයට ගොස් එහි පැරණි දේවාලයට ගොස් පූජා වට්ටියක් තබා දරු ඵල වෙනුවෙන් කපු මහත්මයෙකුගේ ආශිර්වාදය ලබා ගැනීම සුදුසුය. ඉන්පසු නවගමුවේ පත්තිනි දේවාලය ඇතුළු ස්ථාන කිහිපයකට දරු ඵල බලාපොරොත්තුව ඉටු වන ලෙස බාර වී අදාල බලාපොරොත්තුව ඉටු වූ පසු බාර ඔප්පු කළ යුතුය. එමෙන්ම රෝහලක ගර්භනී වාට්ටුවක සිටින ගර්භණී කාන්තාවන්ට පලතුරු පාර්සල් සහ තෑගි බෝග ලබා දීමෙන්ද, අසල්වාසී ගර්භනී මවුවරුන්ට පලතුරු ආදිය දන් දීමෙන් ද අලුත උපන් අසල්වාසි බිලිඳුන්ට තෑගි බෝග රැගෙන බැලීමට යෑමෙන්ද අවුරුදු 5ට අඩු දරුවන්ට තෑගි බෝග දී ඔවුන්ව සතුටු කිරීමෙන් ද දරු ඵල බලාපොරොත්තු ඉටු වේවා! යැයි සිතිය යුතු අතර ඉහත කටයුතුද

බ්‍රහස්පතින්දා දිනයක සිදු කිරීම වඩාත් සුදුසුය. නිදන කාමරයේ කුඩා දරුවකුගේ විශාල

ඡායාරූපයක් තබා ගැනීමෙන්ද, කොළ පැහැති ඇඳ ඇතිරිලි භාවිත කිරීමෙන්ද දරු ඵල බලාපොරොත්තු ඉටු වනු ඇත. තවද දෙපාර්ශ්වයේම

මවුපියන්ගේ දෑස්වල සතුටු කඳුළු උනන දේවල් සිදු කිරීමෙන්ද, සාංඝික දානයක් දීමෙන් හෝ ස්වාමීන් වහන්සේ නමක ගෙදරට වඩමවා අට පිරිකරක් පූජා කිරීමෙන්ද, සෙනඟ ගැවසෙන ආගමික ස්ථානවල නිතර ගැවසීමෙන්ද, පිරිසිදු නවරත්න මැණික් ගල් ඇල්ලු මුදුවක් හෝ වෙනත් ආභරණයක් මැණික් ගල්, සමේ ස්පර්ශ වන ආකාරයට පැලඳීමෙන්ද, බ්‍රහස්පතින්දා දිනවල "අභිසම්භිදාන"පිරිත කිහිප වරක් ඇසීමෙන්ද , නින්දට යන මොහොතෙහි සුළු වේලාවක් පිරිත් ඇසීමෙන්ද, සහකරුවාගේ සිත නිතර සතුටින් තැබීමෙන්ද අදාළ බලාපොරොත්තුව ඉටු වන ලෙස සිතිය යුතුය. මෙම වත් පිළිවෙත් සිදු කරන අතරම, අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවාව ලබා ගැනීම ද අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී 
පාරින්ද්‍ර සුගතදාස

Comments