දඟ පන්දු යවන්නන්ගේ තරගාවලියක් | සිළුමිණ

දඟ පන්දු යවන්නන්ගේ තරගාවලියක්

 

මෙම සටහන තබන්නේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ප්‍රථම ටෙස්ට් තරගාවලිය අතරතුරදීය. වර්ෂාවෙන් බාධා ඇති නොවේ නම් එම තරගය බොහෝ විට දින හතරකින් අවසන් වීමට ඉඩ ඇත. සුපුරුදු දඟ කැවෙන මන්දගාමි ගාලු තණ තීරුව මුල් දිනයේම දඟ කැවෙන්නට පටන් ගැනීම නිසා දඟ පන්දු යවන්නන් හමුවේ වඩාත් හොඳින් මුහුණ දෙන කණ්ඩායමට මෙහි ජය හිමි වනු නියතය.

 

මීට පෙරාතුව අවසන් වූ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා එක් දින තරගාවලිය අවසන් වූයේ අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක් හිමි කර දෙමිනි. එහෙත් තරගාවලියේ ජය තරග 3 - 2 ලෙස ශ්‍රී ලංකාවට හිමි විය. ශ්‍රී ලංකාව තුළදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මීට පෙර එක් දින තරගාවලි ජයක් හිමිව තිබුණේ වසර 30 කට පෙර 1992 දීය.

එවර ශ්‍රී ලංකා පිල අර්ජුන, අරවින්ද, රොෂාන්, අසංක, සනත් වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුවද මෙවර ඕස්ට්‍රේලියාවේ ප්‍රබලම කණ්ඩායමකට එරෙහිව තරග වැදුණේ දසුන් ෂානකගේ නායකත්වයෙන් යුත් අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන් පිරිසක් වීම විශේෂත්වයකි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පසුගිය 24 දා පැවැති අවසන් එක් දින තරගය විශේෂ තරගයක් විය. ඒ වන විට තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගෙන තිබීමත් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දුෂ්කර අවස්ථාවක මෙහි පැමිණීමත් නිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙම තරගය නැරඹීමට පැමිණීමේදි ඕස්ට්‍රේලියානු වර්ණය වන කහ පැහැයෙන් කමිසයක් පැලැඳ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට තම කෘතවේදීත්වය පළ කරන ලෙස සමාජ ජාල ඕස්සේ කෙරුණු ඉල්ලීමක් අනුව අවසන් තරගයේ දී ආර්. ප්‍රේමදාස පිටියේ ප්‍රේක්ෂකාගාර කහ පැහැයෙන් පිරී ගියේය.

මෙය හුදෙක් කිසිදු දේශපාලනික බලපෑමක් හෝ ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමක් මත සිදු වුවක් නොවිමද විශේෂ සිද්ධියකි. එහෙත් ඇතැම් පිරිස් මෙහි ලකුණු දමා ගැනීමට උත්සාහ දරනු දක්නට ලැබිණ.

තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකා පිලට වාසි සහගතව නොවන අතර කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල එක් අවස්ථාවක ලකුණු 56 කට කඩුලු 5ක් දැවී මොහොතකින් ලකුණු 85 කට කඩුලු 8 ක් දැවී අන්ත අසරණ අඩියකට පත් විය.

එහෙත් අංක 8 පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණි චාමික කරුණාරත්න එතෙක් අන්දුන් කුන්දුන් වී සිටි ප්‍රේක්ෂකයන් කුල්මත් කරවමින් ශ්‍රී ලංකා ඉනිම තනිව කරට ගනිමින් පන්දු 75 කදී ලකුණු 75ක් රැස් කළේය. එම සටන්කාමී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා පිල අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු පිල මෙම අඩු ලකුණු සංඛ්‍යාව රැස් කළේ කඩුලු 6ක් දැවී ගොසිනි. අවසානයේ තරගාවලියේ ජය තරග 3 - 2 ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි විය.

කෙසේ වෙතත් මෙම තරගය අවසානයේ අපුරු දසුනක් දක්නට ලැබිණ. ශ්‍රී ලංකාවට පැමිණ දැක්වූ සහයෝගය වෙනුවෙන් තමන්ට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ගරු කරමින් ඕස්ට්‍රේලියානු පිලේ ක්‍රීඩකයන් ඔවුන්ට අත වනමින් ක්‍රිඩාංගණය වටා ගියේ ඕස්ට්‍රේලියාවෙන් පිටත තමන්ට වැඩියෙන්ම ප්‍රතිචාර දැක්වූ එම ප්‍රේක්ෂකයන් අගය කරමිනි.

මේ බව තරගය අවසානයේ නායක එරොන් ෆින්ච් මෙන්ම ග්ලේන් මැක්ස්වෙල්ද රූපවාහිනියට පැවසීය. තරගයේ විස්තර විචාරකයන්ද මේ කරුණු විශේෂ කොට හුවා දැක්වීමත් සමඟ මෙම තරග ආවරණය විකාශය කළ රටවල් එකසීය ගණනක් ප්‍රේක්ෂකයන් තුළද ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ගැන විශාල ගෞරවයක් හට ගත් බව වාර්තා විය.

මෙය ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් සංචාර තුළ වැඩි වැඩියෙන් විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීමට සිදු කළ හොඳ ආයෝජනයක් විය.

මොනතරම් ප්‍රශ්න තිබුණත් මෙම තරගාවලියේ සියලුම තරගවලදී ප්‍රේක්ෂකාගාර පිරී ඉතිරී ගිය අතර එසේ තරග නැරඹීමට ගිය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට බැණ වැදුණු පිරිස්ද වූහ. එහෙත් ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ දෙවැනි ආගම යනුවෙන් පැවසීම බොරුවක් නොවේ. පරදින විට ක්‍රීඩකයන්ට බැණ වදින්නන් පවා යළි යළිත් තරග නැරඹීමට ක්‍රීඩාංගණවලට පැමිණීමෙන් ලොකු කුඩා භේදයකින් තොරව රූපවාහිනි තිරය ඉදිරිපස වාඩි වී තරග නැරඹීමත් අපේ රටේ සිරිතය.

මෙවන් ක්‍රිකට් ප්‍රේක්ෂක පිරිසට සාධාරණයක් ඉටු කර ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දස්කම් දැක්වීමට දසුන් ප්‍රමුඛ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ටෙස්ට් ක්‍රිකට් යනු දඩි බිඩි නොවන ඉතා ඉවසීමෙන් දින පහක් මුළුල්ලේ කළ යුතු ක්‍රීඩාවකි. එක් දින තරගාවලියේ දැක් වූ දස්කම් වොන් - මුරලි ටෙස්ට් තරගාවලියේදීද දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වනු ඇතැයි ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු තබා ඇත.

 

Comments